2024 ජුනි කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2024 ජුනි කලාපය

කිසිම දවසක තාත්තා නැහැ මගේ දෙනෙතට කඳුළු දුන්නේ සිනාවෙන්මයි අම්ම, ඔබ හා කෙළිදෙලෙන් මගෙ දවස ගෙවුනේ සීයා ජනපති කිවුව හින්දද තාත්තව ලණුවකින් බැඳුනේ මාමෙ තදකර එපා බඳිනට මගෙ තාත්තට රිදෙයි පව්නේ

– අනුර

සති දෙකකට පෙර හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනපති, තමන්ව විවේචනය කළ ඉරාන ජාතිකයෙක් කලකට පෙර එල්ලා මැරීමට නියෝග කළේය. එළිමහනේ ක්‍රේන් යන්ත්‍රයක එල්ලා දිවි තොර කරවිමට පෙර, එය නැරඹීමට පැමිණ සිටි තම සුරතල් දියණිය සසල නොකිරීම පිණිස, කිසිවක් නොවෙනාක් මෙන් සිනහවකින් සංග්‍රහ කරණ මේ පියා ගේ අධ්‍යාත්මය මොන තරම් ශක්තිමත් වන්නට ඇද්ද?

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

ජුලි කලාපය සඳහා කළින් පළනොවූ ඔබේ නිර්මාණ [email protected] වෙත යොමු කරන්න

\"\"

සිහිනයක මල් පිබිදිලා.........

සිහිනයක මල් පිබිදිලා.........

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

සිහිනයක මල් පිබිදිලා
වසන්තය ඇගෙ ලං වෙලා
නව දිවියකට දොර විවර වී
දියණි පති කුලයට වඩී.

පුංචි සමනළියක වගේ නුඹ
මව් තුරුලෙ සිටි කාලයේ
පියවර තබා ටික ටික ලොවේ
මල් පිපිණි පිය පපු තුරේ.

නෙතින් කඳුලැළි සැඟ වුවත්
හදෙහි සිතිවිලි නැවතුනත්
වසන්තයෙ මල් සුපිපුණත්
දියණි හද තුල නැහැ වෙනස්.

කවිය බලන්න
ආදරයෙන් ….

ආදරයෙන් ….

දීපා ද සිල්වා ලන්ඩනය

මහ මෙර තරම්
බර හිස මත රදවාන
අබැටක තරම්වත්
මගෙ හිසෙ නොමදාන
කදුල ද දුකද
නෙත් පතුලෙම සගවාන
සිනහව බෙදා දෙන
අරුමෙකි හැමදාම
මව් පිය සෙනෙහසේ
උණුසුම තවරාන
හිත ලග තනිය
මැකෙනා තුරු ඉගිපාන
ප්‍රේමය කිමැයි
නිරතුරුවම පෙන්වාන
දබ රන් පිළිරුවයි
නුබ මගෙ හද ගාව

කවිය බලන්න
මිහිලිය රැඟුම

මිහිලිය රැඟුම

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

දිසෙන කසාවන් තුරු පත්
හලමින් බිම සරස නුබේ
වැසෙන මීදුමෙන් බේරී
දිනිඳු කිරණ සෙමෙන් එබේ
ඇසෙන කුරුළු හඬ සැඟවෙයි
ඈතට පියඹලා තිබේ
ශීතල ඝන කළු වලාව
හිම වැටෙයි ද ඇයගෙ ගැබේ

අඳුර සෙමෙන් කලු කර කර
වලා කුලෙන් පිරි ගුවනේ
හිරුගෙ රැසින් බබලන පෙත
නෙතට වසන් කල දසුනේ
පෙමක මහිම ලබන සෙයකි
අඳුරෙ එලියෙ රඟ දෙමිනේ
හිරුගෙ වටේ කැරකි කැරකි
මිහි මව ලබනවා සෙනේ

සවන පෙළන ගූඩ නදම
මල් වත්තෙන් නැග එන්නේ
බමන ගතිය සිත මිරිකා
හිරු සැඟවී බැස යන්නේ
සැලෙන ලෙලෙන නිතඹ වැසී
කංචුක පළඳන් එන්නේ
සරත් සමය සිත තෙරපා
සොබා කොමළි රඟ දෙන්නේ

