ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

“මුහමාලේ සුළඟ” හැමුවා

“මුහමාලේ සුළඟ” හැමුවා

වෛද්‍ය බෝධිනී සමරතුංග - ස්වීඩනය
2023-February

හද ගැහෙන හඬින් කොඳුරා

මුහමාලේ සුළඟ හැමුවා

පණ පිටින් වැළලි මිනිසුන්

නගන සෝ සුසුම් දැනුණා

අහස ගිනි අරන් දැවෙමින්

යගුළි මහ හඬින් වැස්සා

පණැති නැති සියල් සුන් වී

ලෙයින් තෙත්වෙලා නිවුනා

සිත් බිඳෙන සුසුම් හංගා

මිහිකතින් හුස්ම නැඟුනා

මේ කතා දරා දවටන්

මුහමාලේ සුළඟ හැමුවා

රැය පුරා දවල් එළි මැව්

යුද්ධයේ සැරින් දැවුණා

කාලයක් පුරා පැසවන

සුසුම් හරි බරට දැනුණා

මුහමාලේ සුළඟ හිත මත

දිය කරන කඳුළු අමුණා

මවුන් කොයි දෙසේ සොයනා

පැටව් ඉකිබිඳිනු ඇසුණා

උතුරෙ වාගෙම දකුණෙත්

මළ ගෙවල් බොහොම තිබුණා

අයිතියක් නොමැති පොළොවට

බෙදී බෙදී දරුවො නැසුනා

පණ පිටින් වැළලි මනුසත්

සෝ සුසුම් හොරෙන් හංඟා

උස් පහත් වෙමින් පස් පිඬු

පොළොව හුස්ම ගනු පෙනුනා….

පසු වදන – ශර්මිලා විනෝදිනී විසින් රචිත මුහමාලේ සුළඟ කෙටි කතා සංග්‍රහය කියවන අතර ලියූවෙමි. (සිංහල බසට පරිවර්තනය – ජී ජී. සරත් ආනන්ද විසිනි )

පින්තූර සැකසුම – නුවන් තරංග වික්‍රමගේ