2022 මැයි කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2022 මැයි කලාපය

නුවණෑත්තවුන් පහකොට දුදනන් සෙවුන නොමගත් සිත තුළෙහි ගුණ පොකුරඹ ලෙසින මැදහත් නොව මසුරු ගුණයෙන් දවසරින රජුටත් එරටටත් අතුරක් නැත වෙනින

අලගියවන්න මුකවෙටි තුමා – සුභාෂිතය

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

අරගලයට ජය වේවා!!

අරගලය උරගලකි මුත්

අරගලය උරගලකි මුත්

කෝ ආනන්ද පැරීසිය

 

අරගලය තිර උරගලකි එහි ඇති තියුණු බව ගැන සිතා
දුර යනුව අර අඳිනවා නම් අවැසිමය සරු තිර කතා
පෙරළි කරවා පෙරලලා ලොව බලවතුන් රටවල් ගොතා
මර උගුල් වල අන්ත අසරණ කරදමා ගොඩගෙන නැතා

ජියෝ ග්‍රැෆි එක දේශපාලන සටන් සඳහා නැත කෙටී
වයෝවෘද්ධව මුත් දනිමු අපි පනින'යුරු විප්ලව රිටී
නියෝගය ජන අරගලේ වෙඩිමුරේ නැන කොතැන දැනගනු වටී
කියෝපල්ලා සොයුර සොයුරියනේ වානේ පන්නරය ලැබු හැටී

සීල් කරලා රබර් යැව්වා බලවතුන් හට පිටරට
වීල් හදලා නැවත එවුවා කුසීතව උන් අපහට
නූල් සූත්තර උගුල් අටවා ගසා එන්.ජී .ඕ. ගැට
ඩීල් දාලා ඩොලර් උපයා පාවදෙනවා මව්රට

සුර පුරක් සේ වැජඹි සියවස් ගණන් 'කිව්' පුරවර එදා
නිරය සේ ගිනිගෙනා දැවෙනා සොහොන් පොළකිය එය මෙදා
දරනු නොහැකිව සමගි සංගම් උරණ වී බටහිර යොදා
උරති ලේ මාපිලුන් සේ යුක්‍රේනයේ සම්පත් බෙදා

හවුල් කැඳ බිව් කාල පසුකොට උගත් පාඩම් ගෙන නැති
පවුල් පාලන වාදයත් වදයක්ය මුළු රට ගිනි ලති
දවුල් බෙර ජයසංඛ හඬ මැද ගෙවූ ගොස වස වී ඇති
යවුල් හඬ අසා බැස යනු අපි රකින්නෙමු ප්‍රජාතන්ත්‍රයෙ මනු ගති

 

 

 

 

 

 

 

 

 

 

 

කවිය බලන්න
පාස්කු

පාස්කු

නුවන් තොටවත්ත

පාස්කු
.

කළුවරට බය වෙලා
අඬපු හැටි මතක්වෙන
වෙලාවට ටිකක් දුක හිතෙනවා

අඩි හයක් යට වුනත්
බයනොවී ඒ වගේ
තාත්තේ මං මෙතන ඉන්නවා

එහා පැත්තේ තියෙන
කලුම කලු අඟුරු ගොඩ
ලඟින් හුරු උණුහුමක් දැනෙනවා

අඳුරගනු බැරි වුනත්
බඩගින්න දැනෙනකොට
කිරි ටිකක් දෙන්න දැයි අහනවා

කවිය බලන්න
ලොව ම මිරිහානක් කළ මිහිරි මිනිසුනි

ලොව ම මිරිහානක් කළ මිහිරි මිනිසුනි

කෞශල්‍යා ජයලත්

සොයුර සොයුරියනි
ඇත්තටම ඔබට දැන් වෙහෙසයි.
දෑත් දෙපතුල් උරහිස්
සියොළඟ ම තැලූ සේ කකියයි.
නමුත් තව ටිකයි
අතරමඟ නතර වෙනු නාකයි.

කඳුළු වායුව දැවූ දෑසින්
නිදිමත ද වෙහෙස ද බේරෙයි.
වැසි දියෙන් තෙතබරිත සළුවෙන්
උණුසුමක් නොපිදෙයි සීතයි.
නමුත් මිතුරනි
ආපසු හැරෙනු නොයුතුයි.
මෙවන් මොහොතක්
නැවත ⁣නොඑළඹෙයි නිසැකයි.

පද්මෙ පෙනි පෙනි
නොනවතින් පුත ඇත්තයි.
අරගලය දිනනවා අපි සත්තයි.

උණක්, කැස්සක් , හෙම්බිරිස්සාවක්
රිදුමක්, තැවුමක්, දැවුමක්
නොවේවා සොඳුරු මිනිසුනි.

තුවාල, කඳුළු, දහදිය
බිය, සොව, කෝපය
වෙහෙස,කුසගින්න,පිපාසය
නිවේවා රුසිරු සියොතුනි.

ඔබ වනන මහරු කවියක්
පබැඳුමට වදන් සොයමිනි.
එතෙක් මේ දිළිඳු කව
පුදම් ඔබ පාමුල
ලොව ම මිහිරි මිරිහානක් කළ මිනිසුනි

කවිය බලන්න
යන්නට බැරිද දැන්වත් අපි එක්වී.....

යන්නට බැරිද දැන්වත් අපි එක්වී.....

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

සබද අපි හසු නොවෙමු මෙවරේ
වරින් වර හසු වුනෙමු මිතුරේ
ජනබලය සවිය මැද සොදුරේ
සාමයෙන් නගමු ගොස මෙවරේ

පාන් ගෙඩියට , හාල් ඇටයට රැවටී
බලා හුන්නෙමු ගිලින හැටි උන් දැවටී
කා කොටාගෙන පාට පාටට රැවටී
තරු පෙනෙනකම් හිටිය තබමින් හූ මිටී

දහඩිය වගුරුවා උගුරත් ලේවී
පෙරමුණ අරන් කෑ ගැසුවාය පේවී
ලේ කදුලැලි මතින් ඉහලට පාවී
ගිය උන් හිදියි නැසු කන් සේවී

ජාතිය ආගමෙන් කුලයෙන් වෙන්වී
හිටියා අපිත් හිතමින් මුළු ගැන්වී
යනවිට එකට අන් රටවල් එක්වී
යන්නට බැරිද දැන්වත් අපි එක්වී

අනුරුද්ධ වැලිගමගේ

කවිය බලන්න
අරගලයෙන් පසු...

අරගලයෙන් පසු...

ආරියරත්න ජයසිංහ මහරගම

නිදහස ලබා ගතවූ දිගු කලෙක සිට
රැවටී සුවහසක් බොරුකාරයින් හට
අද ඇස් ඇරී ඇත නිදිගත් ලොවක සිට
අත පය නොවේ මොළයෙන් ගතයුතුය වැඩ.

පදමට රත්ව ඇත දුම් දුමනා තැටිය
කෝකියො ගොඩක් එති පුච්චන්නට රොටිය
දුන්නොත් හැන්ද මෙතුවක් කල් කළ හැටිය
හෙලූ කඳුළු ඩාදිය වැඩකට නැතිය.

නන් පැහැ කමිස තොප්පිත් හිස පැළැඳගෙන
වෙස් මුහුණුත් බොරු කකුලුත් රුවාගෙන
මායාකාරයෝ එති කල් බලාගෙන
පීඩිත ජනතාව වෙත සෙනෙහෙ පාමින.

පළවාහැර මොවුන් හැමදෙන රට කෑව
තට්ටු මාරු ක්‍රමයට වසනුය පාර
පක්ෂ පාට විසිකර සබයට නෑර
උගතුන් හට මොළේ ඇති දෙමු රට බාර.

කවිය බලන්න
🌷තවත් මල් ,,,,,,,,,,,,,,,

🌷තවත් මල් ,,,,,,,,,,,,,,,

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

නොසන්සුන්වූ රැයක සිතිවිලි
ඇඳ රෙද්ද මත රටා ඇඳුනා
පයෝදර අතරේ ලැගුම් ගත්
හිතත් මිරිකී ඉවත වැටුනා
ඉසින්නට කහ දියර තැවරුනු
දෙහි ඉත්තේ කටු හිතෙත් ඇනුනා
මළගමට ආ නොආ සැමටම
උගේ ගැන ලොකු කථා තිබුනා

වෙඩි වැදී මළ කඳ ගෙනාවම
පුතේ මට අද ගොඩක් ඇඬුනා
මටත් නුඹටත් වැරදි ඇති බව
මගේ හිත මට කියනු ඇහුනා
සටන් කරනට යුක්තියට හිත
හුරු කලේ ඇයි දුකක් හිතුනා
එත් නුඹ නැති අඩුව පුරනට
තවත් මල් පූදිනවා පෙනුනා

AnA 2021

එක්සත් රාජධානිය.

කවිය බලන්න
කුමට...

කුමට...

ආරියරත්න ජයසිංහ මහරගම

ගෑස් කුමට පන්දහටත් ගන්න බැරී
ටීවී කුමට දවසෙම විදුලියත් නැතී
රයිස් කුකර් කුමටද බත උයනු බැරී
දර ලිප කුමට කැඳ උගුරක් හදනු බැරී

කුඹුරු කුමට වී ටික වපුරන්න බැරී
කෙත්වතු කුමට පලදාවට පෝර නැතී
වාහන කුමට ඒවට තෙල් ගන්න නැතී
අධිවේගේ කුමට වාහන යන්න බැරී

අත පය කුමට පෝ ළිම්වල ලගිනු බැරී
චන්දය කුමට ඉලපතවත් ගන්න බැරී
මැති ඇමතින් කුමට ගම රට යන්න බැරී
මැති සබයක් කුමට විසඳුම් දෙන්න බැරී

ආරියරත්න ජයසිංහ
මහරගම

කවිය බලන්න
සුභාෂිතයේ සිත්ගත් කවි

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා

නුවණෑත්තවුන් පහකොට දුදනන් සෙවුන
නොමගත් සිත තුළෙහි ගුණ පොකුරඹ ලෙසින
මැදහත් නොව මසුරු ගුණයෙන් දවසරින
රජුටත් එරටටත් අතුරක් නැත වෙනින

ඥානවන්තයින් ඉවත් කර අසත් පුරුෂයන් ඇසුරු කිරීම
නෙළුම් කොළයෙහි ජලය නොරදන්නාක් මෙන් සිතෙහි
ගුණ රැඳීමක් නොමැති වීමත් මධ්‍යස්ථ බව නැතිව මසුරු
ගුණයෙන් කල් ගෙවන රජුටත් රටටත් ඔහුම මිස වෙන
අන්තරායක් නැත.

කවිය බලන්න
මගේ නැන්දණියනේ!

මගේ නැන්දණියනේ!

අමර ගුණසේකර Marne la Valée ප්‍රංශය

වැදූ අම්මා නොවී ඔබ මා

හැදූ අම්මා වූ නිසා

කියන්නේ කෙලෙසකද මං අද

නොවූයේ ඔබ මගේ අම්මා

හොවාගෙණ මගෙ හිස ඔබේ

උකුල මත යහණක් ලෙසේ

පිරිමදිණ විට ඇගිලිතුඩු වල

සුවය මට තවමත් දැණේ

කුසේ පිළිසිඳ ගන්න ඉඩකඩ

තිබුණෙ මගෙ අම්මට නිසා

ඔබේ සවියෙන් නොවිය බඩගිණි

දන්න කියණා දොහේ ඉඳලා

ගම් දනව්වේ හිටිය හැමදෙන

කියන්නේ නිති ඔබේ ගුණකඳ

හදණ දේ අන් අයට දී

පිරුණෙ කුස තේ කහට බඳුණෙන්

මගේ නැන්දම්මේ ඔබේ

හැඩරුවින් යළි දිරිය ගන්නට

හීණෙකින් වත් එනවදෝ අප

වෙතට සුපුරුදු සිනාවෙන්

Marne la Valée ප්‍රංශය

කවිය බලන්න
චණ්ඩ රළ ගොළු වෙලා

චණ්ඩ රළ ගොළු වෙලා

අරුණ ශ්‍රී එදිරිසිංහ පන්නිපිටිය

මල් පැළය හිටවලා
ගාලු මුවදොර පිටියෙ
බක් මහේ අසිරියෙන්
මල් පිපෙයි රොන් සලා

චණ්ඩ රළ ගොළු වෙලා
පවන් සිසිලස උරා
මෙතෙක් නොකියූ බසක්
දෙසවනට ළං වෙලා

නුඹ මිනිස් ජාතියයි
සත්‍යය ම ආගමයි
බස හදේ රිද්මයයි
නිදහසේ රාවයයි

සිව් සැත්ත වසරක් ම
අදුරෙ අතපත ගෑව
දරුවනේ අප සෙවූ
මාවතයි නුඹ දුටුවෙ

අතාරින්නට එපා
වෙයි මිළක් ගෙවන්නට
සම සමව ගෙවමු එය
නිදහසේ අරුණෝදෙ

අපල දුරු කරලන්න
සාපයෙන් මුදවන්න
චෝරනාගල රෑන
සත් මුහුදු පන්නන්න

මේ අපේ කාලයයි
දිනිය යුතු දේශයයි
නව පැතුම් සුවද මුසු
නවෝදයෙ අලුයමයි

කවිය බලන්න
කටුවාපිටි සන්නස

කටුවාපිටි සන්නස

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

බුදුන් දෙසූ දහ-මට බැඳි ජන හද
යකුන් භූතයින් වැහිලා අඳවැ’ත
රජුන් ගිජුව ධන ලොබ සුර සැප විඳ
හෙළය අඳුරු විය ජනයා මහ මග

සමව දනන් දුක් විඳිනා යුගයක
සමිඳු මගට බැස කුරුසයෙ ඇණ මත
තම දිවි කැපකර ලොවට විදාලිය
දහමක අරුමය ජන හද සනසන

කිතුණු බැතිය සිත තුළ නිති කිමිදිය
මව ද සමග දෙවි වෙත ගියෙ බිළිඳිය
දෙවොල මතට වැදි රකුසු හඬින් ඇය
බියෙන් සළිත වී මරු හට බිලිවිය

දෙවි බිළිඳිය දැක ලය කම්පා විය
එදින පටන් ලක පොළව සළිත විය
දෙවිඳු සැමට සෙත පතමින් ලක්බිම
මහ බල එදෙනෙත් සරයි දසත අද


[ඕස්ට්‍රේලියාවේ ජීවත්වූ මව සහ දියණිය බිලිගත් රුදුරු කතාව අතිශය ශෝක ජනකය]

සිනිඳු වතක සිරි මවට අහිමි කර
දෙවොල බිඳින හඬ බිළිඳි කඳුළු මැද
දරුන් රැගෙන ගිය මර බිය පහකර
යවන ලෙසට යැද මහ මග ජන ගඟ

මෙලොව අතැර යන බිළිඳුන් දැක දැක
දෙවිට නොහැක හිඳ පිළිම නිහඬ කර
නගයි ශෝක හඬ මහ මග ගිණි ලන
දසත පැතිර යන ගොසකි වීදි බැස

දරුවන් තම හද බැතියෙන් නිවමින්
දෙවි ළඟ උහු ලය සැනහුන සැණයෙන්
ගිගුරු හඬින් පණ රකිනට යදිමින්
මෙලොව අතැර යනු දුටුවේ දෙවිඳුන්

කටුවාපිටි බිම කඳුලින් තෙත් වුන
මව්න් අහිමි දුව පුතු හද සනසන
පියවරු බිලි වුන දරු දුක බලමින
සරයි දසත දෙවි සැම සෙත වඩමින

කුරිරු රුපුන් බල ලොබ කර රජ සැප
ලබන සිහින කළු කරමින් පාවෙත
ඝනඳුර උහු මැදුරට ගලමින් යත
ගලන මිනිස් ගඟ සළයි මැදුරු දොර

අකුණු විදුලි කොටවා ලක දස අත
සොයති දරුන් බිලිගත් රකුසන් සැම
දෙවිඳු සරයි මග හඬන දනන් වෙත
සැළෙයි මහල් වාසල් ලක් බිම අද

දහම් සමග බස අවුලා බිම මත
උතුර දකුණ ගිණි තබනා ගොර මත
යුධට රැගෙන ගිය යකුන් ද බියකර
දනන් සරති දෙවි බුදුන් සරණ මැද

මළවුන් දෙවි සමගින් මහ මග බැස
සරයි ගමින් ගම නගරෙන් නගරය
සියළු දොසින් ලක්බිම මුදවා ලන
සාමය පතමින් දෙවි හා යා වෙත

[සියළු පිංතූර අන්තර්ජාලයේන් ලබා ගත් බැව් කාරුණිකව සළකන්න. සිත් වේදනාවන් වෙතොත් සමාව බජනය කරමි - ඩී. අමරසිරි ගුණවර්ධන]

කවිය බලන්න
විඩාබර සෙනෙහස

විඩාබර සෙනෙහස

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

සිනිඳු විදිහට නෙලාගන්නට සිටිය නාදල්ලක් කඩා
පෙන්නුවත් ඔබ මගෙ කියලා බොරුව ලොකු කර ගෙන වඩා
කරන්නට දේ මටත් අද නැත ඔබම ඇත හදවත කඩා
ආදරෙයි නම් කරනු මැනවිය එයින් මට නැත වෙයි විඩා

කවිය බලන්න
මගේ පුතා ආයෙ ගෙදර එන එකක් නෑ .

