ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2024 ජූලි කලාපය
මිනි මරුවන් කුඩු සගයින් එළියේය
තුන්දරු මවක් ගර්ජන කොට ඇතුළේය
ඉඳහිට දිනෙක හෙළ නීතිය හෙලුවේය
නොපැතුවහොත් පින්කෙතෙහි ම ඉපදේය
මැතිසබයම මිරිස් කුඩෙන් කල සෝලු
කටුනායක මැර මැති තව එළියේලු
හතලිස් අටේ සිරිලක සුරපුර වේලු
ලබන භවෙත් මෙතනම ඉපදෙමු යාලූ
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
තන්තිරිමලෙන්
ආපහු එනකොට
සෙරෙප්පුත් නැතුව
දුම් දාන තාර පාරේ
යනෙන ළමයින් දැක
පොඩි උන්ට බැන්නා හොඳටම
සැප වැඩියි උඹලට
රිටිගල කන්දෙ හැන්දෑවේ
රන් පාට පසුබිම ළඟ
සෙල්ෆි ගහ ගහ
මෙහෙම ඉන්නයි හිතුනේ
පුච්චපු ඉරුං කරලක්
හප හප
උදේ හවා නැහි නැහි
කොහෙද හිත සැනසීමක්
මොන ජීවිතද මේ අපෙ
ඒ වගෙද
වැව පිහං එන හුළඟෙ මේ සැප
ඒ දවස් තුන අහවර
ගෙදර යන තකහනියක
ඒ නමයෙ මේ කෙළවර
කැළණි පාලම උඩදී එක හැර
හිතුනේම
තිබ්බ නම්
අර වගෙ එස් යූ වී එකක්
වේගෙන් යන්න තිබ්බා අපිටත්
සන් රූෆ් තිබ්බොත්
පොඩ්ඩොත් ආස වෙයි
හරි හරියට
හානේ,
ඇනුවල් පාටියත් අත ළඟ
අයිවරි පාට ගවුමක්
ඇන්දොත් මෙයා මම
අන් කොමන් නේද මේ වර?
කවිය බලන්න
දිදුලනසඳ පායා නුබ කුස සඳු ඇසළ
දිදුලනසඳ පායා නුබ කුස සඳු ඇසළ
සිහිපත් වේවි පෙරදා දුටු අසිරි ලොව.......
සුරලොව තුසිතයෙ සුරසැප හැරලන්න
මනුලොව ඉපිද තුන්ලොව සනසන්න
දෙව්ලොව දෙවියන් විය පවසන්න
බඹලොව බඹුන්ද විය අයදින්න
කාලය දීපය දේශය බැලුවා
මව්තුම සමඟින් කුලයත් බැලුවා
නිසි දහමක් ලොව නැතිබව දුටුවා
බෝසත් මනුලොව වඩින්න සිතුවා
මහභාරතයේ නුවර කිඹුල්වත්
කපිලවස්තුපුර මහරජ තෙදවත්
සුද්ධෝදන වූ ශාක්‍ය කුලවත්
බිසවට වූවා මහමායා පුත්
ඇසළ පෝයදාවක මහ මායා බිසවුන්
සැතපෙන කළ දුටු සිහිනය මෙලෙසින්
සුදු නෙළුමක් ගෙන සිය සොඩින්
කුසට ඇතුළු වූවා දකුණු ඇලෙන්
සරණපාව ගෙන කුමරිය යසෝදරා
විඳිනා කළ රජසැප සිදුහත් කුමරා
දැකලා සතර පෙර නිමිතිද සිත දරා
ඇසළ පෝයදාවක ගියෙ ගිහිගෙය හැරා
සොයාගන්න යහමග බවදුක නිවන
ගමනයන්න සැරසුනවිට බෝසත් එදින
යසෝදරා දේවිය ලැබුවා පුත්රුවන
තැබුවා නමක් පුතුහට රාහුල ලෙසින
සිදුහත් තවුසාණන් ලැබ සම්බුදු පදවි
සයවසරක් එක්ව සිටි මිතුරන් සිහිවි
ඉසිපතනේදි පස්වග තවුසන් හමුවී
ඇසළ පෝයදා දෙසුවා දම්සක් මුල්වී
දෙසූ දහම් ඇසුවා පස්වග මහණුන්
කොණ්ඩඤ්ඤය පලමුව වූවා සෝවාන්
ගෞතම මුනිඳුගෙ මංගල දෙසුමෙන්
ඇසළ පෝයදා සැනසුවේ සගයින්
සම්බුදු සසුනේ වස්කාලය එළඹෙන්නේ
දායකයින් වස් ඇරයුම් දෙන්නේ
මහසඟ පෙහෙවස් සිල් අරගන්නේ
ඇසළ පෝයදා පළමුව වෙන්නේ
ගෞතම බුදුන්ගේ වම් දළදාවත් රැගෙන
හේමමාලා සමඟින් කුමරා දන්තද දෙදෙන
කිත්සිරිමෙවන් රජසමයේ ලක්දෙරණ
ඇසළ පෝයදාවක ඇත මෙහි සපැමිණ
පාත්තරා ධාතුව සිරිලක වැඩමීම
මාහිමි උපාලි සියමෙන් වැඩමීම
දළදා පෙරහැර ලක්දිව ඇරඹීම
ඇසළ පෝයදා විය බොහොදේම
කවිය බලන්න
SMS පෙම්පත
ඈත දුරු රට සිට
ඔබ එවූ SMS එක
දිලිසේ ටෙලිෆෝන් තිරය මත
කියවූ නමුත් එක හුස්මට
අඩුවක් දැනෙයි මසිතට
පෙර අප පෙම් කරන සඳ
සුදෝසුදු තනිරූල් කොලයක
අකුරු අමුණා රවුම් මුතු ඇට
තැපෑලෙන් ඔබ එවූ පෙම්පත
නැඟෙයි තවමත් මතකෙට
යටින් “මා ඔබගේ ආදර”
අත්සනත් ගසා හැඩකර
එවූ ලියුමේ පෙම් රස
මතකයෙ තිබේ සුරැකිව
පැරණි සෙල්ලිපියක් මෙන
ඇදවූ නුහුරු අකුරැ’ති
කිසි පෙම් සුවඳකුත් නැති
අද එවූ SMS එක
බොඳවයයි ටෙලිෆෝන් තිරය මත
දිය මත ඇඳි ඉරක් මෙන.
ඈත දුරු රට සිට
ඔබ එවූ SMS එක
දිලිසේ ටෙලිෆෝන් තිරය මත
කියවූ නමුත් එක හුස්මට
අඩුවක් දැනෙයි මසිතට
පෙර අප පෙම් කරන සඳ
සුදෝසුදු තනිරූල් කොලයක
අකුරු අමුණා රවුම් මුතු ඇට
තැපෑලෙන් ඔබ එවූ පෙම්පත
නැඟෙයි තවමත් මතකෙට
යටින් “මා ඔබගේ ආදර”
අත්සනත් ගසා හැඩකර
එවූ ලියුමේ පෙම් රස
මතකයෙ තිබේ සුරැකිව
පැරණි සෙල්ලිපියක් මෙන
ඇදවූ නුහුරු අකුරැ’ති
කිසි පෙම් සුවඳකුත් නැති
අද එවූ SMS එක
බොඳවයයි ටෙලිෆෝන් තිරය මත
දිය මත ඇඳි ඉරක් මෙන.
කවිය බලන්න
දුර්ඝාවිය
යුද්ධයේ කුරිරු වෙඩි උණ්ඩයක් කිරි පොවමින් සිටි මව් බිලිගත් මොහොතක දුර්ඝාවිය නොදන්නා පියෙකු අත තනිවිය..එම මානුෂික දයානුකම්පිත මිනිසා ඇය හදා වඩා ගනී...!
කාල වර්ණ ඇහි බැම හැර
කිරි දත් පෙන්නා හිනැහෙන
සරමෙ ඔඩොක්කුවේ දඟලන
සිඟිති දියණියේ
නුඹ නුදුටුව එ'වෙඩි උණ්ඩ
පුපුරු ගසයි මහද සදා
පන යන සැණ දුටු එදසුන
අමතකව නොයේ
නුඹෙ නිවහන ගිණි ගනිද්දි
කිරි උරමින් නුඹ සිටිද්දි
ගැස්සී නුඹ බිම වැටෙද්දි
දෙතන යකුන් උදුරාගති
සිඟිති දියණියේ දුර්ඝාවියේ
අවිහිංසක කාල බිළිඳියේ
තල තෙල් සුවඳින් නැහැවෙන
මගෙ ලය මත නැග හිනැහෙන
අම්මා යැයි මා අමතන
කාල දියණියේ දුර්ඝාවියේ
තවමත් මගෙ මේ කණ ලඟ
දෝංකාර දෙයි ඒ හඬ
පුපුරු ගසයි මහද සදා
සිඟිති දියණියේ දුර්ඝාවියේ
ගිඩාරම් මලේ සුවඳ මට දැනේ
කවිය බලන්න
එපා ලෙන් දොර අගුළුලන්නට
ගව්ගනන් දුර ඈත බවවල
කටුක රිදුමන් ඉවසම්න්
අත්හරින්නට නොහැකි තරමට
බැඳි සිටියා ප්‍රේමයෙන්
අතරමඟ වැටි මුරුගසන් වැසි
සියළු බාදා පසු කරන්
සුවඳ පසුපස සොයා ආවෙමි
සංසාර ප්‍රේමය සොයන්
සොඳුරු වුව රුව බමරු එන්නේ
තලා මත්වී රඟන්නයි
හැඬුම් ඉකි මැද සිසිල් වුයේ
දඩබ්බර ඔය පපු ගැබැයි
දැණුන දුක් ගිනි නිවා දැමුවේ
නපුරු නුඹගේ ප්‍රේමයයි
සසර හුරුවක් දැණුන හින්දම
සසල වුයේ මගේ හිතයි
විළඳ මී පැණි එපා මට දැන්
වනේ පලවැල රස බොජුන්
නුඹේ දැඩිසිත නිවා දමනෙම්
වෙලී පපුවේ ප්‍රේමයෙන්
හෙටත් ඉරපායා නැගේවි
සොඳුරු වු දිනයක් අරන්
නොයමි කිසිදා හැරදමා නුඹ
මොකට ලෙන් දොර අඩවලින්
Photo credit' Gift Habeshaw
කවිය බලන්න
සිනාසී දිව එන්න දෝණි ......
සරසවිය ළග ළගයි දෝණි
සැරසෙන්න එහි යන්න දෝණි
වැටකඩුළු නිමක් නැහැ දෝණි
නොබියවම ජයගන්න දෝණි
දිරි එඩිය වැඩි වැඩිය ඕනි
ඉවසන්න හුරුවෙන්න වේවි
බර දරන්නත් ඔබට වේවි
සැකක් නැහැ ඔබ දිනයි දෝණි
රට දැයට සම්පතක් දෝණි
අපට නුඹ මහමෙරක් දෝණි
සිනාසී දිව එන්න දෝණි
සුබපැතුම් , සුබගමන් දෝණි
කවිය බලන්න
ඕනෑකම
හීන අතහැර ගියපු පාරේ අදත් තනියට සෙවනැලි
මාන බලමින් සොයා යනවා දිනක් හමුවූ සියුමැලි
පූනරින් කඳවුරට දකුණින් තල් ගසක් යට කම්මැලි
වේනාම් කියමින් හැරිල ගිය මට අහිමි වූ හසරැලි
බර වැඩිය ඇකයේ අවිය නැතිවුණා නවතින ඉඩක්
සැර වැඩිය හිතුනාද හද ඇතිවුනිද අනියත බියක්
මුර වැඩය අට්ටාලෙ තල් තනියේම දිනයන් දෙකක්
දුර හිටිය නුඹ වටලගන්නට බැරිවීම තවමත් දුකක්
ඉතිං දැන් රට සාමකාමියි අපිට හැකි නේ නෑකමක්
ඒ හැමට වැඩියෙන් දැනෙනවා තංගච්චි ඕනෑකමක්
උතුරු හුළඟට හූල්ලන හිත අරං ආවම මහ දුරක්
කවුද තියලා නළල මැද්දට රතු පාට සායම් පොදක්
AnA 2024
කවිය බලන්න
ගාසා සමූලඝාතනය.
