අප්පච්චිට ලියමි..

අප්පච්චිට ලියමි..

අසංග චාමර විමලසිරි දොරණාගොඩ

අකලට අහිමිවුණු සෙනෙහස ලැබ දෙන්න ඔබ ඇය ගෙනාවේ පාළුව සිඳලන්න අප හැම දෙනට සව් සිරි සැප ගෙන එන්න දුරු රට ගිය අප්පච්චි මේ ගතු අහගන්න... පාසල් වැඩට වැඩියෙන් උස රෙදි කන්ද වළං පිඟන් ගොඩ ගැහෙනව ඉඳුල් ගඳ කිස තුන්වේල නිම කළ යුතු මා නිබඳ නැත්නම් ගුටිය ඉවසියයුතු පිට කොන්ද දැන් දැන් අමතකයි පාසල් ගිය දවස ගුරුගෙදරට යයි නංගි ගෙන සැරස ඇවිටිලි කර ඉඳහිට යමි විදු පියස කෙසේ හෝ නිවා ගන්නට සිප් පවස නිතරම නතුයි මගෙ කොණ්ඩය ඒ අතට බැරි තැන මම ම කැපුවා අඟලට කොටට නංගිට රිදෙනවලු ඇද්දම ඒ ලෙසට මට රිදෙනා බව නොදැනුනෙ මගෙ පවට අප්පච්චිලගෙ සුරතල් පොඩි දෝණියට හොඳ රස කෑම බෙදෙනව නිති බත් පතට මම නිතර ම කන්නෙ ඇය කෑ ඉඳුල් කොට මසවුළු නොපතමි'ය ගුටියට ඇති බයට අත් පා ඇඟිළි හඳුනයි ගිණි පෙළෙලි සැර මුහුණෙන් මතුවෙලා පැල්ලම් තිබූ වෙර ඔබ එවු මුදල් දී අරගත් ඇඳුම් හර නංගිගෙ මල්ලටයි සැම දින ගොඩක් බර මගෙ පොඩි හිතට උහුළණු බෑ මේ ගැහැට කඳුළු ම තමයි තනියට හිටියෙ ම රෑට ඔබෙ පැතුමට කළයුතු යුතුකම් එමට නැත්නම් දුවමි දෙව් ලොව අම්මා ලඟට
කවිය බලන්න