කවිය බලන්න
මට  ලස්සනම  හඳ  මනමාලියයි සඳ

මට ලස්සනම හඳ මනමාලියයි සඳ

ආරි ලියනගේ ඉතාලිය

සවනට වැකුණු ගී පෙරදා දිනක රැයේ
මාසිත තෙරපුවා නින්දක් නොමැති පැයේ
මේ නගරයත් නුඹ අතහැර ගිය දිනයේ
මාසිත හැඩෙව්වා නොතෙමා දෙනෙත් ප්‍රියේ.
මා සිත හැඞෙව්වා

සඳකිරණින් රැලවෙරලත් හාදු රැයේ
සඳ කුමරියක් සිහිවුනි සඳ කැලුම් පැයේ
සඳ කිඳුරන් රඟන මැදියම ගෙවෙන පැයේ
සඳ මැණිකෙටයි ආදර කවි ලිව්වෙ ප්‍රියේ.

තබාගෙන උරෙස් තලයට මුව කමල
කෙහෙරැලි නටවන්න උණුසුම් සුසුම් වල
දෙන්නට මෘදු හාදු දෙකොපුල් මත සිසිල
ආදර සිහිනයකි සිත සිත් තමක් කල.

වටකුරු වෙලා මෝරන්නේ වෙසක් හඳ
මිටකට ගත හැකිද පෙරෙනා කැලුම් සඳ
විටෙකදි දැනෙන තනිකම නුඹ නැතිව අද
මට ලස්සනම හඳ මනමාලියයි සඳ

කවිය බලන්න
නිරිතදිග මෝසමක් එපා වැලි කතරට

නිරිතදිග මෝසමක් එපා වැලි කතරට

ආරියරත්න ජයසිංහ මහරගම

වැහිකළුව පාව විත් නිරිත සමුදුර දෙසින
දුක් කඳුළු පුරෝගෙන ගොළු මුහුදු රළ මතින
ඉකිගසා සුසුම්ලා හෙණහඬින් ගුගුරමින
නිරිතදිග මෝසමත් කඩාවැදුනා එසැණ

ගහ කොලත්‍ අතු නමා හිස පාත් කෙරුවාට
පොළොවටත් රිදෙනවා වැහි බිංදුවල බරට
මහ කඳුත් නායගොස් පොළොව හඬනා කලට
ගං හෝ ත් බියපත්ව වදී සමුදුර වෙතට

නිරුවත් අහස් කුස හිරු ඇවිත් හිස මතට
සිනාසෙන වැලි කතරෙ ඔබ ඉන්න දුරු රටට
ඔබේ මුව සිනා රැළි සේදිලා යන ලෙසට
නිරිතදිග මෝසමක් ඒවියැයි බයයි මට

කවිය බලන්න
ඒ ඔබයි .......

ඒ ඔබයි .......

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

සඳ රෑ යාමයේ
සල රූ පෙරහැරේ
සිහිනයේ මතුවුනේ
ඔබයි

වැහි පොදේ මතුවෙලා
සිත මගේ කැලබුවේ
දේදුන්න වාගේ
තමයි

රැළි නගා දිය මතින්
ඇදි ඉරක් වන් ලෙසින්
පාවෙලා ගිය බවත්
සැබැයි

තිස් වසක් ගිය නමුත්
සයනයේ සිහිනයේ
ඉදහිටක යලි රැදී
ඉන්නවා නම් තමයි

රැළි ගැහුණු කම්මුලෙන්
සුද පෙනුණු කෙහෙ රොදින්
මුහුණු පොත් පිටු තුලින්
මතුවෙවී යන බවත් හැබැයි

උගුරටත් හොරකමින්
බොන බෙහෙත් වඩි ලෙසින්
ඇවිද යන මතකයන්
හරි හැඩයි

කවිය බලන්න
අයිතිය

අයිතිය

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

මේ තමයි කඩුපුලේ මලට හිමි සම්මතය
රෑ පිපුන මුත් සුදට දවාලට හුරු නැතිය
නෑවෙමින් එක දිනක කඩුපුලක විඳි සුවය
බඔරු ලිව්වා මතින් එළිසමය නැති කවිය

හඳ නාව දිනට පෙති නොපෙන්නුව කඩුපුලේ
අයිතියක් නැති බවද ඉඟියකින් සැල කළේ
කලබලෙන් ඇයිද මේ බඹර කැල සිටුකුලේ
දන්නෙ අද වෙන්න ඇති හඳට අයිතිය මලේ