මගේ පුතා ආයෙ ගෙදර එන එකක් නෑ .

අනුර හෑගොඩ

සුද්දා යන්න ගියා..
අපේ සීයා ගෙ තාත්තා අත්පොලසන් දුන්න

ඩී ඇස් මහත්තය අස්සය පිටින් වැටිල මැරුණ
සීයා ගේ තාත්තා ඇඬුව

බස් ජනසතු කරල , සිංහල විතරයි කියල
බණ්ඩාරනායක මහත්තය කියපු වෙලේ
අපේ සීයා ගෙ තාත්තා උඩ පැන පැන නැටුව

බණ්ඩාරනායක මහත්තයට වෙඩි තිබ්බ වෙලේ
අපේ සීය ගෙ තාත්තා සුමානයක් නොකා නොබී හිටිය

ඩඩ්ලි සේනානායක මහත්තය බඩේ අමාරුවක් හැදිල
අගමැතිකම අත ඇරල ගිය වෙලාවෙ අපේ සීයා හිනා වුණා

බණ්ඩාරනායක නෝනා තෙල් ජනසතු කරල , වතු ජනසතු
කරල, පිට රටින් ගෙන්නන දේවල් නවත්තල, කර්මාන්ත
හදල රට ස්වයං පෝෂිත කරන්න හදපු වෙලේ පාන් පෝලිමේ
ඉඳගෙන වුනත් සීයා සාදුකාර දුන්නා

ඒත් ජේ ආර් ඇවිල්ලා බය ගුල්ලෙක් වගේ බණ්ඩාරනායක නෝනා
ගෙ ප්‍රජා අයිතිය අහෝසි කරනකොට අපේ සීයා පත්තර
කියෝ කියෝ ම හිටිය

ඒ කාලේ වැඩිපුර පටන් ගත්ත මන්ත්‍රීලගෙ පාගා ගැහිලි
අකටයුතු, කුප්ප වැඩ දැන දැනත් අපේ තාත්තා දන්නෑ වගේ
වැඩට ගියා

මන්ත්‍රීල පත්වෙලා අවුරුදු පහෙන් පැන්ෂන් ගන්න අත් ඉස්සුවහම
අවුරුදු තිස්පහක් එක දිගට වැඩකරල පැන්ෂන් ගන්නැතිව වැඩට
බඩගාපු තාත්තා ඉවසගෙන හිටියා

උන්ටම ඩියුටි නැතිව වාහන ගෙන්නන්න පර්මිට් දෙනකොට මා වත්
පුෂ් බයිසිකලයේ ඉස්සරහ තියා ගත්ත තාත්තා මගේ ඉස්කෝලෙ
ලඟට යනකං හ්ම් වත් කියන්නේ නැතිව අමාරුවෙන් පාග ගෙන ගියා

උන් ඒ පර්මිට් විකුණල සුඛ විහරණයෙහි යෙදෙන කොට
තාත්තා බයිසිකලේට හුලං ගගහ හිටියා

දස අතේ පාගා ගගහ උන්ගේ පාක්ෂිකයනට විතරක් රස්සාවල් දෙනකොට
තාත්තා රස්සාව තියා ගන්න වෙලාවටත් කලින් වැඩට ගියා

ඇමතිලට වාහන දහය පහළොව දෙනකොට, සාමාන්‍ය ජනයාට පාරේ යන්න
බැරිවෙන තරම් වාහන පිරිවරාගෙන උන්ගේ වාහන නලා පිඹගෙන ,
වයර් ෂෝට් වෙලා වගේ පාට පාට එළි දාගෙන යනකොට, අපේ තාත්තා
වාහන වලට අහු නොවෙන්න පේව්මන්ට් එකට වෙලා බලං හිටියා

ජාතික ලැයිස්තුවට පත්විය යුතු ක්‍රමවේදයට විරුද්ධව ජරා ජීර්ණ ,
පරාජිත , ජනතාව පිළිකුල් කළ අයත්, වෙන රටවල පුරවැසියනුත්
හැම ආණ්ඩුවක් ම පත් කරන කොට මම ඉතිහාස පොත් බල බලා හිටියා

හදන හැම පාරකින්ම, හදන හැම ගොඩනැගිල්ලකින්ම උන් ගසා කන බව
දැන දැනම උන් ගෙදරින් ගෙනාපු සල්ලි වලින් කළා වගේ උන්ගෙ නම් ඒවාට
ගහනකොට මම කණ්නාඩිත් දාගෙන ඒවා කියව කියව හිටිය

තඹ සතේකට වැඩක් නැති ගුවන් තොටවල්, වරායවල්, සම්මන්ත්‍රණ ශාලා,
කුළුණු හදනකොට දවසක ඒවා බලන්න යං කියලා මම පුතාට කිවුවා

ලංකාවෙන් හොරකම් කරපු සල්ලි උන් පිටරටවල බැංකු වල දාල කියල දැනගත්තහම
අපේ සල්ලි කොහේ හරි තියෙනවනෙ කියල හිත හදාගෙන
ඒව පුතාට පෙන්නල හරි සැනසෙන්න අපි කොහොම රට යන්නද කියල මම
හිත හිතා හිටිය.

බොන්න පිරිසිදු වතුර ඉල්ලපු රතුපස්වල තරුණයාට වෙඩි තියල මරපු වෙලේ,
මම නම් බොන්නෙ පයිප්ප වතුර නිසා මම ඒ වතුරම බිබී ඔහේ හිටියා

මුදූ යන්න ඩීසල් නැතිව හොයා හොයා ගිය මාළු අල්ලන්නෙක්ට වෙඩි තියල මැරුවහම
මට මොකෝ මම වෙජිටේරියන් නෙ කියල තණකොළ කකා හිටිය

ආයුධ පෙන්නන්න ගිහින් අපරාධ සැකකාරයෝ පොලිසියෙන් මැරුම් කනකොට ,
අපේ ගෙදරත් ලඟදි හොරු කැඩුවනේද කියල මම හාමිනේව සනසලා තිබ්බ

"හිරේ යවන්න තිබුණු කෙනෙක් මම ජනාධිපති පුටුවට යැවුවා" කියල
හිටපු අග විනිසුරුවරයෙක් කිවුවහම මම අලුත්කඩේ පැත්තෙ යන එක අත හැරිය

අපේ සීයාගේ තාත්ත, අපේ සීයා , අපේ තාත්තා සහ මම අවුරුදු හැත්තෑ
හතරක් ඇතුලත අසාධාරණය දැක දැක කරපු නොකරපු දේවල් අනන්තයි.
මගේ පුතා සමාවෙන්න ඕන අපට.

මගේ පුතා ආයෙ ගෙදර එන එකක් නෑ . එයාගෙ අලුත් ලිපිනය. ගෝටාගෝ ගම. කොළඹ 1.

කවිය බලන්න
සමරමු වෙසක්දා සම්බුදු තෙමඟුල උතුම්

සමරමු වෙසක්දා සම්බුදු තෙමඟුල උතුම්

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

ගෞතම බුදුන්ලෙස බුදුවන්නට දියත
දීපංකර බුදුන් පාමුල ලැබු විවරණ නියත
වෙසක් පෝදාක කප්සුවහස් ඈතදි කියත
පවසයි ඉතිහාසෙ සිදුවූ බව ලෙස නියත

සුරලොව හැරදමා මනුලොව සපැමිණි
මායා පුතු පියුම් මත වැඩ හිඳිමිණි
දඹදිව පසිඳු සල් උයනේ ලුම්බිණි
අදවැනි වෙසක් පෝදාවක සිදුවුණි

සයවසරක්ම දුක් දුන්නත් සිය සිරුරට
කිසි සරණක් නැති තැන නිවනේ මගට
සිදුහත් බෝසතුන් සපැමිණ මැද මාවතට
ලැබුවේ බුදුපදවි වෙසක් පෝදා තිලොවට

පන්සාලිස්වසක් දම් දෙසු අපෙ බුදු සමිඳු
උපවත්තන උයනේ සතු මල්ලව නිරිඳු
පිරිනිවනට වැඩියේ ගෞතම මුනිඳු
වෙසක් දිනේ කම්පා කර බඹ නර සුරිඳු

සම්බුදු සමිඳු ලක්දිව වැඩි තෙවෙනි වර
උත්තම වෙසක් පෝදිනකදි විය පවර
සමනල කන්දෙ මුනි සිරිපා තැබු එවර
සිහිකර වඳිනවා ලක්දන සැමවර

බුදුසමිඳුන්ගෙ දම් දෙසුමන් සුරකින්න
උරදුන්නේ අනඳහිමියන් නිතියෙන්න
අනඳ හිමිත් පිරිනිවනින් සැනසෙන්න
වැඩියේ වෙසක් පොහොදිනකයි ඔන්න

දම්සෝ නිරිඳු දඹදිව සිට එවනලද
පංච කකුධ අභරණ ගෙන පැළඳ
පෑතිස් නිරිඳු යළි අභිසෙක් ලබන ලද
උතුම් වෙසක් පොහොදා දම් සිසිල ලද

විජය කුමරු හෙළ දෙරණට ළංවීම
පිරිත් කියා කුමරුට සෙත් කරවීම
හරිමග යන්න විජයට මග පෙන්වීම
උතුම් වෙසක් පොහොදා විය සිදූවීම

කිසාගෝතමිය සිදුහත් හා හමුවීම
නිබ්බුත පද වලින් කුමරුන් ගැන කීම
මව් පිය ඇඹණිගේ මහිමය පැවසීම
උතුම් වෙසක් පෝදාවක සිදුවීම

සිදුහත් බෝසතුන් නසමින් කෙලෙස් අවි
ලැබුවත් ලොව්තුරා සම්බුදු බුදු පදවි
නෑදෑ හිතවතුන් දැරු මානයේ අවිදු අවි
බින්දේ වෙසක් පෝදා පෙන්වා යමමහ සවි

ගැමුණු රජු එදා එක්සේසත් කළ මෙලක
රුවන්වැලිය සාදන්නට පින්බර සිරිලක
වැඩ ඇරඹුවේ බලලා සුභ වෙලාවක
උතුම් වෙසක් පොහොදා පෙර දිනයක

කවිය බලන්න
මතට හිත තැබුවා මතට තිත

මතට හිත තැබුවා මතට තිත

සිසිල් මාන්නප්පෙරුම Brampton, කැනඩාව

මතට හිත තැබුවා මතට තිත

මගේ හොඳම මිතුරා
හය වසරේ පටන් සරසවි යනතෙක්ම
රෝහිත මගේ මිතුරාවිය පණට සම
ඔහු සිටියාය හැකිවිට පන්සල තුලම
දැන සිටියාය මට වැඩියෙන් බුදුදහම

කැළණිය සරසවිය මට උරුමව තිබුණා
විදුදය සරසවිය රෝහිත හට ලැබුණා
තිදෙනෙක් සමග රෝහිත හොස්ටල් වැටුණා
හතර දෙනාටම කාමරෙ වෙන්කෙරුණා

විදුදය සරසවියෙ නිදහස උපරිමය
දේශණ රැසක් සිදුකෙරුනේ සති අගය
සතියේ දවස් ගත කෙරුවේ බීමටය
හතරම එක්ව බීවේ හොර අරක්කුය

හොර අරක්කු තිබුණා රත්තනපිටියේ
ලාභෙට දුන්නාය සිසුනට සරසවියේ
සවසට කොහොමටත් නැත සිහියෙන් සිටියේ
ඉඳ හිට මටත් දඩ ගැසුවා තුන්සීයේ

තුන් වසරක් පුරා මේ හතරම බිව්වා
සිව්වන වසරෙ දෙදෙනෙක් කප්එක ගැව්වා
රෝහිත සමග අනෙකා Final ලිව්වා
බීමට වඩා සැපයක් නැති බව කිව්වා

ලේ වමනය කලා පපුවේ තවත් ලෙඩක්
රෝහල් ගත කලා රෝහිත කිහිප විටක්
හදවත නැවතුනා අනෙකගෙ නොදී ඉඩක්
පරලොව ගියා එක කාමරෙ හතර දෙනෙක්

මගේ ඥාති සහෝදරයා
ඩග්ලස් අපේ අයියා අල්ලපු ගෙදර
බෝතල් හිස්කලා මිතුරන් හා නිතර
හොඳටම මත්වෙලා බීලා ගිනිවතුර
පැන්නා ගඟට තිබුනා දිය යට සිරුර

මගේ බාලම මල්ලී
දඟකාරයා විය පවුලේ පොඩි මලයා
මටත් වඩා ඉගෙනීමට ඔහු රුසියා
රජයට බැඳී කෙරුවා සේවය රැකියා
ඉඳහිට මත්වුනා අපි කාටත් නොකියා

ඉංජිනේරු වැඩ දිවයින පුරාවට
පැවරී තිබුණි නිතරම වැඩ බැලීමට
සේවක පිරිස සහ මිතුරන් එකතුකොට
ඇබ්බැහිවුනා ඔහු තදටම සුරාවට

සිරුරේ පාලනය ඔහුටම නැතිව ගියා
කිහිපවිටක් ඉස්පිරිතාලෙත් සිටියා
අවයව දියවුනත් ඔහු ඉවසා සිටියා
ගොඩ ඒමක් නොමැති බව ඔහු දැන සිටියා

ගතේ වේදනාවන් ඉවසනු බැරිව
හිතේ දුකට ගත් තීරණයක් අනුව
බක්මහ උළෙලදා දඟලන්නේ නැතිව
සිය දිවි නසා ගත්තා ගෙදරදි තනිව

මිතුරන් සමග පානය කර මත්වතුර
වෙන්නට එපා මත් රකුසාගේ ගොදුර
හදවත ගිනි ගනී දහසක් වැඩ අතර
මල්ලී මතක් වෙනවා තවමත් නිතර

මගේ උත්සාහය එක් අයකු හෝ මත් උවදුරින් මුදවා ගැනීමයි.

කවිය බලන්න
නමක් නැති ගැහැණිය මම දිසාපාමොක් දියණිය

නමක් නැති ගැහැණිය මම දිසාපාමොක් දියණිය

චන්ද්‍රලාල් ද සිල්වා තොටගමුව

දැන උගෙන නෙක ශිල්ප
කෙලපැමිණි දුනු ශිල්ප
තක්සලා බැච් ටොප්ට
සම්මාන කොට පිදූ
ගුරු කුලේ කුසලානය
ඔබේ දෙටු දියණිය
අවසර ද වැන්දඹූව
යලිත් පා නගන්නට
තක්සලා විදු බිමට

කීකරුව ඔබ අණට
අවනතව බමුණු කුමරුට
ඇරඹි යුග දිවියට
කිම හැඩුවෙ කණකොකා මුල සිට

පරයා කෝකිළ කූජන
තොරක් නැතුව රෑහි හඬන
රුදුරු වග වලස් ගොර සප්
ගොදුරු සොයන මහවන මැද

අවි ආයුධ ඔහු උර මත
දෑවැදි පොදි මගෙ හිස මත
බුදිමින් මා නෙළු පලවැල
දිරියෙන් පා ඔසවන සඳ

හඹා ආ මදනැතුන්
බිම හෙලූ එක හී සරින්
ධනුද්දර මල් දුන්නෙන්
නොවිද්දත් එක මලවි භීයක්

ගිමන් නිවනා සැදෑ යාමෙක
නදිය අසබඩ වැලි තලාවක
සඳ එලාදුන්‌‌‌ රටා පැදුරක
නමක් නැති මා විය ගැහැණියක

දැණුනු කුසගිණි නිවණු
ශිල්ප නොමදත් බමුණු
සොර මුලක් මස් බුදිනු
දැක අණ කලා අයදිනු

නොලද්දෙන් පිසූ මස් කුමරා වුනා උදහස්
ඔහු මුදා හල හී සරින් මැරී වැටුනා සොරුන්
හී අවසන් වුනා ධනුද්දර පැරදුනා
දෙටු සොරු අසිපතෙන් කුමරුගේ හිස කඳින් සිඳූනා

රුදුරු වන මැද ඉතිරි වූ එක මිනිහ පසු පස යනු විනා
කුමක් කරමි ද කිසිත් නොමදැන සොරා පසුපස මම ගියා
පැහැර මා සතු සියළු වත්කම් සොරා පියමං වෙනතුරා
කැලේ මැද උස ගහක නැග ගෙන සක්‍රයා සිටියා බලා

පවසා සොරු අතට අසිපතක් දුන් බවට
සැමියගේ මරණයට චෝදනා කලා මට
සක්‍රයා බොරු මාධ්‍ය වාර්තා සැකසුවට
නිරායුද චෞරයන් වෙසෙන වනයක් වේද?

ගඟ ළඟ අසරණව සිටිය මා රිදවන්න
පතිවතේ හැංගුනා පිරිමිකම රැක ගන්න
නාරිද්වේෂයෙන් නාඩගම් පෙන්නන්න
සක්‍රයට සිදුවුනා කැනහිල් වෙස් ගන්න

මාතළී මාළු වී පංචසික උකුසු වී
නඩය තිරිසන්නු වී පෙන්නූ හෙළුවැලී
වසා ගන්නට බැරිව සිටිද්දී ලත වෙවී
ඇඳ ගත්තෙ අඹුලගේ කඩමාළු රෙදිපිලී

(චුල්ල ධනුද්දර ජාතකය ඇසුරින් )

05-04-2022

කවිය බලන්න
චෞරයාට  ගල් ගැසීම

චෞරයාට ගල් ගැසීම

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

පව් නොකළහු පළමු ගල
ගසාපන්න .
යේසුස් .

