අඩ සිය වසක් පෙර කැලණිය සිපිරි ගෙය
කැලණිය දෙවෙනි වැලිකඩ සමහර දාට
මිහිලිය හඬවනා හිර ගෙදරකි රෑට
මැහැලිය නපුරු සේලය ඇන්දත් පාට
ඉහිලිය හැකිද මතකය අපි කොයිකාට
නායක බණ්ඩාර හොස්ටලෙ මනරම් ය
ඈතක කවුළු දොර සීගිරි සිත්තම් ය
දෑසක විටෙක රැඳෙනා නොරිකෝ සං ය
නාටක නැටූ අගනෝ මිත් තනියන් ය
විලෝ බැම්ම පාමුල තෙල් බැම්ම දිගේ
සීලෝ ගීත විටකදි පෙම්වතුන් රඟේ
ෆිලෝසපි පොරක් තනියම දොඩයි අගේ
කිළෝ ගණන් කඳුළුය නෙත් පුරා මගේ
ලයිබේරියේ මහ පොත් උස් කදු අතර
කයිවාරුවට ඉඩ නෑ නිහඬයි නිතර
දෙයියා සොයා කිම පල පොත්පත් අතැර
දයියා වගේ මතකය ඇවිලේ නිතර
ලාමා රටේ යතිවරු පොත් ගුල බාර
සීමා නැතිව විටකදි හදවත හාර
රාමා විභීෂණ හමුවූ අඩි පාර
සාමා අමර කියවති පිටුවක් නෑර
කටින් බතල කොල හිටවූ ලෙනින් හළ
දුරින් පෙනුනි බෝ සෙවණේ සුපෙම් කැල
තදින් බදා සිටියත් තල් කදන් පෙළ
කෙමෙන් මහලු කහ අතු ගහ විහින් හල
දලුගම කන්ද මුදුනේ මඟ දෙපස සැදි
සරිගම විටෙක ඉගිලෙති කූඩුවෙන් මිදී
දහසක් අගත අනගත නෙක සිසුන් පොදි
මහ කැන්ටිමෙන් බත් කෑවෙම නැතුව හොදි
මහ කැන්ටිම සරුසාරයි එක් පසෙක
දහවල අදුර පොල් වත්තේ තව එකක
සිහරජවරුන් නිබදව ගෙරවූ බිමක
කහ මල් වගේ චීවර පිපිලා නොයෙක
මෙට්ට ගුදිරි එක පෙළකට එලාගෙන
තට්ට රෑන පොරකෑ මස් වඩාගෙන
දොට්ට බැස්ස තුන් සිවුරම ඔතාගෙන
අට්ට කතා gym එක ගැන සිනා යන
මහ කැන්ටිමට බසිනා පියගැට ලගින
දහවල් බත් පැකට් විකුනා දිවි රකින
වහ වුව කෙසෙල් කොළයේ කදිමට ඔතන
අහවල් තැනද බත් අම්මා අද නිදන
නෑර දිනක් ගජයෝ හොර පොල් කැඩුව
පාර බොරලු කෙලවර තනිවූ කොටුව
වීර සූරි හොස්ටලේ 26 විසුව
සූර පප්පලා කලකින් නෑ දුටුව
දඟ යුග පෙණේ කෙලිනාවිට දැල් පන්දු
ලග පාතක නොවේ නොරිකෝ රට ලන්දු
මඟ දා ගියත් නෙතගට කඳුලන් කැන්දු
රඟහල වැසී ඇහුනෙම මනමේ සිංදු
සැනින් ඇරඹෙනා අරගල ගිණි පුපුරු
සැකෙන් බලන මිතුරෝ විටකදි හතුරු
සිතින් හැලුන අගනෝ එදවස් සොදුරු
ඉතින් වසන්තය යලි එන් නෑ මිතුරු
හතර දිගින් පියඹාවිත් එක අත්තේ
කතිර යුද්ධ වැලලී වෙඩි හඬ මත්තේ
විසිර පනස් වසකට පොඩ්ඩකි ඇත්තේ
සොයුර නුඹ කොහිද කෙහෙ පැහිලද මුත්තේ
23 / 06 / 2026