AnA 2024

කවිය බලන්න
සඳ සොයා යමි රැයේ

සඳ සොයා යමි රැයේ

බුද්ධදාස ගලප්පත්ති

සඳ සොයා මේ රැයේ
ඇවිද යමි ගනදුරේ
තරු බිමට වැටිලා
පයට පෑගෙනු දැනේ

ඈත පැලකින් ඇසෙන
බිලිඳු දරුවෙකු හැඬුම
මග කියන්නෙද මහට
සඳ සොයා යන ගමන

මවකගේ නැලැවිල්ල
බිලිඳු හඬ ගොළු කළෙද
සඳ සොයා යන ගමන
මා අතරමං වී ද?

ගිරි හිස සිට කාව්‍ය සංග්‍රහයෙන් - සරසවි ප්‍රකාශන 2003

කවිය බලන්න
දුක් අනුභවය හා වින්දනය

දුක් අනුභවය හා වින්දනය

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

දුක් කඳුළු පිරි ලෝකෙට
ඇහැරෙන්නමයි හිත හෙට
පෙති අහුරු අහුරු ගිිලිමින් වුව
රිදෙන තැන් සුවපත් කොට

කෝ කොහි ද පැණි බිඳුව
දිව ගා බලන්නට හිතෙන
ඇලීම ම රස බිඳකට
දුක් දෙනව අහිමි වෙන විට

හිතට නෑ නිවනක්
කොලස්ටරොල් ෂුගර් බයිපාස්
අතට එන සොච්චමත්
ගිල දානවා පෙති ජාති

ඇස් නිිලංකාරයි දැල බැඳලා
දෙපා නැත අවනත
දැං වැටෙයි දැං වැටෙයි
හිත හූල්ලනව
පෙති නැතිව
පසුම්බිය බර නැතිව
ඒත් සැළසුම්
හෙට කරන දේ ගැන
මේ වෑයම රජ වෙන්න නොවේ
ඉදිරියෙන් යන ත්‍රිවිලරයෙ
කොටල තියෙන්නෙ අපට
ඔච්චමට

ගත රිදෙනවා එක එක තැන
දවසෙ බර ඇදල ම
හිත රිදෙනවා
ආඩපලි බැණුම්
අවලාද කතන්දර අහල ම
හිත කීරි ගැහෙනව
වියදම ආදායමට බැලන්ස් කරලම
එපා වෙනවා ජීවිතය ම
සතුට හොය හොයා ඇවිදල ම

වෙහෙසයි හරි ම වෙහෙස යි
ඒත් ඕනෑ හෙට උදේ නැඟිටින්න
රිදුම් තෙල් ගාමින්
මේ ගමන තව යන්න

කොතන රිදුනත්
මොන දුක් කඳුළු පිරුණත්
හිත කැමති ඒ දුකේ
තව එල්ලිලා ඉන්න
හීනයක්වත් නෑ
බේරිලා පැන ගන්න
අත් හැරල චුත වෙන්න.

08-01-24

කවිය බලන්න
සිව් බඹ විහරණ

සිව් බඹ විහරණ

චාන්දනී ආර් වේරගල මීගොඩ

පරකාසෙ උනත් ලෝකෙට
මරගාතෙ වෙච්චි ගෙදර ට
සැමියෙකුගෙ බොහෝ පීඩා
නිහඬවම ඉවසා දරාගෙන
දුක සමග ලියා මැල්ලුම ක්
කඳුලු කැටයකි න් ලුණු ඉස
පදමකට සදා පරිප්පුත්
සමග කරවල බැදුමකුත්
තබා මේසය උඩ
තිත්ත ගණඳුර විනිවිද
දිලෙන තුරු විදුලි පන්දම
මෙත් සිතම දල්වා සීරුවෙන්
දොරකඩම රැකවල් සදන්නී

උස් මහත් කළ දරු පැටව්
දැන් සැදී බටහිර පන්නයට
හිත මිතුරු පිය සාදවල
කල් මරා රෑ මැදියම ට
ගෙට වදින හඬ ඇසෙන තුරු
නිදි නොඑන යහන මත අවදියෙන්
මුදිතා ගුණය වඩන්නී

