අහසක් නැති අහසක -
හැන්දෑ අහසේ වලාකුළු කැටිගැහෙනවා කඳු අද්දර
දෙබස් නැති නිශ්චල රූප රාමුවක් වගේ
ඔබ මා ගිවිසගත් සම්මුතිය
ඉරිතැලී පොතු හැලී චංචලයි මගේ සිත
කාලයේ නඩත්තුවෙන් පොට පැන්න
ගරා වැටුණු මන්දිරයක බිත්ති වාගේ
ඉන් එළියේ තැනක් සොයනවද ඔබ?
කඳු වළල්ලෙන් එහා
ආකාස එළියක් පායලා
රැස් වළල්ලක් වාගේ
ඔබ පරෙස්සමට පා තබන්නේ ඇයි වා තලය ගස්සාගෙන
හිස රැඳි තෙත තුවාය ගසා දමන්නක් මෙන්
මවාගන්නට හැකිද එළියේ ලෝකයක් පවා
ඉරිතැලුණු සිතිවිල්ලකින් මිස
කුටිය ඇතුළට ගොම්මනේ අඳුර ඇදෙන විට
ඔබ පහන් පැල ළඟ මට පිටුපා
හෙමින් ඉහළට ඇදෙන හඳුන්කූරු සුවඳේ නිවෙනවද
මගේ හිත ඇවිස්සෙන කලාපේ කවුළු වසාගෙන යනවද
අහසක් නැති අහසක
පාවෙන වලාකුළකට නමක් දුන්නේ කවුද
ඇවිදගෙන ආ මඟ දෑලේ කෙතරම් නම් කටු පඳුරු වන මල් තිබුණද
කොහේදෝ තැනකින් එන නොදන්නා සුවඳක්,
පාර වසාගෙනම එන අසා නැති හඬවල් ඇහුණා නොවේද
ඒ ඔක්කොමත් පේළියට තබා
අපිට නොපෙනෙන රූප අරූප අමුණන රේඛාවක් නම් ජීවිතය?
මං මගේ සිතුවිලි දිගඇරියේ වචන වැට ඉනි දිගේ
ඒත් වැට ඉමෙන් එහා පවා මං දැක්කේ වැට කඩුලු අස්සෙන්
ඔබ සියලු සිතුවිලි එලාගත්තේ වැට ඉමෙන් එහා
කවුරු අතරමං වෙලාද
මගේ සිතුවිලි වැල එලා ඇති
ඉනි වැට පවා දුවන බව මට වැටහෙද්දි
එතකොට මං වැඩිහිටියෙක්
නොපිරුණු ජීවන සාදයක කඩතොළු සිහින පුරවනවද මම
විසඳෙන කොදෙව් සිහිනයක ඇවිද යනවද ඔබ
ඔබට එහේ ඉස්පාසුවෙන් ඉන්න හැකි වේවි
අලස දවසක් ආවොතින් ඔබට හැකිවේවි
ඉනිවැටෙන් මෙහා
මගේ සිතුවිලි පැදුරේ ඉඩක් පාදාගෙන
වැතිරෙන්නට
තරණය කරන්නට මා සමග සිහිනයක
02.11.2026
Photo Credit: Boris Baldinger
කවිය බලන්න