වැටුනාද එක කඳුලක්
හෙලුවාද එක දිඟු සුසුමක්
සමූලඝාතනයක් ඉදිරිපිට
අඳ ගොලු බිහිරියි මුලු ලෝකෙම අද.
නිමේෂයකින් සමතලා වෙද්දී
විලාප හඬේ දෝංකාරය
කාන්තාරයේ විසිර ගියත්
නුඹලාට නොඇසුනේ
ඒ ලදරුවන් මිනිස්සුන්
අපි නුඹලාගේ නොවෙන නිසාමද
ඔතා රෙදි කඩ වල
ගොඩ ගසයි දර මිටි ලෙස
මරා දැමුවේ මෙලෙස
ඇයි අහිංසක දරුවන්
හඞාවැටෙන මව්පියන්
කාන්තාරය තෙත් කරයි සැමදාම.
එක් වෙලා එක දිනක මුලු රටම
දල්වමු පහන් එක රැයක
පතමු සැම මෙත් සිතින්
නිමාවේවා මේ කුරිරු යුද්ධය.
කවිය බලන්න
හනිමුන්
සීතල ට පිළිස්සී
දාහයේ තෙමෙමු අපි
වැඩට යන පාන්දර
සීතලට ගෙවන්නට.....
හිරු හිමින් දැවීයං
ලෝ හිමින් කැරකියන්
අමාරුම අලාම් එක
පාන්දර වැදෙනකන්....
නෝ පේ ත් යන්න හැකි
ඒ නමුත් ඉවසන්න
තෙමුණ කමිසය තරම්
අවුස්සන ඇහැක් නෑ
ලුණුමිරිස් නාඩු බත්
රෑ දුහුල් ඇඳුම ඇඳ
උඹේ අත ගුලි කලත්
බඩ පිරෙයි තුන් වේල
අත හොඳට හෝදගෙන
කට මඳක් ඇද කරන්
මා ලැපේ හාන්සිවෙනු
අද තමයි පැණි චන්ද්‍ර
හැමදාම එහෙම ඉමු.
මහත්තය.
Photo Credit: Anthony Tran
කවිය බලන්න
බැඳි නොබැඳි ප්‍රහසනය
බැඳීයෝ ලිහති
ලිහන්නට කරුණු ද සොයති
කට්ටි පැන පැන උන්
හොර ගල් ද අහුලති
නොබැඳි කම්පා වෙති
බැඳෙන්න ට කළමනා
රැස් කරති සැරසෙති
උකුසු දෑසින් විමසති
කොයි කොයි කියා
මා කැමති මට කැමති
බැඳීයෝ වාද වෙති
වචන ගල් අහුරු ගෙන
දෑත බැට දී ගනිති
හොඳක් නොකියති
වැරදි පමණක් දකිති
වචන මදි වූ විට
උන්ගෙ අත් පා ද
කතාවට එති
පුංචි ඇස් ඈතින්
ත්‍රස්ත වී මුළු මුළු වල
සැඟ ව බලමින් සිටිති
නොබැඳි අත් පටලා
මුහුදු වෙරළේ ඇවිදිති
තමන්ගේ දින
කැලැන්ඩර දින
එන තුරා
ඇඟිලි ගනිමිිින් සිටිති
තෑගි දෑතට දී ගනිති
රස කෑම කඩ වල
නොපෙනෙන අඳුරු කොන්වල
අනා රස බස්
රස බත් සමඟ වළඳති
වෙන් වී ගියත් හවසට
එස්එම්එස් වට්ස් ඇප්
වීඩියෝ කෝල්
මල් පිපේ
ස්මාට් දර්ශන තල මත
වැටුන කළ සයන ට
ඇරගෙන ම ඇස්
හීන දහසක් දකිති
කොපමණ කලකට ද
දෙයියෝ ම පමණක් දනිති
දෙයියෝ කොහෙ ද නොදනිමි
13-10-2020
මානව සමාජයේ යහ පැවැත්ම සඳහා
නීතිගත කර ස්ථාපිත කරන ලද
විවාහය නම් සංස්ථාව තුළ සහ
ඉන් පිටත සංසිද්ධීන් විටෙක
ප්‍රහසනයක ස්වරූපය ගනී
Photo credit; Jonathan Borba
කවිය බලන්න
සුළවත් පහසක් සැමට ලැබෙන සොඳුරු පරිසරයක් උදා වේවා!
කූටක රාස්ස අව්ව වියළුවා ලූ
මගේ මව්බිම සෝදා උතුරා ගෙන ගියේ මහා වැස්සෙන්.
කඩා දමා ගෙවල් දොරවල්. උදුරවා මහා ගස් ගල්.
බිළි ගනිමින් අහිංසක ජීවිත. එයද ලොවේ කරුමය.
එයද එවන් ජීවිත ලැබූ සැනසුම.
කොතෙක් පායා ගහකොළ පොළොව වියලා
දැමූවත් නෑ මගේ මව්බිමේ තෙතක් නැති
අසාධාරණය ,අවනීතිය අයුක්තිය දූවිලි කරන්නේ .
මුරුගසන් වැහි වැස්සත් ,
දෙගොඩ තලා වැහි දිය දෝර ගියත් නෑ ඒ අසාධාරණය ,
අයුක්තිය හා අවනීතිය සෝදා ගසාගෙන යන්නේ.
ඒ නියඟයත් ඒ ගංවතුරත් ඔවුන්ට වෙස්වළා ගෙන එන
තවත් මඩි පුරවා ගන්නා මගක්.
අහෝ සංසාරය..............
"ඉපිද මැරේ යළි ඉපිදේ නොතිර සසර සාගරේ''
කොතෙක් ගම්බිම් තෙත් කරමින් වැස්සත්
හීං හිමිදිරියේ ඉඳන් චුරු චුරු ගා වහිනවා අදත්.
ඉස්සර වහිද්දී ගෙඹි හඬ ඇහෙනවා.
ජපන් හයිකු කවියෙක් කියනවා
"ගොවියාට ගෙඹි නාදය සංගීතයක් "කියලා.
ඒත් අපි කියන්නේ
"ඒක මහා කන්දොස්කිරියාවක්'' කියලා.
ඒත් ඔබ නිවී හැනහිල්ලේ එය අසා බලන්න
ඒ මොහොතේ විතරක් ඔබේ හිත එහි රන්දා.
අනිවාර්යයෙන්ම අර ජපන් හයිකුව
බොරුවක් නොවේ කියා ඔබට සිතේවි.
පරිසරයේ තියෙන හැම දෙයක්ම කිසියම්
රිද්මයකට හැඩ තල මවන චමත්කාර දනවන දේවල්.
ඒත් අපි ඒවා විඳින්න හදන්නේ නෑ.
වෙලාව අපතේ යනවා කියලා.
ඒත් අපි එහෙම කරලා
ඉතුරු කරගත්තු කාලයෙන්
උපද්දවා ගත්තු අමතර ආදායමක්
හෝ දැනුමක් තියේද?
ටිකක් හිතන්න. But always we are busy.
සංසාරේ හැටි..........
"සංසාරේ හැටි තමයි
වියෝග දුක් පැමිණෙන්නේ
නිවනට ගිය දා මේ හැම
දුක් දුරුවන්නේ....''
එහෙම හිතල උලළේනට දුක කියල වැඩක් නෑ.
අපි අපව තේරුම් නොගෙන.
ජීවිතේ විදවන්නේ අපි ජීවිතේ විඳින හැටි නොදැන.
හරියට සතිපඨ්ඨානය කඩපාඩම් කරගෙන
පටිච්ච්සමුප්පාදය උඩ නිදා ගන්නව වගේ.
අපි ආයෙත් ටිකක් හිතමු.
තමන් දිහා වගේම හැමෝම දිහා,
ගහ කොළ සතා සීපාවා
පරිසරය දිහා ආදරයෙන් බලමු.
මොකද හෙට අනිද්දා නොවෙයි
අද උණත් ඒවා දකින්න ලැබෙන
අවසාන දවස වෙන්න පුළුවන් .
නිවන් පතනවා කියන අපි නිවන්සුව පතන්නේ
පණක් නැති සිතක් නැති දරටවත් ගන්න බැරි කයකට.
එහෙම නැතුව සිහියෙන් ඉන්න
දහම එක්ක ඉන්නවා කියන අයට නිවන් පතමු.
ඒක අසුන්දර,අවගාමී, අසුභ දෙයක් නොවේ.
නිරතුරුවම එය සිහිපත් කරීමෙන්
අපි කරන්නේ එයට ඇති බියෙන් මිදීමයි.
ඒ හා මිතුරු වීමයි. සුළු කරගැනීමයි.
එහෙත් එසේ කීම නපුරක් ලෙස
සුබ මොහොතක ආ හිත රිදවන
කෙටි පයිංඩයක් ලෙසයි අපි හිතන්නේ .
නෑ ඇත්තටම එහෙම සිතීම අසුබ මොහොතක
එන සුබ පැතුමක්.
ජීවිතය කියවන.
එය ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. ජී
විතේ හා බව ගමනේ දේශපාලනය එයයි.
එය සදිසි මිනිස් චරණයයි.
"ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සු
පොළොවෙත් මිහි සයනය ගොඩ නැඟූ මිනිස්සු
කරුමේ කිම වඳවෙන හිරු සදිසි මිනිස්සු."
ඉතින් අවසර!
25-06-2024.
කවිය බලන්න
රතු පාට බෝල,..බෝල ගවුම
ගෙවි ගිය දශකයන් දෙස හැරී බලද්දි,.....
මා බාල කාලයේ මතක පිටු අතර,.....
මැවි,.මැවි පෙනෙන ආදරණිය මතකයන්,......
අතර සැරි සරද්දි,........
පියාණෙනි මා ඔබ දුටුවේ මඟුල් පින්තූරයෙන් පමණි.
එහෙත්,....
කොන්ඩය බැදි තර්ස්ටන් කොල්ලා
දිගු වරලස කරලට බැදි මියුසියස් කෙල්ලට,.....
පෙම් බැදි කතාව,.....
අම්මාගේ මුවෙන්
දහස් වරක් ඇසුවෙමි
පියාගේ අකල් මරණය,.....
සොහොන් කොතේ ගිනිදැල් .. .
බුර,.බුරා ඉහළට නගිද්දි,.
වැටුණු ගහට නැගිටින්න දෙන්න එපා
පාගපියවි,.......
ඒත් අම්මාගේ,.....
ධාරණ ශක්තියත් නොපසුබට උත්සාහයන්
පස්දරැ මවක් ලෙසින් ඈ ලොව ඡය ගති
අම්මාගෙ මිතුරුදම් අගයන,....
පියාගේ පැනේ මිතුරිය ....