අසනීප වූ සොහොයුරා
ඇව්ත් දුර ගෙවා ගම ඉඳන්
කියන දුක් ගැනවිලි අසා
පෙරුම් පුරමින් එකතු කල
මොණර කොලයක් රැගෙන විත්
කරුණා පෙර දැරිව අත තබා
සිහින් සුසුමක් හෙලන්නී

දුන් දෙයට නැගෙන රොස් පරොස්
ගැටී පීරිසි බිඳෙන වස්
අසල් වැසි සවන් තුල වැදී
"කලබලයක් ද ඊයෙ රෑ"
විමසද්දි මල් වැට උඩින්
මුනි වතින් මැදහත් සිතින්
මඳ සිනාවක් නගන්නී

Photo credit ;Verne Ho

මීගොඩ

කවිය බලන්න
සුරතලී,   ♥️

සුරතලී, ♥️

චමින්ද ලියනගේ බලංගොඩ

සුර ගඟින් මිහි මතට ඇදෙමින්
මග තොටෙි දිය වැලෙහි එතෙමින්
සසල නිසසල දෙමග බැඳෙමින්
ගලා බසිනා නිදැල්ලේ,

තෙරක් දකිනා අදිටනින් තිර
අබිමුවට එන කටු කොහොල් හැර
දෑල වන පස වඩා සිරිසර
සිරිය සදනා ඇසිල්ලේ,

සුදු සේල යා කොට හමන පවනට
රඟන රඟ පැහැබරයි දෙනෙතට
ආයෙ එන්නම් නුඹ බලන්නට
හල්පෙ පාරෙන් බදුල්ලේ,

සුනිල දියවර ගෙන කරින්
නොගෙන පඬු පැහැ පැහැසරින්
ගලනු මැනවී පෙලහරින්
සොඳුරු සුරතලි ඇලි ළියේ,

කවිය බලන්න
සම්මා සතිමත් දොහක් !

සම්මා සතිමත් දොහක් !

ග්‍රන්ථ කතුවර චම්මින්ද වෙලගෙදර

බෝ පත් නංවන සිළි සිළිය
හදවත පුරා නැඟුණු
ඉමක් නැති බවගාමී සිත්ය.
සෙමින් එය නැවතී මහීකත
දෙසට හැරී බිම බලා සිටින්නේ ,
ඔබ මෙතෙක් ඇසූ දුටු දේවල් පසුගිය දෙදොහේ යළි යළිත් මෙනෙහි කරමින් ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලන්නට මඳක් හෝ සිත් යොමු කළ නුඹ මෙනි.
එසේනම් ඔබ ඔබේ සතිය සාදා ගත්තා වැන්න. ඔබ ඇත්ත ඇති සැටියෙන් දකින්නට ඔබේ හුරු වූ ඒ සිත සම්මා සතිය බවට පත් කර ගැනීමෙන් ඔබ ද මාද ඒ මග තවත් පෙරට ගෙන ගියොත්.......
ඔව් අපිට එය නොහැකි නොවේ. අපිට ඒ පිළිබඳව කියා දෙන, දුන් මං බොහෝ ය. අපි එය එසේ සිතා රැක ගතහොත් ලබන වෙසඟ අපි සොයා එද්දී අපි සම්මා වායාම ,සම්මා ආජීව හා සම්මා කම්මන්ත කරා හෝ ළඟා වී නොසිටී ද?
ඒ සියල්ලම අපිට ම්ස වෙන අයෙකුට නොවේ.
නිතරම අපි ගැනම හිතන අපි අපි වෙනුවෙන් එය කරමු. එය අපිට කිසිවකුට දීමටත් ,අපිට ගැනීමටත් නොහැකි ය.
එසේ නම් ඔබ,ඔබ වෙනුවෙන් එය කරද්දී මම ද මම වෙනුවෙන් එය කරමි.
එහෙත් අමතක නොකරමු මම හා ඔබ කියා යමෙකු ඇත හා නැත කියා අපි දන්නා බව.
ඓසේනම් එය දැක ගැනීමට අපි සතියේ පිහිටමු.
එම සතිය සම්මා සතිය බවට පත් කරගමු මගේ පුණ්‍යයධර සකිය.

ඔබට පින්බර දොහක් !!!

Photo credit; Lahiru Supunchandra
25-05-2024.

