ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි සිව්වන වෙළුම

2023 පෙබරවාරි කලාපය

නිදහස ලැබුණු දා සිට රටටම විද්ද නායකයනි තෙපිට ලැජ්ජාවක් ඇද්ද විඳි දුක ඇතිය තව කුමකට දුක් දෙද්ද විදුලිය දියව් තොපිලට පපුවක් නැද්ද
-අනුර

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

2023 පෙබරවාරි කලාපය

නිදහස

<img src="https://londonkavi.com/wp-content/uploads/2023/01/75.png" alt="" width="100%" height="" />
View Poem

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

2023 පෙබරවාරි කලාපය

ඒ රෝස මල

<p dir="ltr">සිහින ඇතිරූ වලා යහනත
දුහුල් මිහිදුම් සළු මුවාකර
හමා යන විට සීත පවනැල්ලේ
නෙතට ගැටුණා ඒ රෝසමල</p>
<p dir="ltr">කදුළු වැස්සෙන් බිම තෙමාලන
පෙති එකින් එක හැලී විසිරෙන
රෝසමල වෙත ඇදෙන පවනැල්ලේ
සෙමෙන් මුමුණයි දෝ
ඇයට රහසේ</p>
<p dir="ltr">නුඹගෙ කදුලැලි නෙත තෙමාලන
නොමදැනේ බඹරිදුට රිදවන
සෙනෙහසක් හද දරා මියැදෙන ඒ
රෝස මල් පෙති දෝ
පවනෙ විසිරි</p>
<iframe title="E Rosa Mala (ඒ රෝස මල) - Thilina Sudesh" src="https://www.youtube.com/embed/qCFvI_ruKPo" width="600" height="280" frameborder="0" allowfullscreen="allowfullscreen"><span style="display: inline-block; width: 0px; overflow: hidden; line-height: 0;" data-mce-type="bookmark" class="mce_SELRES_start"></span></iframe>
<p dir="ltr">ගායනය - තිළිණ සුදේශ් වන්නිනායක
සංගීතය - නවරත්න ගමගේ
ගී පද රචනය - තීෂ්‍යා දුල්මිණි</p>
View Poem

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2023 පෙබරවාරි කලාපය

දේවී....

කෝච්චිය වැරදිලා
වැරදි පැත්තට ඇදුණු

දාක දුටු මල් ගවුම

හිත කොනක මල් පිපුණු

දෙකොන ගිනිගත් රටේ

ඒ පැතුම් එක නොවුණු

වාගෙ හරියට එයත්

රේල් පීලි වගෙලු

හිනා හඩ පිරිවරා

දකුණ උතුරට යැවුණු

යාල්දේවිය නැතිලු

මගුල් කිංකිණි ගැයුණු

හිත් අතර පිපුණු මල්

අකල් පරවී වැටුණු

තාම මතකයේ තියේ

ඉස්ටේසමේ කුළුණු
View Poem

ආරියරත්න ජයසිංහ මහරගම

2023 පෙබරවාරි කලාපය

නිදහස

එක් කුඩා දිවයිනකි
නිදහස්ය නිවහල්ය මනරම්ය
අතීත ශ්‍රී විභූතියෙන් ඇළලුනිය

මහා චතුරශ්‍රයක් වෙ‍යි එහි අගනුවර
නිදහසේ නාමයෙන් නම් ලද

උත්තුංග පිළිමයකි එහි
නිදහසේ ප්‍රතිමාව යැයි නාමෝපලක්ෂිත
මුව අයාගත් සිංහයෝ
අතින් ගත් කඩුපතින
රකිති පිළිමය සතර කොණ

සැඳෑ හිරු බැස යත්ම
පියාඹා විත් කාකයෝ
ලගිති පිළිමයේ හිස මත
වර්චස් හෙලා එය නහවමින

ගන අඳුර ගලනවිට
යදියෝද දුගියෝද ඉහට හෙවනක් නැතිව
එලා වැරහැලි කඩමාලු
හෙවන යට පිළිමයේ
ලගිති එළිවෙන තුරුම

වසරකට එක් වරක් පැමිණෙන
මහා උත්සවයක් වෙයි එහි
නිදහස් දින නමින ජාතික
උත්සවශ්‍රීයෙන් ඇළලී යයි එදවස

නිලදරුවෝ පැමිණ
පලවා හැර යදියන්ද දුගියන්ද
සෝදා හැර කපුටු වසුරුද
නංවා ධජ පතාක සේසත්ද
ආචාර වෙඩි මුර මැද
සමරති නිදහසේ අසිරිය.

මැකී ගොස් නිදහස් සිරිය පසුදින
යළිත් එති කාකයෝ බඩ රිදෙන
යදියෝද දුගියෝද වැරහැලි සමග.

අඩක් බිම වැතිරගෙන
අතින් ගත් කඩුපතින
සිංහයෝ රකිති සතර කොණ
අයාගත් මුව වසාගත නොහැකිව.
View Poem

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

2023 පෙබරවාරි කලාපය

කවි සිත

සිසිල විනිවිද කිරණ සරනා
කවියෙ නිජබිම විසල් මඩලකි
එබිම සරනා විටදි සුළියක
එතී යනවා අහසෙ මුදුනට

අදත් මා එහි ඇතුළු වන්නට
පිය තබද්දී ගෙයක් අසලින්
ඇසුන කෙඳිරිය කුඩා බිළිඳී
මගෙ දෙපා පණ සිඳිනු ලැබුවා

කුඩා බිළිඳී අඬන වහලය
යටට මා සිත කය ද සමගින්
ගාටද්දි පද වැලක් එහෙමම
උදුරගෙන කෑරලෙක් හැපුවා

නොදත් හය-හතරවත් එදරුන්
මිමිණු වදනින් වදන සවනට
ඇතුල් කර හදවතේ ඉරි ඉරි
ඇඳල කඩුවක් අතට දුන්නා

බිළිඳි ගේ මව මැරී සිටියා
දෙතනෙ කිරි වේලිලා තිබුනා
දුරින් අඬමින් සිටිය දරුවා
අම්ම නිදි නෑ කියල කිව්වා

අපට බත්දී නොකා හිටියා
ඊයෙ රෑ දුර ගිහින් ආවා
මගේ කවි සංකල්පනාවන්
අනේ බිම මත ඇදන් වැටුනා
View Poem

ආරි ලියනගේ ඉතාලිය

2023 පෙබරවාරි කලාපය

මර්දනය.

අරගලයට බියෙන් පැන ගියෙ රටින් රට
සැඟවුනි තව එවුන් හැරදා ගෙවල් පිට
ජන ඝෝෂාව මුහුදේ හඩ කලා යට
ජන හදගැස්ම දැනුනානේ එදා මට

වෙනසට බිය වෙලා නිල් කොල කහ එකට
අත් වැල් බැඳන් බල ගිලිහී යන බියට
සහයට පිට එකා නායක පෙරටු කොට
අරගලෙ දිය කලා මැඩලයි හතර වට

දමා හඞ නඟන්නන් දඟ ගෙය තුලට
නොදී ඉඩ කඩක් බහිනට මහ මගට
පොලීසියට අණ බල දී දෙන්න බැට
මර්දනේට පෙල ගැහෙනව උන් එකට

මන්දපෝෂණේ දරුවන් පුරා රටේ
බදු බර මහමෙරක් මව් පියො හඞා වැටේ
උන් සැප විඳී බොරු කියමින් හතර වටේ
පරදමු මර්දනය කතිරෙන් දීලා බැටේ
View Poem

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

2023 පෙබරවාරි කලාපය

දම්පාට සුළැඟිල්ල

හැමදාම වෙන වෙනම පාට වෙන කාලයක්

හැමදාම එකසේම වෙළඳාම කලාවක්

හැමදාම හැමෝටම ජනතාව පන්දුවක්

හැමදාම හෙට දවස සදහටම හීනයක්

පෙනදාන බෝතලය තවත් එක වංගුවක්

බෙදාලන පිං මල්ල එළඟිතෙල් බිංදුවක්

බලාගෙන ඉන්න තව දහවලේ හීනයක්

දම්පාට සුළැඟිල්ල නොකරපන් පංගුවක්
View Poem

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

2023 පෙබරවාරි කලාපය

මගෙ දඟකාරී

බෙල්ල නමලා සැලුට් කරන මගෙ දඟකාරී
ඔබ නැති දින මට පාලුයි මගෙ මනහාරී
වෙන්න එපා කාගේවත් ඔබ හිරකාරී
ඇයිද නොවුනෙ කියනු මැනවි නුඹ සහකාරී
View Poem

වෛද්‍ය බෝධිනී සමරතුංග ස්වීඩනය

2023 පෙබරවාරි කලාපය

“මුහමාලේ සුළඟ" හැමුවා

හද ගැහෙන හඬින් කොඳුරා

මුහමාලේ සුළඟ හැමුවා

පණ පිටින් වැළලි මිනිසුන්

නගන සෝ සුසුම් දැනුණා

අහස ගිනි අරන් දැවෙමින්

යගුළි මහ හඬින් වැස්සා

පණැති නැති සියල් සුන් වී

ලෙයින් තෙත්වෙලා නිවුනා

සිත් බිඳෙන සුසුම් හංගා

මිහිකතින් හුස්ම නැඟුනා

මේ කතා දරා දවටන්

මුහමාලේ සුළඟ හැමුවා

රැය පුරා දවල් එළි මැව්

යුද්ධයේ සැරින් දැවුණා

කාලයක් පුරා පැසවන

සුසුම් හරි බරට දැනුණා

මුහමාලේ සුළඟ හිත මත

දිය කරන කඳුළු අමුණා

මවුන් කොයි දෙසේ සොයනා

පැටව් ඉකිබිඳිනු ඇසුණා

උතුරෙ වාගෙම දකුණෙත්

මළ ගෙවල් බොහොම තිබුණා

අයිතියක් නොමැති පොළොවට

බෙදී බෙදී දරුවො නැසුනා

පණ පිටින් වැළලි මනුසත්

සෝ සුසුම් හොරෙන් හංඟා

උස් පහත් වෙමින් පස් පිඬු

පොළොව හුස්ම ගනු පෙනුනා....

පසු වදන - ශර්මිලා විනෝදිනී විසින් රචිත මුහමාලේ සුළඟ කෙටි කතා සංග්‍රහය කියවන අතර ලියූවෙමි. (සිංහල බසට පරිවර්තනය - ජී ජී. සරත් ආනන්ද විසිනි )

පින්තූර සැකසුම - නුවන් තරංග වික්‍රමගේ
View Poem

සිසිල් මාන්නප්පෙරුම - Brampton - කැනඩාව

2023 පෙබරවාරි කලාපය

අහෝ ලංකාව

හොරට ගසනවා පෙට්‍රල් ලංකාවේ
මා අසුවුනා දෙවතාවක් මීගමුවේ
හොරකම වංචාව හැකි හැම විට සිදුවේ
සිංහල බෙහෙත් කඩයෙත් හොරටයි කිරුවේ

අල්ලස් ගන්නවා හැම කන්තෝරුවෙම
කප්පන් නොදුන්නොත් ඉවරයි වෙළදාම
ගිණුමේ මුදල් නැත එනමුත් චෙක්දීම
දිගටම සිදුවේය නීතිය නොතකාම

තැන් තැන්වල දමා යනවා කුණු කසල
එල්ලා තිබේ කුණු මලු දොරටුව අසල
මීයන් රජකරයි හදවත වෙයි සසල
කුණු ටැක්ටරය නැත මෙය කාලෙකි අපල

ඉඳලා පුරුද්දක් නැත කිසි පෝලිමක
පැනලා යන්නමයි හොර හිත පෝලිමක
අහලා තිබුණි හැසිරෙන හැටි පෝලිමක
දැකලා පනින හැටි පුදුමයි පෝලිමක

දෙස්පාලකයො අරගන්නව පගාව
රැකියාවකට නැතිවම බැහැ පගාව
බේරෙන්නට නොහැක පොලිසියෙ පගාව
ඉස්කෝලෙටත් අරගන්නව පගාව

මාටිය ගසනවා බස් කොන්දොස්තර මහතුන්
රැකියාවට කරයි සමහරු shop lifting
කබලෙන් ලිපට වැටිලා අසරණ දුගියන්
දිවි රැකගන්න සිදුවී ඇත එක වේලෙන්

කහට එකක් වෙනවා රුපියල් සීයක්
කිරි කහට නම් ගන්නව තව එක සීයක්
මාලු නැතත් පාන් එකක් වෙනවා එකසිය පණහක්
අඹ ගෙඩියකට ගත්තා එකසිය විස්සක්

කුඩු කාරයන් හැම තැනකම වැහි වැහැලා
හොර පොල් කඩනවා එලිපිට තගදාලා
තරුණියකට නොහැක යනු එලියට බැහැලා
කණකර කඩා ගන්නව හොරු මග රැකලා

