තැන තැන යන මා ...
සුවිසල් උද්‍යානයක
දේදුනු පැහැයෙන් මල් පිරී ඇත
මඳ මීදුම් දුමාරය ගලා එයි
"තණකොළ නොපාගනු"
වදන් ලියා ඇති
කළු සුදු පුවරුවක් මතට
පරෙවි යුවලක් ඉගිළ එති
ස්වයංක්‍රීය කැමරාවක්
දැඩි අකමැත්තකින් මෙන්
මවෙත හැරෙන බව දැක
පයක් පසුපසට ගන්නටද සිතේ
එනමුත් මා ඉදිරියට යමි
------
මල් වැසි වැටෙන වනාන්තරයක
හෙමින් සැරේ ඇවිද යන විට
ඇඹල කොකුන් රෑනක්
තටු ගසමින් ඉගිල යති
තුරු අතරින් දුටු තණ නිල්ල මත
සීරුවෙන් පා තබා බලමි
දණහිස තරටම එරේ
මරු වලවල්ද ඇතැයි බිය දැනේ
අනවශ්‍ය කරදරයක නොවැටී
මා වෙන මගකින් යාමට සිතමි
------
සයුර අසල පිට්ටනියක
මහත් කලබල හැන්දෑවක්
අහස් කුසේ දඟලන
කළු වවුල් සරුංගල් අතරින්
තරමින් ලොකුම එකා
නූලෙන් මිදී ඈතට පලා යයි
නැවත නැවත බැලුවද
හිස් බංකුවක් නොපෙනේ
වාඩිගෙන සිටින අය
දැන්ම යන පාටක්ද නැති සේය
එසැනින් මා ආපසු හැරෙමි
17.07.2026
කවිය බලන්න
