"ලොකු අයියේ, හැකිනම් 'සුපුරුදු විකුම' පානු මැන"

අනුර හෑගොඩ

අපේ අම්මා සඳහන් කළ අයුරින් මගේ ලොකු අයියා ලාල් හෑගොඩ ගේ පළමු කවිය මෙසේය. 'රජ්ජුරුවන් ගේ නෝනා සකාලා උඩ මල් පැල හිටවනවා පාත වහිනවා නංගි අඬනවා අම්මා බලං ඉන්නවා' එකල අප ජිවත් වූයේ මරදාන පොලිස් නිවාසයන්හී ය. ඒ අප පියා පොලිස් නිලධාරියෙකු ද වූ හෙයිනි. අප නිවස පිහිටියේ මහල් හතරකින් යුත් මහල් නිවාසයක දෙවන මහලේ ය. මෙම කවියේ පළමු පදය ගැන කීමට මා දන්නේ නැත. එහෙයින් වෙන අයුරකින් එයට නිර්වචනයක් දීම නොයුතුය. උඩ මහල් දෙකක් වූ නිසා ඒවායේ මල්, පෝච්චි වල පැල කිරීම සඳහන් වේ. අප සිටින්නේ දෙවන මහලේ නිසා වහින්නේ පාතට මෙන් පෙනේ. ලාල් ගේ නංගියෙක් හඬමින් සිටී. එය ගණනකට නොගත් අම්මා තමන් ගේ වැඩක් කරමින් සිටී. මා සිතන විදිහට ඔහු මෙය ලියා ඇත්තේ කන්තෝරුවේ සිට සවස ගෙදර එන තාත්තාහට පෙන්වීම පිණිසය. ඒ අම්මා පිලිබඳ ඔත්තුවක් දීමටය. පොඩියට ඔහු තාත්තා මෙන් රහස් පොලිස් කාරයෙක්ව සිටින්නට ඇත. තර්ස්ටන් විදුහලේ විවාද කණ්ඩායමේ සිටිය දී ඔහු සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් ලෙස පත්විය. එම තනතුර බාර ගන්නට යන දා ජාතික ඇඳුමක් හැඳි ඔහු කී දේ මට තවම මතක තිබේ. "මේ සැරේ සම්මේලනයේ ප්‍රධාන ලේකම් වෙන්නේ කොමියුනිස්ට් කාරයෙක්..." ගෙදරින් එලියට යාමට පෙර ඔහු එසේ කීවේය. කුඩා කාලයේ දී මාත් කොමියුනිස්ට් වී 'යූ ඇන්පී 'අපේ අම්මා සහ ආච්චී සමඟ උස් හඬින් බස් දෙබස් ඇති කර ගත්තේ අයියා ගේ ආභාෂය නිසා යයි සිතමි. සමහර දේ වරදින්නේ ගෙදරින්මය. තාත්තා දස දහස් ගණනකට නොමිලයේ ඡායාරූප ශිල්පය ඉගැන්වූවත් අයියා එසේ කළේ නැත. එහෙත් ඔහුගෙන් ද බිහිවූ සිසුන් දහස් ගණනක් ය. මගුල් පොටෝ ව්‍යාපාරයේ අද බැබළෙන, ඉහලින්ම සිටින කීප දෙනෙක්ම ඔහුගෙන් ඡායාරූප ශිල්පය සහ කලාව ඉගෙනගත් අයයැයි මා දනිමි. අනෙක් අංශවලත් එසේම ය. කලෙක, රට පුරා ඔහුගේ ෆොටෝක්‍රෝම් ඡායාරූප ශාලා ගණනාවක් විය. සිය ගණනක් ඒවායේ රැකියාව කළහ. ඉගෙන ගත්හ. හොඳ ව්‍යාපාරිකයෙකුහට හොඳ කලාකරුවෙකු කෙසේ වෙතත් කවියෙකු වන්නට බැරි යැයි යමෙක් පවසා තිබිණි. 1994 පළවූ ඔහු ගේ පළමු කාව්‍ය කරණය වූ 'මා මිනිසෙක් ඔබ ගඟක් නිසා' 1995 රාජ්‍ය සම්මානය ද, 1995 උපාලි පුවත්පත් සාහිත්‍ය සම්මානය ද, 1995 ස්වාධීන සාහිත්‍ය උළෙලේ විශේෂ සහතිකය ද හිමිකර ගන්නා ලදී. පසළොස්වක සඳ මගේය 1995, සඳුන් අරටුව දැල් වූයේ ඔබයි 1998, ගඟ වක් වී ගලන තැන 2002, මෙ'කව මෙතැනින් නවතමි 2010, අහඹු සිතුවිලි , අහඹු සිතුවිලි නොවේ, කෝමලනී 2020 - ගොඩගේ සාහිත්‍ය සම්මානය, ලාල් ගේ අනෙකුත් කවි සංග්‍රහයන්ය. ලාල් ගේ පළමු කවිපොත 'මා මිනිසෙක්' කියවූ රත්න