එලවලු මාලු පලතුරු වස විස යොදලා
මහජනතාව රෝහල් භූමියෙ පිරිලා
බෙහෙත් ගිනි ගණන් පාමසි හිස් කරලා
හානිය කිව නොහැක කවියට කැටිකරලා

දිගටම පදිංචිව සිටියත් කැනඩාවේ
මගෙ සිත දුවනවා නිතරම ලංකාවේ
රටේ විනාශය දරුණුයි අත්දුටුවේ
හිතේ අමාරුවටයි සිව්පද ලීව්වේ
View Poem

චමිලා නවගත්තේගම - ලන්ඩනය

2023 පෙබරවාරි කලාපය

මුහුණු පොත

උඩ උඩ ඉදන් අඹරා ලණු බෝල පිටින්
දානවා ඉලක්කය බලලා සිනහ තුටින්
කබුරා සෙනෙහෙ පෑවත් අපි හතර වටින්
උතුරා ගලයි ඊර්ෂ්‍යා කුහක යටින්

පිල් බෙද බෙදා ඇයි මෙතරම් උඩ යන්නේ
වාසී ඇතොත් තලු මර මර රඟ දෙන්නේ
නාද හඩට බොරු සෝබන වැඩ වෙන්නේ
නෑද මතකෙ ඉතිහාසය වැට හෙන්නේ

එකෙක් ලියයි පෑනෙන් හැඩ වැඩ කරලා
අනිකා දායි ලෝකෙට පෙන්නා ගොතලා
මාන බලන සිංහල පරගැති නුඹලා
පාර සොයා ගනියව් පොඩි අපි තලලා

එදා වේල කන්නට නැති චුටි පැටව්
හිගා කකා යනවා දැන් සැපද කියව්
නිගා නොකර රට වට යන මෝඩ ඉලව්
මුහුණු පොතින් සේයා නොකර හිතට ගනිව්
View Poem

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

2023 පෙබරවාරි කලාපය

අයියා කෙනකුගේ ආයාචනයක්

නංගියෙ ඇඳපන්කො
මගේ .සමාධිය නොබිඳෙන්නට

රන් රුවන් ගලනා නිම්නයේ
හැර දැමූ කවුළුවෙන්
හංස විල ගිලෙන්න ද
අත වනන්නේ මට
නාභිය ද සලා වැටුම යි
මන බඳන බඳ තලාවක
ගලා යන නුරා ගඟුලක
හැර දැමූ දෙවටොර
ඇරයුමයි නුරා තොටට ම
වසා ඇත නුරා තොට
වසා නැති ගානට
නැති ව නිසි අවසර
තහනම් ය ඇතුළු වීමට

දැන දැන ම හරියට
මට රිදෙන තැන නුඹ
අහිංසක මට මෙහෙම
රිදවන්න දුක නැද්ද

හැමදා ම පෙනී මට
අත වනන කොට මෙහෙම
ලියන්නද කව් ගී
වනා හැඩ අඟ පසඟ

නිදොස් මි
නිකැලැල් මි
එපා දොස් කියන්න ට
මගෙන් වරදක් වුනෝතින්

බට කැලය ගිනි ලා
මගේ හිත කුප්පා
නුඹ නුඹ ම පුස්සා
ගත් කල
නොකියං මගේ දොස්
මගේ මැයි කිය කියා උස්සා

සහෝදර ප්‍රේමෙන් ඉන්න නං
ඇඳපන් මගේ සමාධිය නොබිඳෙන්න

05-06-2021

ගැහැණිය පුරුෂයන්ගේ චිත්ත සන්තානය කළඹමින් තවුසන්ගේ
සිල් බිඳිමින් ආශ්වාදයක් ලබන්නේ ද ?
එය ඇගේ සහජ උරුමය ද ?
එය ඉඳ හිට පාරා වළල්ලක් ද
විය හැකිය
View Poem

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

2023 පෙබරවාරි කලාපය

Motivational Therapy

මගේ පොඩි baby දැන් තාත්තා කෙනෙක්
පොඩි baby ගෙ වයසෙම පුතෙකුත්
හිටියාට නැහැනේ කවුරුත්
ඔහුව බලා ගන්නවත්,......
වැඩක් නැහැනේ,......
ආච්චි සියා දන්නෙ නැහැනේ
හතරැස් පැතලි පෙට්ටියට
ඇඟිල්ලෙන් අනින්ට
මහ වදයක් උන්දැලාට
ඉතින් පොඩි baby හරි ගෝරි,......
නෝනයි මහත්තයි දෙන්නාම
උදෙන්ම වැඩට ගියාම,......
හැන්දෑවේ ගෙදරට එන්නේ
Day care ,Play centers ,montisoori හැම තැනම ගම පුරාම
ප්‍රශ්නයට පිළිතුරු එතනම
ඒත්,..........
තවත් ප්‍රශ්නයක්,......?
කාටද......?
පන්සලේ ලොකු හාමුදුරුවන්ට
වැඩිහිටියන්ගේ ඉල්ලීමට
උදේ වරැවෙ Day Care එකක් අරින්නට
මාසික රැස්වීමේදී ඉල්ලීමට
කාටද,......?
වැඩිහිටියන්ට
හරි හොඳයිනේ
සාද,..සාදු, .....
ඇයි හාමුදුරුවනේ කවුද අපේ
වතු පිටි ගේ දොර බලාගන්නේ
හරි වැඩක්නෙ වෙන්ට යන්නේ,.....
සන්සුන් වෙන්න සැවොම
වියපත් දෙමාපියන් සැම
පොඩි දරුවන් වගේම
රැක බලා ගැනීම
වැඩිහිටි අපෙ කාගෙත් යුතුකම
සාදුකාර හඩක් නොඇසුණාම නෙමේ

28/1/2023
View Poem

චරිත් රණබාහු

2023 පෙබරවාරි කලාපය

මිරිඟුවක්

නිමක් කොනක් නැති වියලුනු කතරක
මිරිඟුවක් දුටුවා
අගක් මුලක් නැති සිතුවිලි සයුරක්
ඒ වටා ගෙතුනා
එවන් සයුරක ගිලී ඉන්නට සිතින්
පෙම් කෙරුවා
එහෙත් දෛවය හරස් වීලා
මා ඉවත දැමුවා

නීල අහසේ මා එදා දුටු
දේදුන්න මැකුණා
නොයෙක්වර එහි පාට හත මගේ
සිතට සිහිවූවා

පිපුණු හැම මල් කෙදිනකදි හෝ
මිලින වන ලෙසිනා
මා හදේ අතුරා තිබූ මල්
මටත් රහසේ මිලින වූවා
View Poem

චන්ද්‍රලාල් ද සිල්වා - තොටගමුව

2023 පෙබරවාරි කලාපය

නිදහස. - 75

කෝ පුතේ
නිදහසක්
හාමතේ නං
හිතත්.
View Poem

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

2023 පෙබරවාරි කලාපය

අවුලන්නෝ...!

කරුණකි මෙය 'මාක් ට්වේන්' මැතිඳු කියා ඇති...
දරුණු සටන් අවුලන්නෝ අප අතරම වෙති...
මැරුණ කලදි පිරිස් ගැටී උන් හට දුක නැතී...
තරුණ අයට බොහොම වටී, සිතමින් මෙය ගෙතී...

කඩියන් හා දිමියන් සියයක්
බඳුනක බහා...
එඩියෙන් බලමින් උන්නත්
කවුරුත් ඒ දිහා...
වැඩි වෙනසක් නොවේ එතුළ සටනක් නැත මහා...
හැඩි දැඩි වුන් සිටියත් මැරුමට ⁣නොසිතයි වහා...

සෙලවූවොත් කවුරුන් හෝ රැගෙන බඳුන වැරෙන්...
තුල වූ ඒ, කඩියන් දිමියන්
කැළඹී සැරෙන්...
පෙළඹෙන්නේ සටනට, අඬගසමින්
"හා වරෙන්...!"
වලකන්නට නැත කිසිවෙක්, බලා සිටියි හොරෙන්...

ජාති බේද කුල මල ඔය වර්ණ
වාද ඇදන්...
පාති නොහික්මුණු ගති මිනිසුන්ද රණ්ඩු හදන්...
ඥාති වුවත් අවුලන්නේ, සිඹිමින්
අප බදන්...
ඒ තියෙනා කුහක කමයි, 'ට්වේන්' ගෙමයි වදන්...

මරාගන්න පෙර අප සිතියුතු
ඇයි ඒ කියා...
කිරා බලා අසලම වන ගිණි
තියනුන් සොයා...
දරාගන්න හැකිනම් දේ, දිණනව
දිවි ඔයා...
සොරාට බෑ අවුලන්නට, තැත් දැරුවත් එයා...
View Poem

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

2023 පෙබරවාරි කලාපය

ලේ වවුල්ලු ෆිනෑන්ස් (Ltd)

ස්ථානය - අධිකරණය මීගමුව

පැමිණිල්ලේ නීතීඥවරිය- ස්වාමිණී ණය ගෙවීම පැහැර හැරීමයි චෝදනාව. ණය නොගෙව්වේ ඇයි ?

බැරිවුණා ණය ගෙවාගන්නට නැතිමකමටයි ඇත්තමයි

එකම සල්ලිය ලැබෙන මාසෙට පින් පඩියෙ එන සොච්චමයි

කලින් නඩුදින එන්න ලැබුණෙත් හාල් ඩිංගක් වික්කමයි

දවස් දෙකකුත් නොකා හිටියා ගෙදර තිබුණේ එච්චරයි

දුව ඉදිද්දී වෙලාවට ණය ගෙවන් එන්නට හැකිවුණා

ළමයගේ අසනීපෙ හින්දා තිබුණ සේරම නැතිවුණා

අපේ දුප්පත්කම නිසාවෙන් ගොඩගන්න නම් බැරිවුණා

තාත්තා ළඟ එයා දැන් ඇති මේ ලෝකෙ මම තනිවුණා

හරියකට ඇස් පේන්නෙත් නැහැ සුද ඇවිල්ලලු කියනවා

කාට කියලා කියන්නද හිත හදාගෙන දුක විඳිනවා

පිනෑස් කොම්පැනියෙ මහතුන් ණය ගෙවන්නැයි බනිනවා

මක්කරන්නද අහන් ඉඳලා පස්සෙ හොඳටම අඬනවා

අදත් ආවේ ණයට ඉල්ලන් පින් පඩිය ආවහම දෙනවා

හාල් ගන්නයි බෙහෙත් ගන්නයි ලබන මාසේ බැරුව යනවා

මේව හිතලම දවස් ගානක් ඔළුව කැක්කුම පපුව දනවා

අනේ නෝනේ හැමදාම මං හිඟන්නැතුවත් හිඟා කනවා

නොගෙව ඉන්නට හිතුවෙවත් නැහැ ආවෙ දිගටම කරදරයි

මගහරිනවා නෙවෙයි දෙවියනෙ දෙන්න විදිහක් නැතිකමයි

දිවුරන්නවත් දෙයක් මට නෑ කිව්වෙ ඇත්තයි බොරුනෙවෙයි

මාව මේකෙන් බේර දෙන්නකො අනේ මිස් මම අසරණයි

නීතිඥවරිය - ස්වාමිණී වෙනත් ප්‍රශ්ණ නැත.
View Poem

දීපා ද සිල්වා - ලන්ඩනය

2023 පෙබරවාරි කලාපය

අරුන්දතී තාරකාව

අඳුරෙ ඉකිය මකා ලන්න නුඹකුස ආවද
සදේ කැලුම් නැති අහසට මහමෙරක්ය නුඹ
පාළුව මැකුනද ගුවනේ හඳ ආ විට හෙට
නුඹේ මුහුණ බලා ගන්න විදියක් කිව මැන

පත් නැති දා කඳේ සවිය වූ අතු ඉති ටික
පරිස්සමට තුරු ලග ඉඳ , කිව් කවි සී පද
පින්න වැටී දිලිහෙන දළු හිනැහී එන විට
තනියට හිටි රිකිලි වසා පත් මතු වී ඇත

හිත අද්දර හීන ඇහිද සායම් ගෑවද
දිරූ ඉපල් දළුලන තුරු වාරම් කීවද
කදුළු කොපුල් සිනා කැලුම් කැන්දන් ආවද
අහිමි හිතක සෙනෙහෙ කුසුම් කෙලෙස පිපෙන්නද
View Poem

දිල්රුක්ෂි ගුණතිලක

2023 පෙබරවාරි කලාපය

භවන්තු සුඛිතත්තා

නේරංජනා ගඟ
දරා මහ කෙලෙස් කඳ
කන්තකගෙ ළය පැලී
දුටුවාම කුණු කන්ද

ඇසතු ගස බිම හෙලා
පාම් ගස් හිටවිනිද
ගස් බෙනය හැමතැනම
සොයනවා මුචලින්ද

නලාගිරි ගම්වැදී
රා කලය හිස් වේද
ගං වතුරෙ අර යන්නෙ
පටාචාරා නේද?