අතින් අත ගත්
පෝස්ටර් බැනර්
ගිනි පුළිඟු විහිදුවයි
බුර බුරා සිත
ඇවිලි ගින්නෙන්
අලු ගසා නැඟෙන පුපුරු විසි වෙයි
විවර දෙතොලින් .

දියව් ආපසු අපට
තොප සොරා ගත් අප ධනය !

නො තිබිණ ද
නඩු පිට නඩු
ඔසවන විටදි සිහසුනට
මේ චෞරයින්
තැකුවෙමු ද මොහොතකට
තුඩ තුඩ කියූ දොස්.

අඹරවන විට නීති හස්තය
ප්‍රසූත කර වන්න
නිදොස් කර නිදහස
නෑසූ කන් ව
අඳ නෙතින්
නොසිටියෙමු ද අපි
දැන දැනත් නීති සතර
නිදොස් මිනිසුන් සිර කර
යවන සැටි වැරදි කරුවන් ගෙදර
කෙල පැමිණි නීති වියතුන්
සහ උන්ගේ ජෙනරල්
සමඟ එක පෙළට ම
අතේ දිග පමණට
එක ම කිල්ලෝටයේ
හුනු කෑ පමනට

බසිව් චෞරයෙනි සිහසුනින් !
කොහෙන් එනවද මේ හඬ ?

බලන් ඇතුලත මොහොතක්
ගල් ගසන්නට පෙර
පව් කාරයන් හට .

නොසිටියෙමු ද වට වී
සොර රැලට
කටු කැබලි විකන්න ට
තනතුරු ද පට්ටං
යාන වාහන මාලිගා
කන්ට්‍රැක් කොමිස්
සුරාසැල් හන්දි වල

හිස් විය භාණ්ඩාගාරය
සොරා ගත් පමණට
ජීවිතය නැවතුනා
උන්න හිටි පියවර
ගාල් වී පෝලිමට
ප්‍රසූත යි ප්‍රඥාව
මහ වේදනාවක් මැද
හිස් භාණ්ඩාගාර තුළ

පස් පවේ ගිලෙන්නේ
අපි දෙපාවුන්
සැලසුම් හදාගෙන
උසස් වූයේ මනස
හදාගන්න යි ඒ සැලසුම්

නිරුවත් කළේ නම් මව
ලෝකයක් ඉදිරිපිට
සොරා ගෙන ඇගෙ ඇඳි වත
රිදී කිහිපෙකට දෙන්නට
දැන් කවර කඳුළු ද ?
මේ කඳුළු කාට ද ?
අපට ම ද ?

සොයව් සෙනෙහස මවට
වල දැමූ ආත්මය තුළ
හෙළව් දිය ගත මිරිකා
තබන තුරු
ඇය සිහසුන මත .

10-04-2022

සාමාන්‍ය ජනතාවට මඟ පෙන්විය යුතු
වෘත්තීය වේදීන් , සරසවි
ඇඳුරන් , නීති වේදීන් , පරිපාලන
නිල දරු වන් සහ ආගමික
කණ්ඩායම් පිල් බෙදී මාතෘ
භූමිය කොල්ල කන දේශපාලන
චෞරයින් සමඟ එක් වී තම පතට
හරි හරියට බෙදා ගත්තා මිස
තමා දෙපයින් සිට වූ දේශයට
යුක්තිය ඉටු කර තිබේ ද ?
ස්වකීය බත් පත වෙනුවෙන් වීදි
බසින සාමාන්‍ය ජනතාව පවා මේ
දූෂිත හස්තයට හසු වී නැද්ද ?

කවිය බලන්න
සාමයේ ගීතිකාව...

සාමයේ ගීතිකාව...

ලේඛක, පරිවර්තක චන්දන ගුණසේකර ලන්ඩනය

දිනෙක පිපිලා සුවඳ දෙන්නට
බලා ඉන්නා කැකුළු මල් පොඩි
තිඹිරි ගෙදරම වැනසුවේ කවුරූ
බලය හමුවේ උමතු වූයේ
ලොවේ සාමය සුන් කළේ කවුරූ
ආදරය යන අකුරු සතරට
ගිනිතබා වනසා දමා
ක්‍රෝධයේ බිජු වැපුරුවේ කවුරූ
ප්‍රේමයේ පිවිතුරු පවන් රැල්
වෛර ගින්නෙන් කෙළෙසුවේ කවුරූ
මිනිස්කම පාපෙන් තෙමාලූ
දෙපා සතුමය නපුරූ
මුලාවී මෝහයෙන් වියරූ
ප්‍රේමයේ මල් සුවඳ විහිදා
සාමයේ අරුණලු උදාකර
වඩිනු මැන ජේසුනේ මෙළොවට
ඇයිද දෙවියනි පමාවට කරුණූ
කවිය බලන්න
අරගල...!

අරගල...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

ලැබුමට ඇවසි දේ, ලදරුවො ලබන්නේ...
ඇඬුමට කිරි එරෙන බැවිනුයි කියන්නේ...
කෙරුමට නැලවුමත් මවුපියො
සිතන්නේ...
දැරුමට දුක් ඉඩක් නොතබන සිතින්නේ...

වැසියන් රටේ අසරණවී
සිටින්නේ...
නිසි අන්දමින් සැලකීමක් නොවන්නේ...
ඇසියන් කියා, කියුදේ නොතකමින්නේ...
බිසි වෙන්නේ බීරි අලියන් ලෙසින්නේ...

පාලකයින් තවම නිදිදැයි ⁣ඇසෙන්නේ...
කාලක බාගයක මතෙදැයි
සිතෙන්නේ...
ගාලක සිරව ඉන්නේයැයි කියන්නේ...
මේ ලක නැති කළේ ඇයිදැයි
අසන්නේ...

ආසාවට නොවෙයි අරගල
කෙරන්නේ...
බාසාවට ඉඩක් නැතිවිට
කරන්නේ...
ගෝසාවට පිරිස් ටික ටික ඇදෙන්නේ...
නෑසූවිටදි නම් දුරදිග
යැවෙන්නේ...

උද්ගෝෂකයින්ට මෙලෙසින් කියන්නේ...
සද්බාවයෙන්මයි, කන් ⁣දී
අසන්නේ...
මැද්දේ සිට පාර ඇයි ඔබ
වසන්නේ...
නැද්දෝ එයින් තම සගයින් පෙලෙන්නේ...

ගමනක් යන්න නෙව පාරට
බසින්නේ...
තම ඕනෑකම් කෙතෙක් ඇතිදැයි
සිතන්නේ...
කිම අසරණ බවට උන් පත් කරන්නේ...
එම දෙය ගැන සිතා බැලුවොත් වටින්නේ...

අවසන ලොක්කන්ට තරයේ කියන්නේ...
පවසන දේ එලෙස කෙරුවොත් අගෙයිනේ...
ඉවසන දනා රුපු යුදයට නොයන්නේ...
වියසන ⁣නැතිව ජය කොඩි ලෙල දෙවන්නේ...

දක්ෂිණි සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා ⁣
දෙහිවල .

කවිය බලන්න
ජයවේ ලංකා !

ජයවේ ලංකා !

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

සිටත් ලොවේ නන් රටවල හතර අතේ

ඇතත් නේක සැප සම්පත් සිතුව මතේ

එහෙත් නැතේ හරි සතුටක් අපගෙ සිතේ

සිතත් ඇදේ නිරතුරු මව් දෙරණ වෙතේ

සොයත් බලා හැම මොහොතෙක දිවා රැයේ

දෙයත් දැනන් සිදුවූ එහි ගෙවුන පැයේ

ගැනත් රටේ ජන සෝදිසියකින් බියේ

රැයෙත් තුරුළු කර ලක්බිම ඇඳට ගියේ

හොරුත් මිනීමරුවන් හා නැතිව කැතේ

රජුත් හොරා ගත් හැටියට තමුන් හිතේ

වැටත් නියර එක්වි කෑ මහරු කෙතේ

වියත් දනා නිහඬ පවෙන් කුමන සෙතේ

මැදත් කොතෙක් තර්ජන නිළ මැරබලයේ

දෙඅත් බැඳන් නොසිට වැටී ව්‍යසනයේ

ඇවිත් එක්ව දරුවන් ලෙස තුන්හෙළයේ

රකිත් රටත් දැයත් විරුවො අරගලයේ

නැතත් ඔතැන කයක් ලෙසින් මේ මොහොතේ

අපිත් සබඳ සිතින් බැඳෙමු ඔබ දෙඅතේ

වෙතත් දුරක් මමත් නුඹත් හමු නොවෙතේ

ගැටෙත් උරෙන් උර අපගේ සැක නොමැතේ

උනුත් මුනුත් තරම රටට කළ හදියේ

දනිත් ලොවම බඳිමු ඔවුන් මැද පිටියේ

ගෙනත් දැයට සෙතක් සදන අය සබයේ

යළිත් උදා කරමු ජයක් හෙට දිනයේ

කවිය බලන්න
හදවතින් එක තැනයි ....

හදවතින් එක තැනයි ....

දීපා ද සිල්වා ලන්ඩනය

දවසින් දවස උඩුගම් යන බඩු මිලට
පෝලිම් වලම දියවී යන හෙට දිනට
ආදන් විලස ලිස්සා යන මැති සබට
තේරුම් කරන්නට එක් විය මාවතට

අව්වද වැස්ස නැහැ කිසි වෙනසක් දැනුනේ
කකියන ලෙයයි අද මහා පාරේ රැදුනේ
කදුළේ සවිය පව්රක් වී ගොඩ නැගුනේ
ලක් දරු හදයි නිදහස වෙනුවෙන් තැව්නේ

අත පය හකුල නිවටව සිටිනා විටදී
ඔලුවට පවා අත සෝදති හැම වර දී
නැගිටිය යුතුය වෙර වීරිය සවි බල දී
ජන බලයට ලොවේ හැම බලයම පරදී

එකා වගේ පෙරටම යන සොහොයුරනේ
නුබ හද ගැහෙන රාවය හොදහැටි දැනුනේ
සිටියත් දුරක ලග සිටිනා ලෙස හැගුනේ
සැමදා හදවතින් සවියක් වී ඉන්නේ

කවිය බලන්න
වරෙව් සොයුරෙනි

වරෙව් සොයුරෙනි

එස්මන්ඩ් ගුණසේකරන්

දෙටු සොරුන්
වදනින් වියාලු
නයන බැදි කළු
තිර ඉරා

කෙසරිදුන්
අබිමන් දරාලු
අසිපතත් ගෙන
හද දරා

රකින්නට මව
නිවටුන් නියාලු
ඇද දමා
සිහසුන ඉරා

වරෙව් සොයුරෙනි
ඔටුණු හිසලු
කැනහිලුන්
ගල් ලෙන් කරා

කවිය බලන්න
‘’අනේ,කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ ”

‘’අනේ,කුහුඹුවනේ තොපටත් රජෙක් ඉන්නේ ”

ගර්ලි චන්ද්‍රිකා මාළබේ

එදවස මගේ මව් රට

ඉන්දියන් සාගරේ මුතු ඇටය.

උගනෙමි, සිප්හලේදී,

ඉතිහාසය,

යුග යුග හැදෑරුවෙමි.

උගනෙමි, රට සරු කළ

රජ දරුවෝ, රට බේරාගත්

රජ දරුවෝ ගැනදෑ අභිමානයෙන්

යුතුව,

පාසැල් ගමන ඇරඹුනදා

සිට මගේ මව් රට,

සංවර්ධනය වෙමින් පවතින රටකි

දකුණු ආසියාවේ,

වසර 55 ක් වියපත්ව ඇති අද, ද,

සංවර්ධනය වන රට එසේමයි.

අන් රටවල්

දියුණුවෙන් දියුණුවට පත් වූ යුගයක,

වසර 74 ක් පුරා දියවන්නාවෙ උන්

සොරකම් කළ නිසාවෙන්,

ලක් මෑණියගේ ජන දරුවනට උරුම දේ,

අද සියල්ල උගසට තබා,

සින්න වීමට ආසන්නව,

ලක් මවුන් අඬනා කළ,

නැවත යුග යුග ගණනක්,

පසුපසට ඇඳ දමා ඇත සැවොම.

පොඩි උන්ට කිරිත් නැති,

කන්නට බතුත් නැති,

ලෙඩට බෙහෙත් නැති,

පිසින්නටගින්දර නැති,

දකින්නට එළිය නැති,

තබා, එදා වේල සරිකරගත් එකාට කන්නට තිබූ ,

පාන් ගෙඩියද නැති කළ,

දස රාජ ධර්මයෙන්

රජුන් නොමැති කළ,

මේ කේතුමති පුරයට

දියසෙන් කුමරුනේ

වඬිනු මැන, දෑස් විවර කර,

මුසාවෙන් මුලා වූ,

රටේ, පණ අඳින ජන දරුවනගේ,

කඳුළු පිසදැමීමට //

කවිය බලන්න
ණයට කත පැස සිඳ - උගස නියතයි දැය බඳ

ණයට කත පැස සිඳ - උගස නියතයි දැය බඳ

මහාචාර්ය ටී. එල්. ගුණරුවන්

ණයට කත පැස සිඳ - උගස නියතයි දැය බඳ
රට දැයට හිත ඇඳ
අමාවක රැය නැති හඳ
සිතමි අඳුරෙහි ඉඳ
කෙලෙස සිඳුණි ද දිය අපගෙ ළිඳ ?
වැය අයට වැඩි සඳ
නැඟෙයි ඉහළට ණය කඳ
හැත්තෑ හතෙහි ඉඳ
එලෙස දැමුවෙමු අරුතෙ කොඳු බිඳ
සංචිත යැවෙත සිඳ
ගත්තෙමු බැඳුම්කර කඳ
නො දා රෝ මුල බිඳ
කල් ගතිමු දින, දැනෙන කුණු ගඳ
වැයට විනිමය මඳ
කලට හම්බන්තොට බැඳ
බදු දී විලස අඳ
යහට බීවෙමු නො රට හැදු කැඳ
ණයට කත පැස සිඳ
උගස නියතයි දැය බඳ
පුතුට රට නැති සඳ
ඇතත් විදුලිය, වෙයි එළිය බොඳ !
හෙටක් ගැන සිත ඇඳ
රටක් රැකුමට මන නඳ
නොවක් පොරණන් වැඳ
යෙහෙක් අරපිරිමැසුම රොද බැඳ ....!
ගුණරුවන්

2022 අප්‍රියෙල් 02

කවිය බලන්න
මිගිදන් නොමැත මිහිදන්ව...

මිගිදන් නොමැත මිහිදන්ව...

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

මිගිදන් නිදන විට ලක් මව් උකුල පිට
මිහිදන් කළැයි සිතමින් උන් පොළොව යට
නොරටින් හිස් නැතිව විත් වනසද්දි රට
සැනෙකින් උන්ව එළවයි සිංහයො නැගිට

ඊයම් උණ්ඩ සෑහෙන තුරු යකඩ කටේ
මායිම් නොකර මහජන හඩ ඔබේ රටේ
සායම් පැලැස්තර ගෑවට හතර වටේ
වෑයම් පලක් නැත දැන් පරපුරට රටේ

සෝදා තිබේ නිල් කොළ රතු පාට ටික
පාදා දෙඇස් ඇත්තේ රට පමණි එක
සාදා හෙට දවස මිස නොහැරෙන විටක
පූදා මල් දිලේවි උණු රන් බිමක

පීඩිතයන්ගෙ හද යට ඇවිලෙන අගුරු
පීඩකයන් තපින කළ සාදෙක අයුරු
කදුලින් රුහිරයෙන් ලියමින් මෙහි අකුරු
නිතැතින් සොයමි මගෙ ලක්බිම වීර දරු

හෙට දවසට ඔබින්නට පොත අත රැන්දූ
රට වට දරුවන්ව අරගලයට කැන්දූ
හෙට මගෙ රටට ඇති අබිමන් ගෙන සින්දූ
පිට කළ යුතුය ඒ ලජ්ජිත කැනහිල්ලූ

ලාමින් ලලාටය අප පුදනා දෙරණ
පාමින් නාටිකා එහි සාරය මරණ
මෙසොරුන් උගත යුතු අති වැදගත් කරුණ
ප්‍රේමෙන් ලක් මවට හදවත් ගැහෙයි රණ

කවිය බලන්න
රතු රෝස

රතු රෝස

හිල්මි සුපුන් ඉතාලිය

අපි උන් වෙතට විසි කෙරුවෙ ආදරෙන් රතු රෝස

උන් උන්ඩයෙන් හිල් කෙරුවා රෝස හදවත් රඹුක්කන

කවිය බලන්න
අර ගල ය

අර ගල ය

මාලපල්ලේ හේමාංගි අමරසිංහ

ඇසුණේ ය මහා යාතිකාවක්
කාට දෝ පවසන
මහා පිරිවර රැගෙන
ගාලුමුවදොරට!
ඒ වුන් කෑ ගසන්නේ බඩගින්නේ ද
“නැහැ-නැහැ” එකෙකු කියනු ඇසුණේ ය
“උඹත් මාත් ඇතුළු ව අපි කියන්නේ
එක ම කතාව ම ය. අවුරුදු ගණනක් පුරාවට.
ඒත් උන් නෑසුණා සේ ම සිටින්නෝ
සැප-සතුටු දිවි පසු කරමින් ම ඉන්නෝ
දුකක්-කදුළක් නොදකින්නෝ...
පිටිය වසා ගත් මහා ජන රළ
එකාමෙන් කෑ ගසන්නේ
එසේ නම් යළිත් ඒ කතාව ම කියන්නට ද?
“වැඩක් නෑ-වැඩක් නෑ. එක ම පවුලේ උදවිය
කොයි පවුලෙත් අඩුම-කුඩුම
තියෙයිනෙ කාටත් පෙනෙන-නොපෙනෙන
කොයි-කවුරු ආවත්
එක ම මේසෙනෙ කෑම කන
දවල් මිගෙල්-රෑ දනියෙල් වාගෙ ම...”

