සඳ සිරි
කඳු වැටි සිපගත් පුලින තලා මත සඳ දිය ඉහිරෙන විටදි තෙමා
පුළුන් වලාකුළු අතරින් මතුවී රන් තරු පසුවෙයි දෙනෙත යොමා
මනහර රැඟුමක හැඩතල මවමින් තුරු අග අතු ඉති රිකිලි නමා
සිලි සිලි නද දී මඳ නල දිව යයි සියොළඟ තවරා සුවය අමා
විල දිය මතුයේ හසරැලි නගමින් සැනසෙන විට සඳ රුසිරු බලා
තැවරුණු අරුමැති සුවයක දැවටී කුමුදුත් කෙකටිය පුබුදු වෙලා
ඔබ මොබ හැසිරෙණ කණාමැදිරි කැළ පළගැටි ගීයට වසඟ වෙලා
ලන්තෑරුම් එළි තැන තැන දල්වා සැනකෙළියක සිරි එකතු කළා
වෘන්දන හඬටම නර්තණ පාමින් කෙකටිය යායට මිහිලොල් එන විට
මීරෙන් මත් වූ කඩුපුල් කැලයම වරළස සරසයි ගවසා පිනි කැට
රෑ මනමාලිත් විලවුත් තවරා පියවර තැබුවද සැනකෙළි පෙදෙසට
ලජ්ජා ගමනින් පැකිළී දෝ පය සේපාලී කිම වැතිරී ගස යට....
කවිය බලන්න