ආ ගමන දිග වැඩියි
පිපාසයි ආනන්ද
අප්පමාදව රකිනු
හෙටක් නැත,තිබෙයි අද.
View Poem

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව

2023 පෙබරවාරි කලාපය

~දෘෂ්ටි මායා~

අවදිවීමෙන් පසු
සිහිය එළඹෙන්නට පෙර ඇති
සුළු මොහොත තුළ,
මට අහිමි වූ දේ අමතක
නිමේෂය තුළ,
මට ජීවත් වන්නට ඉඩ දෙන්න

දුනුවායන් රැසකගේ ඉලක්කය
මා බව දැනී
රිදුම් එළඹෙන්න පෙර

කිණිසි දමා ගසන්නන්
සිය ක්‍රීඩා පුහුණුවට
මා තෝරාගෙන යැයි
දැනෙන්නට පෙර

කුණාටුවකට හසුව
දිය යට
මා හුස්ම සිරවෙමින්යැයි
දැනෙන්නට පෙර

නින්දත් නොනින්දත්
අතර ඒ ඉඩ තුළ
ජීවත් වන්නට ඉඩදෙන්න

අප තවමත් අපගේම බව
මටම කියාගන්නට ඉඩදෙන්න

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක
Translation of the poem 'Hallucinate' by Marianne David

ශ්‍රී ලංකික කිවිඳියක් වන Marianne David දශක දෙකක අත්දැකීම් ඇති ජනමාධ්‍යවේදිනියකි. දැනට ලංකාවේ ප්‍රධාන පුවත්පතක උප කතුවරිය ලෙස සේවය කරන ඇය, විවිධ සමාජීය කරුණු ගැන නිදහස් මාධ්‍යවේදිනියක් ලෙසද ලේඛනයේ යෙදෙන්නීය. ඇගේ 'All of the Oranges' කාව්‍ය එකතුව 2021 ග්‍රේෂන් සම්මාන උළෙලේ දීර්ඝ ලැයිස්තුගත විය.

Poet’s photo- www.theleader.lk
Original poem- www.orangegerberas.blogspot.com
Photo- www.unsplash.com
View Poem

වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

2023 පෙබරවාරි කලාපය

උපාසකත් අපායේ!

කයයි හිතයි වචනයි තුන එකතුවෙලා
පින් පව් දෙක ගොඩ ගොඩවල් එකතුකලා
යන කොට ගෙනියන්න ඉතින් ඕන නිසා
සිත පතුලේ පින් පව් ගොඩ නිදන් කලා

ඔන්න ඉතින් මාරදෙවිඳු සැපත්වෙලා
උපාසකට එන්න කියා කතාකලා
බෑ කිව්වත් බලෙන් ඇදන් අරන් ගියා
නිදානෙ තැන්පත් පව් පින් මතක් උනා

හිතුවත් කල පින් මතකෙට ගන්න කියා
පව් ගොඩකින් පොඩි පින් ටික වහන් වෙලා
සංසාරෙම කල පවු ටික හරස්වෙලා
යම රජු වෙත උපාසකව අරන්ගියා

යමරජු ඔරවා බලලා ඔහුගෙ දිහා
ගොරවා ඇහුවා නම ගම කුමක් කියා
නම ගම කිවුවම රජුහට හිසත් නමා
කල කී පව් රොත්ත ඔහුට මතක් කලා

යම පල්ලන් හත් අටකට කතාකලා
දෙන්නට ඕනෑ වද පෙල නියම කලා
පව් නෙවි මම පිනුත් කලැයි මතක් කලා
චේතනාව පිරිසිදු දැයි ප්‍රශ්න කලා

සතර පෝය සිල් ගත් හැටි මතක් කලා
සාංගීක දන් දුන් හැටි මතක් කලා
බණ ධර්මය ඇසු බවත් මතක් කලා
ඔහු කල පින් ගැන හඩ හඩ මතක් කලා

ලෝකෙට පෙන්නන්නට කල පිනක් විනා
පිරිසිදු සිතකින් කල පින් නැතැයි කියා
යම පල්ලන් කොන් හතරෙන් ඇදන් ගියා
රත්වෙන ලෝදිය හැලියට සැපත් කලා
View Poem

කමනිකා මොහොට්ටිගේ

2023 පෙබරවාරි කලාපය

සඳවතිය ....

නොනිම් තෙර සසර මඟ යනෙන කල්
සෙවනැල්ල වෙලා ළඟ හිඳින්නැති
දැවුණු ලොව නිවා මෙත් වඩන්නට
සඳවතිය පාර එළි කරන්නැති
දස පෙරුම් සමතිසින් පුරන්නට
සඳවතද නොසැලි දුක දරන්නැති
දෙපා මුළ වැටී ගිණි නිවන්නට
සඳවතිය මුදු ලෙසට මැවෙන්නැති ...
.
View Poem

කපිල කුමාර කාලිංග

2023 පෙබරවාරි කලාපය

උදුරාගත් හාදුව

කුරිරු CCTV නෙත් අතරින්
සොරා ගතිමි හාදුවක්
විඳින්නටත් පෙර එය හරි හැටි
සිහිවුණි
ජීවිතය මගෙන් උදුරා ගත්
පෙර හාදු කිහිපයක්

අතිරික්ත හාදුවක්
ඇවැසිමය කවියෙකුට
බැලීමි යළිත්
ඇය දෙසත්,වටපිටත්

බියපත් ඈ
හිස ඉවතට ගනී
මුදු ඇඟිලි තුඩින්
දක්වයි
ඒ කුරිරු රහසි නෙත

"බිය නොවන්න ප්‍රේමිය
පෙන්වමු අපි රැකවලුනට
පෙම් කරන හැටි "

සොරා ගතිමි
තවත් හාදුවක්
ඈ රත් කොපුලින්
හඬක් නැගෙයි
පසෙකින්
"මෙය පොදු ස්ථානයක්"
මම එරෙහි වීමී
උනට
මගේ හාදුව
පුද්ගලිකයි රහසිගතයි...

23/01/05
View Poem

කෞශල්‍යා ජයලත්

2023 පෙබරවාරි කලාපය

හද බිතු කීතු කළ රතු රෝස කටුවක්

ඒ රතු රෝස කුසුමට
දැන් වසර විසි තුනක් වයසයි
නමුත් තවමත් හද බිත
කටු ඇනී තුවාලය පෑරෙයි

මාත් නොදැන ම ඔබ මට
හොරෙන් පෙම් කර ඇති වග
දැන ගතිමි රෝස කුසුමක් අත දරා
ඔබ මා හමු වු එ'දවස

" යාළුවොත් එක්ක ඔට්ටුවක් දාල ආවෙ මං
දෙනවමයි කියල මේ රෝස මල ඔයාට"
දන්නවද පොඩි කොල්ලෝ;
මට තරහ ආවේ නහුතෙට
ඒකයි ගත්තෙ නැත්තේ
රෝස හද තත දෑතට

කුසුම දවටා
මා උර බෑගයේ පැති සාක්කුවකින්
මඳක් හිස ඇල කර
පැළඳි පෙම් මදහස කොල්ලෙක්
කුසුම පාගා තලා පොඩි කර වැරෙන්
පැළඳි සරදම් මදහස කෙල්ලෙක්

තෙතබරිත වී
සොවින් ලැජ්ජාවෙන්
ආපසු හැරී දිව්වා
හිරිමල් ඉලන්දාරියෙක් විගසින්
නමුත් ඉඳහිට තවමත්
ඇවිදියි මලක් රහසින්

උදා විය ඉන් පසු
හිමමය ගල් ගැසුණු කාලය
ගිනි කඳු නිදියනා තාලය

ඉපදුණි
මිතුරු උසුළු විසුළු ඉවසා
හිස නමා ගත් කොල්ලෙක්
රතු රෝස පාගා විසි කළ
වීර විකුමැති කෙල්ලෙක්

ඉතින් මගෙ පුංචි කොල්ලෝ;
මෙවර ආදර දිනයට
බිරිඳට රෝස මල් ගත්තද?
නැත්නම් ඔයා තාමත්
රෝස මල් එක්ක තරහද?
රතු රෝස පාට දුවෙකුත්
තුරුලේ හිනාවෙනව ද?
ඒ රෝස කටු ඇනී සීරුණු
තුවාලයෙ කැලලත් මැකිල ද?

හිත් නොරිද්දා අකමැත්ත පෙන්වන මන්තර
උගන්නා තාක් කෙල්ලන් කොල්ලන්
හද තත් කොනිත්තා රුහිරු වගුරන තත්පර
නිම නොවේ මිතුරනි හරිම පරිස්සමින්

පුළුවන් නම් සමාව දෙන්න
උද්දච්ච පුංචි කෙල්ලට
හිරිමල් පුංචි කොල්ලෝ!
View Poem

කමල් සේමගේ කතරගම

2023 පෙබරවාරි කලාපය

අහිමි ළමා විය...

පුතේ උඹ ලස්සනට දෙසන බණ අහන්නට

බුකියෙ උං පැහැදුනත් සුමධුරයි කියන්නට

ලමා විය අහිමි කර පැවිදි මග හරින්නට

මග කියා දුන් බුදුන් සොයමි දොස් තබන්නට
View Poem

කාංචනා පෙරේරා කපුගේ කොළඹ

2023 පෙබරවාරි කලාපය

බිඳුණු විසුරුණු හදෙහි...........

කෙළවරක සුසානය
දැක දැකත් නොහැරෙමි
මතක පාවඩ මතින්
හෙමි හෙමින් පිය මනිමි
ඇසග නැගි කඳුළු බිඳු
පොරි ලෙසම ඉස්මි
මිය ඇදුනු ප්‍රේමයේ
චිතකයට ගිණි ලමි.....

සබඳ මම නොනවතිමි

බිඳුණු විසුරුණු හදෙහි
නැවත පිරියම් ලමි. ..

කාංචනා පෙරේරා කපුගේ
30-01-23
View Poem

ලලනී ගීකියනගේ - රත්නපුර

2023 පෙබරවාරි කලාපය

මග අසන් !

ජීවිතය විඳගන්න තිබුනට
හිටියෙ නෑ නුඹ මා ලඟින්...!
එදා වාගෙම සුපුල් පියුමකි සදා ඒ මතකය දුරින්...!

සලා නෙතුපිය බලා ඉවතක ගියා නොව සක්මන්...!
දුලා දිවසළු එලා පාවඩ නෙලාගත් අවමන්...!

බලා දිවනෙත කලා සුවසෙත හදවතේ සක්මන්...!
වලා පෙල යට තිබේ සොඳුරුම
ජීවිතේ අභිමන්...!

සඳේ සාවිය බැස ගිහින්
සඳ මඩල අඳුරට බිලි දෙමින්...!
බිම් කරුවලේ නොසැලී හොරෙන්
දොර පියන් වැහුවා ගම් දොරින්..!

උණුහුමින් නොරැඳුව, මා පියන්
හැරදාම සෙනෙහස දුර ගිහින්...!
සිසි අරුන්දතියේ මග අසන්
අර ඈත අහසේ තරු වලින්...!

2023.01.21
View Poem

ලයනල් ගමගේ ඌරුමුත්ත

2023 පෙබරවාරි කලාපය

නිදහස් පැතුම

කටවල් බඳින පොටවල් නිදහස් කරමු
අටවන උගුල් ගලවා නිදහස් කරමු
වැටවල් නො ගහ නිදහසෙ එහෙ මෙහෙ දුවමු
රට දැය සමය ලොව බබලන්නට හරිමු
View Poem

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

2023 පෙබරවාරි කලාපය

අභිනික්මණට පසු.....

මගහැර නොයන බව දිවුරා කියුවාම
හිමකර සදිසි සිසිලස නිති බෙදුවාම
අතහැර සැවොම ඔය දෑතෙහි රැඳුනාම
ගොරබිර සසර දැක ඈතට ගියෙ කෝම

ඇහුවත් බණක් ඉඳහිට ලද විවේකයේ
ගැයුවත් දහම් ගුණ හැමවිට දිවාරැයේ
දැනුනත් කුසුම් පරවෙන බව අවාරයේ
සවිමත් ඇතැයි සිතුවෙමි පෙම ඔබේ ළයේ

පෙරුමන් පිරූ බිම්බා මෙන් නොම හිඳිමි
ගින්නෙන් වියෝ කන්නගි සේ හළු කරමි
සන්සුන් සිතැති කිඳුරිය කිසි ලෙස නොවෙමි
හඬමින් තැවෙමි මම වැරදිද යළි අසමි

තනිමග යන්න උගනිමි ගෙන වෙලාවක්
අතහැර දැමීමත් වෙනමම කලාවක්
සුළඟට කියා මින්මතු හැම කතාවක්
මුවඟට මවා ගමි යන්තම් සිනාවක්

ඉන් පසු,

සිතු ලෙස සසර කෙටි වෙන්නට පැතුම් පතා
මතු බව අතැර ලැබගන්නට සුවක් ඉතා
සිතුවිලි සිතට එන තදබැමි වලින් ඔතා
සතු බව ලොවට ඔබ මින්පසු ගනිමි සිතා

13.01.2023
View Poem

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2023 පෙබරවාරි කලාපය

දියණියකගේ ගීතය

දිළිදුකමේ කලු මේඝ තලා
පෑයූ අයුරු එදා
දිවිය අහසේ අනන්තයෙ සිට
දිරිය සෙනෙහේ සලා

සෙනෙහසට ඔබෙ නමින්
ගයමි මම ගී පෙමින්...