“අන්න වැදුණා...ඔලුගෙඩියට ම
තුවාලයි ලේ වගුරවන්නේ ඔය...
තිබුණා ද උණ්ඩ කෑලි...පොලු කෑලිහෙම?”

“නෑ-නෑ.අපේ එකෙක් ඒ ගැහුවේ...
ආරක්ෂක නිලයකට...ඔලුකට්ට පැලෙන්නට...;
අන්න අර වාගෙ ගලකින්!!

01.05.2022

කවිය බලන්න
වන පෙත සිරියාව...

වන පෙත සිරියාව...

හේමා ඩෙප් ලන්ඩනය

කිචි බිචි කුරුලු හඬ දස අත පැතිරෙනවා
තුඩින් තුඩ තියා මොනවදො මුමුණනවා
සිත කය දෙකම සැනසී සිසිලස දෙනවා
වන පෙත තුළට වී මා සිරි නරඹනවා

හාවුන් මුවන් තරඟෙට මෙන් දුව යනවා
ඒ සැම දෙනම මා සතුටින් පිනවනවා
මොණරුන් පිල් විදා හැඬ රඟ මට දෙනවා
වනයේ ඉන්න ඇත්නම් සිත වද දෙනවා

ඉන්නා ඇතුන් ටික එළියට එනවා
තාලෙට අඩි තබා උන් පාඩුවෙ යනවා
පැටවුන් සෙල්ලමෙන් පසු පස දිවයනවා
අම්මගෙ බඩ යටට රිංගා නවතිනවා

පැත්තක ගල් තලාවක ලස්සන ඇත්තේ
වැව ළඟ කුරුලු පෙම් බස් දොඩමින් ඇත්තේ
සුදු තිත් තබා ගෙන මුව රැළ ගල මත්තේ
වතුරට බහින්නට සූදානම ඇත්තේ

සුන්දර සුරපුරය වන පෙත ගෙන දෙන්නේ
රන්වන් ගිරව් රෑනක් පියඹා යන්නේ
සංගීතයක වගෙ හඬයක් පැතිරෙන්නේ
සරස්වතී දේවිය සිහියට එන්නේ

වනයේ සිරිය මගෙ සිත සනසන්න ඇති
ආපසු යන්න මට අමතක වෙන්න ඇති
හිරු බැස යද්දි හදවත ගැස්සෙන්න ඇති
මගෙ නෙත් දෙකට පොඩි කඳුළක් එන්න ඇති

කවිය බලන්න
වසන්තය

වසන්තය

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

අප බලාපොරොත්තු අත්හරිද්දීම
ඇය ප්‍රමාද වූ අමුත්තියක් සේ
සෙමෙන් ඇවිද එන්නී ය

කැලෑ මලින් සැදි
ඇගේ ගවුමේ වාටිය

වැස්සෙන්, මීදුමෙන් සැදි
ඇගේ ඉරුණු වේල් පට
ඈ පසු පස ඇදී එමිනි

ඈ අපේ දෙසවනට ඩැන්ඩිලයන් හුස්ම පිඹින්නීය
ඉතින්
සීතල සිසිරයේ පැවතුම් අත්හරිමින්
අපි ඈ ට සමාව දෙන්නෙමු
මෙතෙක් ළඟ රැඳි
ඝන ආයිත්තම් විසිකර
දෑත් විදහා
ඇය ව පිළිගන්නෙමු

‘Spring’ by Linda Pastan
පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

Link to the original poem - https://www.yourdailypoem.com/listpoem.jsp?poem_id=1422
Poet’s bio- translated from poetryfoundation.org
Poet’s photo- poets.org
Copyright free photo of wild flowers - Pixabay

1932දී උපන් Linda Pastan යුදෙව් පසුබිමක් සහිත ඇමෙරිකානු කිවිඳියකි. මාතෘත්වය, පවුලක් තුළ පැවැත්ම, අහිමිවීම්, වයස්ගතවීම්, මරණය වැනි දේ මාතෘකා කරගත් කවි ලින්ඩාගේ කවි අතර සුලබ ය. මේ වෙද්දී කවි පොත් පහලවක් පමණ පළ කර ඇති Linda Pastan, ඇගේ කාව්‍යකරණය වෙනුවෙන් විවිධ සම්මාන රාශියක් දිනාගෙන තිබේ.

කවිය බලන්න
දින සටහන්

දින සටහන්

කංචනා කුමාරි දොඩංගොඩ පන්නිපිටිය

දිනපොතකි නුඹ
දිනපොතක් නැති මට..

හලාහල විෂ කලතා
රහසින් මතුර මතුරා
වත්කරන අපූරුව හිත මතට
ලියන්නට පන්හිඳ ට බලකරන

වපුරා සැහැසි බිජුවට
ඵල දරනතුරාවත් නොසිට
දැවෙනා අයුරු මා සිත
බලා හිනැහෙන කුරිරුකම ගැන
ලියන්නෙමි සුදෝසුදු පිටු මත

රුපු සෙනග සේනා මවා
ඔවුන් හා රොද බැඳ
එරෙහි කර මුළු ලොවම රවටා
සැනහෙනා සැටි නුඹ
පන්හිදට වත්කර කදුලැලි
ලියන්නෙමි ගෙවෙනා සැැම දින

දවස ගනනේ පැයෙන් පැය
එකකට එකක් පැැහෙන
අමුතු අරුමැති දේ ලියන්නට
ලියා සගවා තබාගන්නට
දින පොතක් වුු අයුරු
නුඹ මට!!

කවිය බලන්න
අරගලයේ කන්නලව්ව

අරගලයේ කන්නලව්ව

කාංචනා පෙරේරා කපුගේ කොළඹ

නීතියත් වල් වැදුනු හැටියක්
පෙන්නුවාලූ කාකි
හැත්තක්...

දුගී ජනයගේ බඩට ගසමින්
රටක් පාරට ඇද දාපු
කපුටෙක් ...

ඩොලරයක්වත් ඉතුරු නොකරම
අහස උසටම ගහපු
කරනම්....

අහිංසකයගෙ බත් පතට විදිමින්
කුසත් හිස්කර කරපු
හරියක්...

අනාගත දරු කැලගෙ පැතුමන්
අනේ සුන්කර දමපු
හැටියක්....

දෙවියනේ මේ යැදුම් අහමින්
ඉතිං දැන්වත් පිහිට
වීයන්...

හෙණයකට වැඩි දෙයක් ඇත්නම්
උන්ගෙ හිස් මත පාත් වීයන්....

කවිය බලන්න
කවි පද බඳිව් බැඳි පෙම් මව් කිරට වගේ.. කවි සභාව මනසින් දකිමි

කවි පද බඳිව් බැඳි පෙම් මව් කිරට වගේ.. කවි සභාව මනසින් දකිමි

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

තෙරුවන් වැඳ ගතිමි මුලසුනෙ වැඩ ඉන්න
අවසර ගතිමි ඔබ සැමගෙන් මෙහි සිටින
කළ ඇරැයුමට අනුරට මල් පුද කරන
මම ආවෙමි අදත් රස කවි නැණ රැගෙන

හමු වෙමු කලා සුරුවන් අද කවි සබයේ
විමසමු කවිය ගැන සැකසුම හද කුටියේ
දැන ගමු ඔවුනගේ අද - උදහස් පිරියේ
“මුතු වෙමු එක” ට කවියට එයමයි සවියේ

වියකරණයට තැන දී පදවා “බස” ය
සරසවියකට කැ`දවයි පහදා “වෙස” ය
විහරණයට වුව ද සුව දෙයි “දස රස” ය
සසැඳුමකට නොවෙයි කවිකම “දෙස-රැස” ය

මුල පූරකය ගන්නට මත්තෙන් කවියේ
සුල-මුල කියයි සුරුවන් සිටි බැව් රසයේ
නිල-තල කිමැයි රසවත්කම මැයි පිටියේ
බල-තලවලට බැරි අද එතැනයි සබයේ

පැණි වරකාවටත් හෙණ නොගැසී වත් ද
කපුටන් කලු වුණත් සුදුවුන් ලොව නැත් ද
උඩුගම් බැරුව දඟ දැමුවන් කළ සද් ද
කව් රස නොදන්නෝ මේ සබයෙත් ඇද් ද

ලෝකයෙ සතර කොණ නොව මුළු අට බා ගේ
විසිරී සිටින කවි - කිවිඳියො මොර වා ගේ
එක්කන් ආමි අමුණා මගෙ බර බා ගේ
මී රස දැනෙන කවි පද කියුමට රා ගේ

වග - තුග සොයන විට “කවි" ලඳකට ඔබින
“දිවමන් බව” ද “කැරැවුම් හුරු ව” ද හැඳින
ඇති විට කතිකාව “උපමා-මෙය” මුදුන
“ඉ`ග-සු`ග පු`ඵලුකුල” මට ගත හැක මිටින

සිනිඳු ය දෙපය අතැ’ඟිලි දෙකොපුල් පිසිණ
වරලස රැළිය අක්බඹරුන්ගෙන් පිරුණ
නා දළු වැටී රත් පැහැ දෙතොලෙන් වරුණ
දිගු නෙත් නීල පබසර කරවයි මුහුණ

සියුමැළි ගත ය උස - තර- බර - සම ලෙසැ’තී
රසුදැල් හැඩ පැළැඳ පද “රස’කුරු” නැණැතී
කිව මැළි නොවී යුතු ම ය කවියක රුවැතී
කම විළි වැසුණ හොත් පමණි ය “ගුණ” නැමැතී

අඩ සඳ නළල් පට ළාමක රතට පෙනේ
ගිරවකු නැහැය මත හිඳ හොට නමනු පෙනේ
මුව රද දසන් පෙළ සුදු ගල් පොකුර ගෙනේ
සිනහව මඳ ව මත් වී දෙතොල’ගින් ගෙනේ

පද වැල් අමුණ- අමුණා රස වගුර මි නේ
නද වැල් වැතිර එයි හෙමිහිට එ කල තැ නේ
රස මල් නෙතින් වණ ගැල් වෙන කවිය අ නේ
තව පල් වෙමින් “කිළි මුට්ටියෙ” තියෙනු පෙ නේ

සඳ නිසැඳස ද සැහැලි ද ඈ වන් කවි ය
කිම, ඒ කිම වෙතැ ද ඇති නම් පිරි ගුණ ය
සිත තුළ අත පොවා ගෙන සිතුවිලි ගොස ය
රස කවි තනව් බැඳ පෙම් කවියට පිරි ය

2022.05.01

කවිය බලන්න
කජු පුහුලන්

කජු පුහුලන්

කාෂ්‍යප ප්‍රේමචන්ද්‍ර

බිම් කරුවල ගිලිහී අරුණළු නැගෙති,
සැවුළන් හඬා හිරු ලඟ එන බව කියති,
සූටිකි,බටිත්තං නොඉඳුල් පැණි උරති,
කපුටන් කූඩුවෙන් පිටවී දොර වසති.

සිරියා බූරු ඇඳ උඩ නිදි වකුටු වෙලා
ඇහැරී බලයි ඇයි දුම් කඳ ගෙපැල වෙලා,
අම්මා කුස්සියේ ලිප ලඟ පරල වෙලා,
රොටි දෙකක් මැටි ඇතිලියෙ වකුටු වෙලා.

ගොමස්කඩ සරම පොරවාගෙන නැගිට,
පෑළ දොරෙන් පැන
පිලිකණු කෙලවරට,
රිංගා හරක් මඩුවේ
සුද්දී ලඟට,
සැරසෙයි දොවා ගන්ට කිරි
මුට්ටියට,

පළමුව ගෙනාවා උණුදිය
කොරහකට,
බැලුවා අත පොවා ඇති බව උනුසුමට,
සෝදා තන බුරුළු පිරිසිදුවන ලෙසට,
දෙව්වා කිරි කළය මදි නොවනා ලෙසට.

කිරි මුට්ටිය තබා අම්මගෙ රැකවරණේ,
අනෙක් කාරියට ඔහු යන්නට හැරුණේ,
සීතල පිණි මතින් ඈතට
පා තැබුනේ,
අක්කර පනහෙ පොල්වත්තයි දුර තිබුනේ.

අක්කර පනහෙ රතු හාමුගෙ පොල්වත්තේ
අඟල් හයට කම්බිය
ගහලා ඇත්තේ,
කණු පෙළ ලඟම අගලක් කපලා ඇත්තේ,
දිය පුරවා විස කටු සඟවා
ඇත්තේ.

රිංගා කම්බියෙන් වත්තට ඇතුළුවෙලා,
අඩි හතරේ දිය අගලත්
තරණෙ කළා,
කජු ගහ ඉළක්කය ඒ තෙක් ගමන් කළා.
කජුගස් දෙක තුනම සැනෙකින් සුද්දකලා.

කජු ගහ මුදුණේ,
පුහුලන් හැදුනේ,
කජු ගෙඩි රැඳුනේ,
පුහුලම අගනේ,

කහ පාටට, රනේ රුවට
පුහුලන් හැදිලා,
තක දොං
පුහුලන් හැදිලා,
රසබේරෙන පැණි ඉස්මෙන්
පුහුලන් පිරිලා
තක දොං
පුහුලන් පිරිලා.

වවුළන් හපලා,
පුහුලන් වැටිලා
ගහයට පිරිලා,
කජුගෙඩි හැළිලා.

කැහැපට ගැසූ සරමේ කොක්කණේ හදා,
කජු ගෙඩි, පුහුලන්ද
පුරවා ගනියි බදා,
මිනිහෙක් බරට කජු පුරවා සරම හදා,
සිරියා ගෙදර දුව ආවා
විරිය යොදා.

හොඳින් ඉදුණු පුහුලන් හතරට පලලා,
ඒ මත මිරිස් කුඩු, සහ ලුණු කුඩු හලලා,
හොඳහැටි තැම්බෙන්ඩ දුම්මැස්සේ තියලා,
සිරියා දුවන්නේ රොටියේ ඉව දැනිලා.

කජුගෙඩි හතලිහෙන්
ගෙන ආ ඒ අහුලා,
විස්සක් විතර තැබුවා මුට්ටියෙ ඔබලා,
අනෙක් විස්ස ආයෙත් සරමේ දමලා,
වලකජු පොලට දිවුවා
කොලු රැල හොයලා.

අල්ලක් තරමට රවුං ගන්නලා,
කාරුව ගල් පතුරෙන් හදලා,
වච්චය ඇඳලා,
අතකුරු ගහලා,
කජු වල ඉස්මත්තට පොලලා.

කජුගෙඩි සේරම දිනාගන්නවා,
වලකජු කෙලියට
හරි රුසියා,
පෙන්දා හින්දා
පරාද උනහම
උන්ටත් කජු දෙන
කජු පතියා.

ගිනිගොඩ ගහලා කජු ගෙඩි දමලා
කජු පුච්චන්ඩත් හරි රුසියා,
අවුරුද්දට කජු මාළු හදන්නට,
හත් මාලුවටත් කජු ඒදන්නට එකතුකරනවා
මේ සිරියා.

කවිය බලන්න
සීතලයි තමයි මේ අඳුරු වූ රාත්‍රිය

සීතලයි තමයි මේ අඳුරු වූ රාත්‍රිය

කපිල කුමාර කාලිංග

කලකට පසුව
නුඹ ඇවිත් "ඇඳිරිය"
අතින් ගෙන
නිහැඩියාව ද රකුසු වෙස්

සටන් පාඨ ඇඳි
පුවරු අත් හළ
දිවා කල වෙහෙසකර
ඉසිඹුලයි රැය තුළ බියකරු වුව

ඈතින් දිස්වෙයි
නිවි නිවී ඇවිළෙන
ගිනි ගොඩක රත
අසල්වැසි නිවසකින් නැගෙයි
හැඬුමක්, කුසගිනි වූ දරුවෙකුගේ

නිල් පැහැති නිල රියකි
වීදියේ අඳුරු මුල්ලක
නිදිකිරන ගිනි අවියක
රැඳුණු රෑ සමනලයෙකි

හිරු උදා වුණ ද හෙට දින
ඇඳිරිය රැඳේ සිත් තුළ
අයැදුමකි පුරවරයේ හැමතැන
රැකවලුන් පවා තැතිගන්වන

එකවරම නැගුණු ඒ ළතෝනිය
ගිලන් රියකැයි සිත සනසමි
සීතලයි තමයි මේ අඳුරු වූ රාත්‍රිය
නමුදු එය යමහලකි
හරි අඩක් වැසී ගිය හිමෙන්

කවිය බලන්න
මනුදමට මල් දමක්.....