එංගලන්තයේ සිට ලංකාවට පැමිණි
නවාතැන් ගන්නේ අප සමගින්.....
නිවහනට නුදුරින් පිහිටි .
බැසිලිකා පල්ලිය,.....
ඇයට ඉහමත් සතුටක් ගෙනෙන තෝතැන්නකි.
අම්මාගේ සිංගර් අත් මැසිමෙන්,,,,,
මසා නිමවන ඇදුම් අතරින්,.....
මගෙ මතකයේ තාමත් දෝලනය වෙමින්,...
රැව් දෙන්නේ,....
ලෝරා ඇන්ටි මැසු .. ..
රතු පාට බෝල ...බෝල ගවුමයි,. .
28/6/2024
කවිය බලන්න
උරණ නොවනු මෙය කියවා...!
මුළු සිරුරම චිත්‍ර පොතක්
කරගත් තරුණියක් වෙතේ...
අළු පාටින් නොයෙක් රටා
ඇඳ ඇති පිටෙ ඉඩක් නැතේ...
සළුපිළි ඇඟෙ දැවටුවහොත් ලස්සන එහි නොපෙනි යතේ...
කිළුටක් වන්නට එමඟින්
අවස්ථාව වැඩියි, හිතේ...
දිරණ කයට දෙන දස වධ
දුටුවිට නම් පුදුම හිතේ...
පරණ පච්ච "ටැටූ" නමින්
අලුත් වෙවී ඇවිත් ඇතේ...
දරණ වේදනාව, අධික
මිලට ගන්නෙ ඇයිද පුතේ...
මරණ බයක් එන්නෙ ඒව
ඇලජික් වුන කලදි ගතේ...
විලාසිතා ඇවසි වුනත් අන්තගාමි
නොවන් පුතේ...
කලාව යනු පිනට ලැබෙන දෙයකිය
එහි දෙකක් නැතේ...
වළාව කළු වන තරමට වැටෙන වැසිද දරුණු වෙතේ...
තුලාව සමබර කරගෙන ගමන ගියොත් දිනනු ඇතේ...
කවිය බලන්න
ගෝත්‍රික තරු
රැය පුරාවට අහසෙ දිලුනත්
දවාලට නැහැ එකම තරුවක්
මල් වගෙයි යැයි කවුරු කිවුවත්
පාට වෙනසක් නැහැනෙ සුවඳක්
නිවී දැල්වී නිවෙන ගතියත්
එක විටෙක මහ නරුම ගුණයක්
හඳේ තනියට තරුව තිබුණත්
ළඟයි පෘථිවිය ඒක බොරුවක්
තිබෙන ආසන්නයෙම තරුවත්
ආලෝක වසරම දුරයි හතරක්
ඇසට මේ දැන් ඔතැන පෙනුනත්
ඇත්තටම වෙයි තවත් කොහෙවත්
ලග්න කිය කිය රටා ඇඳුමත්
තරුත් පෙන්නා මුදල් ගැරුමක්
නැකත් වේලා බලලා කෙරුවත්
රටත් කම්බස් වැඩත් අබ්ලික්
ග්‍රහයො හිටියට පහයි බලවත්
පෘථිවියත් හා තිබෙන තරහක්
අපල කරදර කොතෙක් එවුවත්
සුරෙන් නූලෙන් ගහයි ගේමක්
දියුණු රටකින් වෙනස බැලුවොත්
අපි ගෝත්‍රික වැඩියි තරමක්
හැදෙමු නේදෝ අනේ දැන්වත්
වැඩට යොදලා මොලේ ඩිංගක්
කවිය බලන්න
ඇහැල කුමාරී
කහ පැහැ සළුව විසි කරමින් පැද්දෙන්නී
සුළගේ සිහිල් රැල්ලේ නිති හැප්පෙන්නී
සරිගම තාල මුසු කරමින් නැලවෙන්නී
මිහිබට සුර ලියක සිරියා පරදන්නී
දිගුකර මුදා හැරි සුන්දර වරලසට
පිනි මුතු වැටී දග කරනා ලස්සනට
පෙම් හැගුමන් දෝරෙ ගලනා හදවතට
විහගුන් කවි කියයි දෙසවන් අද්දරට
විසි වී වැටෙන පෙති එක දෙක අහුලන්න
බබරුන් පොර බදී ටික ටික ලං වෙන්න
නෙත් යුග බිමට ලං කර රස කොදුරන්න
ඇහැල කුමාරියෙ හිමිහිට නැගිටින්න
කවිය බලන්න
ප්‍රේමය ඒකපාර්ශ්වික වූ කල...
ප්‍රේමය ඒකපාර්ශ්වික වූ කල...
ජීවිතය ෆැන්ටසියකි.
සුසුමකට පමණක් මගෙ කවිය ගන්න..
ප්‍රේමයේ නාමයෙන් යටි හිතක් දෙන්න.
ආයෙමත් නොකරන්න පව් මසිත මෙල්ල
සොඳුර මගෙ ජීවිතේ කවි නොලිය ඉන්න
නොදරාම ඇස් අස්සෙ සඟවන්න මතක
සිස් වෙච්ච මගෙ හීන කරපින්න ගන්න
කාලයේ ඉලක්කම් ගනින්නම් ඔන්න
ආයෙ නුඹ කොතැන හෝ හමුවේවී නේද
සබඳ මම් පවසම්ද ආලයේ පිරුළු
නුඹ නැතත් පණ පොවා මම ඔහේ ඇමිණූ
සදහටම ජීවිතේ නුඹ මගෙයි ඉහිළූ
කඳුළකම පිපෙනවා හැම හීන ඇහිලූ
නුඹේ හසරැල් ළඟම හුස්ම අතුරන්න
ආලයෙන් සමරන්න පාළුවේ වචන
ඉතින් දැන් මගෙ නොවුන දෙඅත සිපගන්න
එනභවේ ඇගෙ වෙන්න කලින් මගෙ වෙන්න
Photo image' Kyle Broad
කවිය බලන්න
මොනිකා රුවන්පතිරණ කිවිඳියගෙ .විසිවස් සැමරුමට -ජූලි 10.
ලිසීගෙන් ලියුමක්.
(කිවිඳිය විසින් 1975 දී රචිත "ඔබේ යෙහෙළිය ඇය ගැහැනිය" පද්‍ය සංග්‍රහයේ
පොඩි දුව - ලිසී නම් වූවාය)
********-*---*******************************
මට දැන් හැට අවුරුද්දක්...
මොනිකා නැන්දට මතකද. ?
අම්ම දමල කොළඹට ගිය..
මට ලිව් කවි. මොන පොතේද.?
එදා මමනෙ පොඩි දුව වුනෙ ..
අපෙ අම්මට කට පුරාම.
බංගලාවෙ කට්ටිය නම්...
ඇහුවෙම නම ලිසී නේද.?
ආයම්මා ලෙස උදේට...
වැඩකාරිව ගිය කඩේට.
දැන් යන්නෙ මගෙ පොඩි දුව..
මට බය ඒකිගෙ හැඩේට.
*****************************
අර මම් අත අල්ලාගෙන ...
සිදාදියේ ඉස්කෝලෙ ට.
එක්කන් ගිය පුංචි බේබි...
මංතිරි නෝනෙක් දනීද ?
මොනික නැන්ද පනස් අටෙන් ..
ලෝකෙන් යන්නට ගියාට.
තාමත් නෑ වෙනස් වෙලා...
අපෙ පංතියමයි පරාද.
අවුරුදු පනහකට කළින්..
මම ගැන ඒ ලිව්ව කවිය...
මගෙ දුව වෙනුවෙන් ලියන්නෙ ..
කව්දා කව්රුද හැබෑට .???
********-***************************
වෛද්‍ය නිලධාරී .
බන්ධනාගාර වෛද්‍ය ඒකකය .
බදුල්ල .
2024.06 15.
කවිය බලන්න
ඔල්මාද ප්‍රේමය
මළානික හඳ පළුව රහසින්
නිදි කිරන විට මාවතේ..
අදුරු සෙවනැළි මැද අදත් මං
දිටිමි, ඇහිදින ජීවිතේ..
මුර කුටියෙ හිද මුහුණ හොවමින්
අදිසි නුඹෙ උණු ලය මතේ..
මහද පාමුල ඉකි බිඳිමි මම
තුහින ගිනි ගත් හිමවතේ
හොරට නිදි වැදි නුවරු සතොසින්
අවදි වන තෙක් හෙට උදේ...
දිගාවී මලසුනේ අපුලින්
මර සෙනග නුඹ වට ඇදේ...
ශ්වේත එළියේ සාධු ජනයින්
අඳුර මැද රගනා සදේ...
යකඩ පහසින්,මල් පියළි වන්
දනිමි, නුඹෙ අත් පා රිදේ
"මිනිස් කම" මස් කඩේ කොක්කක
කදුළු බොන විට ලේ පෙරාගෙන...
හද දෙපළු වී දැවෙන මොහොතක
"මැක්බත්ගෙ"නෑදෑයො සපැමිණ..
"සොදුරු පිවිතුරු මල නුඹම නෙව"
ප්‍රශස්තිය හැමදාම රවටන...
අසාපන් උපදින බිළිදු මුව
සිඹිනු හැකිදැයි පිළුණු ප්‍රේමෙන
කුණු ඇළේ ළඟ මුඩුක්කුවෙ උන්
"ඔල්මාදකාරයෙක්" කිව්වට...
උමතු රාගෙන් බමන මතකින්
නෙමේ සොදුරිය මේ සැබෑවට...
නාදුනන ලේ පණ ගැහෙද්දෙන්
දිවි පුරා පෙම පුරුද්දන්නට..
නවතින්න මගෙ ලෑලි කුටියෙන්
පෙර එකෙක් තව නෙලා ගන්නට
කවිය බලන්න
බිම්භාව ප්‍රගුණ කළ ඉවසීම
පාරමීදම් පුරා ආ ලෙස සෙනේ වන්තිය වෙලා උන්නේ
ලේන කුලයෙන් ඇරඹි ගමනේ කටුක බව වෙන කවුරු දන්නේ
මහ මෙරක් සේ පැමිණි දුක් ගිනි හිතේ විරියෙනි ඉවස ගන්නේ
අත්හැරීමේ පාඩමයි ඈ බෝසතුන්ටත් කියා දුන්නේ
පැතූ විලසට සඳලු තලයෙහි හිඳිනු දැක ඉවසන්න බැරුව
කල්ප ගානක හදේ රිදුමන් සිරි පතුල් ළඟ කඳුළු කෙරුව
බුදුවනා බව තෙක්ම ඔහු හා ඇවිද එන්නට පෙරුම් පිරුව
පතිනිවන්තිය සැනසුනා පැද ගොසින් අවසන නිවන් ඔරුව
සංසාරේ පුරාවට පසු පසින් ඇවිද
සැනසීමෙ මියැදුනේ කවර නම් භවද
බුදු පදවි ලැබ ගන්න මග එළිය කළෙද
බිම්භාව ප්‍රගුණ කළ ඉවසීම නොවේද
කවිය බලන්න
නිහඬ ව පෙම් කරමි
ඔබට නිහඬ ව පෙම් කිරීමට මම තෝරාගනිමි
ඒ, නිහඬ බව තුළ පිළිකෙව් කිරීමක් නොමැති බැවිනි
ඔබට තනිකම තුළ පෙම් කිරීමට මම තෝරාගනිමි
ඒ, තනිකමේදී මා හැර වෙන කිසිවෙකුට ඔබ අයිති නොවන බැවිනි
ඔබව දුර සිට අගය කිරීමට මම තෝරාගනිමි
ඒ, අප අතර ඇති දුර, වේදනාවෙන් මා මුවාකරන බැවිණි
සුළඟ මත මම ඔබට හාදු එවමි
ඒ, මගේ දෙතොලට වඩා සුළඟ මෘදු බැවිනි
සිහින තුළ මම ඔබව වැළඳ ගනිමි
ඒ, මගේ සිහිනවල ඔබ සදාකාලික බැවිනි
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
Translation of the poem ‘I choose to love you in silence’ by Rumi
Jalāl al-Dīn Muḥammad Rūmī 13 වන ශතවර්ෂයේ ජීවත් වූ පර්සියානු කවියෙකු සහ දාර්ශනිකයෙකි. මේ වෙද්දී ඔහුගේ කවි භාෂා විශාල ප්‍රමාණයකට පරිවර්තනය වී ඇත. ඔහුගේ මරණයෙන් පසු ශතවර්ෂ ගණනාවකට ගෙවී ඇතත්, අදටත් ඔහුගේ නිර්මාණ ලොව පුරාම ප්‍රසිද්ධ ය.