ඔබේ දෑතේ රැදුණු සළුපිළි
ඇගිලි පොරකා මැකුව හෙලුවැල
නිවාලන්නට අපේ කුසගිනි
උගෙන ගන්නට “අ” යනු “ආ” යනු
මැළි වුණා නම් නුඹේ හදවත
දහස් වර මැරී-මැරී ඉපදිනු
නොඅනුමනයි පියතුමාණනි!

සෙනෙහසට ඔබෙ නමින්
ගයමි මම ගී පෙමින්...

සුගුණ ගීයක් ගයන්නට මට
ලැබුණු ඇරැයුම අගැයුමක් විය
ඔබෙන් උදුරා ගතිමි දිවිහඩ
සොරකමට නොව සෙනෙහසින් ඔද
ඒ හඩයි මේ ඇසෙනුයේ
ඒ හඩයි මේ ඇසෙනුයේ!!

සෙනෙහසට ඔබෙ නමින්
ගයමි මම ගී පෙමින්!!!

1.02.2023
View Poem

මන්දාර ලියනගේ පර්ත් , ඔස්ට්‍රේලියාව

2023 පෙබරවාරි කලාපය

මනාපය

කාලය වෙනස් වී මල් පලබර වී
අපි හොඳටම හෙම්බත්වී
උන්ගේ බඩ කට හොඳටම පිරවී
ලේ වරුසා ඇද හැලේවී
ලෙයටම කට අයා පිට පොත්ත බඩ පොත්තටම ඇලවී
උන්ගේ ම නුවර මතින් උඹලා හරි උජාරුවෙන් වඩීවී
වඩින ගමන් උන්ගේම මනාපය අයදීවී
තරහව පිරි දෑසින් දෙවරක් නොසිතාම උන්ගේ මනාපය උඹලාටම පුදාවී
එය ඇබ්බැහියක් බව උන්ට නොතේරේවී
ඒ තරමටම උන්ගේම ජීවිත මනාප මතම යැපේවී
View Poem

මයුරි කොඩිකාර ගම්පහ

2023 පෙබරවාරි කලාපය

ජාන විකෘතියක්

හීන් හඬින් කෑ ගසනා බඩ පණුවනි අසාපන්
වාන්වෙලා ලිග්ගල් තුන පස් හින්දම බලාපන්
හාල් හුණ්ඩුවක් නැතිවම බඩ අකුලල නිදාපන්
මාන්දමට වාගෙයි ඇස් වළ ගැහිලද කියාපන්

පාන් නැතිලු කේක් කන්න කාසි ඇන්න දුවාපන්
ගාල් වෙන්නෙ අම්බරු රැළ දීනකමද බෙදාපන්
නාස් ලණුව දාගෙන උන් නැතිද කියල සිතාපන්
දාම් අදින ඉත්තො වගේ තම වරිගෙම නසාපන්

හාංකවිසියක් නොදන්න බහිරව කට පුරෝපන්
පාත් වෙමින් සුසුම්නාව දෙකඩ කරල පුදාපන්
ගාත් වලින් බඩ ගාගෙන දත නියෝන සිටාපන්
ආන් එහෙම පරගැතිකම ජානවලට කවාපන්
View Poem

වෛද්‍ය මංජුලා පියුමාලි ද සොයිසා

2023 පෙබරවාරි කලාපය

පරසතු මලට කවි ගී ලියැවණා වැඩී!

සිසි වන වුවන නාදළු වන් මුදු ලවන
නිසි පුළුලුකුල් පුන් ළැම නීල දෙනයන
ඇසි පිය හෙළන පමණින් නොවන දෙවඟන
ලැසි ගමනකට අන් සතු කවිම ලියැවිණ..

පිහ පිහ දා බිඳිති තැප ලිප බත සදන
ඉහ ඉහ සෙනෙහෙ සිය දරුවන් ටික වදන
ලිහ ලිහ ගැටළු හෙටකට සැනසුම බෙදන
සහකාරියට නැත වදනක් හිත හැදෙන..

සුර පුර මවා හිරයට ගත් පසුව රොඩී
උරුමය දිදී බිරිඳට දෙයි රිදුම දැඩී
පිරවිණි සිනා කට පැන්නම ගෙපැළෙ පඩී
පරසතු මලට කවි ගී ලියැ වුණා වැඩී
View Poem

මායා ගුණවර්ධන

2023 පෙබරවාරි කලාපය

අතීතය කුමට ද

අසිරිමත් බෝ ගසට කර අනිමිස ලෝචනය
මුනිඳුන් ති ලෝගුරු අපහට දුන් පණිවිඩය
සීමා වුනේ පුංචි කථා වස්තුවකටය
හේතුව නුඹම නොව මේ අබුදස්ස කාලය

උදයේ දහවල සවසම වෙර දැරුවේ
යන්නටයි හීනි පෙත්තටම සීරුවේ
වේනම් දෙයක්‍ සුදුස්සාටම අයිතිවේ
අන්අය කුමට ඒගැන මේ කසුකුසුවේ

හෙළ පහු උනාම කුමට ද ඒ හැරමිටිය
ඉරපෑයූ විටදි කුමට ද සඳ එළිය
මහිදන් කරනු මැණ ඒ කලු අතීතය
මූසිලයන්ට ගසනා වුන් පාදඩය
View Poem

මධුෂානි ඩයස්

2023 පෙබරවාරි කලාපය

මුල් ගල්

සුභ නැකත එළඹ ඇත,
පාන් පැල දල්වන්න
ඉටු දෙවිඳු පුදන්න
අපටම පියැස්සක් තනන්න
නමෝ විත්තියෙන්,
මුල් ගල තියන්න

මින් පෙරත් මෙතැනම,
කීයක් නම් ගල් බැඳෙන්නැතිද,
කීයක් පැල් කොට තැන්නෙන්නැතිද,
කොපමණක් කිරි සිනා නැගෙන්නැතිද,
ඇටකටුම කොපමණක්,
මිහිදන්ව යන්නැතිද...

තව සිය වසක් ගිය තැන,
තවත් මුල් ගල් මෙහි තැබෙනු ඇත..
අපේ මතකත්, ඇටකටුත්,
ඉතින් මිහිදන්ව තිබෙනු ඇත...
View Poem

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

2023 පෙබරවාරි කලාපය

කුරුළු මන්දිරේ

යළිත් වරක් කුරුළු ජෝඩුවක් ඇවිදිල්ලා
අපූරුවට චූටි හොටෙන් කෑලි ගෙනල්ලා
නැකැත් බලා පාන්දරින් එහි වැඩ අල්ලා
හවස් වෙන්න පෙර සෑදුව ගේ මනලොල්ලා

ඇඟේ තරමටත් වැඩියෙන් ලොකුයි ගෙනා කොල
පුංචි වුනත් හිතේ තියෙන ලොකු දහිරිය බල
මිහිරි පැතුම් පොදිබැඳගෙන ආදර හිත් තුල
කූඩුව නිමකරනාතුරු උන් නැහැ කලබල

ගිය පාරත් මෙහෙම ඇවිත් සෑදුව කූඩුව
අතැර ගියේ පැටව් හතර දෙනෙක් සමග නෙව
ඉගිල්ලෙන්න තටු සලමින් උන් හැටි දැඟලුව
බලා ඉද්දි හිතට දැනුනෙ පුදුම තරම් සුව

අගේට හැදු කූඩුවෙ එළිපත්තට ඇවිදින්
උජාරුවට වටපිට සිරි නරඹනවා උන්
මෙහෙම තැනක් වෙන කාටද ලැබෙන්නෙ සිතමින්
ඉන්නා පාටයි පෙනෙන්නෙ උන් සිත සතුටින්

සැකක් නැතිව චූටි පැටව් ගොඩක් හදාපන්
දුකක් නැතිව ඉන්නට හැකි බවම සිතාපන්
කුමක් වුනත් මැද සාලේ - සතුටින් ඉවසන්
නොවක් පැතුම් ඉටුවෙන හැටි බලා හිඳිමි මන්
View Poem

මායා ගුණවර්ධන

2023 පෙබරවාරි කලාපය

කිරිල්ලියක් මම

කිරිල්ලියක් මම - කිරිල්ලියක් වාගේ

ඉගිලෙන්නට තටු - ඉගිලෙන්නට තටු - නැවත ලැබුනා වාගේ

හිස් අහසේ තනි වළාකුළක නැග පාවෙන්නට ඕනේ

කුරුලු ඇසින් මට - කුරුලු ඇසින් මට- ලොව දකින්න ඕනේ

දුටුවා දවසක් අම්මා කෙනෙක් අනේ අහස බලා සිටියා

ලගට කරන් මම ඇහුවා ඈ ගෙන් මොනවද ඕනේ කියා

සිනාවෙලා ඇය මාහට පැවසුවේ

චපල හදක් ඇති සැමියා ගෙන්

ඈ දැන් නිදහස් කියා

දුටුවා දවසක් චූටි දුවක් අනේ අහස බලා සිටියා

කණට කොඳුරා ඇහුවා ඈ ගෙන් මොනවද ඕනේ කියා

සිනාවෙලා ඇය කණටම ළංවී මට රහසක් කිව්වා

මලක් තලන්නට ආ හොර ඹබරෙක්

ගුටිකා පැනලා ගිහින්

දුටුවා දවසක් මහළු මවක්අනේ අහස බලා සිටියා

ඉගිල්ලිලා ගොස් ඇහුවා ඇයගෙන් මොනවද ඕනේ කියා

සිනාව රදවා ඇය කිව්වා මට

අන්තිම සුසුම හෙලා

මිහිදන් කරන්න මේ මගෙ කුණු කය

ඈ හැදුු දරුවන් හැර ගොස් ඈව මෙදා
View Poem

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා - High Wycombe - UK

2023 පෙබරවාරි කලාපය

සමත් /අසමත්

මව් කුසේ උණුසුමට ගුලිවෙලා සිටින විට
කඩිමුඩියේ දෙමව්පියෝ ඉන්න තැන මාරුකොට
ලඟම ලිපිනයක් ගෙට සොයාගෙන පාසැලට
වින්ද වේදනා මට නැතුව ඇති දැනෙන්නට

උදේ පාසලට යමි හවස ටියුෂන් එකට
දුවමි ගිල දමා පොඩි වූ බනිස් කට දෙකට
ඉක්මනින් ළමයෝ අපි පරක්කුයි පංතියට
අම්මගේ දේසනා හුරුයි දැන් මගේ කණට

සහලෝලා උණ අපොයි යන්න බැහැ පංතියට
විස්සෝප වෙලා ඇය නැහැ වගක් මගේ ලෙඩට
හිමින් සීරුවේ ගොස් පසුම පෙළ වී කොනට
පංතියේ වැඩ ලියාගෙන ඇවිත් දුනි මෙමට

එකේ (1) සිට පටන් ගෙන රටා වල ඉලක්කම්
ගුරුතුමී කියාදෙයි මවන හැටි හපන්කම්
මගේ සිත වෙල්යායේ කරන විට සෙල්ලම්
කෙලෙස සන්සුන් වෙලා පංතියේ සිටින්නම්

ප්‍රශ්න පත්තර පොත්ද මේසයේ පුරාවට
කිසිත් නොපෙනේ මාව යටවෙලා පොත්වලට
වෙහෙස වී යොමුකලා සිත ඉතින් පාඩමට
ඇඟිලි තුඩු රිදෙන තුරු ලිව්වා මම විභාගෙට

දන්නවද ශිෂ්‍යත්වේ ප්‍රථිපලත් පිටවෙලා
මුහුනුපොත පුරාවට නම්, රූප ගොනුවෙලා
වෙනදා මෙන් නැහැ එලිය ගෙදෙර අඳුරට වෙලා
ඇය හූල්ලන හඬත් සුළඟටම මුසුවෙලා

නැහැ කලේ සෙල්ලම්, දුකයි මගේ පොඩි හිතට
මුළු දවස ළමා කාලය ගෙවුනා පංතියට
"අ " යන්නත් පෙරගමනේ නැතිව එක (1) ලකුණකට
නොහැකිවිය මව් මුහුණේ පුර හඳක් මවන්නට
View Poem

නිරන්ජන් සෙල්වදුරේ - සිඩ්නි - ඔස්ට්‍රේලියාව

2023 පෙබරවාරි කලාපය

කඹේ කොටයි …


මා දින පතා
ගසක බැඳ ඇතා
ඔබ නිතර​ දැක ඇතා
මං පන්සලේ ඇතා

පින් නැති නිසා ඉපදීලා සත්ව ලොව​
මව් නැති නිසා හැදුනා මා පින්නවල​
දළ ඇති නිසා එව්වා මේ පන්සලට​
පින් ඇති මහතුනෙ වෙනවද​​ මට පිහිට

