වැසි මතක
කැලිෆෝනියා බිමේ මහ විසල් අහස යට
වැසි වසී ඉවරයක් නැතුව දින දෙකක සිට
ඉර එළිය නැතුව මේ හිම මිදෙන සීතලට
මතක් වේ නෑව හැටි දාඩියෙන් උණුසුමට
ටිරි ටිරිං ටිරි ටිරිං පීලිවල දිය ඇදේ
දොර ඇරිය විට සීත හිරිකඩින් ගත රිදේ
ඇවිද යන්නට බැරුව පාදවල හිරි ඇදේ
දැන් ඉතින් ඇති වැස්ස නැවැත්තුව හොත් හොඳේ
තෙත බරිත පොළොව මත වැටෙන වැහි බිඳුවලට
ඉඩ නැතුව ගලාගෙන ඇදෙන දියවැල්වලට
දෝරෙ ගල ගලා ඇදි ඇදී යන ගං දියට
වැස්ස නව පණක් දී තියේ ගහ කොළ වලට
හිතෙන් තෙත බරිත වී ලක් පොළොව වෙත දුවමි
පීලි යට දිය නෑව හැටි මතකයට ගනිමි
පයින් ඇවිදගෙන ගිය මාවතක හිට ගනිමි
මඩ වතුර ඇඟට විදි රිය සකක හඬ අසමි
2026 පෙබරවාරි 18 දින
කැලිෆෝනියාවේ දීය.
Photo Credit; Mark Tenn