මනුදමට මල් දමක්.....

ලලනී ගීකියනගේ රත්නපුර

මූකල හිරු දවයි ගත දාදිය දවන...!
නා පාසැති " අරුණ" දිවපුත් සේ සොඳින...!
මේකුල ඇතු දවන රුදු දාහය නිවන...!
දුර්ගය පසු කරන දිවයුරු රඟ සොබන...!

මනුදම් සුරැකි වත ගවු ගණනකට දුරින්...!
මිතුදම් ඇතිව තෙපලන බස මියුරු සරින්...!
දියදම් කරකැවෙයි පින් පවු හැඳින හොඳින්...!
ලියකම් අරුමයක අසිරිය විඳිමි තොසින්...!

වියත දැනුම් සාගර දිය කළඹවන...!
පැවත ආ ලෙසින ගෙන යන මහරුමිණ...!
පුවත කණ වැකින "ඇමතුම" ඇසුර වන...!
නියත "මනු දමට " මල්දම් පළඳවන...!

කවිය බලන්න
තාරුණ්‍යයේ තාක්‍ෂණේ ....

තාරුණ්‍යයේ තාක්‍ෂණේ ....

ලක්විජය සාගර පලන්සූරිය

කලක් අප මැතිවරුන් අරක්ගත් මැතිසබේ.
පසුකලෙක ජනපතිගෙ කතෝරු කාමරේ..
ජාතියේ පියාගේ නිසල රුව ඇදිරියේ..
හත් දශක කාලයක් හුදීජන පුද කලේ......
සතිගනන් ගතවුනා එහි තරුණ අරගලේ.
බාලාංශෙ වැඩකරන පාලකයො මරබියේ..
මුළු රටම ජය මගට ගෙන ගියපු මංසලේ..
පාලකයො නිරුවත් කලා තාරුණ්‍යයේ තාක්‍ෂණේ ....

කවිය බලන්න
දුරක හිටියත් හිතින් අප නුඹ සමඟමයි

දුරක හිටියත් හිතින් අප නුඹ සමඟමයි

ලක්ෂ්මි දමයන්ති

දෙමාපියනි සොහොයුරු සොයුරියනි ලක
නුඹේ සවිය දැක උණුසුම් වීය ගත
තලා පෙලා නොරිදා ජනයාගෙ හිත
අරගලයකි පොදු ලක් වැසි එකතු වුණ

සෙවණ සදන්නට මුස්ලිම් සොයුරෙකුට
සිහල කතක් අල්ලයි කුඩයක් හිසට
බොදුනු කිතුනු හිමිවරු අරගල බිමට
එකතු වුණේ ලක් වැසියගෙ පෙර පිනට

පක්ෂ ජාති ආගම් වෙනසක් නොමැතී
අව්ව වැස්ස රෑ දාවල් නොසලකතී
එක අරමුණක පිහිටා පෙරමුණක රැඳී
වැටෙන රටක යෝද බලය නුඹෙන් දිසී

සමඟි බලේ පෙර සිට තිබු අප අතර
බෙදුණු එකක් කෙරු ඒ පාලක පවුර
බිඳවා දිනේවා මුලු අරගල බිමම
පිළිරැව් නැඟේවා එඩිතර ජන හඬම

අපේ රටට ආදරෙ කරනා අපට
එවන් නායකයො නොලැබුණෙ පෙර පවට
එළඹෙන දිනෙක සම්මා සතියෙහි පිහිට
තමනට පෙර රටය! දිනවමු ජන බලය

ඉන්නේ පිට රටක හේතුන් අපමණය
එනිසා අප පිටය නොම සැළකිය යුතුය
ගතින් නුඹ සමඟ නැති වූවත් ඔතැන
ලක් මව අපෙයි අප මතු මියෙනා තුරුම

බින්ග්හැම්ටන් විශ්ව විද්‍යයාලය, නිව් යෝක්

කවිය බලන්න
අරගල මැදින් අවුරුදු සැමරුනාවේ

අරගල මැදින් අවුරුදු සැමරුනාවේ

ලක්ෂානි ලියනගේ කුරුණෑගල

මහ මග බැසන් කොටසක් අරගල කරතී
මහ මග බැසන් කොටසක් පෝලිම් ගෙවතී
අවුරුදු මගක් ඇවිදින් සැමරුම් යදිතී
අරගල මැදින් අවුරුදු සමරන්න ඇතී

වේලක් නොකා වේලක් කා ඉන්නකොට
සාගිනි උහුලමින් පෝලිමෙ ඉන්නකොට
දරුවන්ගෙවත් බඩ කට පුරවන්න හෙට
හැකි නම් එයම මහමෙර සේ වටී මට

කණ,කර දෙකම උකසට ගිලිහුනාවේ
මිලිනව හීන කඳුළක සිර වුණාවේ
දරු දෙන්නාටවත් අවුරුදු වෙලාවේ
නැකතට ඉදෙන කිරිබත රස වූණාවේ

වෙනදා වගේ රස මසවුළු නැතුවාට
මලු පුරවා ගෙනා සළුපිළි නැතුවාට
මා පිය හදවතේ රැඳි පෙම හැමදාට
අඩු නෑ මගෙ පුතේ දැනුණිද නුඹලාට

ලක්ෂානි ලියනගේ
කුරුණෑගල

කවිය බලන්න
බිදුනු සිහින ගෙනා වෙනස.....!!!!!

බිදුනු සිහින ගෙනා වෙනස.....!!!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

බිදුනු සිහින ගෙනා වෙනස.....!!!!!
ඔහු අවංකයි
ඔහුට වාක්‍ය වචන නැහැ.....
ඒත් ඔහු කතා කරනවා.......
එය ගැඹුරුයි
ඊතලයක් සේ තියුනුයි
ඒ තමයි අප්පුහාමි
රැගෙන ආ
වෙනසක වෙනස!!!!!

ලුම්බිණි විතාන
ලංඩනය
මැයි 2022

කවිය බලන්න
අරගලය

අරගලය

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

පූජාසනයෙ හිඳවා සැප දුන්න මදී ,
හැටනව ලක්ස ජනයා හටදෙනව පොදී,
වේල කන්න හිඟමන් යනු වෙන්න නොදී,
ගෝල් ෆේස් පිටි අද හිස් ගොඩකි රිදී!

ජාති භේද නැත බඩ ගිනි දැනෙන සඳ
පන්සල පල්ලි කෝවිල අද එකම හඬ
මුලු රට කුපිතවන දියවන්නාවෙ වැඩ
හැකිවෙද? නවතන්න අරගලෙන් අද.

"ගෝටා ගෝ යමං" කියමින් ඇසෙන පද,
ලොකුපුටු රත් කරන්නට තවමත් මදිද?
ඩීසල් තෙල් ටිකක් දී සනසන්න අද,
අලවා පැලැස්තර හැකිවෙද බිඳුනු හද!

ඇසෙනව නඟින රාවය රැව්දෙන සවන,
දැනෙනව හද ගැසුම සුලඟින් හමන,
පෙනෙනව සුහුරු ෆෝනෙන් විඳි දුක පමන,
වැඳෙනව මේ සැවොම දුර සිටියත් මෙදින!

එන්නට නොහැකි වූවත් අද නුබ ලඟට,
දෙන්නට නොහැකි වූවත් හිඟ බඩු නුබට,
වැස්සට හංග තිබු මුදලක් පරිසමට
එව්වා අසිරි මලු සමඟින් මගෙ රටට!

කවිය බලන්න
විරෝධතා පෙරමුණේ අම්මෙකුගෙන්

විරෝධතා පෙරමුණේ අම්මෙකුගෙන්

මෛත්‍රි පනාගොඩ ඔස්ට්‍රේලියාව

සම වැදී බවුනකට ගිනිගහන අවු රස්නෙ
මගේ අසතුට ලොවට හඬ නොගා කියන්නට
පෝස්ටරයක් ලියා රතු පාට පෑනකින්
ඔසවගෙන වීදිකොන දුබලවූ අත් දෙකින්

වාතලය අඳුරු වෙයි කඳුළු වෙඩි වායුවෙන්
සවන් යුග බිහිරි වෙයි සටන් ගී හඬ මතින්
ආවේගයෙන් දුවන මහ සෙනග අතරමැද
නොසැලී සිටියෙමි මහලු දෙපා යුග හිරිවැටී

සිංහ කොඩි ලෙලවමින් ඇසෙන ඒ තරුණ හඩ
හෙට පිපෙන නව ඉරක එලි කිරණ රැගෙන එයි
කඳුළු පිරි දෙන්නෙත් වල ගොස නගන පැතුම් මැද
මට පෙනෙයි මගෙම පුතු කලබලෙන් අණ දෙවන

පොලිසියට බැඳුනු දින උදම් ඇනුවේ මමයි
පුතේ නුඹ දැඩි කළේ උතුම් මිනිසෙකු වෙන්න
අද මවෙත එල්ල කළ ගෑස් දුම් කඳෙන් නොව
කඳුළු ඉනුවේ ඇසට ඒ දුකෙන් පුතේ මට

මුව වැසුම නිසා මා හඳුනන්න නැතුව ඇති
රාජකාරිය මිසක නෑ සබඳකම් කුමට
පෙනුම අඩුවුනත් මට දුර සිටින නුඹ පෙනේ
සවි බලැති අග පසඟ මළ පියා සිහිකරයි

සදාචාරය මකා දුගී ජනයා පෙළන
මැර බලය රජ බලය රට පුරා දිග හරින
අධමයින් රකින්නද මම නුඹව ලොකු කළේ
නිල ඇඳුම වීසිකර ගෙදර පලයන් පුතේ

06 04 2022

කවිය බලන්න
ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

වීදාගම මෛත්‍රිය නා හිමි

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

අල වන මේ කම් රස දොස විමසා
පලයව් තපසට පුළුවන් දවසා
පල රස විඳ ගස උඩ උන් මිනිසා
මුල සිඳිනා තෙක් ඉඳිදෝ නොබැසා

සිතේ ආශාව ඇති කරවන මේ කාම රසයෙහි දොස්
නුවණින් දැන, ශරීර බලය ඇති කල්හි ම ගිහිගෙය
අතහැර තපස් රැකීමට නික්මෙව් !. ගෙඩි (කා) රස
විඳිමින් ගසක උන් එක මිනිසෙක් එහි පාමුල කපා
හෙළන තුරුත් එසේ ම ඉඳී ද?

කවිය බලන්න
කාසි එපා ගෙදර වරෙන්....

කාසි එපා ගෙදර වරෙන්....

මයුරි කොඩිකාර ගම්පහ

රන් තැඹිලි පැළය දැන්
ලොකු වෙලා ගෙඩි වරයි
හෙන්දිරික්කා මල් ගහත්
මැලවිලා බිම බලයි
පොල් අත්තෙ රටා නැති
මිදුල හැඩිවෙලා වගෙයි
ගල් මතුවු ලිබ්බොක්කෙ
හුඹස් මැටි ඉකිගසයි..........

කියන්නේ කාට මම
මෙහේ ඇවිලෙන ගින්න
හිඳින්නේ දැවි දැවී
ගෙයත් උනදා සින්න
හඬන්නේ බඹසර බිඳී
මගේ කෙල්ල සේ වැලහින්න
රිදෙන්නේ පෙනි පෙනී
බිඳුණු සිහිනය ඇන්න........

උඹට ඇර මේ විපත්
පවසන්නෙ මම කාට
දුරක පියඹා ගියත්
සැපක් නම් නැතුවාට
නොහැක උහුලනු දෙඇස්
වාන් දමනව රෑට
දුවල ආපහු වරෙන්
මැකෙන්නට පෙර පාට

කවිය බලන්න
අරගලයට පෙර ......

අරගලයට පෙර ......

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

දිනයක් ගෙවී එළඹෙන්නට පෙර දිනයක්
කළහැකි වුවද නොකරා නිසි ලෙස මෙහෙයක්
වරදක් නොකළ අය එක්වී ගෙන ධජයක්
පමණක් එන්න කරනට ජන අරගලයක්

ඇවිදින් සේවයට බෝ පැය පමාවී
පිටවෙයි නියම කල හිමිහිට මුවාවී
තැන තැන රැඳී තොරතුරු නම් සොයාවී
එනමුදු රටට කළ කිසිවක් නොවේවී

පැය අට ගෙවා දමමින් රිසි විලාසෙට
එකතුව හදයි ඕ ටී නම් කලාවට
හැත්තෑ හතර වසරක් රට අගාදෙට
ගෙන ගිය මොවුන් යායුතුමය අපායට

දිගුකර ඇඟිලි පෙන්වද්දී අන් මුහුණු
තව හතරක්ය නොදැනිම ඔබ වෙත හැරුණු
අරගල කරන්නට පෙර රට කර පිළුණු
සවිමත් කරමු රට කර මෙහෙ මග ඇරුණු

කවිය බලන්න
කුරුළු ගෙදර

කුරුළු ගෙදර

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

කුරුළු ජෝඩුවක් ඇවිදින් අපෙ ගේ ඇතුලට
ඉඩක් හොයනවා වාගෙයි කූඩු හදන්නට
දවසපුරා වහින නිසා නොතෙමී ඉන්නට
සැලසුම් කරනවා වගෙයි හවුලේ ඉන්නට

අතුරු අන්තරා කිසිවක් ගේ ඇතුලේ නැත
විදුලි එළිය සමග වතුර ඇවැසිතරම් ඇත
රූපවාහිනීය ද තව සංගීතෙත් වෙත
මුත්තාපල් කිව්වත් යළි නොයන්නමයි හිත

මැද සාලේ විදූලි ලාම්පුව ඇතුලෙයි තැන
අහන්නැතුව බඩුත් ගෙනත් වැඩේ පටන්ගෙන
උඳුවප් මස සීත නැතිව ගත උණුසුම් වන
කැදැල්ලකට මීටවඩා තැනක් නැතිලු වෙන

චූටි හොටෙන් කෝටුකෑලි අරගෙන එනවා
ඒවායින් වැඩිහරියක් බිමටවැටෙනවා
කිරිල්ලියත් හැකි පමණින් රුකුලක් දෙනවා
බලාඉඳිමි , මගෙ හිතටත් සතුට දැනෙනවා

දවස පුරා මිහිරි කුරුළු නඳ ඇසියැකි දැන්
තටු සලමින් එහා මෙහා අගේට පියඹන්
චූටි පැටව් හදාගන්න ඉක්මන් කරපන්
කුරුළු පවුලෙ හැඩ බල බල සිටියැකි මට දැන්

එළියෙ තියෙන රොඩු ඇතුලට අරගෙන එනවා
සද්දෙ හොඳ වුනත් ගේ තුල ජරා කරනවා
ඕවට ඉඩදීල පස්සෙ කරදර වෙනවා
කුරුළු ජෝඩුවට එරෙහිව හඬක් නැගෙනවා

කූඩුවෙලා උන් ඉමිහිරි ගීත ගයාවී
අපේ නිවස ඇතුලෙත් ඒ සතුට පිරේවී
පැටව් හදා ලොකුවූ පසු ඉගිලී යාවී
එතෙක් ඔහොම ඉන්නටදෙමු පින්සිදුවේවි

ඉහල තැනින් අණ ලැබුනා ඉඩ නොමදෙන්නට
පැලපදියම් වෙන්නට පෙර ඉන් වලකන්නට
මොනව කරන්නද නොදනී හිතට දුකයි මට
අනේ ඉතින් මම ඉන්නෙත් ඒ අණසක යට

කවිය බලන්න
ක්ෂීර සාගරය පාමුල

ක්ෂීර සාගරය පාමුල

මෙල්බර්න් ජන කවියා

ක්ෂීර සාගරය පාමුල - මෙල්බර්න් ජන කවියා

දේදුන්නකි පායා ආ
රෑ මැදියම
දහවල හිරු නැති යුගයේ

ක්ෂීර සාගරය පාමුල
ඒ දේදුන්නේ එළියෙන්
දූතයන්‍ ය එක්වූ සුර

නොවී එතෙර
නැවැතී එහි
දේදුනු තුඩගින් සෙනෙහෙන්
පාරති උන් කළුවර රැය
බිඳ බිඳ දහවල එන තුරු ...