බෝ ගහ මුල වැඩ සිට
තන්හාව දුරු කොට​
මෙත් කරුණා පතල කල සත හට
ඒ සම් බුදු ගුණ නොදැනේය​ මා හට

මහ වෙහෙර​ අසබඩ බෝ ගහ පෙනෙයි මෙතනට​
බැඳි කඹේ කොටයි නොපෙනෙයි බුදු පිලිමෙ මට​
ඇත් ගොව් මහත්තයො ඔබ මෙහෙ ඇවිත් හෙට​
බැඳපන් මාව අතනින් බෝ මලුව යට​

සත් හිංසාව​ ඇද්ද ලියවී බණ පොතට​?
අලි ඇතුන් මොටද පන්සල්වල පෙරහැරට?
බැඳි කඹේ කොටයි නොපෙනෙයි සදහම් ඔබට
මෙත් සිත් වඩමි යහතින් බෝ මලුව යට
View Poem

නිමල් අබේසිංහ - කඳාන

2023 පෙබරවාරි කලාපය

අපි නොදන්න මල්

මිහිරි සුවඳ විහිදාලයි පිපි කේතකි මල්
සිහිල දසත පතුරුවනා කුන්ද සමන් මල්
සිතට වදින නෙතට අඳුන හෝපලු වන මල්
අරුණැල්ලේ හිනැහෙන්නී විල්දිය නිලුපුල්

අතට ලඟයි සිතට සුවයි කානේෂන් මල්
රතට හුරුයි ඇස පිනවයි වැවේ තඹුරු මල්
විතට රහයි රස මුසුවයි එරබදු ගස මල්
ගතට සුවය ලැබදෙන්නී සෙව්වන්දී මල්

බමර තුඩට වුවත් විෂයි රුක් අත්තන මල්
මලක් නැතිය ගසේ පිපෙයි කියති පනා මල්
කොයි මොහොතෙත් දුක් මුසුවකි අඬන හිරිය මල්
අතේ පයේ නියපොතු වල පිපෙනා නිය මල්

සිඳු පතුලේ ගල් මත්තේ සැදෙනා ගල් මල්
ගම් තුලාන විනාශයට පීදෙන තල මල්
මල් පූජාවට නැතිමුත් කංස ගසේ මල්
ඉලව් ගෙටත් මඟුල් ගෙටත් නැතිවම බැරි මල්

බිම වැටුනත් පුදට ගනී සේපාලික මල්
සමහරුන්ට බිය දෙන්නකි රෑ කඩුපුල් මල්
පැණිත් නැතිව අයාලෙ යන මලයි වරාමල්
මත් සළෙලුන් සොයා යන්නෙ රෑ පූදින මල්

උදේ හවා නෙත ගැටෙද්දි සුදුවෙන කරමල්
පැණි ඇතිනම් අපිට යසයි ඕන කෙහෙම්මල්
අවලස්සන වුවත් රසයි පොළොවේ බිම්මල්
මලුත් නැතිය ගසුත් නැතිය ඒවා කම්මල්

පිරිත් පැනට මල් යහනට ගන්න පුවක් මල්
කොලපුවකින් වහන් වෙලා එරන් තැඹිලි මල්
රස වෑහෙන පැණි වෑහෙන කනෙයියාවෙ මල්
ගහක් උඩින් මුවෙක් පැනපි ඒත් කෙහෙල් මල්

ඇස නොගැටිම මියයානම් ඒව කැලෑ මල්
ගේහ දිවිය සරුසාරද සිරි යහනේ මල්
එවන් විටදි කඩා වැටේ මදසනිනුත් මල්
ඒ මොහොතේ සුවඳ දැනේ වෙරළු ගහේ මල්

අධික සුවඳ ගඳක් වුනත් කිඬාරනුත් මල්
හිතේ මැවෙන හදේ මැවෙන ප්‍රේමණීය මල්
කේශ කලාපය වාගෙලු රෑණ කිතුල් මල්
යට ලීයේ පූදිනවලු නාරිලතා මල්

වධක බෙරේ හඬ තාලෙට නැලවෙන වද මල්
අසලක වත් නොසිටිය යුතු බාඳුරාය මල්
සුවඳ ලදොත් විනාශයකි එතන කපුරු මල්
පාට මිසක සුවඳක් නැති විච්චූරණ මල්

මල් හාමියි මල් මැණිකෙයි දෙදෙනාමත් මල්
හෑන්ඩ් ෆෝන් එකෙන් පවා කඩන්න හැකි මල්
දිවිය ලෝකෙ පිපෙනවාලු හොඳ පරසතු මල්
ඉතින් අනේ කියනවාද අපි නොදන්න මල්

ලඟින් ගියත් ඇඟේ ඇලෙන තුන් තුත්තිරි මල්
අඩි සද්දෙට පවා සැලෙන නිදිකුම්බා මල්
අපි ශුද්ධයි උදම් අනන කහ පඳුරේ මල්
උදක බිඳක් නොලැබුනහොත් මැලවී යන මල්

හිතේ මිසක ගසේ නොමැති අත්තික්කා මල්
තවුසන් ගේ දැහැන් බිඳින නාරිලතා මල්
කොයි බමරා ආවාමුත් සිප ගන්නා මල්
එහෙව් රටේ තව කොයින්ද අපි නොදන්න මල්
View Poem

E.W.S.Nayagara

2023 පෙබරවාරි කලාපය

People are amazing…

I don't know how anyone can think that someone who has never hurt or harmed them, should be hurt or harmed…

Why are people are so mean?

But,

Among this kind of people…

There are some people who are happy to see that someone else has something that they don't have…

Those people are like lotuses blooming in mud…

I think that everyone wants to meet good people …

If we try to be a person who has honest and pure thoughts inside ourselves…

Then we will meet good people all the time…

In other words…

A flower blooms beautifully without envying another flower…

Flowers are very beautiful…

If we don't do evil to others and don't think evil thoughts, how beautiful will this world be?
View Poem

නිශාන්ත ප්‍රීති සෙනරත් - ලන්ඩනය

2023 පෙබරවාරි කලාපය

නිදහස කොහෙද අභිමානෙන් සමරන්න ?

ලෙඩ්ඩුන් මැරෙනවා නෑ බේතක් ගන්න
බඩු මිළ ඉහළ යය් බැහැ පඩියෙන් කන්න
පාසැල් යන්න බෑ නෑ පෙළපොත් ටික ගන්න
තරුණයො විද්වතුන් යය් රට හැර යන්න

බදු ගහනවා නෑ පඩියක් ගෙනියන්න
ණය ගන්නවා රට උකසට විකුණන්න
ගොවියන් වැලපෙනවා පොහොරත් නෑ ගන්න
මිනිසුන් හඬනවා බැහැ ජිවත් වෙන්න

හොරු රජවෙලා හරි සන්තෝසෙන් ඉන්න
මිනිසුන් පව් ගෙවය් ඇඬු කඳුළෙන් ඉන්න
නායක හැත්තගේ හිත් ටික සනසන්න
නිදහස කොහෙද අභිමානෙන් සමරන්න
View Poem

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

2023 පෙබරවාරි කලාපය

සීතල තත්පරයක්

බසයක ආවත් රිලා වෙසින්
පිට වෙමි ගිනි මකරෙක් විලසින්
විමසිලි වනුදෝ වපර ඇසක්
අසරණ බව හැඟෙනා මොහොතක්

මග අයිනක මා මිතුරකු රඳවා
ඇඟපත සෝදිසි කරනව දුටුවා
මොන අරුමය සිදු වෙනවද මන්දා
මේ කරුමය කවදා නිම වේදා

ඇතුළ පිටත ඇති ගැටළුව හඳුනා
ලිහා දමන ලෙස මදුරව කියනා
පාර එහා පැත්තෙන් මට ඇහෙනා
දම් පදයක හිත නතර වුනා

දූපත් ⁣මනසේ ගැටළු කෝටියයි
දවාලෙ හීනත් වයිවාරන්නයි
ආඳා වල්ගෙන් ගත්තම තේරෙයි
බෝට්ටුවෙන්වත් ඉගිලෙන්නයි

12.01.2023
View Poem

ප්‍රීති රන්දෙණිය

2023 පෙබරවාරි කලාපය

ඉසුරුමුණි පෙම් යුවල

ඉසුරුමුණි පෙම් යුවල
ගලේ හිටියම ඔහොම
කියන පෙම් කතන්දර
අනේ අපි දන්නවයැ

රජුගේ අන්තංපුරෙට
ගෙන ආව නොයිදුල්ම
ගල් වඩුවාගෙ දූ
බිසෝදැයි මේ ඉන්නෙ
කොහෙමදෑ අපි දන්නෙ

අවුරුද්දේ දින ගනන
ටත් වඩා බිසෝවරු
හිටියා නම් මහරජට
මේකිගෙ න් රොන් ගන්න
බැරි වුනා දැයි දන්නෙ
උඩ ඉන්න දෙය්යොමයි

බිසෝවරු කොටු කරන්
හිටියා ට මහලූ රජ්
උන්ගෙ සිරුරෙන් නැගුණු
රාගයේ ගිනි සිලුව
නිවන්නට අසමත් ව
ඉන්න ඇති සත්තටම.

එකෙක් එක දවසටලු
අවුරුද්ද ගෙවෙන තුරු
යලි එන්නෙ කවදාද
ගනින්නැති ඇගිලි තුඩු
පිච්චී ලා බුකෝගන
බලන් ඉන්නැති නේද
අනේ ඒ බිසෝවරු

මේ කෙල්ල බාලයද
අනේ කොහොමද දන්නෙ
බලාගෙන ඉදලා ම
ඇති වෙන්න ඇති ඈට
ආවෙ රජ සැප ගන්න
උන්නෙ විරවී ඉන්න

බැරිම තැන අශ්හලේ
ආදරය දකින්නැති
කොල්ලාගෙ පසු පසින්
හඩ හඩා පිස්සුවෙන්
දිව්වාද දන්නෙ නෑ
මේ අලුත් පෙම් වතී

රාජ උදහස තරම
මත් වෙච්ච බිසෝ දැක
නොසිතන්න ඇති නේද
මහෝඝය සේ රාගේ
බුර බුරා නගින්නැති
සැනසෙන්න ඇති නේද
එක ම එක මොහොතක ට

අනේ කරුමෙක මහත
මාලිගෙට දුවන්නට
කලින් ගල් පඩිය ළග
කැපෙන්නැති හිස් දෙකම
අපි දිහා බලාගෙන
තාම උන් ගල් වෙලා
අනේ අපි දන්නෙ නෑ
ඉසුරුමුණි ගම් පියසෙ
වෙච්ච ඒ පෙම් කතා
ආදරෙද ...රාගය ද...

27.1,2023
View Poem

පුෂ්පශාන්ත සමරනායක මොරටුව

2023 පෙබරවාරි කලාපය

එකගෙයි මනාලිය කී කව...

එක්ව කැන්දා රැගෙන ආ
නෑ, පරපුර...
ආදරය කඩ කඩා දී
කැබලි කර කර...
ලොවට හංගා දවන හිත
ඇති කරදර...
ගැහැණුන් ද පිරිමින් ට
සතුටක යන්තර...

දේපළක හිමිකම්
පතා පරපුරට...
වසා හද හිර කලත්
අඩවන් දොරට...
හිමිකමක් මිස අයිතිය
නොදන්නා කුසට...
කුමට පින් අනුමෝදනා
පින්තාලියට...

