ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කුරුළු මන්දිරේ

කුරුළු මන්දිරේ

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර
2023-February

යළිත් වරක් කුරුළු ජෝඩුවක් ඇවිදිල්ලා
අපූරුවට චූටි හොටෙන් කෑලි ගෙනල්ලා
නැකැත් බලා පාන්දරින් එහි වැඩ අල්ලා
හවස් වෙන්න පෙර සෑදුව ගේ මනලොල්ලා

ඇඟේ තරමටත් වැඩියෙන් ලොකුයි ගෙනා කොල
පුංචි වුනත් හිතේ තියෙන ලොකු දහිරිය බල
මිහිරි පැතුම් පොදිබැඳගෙන ආදර හිත් තුල
කූඩුව නිමකරනාතුරු උන් නැහැ කලබල

ගිය පාරත් මෙහෙම ඇවිත් සෑදුව කූඩුව
අතැර ගියේ පැටව් හතර දෙනෙක් සමග නෙව
ඉගිල්ලෙන්න තටු සලමින් උන් හැටි දැඟලුව
බලා ඉද්දි හිතට දැනුනෙ පුදුම තරම් සුව

අගේට හැදු කූඩුවෙ එළිපත්තට ඇවිදින්
උජාරුවට වටපිට සිරි නරඹනවා උන්
මෙහෙම තැනක් වෙන කාටද ලැබෙන්නෙ සිතමින්
ඉන්නා පාටයි පෙනෙන්නෙ උන් සිත සතුටින්

සැකක් නැතිව චූටි පැටව් ගොඩක් හදාපන්
දුකක් නැතිව ඉන්නට හැකි බවම සිතාපන්
කුමක් වුනත් මැද සාලේ – සතුටින් ඉවසන්
නොවක් පැතුම් ඉටුවෙන හැටි බලා හිඳිමි මන්