කතෘ අඥාතයි (anonymous)

කවිය බලන්න
හොරු පන්නලා රට හදනා අරගලය...මේකය් මව්බිමේ නිදහස් අරගලය

හොරු පන්නලා රට හදනා අරගලය...මේකය් මව්බිමේ නිදහස් අරගලය

නිශාන්ත ප්‍රීති සෙනරත් ලන්ඩනය

හොරු පන්නලා රට හදනා අරගලය...මේකය් මව්බිමේ නිදහස් අරගලය

උන් ගිනිතියපු රටෙ ගින්දර නිවන්නට
දුන්නා රටම කිරිබත් කා විරුවන්ට
රැවටුන බව පෙනුන විට රට වියතුන්ට
දහදුක් විඳිනවා මිනිසුන් කල පවට

දෙන්නට නොමැත කිරි පිටි ටික දරුවන්ට
මව්වරු හඬනවා බැහැ එය ඉවසන්ට
බඩු මිල ඉහල යය් බැහැ ජිවත් වෙන්ට
තරුණයෝ පොරකනවා රට හැරදා යන්ට

මිනිසුන් මියෙනවා ලෙඩකට බේත් නැත
පාලකයන්ට ඒ ගැන කිසි වගක් නැත
හිටියත් පෝලිමේ ගන්නට ගෑස් නැත
ඉන්ධන නැතිය, මුළුරට කළුවරේ ඇත

දුන්නේ නෑ පොහොර ගොවියා අසරණය
කාගෙද අනේ මේ තකතිරු තීරණය
එනතුරු අරන් රට විකුණා ඩොලර් ණය
කොහොමද දුවන්නේ මගේ රට අසරණය

හැත්තෑ හතර වසරක් හොරු කාපු රට
නිදහස් කරගනිමු ගොඩගමු අපේ රට
ඉවසුවා ඇතිනේද මිනිසුනි එනු පෙරට
එකමුතුවෙලා එනු මැන අරගල බිමට

ආවත් වෙඩි උණ්ඩ වරුසා පපු තුලට
මිනිසුන් හැරෙන්නේ නැහැ ආපසු බයට
බැරියර් දමා උල්කටු එහි ගැහුවාට
ජන අරගලය බය නැහැ ඔය නිවටුන්ට

රට ගැන හිතන මිනිසුන්ගේ අරගලය
හොරු පන්නලා රට හදනා අරගලය
එකමුතුකමින් රට දිනනා අරගලය
මේකය් මව්බිමේ නිදහස් අරගලය

කවිය බලන්න
දසත ගිනි ..

දසත ගිනි ..

නිලන්ති පෙරේරා කඩවත

නෙත් අගින් වෑස්සෙන
කදුලු ..දිය වැල් වෙලා..
පපුතුරේ හිරකරන
සුසුමකට දැවටිලා..
කුස තුලින් මොර ගසන
ගින්දරක් දල්වලා..
පුංචි පුතුගේ මුව'ඟ..
රැඳි.. සිනහ.. වියැකිලා..
ලිප ගින්න..නොදැල්වුනු..
අඳුරු..මුලුතැන්ගෙයත්..
බතක..හොද්දක..සුවඳ..
නොලැබ හඬනා..සෙයක්..
අතමිටට..කාසි දුන්..
නොසැලෙනා දහඩියත්...
සෝ..දුකින්..නිසොල් වී..
වැසුනු කම්හල්..ගෙයත්..
අහස උසටම දුවන..
බඩු මිලේ....අසිරිමත
හඳුන්නනෙ..නෑ කිසිත්..
මොරගසන..කුසගින්න.
නිරතුරුව..බැටකන්න..
පව්කාර උනෙ..අපද
බහුතරය..දුක් විඳින..
" මුතුඇටය.." කොයිබටද..
සුරපුරක්..වන්.. රටක්.
අපායට..ඇද.දමා...
පව්කාරයිනි..තොපට.
කෙදිනවත්..නැත..සමා..
අලුගසා..යලිදු..හෙට.
.නැගිටින්න..වෙර දරා.
ගොඩනගන..රටක් ලෙස..
සැනසෙමුද...දිරි ලබා..

කවිය බලන්න
අරගලයක නිමාව.

අරගලයක නිමාව.

නදුන් රත්නායක කොළඹ

දින සති මාස ගතකරමින් දුක් විඳලා
දහඩිය කඳුළු තැන තැන ලේ විල් ගලලා
රට රැක ගන්න දූ දරුවන් ගැන හිතලා
දිනුවා දිනෙව්වා අපි අරගල කරලා.

කපුටු මයින් බස්සං පිටමන් කරලා
ජනහිත වීරයන් සිහසුන උඩ තියලා
හෙට සරුසාර ලක්මවු ගැන අප හිතලා
මැව්වේ සිහින අරගලයට පින් දීලා.

කාලය ඉගිලුනා තුන් වසරක් ගෙවුනා
ජනයා පෙරසේම නැත සැප දුකක් විනා
සිස්ටම් චේන්ජ් අවුලක් ඇත මුනුත් ගෙනා
අපෙ අරගලය අද බොඳ සිහිනයක් වුනා.

සත්‍ය වැටහුණා මිතුරනි දිනක මට
ක්‍රමයේ වැරැද්දම නොව තිබු නේ අපට
රාජා භවතු ධම්මීකෝ බුදු බණට
නැත පාලකයො ඒකයි සිදුවුණේ රටට.

කවිය බලන්න
Life is all about celebrating everything happily

Life is all about celebrating everything happily

ඊ.ඩබ්.එස් නයගරා

Forenoon,

I love the sunshine,
I love green trees,
I love the endless sound of birdsong,
I love flowers,
Love the gentle breeze that blows through it all,
Out of all that, the fragrance of fresh flowers wafting through the gentle breeze refreshes me,

Noontide,

The sun's rays are intense,
The leaves of the trees wither, unable to escape the scorching sun,

In the midst of it all, gentle breeze warms me,

Eventide,

The intensity of the sun's rays gradually decrease,
When the sun goes down, the leaves of the trees wake up lightly,
The birds are singing again,
In the light breeze of the evening, the birds happily fly into their homes,
The flowers that bloom in the morning fall asleep early in the evening,
Giving the chance to flowers that are waiting to bloom that night,

Night world,

The moon rises, a star carpet appears in the sky, and the surrounding becomes cool and serene,
A new fresh world awakens at night,

Our life is like this,
In the face of a lot of happy and refreshing things in life, as well there are also bitter and oppressive things,
The important thing is to face life happily with everything,
Life is all about celebrating everything always happily,

කවිය බලන්න
කුර්දීශ් කුසුම

කුර්දීශ් කුසුම

වෛද්‍ය නිලූෂි වීරප්පෙරුම

ඈත මෙසපොතේමොයානු නිම්නයක
පාලු තල් ගස් පෙලක් යට
කාන්තාරයේ දැවෙන හිරු කිරණින් මුවාවුනු
සුන්දර කුර්දිශ් රෝස කුසුම

ගිම්හාන වසන්ත හුවමාරු මැද
සීතල උනුසුම් සමව විදගෙන
තනිවම රෑ පහන් තාරකා එලියෙන්
බලාපොරොත්තු දල්වන රෝස කුසුම

කලු මුහුද මතින් සුදු සද පායන විට
ඔලිව් ගස් මිදි වැල් පිස ගෙන හමා එන
හීගඩු පිපෙන සුලගේ තනිවම සැනසෙන
කාන්තාරයේ සුවද රෝස කුසුම

කුර්දීශ් කදුකරය සලිත කරමින්
ආදරයෙන් රැව් නාද දෙන්නට
සිනා සෙමින් සොයා දිව එන්නට
නෙත් අගින් අඩගසන රෝස කුසුම

කවිය බලන්න
සොඳුර කල නොවේ පෙම්සුව විඳින්නට

සොඳුර කල නොවේ පෙම්සුව විඳින්නට

නිමල් අබේසිංහ කඳාන

අල ළූණු මිරිස් මිල අහසට නැගී ඇතී
තෙල් මිල ගෑස් මිල සුලඟට ගසා යතී
ඇති නැති පරතරය කියලා එකක් නැතී
පාලනයක් තිබේ දැන් බලු වටින්නැති

අතක කිරිනැතිව හඬනා දරුවන්ය
තවතක බත් තුලක් නැති පොඩි දරුවන්ය
බලව මග දිගට ඉන්ධන පෝලිම්ය
එවන් පෝලිමේ මියයන මිනිසුන්ය

අරගලයකි තුරුණු පිටියේ ගාලු මුවදොර
සංහිඳියාව සාමය තිබේ බිහිකර
කන් නෑසුවම සිටියත් මුවග ගොළුකර
පන්නා දමමු රට වැනසූව හැතිකර

සොඳුර කල නොවේ පෙම්සුව විඳින්නට
අඳුර දුරැර ආලෝකය ගෙනෙන්නට
පැදුර කොට්ට අකුලාගෙන අපිත්හෙට
යමන් ගාළුමුවදොර කොඩි බැඳින්නට

එහෙව් නොවේ නම් මේ ටික අහපල්ලා
අලා පලා පල තිබ්බටු කාපල්ලා
වේලක් ඇර වේලක් කැඳ බීපල්ලා
රාජපස්සලාටම රට දීල්ලා

කූරියා ගසනු ලං වුණු වේලාවේ
මාරයා හඬයි අරලිය මාරාවේ
බෑ කියා කෙලෙස මේ වැනි වේලාවේ
හූ - රයා තොපට යායුතු වේලාවේ

කවිය බලන්න
පෙරටම යමු.........

පෙරටම යමු.........

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

ඉවස ගනු නොහැකි වී දිවි මඟක ගිනි සැරිය
සියල් දන එකතු වී අමෝරා
හද සවිය
ගාලු මුවදොර එකම ගිනි
ගොඩකි පරිසරය
සාමදානව යදියි ගෙවන්නට
දිවි සැරිය.

දරා ගත නොහැකිවී දෙස් පාළු
අඬහැරය
විසුනු වී ගොස් ඇතිය ලක්මවගෙ
පරිසරය
තුරුණු හදවත් වලින් පැන නැඟී
අරගලය
නොනැවතී රැලක් සේ ගලා යයි
අරුමැසිය.

වසන්තය පැමිණියද වසන්තය
නැහැ සිතට
දසන්තයෙ පැතිර යයි වේදනා
සිත දුකට
දිගන්තයෙ ගොස් කුමට සැපක්
නොලැබේ ගතට
අනන්තයෙ පන්නමුද අධම උන්
එක පෙළට.

මල් පිපුණු වසන්තය දකින්නට
පෙර කලේ
තාරුණ්‍යය අද දවස නැතිද ඔබ
පින් කලේ
පිපුණු මල් කිනිති සේ සුවඳ දී
මිහි තලේ
බේද හැම දුරලමින් ජය ගනිමු
අරගලේ.

අදීනව සිටි දැයක් කුජීතව බිම
වැටී
යදියි සිඟමන් ලොවින් අඬ අඬා
දණ ගැටී
එවන් තැන උරුම කල අමනයන්
තව සිටී
ඉදිරියට යන්න ඔබ රට රැකුම
හරි වටී.

කවිය බලන්න
ජය ගමු සටන දිරියෙන්

ජය ගමු සටන දිරියෙන්

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

ඉපදුණු දා පටන් විඳි දුක් අපමණය
සැපයන් පිණිස ගත් වෙහෙසද අපමණය
සැම සැප දෙමුයි උන් කී බොරු අපමණය
රැවටුණු අප ලැබූ ඵලයද එපමණය

අඬනා විටදි දරු පැටවුන් බඩගින්නේ
මව්පියො දැවෙයි හදතුළ ඇවිලෙන ගින්නේ
පිහිටක් නොමැති කල හොර පාලකයින්නේ
පොදියට එකතු විය සරණක් පතමින්නේ

මුවදොර ගාලු රැස්කන මහ සෙනඟ අද
අදමිටු පාලනෙන් බැට කෑ අය නොවෙද
පන්නා මෙ ජඩ පාලක කැළ ගෙලෙන් ඇද
අවසන් කරනු මැන ඇරඹූ සටන තද

අනේ දෙවියනේ සිදුවුණු වියෝයා
රුදු වෘක රැළක් පාලනයට ගියෝයා
රට කා නසා බිමටම සම කළෝයා
මේ වෘක රැළට නිසි දඬුවම් දියෝයා

ජන ගඟ ගලයි අද මුවදොර වෙත ගාලු
වැඩි කළ මැනවි තව එහි සැඩ බව යාලු
පාකර දමා විෂ පරඬැල් කඩමාලු
යළි රට නගමු සුරපුරයක් ලෙස යාලු

රට කන එවුන් පලවා හැර නොපමාව
උදුරාගෙන ධනය උන් සොර ලෙස කෑව
සැම මුහුණකම ඇතිවෙන්නට සිරියාව
ජය ගනු මැන සටන අපි ඉමු ඔබ ගාව

කවිය බලන්න
ලංකාව

ලංකාව

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

හංස- පරවි - සැළලිහිණි සන්දේශ ගිරා
නව නළු රසය කැලතුනු සාහිත්‍ය පුරා
සොබාදමේ රූසිරි එකිනෙකට පෙරා
කවි නෙත පිබිදුණා ඒ දින රසය දරා

ගස් - වැල් වලින් දිය දහරින් පිරී ගිය
ලක්දිව සදිසි කිරි පිරිපුන් මවක ළය
ඒ කිරි බලෙන් ඔදවැඩි දරු කැලෙක ලෙය
නම් නැති සතුන් වනසති ඒ තිඹිරි ගෙය

නියඟය - ඉඩෝරය ඟංවතුර ද පැතිරේ
ලෙඩ - දුක් වසංගත කිරි පැණි සේ ඉතිරේ
දැනමුත් නොදන්නා සේ සිටිනා අඳුරේ
මිනිසුන් සිඳිති ගෙල අසිපත තම මැදුරේ

කල්ප ලතා වෘක්ෂය නියඟෙට හසුවී
පඬුපුල් අසුන ගිනි ජාලා වලින් දැවී
සතරවරම් දෙවි කෝපෙන් දුකෙන් තැවී
ගෙන දෙයි විපත් වරුසා නෙත් අතර මැවී

හරිත වර්ණයෙන් සුසැඳුණු ලංකාව
තම්බපණ්ණි නම් නම් ලද ලංකාව
සොබාදමෙන් අගතැන්පත් ලංකාව
වැනසූ මුඩු බිමකි අද ශ්‍රී ලංකාව

ලක්දිව මුතුන් මිත්තන්ගේ කලා දම
වෙන අන් කිසිත් නොව අප රට සොබාදම
වනසන අයුරු දැක්කොත් නැත ඉවසීම
පරලොව සිටීමයි මුත්තනි සැනසීම

තිරිසන් සතුන් මිනිසුන්ගෙන් වෙන් වන්න
ඇත ලොකු හේතුවක් ඒ බව දැනගන්න
ඔල මොළ තිබෙන සිවුපාවුනි නැගිටින්න
ලෝකෙන් උතුම් රට ලක්දිව රැකගන්න

කවිය බලන්න
අරගලයක පෙර නිමිති

අරගලයක පෙර නිමිති

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

හිස කකියනවා ඇඟ වෙව්ලනවා
මහවැසි වසිමින් අකුණු ගසනවා
කවුළු පියන් පත් විගස වසාලමි
නිදන කාමරේ වහලය තෙමුනත්

දරලිප ⁣⁣මොලවා කහට උගුරකට
ගන්න බෙහෙත් ටික වත් ගෙන එන්නට
වෙළඳ සැලට යමි පරිස්සමින්
අනෙකුත් අඩුවැඩි අමතක කරමින්

නිකමට මෙන් මිල ගැන ඇසුවෙමි
මුදල් අතේ නැත එය පියවන්නට
නිමේෂයක් ගතවුනිදෝ මාහට
මුළු මුදලම පියවී ඇත පුදුමෙට

කවුදෝ මා දෙස බලා ඉන්ට ඇත
කිසිදා අනුනට අතපා නැතිමුත්
ඒ අදහස දැන් බොඳවී ගොස් ඇත
හනිකට මා ඉන් පිට වී ආවෙමි

අවිගත් වාහන පිඹගෙන යනවා
දෑසම දවමින් කඳුලැල් වැටුනා
සිහින බොඳ වෙමින් වේදනාව මැද
සාප්පු බැම්මට හේත්තු වුවා

කවිය බලන්න
ගාලු මුවදොර

ගාලු මුවදොර

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

ලෙල දිදී සිංහ කොඩි මඳ සුළඟ සිප ගනියි
නව ආරකින් පබඳ සටන් ගී හඬ ඇසෙයි
රජ පවුල පිටු දකින පුවරු දසතින් නැගෙයි
බාලයන් තරුණයන් මහල්ලන් එකතුවෙයි

පොලිස් භටයන් පිරිස බලා සිට නිහඬවම
කඳුළු වායුව වසා බැටන් පොලු වීසිකර
එකම හඬකින් ගයන ජනී ජනයා සමග
එක්වෙලා හදවතින් සමවැදී දැහැනකට

වාතලය සිසාරා පැතිර යන හඬ දැඩිය
යුව දනන් හද පතුළ නැගෙන සිතිවිලි දැඩිය
උන් හඬින් උමතු වී නඩය යන දින ළඟය
නව ලොවක සිහින රැස සැබෑවන දින ළඟය

17/04/22

කවිය බලන්න
අරගලයට ජය

අරගලයට ජය

රොෂාන්ති විජේසිංහ ඉතාලිය

ලෝකේ උතුම් රටක් ලෙසට හදුන්වාපු
පෙර දිග මුතු ඇටය ලෙසට නම් දරාපු
ඉවත දමන දඩුව වුවද ලියලා ආපු
රටක් තිබුනා ඉස්සර ලොව බබලවාපු

එහෙව් රටට වෙලා තියෙන
දේ දුටුවම දුකයි අපට

හොරා කාපු සල්ලි නැවත ලබා ගන්න
රට කෑ මේ හොරු ටික පන්නා දමන්න
අප මව්බිම මේ ශාපෙන් මුදව ගන්න
ලොව බලවත් නායකයිනි පිහිට වන්න

ලැජ්ජාවක් ගෑවිලා නම් නෑ මුන්ට
එපා කියද්දිත් මිනිසුන් මේ ලෙසට
වගේ වගක් නෑ උන් ඉන්නවා යසට
හැඳි ගෑවිලා පලයව් තොපි එක පෙලට

හොරු රැල පන්නා දමන්න
එකාවගේ එකතු වන්න

වලට වැටුණු රට ආපසු ගොඩට ගන්න
පක්ෂ පාට අමතක කර හිතට ගන්න
එක හිත නැති නම් බෑ කිසිවක් කරන්න
එන්න ඇවිත් අරගලයට එකතු වන්න

හිත ඇත්තම් පත කුඩාද කියල කියන
කියමන මිනිසුනි හොද හැටි හිතට ගන්න
දියවන්නාවේ හොරු ටික පන්න ගන්න
රටේ සැවොම එක තැනකට එකතු වන්න

එකතු වුනොත් එකා වන්ව
පුලුවන් මුන් එළවගන්න

කවිය බලන්න
මියැදුණු මම

මියැදුණු මම

රංජිත් ද සිල්වා නවසීලන්තය

ගත වුනා දින දෙකක් දැන්
තවමත් මම පෙට්ටිය ඇතුලේ
දෑස පියාගෙන නොසැලී සිටියත්
ඇහෙනවා පෙනෙනවා සිදුවෙන හැමදෙයක්

මල් පොකුරු මල්වඩම්
පෙට්ටිය වටේටම - ලස්සනට අතුරලා
මැරෙනකම්ම ඉන්න වුනා
මල් වලින් සැරසෙන්න - ලස්සනට සැතපෙන්න
කිසිම කෙනෙක් ඇසෙන්නට - කිවේ නැහැ අගුණයක්

මම හැර හැමෝම - පන්සිල් අරගත්තා
පාංශු කූලය දෙනවගත් ඇහෙනවා
පුංචි රෙදිකඩක් පූජා කෙරුණා
මගෙන් නොඅසාම
මාව නිවනට යවන්නට - හාමුදුරුවෝ සැරසෙනවා

දින හතෙන් - තුන් මාසෙන් - අවුරුද්දෙන්
පන්සලෙන්ම අරගත්ත - අටපිරිකර පූජ කරලා
ආයෙත් මාව නිවනට - යවනවා කියලත් මතක් වුනා

අයෙත් ඉපදිලා - ලැබෙන මගේ අලුත් නමින්
පින් අනුමෝදන් කරන්නැයි - හමුදුරුවන්ට කියන්නයි
කියන්නට හිතුනත්
මම කොහොමද කියන්නේ
මම දැන් මැරිලා.