දරුවාට පිය හිමිකමත්
කර භංග...
මාරුවෙන් මාරුවට හද
උඩ නැංග...
උන්නත් මහතුනේ ලොවට
හංග හංග...
නිරුවත්ය හැමදාම ඔය
පුරුෂ ලිංග....
View Poem

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

2023 පෙබරවාරි කලාපය

‘ලන්ඩන් කවි’ දොරට වැඩුම

වියත් දනන් රැස්වූ කවි සභාවකී
අලුත් පොතක් දොරට වඩින වෙලාවකී
මහත් ඇදුරු දෙසුමත් දැන් සවන් වැකී
කවිත් අසා ජන නැටුමත් බලන් සකී

පෙඳහි රසය හඳුනන සුදනන් අතරේ
කොළඹ යුගයෙ සුපතළ කවි රස පැතිරේ
සමත් කවි කිවිඳියන්ගේ පැදි රස අතරේ
අළුත් කවින්ගේ කව් රසය ද පැතිරේ

ලන්ඩන් නුවර වෙසෙමින් කවියට නැඹුරූ
හෙළ කවි දනන් එක් කර සාදා පවුරූ
කරනා මෙහෙවරට හෑගොඩ නම සොඳුරූ
අනුරට පිදේ කවි හද පිපි මල් පොකුරූ
View Poem

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2023 පෙබරවාරි කලාපය

තාත්තෙක්

තේම්ස් නදියට පහළ
කැඩුණු පාලම් සෙවණක් යට
චුරු චුරු වැස්සට තෙමෙමින්
සිටියේ.. ඒ මගේ තාත්තා ය

වටකුරු වලාකුළු, ගිටාරය අතට ගෙන
ගයන්නට සැරසෙනා මොහොතක
ඔහු සිනාසෙයි
තෙමෙන්නට හිත හදාගෙන

පාරෙන් එපිට රෝහලෙන්
පාර පනිනා අපට
නන්දෙසින් එන ජනකාය අතරේ
පෙනෙන්නේම ඒ රුව

දිගු නිහැඬියාවකින් අනතුරුව
යළිත් ඔහුව නෙත ගැටුණු දවසක
පාද දෙක එක් පාදයක් වී....
ඒත් ඒ මූණේ පියකරු හිනාවක්මය

"රත්තරන්...ගෙනියමුද තාත්තව ගෙදරට?"
විදුලියක් කෙටීමෙන්
වලා යහන දිය වෙමින් වැක්කෙරිණ
මගේ අත හා බැඳී තිබූ ඔහු අත
සම්ප්‍රේෂණය කරෙව්වාවත්ද
අප අතර නිහඬ තත්පර

මගේ පියා යැයි සිතුවාට
ඒ ඔහුගේ ඩැඩී ය
නැත...නැත... අපි හැමෝගෙම තාත්තා ය
View Poem

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

2023 පෙබරවාරි කලාපය

රබරෝසියා......

වසන්තය උදා වූ සෙයකි ඒ තුරු හිසට
දසන්තය පුරා මල් විකසිතව
එක ලෙසට
දිගන්තය සරා එන බමර
කැළ ඒ රසට
විලස සිත පෙම් බඳියි
රබරෝසියා ගසට.

පැතුම් මල් රැසක් සේ
ජීවිතයෙ තනි රැකට
දරාගත නොහැකි නම්
මේ කැකුළු මේ ගසට
පිපී මොහොතක් නොරැඳ
වැටී මේ හිස් බිමට
පිපෙන්නේ ඇයි පැතුම්
ජීවිතයෙ මේ ලෙසට.

මිහි මවගෙ සෙනෙහසින්
නුබ කුසය සිඹින්නේ
හරිත පත් විහිදුවා
නෙතට සුව සදන්නේ
තුරු හිසේ සොඳුරු වූ
රුසිරු මල් දරන්නේ
සැනින් ඒ සුවඳ මල්
බිමට ඇද හෙලන්නේ.

ජීවිතය වගෙයි අපෙ
ගසකි රබරෝසියා
පැතුම් මල් පිපි විගස
මිහි මතට ගෙන ගියා
දෙරණතින් ගත් සුවඳ
ඔබම ගන්නට කියා
අනිති ජීවිතය සිහි
නඟයි රබරෝසියා.
View Poem

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

2023 පෙබරවාරි කලාපය

කෙදින ඈ වන්නී....

අක්බඹරු වැනි මුහුල
එකතු කර බඳින්නී
බිඳී ගිය කැඩපතට
නෙත් කැලුම් හෙලන්නී
සිනාසෙන ඇඳිවතේ
රිදුම් පිරිමදින්නී
නිමා නැති මෙහෙවරට
යළිත් පිය මනින්නී..

පුතුගෙ පොත් ලැයිස්තුව
නෙතග ඉඟි මරන විට
දියණියට හිර ඇඳුම්
නෝක්කඩු කියන කොට
සවන් පිස ලන සුසුම්
රැළි ලමින් නැගෙන විට
සිතින් පාවී ගියා
බඹ ලොවින් මනු ලොවට..

දුකම සැප කොට වැලඳ
දිවි පාලු මකන්නී
හෙටක් හෝ ජීවිතය
කුමක්දැයි නොදන්නී
පාලු ගෙයි තුළ වලං
හදවතින් බිඳීන්නී
සිත නොමැති කය දරා
සයනයේ නිදන්නී..

හෙට හතරෙ කණිසමට
නොවැරදී ඇහැරෙන්න
කප්පරක් සුමේ කොට
වැඩපලට දිව යන්න
රතු ඉරට ඉඟි මරා
මැෂිමකට පණ දෙන්න
නැති දිනක හැකිවේවි
රස රහස් පවසන්න.
View Poem

රංජිත් ද සිල්වා - නවසීලන්තය

2023 පෙබරවාරි කලාපය

පුබුදු වදන්

උන් ඔක්කොම යාලුවෝලු
ඒ වුනාට.... උන් ඔක්කොම අපේ හතුරෝ

දන්නවාද ... උන් දන්නැති බව
හඳුනන්නේ නැති වුනාට - අපි ඔක්කොම යාලුවෝ බව
ඒ හින්දයි....
එක දිගටම - එක පෙලටම
පාර දිගේ ඇවිද ආවෙ - ජූලි මාසෙ නව වෙනිදා

පාසල් පෙළ පොතේ පවා - මෙහෙම ලියා තියෙනවා
සියලු බලයෙ උල්පත - ජනතාවයි
ජනතාවගේ හද නිම්නෙන් - කවදාවත් නොසිදෙන්නට
ඒ උල්පත මතු වෙනවා

ජන බලයේ අනුහස් රැස් - මතු දිනයක මතු වෙන දින
පාලකයිනි අද උස් - අසුන් දරා වැජඹ සිටින
ඔබ වෙනු ඇත වින්දිතයින්
යකඩ කූරු බදා සිටින - සිපිරි ගෙයක කූඩුව තුල

26 ජනවාරි 2023
View Poem

රන්ජන ආරියරත්න

2023 පෙබරවාරි කලාපය

කුඩයක තනිව තෙමෙමි එක්ව

නාදුනන සගය
ඇසුනිද නුඹට
ඒ විසුළු සිනහව
කුඩ අතැතිවුන් නැගුව

වැසි සිත්තරා අදින
"දරිද්‍රතා රන්ද්‍ර" සිත්තම දැක
නුඹ කමිස පිට මත
මැදින් මද මැවෙන

කුඩයකට යටව
සිනාසෙමි මමද

සිතින් වැළඳගෙන නුඹව
දිලිසෙන පිළියමින්
වසාගෙන සිටින
උන්ගේ බොරුවට......
View Poem

රන්ජන ආරියරත්න

2023 පෙබරවාරි කලාපය

අළුත් අවුරුද්ද

කැප්පෙටිය අතු
මිටකට
සිහින් උණ හිස
හිරකොට
මවක් අමුනයි
හනිකට.....

නැවුම් සුවදැති
ගෘහයක
හිමිසඳත් නැති
මොහොතක
මවක් හිරවී බරැති
සුසුමක.....
View Poem

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

2023 පෙබරවාරි කලාපය

රුපියලේ බාල්දුව

ගහයින්ටත් දැනෙනවා
ඔී: නමෝ ලක්ෂ්මී!
මාර වැඩේනේ
ලක්ෂ්මිලා දෙන්නේක්
දෙපැත්තෙන් ඇවිත්
අරගෙන මගුල් තුලාවක් පුතු හට
පුතුගේ කේන්දරේ කුජ දෝෂය
දෙන්නාටම හොද නෑ
කාන්තා පාර්ශවයේ
බැරිද ගහයන්ට කියලා
ෂේප් එකක් දාගන්ඩ
ගහයෝ මොනවා කියයද
දන්නේ නැ
කෝකටත් කියලා අරන් එනවා
රත්රන් සුරයක්
සල්ලි වලින් රුපියල්
ලක්ෂයක් එක්ක
ජිවත්වෙන්න ඕන නම්
දැන් රුපියල
ගහයන්ට වටින්නේම නෑ.
රුපියලේ බාල්දුව
ගහයන්ට දැනෙනවා.
View Poem

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

2023 පෙබරවාරි කලාපය

නික්මන

දරාගත නොහැකි තැන
නුඹේ මුනිවත ළඟ
නැගෙන තුස් සුන් හැඟුම්
මහද
වාන් දොර හැර දමමි
දැන දැනම
තැලෙන බැව්
අප දෙහදෙ
සිතුම් වැලි ඉවුර

රිදෙන බැව් දනිමි මම
මටත් වැඩියෙන් නුඹට
එබැවින්ම නික්ම යමි සබඳ
අත් නොහැර ඒ මිහිරි මතක

නුඹේ තනි නොතනියට
මගේ තනි නොතනියට
අතීතය වේ නිතර ළඟම

සැඟවගමු යළිත්
පොත් අතර

බලනු මැන ඉඳහිට හෝ
ඈත කඳුකරය දෙස
සඳ පහන් රෑ මැදක තනිව
නිවි නිවී දැල්වේවි
මගේ නිවහනෙ පහන්
කුරුටු ගාමින් ගෙවන රැයක..
View Poem

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

2023 පෙබරවාරි කලාපය

සිත් තුනක්

දිනිඳා සිතිජයේ සැගව යන සඳ
සැදෑ අඳුරට ඉඩදෙමින්
තුරුළු වී හුරතල් වෙවී සිටි
සුවඳ විඳ විඳ හදවතින්
ශේෂ කර ඒ මතක සේයා
ගිහින් නොවැ දීගෙක වෙනින්
මගේ නොවුනට කමක් නෑ නුඹ
අදින් පසු ආයෙත් ඉතින්

සඳේ අයිතිය අහසටයි නිති
එළිය මිහිලිය ගතේ එතුනත්
විලේ දිය ඒ විලට හිමිමුත්
දියට හිමි නැත නෙළුම් පිපුණත්
ගඟේ දිය ගඟටමය අයිතිය
දෙවුරු සිඹ සිඹ නිතොර ගැලුවත්
ඔබේ අයිතිය ඔබටමයි නිති
කවුරු අයිතිය පතා සිටියත්

නටුව අග මල් කෙසේ පිපුනත්
ගසට ඒ මල් හිමි නැතේ
ගසේ වැල එති එතී සිටියත්
වැලට නැත අයිතිය ගසේ
පොළෝ ගැබ නිල් මැණික් සැදුනත්
මැණික් මිල පොළොවට නැතේ
සිතක් සිත ළඟ නතර වූවත්
සිතට යා හැක හිතු මතේ

සිංහ වෙස් ගෙන දැඟලුවත් නරි
හූ හඬින් අසරණ වෙතේ
සුසර වෙන තරමටම තත් සර
නාද වීනාවෙහි නැතේ
කතර කොතැනක රහිත මුත් දිය
සිසිල වෙද සරතැස මුවේ
ළඳුනි නුඹ කා ළඟට ගියෙමුත්
චපල ගති මතුවෙනු ඇතේ

කූඩු තැනුවත් පියාඹා ගොස්
ඈත දුර නෙක දෑ ගෙනත්
කූඩු වෙති අන් විහඟ රැජිණියො
කලට බිජු දැමුමට අවුත්
හඳුන ගත්පසු වරද නිවරද
කරන්නට නොහැකිව තවත්
වැරදි කළ අය විදිති දඩුවම්
සොබා දහමෙහි බල මහත්
===================-====
කලාභූෂන කිවිපති
ඩබ්ලිව් කේ සරත් විමලසිරි
(අ.ත.ක ස හිටපු සම ලේකම්)
========-===============
View Poem

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය

2023 පෙබරවාරි කලාපය

හිස් වූ හිස්

හිත් පිරුණු මිනිසුන් හිත් බිඳුනු සිත්වලට

ඉනිමං බැන්දට

හීන හැබෑ වෙච්ච උන් හීන පැතූවන්ට

හිත් මල් පැලැන්දූවට

ජීවිතය සපිරූ උන් දුක් විඳින උන්ට

අත් දාහක් දුන්නට

ඔය කී නොකී සමහර උන් දුන් අත්

හපා කන්නෙ අමු අමුවට……

උන්ගෙ දාහක් උවමනා, වචන වලට, අකුරු වලට , ඔවා දමට මිටි කෙරුවට

දවස් ගනන් දුක් වෙවී, වරු ගනන් උන්ගෙ

වැටුනු හිත් වලට වාරු දුන්නට

අත මිට මොලවපු දම්පාට කොල පාට

කොලවල පාට අමතක වුනාට

දුකයි ඒත් උන් දන්නෑ ඔය බඩවඩන කුඹිකම ඉදිරියෙ කර්මය ඇතෙක් බවට!..…….