කවිය බලන්න
කෙටි කවි
සුළඟ
----------
සීත සුළඟින්
අවුල් වෙයි
හිස කෙස් මෙන්ම
සිතිවිලි ද
වසාලමි කවුළුව, තදින්.
වෙසඟන
----------------
සැඳෑ වෙසඟන
සැරසී රතු සාරියෙන්
මගේ දොරකඩ
දැවටි දැවටී
ඉඟි මරයි.
තවත් ගමනක්
-------------------------
අහසින් වට
පියාපතක්
කැරකෙමින් අවුත්
වැටී ගං දිය මත
පාව යයි සෙමෙන් .
රතු එළි
-------------
රතු එළි... රතු එළි....රතු එළි
අහස ද
අලෙවි වූ බැව්
සංඥා කරයි.
නිවුන්නු
--------------
දෙරටක වෙසෙන
කිසිදින හමු නොවූ
කවීන් දෙදෙනෙකුගේ
කවි අතර
නිවුන්නු.
24/06/28
කවිය බලන්න
කුජ හතේ
පන්ති බාර ගුරු තුමියගෙ නම වරුනී
ඔසරිය කොනෙන් පොලවේ දූවිලි පිසුනී
විලවුන් සුවද පන්තියෙ කොනටත් දැනුනී
කොතෙකුත් අපට යටි ගිරියෙන් බැන වැදුනී
දරුවන් කියන වචනය නම් නෑ ඇසුනි
මරුවන් කියා අමතන්නට හරි හපනී
ඉදහිට අකුරු කරවූවත් මිස් වරුනී
නිතරම ජනේලෙන් පිටියට නම් එබුනී
ක්‍රීඩා ගුරුතුමා ගැන ආලෙන් බැදුනී
ඒත් ඔහුගෙ ආලය නම් නැහැ ලැබුනී
මිසිස් වෙන්න බැරිවී හැටපහ පිරුනී
ගුරුත් පාසලෙන් ඇය පිටමන් කෙරුනී
ගොඩින් මඩින් දෑවැදි නැහැමින් තිබුනී
අටු කොටු උනත් යල මහ දෙකෙදිම පිරුනී
ඇහැට කනට පෙනෙනා රූව ඇති සොබනී
කුජත් හතේ හින්දා තනිවී මැරුනී
කවිය බලන්න
තිත්ත සීනි
දුවේ, නෑ හැමෝට ම පින
අන්දරේ වන් පියෙක් ලබන්න
පිය පුතු කවටකම ඉවසන
කරුණා රජෙකුගෙන් යැපෙන්න
උගන්වන්නේ පරපුරෙන් පරපුරට
තල හොරා දුටු තැන තලන්න
තල ගුලි සමඟ තේ දී වරද පහදන
කිරි අම්මෙක් නැහැ බේතකටවත් හොයන්න
රජ දරුන් ඉගෙන ගන්නෙත් රජ වී
දිසාපාමොක්ව උල තියන්න
ඉතිරි පරපුරට හිමි කරුමය
ගසක කිරි දැක කලය බිඳින්න
එ'විගස ම හුයකින් බැඳෙන්න
ජාතියක් වඳ වෙතැයි බිය වී
දරනු බැරි තරම් ඵල දරන්න
කිරි හොද්ද හැඳි ගගා හදන්න
පුම පරම්පරාවක උරුමය
සිප්හලෙන් කලියෙන් ම හැලෙන්න
අලි, පොහොර, නියඟ මැද තැලෙන්න
විටෙක වකුගඩු ඉරී මැරෙන්න
නොමැරුණොත් වඳ කොත්තු බියෙන්න
පඩි පේළි වන් දරුන් තනන්න
බණ අසා අපායේ නොයන්න
අඹුට තේ නොහදා ම තලන්න
සීනි කන දෝණිටත් තලන්න
වද වෙමින් රට දැය සමය රකින්න
ගිනි තබන, බෙලි කපන පරපුරෙන්
එපා උත්තම මිනිස් සොයන්න
හොරා කා සීනි, ගුටි නොකන්න
රටක අධිපතිට හිතවත් වෙන්න !
මගේ දුවේ, සීනීවල තිත්ත රස
ඔබේ පසු පරපුරට පහදන්න
මිහිරි මී පැණි දරන රැජිණක්ව
මගෙ මැණික ලොව මියුර පතුරන්න
©️ කෞශල්‍යා ජයලත්
කවිය බලන්න
සමනල සඳෙස -14
දත යුතු කරුණු ගොමුව - 11
මහා එළිය
262. බෙලිහුල් කුමාරිගෙ හැඩ රුව බලා මන
සිරිමල් වියේ කැකුළකි බඳ සලා යන
සමනල් කුමර නොකියා හද තලා වන
සුරතල් කළණි අමතක වි ද ගලා යන
263. දැන සිටි යුතු දෙයකි මෙය සමනල නුඹ ද
පින අපගේ ය ඇය දැය පණ නල නිඹ ද
දන අප වෙයි රකින කොමළගනක අඹ ද
තැන-තැන දුවන වෙසගෙන මත-ගත ළඹ ද
264. උපදින දියර බිදු කළුගල වනාන් - තරේ
“කෙහෙල්ගමුවෙ ඔය” විලසට හෙමින් -සැරේ
මස්කෙළි ඔයත් සමගින් විත් සරින් - සරේ
කළණි ගඟ කොමළිගෙ හද තුරුළෙ පිරේ
265. යටියන්තොටින් වී ඔය වැල්ලෙ දි ම රුවන්
ගුරුගොඩ ඔයත් එක් වෙයි සිප පියවි නුවන්
සීතා පෙම්බරිය දිය කිදුරියක වෙසින්
සැතපෙයි අවිස්සාවෙල්ලෙන් ළයෙහි තොසින්
266. මහා එළිය - මහා තැන්න හා හෝටන් - තැන්න
එකී නාම ගත් තැන වෙයි කළණිගෙ තෝ-තැන්න
මහවැලි - කැළණි ද වළවේ තුන් ගංගා තැන්න
පැන නැගි තැන රාම - රාවණා යුද කළ තැන්න
267. මහා එළියෙ සිට ගලමින් දෙගොඩ තලා
කැළණි ගග හඩයි ඉරමින් දෙවුර පලා
කෙත්වතු සිසිල සදමින් පිණි දිය ද සලා
දිව යයි අගනුවර දියඹට බසිනු බලා
268. කළබල නොකර සමනල, රස විද රගන
කැළණි පුරවරයෙ සොබමන් රති අගන
විද - විද පහස තැන - තැන ගොස් යළි මගන
දැක නුඹ නෙතින් පවසන් ඇගෙ තතු කගන
සමනලයා දුටු නදී කොමලිය-3
කැළණි සුරවරුවරිය 17
269. උමතු ව දග දමින් මැය - පල්ලම් බසින
උඩගු ව සිරස සිට සමනල කදු මුදුන
සුහද ව පැමිණ කදු පාමුල ඇද හැලෙන
නිබඳ ව ඇසෙයි හඩ හද බැද නුඹ හඩන
270. නව-පිලි වෙළා එ ද සලෙලුන් ඉවුරු සරා
විම-සිලි කළා වෙ ද සුරගුන් නමට අරා
ඇවි-ටිලි කළා වෙ ද අගනුන් මතට නුරා
රැව-ටිලි කළා වෙ ද සොබමන් හදට හොරා
271. ගමනට ලලිත සලෙලුන් මත් කරන බස
කසු-කුසු බරිත විද මල්සර පහස විස
විමසිලි සලිත වී සුරලියො බිමට බැස
රැකවල සදත ගෙන මීමැසි බඹර වෙස
272. කොතරම් කම්කටොලු බාධක එරෙහි වුණත්
හිස් ඔසවා හිඳී කළු ගල් නොවී පහත්
වෛරෙන් පළි ගැනීමට උහු සිත ඇදුණත්
වළකයි නුඹ එ ගිනි පිනිදිය ඉස උහුටත්
273. දිනෙන් - දින ම පැහැබර වන තුරුණු කයේ
ජවෙන් ලැබෙන සිරිගරකම තව ම තියේ
කවෙන් පිපෙන මල් කුමුදක් පැහෙන රැයේ
ලෙවන් කවුද නොරැකෙන නුඹෙ පිනෙන් දියේ
274. යන මග නුඹ ඇදී වග - වළසුන් ගහන
සැතපී නෙක වණින් මිණි කැට ඇත දිලෙන
එක් වෙන රොන් මඩට සුදු පෙණ බුබුලු දෙන
තරමට අගය නැත නුඹටත් අගය වෙන
275. දෙවගන ලෙසින් බැස මේ කුළුණින් පැමිණ
සුරඟන ලෙසින් බැස හදවත් බැද පෙමින
නළගන ලෙසින් බැස නෙත සිත ගෙන රසින
පුරගන ලෙසින් බැස යන්නෙ ද ලෙස රැජිණ
276. අතරින් - පතර වීමෙන් වගවළට ගැතී
රහසින් රිංගමින් සිතිවිලි හදක නැතී
සැණෙකින් විසරු වී මදකින් නිවී එතී
රහසින් කියයි නුඹෙ ළග ඇති ගෑනු ගතී
277. සිරි පා පුරෙන් බැස ගෙන ආ කොමළ නදී
වාගේ නුඹත් සැගවෙනව ද සයුරෙ කිදී
වැද සිරිපතුල කැළණියෙ පුරවරට ඇදී
පිනි පා කරනු බුදු සිරි පා යළිදු සැදී
278. කදු - පල්ලම්-ගොඩැලි-පොල්-කෙත්-වතු හේන
වැදු මව් වුව ද නැහැ සිතුණත් ගෙට ගේන
බිඳ දා දස අතට විහිදන දිය දෝන
සුරවිරුවරියක සෙ සිතුණැයි මට පේන
(මතු සම්බන්ධයි.)
