හැකි ද මොහොතක් දෙන්න
කිසිදා නුඹට නොකියා
මුළු ලෝකයෙන් සඟවා
පපුතුරේ හිර කරගෙන
රැකගත් ආලයේ රිදුම
අදත් කෙතරම් මිහිරි ද
නුඹෙන් එක බැල්මක් පතා
තුන් යමත් නිදි වරා
පේ වී
ආවත් නොලදිම්
එක ම එක සෙනේ වදනක්
එක ම එක මුදු බැල්මක්
එදා ඒ රිදුණ හිතට ම
අද කෙසේ ඒ මතක
මෙතරම් මිහිරි ද
පවසන්න දවසක
සියොළඟ ම දැවුන
ආදර ගින්න
පබළු මුතු සේ තෝරා
පෙළ ගසා සිටි වදන්
මිදී ඇත එදා හිම කඳු මැද
නිදන් කළ තැන් වල
එහෙම ම
හිම කැට වගේ මයි බර
නොදෙඩූ
වදන් හිත පතුල යට
රාගයෙන් තොර
පිවිතුරු කුසුම
තබා පුදසුන මත
මගේ දැහැනේ සැරිසරන්නට
යළිත් නොඑනා ඈතක
සංසාර ගමනක යන්නට
කාලය හැකි ද අද මට
එක ම එක මොහොතක්
දෙන්න.
07-03-26