කවිය බලන්න
මල් කුමරියේ

මල් කුමරියේ

චාන්දනී ආර් වේරගල මීගොඩ

මේ අපරිමිත විශ්වයේ
නුඹ සිටින තැන කියන් මල් කුමරියේ
මතකයේ ඇඳෙන ලෝක සිතියමේ
බොඳවෙලා පෙනෙන කඳුලැල් ඉමේ

තරු ගණන් කල සමය නුඹ මා තුරුල්ලේ
වියපත්ව ඇති මා මෙන්ම නුඹෙ මතකයේ
" අහස රන්වන් ,සඳ සුනිල්වන් නොවුණෙ ඇයි
වළාකුලු බිම ඇවිද යන්නේ නැත්තෙ ඇයි"
මගේ පිළිතුරු අසන්නට දැල්වූ සවන්
රුවන් තරු කැට වගේ බැබලිණි නුඹෙ නුවන්

සඳ ඇවිත් එබෙනවද ඉන්න කුටියට
මතකයේ මල් නෙලාගෙන රන් තැටියට
නිල්ල සොයමින් දුවන ගමනේ වෙහෙසට
ඉසිඹු නැතිවම මග හැරෙනවද මව් රට

පියා නුඹෙ ගෙවදිලා ලෙඩ ඇඳකට
නොවෙනස්ය දිවා රෑ මගෙ දිවියට
ඉඳ හිටල අතට එන ඩොලරෙට
සතුට නෑ දුවේ මිලට ගන්නට

කවිය බලන්න
බෝසත් (සත්‍යවාදී ගොළුබෙල්ලා )

බෝසත් (සත්‍යවාදී ගොළුබෙල්ලා )

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

(පොසොන් බණකි )

නොතබා ගැඹුරු පියවර
සෙමින් මාවත ඉවකර
රිදීරේඛා ඉඩහැර
පිහිදාර උඩ පවා සමබර

යැපෙමින් ලදළු බොජුනෙන්
රක්ෂණ කට්ට තියං මුදුනෙන්
නොනඟා මුසා දෙකොනෙන්
සසර දුර්ඝය නිවයි නිවනෙන්

දැල්ලට පනින පළගැටී
කුණු පිහින කැරපොතු පැටී
මැරි මැරී ඉපදෙන හැටී
බලං තනි ගමනකිය නොමවැටී

නොගෙවූ බැවින් පෙර පව
එක රැයෙන් නිමවිය වුව
වේයන් ලැබූ මෙරු රුව
පසක්කර ඇත "හදිසි හරි කෙටි බව "

කවිය බලන්න
ඇගයිය යුතු උදවිය..!

ඇගයිය යුතු උදවිය..!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

දකිනා විටදි මෙය සිතුනා පවසන්න...
දිරනා කඳක් වීලත් ඒ
දිරිදෙන්න...
හදනා එගස තම යුතුකම කරවන්න...
යොදනා මහන්සිය යුතුමය
අගයන්න...

වැටෙනා කලදි යම් කෙනෙකුට
අතදෙන්න...
සිතෙනා එකත් මහ පිනකිය
සලකන්න...
නොදෙනා විටදි දිරියක් ඔබ දැනගන්න...
කෙරෙනා පව මහත්, එය හැක පලදෙන්න...

නොමනා දෙයට උඩගෙඩි දී ඔසවන්න...
බලනා ඇත්තො උන්නත්, වැසි වස්සන්න...
දිලෙනා ඇත්තෙකුව සැබවින් අගයන්න...
සිතනා අය විරල බව හැක දැකගන්න...

කවිය බලන්න
කන්තාරු කුමරි මං

කන්තාරු කුමරි මං

දිනුශි සිල්වා

අත් හැර ගිය පෙම්වතාගේ මංගල දිනයේ දිව්‍ය පූජාවේදී පෙම්වතිය පියානෝ වයනව නම්..මෙහෙම හිතෙනව ඇති නේද ...කව්දෝ ඈතින් කියනවා "වාසනාවන්ත කලිහීද අවාසනාවන්ත කල්හීද මම ඔබට ආදරය.කරනව කියලා."ඒ විවාහ පොරොන්දුව දෙන වෙලාව.ඉතින් පෙම්වතියට මොනව හිතෙන්න ඇත්ද?

