තණ්හාව ද මේ.

තණ්හාව ද මේ.

ගයත්‍රි පෙරේරා

මේ තරම් දුකක්,
මේ තරම් වේදනාවක්
හිතේ දරාගෙන
භීතියෙන් පිරුණු ජීවිත
ගිනි දැල්ලක වෙළාගෙන
කෙම් බිමක් කතරක් වී.
ඉරුණු හදවත්,
පිපිරුණු සිරුරු,
වියරු උන්මාදයේ
පළමු පිවිසුම වුණේ
ගලන රුධිරයයි.

ගිනි අගුරු වී
විසිරුණු මස් වැදලි,
රුදුරු ගිනි අවි අතර
දූවිලි වී ගිය ප්‍රේමය
අවසන් මානය දෙස
නිහඬව ඇදී යයි.

කඩා වැටුණු බිත්ති කොණක
හූල්ලමින් ඉන්නා නුඹ
තවමත් බලා සිටින්නේ
කවුරුන් හෝ එයි කියලාද?
“උන් එන්නේ නෑ”
කියන්නවත්
කවුරුත් නැහැ.
“බය වෙලාද?”
“අඬන්නේ ඇයි?”
අහන්නවත්
කිසිවෙක් නැහැ.

තව කොච්චර බලා සිටියත්
උන් එන්නේ නෑ ,
අවසානයේ
නුඹ තනිවමයි.

කවිය බලන්න