12/01/23
View Poem

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

2023 පෙබරවාරි කලාපය

උගත් පාඩම්

දොර පළුවකින් හිරිකඩ පැමිණියා වැනී
ඔහු මුළු ලොවම එක බැල්මෙන් මගේ වුණී
අහුමුලු කිසිත් නොසොයා ආදරය දුනී
දිව සළු ඔතා ගෙට ගත්තේ මලක් මෙනී

ආ මග දෙපස තිබුණත් කටු ඉති එමට
ඒ තුරු සිහිල වින්දෙමි රැකවරණයට
කෑවත් එකක් හැර එක වේලක් කුසට
මා ළඟ හිඳී පෙම්බරයකු තනි කමට

යන්තම් දුකක් දැනුනත් ඉඳහිටක හිත
ඉන්නම් හොඳින් ඉවසා දුර බලා නෙත
තහනම් රහට හෝ සවිබල කමට ගත
යළි නම් කඩුව නොතියමි වැද්දෙකුගෙ අත
View Poem

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

2023 පෙබරවාරි කලාපය

ජූලියස් සීසර්ගේ මැජික් පුටුව

උගුල්ලා දමමි බෝ දෙන කෙස් කැඩුව
කොහොල්ලෑ බබෙකි ඇලෙනා මහ පුටුව
අතුල්ලා පස්ස පුටුවේ දුක නැසුව
කැබැල්ලෑ ගුලකි අද ඉත්තෑවාවකු නතුව

ඔසවා තබන්නේ නම් පුටුවේ දිනක
ගලවා කකුල් ඔබනෙමි ඇවිලෙන ලිපක
දෙඩුවා වහසි බස් තැන් තැන්වල කොතෙක
මැකුවා සැනින් මතකයවත් නෑ හිතක

පුටුවට මැජික් ගොඩවි අනුහස් පිරුණ
කිසිවිට බැස නොයයි පුටු ජුලියස් හදන
කටුවට වහල්ලට නැතිවෙක් යම් දිනක
පුටුවට නැගුනොතින් !!! විමසුම කුනු ගොඩක

ජය වඩනා පුර මඩුවේ බාස්වරු
සය වසකට වරක් පුටුවට ගසයි කරු
සිය ඇස් වසා නිදි කිරනා කතකි ගරු
ඔය අය මුරේ පුටු කඩනා කතා බොරු

හැදුවේ ජූලියස් බාසුයි ලොකු පුටුව
දුටුවේ බෑනන්ඩි කළ දුටු වල ඉසුව
පුටුවේ සවි වඩයි කඩ කඩ මහ අටුව
පූරුවෙ පවකි ගුල්ලන්ගෙත් දත් නැතිව
View Poem

වෛද්‍ය සුමුදු ඉරසිංහ - සමර්සෙට් - එංගලන්තය

2023 පෙබරවාරි කලාපය

ප්‍රේමනීය තාරකාව ......

ඈත අහසේ දිලෙන තරුවේ
දවල් දවසෙම කිමද කෙරුවේ
වැඩත් ගොඩ වී උදේ වරුවේ
දැනුයි ඩිංගක් හුස්ම ගත්තේ ...

සිනාපිරි මුව දිලෙන සිරියේ
මං එතැයි නුඹ බලන් හිටියේ
ඊයේ රෑයම නිදිත් වැරුවේ
හාංකාවක් දැනුනෙ නැතියේ...

පාළු කපමින් නිස්කලංකේ
විමසමින් හිඳ නිසොල්මන්සේ
හද විවර කර හැඳින රහසේ
මවයි සහසක් හැඟුම් සිත්සේ..

ලෝකෙ කැරකී බමණ වේගේ
අපිත් පස්සෙන් වැටී හැල්මේ
නිසංසල හැඟුමින් සඳැල්ලේ
හෙටත් නුඹ එනතුරු ඇසිල්ලේ ...
View Poem

Sanjaya Priyadarshana Sri Lanka

2023 පෙබරවාරි කලාපය

“The beggars are not allowed”

For the Innocent boy in the corner of the bus queue

I remember his face
Again and again I saw
A knelling bell shape
Like a dry leaf eaten by termites
Sitting in the corner

The lanky figure a dumb sitter
No one lean to let any prize
Only a Peck of smile
One word for an hour only
“Please sir’ ”Madam”

All bookish theories dissolved
When I see his semi brightened eyes
They seek our heart all the time like
A great magnet

One bright morning I thought to have a talk
With the bubble a minute
The place was empty full of dust and dirt
A notice was hanged on the short wall

“The beggars are not allowed “
View Poem

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

2023 පෙබරවාරි කලාපය

පින් මද වැසි බිඳු...

අහස සොරාගත් ජල බිඳු
මේඝ වලා තුළ දුක් වෙයි
මිහිකත හා එකතු වෙන්න
වැස්සක් වී බිමට වැටෙයි

ලලනාවක් නිවෙස කරා
ඒ වැස්සේ ගමන් කරයි
නොවී විසාකාවක් ඇය
හනිකට පා මාරු කරයි

අහසින් වැටෙනා දිය බිඳු
හිස තෙමමින් දෙපස ගලයි
දෙකණ පැළඳි තෝඩු මතින්
දෑත් යුගල වෙත එළඹෙයි

කුංකුම තිලකය බොඳකර
නාස් අගින් දෙතොල් තෙමයි
දෙඅදර වත්සුනු පොඟවා
නිකටින් ලමැදට පිවිසෙයි

හිසට නොවැටෙනා වැසි බිඳු
උරහිස් මත සෙමින් රැඳෙයි
වැලමිට පහළට රූරා
පුලුලුකුලේ හැඩ නරඹයි

වරලස සිප ගත් දිය බිඳු
නිතඹ කරා දිවගෙන යයි
නවතින්නට ඉඩ නොලබා
දිය රේඛා වලට හැරෙයි

සේලය අග කොන දැවටී
දෙපයේ මතුපිට එක්වෙයි
හනිකට පිය නගන දෙපා
සමගින් නිවසකට ඇදෙයි

සිඹිනට යළි මිහිකත් මව
ඔවුනට අයිතිය අහිමියි
මිරිවැඩි ගැටි පාපිස්සක
වැහිබිඳු නිහඬව බොඳවෙයි

-
View Poem

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර

2023 පෙබරවාරි කලාපය

වෙනස්කම් නැති වෙනස් සිතුවිල්ලක්

කැලෑ මල් වුවාට වැට ඉමේ පිපුණු
පැහැය හා හැඩය තුල වෙනස කිම දැනුණු
මිහිතලෙන් හිරු රැසින් අවැසි දේ ලැබුණු
හැඩට පිපි මලක් නම් මලක් සේ දකිනු

ගම් ගොඩේ නගරයේ තැනින් තැන පිපුණු
ලපටි මල් කැකුළු වැනි දරු පැටවූ සිටිනු
කිරි හිනා පිපෙන කළ මුව පුරා පෙරුණු
කිම වෙනස් වූ සිතින් නෙත් බැලුම් හෙලනු

මිහිතලේ හැම කොනක පෙති හෙමින් පිපුණු
කැකුළු මල් පෙති මතැති සුමුදු බව රකිනු
ලපටි මුදු හිත් පුරාඇදී බෙදුම් ඉරි මකනු
එක ගසක පිපුණු මල් ලෙස සුවද විදිනු
View Poem

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

2023 පෙබරවාරි කලාපය

සමුගෙන ගිය සේන අම්බලන්ගොඩ කිවිඳු

කවියෙකු සේම ගත්කතුවරයෙකු පසිඳු
ජෝතිෂවේදියකු ලෙස කිත් දෙශ විහිදු
කිවිසර සේන සිත් මල් රසයෙන් පිබිදු
සමුගෙන ගිහින් සිටි කවි නුබ දිලි තරිඳු

එක යුගයකදි අත්වැල් බැදගෙන මනසින්
කළ කී දේ ඇතේ පොත්පත් වල දහසින්
ලොව හැර ගියත් ඔබැ කාටත් හොර රහසින්
යළි අප එකතුවෙනු නියතයි පෙර විලසින්

කුසුමක් මිලින වූවන් එහි රැදි සුවඳ
සිපුගත් සිත් සතන් ව්ඳ විඳ ඇත නිබද
සිත් මාළිගා ඔපවත් කළ ගති සුහද
ඔබ මිය ගියෙද පවතී විස්වයෙ විහිද

කවි මඩු වලදී හා සාහිත මුළු වලදී
අපි හමුවුනෙමු නිරතුරු සතුටින් පෙරදී
මතකය ඒ අතීතය වියැකුණු කළදී
ඉරහඳ වගේ පවතී දිවි මඟ තුළදි

පොත්පත් ලියු ඔබ පත්තර සමග රැදී
සත්තයි හෙටත් පවතී සිත් සමග බැදී
මිනිසෙකු මියගියත් ජීවත් වෙන තුරදී
කළ කී දේ පමණි පවතීන්නේ නොසීදී

හදවත් දිනූ ඇත්තෝ කඩිනමින් මෙසේ
සමුගනු කිමැයි පුරවා කඳුළැලි දෑසේ
කාගේත් ලොවේ ජීවිත අනියතින් වැසේ
කවදා ඒ අඩුව පිරවෙනු කියනු කෙසේ
View Poem

සම්මානී විජේසිංහ

2023 පෙබරවාරි කලාපය

සන්නාලිනී

මෝටරයටම හුරුවී
දෙපා සළුපිළි මැස්ම
ජීවිතය ගෙත්තමක් විය

පෙරලමින
ඉන හැඩය
අත් කටය,කරවටය
නොලිහෙනා ගෙත්තමකි
රැ මැසූ ජීවිතය
රැළි ඇඳුම් හැඩ සාය
එකම සැරසිල්ලකි
සිතුවම
රටට නිමි ඇඳුමකි

පෙම්වතුනි නුඹලාගේ
කන් කෙඳිරිලි හඬට
යටපත් නොවෙයි කිසිදා
දෙපා යට මෝටරය
තොදොල් පෙම්බස්
විනිවිද ඇසෙයි මට යළි යළි
මෝටරයෙ ගොරහැඬි
ජීවන විලාපය
View Poem

සෙව්මි ලෝචනා ලියනගේ - රෝමය

2023 පෙබරවාරි කලාපය

අම්මට කඩදහි කෑල්ලක්

හිර මැදුරු කවුලුවෙන් මහ ගෙදර බලාගෙන...
ලියමි මේ හසුන් පත දෑස් කොන් පියාගෙන...
ජීවිතේ නොදුටු තැන් ලස්සනට කියා දෙන...
ගුරෙක් නැත ඇරෙන්නට කාලයම කියා වෙන...

උගුර කට ලේ රහට හැරෙනකල් ඈගේ...
මයෙ අම්මා එපාමයි කිව්ව මේ දීගේ...
දැන් මටත් පොලඟන්ට වහ කදුරු වාගේ...
ප්‍රමාදයි දැන් ඉතින් සරණක් ද කාගේ...

පෙන්වමින් මයෙ ඇහැට නොපෙනුණු පලුද්ද...
කී දොහක් වෙන්නැති ද ඈ මට විරුද්ද...
කරුමෙකට මට තිබුනෙ නාහන පුරුද්ද...
දුර ගියා වැඩි වුණා වයසේ වැරැද්ද...

වස් දි දී ඇඬුවාට නැහැ කිසි ම ඵලක්...
පණ දෙන්න බෑ නැවත මැරුණාම මලක්...
නුබට පිං පෑදෙන්න අම්මෙ කප් කෙලක්...
එවාපන් හොඳවැයින් තැල්මකට තෙලක්
View Poem

සචී ජයවර්ධන

2023 පෙබරවාරි කලාපය

රතු පාට දවස්

කාන්සිය අපුල්ලන තාලෙට
හීනියට ඇදහැලෙන විස්කි shot එක
වාත්තුව ගානට ඇද්දෙනකොට
පාළුව හිනස්සයි පපුව අඩියටම

හෙන ගැහෙන dull රෑ මැද්දෙත්
මද කිපුණු රෑ අහසේ වතුර මල් යට ඉඳන්
දාර සුළි සුළං අස්සෙත් මී වද බැදන්
පැණි පිරුවා අපි - කතා lot ගණන් මුමුණමින්

පේන කියවපු රතු කොටු ෂර්ට් එක
ඒක වනසපු කළුපාට ලේස් මල
හීන පුපුරපු Facebook photo එක
තාම මතකයි රතු කුඩේ යට සරසවිය….
View Poem

ඩී.කේ.එච්. සම්පත්

2023 පෙබරවාරි කලාපය

ආදරණීය අම්මා වෙත

සමාවෙයන් අම්මේ
ටංක පෙට්ටියෙන්
උඹේ මගුල් සාරිය ගත්තට
ඒක විතරයි දිග තිබ්බේ
ඉස්තෝප්පුවේ බාල්කෙට
නිසල මයෙ සිරුර
සතපන්න කියාපන් සීරුවට
අහලපහල උන්ගෙ තදියමට
රිදෙයි නූපන් පැටියට
නොයා ඉන්නට
හිතුවනම් වැලි කතරට
කාසිවලටත් වැඩි දෙයක්
රැකගන්ට තිබුනා උඹට
ආසයි එක් වරක්
දියණිය වී එන්ට
ඔය උකුලට
උනත් නූනත්
ආයෙනම් කැමතිම
අප්පෙක් නැති උපතකට
View Poem