2024.07.01
කවිය බලන්න
සන්ධිපාද මිතුරා
දැන් තෙමසක්
සයනය මත
උඩුබැල්ලෙන් සිටිමි
කෝ මාගේ සන්ධිපාද මිතුරා
දිගුපාද තව දිගු කරමින් යන
නැතිමුත් හොරයක්
හොර ගමනක වාගේ යන
මගේ ආදර්ශවත් මිතුරා
ලොව පළමු එඬේරා වගේ
අලක් මුලක් සොයමින්
දඩයමක් හඹා නොයමින්
ගොදුරු දැල වෙත කැඳවා
සෙමින් එකිනෙකා බුදිනා
මා ආදර්ශවත් මිතුරා
අනුභවයත්
මෙවුන්දමත් පමණකින් සෑහී
ජීවිතය සැහැල්ලුවෙන් ගෙවනා
ගෙයක් දොරක් නැති
ජීවිතය වාගේම
සැහැල්ලු සිරුරෙන් ද සිටිනා
නිව්ටන් ගේ කීමට
වෑයමින් පිටුපාමින්
පාද පත්ලේ
ක්‍රම විදියක් දරනා
ඔබ කොයිබද
මගේ සන්ධිපාද මිතුරා!
පහයි විස්සා කාව්‍ය සංග්‍රහයෙන් 2024
කවිය බලන්න
Amma, just wave to me once more
A warmest July dawning when blossoms wore their best.
We little knew that morning , whats going to be the next.
The ringing tone was normal yet a sad chord struck just guess!
The voice so calm conveyed the words, that stilled us beating the chest!
Sixteen summers passed we sigh, sans the touch and voice so dear,
You left a void so deep in heart, that none will fill in years,
No recordings needed to retrieve that voice, so strong and warm to the hear.
You whisper to me each hour with love, that voice is grilled in ear.
No photos needed to remind the smile , thats radiant and sincere
The captures in the mind so clear will fail to fade no fear.
I am holding you so gently, allowing to swim upwards in river.
As you followed the rule of Dhamma, NOBLE and so PURE.
Amma, still greed smeared thought in me asking you a favour,
Before you reach the winning post, please wave to me my dear,
From Ealing Common station
With teared smeard smile sincere,
As I saw you for the very last time, when you grilled my heart with that tear!
කවිය බලන්න
තනිය....
තනුව වැරදුන හැඩම කවියක නැවතුමක් කඳුලින් තියා...!
දිනුව දේ කෙලෙසින් රකින්නද හදවතේ දුක්ගී ගයා....!
පැතුව පැතුමන් මග බලා හිඳ වෙණ තතක සත්සර වයා....
තැනුව මන්දිර කැණිමඬල සුනු විසුනුවී සුළඟේ ගියා..!
සතුට වෙනුවට කඳුළු බිඳු ඇත මතක එනවිට නුඹගෙ ඉඳහිට..!
දුකට සුසුමන් උරුම කරදී සිනා කැන් සඟවලා සිතයට...!
පයට පෑගෙන දූලි පොදවත් නොවී ඈතට ගියා හනිකට.. !
හදට ගෙනදෙන වේදනාවන් රිදුම් දී ඉකි ගසයි තනියට ...!
Photo credit: Joshua Rawson-Harris
කවිය බලන්න
මට අහිමි මගෙ කවිය...
පිළිලයක් ඔබ මගේ හදවතෙ දුවාපූ
හෙමි හෙමින් මුළු දිවිය නතුකර වෙලාපූ
අනුරතිය මැද සිහින ලෝකය මවාපූ
නොදැනෙන්න මල් කෙමිය රසකර උරාපූ
ලමැද පසුකර ලයෙහි සෙනෙහස පුරෝපූ
දෙතොල මඟහැර නළලෙ හාදුව තබාපූ
කඳුළු බිඳුවල බරක් දෙනෙතට නොදීපූ
රුහිරයයි ඔබ දිවියටම පණ පොවාපූ
අනුප්‍රාසය මැදින් ගැඹුරට කිඳෝපූ
මඟහැරෙන පද එකින් එක ගැන බලාපූ
එළිවැටක් මැද එළිසමය රැක ලියාපූ
කවිය මගෙ වුව කිවිඳු ඔබ එය ගයාපූ
සෙමින් පිරිමැද ගැඹුරු තැන් දැක රිදෝපූ
හිස් මුදුන සිඹ ලංකරන් හිත හදාපූ
තත්පරෙත් නැත දුකක් ඔබ දී විඳෝපූ
රත්තරං මගහැරුනෙ කිම අප පතාපූ
ගම්පහ වතුරුගම
PHOTO CREDIT; Pablo Heimplatz
කවිය බලන්න
නොලැබීම
හරියටම බලා ඉඳ වසර මුලු හත අටක්
ඉවසගෙන හැකි තරම් බී කඳුළු පිරි ගඟක්
ලෙල්ලටම හින්ද ගෙන ඉතිරි කළ හැම දෙයක්
උස්සගෙන අද ඇවිත් අඩක් මේරුව ගැබක්
රිදුම් දෙන පිට කොන්ද හිමිහිමින් තෙරපමින්
ඇදුම් කන කුස මතට අත තබා තදකරන්
වැදුම් දී අදහනා දෙවියන්ට හද බැතින්
සුසුම් ලන ඒ දෙනෙත දුටිමි වෙව්ළන බියෙන්
වළකමින් නොමේරූ නොදරුවකු පැමිණීම
නවතමින් දෛවයට රිසි පරිදි හැසිරීම
සුරකිමින් ඇගෙ සිහින ලබා දී සැනසීම
කෙලෙස මා කරන්නද කරනු හැර වැළපීම
කවිය බලන්න
රාජ්‍ය සේවයේ නිලමැස්සෝ !
එකම කුලකයේ නිලයන් අතර ඇතී
හිතවත් කමට උන්'නුන් පිට කසා ගතී
උගතුන් වුවද ජන්මයෙ ගති ඇරී නැතී
නරුමයො නිල වෙසින් රට නිරයට යවතී
හිතවත්කම් වලට නීතිය යට ගසතී
හොරකම් දැන දැනත් තම සගයින් රකිතී
රජයේ සේවයෙන් උන් හොඳ හැටි ගරතී
මහජනතාව තම දැස්සන් යයි සිතතී
මහජන දේපලින් හොරකම් කරන එකා
ඒවා හරියි කියමින් ආවඩන එකා
හෙලිවූ පසුත් වංචා යටගසන එකා
විශ්වයෙ නීතියෙන් විගසින් දමයි මකා
පඩියට අමතරව සම්තිං ඩැහැගන්න
ලියකියවිලි පවා හොර රහසින් දුන්න
නිලමක්කාරයිනි මේකත් අහගන්න
දවසක් එනවමයි ඒවට කඹුරන්න
තම නිල කාරියත් හරි හැටි නොදන්නෝ
ටයි ගැටය නම් නිති අතගා බලන්නෝ
නිලයට මුවාවී උන් සෙලු වහන්නෝ
රජ පරිපාලනේ පහරන පුලන්නෝ
රජ සේවයේ රන් අකුරෙන් නම රැන්දූ
හොර බොරු දුටු විගස එරෙහිව වැට බැන්දූ
පඩිපත අගට වැඩි නොම කරගත් බිංදූ
නිලදරුවන් කොහිද අද ගරු සරු කැන්දූ
"ගරු" යැයි පටන්ගෙන නාමය අගට "තුමා"
යෙදුවේ නොමැති වුවහොත් නම් බඩුම තමා
කාරිය පැහැර හැරුමට නම් නොමැත සමා
මුන් දඬුකඳේ ගැසුමට තව නොවෙමු පමා
රජයේ ඉඩම් සුරකින හැම රැකදේවා
අවභාවිතා කළ දුදනන් වැනසේවා
හොරකම් යටගැසූවන් නිරයට යේවා
අවසන් මොහොතෙදිත් මෙවදන් සිහිවේවා !
20/06/2024
කවිය බලන්න
යළිත් ගංවතුර හෙට එන්නේය
ගංවතුර
යළි ඇවිත්
පාලමට උඩින් ගොස්
මෝය කට හමු වේය
සැඩ නැතත්
සැඩ වුණත්
මහ මුහුද
එක වගේ ඉවසාය
කුණු පෙට්ටි
කුණු ඇඳුම්
කුණු මිනී පැමිණේය
දැවුණු හිත්
තැවුණු හිත්
උණු පාන් කන්නේය
ලඟම පාසල අනේ
හොඳම පාසල ලෙසින්
ඉන්නේය
බියර් වලටත් එක්ක
බැනර් වලටත් එක්ක
ආධාර ගන්නේය
යළිත් ගංවතුර හෙට එන්නේය
ඇවිත් පාලම උඩින් යන්නේය
Photo credit ; Kelly Sikkema
කවිය බලන්න
මිහිමත ට බර වැඩි (නො) වූ හුස්ම..
සසර සරනා සුවඳ මත
පෙමින් වෙලෙනා වු මොහොතක
අනන්තය අත ලඟ ට
වී සලයි පවන්..
නොරිසි රිසි කම් මත
නොගැලපෙන කිසිත් නැති සඳ
මදු සඳ කිකල වෙයි දෝ අමාවක
හුරු සුවඳ උරුවකට ඇදී ගෙන
නිසි නොනිසි කල් නොදැන පූදින
දේශය උතුම් කොට මව් පුදන
කුලයෙන් නොවෙනස් වු ගැබ තුල
ගිමන් හල වී රැඳුන ඉසිඹුව
නොදැන කල සංසාර වරද ගැන
සුසුමින් දැවෙන කල මව් ලැම
සුදු ඇතුන් පැනයාවි සිහිනෙන්
අතැර දා යා නොහී
සෙනේ අයඳුම ම අයදී
සෙමෙන් කුස මෝදු වී
මව්වත් ලැමක් හොයනු රිසිනි
නොගෙනා හෙයින් මිටි කොට මහෝඖෂද
පිය හිස රුදා නැසුමට සුදුසු කල
විරසක වීය පිය පස
නොදී හැර නම් වාසගමකට
කිසා ගෝතමියක් ව පෙම්මා
දරැ පෙම කරින් ගෙන පින්නා
ගෙයින් ගෙට අයැද සම්මා
ඇයට සරණක් වෙනු කවුරු නිම්මා
තනි අතින් තැලූ අත්පුඩි
නිසා විද අපහාස මල් වෙඩි
මනුදම් ගුණ නිමිති කර පොඩි
හුස්මක් මිහිමතට වීය බර වැඩි
Photo credit ; NASA
කවිය බලන්න
මම දස්කොන්
ආලය කියන්නෙම නුඹ සිහවෙන එක නම්
කාලය ඉතිං කවියකි නුඹ ළඟ මනරම්
ප්‍රේමය තමා මරණෙට වැඩියෙන් ඉක්මන්
ප්‍රේමිය මං පුරාවෘතයක නැති දස්කොන්
කවිය බලන්න
අහිමි රික්තකය
සැනසීමක් සොයාගත නොහැකි
අහිමි වූ රික්තකයේ,
ගැබුරු නිශ්ෂබ්දතාවය,
කාලයේ නිහඬ සාක්ෂිකරුවා
හදවතේ තුවාල සුව නොකරයි,
නා.ලා
Photo credit; Drew Hays
කවිය බලන්න
සෑම සසර භවයකම...
සෑම සසර භවයකම
නුඹ වෙයන් මගෙ වෙලා
ජීවිතේ කිසිමදාක
නොදී දුක සිතට පෑව සෙනේ
නොවෙනස්ව තාම ඇත නුඹට
මාවතේ පියනඟමු බැඳ අත්වැල්
එකට ආව වගේ තව දුරක්
යන්න ඇත අපට දරුවන්ගේ යුතුකම්
නොපිරිහෙළා ඉටු කලා දාලා
ගොස් ඔවුන් අද මහගෙදර තනිවෙලා
බාධක පැමිණියත් නෑනේ විරසක වෙලා
සෑම සසරෙ භවයකම නුඹ
වෙයන් මගෙ වෙලා
නිලු ජයවීර....
