කළු කුමාරයා...!

කළු කුමාරයා...!

මුදිතා ඩයස් කොට්ටාව

කළුවර තිර පටල ඉරා,
මධ්‍යම රැය බල පතුරා,
ලියන්ගෙ නෙත් සිත් මඟුරා,
වඩින යකා කළු කුමාරා...

නීල වර්ණ දේහ විදා,
රත් පැහැ නෙත් ගිනි පුපුරා,
ඇඳුරු ලොවේ රජු විලසා,
එයි හීනෙන් ළං වීලා...

​සලිත කරන් ළමා ළපටි,
තරුණ ළඳුන් සසල කරන්,
කළු සෙවනැලි රෑ යාමේ,
සිරිහනේ මඟ බලන්...

මල් යහනට සුවඳ ඉසින,
මන්ත්‍ර බලෙන් මත් කරවන්,
ආතුර සිත් බිය පත් කර,
රුහිරු රසට ලොල් බැඳි යන්...

​සුවඳ දුමින් මඟ සරසා,
පිදේනි තටුවක් අතුරා,
තුරන් කරන්නට මේ බිය,
අඬගසමියි කඩතුරා...

යකුනි, තොපේ දොස් දුරලා,
සෙත් සලසා දෙනු මතුරා,
බැසයනු මැන සිත් නොතලා,
බලැති කළු කුමාරයා...!

කවිය බලන්න