25 අප්‍රේල් 2022

කවිය බලන්න
අපට පුතේ මගක් ඇතේ

අපට පුතේ මගක් ඇතේ

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

අරගලය රට වටේ
කුස්සියට පැමිණ ඇත
ගෑස් ලිප නිදිමරයි
දින ගණන් ගැනමිණා
විදුලි පථ විසන්ධිය
ගණ අඳුර බෝවෙලා
ගර්හිතය මොටෝරිය
ඉන්ධනත් ඉවර වී
පොඩි වුන් කෑගසති
තනපුඩුව කිරිමරා
ගිලන් හල ගිලන් වී
ඖෂධත් හිඟවෙලා
නාන්නට වරම් නැත
සබන් මිල ඉහල ඇත
රට්ටු ඇත රටක් නැත
අපට පුත මගක් ඇත
රත්නපාල ගමගේ
ස්විට්සර්ලන්තය

කවිය බලන්න
ගනුදෙනුව

ගනුදෙනුව

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

කඳු මුදුනින් උපන්
හීන් දිය උල්පත
කඳු පාමුල නිම්න මතින්
ගල්පර සිඹිමින් හොඳහැටි
පුංචි සුද‌‌‌ පෙණ පිඩුද නගමින්
සොඳුරු ළමා විය පසු කර
ගලා බසියි මහ වේගෙන්

යෞවන වියට පත්
දඟකාර ගං කොමලිය
මිහිරට ගීත ගයමින්
හිම වන් සුදු පෙණ පිඩු
කලබලයෙන් විසි කරමින්
අග පසග නලවමින්
බැස යන්නෙ හරි ආඩම්බරෙන්
දිය කෙළියෙ යෙදෙමින්
දග කරන ගැටයින්
වැලි යට සගවමින්
දරු දුකක් නොදැනෙද
කිසිම ගණනක් නැතිව
ගලයි හරි චංචලව
රැස් කරන් මහ ජල කඳක්

යෞවනිය පරිණත වෙලා
හැල හැප්පිලි කිසිත් නැතිව
තැනිතලාව පුරා පැතිර
සයුරු හිමි වැළඳ ගනු රිසිව
නිසොල්මනේ ගලා බසී
එතැන මහ ගනුදෙනුවකි
රැගෙන යන මහ ලුණු කඳ
මුසු කරයි මහ සයුරට
සයුරු දිය හා මුසු වෙලා
නිල්වන් පැහැයෙන්
හැඩ වැඩ වෙන්නී
වෙනස්ම තාලෙට මහ රැළි පාමින්
දන මන ත‌‌‌ටු කරවයි නිතිනේ

කවිය බලන්න
ගාලු මුවදොරේ... සෙනෙහසේ අරගලේ...

ගාලු මුවදොරේ... සෙනෙහසේ අරගලේ...

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

දහඩිය වැකුණු සිරුරත
වැහි බිඳු වැතිරී
දාහය නිවූවද හද ගිනි
කඳු පිපිරී
පැතු මුත් ලොවක් සැනසුම
සාමය සපිරී
අද මිස හෙටක් නැත
යයි පැතුමන් විසිරී..

ඇස්බැන්දුම් වලට නතු වුන
ලෝකයක
නොසොයා දිග, පළල
හැඩ අන්සතු දෙයක
ඉල්ලන කෑ ගසා
අරමුණ ජීවයක
මන්දාකිණි පොළෝ මත
එක පන්තියක..

හිරු, සඳු, තරු කැකුළු
දිස්නය එක වාගේ
විඳ විඳ කම්කටොලු මුත්
වෙහෙසක් නෑඟේ
නිම් නැති හඬකි
සමුදුරු ඝෝෂය වාගේ
තාරුණ්‍යයෙ හඬයි ඒ
ලක් අම්මාගේ

දුන්නෙන් මිදී ඇදෙනා විට
ඊතලය
අරමුණ වෙතම යනු මිස
නවතනු බැරිය
ඩිජිටල් ලොවක ගෙන
හණ මිටි අඩුවැඩිය
නවතනු හැකි වේද
සෙනෙහස් අරගලය!!

කවිය බලන්න
1815

1815

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

සැඟවී බෝමුරේ ආරච්චිල අසල
ඉන්නා අතර අල්ලාගෙන රජ කිරුළ
පිටිතල හයා බැඳ හූ හඬ මැද සිහළ
රජු නොව රටයි පාවා දුන්නේ එකල

කළ පව සිහිව පසු කාලෙක එකමුතුව
අරගල කළත් ලක් පොළොවට හිත ඇතුව
මරණය පමණි හිමිවූයේ පස රතුව
රජු නොව රටයි සුද්දට තිබුණේ නතුව

නව පරපුරක ආවේගය ගෙන අතට
ගින්නට පිදුරු වැටෙමින් ඇවිළෙයි අවට
ඉතිහාසයම යළි යළි සිහි වෙයි අපට
රජු නොව රටයි යන්නේ අඳුරට වලට

උඩගෙඩි ලැබී රට ආධාරත් පැමිණ
පන්දම් අරන් ලංකාවම ගිනි තියන
කොල්ලනි බලව් පිටුපස කවුරුද සිටින
රජු නොව උන්ට ඕනෑ ලස්සන දෙරණ

කවිය බලන්න
ෆෙඩරල්

ෆෙඩරල්

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

දිමි ඉන්නවා ගස් උඩ ගොටු ගසාගෙන
කඩි ඉන්නවා ගස් යට ගුල් හදාගෙන
නෑ කිසිදාක උන් පිටපොට ගසාගෙන
නෑ මියගියේ උන් අනිකා මරාගෙන

දිමියන් විටෙක පොලවට බැස ඇවිද යති
කඩියන් එලෙස ගස් නැග විපරම් කරති
මායින් පැන ඇතැයි අවි අයුධ නොගති
අදටත් මේ දෙගොල්ලොම යහතින් වෙසෙති

දිමියා රතුයි ගොටු අමුනයි රටාවට
කඩියා කළුයි ගුල් හාරයි වකාරෙට
බැරියර් චෙක් පොයින්ට් නෑ ඒ සමාජෙට
උන්ගෙන් ඉගෙනගමු පාඩම් තකා හෙට

බාලේ අපිත් උන් රිදවන්නට හැදුවා
බලයෙන් එකිනෙකා හටනට ගෙන ආවා
තුත්තිරි රා පොවා කොටවන්නට හැදුවා
මග හැර ගියා, උන් මතු යහපත සිතුවා

දිමි කඩි අතර නෑ නෙක සිද්ධස්ථාන
රජ හෝ පූජකයො නෑ පිං බත් ගිලින
මීඩියා මහත්තුරු නෑ රට ගිනි තියන
කඩි දිමි සාමයට මුල මේවා දැයි සිතින

කවිය බලන්න
අපි එකතු වෙමු.

අපි එකතු වෙමු.

ශාමිලා ක්‍රිෂානි තෙවරප්පෙරුම කොළඹ

පක්ෂ පාට භේද නැතිව
එක්වී පෙළ ගැසෙමූ
රට රැක ගන්නට දම්වැලෙ
පුරුකක් සේ බැදෙමූ
ඇති හැකි අය උදව් දිදී
නැති බැරි අය රකිමූ
රට වනසන ජඩ හොරුන්ට
පන්න පන්න තලමූ

නූගත්කම පෙන්නා කට
මැද දොඬනා හරකුන්
තම දිවියට පමණක් නොව
රට දැයටද හතුරන්
නොහැකී නම් දිවි ගෙවන්න
කොන්ද කෙලින් තබමින්
ගඟේ මුහුදෙ පැන වැළලෙනු
සැමට සෙතක් කරමින්

කවිය බලන්න
නිහඬ අරගලය

නිහඬ අරගලය

වෛද්‍ය සුමුදු ඉරසිංහ සමර්සෙට්, එංගලන්තය

ලිප්ගල් තුනක ලියැවුණු
දුප්පතුන් ගේ ශෝචනීය
සෙල්ලිපිය
දුම්‍ රොඩු වලට වැසී
ඈත ගම්මානයේ
එදවස පටන් ...
බලා සුසුමක් හෙලන්නට මිස
කියවාගන්නට වද වී
නොසිටිමුත් කිසිවෙක් .
සීත කාමර ගිනියම් ව
අන්දකාරය පැතිරෙද්දී
වැලි නොපෑගුන මුදු දෙපා
යටිගිරියෙන් මොර දී
නොනවතින අරගලය කට...

20/04/22

කවිය බලන්න
අරගල  බිමට  වැඩි හර්ද සාක්ෂියේ දෙවියන්

අරගල බිමට වැඩි හර්ද සාක්ෂියේ දෙවියන්

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

අරගල බිමට වැඩි හර්ද සාක්ෂියේ දෙවියන්

විශ්ව ශක්තිය තුලින් රුවක් මතු වී සැනින්
යෂ්ටියක් ගෙන අතින් ජන රැලිය ඉදිරියෙන්
දරුවනේ නුබ සැමට පිහිට වෙමි මා ඉතින්
රජෙක්‌ සොයනෙමි ඉතින් ගලන මේ ජනගගෙන්

අන්දාය බිම ඉරක් මායිමක් වෙන් කෙරූ
යටත් වී මගේ ලගින් ඉවත්වී යනු හොරු
හදුනන්නේ කෙලෙසකද නියම ලෙස රජවරු
ඉරෙන් ඇතුලත පිටත වෙමින් වදනට ගරු

තමාගේ රැකියාවෙ නියම කාලය කෙරු
ගත්තු වැටුපට නියම රාජකාරීය කෙරු
රජය සතුදේපලක්‌ නොමැති හොරකම්කෙරු
හිදිනම් අයවලුන් ඉරෙන් ඇතුලට ගරූ

හොරා කන මහා උන්ට ආවඩන ගී ගැයූ
අනුන් හෙලු දහඩියට තමා අයිතිය ලියූ
ලොකු පුටුවෙ සැප පතා රටේ සම්පත් ලියූ
අයවලුන් සිටි නම් ඉරෙන් ඉවතට කියූ

රටේ නිතිය කඩා කෙසේ හෝ වැජබුනු
හොරුන් රකිනා පිණිස දත කටද පියවුණු
නීතියේ දෙවගනට වැලි ගසා සැනසුණු
අයවලුන් සිටි නම් ඉරෙන් ඉවතට යනූ

රැලියේ වුන් සෙනග පොදි එක පසට රොක් වුනා
කිරි දරුවෝ කිහිපයක් ඉර ඇතුලේ තනි වුනා
රට හොරා කාපු අය හැමතැනම සිටි විනා
හදවතේ සාක්ෂිය ප්‍රබල බව වැටහුනා

උපන් රට රකින්නට මෙතෙක් කල් ගල් ගැසී
සිටිය උන් ක්ෂණයකින් අවදි වී පොදි ගැසී
මරන්න ට කාලයක් තවත් නැත ඉස දිසී
ගසක් වත් වවන්න ට රැල්ල හරවනනු නිසී

කවිය බලන්න
දැයෙන් සමුගත් පියසේන රතුවිතාන

දැයෙන් සමුගත් පියසේන රතුවිතාන

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

තෙද බලැති ඇතෙකු සේ කවි මඟෙහි ගමන් කළ
මද පවන සේ සිසිල් පද අරුත් සුරත් විල
පුද ලැබූ නොයෙක් වර මෙහෙවරට නිසංසල
සඳ අඹර සැගැවිණිය "රතූ" දිලි පහන්සිල

පර තෙරට හැදෑරුව ජෝතිෂය නිසි ලෙසම
සර සවිය ළඟ සිටිය කවිමිණය පෙර සිටම
තිර ලෙසින් අනාවැකි ඇතිව කී අනුදැනුම
පුර වරෙන් නික්මුණේ වෙතටමයැ සුරපුරම

ගඟක් ගැලුවා සේය සැනින් කවි කියන්නේ
හිතක් පපුවක් තියෙන අයට එය දැනෙන්නේ
විලක් පිරි මල් ලෙසින් කවි සමග සරන්නේ
කලක් තව යන තුරුම ඔබෙ අඩුව දැනෙන්නේ

කොතැන සිටියද සබාවක මුලින් සිටින්නේ
නොදැන සිටි අයෙක් නැත එයයි පින කියන්නේ
ඇසෙන විට ඔබේ හඬ සවන් හැම යොමන්නේ
පෙනෙන රුවටත් වඩා හඬයි සිත් බදින්නේ

පුවත්පත් වල දකින දෛව ලිපි අරුත් බර
අවදියෙන් බැලූ සද පෙනේ එහි ගැඹුර දුර
නව සඳෙහි තරු ගමන ගැන බලා ලෙසින් තිර
නිවරැදිව කිවූ දෑ.. මතක ඇත නිරන්තර

දුකට පත් අය එයින් මුදාලනු අස් වසා
පෙළට ඝන පිහිටුවා ලියූ සෙත් කවි නිසා
සැපට පත් දනෝ ඔබෙ පිළිසරණ බස් අසා
කුමට අද සුව විදිති සතර කොණ දස දිසා

නැණ පියුම සිත පිපුන අකාලයේ පරවුණා
මන බැදුන හිතවතෙකු ජාතියට නැතිවුනා
පණ පිහිටුවා කිවූ කවි හඬද වියැකුණා
පිනට පහළවුණු 'රතු' මනු ලොවින් නික්මුණා

22/4/2022

කවිය බලන්න
225➕

225➕

සපුමල් බන්ඩාර ලන්ඩනය

කුලල් කාගනිති ගන්නට උන් බලය
බෙදී වෙන්වෙලා අපි රඟදෙයි බුකිය
බිඳීගිය විටදි නෑ පල ජලයෙන් කලය
නැගී සිටිමු එලවා මුන් සං හරය

කවිය බලන්න
මාවතේ කඳුළු මල

මාවතේ කඳුළු මල

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

රැඳෙමි තව එක් රැයක් කඳුලින්

දරා සත්මස් ගැබ පෙමින්

මහිමි අවසන් නින්ද නිදනා

සිව් රියන් සයනය පාමුළින්

මාවතේ රියසකට පරවුණු

තැලුණු වතමල දෙස බලන්

පෙති තලා ඉගිළුණු රියැදුරාණෙනි

කෝ පිතුසෙනේ මගෙපුතුට දැන්

පායනා හැම පුර හඳක් ගානේ

මෝරනා ගැබමත කණ තියන්

පුතු මුමුණනා ගී හඬ අසන්නට

ගෙට ගොඩවුණේ සෙනෙහස අරන්

ගැල අදින ගවරළ වුවද ඉසිඹුව

ලබන මහ රෑ නිදිවරන්

මගෙ ලැමට රන්කිරි පුරාදෙන්නයි

ගත දියකළේ දහදිය පෙරන්

සුක්කානමට වැඳ නුඹ යදින දෙවියන්

නැහැ රකින්නේ මග යන දනන්

මග ඉගිළිලා යනු එපා අයදිමි

හෙට උපදිනා මගෙ පුතු නමින්

මහ රැයේ බිළිඳෙකු අතින් ගත්

මෝහිණිය දවසක දුටුවොතින්

බිය නොවෙන් අරගෙන මපුතු දෝතට

දෙකොපුල් සිඹින් පිය සෙනෙහසින්

කවිය බලන්න
රික්තය

රික්තය

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

සැඳෑ අන්ධකාරය
සිහින මායාව
මලානික තරුමල් දෙකක්
අතර ඇති
හුදෙකලා ශීත රික්තය
අහසින් පොළොව
වෙන්කොට තබන
අචල ,අනම්‍ය සිතිජ රේඛාව
ඉරිතලන බොල් හද මත
අහම්බෙන් දළුලන
මිහිරි සංතාපය
පාළුව ,නෙත් ඇඳිරිය
පුබුදුවයි විටෙක මා ආත්මය
කොණහයි සැණින් යළි
ඉසියුම් ලෙස
එසවී යළි මුණින්තලා වන
රළක් ලෙස.