කවිය බලන්න
එකමුතුවේ පැහැයන්
සුදු මිනිසෙක් සටන් වැද,
කලු මිනිසෙක් සමගින්
මග වැටී මැරෙණ සඳ
එකම පාටකි, ගැලූ ලේ කඳ
අබියස ඒ එකම ලෙය
මනු බෙදුම නොරිසිය
හුදු මායාවක් විය
පැහැය, දැය, සමය
කලු සුදු පාට සමගින්
ගෙන ඔබ, මා පැහැයන්
නන් හුයෙන් වියෙන මනරම්
එම සළුව මිනිස් භව නම්
සැවොම මව් කිරි බී වැඩෙන
විවිධ ජන කැළ ලොව වෙසෙන
තම දිවි ගෙවා ගමන අවසන
ඒ එකමුතුව යලිත් සමරන
මිනිස් භවේ පරම ගී තනුව
කරුණාව වේවා නිරතුරුව
මිනිස් භවවූ ඒ අනගි සළුව
නන් පැහැයන්හි එකමුතුව
නිරන්ජන් සෙල්වදුරේ
කවිය බලන්න
මේ කඳුළු බර වැඩියි
නුඹ තරම් ආදරේ දුන්නෙ නෑ කවුරුවත්
අප්පච්ච් රිදෙනවා හදවතේ සියුම් තැන්
යන්න ගිය දා ඉඳන් මා දමා නුඹ දුරක්
මේ කඳුළු බර වැඩියි දැනෙනවා සුසුමටත්
ආදරේ තියෙනවා සිත් පුරා පොඳි බැඳන්
මිලක් නෑ විකිණෙනවා හරි ලාභ තැන්වලත්
පෙම් කළත් ඒ හිතට නුඹෙ පෙමට සම කරන්
ඔහු ගියා හදවතේ නොමියෙනා දුක තියන්
සාක්ෂිත් නොමැතිව ම ගොනු කරපු කතාවක්
උසාවියෙ කෙළවරක ඉකි බින්ඳා කාලයක්
පෙම් කරපු වරද ළඟ නැති නිසා සමාවක්
පිටව යමි ප්‍රේමයේ මළගමට සුදු ඇදන්
දිලිසෙනා හැම තැනම නැති නිසා මැණික් ගල්
අහුලන්න සිදුවුණා ගොමරිටි ද කබොක් ගල්
අනේ නුඹ හිටියා නම් අද වගේ දිනෙක මං
බදාගෙන අඬනවා මේ කඳුළු නිවෙනකම්
අදින් පසු පියනඟමි යඳම් ලා හදවතත්
වෙර සිඳුණු දෙපා යළි පිරිමඳිමි හෙට ඉඳන්
සඳ ඇවිත් ආකාසෙ කළුවරට එබෙනකම්
අප්පච්ච් අනේ ..නුඹ යන්නෙපා නිවන් නම්
කවිය බලන්න
බීර වීදුරුව
සොඳුර ඔබ
බීර වීදුරුවකි විටක
විගසින්ම නෙත ගැටුන
කිරි සිනා උතුරවන
පිය තෙපුළ නොනවතින
නැගෙන පෙණ බුබුළු මෙන
අනතුරුව යුග නයන
මවෙත පාමින් පෙමින
බලා ඔබ හිඳින
මුව පිරුණු මඳහසින
පාමින සිරුර රන්වන
'ඇසි පිය' කාව්‍ය සංග්‍රහයෙනි (2005 ගොඩගේ ප්‍රකාශනයකි)
කවිය බලන්න
මල් සුවඳ.......
සුපිපුණ මල් වල පවතියි සුවඳක්
එනමුදු එහි නැත හැමදා මිහිරක්
නොලදත් මල් මෙන් සැනෙකින් සුවඳක්
සුවඳ ලබා ගත හැක හෙට අපටත් .
දිරියෙන් විරියෙන් දැනගෙන සිප්සත
අනාගතය දෙස හරවමු නෙත් යුග
ලස්සන මල් වල සුවඳත් පරයන
සුමිහිරි සුවඳක් එවිට හමනු ඇත.
අත්වැල් බැඳගෙන මිතුරන් විලසට
දැය ගෙන යමු අපි දියුණුවෙ දොර වෙත
විරුවන් විලෙසට එසඳ අපේ නම
සැමදා ලක්බිම සුවඳ කරනු ඇත.
කවිය බලන්න
ඔප්පුව
ගේ දොර එළි කරලා
තණ කොළ ටික කපලා
සාලේ මාව උජාරුවට තියලා
හත් අවුරුද්දකින් බලපු නැති
දූ පොඩ්ඩ ඉකිත් ගහනවා ඇහුණා
වළලද්දි අඩි හයක් ඇතුළට
පොළොවෙ පස් එක්ක හැපිලා
පනින්නට හැදුවා මගෙ උඩට
හයියෙන් අල්ලපිය කියලා
දුවට කොඳුරාලා
බණ දානේ නෝට්ටුවලට
යස රහට හැඩවෙලා
හුඟක් අයට කන්න බොන්නම
එන්න කියලම තිබුණා
කාමරේ අහුමුළුත් ඇදලා
අල්මාරියේ යතුරු කැරැල්ල
අහුවුණේ නැති හන්දා
බැරිම තැනකදී
අල්මාරියෙ දොරත් කැඩුවා
කෙලී ඉක්මනට බලාපන්
එහාට මෙහාට කරලා
තියෙනව ද මහ ගෙයි ඔප්පුව
මගේ නමටම ලියලා
කවිය බලන්න
ලන්ඩන් ලිපිනයකින් ආ හසුන් පත
(කසල ගොඩකින් අසුලාගත්
1945 දිනපොතක සටහන් ඇසුරින්)
හසුන් පත විවර කළ මා සසල වුන සිතින්
තැනතැන ඇවිද ගත සිත විඩාබර වන විට
පැරණි කවුළුවක් තුලින් එබි එබී බලමින්
රතු රෝස මල් පොකුරක් නෙතගින් සිනාසුනි
අසනිය වැසි වහලට වැටෙන කුරිරු හඬින්
උපන්දින දවස අද බව එක්වරම පසක් විය
ඉරා දමා මතක ලියැවුන සිතුවම් ගොන්න
හමන වියරු සුළං රැල්ල වෙත විසි කළෙමි
මසිත එකළස් කරගන සිහින් රන් හුයෙන්
මුතු පබළු ඇට එකිනෙක ගෙන අමුණන ලෙස
සියුම් මල්කම් ලියකම් කැටයම්ද එකතු කර
පද පෙළක් ගොතන්නට සිතී නිමිති සෙව්වෙමි
කඳු මැද නුවර පිය මනින කළ මා දුටු දසුන
බවුන් බිඳලන නාරිලතා පුෂ්පයන් නොවුනද
එකදු වදනක් නොලියෙන අඳුරු අමාවක රෑ
නොසිතු පරිද්දෙන් යළි සසැලෙනු දැනේ මසිත
16.06.2024
කවිය බලන්න
කර්මය
විලෝපිකයින් ගහන
චණ්ඩ හිරු රැස් සිඹින
කර්කෂ වු භූමියක
ඇස් නැතිව ඉගිළ යන
වවුල් සගයින් කැලක්
නලා හඬ තලන සඳ
වෘන්දයෙන් කම්පිතව
මහේශාක්‍ය ලෝකයක
දුකින් තැවුලින් රඟන
නාගයින් රංචුවක්
ගැඹුරු දිය කඩිත්තක
මවු සමඟ සැරිසැරූ
සුදු හංස පවුලකින්
කල්යත්ම ඉවත ලූ
කලු තාර පැටවියක්
සකපෝරු සංඥාව
සුලැඟිල්ලෙ දරාගෙන
සිනා වින්දනය ලන
අංශක විසිතුනහමාරක් ඇල
ළයාදර වෘත්තයක්....
කවිය බලන්න
මිනී මලක සාක්ෂිය
මගේ නම
වින්කා රෝසියා
ගෙදරට කියන්නේ
මිනී මල්
යකඩ පීල්ලට පහළ
සිල්පර කොටය යට
පුංචි ඉඩකඩ
ඒ් මගේ පදිංචිය
වෙලාව හතරට ඇති
සීග්‍රගාමී නුවර දුම්රිය
එන වෙලාවයි ඒ්ක
ඇඩුම් මුහුණින් යුතුව
ඈ ආවෙ
සරසවිය පැත්තේ සිට
අතේ තිබුණා පොත්
පුංචි අත්බෑගයක්
අනේ කොහොම කියන්නද
බලන්න මගේ පෙති පුරාම
තැලී පොඩිවී ගිය
ඇගේ සිරුරින් විසිරුණ
පරාජයේ ලේ බින්දු
කුලී වැඩ කර දුක්විඳ
අම්මා පෙවූ කිරි
ගොරබිමේ දුම්රිය යට
යකඩ පීලි අතර
ආදරය රැකගෙන ඉන්න මට
ජීවිතය ගැන තවත් මොනව ද?
කවිය බලන්න
සොමි සඳ
සඳුගේ පහස ලැබ...
අරුණැල්ලට පෙර...
සැගව යන සුරඹුන්ගෙ
සළුපිළි අහස්කුස විසිරී......තැනින්.....තැන...
හිරු එළියෙන්
බැබළෙන සඳු
හිරුට පිටුපා......
තරු පිරිවරා
අහස් කුස දිලෙන හැටි......
ඒ බවක් නොදත් සේ
හිරු තවම පෙර සේම
සඳවතට එළිය දේ....
කවිය බලන්න
ප්‍රේමාරාධනා !
සඳ පහන් රැයක
බිඳුණු තල් වැට අද්දර
දෑසින් කෙරෙන ආරාධනා
උතුරා ගොසින් ප්‍රේමය
හදේ පා සුපහන්
හැඟුම් පිබිදේ
මළවි කරළියේ
කෙසේ ඉවසම් ද
හිස වසාගත්
සරුවාලේ මෑත් කර
පාන්න මදහස
මහද පුරා ඇවිලෙන
ප්‍රේම ගින්න
තරු එළිය නිවී යන්නට පෙර
කවිය බලන්න
සෙනෙහෙ හැඟුමන්
දෑසේ ඉඟිය දුටුමානෙම මන පිරුව
පෑවේ සෙනෙහෙ හැඟුමන් හද ගොළු කෙරුව
නාදේ වැයෙන සත්සරයටසම කෙරුව
ඈඳි ගත්තෙ හිතපතුලෙම පින් පිරුව
උකුලෙම ලෙලෙන පැන් කළයේ තාලයට
පතුලෙම ගිහින් රඟදෙනවා ආලයට
නලවන බැලුම් හෙලනාවිට කෝලයට
ඉන්නට හිතෙනවා ලංවී මානයට
දඟ කෙහෙරැල් නලියනවිට මුහුනපුරා
එනවනෙ පවන සමගින් රිසි තරඟ අරා
ඈතින් හිඳ බලමි මුවඟේ හැඟුම නුරා
සියොලඟ සැලෙනවා නිතිදින පවුරු ඉරා
පන්සල් යද්දි ලන්ද දිගේ ඇසිල්ලේ
හිරුදෙන කැලුම් රන් පරදයි සඳැල්ලේ
ඉන්නද ලඟින් තනිරැක දිවි තොටිල්ලේ
ගෙපැලට වඩිනතුරු සඳකැන් නිදැල්ලේ
හිත ඉඩ තියෙනවා ඇතුලට එනවානම්
විඳිනට දිවිය සතුටක් ගෙන දෙනවානම්
නිවුමට කදිම අරණකි සුව වෙනවානම්
දුරහිඳ බලන්නද පෙරමග යනවානම්
කවිය බලන්න
මධු සමයට යලිත් යන......
