පනිමු ද ?
හත්දොහක් පුරා ඇදහැළෙන
අනෝරා වැස්සට
දෙගංබඩ යටවෙලා
බලන්න ඒ ලස්සණ
අපි හිටියා
පාලම උඩ
‘ගඟ හරිම ලස්සණයි’ ඔබ කීවා
‘ඒත් බියකරුයි’ මා කීවා
‘පනිමු ද?’ ඔබ ඇසුවා
‘පිස්සු ද” මා ඇසුවා
එදා වගේ අදත්
මහවැලි දෙගොඩ තළා
මම තනිව ම
‘පනින්න ද’ මට සිතෙයි
ඔබ හිටියා නං
අසාවි
‘පිස්සු’ ද?
කලකට පසු-
ආයෙත් හත් දොහක් වැස්සා
කොත්මලේ පිරිතිරී
ගම්බිම් නගර ගිලගෙන
යකා පාලමත් හොල්ලාගෙන
සරසවිය සෝදාගෙන
මංපෙත් මකාගෙන
ගිරි දුදුළු පෙරළගෙන
සතුන් මිනිසුන් නසමින
මහවැලිය යකින්නක සේ
ආවේශ වී ගලායයි
මාත් ගියා බලන්න
තනිවම
‘පනිමු ද’ අසන්නට කෙනෙක් නැත
‘පිස්සු ද’ කියන්නට කෙනෙක් නැත
මහවැලිය ගෙන ගියා දෝ ?
අද මෙන්ම
ඊයේත්?
කවිය බලන්න
