ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිදහස

නිදහස

ආරියරත්න ජයසිංහ - මහරගම
2023-February

එක් කුඩා දිවයිනකි
නිදහස්ය නිවහල්ය මනරම්ය
අතීත ශ්‍රී විභූතියෙන් ඇළලුනිය

මහා චතුරශ්‍රයක් වෙ‍යි එහි අගනුවර
නිදහසේ නාමයෙන් නම් ලද

උත්තුංග පිළිමයකි එහි
නිදහසේ ප්‍රතිමාව යැයි නාමෝපලක්ෂිත
මුව අයාගත් සිංහයෝ
අතින් ගත් කඩුපතින
රකිති පිළිමය සතර කොණ

සැඳෑ හිරු බැස යත්ම
පියාඹා විත් කාකයෝ
ලගිති පිළිමයේ හිස මත
වර්චස් හෙලා එය නහවමින

ගන අඳුර ගලනවිට
යදියෝද දුගියෝද ඉහට හෙවනක් නැතිව
එලා වැරහැලි කඩමාලු
හෙවන යට පිළිමයේ
ලගිති එළිවෙන තුරුම

වසරකට එක් වරක් පැමිණෙන
මහා උත්සවයක් වෙයි එහි
නිදහස් දින නමින ජාතික
උත්සවශ්‍රීයෙන් ඇළලී යයි එදවස

නිලදරුවෝ පැමිණ
පලවා හැර යදියන්ද දුගියන්ද
සෝදා හැර කපුටු වසුරුද
නංවා ධජ පතාක සේසත්ද
ආචාර වෙඩි මුර මැද
සමරති නිදහසේ අසිරිය.

මැකී ගොස් නිදහස් සිරිය පසුදින
යළිත් එති කාකයෝ බඩ රිදෙන
යදියෝද දුගියෝද වැරහැලි සමග.

අඩක් බිම වැතිරගෙන
අතින් ගත් කඩුපතින
සිංහයෝ රකිති සතර කොණ
අයාගත් මුව වසාගත නොහැකිව.