හීතලට පිට වෙච්ච ඒ වචන අස්සකින්
නුඹේ නම කියනවා යන්තමට ඇහෙනවා
ඝන්ටාරේ සද්දෙකට ඇහරිලා බලනකොට
අල්තාරෙ කනුවකට මාව අද වැහෙනවා

කප්පරක් හීන ළඟ සෙනග අද පල්ලියේ
ඒත් මට තනිකමකට නුඹ දිහා බැලෙනවා
වළ ගැසුනු කම්මුලින් ආයෙමත් මා දිහා
එක්වරක් බලනවද හිත හොරෙන් අහනවා

පුදසුනේ ගීතිකා ඔබ නමින් ගැයෙනකොට
වාදනේ කොච්චරක් අමිහිරිද අහනවා
නුඹ හොයපු රන් පාට ඒ මුහුණ දැකගන්න
සුදු වේල අරිනකොට මට ඉබේ ඇඬෙනවා

පුරාවට මෙච්චරක් දුන්නාට ආදරේ
අයිතියක් නෑ ඉතින් මන් ඒක දන්නවා
නොලැබුනත් අද ඉතින් හාදුවක් ඔබෙ නමින්
කන්තාරු කුමරි මේ නුඹට ගී කියනවා

අදත් හරි ලස්සන යි වෙනින් දාටත් වඩා
ඇගේ අත ගන්නකොට මගෙ කඳුළු පිපෙනවා
මතක මල් පිපුනාට කමක් නෑ දැන් යන්න
අත් හැරීමත් පෙමක් කිතු තුමන් කියනවා
ආදරෙයි නුඹ ගියත් මං එහෙම පතනවා

#dinulyrics

කවිය බලන්න
සිරුරු වෙන්දේසියේ

සිරුරු වෙන්දේසියේ

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

මම මාව විකුණනව ඇවිත් මිළදී ගන්න

කය රසය විඳගන්න හදවතක් නැහැ ඔන්න

සිත ඔබේ නොසංසිඳි සියළු ආශා ගොන්න

හැක පුංචි මුදලකින් මගෙන් සංසිදුවන්න

ගෙදරදී වේදනා බැරි බිරිඳකට දෙන්න

නිහඬවී විඳගනිමි කඳුළුකර දියවෙන්න

මිළට ගත් නිසාවෙන් කුරිරුකම් ඉවසන්න

තලා පොඩි කළ සිරුර හුරු කරමි විඳගන්න

දිවියෙ දුක් පොදියෙ බර මට එපා පටවන්න

ඔබට සතුටක් දෙන්න ඇත දුකින් මිරිකෙන්න

නුඹව මගෙ කරගමියි බොරු හාදු නොමදෙන්න

මුදල දී එකඟවූ මිනිස්කම ගෙනියන්න

නැතුව ගියෙ තාත්තා බැරුව බර ඔසවන්න

ඇඳට වුණෙ අම්මාත් නොහැකි දුක උහුලන්න

පුතුට යුතුකම් රැසකි තනි මගෙන් ඉටුවෙන්න

ලෙසට ඉන්නම් කියන ඇත ඔවුන් රැකගන්න

වෙසඟනයි ගරුනාමෙ ගැහැණියට ගිණි නිවන

දියණියයි මවයි දිවි සටනකට වැද දැවෙන

මහතුනේ ජීවිතය අගය නිම නැත කියන

විකුණමී මම මාව මිළට ගෙයි බත ඉදෙන

කවිය බලන්න
දුමිඳු  සෙවනේ..ගැහැනියක්

දුමිඳු සෙවනේ..ගැහැනියක්

වෛද්‍ය ගාමිණී මද්දුමගේ

නොමැති මුත් රන් තලිය...
කොළ පතක ලා සුසැදු.

කිරි බතක් පුදනවා ...
ගැහැනියක් විත් දිළිඳු.

පිළිමයක් මතු පිටින්...
දකින මුත් හැඩ මුනිඳු .

කෙළෙස් මළ මතින් වැඩු...
දැහැන් දුටුවෙම දුමිඳු .

*********************************

සංඝමිත්තා තමයි ...
වැඩම කළෙ කිව් පුරුදු .

නාවනා විටත් ගෙන ...
සඳුන් කිරි පැන් සිනිඳු

ලිවි බසින් කට බසින් ...
නොයෙක් ලෙස පැතු නමුදු.