මධු සමයට යලිත් යන......
වසර හතලිස් පහක් -ආදරය ගලා ගිය
සුන්දරම කාලයක් -කියලා අපට සිතේ
පිරුනාද මතක නැහැ -පැතුමන් සිහිනවැල්
බාධක දී කැරලි - ජිවිතේ ගඟ මතින්
ජය ගතිමු අපේ ලොව
දියණියන් පැමිණි දා - මැණික් කැට ලෙසින්
සුරැකුවෙමු දිවිපුරා
තවත් ආදර ලොවක - ඔවුන් පිවිසුන විටදී
ඉගිලුනා නව කැදිලි - සදා ගෙන සුව ඉමේ
තනි උනත් අප දෙදෙන - ආදර ලොවේ ඉම
සතුටින් ගයමු අපි - සිතේ රැඳි පෙම් ගීත
මතුවටත් එලෙසම
වසර හතලිස් පහක් ගෙවුන - යුගදිවියේ රස දනවන
මධු සමයට යලිත් යන - නව යුවලක් අපි දෙදෙන
රන්ජිත් සහ ලතා ද සිල්වා
නවසීලන්තය
29ජුනි 2024
කවිය බලන්න
ගසක කදුලු
කෝන් ගහෙ කොලෙන් කොලේ
සිලි සිලියයි නැල වුනේ ...
ආදරයේ මතක බින්දු
දළු අගිනුයි ගිලිහුණේ ;;;;
යෝධ කඳේ සොදුරු බඳේ
දරා වැළඳ ගත් වැලේ
සුමුදු සොදුරු සියුමැලි සිල්
සුවඳ බිඳුනු සෙනෙහසේ ...
සීත ලිදේ හිදුනු ජලේ
සෙනෙහෙ කදුලු සැගවුනේ
ගමහැරදා නුඹ ගියදා
සිත කොහේද පියැඹුවේ
සලිත අඳුරු හෙවන සගේ
කිත්කවනා හදවතේ
සොදුරු හැඟුම් ගිය හුළගේ
කොන් ගහයි තනි වුණේ .....
Photo credit;Jaimie Phillips
කවිය බලන්න
මහ මුහුද අභියස
දිගු ගමන අවසන
හිදියි ගග සයුර අභියස
බියෙන් තැතිගෙන ඇත
ගිල ගන්නේය සයුර
තව මොහොතකින්.
නැතිවෙයි නදියට තමන්
තව එක් මොහොතකින්
එයයි කාරණ තැති ගැන්මට
කෙලෙසටවත් නොහැකිය
හරවන්නට ගමන් මග
‘බිය නොවන් ම’මිතුර
නැති නොවේ ඔබ, ඔබ හට
කුඩා ගග වෙනුවට
වන්නේය ඔබ මහ සයුර
තවත් එක මොහොතකින්’
මෙල්බන් නුවර
(ඛලීල් ජිබ්‍රාන් ගේ සිතිවිල්ලකි)
කවිය බලන්න
රාත්‍රිය සහ ප්‍රේමය.......
රාත්‍රිය මේ තරම් සොඳුරු බව නොදැන සිටියෙමි
ඔබ නික්ම ගිය දින සිට
ගෙවා දැමූ නිදි වර්ජිත රාත්‍රීන්
ගණනාවකට පසුව
හඳුනාගතිමි............
රාත්‍රිය නම් මේ යැයි
කැකුළක් ඇහැ අරින හඬ
කෘමියෙකුගේ සුසුමක් වැදී
රොන් සුණු සැලෙනා හඬ
නටුවකට බර වැඩි නිසා
මලක් ගිලිහී වැටෙන හඬ
ඒ තමයි රාත්‍රිය
කණාමැදිරි එළිවලට ඉඩ දෙමින්
තරු පොකුරු නිවෙනා බව
ඝන අඳුරු රැය විඳින්නට
වලා පෙළ මැද
සඳ සැඟවෙනා බව
ගඟ සිය ගැල්ම නවතා
දිය කඳුරේ සියුම් කෙඳිරියට
කන් දෙමින් සිටින බව
ඒ තමයි රාත්‍රිය
හඳුනා ගතිමි අවසන
ලොව මිහිරිතම හැඟුම
ප්‍රේමයම නොවන බව
ප්‍රේමය.......
පුංචි සුදු මලක
තණ පතක් අග රැඳි
පිනි කැටයක වුව
සැඟවිලා ඇති බව
Photo credir ; Johannes Plenio
කවිය බලන්න
මව්පියෝ
(ලමා කවි)
කළුවර රැයකි සඳ පායන සෙමින් සෙමින්
පිළ උඩ පඩියෙ සිටියෙමි නිස්කලංකයෙන්
බකමූණන්ගෙ හඬ ඇසුනා වටින් ගොඩින්
රැහැයියන්ගෙ ගෝසාවත් බෝම සැරෙන්
තරු වැස්සක් වැහැලා මෙනි සඳට වටෙන්
ගඟක් සේම යන ලෙස කිරි මුහුද සොයන්
දිලි දිලි නිවෙයි තරු කැල දෙනුවන් පිනමින්
ටිකක් සිටින් මම තරුවක නැඟ එනකන්
තරුවේ මාව ගෙන යන්නේ කොයිබටද
සුරඟන ලඳුන් රඟනා සුර ලොවකටද
එලොවින් ඇත් පැටවෙකු මෙහි ආවාද
ඒ ලොව පැණි කොමඩු මල් වැල් නැතුවාද
තරු සකි කියන ලෙස එහි සැම තියෙනවලු
සිතනා පතන සැම දේමත් ලැබෙනවලු
නොලැබෙන්නේ මාපියවරු විතරමලු
හැරෙමුද එහෙමනම් අපි ආපසු යහළු
දයාබර හඬිනි ඔහු මා අමතන්නේ
දහදිය හෙලා දිනු බත් මට ගෙන එන්නේ
සෙනෙහස පිරුණු ගුණ ඔවදන් පවසන්නේ
ඇස් දෙක සේය පියතුම මා රැක ගන්නේ
මිහිරෙන් මිහිරි වේ ඇය ගේ කවි සින්දු
අදරින් අමතනා මුදු බස් මන බැන්දු
සෙනෙහස ගලා විත් ගෙට සිරි කත කැන්දු
අම්මා පමණි මා පැතු ආසිරි ලන්ඳු
කවට කමට මෙන් අපි යමු කිව්වාට
හොරෙන් වගේ හිත එහෙ මෙහෙ දිව්වාට
දුක බොහො වෙයි මාපියො නැතිදා මෙ මට
ඉන්නම් පිළේ වනමින් අත් තරු කැළට
පුංචි අපට කවි සින්දු
කවිය බලන්න
අනුබුදු හිමි
අනුබුදු මිහිඳු හිමි පා තැබු සිහළ බිම
මිස්සක වනපෙතේ දිදුලන සතර ඉම
සත් දන කොතෙක් මුත් නැති තරමටම නිම
සඳ දිය ගලනු, රන් පැහැ උණුසුමින් කිම
සැලකිලි අඩු ලුහුඩු මැද පුදබිමක උතුම්
බොඳවී ගොස්යැ හෙළ දනගේ සොඳුරු සිතුම්
අවිහිංසාව රජවුණු දා නැගුනු පැතුම්
ඇයි මේ තරම් ගිලිහුනෙ මැතිඇමති හැගුම්
අම්බස්තලයේ මදකුදු ඉඩ කඩ නැතිව
සිවුමහ දෙවිවරුන් දෙවුලියො හා බැතිව
අවුදින් මිනිස් පවුරක සෙනෙහස ඇතිව
හිමි පා වදිති අනුරුව ළඟ හද ගැතිව
සා,මුව,විහඟ,සිවුපා වන සතුන් සැමා
ලැබ සුව නිදහසේ විසුමට ඇතිවැ පෙමා
මිනිසත් කමෙන් පෑතිස් රජු දෙදණ නමා
වැන්දෙත් අද වගේ දිනකය සිතින් අමා
ගල් තල ගුහා මහ රහතුන් වැඩ සිටිය
සිල්ගත් දනෝ සන්සුන් කළ බඩ වැටිය
නිල්වන් අහස් කුස සිඹ ගත් නල කැටිය
තවමත් හමන යුරු සුව දේ හිටි හැටිය
තුන් සිංහලය දහමින් කළ නිබඳ නතු
මේ රන් දිවයිනේ රැකවරණයයි මතු
සම්බුදු දහම උරුමය වුණු දැයක් සතු
මිස්සක සතර ඉම පණ මෙන් රැකිය යුතු
කලාභූෂන කිවිපති කවිධජ
ඩබ්ලිව් කේ සරත් විමලසිරි
=======================
3/6/2024
0711481624
කවිය බලන්න
පොඩි දඟකාරයා
පොඩි සෙල්ලම් කාර් එකක්
හැම තිස්සෙම අතේ තියෙන
කුනු ගෑවුන අත් පා ඇති
පුංචි එකා දැන් කොතැනද
මේස උඩත් පුටු ඇන්දෙත්
බිම ඉඳලා බිත්ති වලත්
දිගට දුවන ඉරි දෙක දෙක
ඇඳපු සිත්තරා කවුරුද
කාමරයේ කන්නාඩියෙ
ජනේලයේ වීදුරුවල
පුංචි ඇඟිලි සලකුණු වල
අයිතිකාරයා කොහේද
ගේදොර අස්පස් කිරිල්ල
ඉවර නොවෙයි කිසිම දාක
ලස්සන මට නම් පෙනෙන්නෙ
පුංචි එකෙක් ඉන්න ගේක
කවිය බලන්න
ආයෙමත් කොකුන්ගේ වාරය
සුදු හැදි පිලී ගඳ ගහනා කොක් රෑන
කුදු ගැහි ගැහී නියරේ සක්මන් පාන
රුදු හොට මසුන් ගෙන යයි දුරකට නේන
මදු විත පමනි අඩු සාදෙට අනු පාන
කාටත් පෙනෙන්නේ කණ කොක් හැදි වතය
ඊටත් වඩා උන්ගේ " මූසල " හඬය
රෑටත් ඇතිතරම් සුදු කොක් බඩ තරය
පාටත් හොදයි උන්නම් නිවනට ලගය
හැදි සුදු වතටමයි කුඩ මසු රැවටෙන්නේ
මදි නොකියන්න කොක් පා යුග නමදින්නේ
හැදි හොට දිගේ මැයි උන් පරලෝ යන්නේ
හොදි නැති බතක් හැමදා සුදු කොකු කන්නේ
දඩයම් බැරි නමුත් සොයමින් නොක ඔත්තු
ගිනියම් අසුන් මත සතුටින් ලැග ගත්තු
මතුයම් දිනක රජ කරනට කොක් පුත්තු
කෙතරම් කුඩ මසුන් පිට ගාවිද පත්තු
කණකොක් දුඹුළු වත ගැන ඔච්චන් කරමු
පණ යන විටත් සුදු කොකු ගෙන් බණ අසමු
කුණු කඳු වසා උන්ගේ පිලිරු හදමු
පනුවන් සොයාදී උන් අඹු දරු රකිමු
මහ වැසි දාට කමතෙත් මතුවෙයි මාළු
අහ මග ලකුනු තව කොක් මිතුරන් ඒලූ
වහ වගෙ ඇත්ත තිත්තයි යටපත් වේලූ
මහ රෑ දවල් යැයි කපුටොත් රැවටේලූ
කවිය බලන්න
රාත්‍රිය සහ ප්‍රේමය.......