ශ්‍රී කවින්ද්‍රයානන්, 'කෝ මෙයාගෙ කළින් කවි ?' යනුවෙන් ඇසූ බව මා අසා තිබේ. ඒ නයින් කියැවෙන්නක් තිබේ. එම කවි පොත එළි දැක්වීමේ දින සිය දේශනයට පෙර වේදිකාවේ දී සිය පාවහන් යුවල ගැලවූ කාව්‍යක්කාර පරාක්‍රම කොඩිතුවක්කු සූරීන් ලාල් වෙත පැමිණ සිය දෑත් එක්කොට 'මා මේ නමස්කාර කරන්නේ ලාල් ගේ කවි ආත්මයට' යැයි පැවැසුයේය. මහාචාර්ය ලියනගේ අමරකීර්තියන් එක්තරා දේශනයක දී, 'ලාල් හෑගොඩ, සනත් ජයසුරිය මෙන් හිටි හැටියේ පිටියට පාත් වුනා" යැයි පැවසුවේය. ලාල් හෑගොඩ පිළිබඳව කෘතියක් කළ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් එය නම් කළේ 'ජිවවාසී කවියා" ලෙසයි. මෑතක දී මහාචාර්ය සුනිල් සෙනෙවියන් පැවසූයේ '90 දශකයේ කවියා 'ලාල් හෑගොඩ ' බවයි. 1970 දී මහින්ද රාජපක්ෂ නම් තරුණ දේශපාලඥයා ගේ එළඹීම සිදුවිය. ඔහු ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා හොඳ ඡායාරූපයක් ගෙන දෙන මෙන් මාපලගම විපුලසාර හිමියන් ම පියාණන්ගෙන් ඉල්ලීමක් කළේය. පියා රජයේ සේවකයෙකු වූ බැවින් ඉල්ලීම ප්‍රතික්ෂේප විණි. එහෙත් ඉල්ලීම ඉවත දැමීමට නොහැකි නිසා, එකළ වන විටද ඡායාරූප කරණයට සම්මාන ලබා තිබූ , කැමරාව කෙළින් අල්ලා පොටෝ ගැනීමට හැකියාව සතු ලොකු පුතු ලාල්, මාපලගම හිමි සමඟ ඒ කටයුත්ත සඳහා යවන ලදී. මහින්ද මහත්තයා ගේ 1970 කැම්පේන් ඡායාරූපය ලාල් ගත්තක් විය. ලයිට් එක ඇල්ලුවේ බැංකුවක් උඩ නැගි මාපලගම හිමියන්ය. එහෙත් කීප ගමනක්ම මා හමුවූ විට ළඟපාත සිටි අයට මහින්ද මහත්තයා මා හඳුන්වා දුන්නේ ඔහුගේ එම ඡායාරූපය ගත්තේ ම පියා විල්සන් හෑගොඩ යනුවෙනි. එහෙත් ඉතා ප්‍රබල ඡායාරූපයක් වූ එය ගත්තේ ලාල් ය. ඒ ඡායාරූපය පිළිබඳව දේශපාලනමය සිත් නොහොඳ ඇත්තෙක් වේ නම් එය යොමු කල යුත්තේ ලාල්ටය. ම පියාණන්හට නොවේය. ලාල් පැවත් වූ ඡායාරූප ප්‍රදර්ශන ගණනාවකි. ලැබූ සම්මාන ගණනාවකි. වරෙක බ්‍රිතාන්‍යයේ රාජකීය ඡායාරූප සංගම් ශාලාවේ ඔහුගේ ඡායාරූප මසක් තිස්සේ ප්‍රදර්ශනයට තබා තිබිණ. හැත්තෑ දශකයේ පැවත් වූ ඔහුගේ 'ෆ්‍රොයිඩ් ගේ දියණිය - Freud's Daughter - ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි සයිමන් නවගත්තේගම සූරීන් මෙසේ ලියා තිබිණ. ' කලාගාරයේ දී මා දුටු ඡායාරූප කවි...... ' . තවද, යමෙක් 'කැමරාවට හදවතක් සවිකළ ඡායාරූප ශිල්පියා' යනුවෙන් ද මෑතක දී ලාල් හඳුන්වා දී තිබේ. ඔහු ගේ හාස්‍ය රසය, උත්ප්‍රාසාත්මක ප්‍රකාශන පිළිබඳව ද කෙටියෙන් ලිවිය හැකි නොවේ. එසේ හෙයින් 'මෙ ලියවිල්ල මෙතැනින් නවතමි'. "ලොකු අයියේ, තවමත් වෑ කන්ද වෙත ආ බොහෝ පිරිස් බලා සිටිති. ඔබට හැකිනම් 'සුපුරුදු විකුම' පානු මැන" ජයවේවා! මේ පොඩි මල්ලී
කවිය බලන්න