තවම බුදු වෙලා නෑ..
මවක් ඒ යට දැනුදු.

***********************************

නිදා ගෙන සිටි විටත්...
අහස් කුස තුළ දිනිඳු.

ළිපේ ගිනි උණුසුමට .....
පිබිදුණා ගෙයි තරිඳු.

කවා නහවා පොවා..
රකිනවා නම් බිළිඳු.

ඥාණ පාරමි කුමට...
ඇයට මර සෙන් පැරදු.

########################

වෛද්‍ය නිලධාරී .
බන්ධනාගාර වෛද්‍ය ඒකකය .
බදුල්ල .
2024.05.02

කවිය බලන්න
බාල පුතා

බාල පුතා

හේමා ඩෙප් ලන්ඩනය

මගෙ වත්තේ බංකුව උඩ
වාඩිවෙලා හිටියා නුඹ
දැක්කම ලස්සන හින්දා
යාළු වෙන්න හිතුනා මට

කාගෙ කවුද නොදැන නමුත්
ලඟට ගිහින් කිට්ටු වෙලා
අතගෑවා හරිම බයෙන්
නුඹත් ටිකක් බයෙන් වගේ
ඤාවු කියල කථා කලා

එදා පටන් මා දැක්කම
දුවල ඇවිත් දැවටි දැවටි
ඤාවු ගගා ආදරයෙන්
පෙරලි පෙරලි පිනුම් ගහන
නුඹයි මගේ හුරතලයා

පොකුණෙ ඉන්න මාලු ටිකට
කුරුමානම් අල්ලන හැටි
නැට්‍ට වනා කරනා රඟ
බලන් ඉන්න ආසයි මට

දවසක් දා දොරට ගහන
සද්දෙ ඇහිල ඇරියේ දොර
හිතුවේ නැහැ නුඹයි කියල
එක පාරට ගෙට රිංගල
පඩිපෙළ නැග උඩට ගිහින්
වාඩි වුනේ ඤාවු කියල

අඬ ගහන්නෙ මට ඵන්නට
නුඹත් ඵක්ක සෙල්ලමකට
අනේ පැටියො නුඹෙ අම්මා
මං වගේම ආදරෙ ඇති
තියා ගන්න විදියක් නෑ
දුකක් දෙන්න ලෝබයි මට

හුරතලේට ඇවිත් ලඟට
පේන්න වැට උඩට පැනල
වාඩිවෙලා උඩින් ඉදන්
හොරෙන් බලන චන්ඩි පුතා

උදේට නුඹ පොලිෂ් කරල
වගේ ලස්සනයි පැටියෝ
වැටවල් අස්සෙන් රිංගල
මකුළුදැලුයි රොඩු ගොඩවල්
පුරවා ගෙන හවසට එන
නුඹ දැක්කම හිනත් යනව

උදේ හවස අපි දෙන්නා
ජනේලයෙන් බලන් ඉදන්
හොරෙන් වගේ මුනගැහිලා
බෙදා ගනිමු අපෙ සෙනෙහස

පෙර භවයක කවුරු වුනත්
නොදැක ඉන්න බැරි තරමට
නුඹයි මමයි දැන් හිතවත්
කවදා හරි නුඹ දවසක
වෙයන් මගේ බාල පුතා !

කවිය බලන්න
ලියන්නට ඉගෙනීම

ලියන්නට ඉගෙනීම

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

හැටපස් වියැති මගේ සීයා
තමන්ගේ නම ලියන්න උගෙනිමිනි
ඔහුගේ එක අතක් නිදහසේ මේස රෙද්ද මත
අනිත් අතින්
පෑනක් වැරෙන් අල්ලා
කඩදාසියක් මතින් එය
සෙමෙන් දුවවමින්

ලියන ලද
හැම අවිනිශ්චිත රේඛාවක් ම, වක්‍රයක් ම
ඔහු වරින්වර
මුල් ලියවිල්ල හා සසඳමින්

ආගන්තුකයි ඔහුට
මෙවැනි ලියවිලි
ඔහු දන්නා සියුම් වැඩ නම්
වක් වූ පිහියකින්
සලාද කොළ කප්පාදුවයි
සිරගත බිලියඩ් බෝල
ප්‍රවේසමෙන් දැලෙන් මුදා ගැනීමයි

