ඇලිස්ගේ විස්මලන්තය
දුහුන දන මන පිනවන
ඉඳුදුනු සත් පැහැ මුසුකොට
රූ දසුන් තෙළිතුඩින් ඔබ මවන
සුවයක්ය දැවෙනා සිතකට
කතා කරන සිව්පාවුන් සරන
යෝධ සමනලුන් පියඹන
ගොළුබෙල්ලනුත් හිනැහෙන
කුළුණුබර දේවතාවුන් හැසිරෙන
නිකැළැල් අහසක නිල්පාට
රෝස පැහැ සුරඟනන් ඉගිලෙන
විසුළු මායාකරුවන් රඟන
ඇලිස්ගේ විස්මලන්තයකි
ඔබ මවන ඒ අරුම ලොව
සිත්තරාණෙනි !
ලොව මවන මහ බඹු විලස
වෙන්කර දුන මැන මට
වෛරයේ ගිනිදැල් ඇවිලෙන
අසීමිත දුක් වේදනා ඉතිරෙන
පියවි ලොවින් කල්පිත ලොව.
රඳවනු මැන මා
ඔබේ ඒ විස්මිත ලොව තුල.
කවිය බලන්න
