සිරිපාල උන්නැහැ කී කතාව
ඇඳි පුටු දෙකක වේවැල් වියන්නට
පය අද්දමින් ගෙට ආ සිරිපාල උන්නැහැට
කන්නට කියා රසකැවිලි කීපයක්ද දී
මා මඳ වෙලාවකින් පැමිණ කතා කලෙමි
"මේ වගේ වැඩ හදිස්සියට කරල බැහැ
පොඩි එවුන් දෙන්න මතක් වුන හින්දා
මට දීපු පැනිරහ ජාති නම් කෑවෙ නැහැ
ඒවා ගෙදර අරන් ගියාට කමක් නැද්ද"
×××××××
මතට ඇබ්බැහි වුන තම බඩපිස්සා
දුම්රියක ගැටුන පුවතක් සඳහන් කර -
අසූ නවය අවදියෙදි වෙඩි වැදී පය බිඳුනු
පන්ති පහට ගොස් ඇති මොහු නිහඬ වේ
සුනාමි දළ රළට යට වුනු තම නිවස
යන්තම් යළි අටවගෙන ඇති සිරිපාලට
හිටි හැටියේ අතුරුදන්ව යන ලේලිය
එච්චර හරි නැති වදකාර යකින්නකි
"වයස අට- දහය පාසැල් යන මුණුපුරන්
අන්තිමට බාරගන්න සිද්ද වුනෙත් මට ...
හදා ගන්නට කියා එක එකා ඉල්ලුවත්
පිට දීල උන්ව - මට නිදාගන්න බැරි වේවි"
17.03.2026
කවිය බලන්න