රාත්‍රිය මේ තරම් සොඳුරු බව නොදැන සිටියෙමි
ඔබ නික්ම ගිය දින සිට
ගෙවා දැමූ නිදි වර්ජිත රාත්‍රීන්
ගණනාවකට පසුව
හඳුනාගතිමි............
රාත්‍රිය නම් මේ යැයි
කැකුළක් ඇහැ අරින හඬ
කෘමියෙකුගේ සුසුමක් වැදී
රොන් සුණු සැලෙනා හඬ
නටුවකට බර වැඩි නිසා
මලක් ගිලිහී වැටෙන හඬ
ඒ තමයි රාත්‍රිය
කණාමැදිරි එළිවලට ඉඩ දෙමින්
තරු පොකුරු නිවෙනා බව
ඝන අඳුරු රැය විඳින්නට
වලා පෙළ මැද
සඳ සැඟවෙනා බව
ගඟ සිය ගැල්ම නවතා
දිය කඳුරේ සියුම් කෙඳිරියට
කන් දෙමින් සිටින බව
ඒ තමයි රාත්‍රිය
හඳුනා ගතිමි අවසන
ලොව මිහිරිතම හැඟුම
ප්‍රේමයම නොවන බව
ප්‍රේමය.......
පුංචි සුදු මලක
තණ පතක් අග රැඳි
පිනි කැටයක වුව
සැඟවිලා ඇති බව
Photo credit; Timothée Duran
කවිය බලන්න
යුද බිමේ වරුණාව
උපන් බිම - හැදුන බිම
හැර දමා දුරින් දුරුවී සිටින
යස ඉසුරු ඇතිව සිටි බලවතුන්
විසූ මහ මැදුරුවල නටඹුන්ය
නෙත් රිදෙනතුරු දුටුවෙ
ඒ රම්‍ය භූමියේ .......!!!!!
හිස් සිඳුන දනන් සේ තල් ගස් ය
මගේ හද පෑරුවේ!
විරාමය විඳින සඳ
තරු පැළඳි නිල ඇඳුම
දවස අග එක රැයක,
සැහැල්ලුව මිතුරු සඳ සමීපේ
මධු විතක් තොලගාන
තරු පිරුණ අහස යට
සවනතේ දැවටුනේ
රණ බිමේ වේදනා - දුක් සුසුම් - අදෝනා
ලේ ගලන්නට කලින් රට පුරා
නෑ සියන් පිරිවරා වන්දනාවේ
ගියෙමු අපි නාගදීපේ.
ලේ ගලන්නට කලින් රට පුරා
භූගෝල විද්‍යාව ඉගැන්වූ ගුරුතුමා
සිය තුරුණු සිසු පිරිස
කැටුව ගිය චාරිකාවක් විය
යාපනේ.
කරදියයි මිරිදියයි සමගියෙන් වෙන්ව සිටි
මහ පොකුණෙ
කීරමලේ.
විස්මයෙන් - සොම්නසින් තුටු වුණේ,
දකුණෙ සිට ගිය අප ය.
භවබෝග අස්වැන්න
මොන තරම් සරු ද පස.
අනේ අර මහ මැදුරු
දුටු දසුන් සුන්දරය
හදවතේ ඇඳුණි බිතු සිතුවමට.
නොතේරුණි දොඩන බස
දැනුණි ලෙන්ගතුකම් එමට
මතක පොත රසවත්ය යාපනේ.
"වරෙන් සිරි නරඹන්න පෙරහැරේ,
මා එක්ක නැවතිලා
දළදාත් වැඳ පුදාගෙන යන්න".
හිරැස්සගල පිහිටි උස් ම කඳු මුදුනක ය
මනරම් ය.
මිතුරු සඳ වසන ඒ මන්දිරය.
පළමු දින, දෙවන දින ගත වුනා.
යාපනේ මතක පොත පෙරළුණා තෙවෙනි දින.
නිදි නොමැති දිගු රැයක තනි වුණා.
සඳ එළිය මුදුව ගලනා රැයේ
සොරෙකු සේ ඇවිද්දෙමි මිතුරිඳුගෙ මන්දිරේ.
විවර කළ විට දොරක්,
නැඟුණි හඬ කෝවිලක වැයෙන බෙර....!
සඳ එළිය දකින්නට විවර කරනා විටදි,
ජනෙල් පත.
නැඟුවේය කෙඳිරියක්......!
නෙතට කඳුලක් නැඟුණි
හද රිදුනි .
දැනෙනවා තවම ඒ රිදවීම.
කවිය බලන්න
සුගන්ධය
මම නොදනිමි ,
විඳ නැත කිසි දිනෙක
ඔබ ගත තැවරුණු
ඒ සුගන්ධය
ඉදින් ,
මා කැමතිම සුගන්ධය
කැමැත්තෙමි
ඔබේ යැයි සිතන්නට
මෙලොව කිසිවෙකුත්
නොදන්න
මා පමණක් දන්න
ඒ සුගන්ධය
ඔබත් කිසිවිට
විඳ නැතුව ඇති
මා සිඹ බැලූ
කිසිම මලෙකත් නැති
ඒ සුගන්ධය ..
ඒ සුගන්ධය
ඔබ සිහිවන
සෑම මොහොතකම
මා හදවතින්
හමා එනු
දැනෙයි මට ...
Photo credit; Aziz Acharki
කවිය බලන්න
පුරුදු
නුබ ගැබ හිස්ය ඉඳහිට ඇති තරු දකිමී
ඉඹගත් කුරුලු පවුලක සෙනෙහස විඳිමී
රොබරෝසියා ගහමුල මොහොතක් රැඳෙමී
ඔබ කොයි කොතැන වේදෝ තවමත් සිතමී
අතගෙන ඈත ක්ෂිතිජය වෙත පියැඹීම
සුදු පෙණ වෙරළ මත පියසටහන් ලෑම
සිහිනෙන් මිසක් හැබැහින් නොවුනත් තාම
සිහිවෙන මොහොත වුව සොඳුරුයි හැමදාම
නින්දට යනවිටත් ඇහැරෙන විටත් උදේ
මතකෙට ඒම සංසාරෙක පුරුදු පදේ
ඇහැකට නොදැක්කත් කොයි කාලයක් ළඳේ
ළඟකට වී හිඳිමි නොපෙනෙන ලෙසින් හොඳේ
කවිය බලන්න
කඩදාසි ඔරු
සඳ අහිමි වූ අහසෙ තරු ලකුණු කොයින් දෝ
එපා ඉකි බිඳින්න්ට අලුපාට කොබෙයියෝ
අත්තික්කා ගහේ මල් පිපෙන්නේ කවදදෝ
නිසා කත කඳුළු මල් තුහින පිනි ඉසීදෝ
ගඟක් මැද පාවෙනා හබල් හිමි පාරූ
ගඟ දියට පහර දී එතෙර වෙනවාලූ
රුවලකුත් අහිමි ඔරු අතර මැද නැවතී
රිදුම් පිරි මැද ගඟේ හොරෙන් ලත වේලූ
කඩදාසි ඔරුවකට කොයිද හිමි ගඟ දියක්
බොර පාට දිය කඩිති වේය මහ සමුදුරක්
පෙඟි පෙඟී ගිලෙන විට හුස්ම හිර වෙන බවක්
කිසිම දා නොකිව්වේ ඒ වගේ ඔරු ගොඩක්
2024.06.11.
කවිය බලන්න
පළමුව ලබමු මෙලොව සැප
වද විඳ නිබඳ නෙක තද දුක් කඳුළු මැද
මඳ මඳ සැපද ලැබ ගෙන යන දිවිය අද
සොඳ සොඳ සැපැති විලසට තව ගෙනෙන ලෙද
අද අද දරමු වෙර හද පින වෙතද බැඳ
නොපෙනෙන දෙව් ලොවක දෙව් සැප ලබන්නට
සුර අඟනන් සමඟ පෙම් සුව විඳින්නට
යන්නට කලින් සිත සැනසුම ලබන්නට
සිත යොමු කරමු තව පින් රැස් කරන්නට
දෙව් ලොව යැයි කියා සැප ඇති තැනක් යස
ඇත්දැයි කියා නොදනිමි මේ අහස් කුස
නොපෙනෙන ලොවක ඇති සැප සිහිනයක් ලෙස
සිතමින් වෙර දරමු විඳිනට මෙලොව රස
මිනිසකු ලෙස ඉපිද අත පය ඇතිව යස
නොලබා කිසිදු සැප සතුටක් නියම ලෙස
යන්නට වුවොත් දිවි ඇති තෙක් මෙලොව වැස
කුමටද ඉපදුනේ අපි මිනිසුන් විලස
ඇත්නම් අපිට පින හා වසනාව
සැමදා ඉන්නෙ පුරවාගෙන සිනාව
වද වෙන්නට මෙලෙස නැත වුවමනාව
සමබර වේවි සැප දුක දෙක මනාව
කවිය බලන්න
නොසන්සුන් වූ සිත
සුළග සමගින්
නිමේෂයකින්
සුවඳ දැනුනා
නුඹ ඇවිත්
නුඹ ගියා
අතීතය යලි
ගෙනත් සිහියට
දොම්නසක් වී
නොසන්සුන් සිත
අතරමංවූවා
හඩාවැලපෙන
සතුට ගෙනදෙන
ලෝකයක් නැත
සිතන්නට
හඹායන්නට
අරමුණක් නැත
අත්හරින්නට
හිමිකමක් නැත
සුළග යලි නුඹ
අකීකරු වී
සිත පෙලා
යලි ගියා
කවිය බලන්න
අඬ අඬා ඇවිදින් වෙසක් හඳ..!
කලු වලාවක හිස තියාගෙන
ලතැවුලෙන් හිඳිනවා දුටුවම
වෙසක් සඳටත් පපුව රිදවන
දුකක් ඇති බව වැටහුනා මට..
දන්න කියනා මුහුණු සමහර
නික්ම යනවලු සඳට නොකියම
අනෝරා වැසි ලෙසින් වැටුනෙම
දරා ගනු බැරි සෝ කඳුළු කැට
නෑවිදින් බැරි නිසා අහසට
අතින් අල්ලා එක්ක ආවට
තවම හෙමිහිට ඉකි ගසන බව
කිව්වෙ තරු කැට සුසුම් හෙල හෙල..
කවිය බලන්න
උත්තම ආදර පෙරළිය.
ජීවන හුස්ම මත දවටා
පුර හඳම
සින්නකර ම
ලියලා දෙමි
ඔබ සතුට
හිමිකම
හිත් බිමේ අයිතිය
පවරමින
පණ භුක්තිය සමග
තුරුලට ගැන්වුම
ඔබ සතුය
කියා ලියා පැවරූවත්
ළගින් තියා සැනසූවත්
චිත්තක්ෂණයක
හැඟුමක්
ඇති හොඳටම
වෙනස් වෙන්න
එපාම වුන
එක මොහොතක්
Photo credit; Birmingham Museums Trust
කවිය බලන්න
🗙





























































