-ලාලාදරේ කවි -
පාදා දෙනෙත බුබුළන සිතිවිලි ගොන්න
විහිදා හරින්නෙමි රසහව් ළෙලැවෙන්න
බාධා කිසිත් නැතියෙන් හැකි නවතින්න
ලාලාදරේ දෝතක් කවි විඳගන්න
තාලානුරූපී ගමනින් බැහැර වෙමී
කාලානුරූපී හැඟුමන් පැහැරගමී
සෝභානුරූපී පොළොවට පොහොර වෙමි
ලාලානුරූපී කවියක ඇහැරගමී
සඳුන් අරටුවක් වී නම් කවි සමය
පැතුම් ඇවිලුණේ හද ගැඹුරුම ඉම ය
ඉතින් දැනෙන්නෙම විඳි කිවියුරු පෙම ය
මුදුන් මුලක වී නම් ඒ තොපැ නම ය
පෑල දිග අහස කවියක පහළ විණ
කාල තරණයට කැප කැමරාව මෙන
තාල තියමි තොපැ නම පිළිරාව දෙන
ලාලසාව නොව ලාලාසාව ගැන
ලාලානුරාගය ගලනා ගඟුලැල්ල
හෝරා තැටිය සිප රඳවයි සිහිලැල්ල
රූරා ගලන්නැති කඳුළක හසරැල්ල
මාලා කවි වුණත් ඉවසන ඉවසිල්ල
හිතින් සළු ලිහමි ගඟබඩ ආදරෙනි
නිතින් පෙනෙයි ගඟ වක්වනු මා තුළිනි
සඳුන් සුවඳ පැදි මැද පෙම විහිදමිනි
ඉතින් කැටුව ආ හැටි තොප කෝමළනි
පපුව තියෙන තැන මම දන්නෙමි තාම
සපථ කරන්නෙමි කවෙකිනි ඉඳුරාම
උපැස විනිවිදිමි මඳහස උදෙසාම
මෙකව මෙතැන නවතන්නට දෙමි කෝම
කවිය බලන්න