සුසී ජයසේකර

2023 පෙබරවාරි කලාපය

සමාජ ශාලාවෙහි රැයක්

නා නා විධ වස්‍ත්‍ර
නෙක නෙක විදුලි බුබුළු මතින්
දිලිසෙන රැයක්
මධු බඳුන් සලං හඬින්
ගැටෙන වරු තුනක්
අඟන රැඟුමින් ඔකඳව
ගත සිත පොබයන රැයක්
ප්‍රේමයට විල්ලුද පාවඩ
එළන මොහොතක සුවක්

බහු රූ කෝලම් රටා මවමින්
සංගීත කොත්තුවකට
නටත් බලවත්තු සහ බවලත්තු
මුදල් විසිකර රවුම් කැරකෙන
සල්ලාල රෑ කෙමක්
අවසන
පිහි ඇනුම් පාරවල් හත අටක්
මේස පුටු ගුවන්ගත වුණු හැඩක්
මුදලකට යට වුණා එදා රෑ
මිනිමැරුම් නඩු දෙකක්

2023.01.03
View Poem

සුලේඛා විතානගේ

2023 පෙබරවාරි කලාපය

බහු භාර්යා

ප්‍රතිබිම්බයේ ඇස් අග
තැවරුණු දුක දකිමි
සපත්නී රෝෂය ඇවිළුනි
විසක් වී සියොළඟෙහි ඉහිරුණි

අඳුන්ගා ඇහි පියන් සරසමි
දෙතොල් මත රත් පෑ තවරමි
වදන් එකමෙකක් හෝ නොදොඩමි
නුසුන් වූ ශෝකයේ කිමිදෙමි

සරින් සියුමැලි සිනා කිංකිණි
වැරෙන් උහුලන රිදුම් ඉමිහිරි
පුළුල් උරහිසක බර තෙරපුනි
සුපිෂ්පිත පයෝධර සැනසුනි

අඩවන්ය ද්වාරය නොවසමි
නෙතක් හීතලයක්ව නික්මුණි
හොවා හිස වැළඳ ගත නැළවුනි
මහිමි හා තී යහන්ගතවුනි

නිවා ලූ නොහී ඇවිළුනි ගිනි
විනාශය වෙතට හද නතුවිනි
පරාජය සෙමෙන් සිසිලස දුනි
හඬා නොවැලප එතැන නවතිමි

2023/01/24
View Poem

සුධර්මා වීරක්කොඩි

2023 පෙබරවාරි කලාපය

ඔබ දුන්නු ආලය

හිතේ ගෑවුන මතක පිසදා
සුසුම් පා කර යවන්නම්...
සිහින අතරේ රිදුම් තවරා
වචන වල පණ පොවන්නම්...

හිතේ නලියන මිහිර ඔප කර
කදුලු වැල් වල ලියන්නම්
ගලන පිණිවල ඔතා මල්පැණි
සුවද මැද රස විදින්නම්..

මතක අමතක නොකර සිතුදම්
මුතු පොටක පළදවන්නම්
නොපෙනුණත් ඔබ දුන්න ආලය
උණුහුමින් සිත දරන්නම්...
View Poem

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

2023 පෙබරවාරි කලාපය

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී.හේරත් සමුගනී

:දශක අට ඉක්මවී යන සද
දිවිසැරිය නිම කළ කලා මිණ
සදා හිඩැසක් තබා ටෙලි හිස
බැබළවූ ටෙලි වේදිකා මඟ
ස්පර්ශ කළ සිත් අනේක වු
මනා සල රූ කතා පෙළ මැද
සබඳ කේ බී හේරත් පුරා සඳ
බැසැ ගොසින් සාහිත 'ඹරෙන්
අනෙක රන්තරු පිරිවරා සිටි
පාරමී දම් මුල් තිරෙන්
එදා ඉසිවර අසපුවෙන්
ඇවිත් ඉංගම් මාරුවට ඔහු
පුවත ගජමන් නෝනගේ පෙර
අළුත් මානයකින් දුටූ
එකතුවී සක්විත්තෝ සමගින්
ලියූ රචනා මනෝරම්‍ය වූ
දෙතුන් සියයද ඉක්මවූ
අනේක වු සිත් සැනසවූ
මුලින් දෙලොවක් අතර නම්වූ
පළමු ටෙලි නිර්මාණයෙන්
අසීරු වු ගමනකට පිය නැගු
සුනිල් වන් මේ විද්වතාණෝ
සුදු කරල් දොන් ජුවන් සමගින්
නාට්‍යය ස්වතන්ත්‍ර පෙළකින්
හෙළ කලා කෙත සරුකළේ
ජීවිතේටම එක් වරක් හිමි
නාට්‍ය කීර්ති සම්මානයෙන්
පිදුම් ලබමිණි ජාතියේ
වියත් ගුරුවරයකු ලෙසින්
දිගු කලක් තුළ කැපවෙමින්
දැයේ සරසවි අසපු පෙළකම
ඇඳුරෙකුව කටයුතු කළේ
නැණැස පාදන බිහිදොරක් වී
දූ පුතුන් හට උරදෙමින්
නුගතුරක් සේ සෙවන දුන්
මල් දමක් මෙන් සුවඳ දුන්
වේදිකා වට බලය දුන්
පුංචි තිරයට ජවය දුන්
අතැර ගිය තිර රචකයානණි
ඔබට යළි මේ රටට එන්නට
වරම් හිමිවේවා!

30/1/2023
View Poem

ශ්යාමලී ගමගේ

2023 පෙබරවාරි කලාපය

සඳ

සදේ නුඹ රැව දුටුවා මා...
ඇති තරමි තරැකැට මැදින්..
පුරා සදටම පෙමිකලා මම..
රැයපුරා නොනිදා තුටින්..

පියාඹන්නට ආස හිතුනත්..
හිතේ හැටියට ඉගිලිමෙන්..
පියාපත් නැත සවිකරන් මම..
බලා හිදිනෙමි නුඹේ නමින්..

ඵන්නේ කවදද ඵක්කරන් මා..
කුඩු වන්නට නුඹේ ලගින්..
නුඹේ උණුසුම මතක් වනවිට..
කඳුලු වැගිරෙයි නෙතු අගින්..

2023/01/29
View Poem

තුෂාරි ජයසිංහ මහනුවර

2023 පෙබරවාරි කලාපය

පෑගෙනා මල් පොකුරු.

වීදි කොන කාණූ ගැට්ටක
ඉපදිලා සුවඳ දෙන
පෑගෙනා මල් පොකුර
තබමි අල්තාරය පාමුල

නමක් නැති තාරකාවන්
පිපෙන විට තුන්යමට
විකසිතව දිලුනෙ නෑ
හිරු මුවාවිණි සඳට

වෙරලු මිණි සිරි අරන්
සිත්තමක් අඳිනවා
ම්හි මවගෙ සළු පොටේ
ඉහිරිලා කිරි පින්න

චන්ඩවම සටන් වැද
කුස පොත්ත අවුළුවන
ගිනි කඳක් නිවන්නට
හැකිද දිය කලසකට

සරණ හිමි නොවුණු තැන
දෙපා පොඩි රිදෙනවලු
ජීවිතේ මාවතේ
ඇනෙන කටු පාවඩට

වැතිර සිඹිමි පා යුග
යොමනු මැන නීල
දෙනයන
වඩිනු මැන දෙවිඳුනි

රැක ගන්න හනිකට
දියත සොඳුරුම මල්
විකසිත වන්නටත්
පෙරම මියැදෙන

2022.12.24.
View Poem

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

2023 පෙබරවාරි කලාපය

නෑයෝ පිනක් රැස් කර ඔහු වෙත යැව්වා

උදයේ පටන් දවසම වෙහෙසී අව්වේ
විඳ දුක් කඳුළු මැද ඔහු ධනයයි සෙව්වේ
ධනයෙන් සැපත ලද හැකි යැයි සිත කිව්වේ
එනිසා ධනය පසුපසමයි ඔහු දිව්වේ

උගුරට දෙකට හනිකට තේ එක බිව්වේ
අත දරුවටත් නැත හරියට බත කැව්වේ
වළකා ප්‍රමාදය බස් එක වෙත දිව්වේ
පොල්ලේ එල්ලිලයි යන්තම් මඟ ගෙව්වේ

රෝගී මවටවත් නැත බෙහෙතක් පෙව්වේ
සැප දුක පියාගෙත් නැත කිසිලෙස සෙව්වේ
වැඩපල කරමිනුයි මුළු කාලය ගෙව්වේ
කෑමට වත් නොමැත වැඩකට තිත තිව්වේ

නෑකම් සහෝදර හිතවත්කම් සෙව්වේ
නැතිමුත් තමාගේ දේ ගැන නඩු කිව්වේ
අල්ලපු වත්තෙනුත් අල්ලා වැට ගැහුවේ
සතෙකුට වත් නොමැත එන්නට ඉඩ තිව්වේ

මරණෙට මඟුලකට නැත කාලය ගෙව්වේ
වෙනකෙකු අතේ වත් නැත සතයක් යැව්වේ
දුටුවිට සිඟන්නෙකු විගසට දොර වැහුවේ
රැස්කර ගන්නමයි නිතරම සිත කිව්වේ

පිනකට දහමකට නැත ගත සිත නැව්වේ
අද සැප නොවිඳ හෙට ගැන සිහිනම මැව්වේ
නොසිතූ විලස දිවි හැර පරලොව දිව්වේ
නෑයෝ පිනක් රැස්කර ඔහු වෙත යැව්වේ
View Poem

ටානියා එදිරිසිංහ

2023 පෙබරවාරි කලාපය

නූතන කුවන්නාගෙන් අසමි

නා දල්ල වගේ නුඹේ තොල් පෙති
ආලවක යක් මුවින් තැලුවද ?
හංස යුවලක් වගේ දෙතනේ
එරුණු රං කිරි බිමට වැටුනද?
දිගු නීල නුඹේ පිරුණු වරලස
අවුල් වී විහිරිලා තිබුනද ?
අසරුවාගේ ගමන අවසන
මොණර කොල සයනයට වැටුනද ?

ඉක්බිතිව , ආලවක සුදු ඇදුම් ගත සරස ගත්තද ?
මාලිගාවක් වගේ රථයක නැගී ඔහු ඉගීලී ගියාවද ?
සුදු පැහැති නුඹේ වත මඩල මත තැලුම් කෑ රතු පුල්ලි තිබුනද ?
බරැති සුසුමක දුකක් සිරකර කදුලු හොර රහසේම වැටුනා ද ?

මලක් වගේ නුඹ පිපී එද්දී හොරුන් ඒ මල නෙලා ගත්තා ද ?
නමක් නැති ලේ කලයක් නුබේ කුසේ හෙමි හෙමින් වැඩුනා ද ?
කුවන්නා වගේ නුඹේ පරපුර නුඹව මහ මග තනිකලාවද ?
උපන් කිරිකැටියා රකින්නට , නුබේ ගත සළු ලෙහී වැටුන ද ?

(දූෂණයට ලක් වී දරු ගැබක් ලද ,ඒ සිදුවීම නිසා සිය නෑසියන් අහිමි වූ , ඉක්බිතව උපන් දරුවා රකින්නට අබිසරු ලියක් වූ , ඒ රූමත් නන්නාදුනනා සොයුරිය වෙනුවෙන් ලිව්වෙමි )
View Poem

උපාලි අත්තනායක මහනුවර

2023 පෙබරවාරි කලාපය

ආකාසේ යාලුකම

ආකාසෙන් හඳුනාගත්
ජීවිතේට දැකලත් නැති
කවදාවත් ඇසුරක් නැති
අවකාසේ සැරිසරනා
සිහින ලොවින් මවාගත්ත
තනිකම මග හැරගන්නට
ඇතිකරගත් ලෙන්ගතුකම
විවරවුනේ යටිසිතෙන්ද
කවදාවත් නොදුටු මලෙන්
රොන් ගන්නට සිතුනේ ඇයි
මල නොතලා රොන්ගන්නට
ඔබේ සිතින් ඉඩ දුන්නද

රොන් නැතුවට අලංකාර
මල් සරසයි හැඩට රුවට
ලස්සන තිබුනට මල්වල
බිඟුන් එයිද රොන් ගන්නට
View Poem

විමල් ඇම්. ගමගේ

2023 පෙබරවාරි කලාපය

මනෝරම්‍ය සිහල දීපේ

නොඉල්ලාම ඇය දුන්
හාදුවේ සුවඳ
තවමත් තියෙනවා
සේදී නොයාම

ඇය බෝඩිං කර හදවතේ සිදුරක
කීකරුව අම්මාගේ බසට
තවමත් සොයනවා නොනැවතීම
පිරිසිඳු සිහල බොදු
කුල කුමරියක් සරණෙට

දුටොත් ඇය දිනයක
දකින්න ආසයි
නළලෙ ඇඳි කළු පාට තිලකය
රතු පාටින් දිස්නෙ දෙන එක

දසක තුනකටත් ආසන්නයි
තවමත් තියෙනවා නළල් තලයේ
සියුම් හිරියත් සමඟ
ඇය දුන් ඒ
එකම හාදුවේ සුවඳ
View Poem