කවිය බලන්න
අරුණෝදය එනවා! පායයි අපිට ඉරක්...

අරුණෝදය එනවා! පායයි අපිට ඉරක්...

සෙව්මි ලෝචනා ලියනගේ රෝමය

යුධ හමුදාව යටතෙත් බස් ගිනි ගත්තා...

කවුදැයි දන්නෙ නෑ එය අවුලපු ඇත්තා...

බයට ම ෆේස් බුක් රට ගම වහගත්තා...

ටීටර් නො පෙන්නා බැස පලයං ..........

හොරකම් කරපු ජන ධන මංජුසාවත්...

ලංකා අම්මගේ නැසු පති වෘතාවත්...

ආපසු දෙතොත් නො කියා කිසි මුසාවක්...

අවුරුදු කනවා අපි පහ හය වතාවක්...

කැපියන් කැපිය යුතු නම් ලඟ පුලුටු දෙහී...

කළකම් සාප වී මහ එක එකා නහී...

ළඟදි ම ලක් මවට මල් වැහි පබලු වහී...

දියවන්නා රැජිණ නට නට ගලා බහී...

මෙතරම් අසිරිමත් මගෙ රට රැකගන්ට...

බැරි පඹ පාලනේ යනකොට වනසන්ට...

වරදක් නොවී ලක් මෑණිගෙ දරුවන්ට...

දිගසිරි ලැබේවා නූතන විරුවන්ට...

යළි ඔප දමන්නට ශ්‍රී ලංකා රතන...

වලි කන තුන් හෙලේ උන් නිදහස පතන...

වෙඩි නොව උල තියා මඟ මැරුවත් මෙතන...

පසු බැස නොයව්! පාවා නො දියව් සටන...

නිදහස් කරවමින් මහ පොළොවට ම බරක්...

දක්කමු ගාල වෙත අම්මව මරපු හරක්...

හොයමින් හෙට දිනක පොඩි පැටවුන්ට තෙරක්...

අරුණෝදය එනවා! පායයි අපිට ඉරක්...

කවිය බලන්න
අරගලයේ දෝංකාරය

අරගලයේ දෝංකාරය

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

එදා වේලක් සරිකරන්
සිටිනු බැරි කළ වෙර දරන්
බසිනු හැර පාරට ගෙයින්
විකල්පයකුදු නොම දකින්

නගර ගම් බිම් සිසාරා
විසිර සිටි නෙක මත අරා
නැගුනු ජන මත උදාරා
නොම ගියෝ උන් අවි දරා

එක්වීම සැම ඇවැසියා
කිවද මැති සබයේ අයා
නියතයකි පෙනෙනා නියා
බලයටයි උන් ලොබ කියා

කලු චරිත ගත වසාලා
සුදු අඳින මැති ඇමැතිලා
දුසිත් හෙලුවෙන් තබාලා
පිටු දකිමු සැම එක්වෙලා

වියත් දන නිහඬව බලා
සිටි යුගය දැන් නිමවෙලා
සැවොම පටුමත දුරැරලා
නොලස ගමු රට නගාලා

15/04/2022

කවිය බලන්න
අවුරුදු පැතුම

අවුරුදු පැතුම

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

කාලය එක මිම්මක්
‘අවුරුදු’ තවත් පිම්මක්
පැතුම් මහ ගොන්නක්
ඔක්කොම හිස් පුස්සක්

ඇතැම් මිනිස්සු සතුන් පිරිසක්
මරා ගන්නා පිරිස රොත්තක්
මොලේ පරිණත වියත් දැහැනක්
වුවොත් පමණයි දිනූ අවුරුද්දක්

හැමෝගෙම ඇත්තෙ ලේ මස් නම්
කැකෑරෙන ලේ සුපිරි සුදු නම්
හද ගැහෙන හැටි එකම ලෙස නම්
ඉසි කෝ මාන පුරවන් ඇයි පර කම්

උඩින් හකුරු පූචානම්
යටින් හිතලු හරි කැත නම්
කටින් බතල කාරිය කළු නම්
එතන කොහෙද ‘අවුරුදු’ නම්

හැමෝගෙම, ‘බොක්ක’ හොඳ වේවා
හද පුරා, කිරි-පැණි ආදරය ඉතිරේවා
ඇස් කන්, හොඳ දේම හොඳින් දකීවා
ඔලුගෙඩි, තුල සාමයෙ පරවියන් රජ වේවා

14/04/22

කවිය බලන්න
ඊයෙ.. අද.... සහ හෙට....

ඊයෙ.. අද.... සහ හෙට....

තිලක් ධර්මරත්න කොළඹ

ඊයෙ දවසින් සමුගන්න
අද ඇවිත් හෙට එක්ක..!
දෙන්නගෙම අවනඩුව
හෙටට තව නොතේරෙන..!
අද.. යමු යි කිය කියා
පින්සෙන්ඩු වෙත්දිත්
නෑවිදින් කොහොමද.?.
හෙට ත් ඈතට වෙලා
කොහොමටත් විපිලිසරව..!
ඇස් හතර රතු වෙලා..
නෙත් කැල්ම නෙත් බැල්ම
එකිනෙකට පැටලිලා..!
දෙන්නගෙම ඇස්වල
නෝක්කඩු ඇහිරිලා..!
හෙටත් පසෙකට වෙලා
අද ඊයෙ ගලපන්න
මහා සටනක් කලා..!
ඔයාගෙත් වාගෙම
මගෙ වැරදි තව ගොඩයි..
ළග ළගින් අඩි තියා
අපි ආව මාවතත්
ඔයා මං වාගෙමයි.
අපි වෙන් වෙලා යමු..

අපේ හදවත් දෙකෙන්
සමාවක් ලැබුනොතින්
එකම එක දවසකට..

අපි ආයෙමත් ඇවිත්
හෙට ට ආදරය කරමු..!

ඊයෙ අද අතින් ගෙන
හීනියට පිරිදිමයි..!

නෙතු කදුලූ පුරවගෙන
බොඳ ව ගිය පැතුමක ට
තුරුණු හෙට ඉකිබිඳියි..!

The National Hospital.
Colombo.

කවිය බලන්න
අවසන් උරුමය

අවසන් උරුමය

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

උමතු වී බල මතින්
වගුල රුහිරය මතින්
බලයලත් උන් ඉතින්
මියැදෙන්නෙ හිස් අතින්

නොමිනිසුන් ලෙස වෙසෙන කට්ටිය
වෙතම අල්ලා සිටින මුට්ටිය
අතට ගත්තත් සල්ලි කුට්ටිය
උරුම වන්නේ මිනී පෙට්ටිය

තමන්ගේ යුතුකමත් ඉටුකර
ආදරේ ඇති උන්ව තුටු කර
රටට ලෝකෙට ණය බරින් තොර
අයට දෙව්ලොව ඇරී ඇත දොර

කවිය බලන්න
වැරදුණු කතිරය

වැරදුණු කතිරය

තුසිතා සුරේකා මීගමුව

කිරිකැටියො මගේ රන් , සිනා සෙන හීනයේ
නුබෙ මුහුන බලාගෙන හූල්ලනවා රැයේ
කිරේ මිල නැගලාලු කිරි එරෙන්නෙත් නැතේ
දිවග කිරි පොදක් මට තියන්නට පින නැතේ

හිස් අහස දෙස බලන් මුමුණනා පන මගේ.
අහිතකින් නොබලපන් මුලාවුන මුව මගේ
කඩුක්කන් දෙක ටවුමෙ කඩේකට හිර වුනේ
හාල් කරවල ටිකක් ගන්නටයි මගෙ දුවේ

ලය රුදාවට බෙහෙත් නැතිලු මහ රෝහලේ
පිටින් අරගෙන දෙන්න තුන්ඩුවක ලියවුනේ
අනේ මට සමාවෙන් මගේ හිමි පින් කදේ
කෙලෙස මම ගෙවන්නද ඒකෙ මිල මේ වෙලේ.

පහල වෙල් යායෙන්ම අස්වැන්න නොලැබුනේ
පොහොර ඇටයක් නොදැක වී පැසෙන්නේ කෙසේ
ණය පොතේ පිටු ගනන දිනෙන් දින වැඩි වුනේ
කඩේ මග ඇරල මන් නියරෙන්ම ගොඩ වුනේ

කදුලු ගුලි දැක්ක මන් එකතු වුන නෙත් කොනේ
අඩන්නට මට කදුලු උනන්නෑ මගෙ දුවේ
නැගෙන තුරු එලිය දෙන ඉරක් හෙට අපෙ ගමේ
සගවපන් කදුලු ගුලි ගෙයි කොනක කලුවරේ.

කවිය බලන්න
දෙවියනි මගේ රට බේරා දෙන්න මට

දෙවියනි මගේ රට බේරා දෙන්න මට

තුසිතා සුරේකා මීගමුව

දෘතරාෂ්ට විරූඩ විරුපාක්ෂ වෛශ්‍රවණ
සුමනසමන් කතරගම උපුල්වන් විභීෂණ
පත්තිනි අයියනායක කඩවර නාථ
දෙයියනි වැහිලාද ඇස් කන් මොහොතකට

විලාපයකි අසරණ හිත් වල සරන
පෝලිම් වල හිස් සිතින් පෙර මග බලන
හිස් වුන කුසින් හිස් අහසට හිනා වෙන
දරු පටවුන්ය කතිරේ පව් ගෙවාලන

දකින දකින හැම මුහුනෙම මලානික
සුන්වූ නටබුන්‍ ය තැනු මාලිගා වල
අදුරට ආ වඩා කුසගින්නේ නිදන
අසරණයන්ට හෙට හිරු මොට දැයි නැගෙන

රන්මසු වලට ගිජු වුන බහිරව ප්‍රේත
මල ආත්මයන් රජ කරනා කලෙක මිස
මෙහෙව් දුකක් කවදාවත් විද ඇත්ද
තිස්තුන් කෝටියක් දෙවියනි නොපෙනේද

සතර වරම් දෙවියනි කොහෙ වැඩලාද
තුන් සිංහලේටම මුන් මහ හෙනයක්‍ ය
මේ බිල්ලෙන් අපෙ රට බේරා ගන්න
පමා නොවී ආකාසෙන් බැස එන්න

කවිය බලන්න
ගම්මු

ගම්මු

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

සාගින්න ආගමක්
නොමැත්තෙක් බව කියා
දුන් දෙවේලක ගින්න
තව දිනක් විදින්නෙමි

දිලිදුකම ජාතියක්
නොමැත්තෙක් බව කියා
දුන් පහන් නොදල්වා
ගනදුරේ හිදින්නෙමි

මිනිස්කම පන්තියක්
නොමැත්තෙක් බව කියා
දුන් සොදුරු අත්වැලට
තව අතක් බදින්නෙමි

කවිය බලන්න
කිරි වලින් අඳිනවිට උඹෙ රූපෙ බිත්තියේ තන පුඩුව වෙව්ලුවා දුක වැඩිව මගෙ හිතේ

කිරි වලින් අඳිනවිට උඹෙ රූපෙ බිත්තියේ තන පුඩුව වෙව්ලුවා දුක වැඩිව මගෙ හිතේ

උපාලි වීරසිංහ

ලස්සනයි මම් ගොඩක් අනේ මිස් ඉස්සර
පස්සෙමයි කොලු ගැටව් මතක
නෑ කොචිචර
සත්තමයි දන්නෙ මම් එකාගෙයි
විස්තර
ඔහු තමයි මම් මැරුවෙ
නොමරාම මෙච්චර
_______________________________

නැවතිලා මගෙ හිතත් ඒ සෙනෙ අද්දර
⁣ළංවුනා මහ හුගක් දන්නෙ මම්
විස්තර
⁣සිහිසුන්ව වැටිල මම් දිනක් අද්දර
මගෙ අම්ම බයවෙලා කිව්දේය දොස්තර
_______________________________

කිව්වාම ඔහුට මම් වෙලා බව ගැබ්බර
එක්කගෙන ගියානෙ දුර ගමක
පිටිසර
එතකොටයි දන්නෙ මම් එතන
වෙන විස්තර
දරුපැටව් මියෙනවා අඬුවලින් පොඩිකර
_______________________________

කිව්වාට බෑ කියා කෑ ගසා
කොචිචර
ගත්තානෙ ඇඳටමන් උන්
සැවොම හිරකර
ගැහුවාම ලඟ තිබුන
බෝතලෙන් විසිකර
වැටුනානෙ මියදිලා අඬුගත්තු දොස්තර
_______________________________

තිබ්බාට මං ඉතින් උළු ගෙදර
හිරකර
හැදුනානෙ පොඩි එකා උහුලමින් ගින්දර
වැදුවාට දින හතයි කිරි දුන්නෙ
ළංකර
දැම්මානෙ මේ ලෙසට කූඩුවට
සිරකර
_______________________________

දවසකට පැය දෙකක්ඇද්ද කිරි මගෙ පුතේ
උනන කිරි ගලනවා පහලටම
ළැම දිගේ
කිරි වලින් අඳින විට උඹෙ රූපෙ බිත්තියේ
තන පුඩුත් වෙව්ලුවා දුක වැඩිව
මගෙ හිතේ.........

කවිය බලන්න
මගේ ශ්‍රී ලංකාව

මගේ ශ්‍රී ලංකාව

උමේෂා මල්වත්ත

අනේ මගේ ලංකාව
කවුද හොරු අරං ගොස්
ඈත දුර ඉන්න මට
වාවගන්නටම බෑ

උගතුන්, වියතුන් කියනවුන්
එකතු වී
අහිංසක ජනතාව දුක් ගින්දරේ දමා
මගේ මුතු ඇටය සින්නකර
ප්‍රීති වෙත්

නායකයො හොරු රැළකි
පරපුරම පෝසතුන්
රට වැසියෝ අහිංසක
අරගලයෙ පොර බදින

අනේ මගෙ රට නැවත
පෙර ලෙසට නැගිටවන්න
හොරුන් රැළ කෙසේ හෝ
මගෙ රටින් එළවන්න

එදින වැඩි ඈතක නොවී
මුතු ඇටය බබළන්න
මගේ ලක් මෑණියනී
මගේ සිත සනසන්න

කවිය බලන්න
ඇහැරුනා නේද දැන් මල්ලියේ කුඹු කන්?

ඇහැරුනා නේද දැන් මල්ලියේ කුඹු කන්?

වෛද්‍ය වරුණ ජයසිංහ එක්සත් රාජධානිය

ඇහැරුනා නේද දැන්
මල්ලියේ කුඹු කන්?

ලොව ම පෙරළන්න හැකි ශක්තියක් තියාගෙන
සුර අසුර මන් බිඳින රණ ගොසත් නිවාගෙන
අත් පහර, ඇත් පහර, සීනු හඬ දරාගෙන
ලොවම යටිකුරු වෙද්දි හිටියා උඹ නිදාගෙන

මගෙ දෙකන, නහය සිඳි නිරි සතුන් සොයන්නට
රාවණා ගියේ නම් යුක්තියම රකින්නට
තම තරම අමතකව, සීතාව කප්පමට
ගෙන එද්දි උඹ හිටියෙ නෑ වරද කියන්නට

එදා සිට අනීතිය, වියවුල ම පැතිරෙද්දි
වලිග ඇවුලුනු වඳුරො ලංකාව ගිනි ලද්දි
කාක්කන් රොක් වෙද්දි, නිදන් ගැබ හිස් වෙද්දි
අනේ උඹ සැතපුනා නොදැක මේ වෙන සිද්දි

ඇහැ ඇරුණු එක හොඳයි පහුවෙලා හරි උඹට
උඹෙ හයිය මහ මෙරක්, යමන් පෙරටුව අපට
අයියලා තම තමන්ගේ සටන් කරනකොට
උඹ තමයි මලේ, දැන් ඉන්නෙ රට රකින්නට

රාවණාගේ සටන තමන් හිස රැකගන්න
විභීෂණ හදයි ඔහු එළවලා රජ වෙන්න
උන් නොපැකිළෙයි අපව වඳුරන්ට බිලි දෙන්න
අමාරුයි පිටුපසින් එන කිණිසි වලකන්න!

පසුබිම : රාවණ, විභීෂණ, සුපර්ණකා හා කුම්භකර්ණ (කුඹුකන්) සහෝදර සහෝදරියෝ වූහ. මොවුන් අතරින් ඉතාම බල සම්පන්න රණ ශූරයා වූ කුඹුකන්, ශාපයක් නිසා වසරේ වැඩි කාලයක් සිටියේ නිදාගෙන ය. සුපර්ණකාට රාම හා ලක්ෂ්මන් වද දීම, යුද්ධයේ මූලාරම්භය විය.

කවිය බලන්න
🗙