හත් පෙති මල
හත් පෙති මලක් පිපිලා අත පොවන මානෙන්
ඉඳුදුන්නෙ සත් පැහැය තවරාන නො මඳින්
සිත්කළු ය සියුමැලි ය එමල පෙති බෙහෙවින්
යන එන ගමන් බලනෙමි එදෙස හොරැහින්
හැමදාම බුදුපුදට මල් නෙලාගන්න කල
නෙලාගන්නට දුකකි මඟහරිමි සුවඳ මල
මලසුනක මියැදෙන්ට කෙසේ හරිමි ද එමල
ඉන් පසුව කසල ගොඩකට දමන මඟ අසල
නො රිදවමි ඔබ වට සරන මත් බඹර කැල
අනඟ රැඟුමන් බලමි රොන්සුණු මතෙහි සමනල
මගේ මතු බව පිණිස කෙලෙස සිඳලමි ද ගෙල
ගස මත ම සුවඳ දී පරව යනු එගස මුල
