අහසේ පාව ගිය තාරකාව ...
2025 වසර;
මීළඟට පවත් වනු ලබනු ඇත්තේ
උස පැනීමේ තරඟ ඉසව්ව බව කියා
ශබ්ද විකාශන යන්ත්රයෙන් යමෙක්
හඬ නගා කියනු මා සවනත වැකේ
පිය මැන දිවැවිත් පිම්මක් අරන් කැරකී
එක් සිසුවියක් ගුවනේ පාවී ඇදී යද්දී
හරස් කෝදුව මා නෙත ගැටෙන්නේ
හරිත කඳු ගැටයකට තරමක් ඉහළින්ය
එම කන්දේ සිට පාසැලට ඇවිද එන
පළාතේ උස පැනීමේ තරුවක් වන
මෙම හීන්දෑරි යුවතිය වෙනුවෙන්
සිසුන් නොනවත්වා ජය ඝෝෂා නගයි
2026 වසර;
අදත් එදා මෙන් පිටිය පිරී ගොස් ඇත
අඩ අඳුරු අහසින් හිරි පොද වැසි වැටේ
මා අන් කවදා හෝ අත්විඳ නොතිබුන
දැඩි හිස් බවක් කනස්සල්ලක් මතු වේ
පසුගිය ඉල් මස සොබාදම නපුරු වී
මින් පෙර කිසි දින නොවූ විරූ ලෙසින්
මුළු රටම කැළඹූ දිත්වා සුළි කුණාටුව
කඳු ගැටයත් ඇයත් ඩැහැගෙන ගොසිනි
ඉන් සය මසකට පමණ පසුව අද දින
මිනිත්තුවක දිගු නිහඬතාවයකින්
ඒ මතකය ආවර්ජනය කරනු ලැබිණ
එදා ඇසුන ජය ඝෝෂා ඇසෙන්නට නැත
image: pixabay.com
17.06.2026
කවිය බලන්න