මා ඔහුගේ ප්‍රගතිය
පරීක්ෂා කරමින්
පිහියක මොට දාරය
අතුල්ලමි මේස රෙද්ද මත
නරඹමි,
ඒ මත ඉරි කාවැදෙමින් මැකෙන අයුරු

අපහසුවෙන් ඔහු ලියන දේ
කියවන්නට හැකි අය විසින්
ඔහුගේම බව හඳුනාගැනීම
ඔහුගේ එකම පැතුමයි

ලියවිල්ල අවසන් වූ පසු
ඔහු පසුපසට ඇල වී
පරීක්ෂා කරයි
මේ ප්‍රාතිහාර්ය

බීජයකින්
පමාවී රිකිල්ලක් මතුවන අයුරු දැක
ඔහු සතුටිනි
Translation of the poem ‘Learning to Write’ by Gary Catalano
පර්වර්තනය- හෙල්මලී ගුණතිලක
1947 දී ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ උපන් Gary Catalano, ප්‍රසිද්ධ කලා සඟරා කිහිපයකම විචාරකයෙකු ලෙස සේවය කළේ ය. ඔහු කාව්‍ය සංග්‍රහ, කලා විචාර සහ කෙටිකතා පොත් කිහිපයක් පළ කර තිබේ.

Photo- Unsplash

කවිය බලන්න
අප්පච්චී...

අප්පච්චී...

ඉෂංකා මිහිරි කුමාරතුංග

සංහිදේ පහනට තෙල් නැතිවීම
පුන් සඳට නැතුවා වාගෙයි හිරු දිලිසිම
අම්මා බුදු වනදා සසරේ කෙලවර දීම
අප්පච්චි නිහඩව ඉදී ඇසතු බෝ රුක සේම....

නිවා තුන් හිතම සසරේ පුරා පෙරුමන්
කුස තුල උන්නෙත් ඇදලා දාඩිය සිත්තන්
භවයෙන් භවයට කරලා පපුවේ සක්මන්
ලෝකය දකිනා මට මොකටද තව ගිමන් හල්

බිත්තිය මුල්ලේ එල්ලී දිරපු ඇනයක උසින්
සිනා සෙනවා අදත් වී අම්මට පසුපසින්
කෙලවරක් දකින දා නිවනට යන අතරමගින්
අප්පච්චි ත් ගියෝතින් ඇතිය අම්මගෙ ලඟින්.....

යටියන්තොට ..

කවිය බලන්න
නිදුකාණනේ..

නිදුකාණනේ..

ජානකී දීගහවතුර මහනුවර

නම් ගම් කිසිත් නොබලා ඔබ අප හැමට
සම සෙත පතුරවන එදහම ලෝ සතට
අමිලය සහස් ගුණයක් ගැලපෙයි. අදට
එනිසා තමයි මල් පිපුනේ බුදු. පුදට

අද අද මරු එතැයි දැන සිටියම යෙහෙකී
අප මේ පවත්වන්නේ මියැදෙන කයකී
ජීවිතයම තණ අග ඇති පිණි. බිඳකී
කල්ගත නොහැක දියදම නම්. නියතයකී

පාරමි දම් පුරා ගියමග. නිමාඋනී
බව දුක කියාදුන් සත වෙත දයාවෙනී
බැඳි බැමි ලිහා ගන්නට මට පමාවුනී
පා යුග වඳිනෙමි සම්බුදු. පියාණෙනී.

මහනුවර.

කවිය බලන්න
ඔබ  මා අතැර යන්නේ නම්.......

ඔබ මා අතැර යන්නේ නම්.......

කුමුදි නෙත්තසිංහ මොරටුව

ඔබ
මා
අතැර යන්නේ නම්,

හදවත අවට
ඒ මොහොතේ
න්‍යෂ්ටික පිපිරීමක්
විය යුතුය..

ෆැරන්හයිට් දහදාහක
උෂ්ණත්වයක
මා දැවි යනු නිසැකය

ඔබේ වචනය
"දැන් ඇති, මේක ඉවරයි"
පණපිටින් මා වාෂ්පීභවනය කර
සැබැවින්ම මිය නොයන,
න්‍යෂ්ටික සෙවනැල්ල ව
තබා ඔබ නොයන්න..

දැනෙන වේදනාව
මොළය හදුනාගැනීමටත්
පෙර
මා මිය යායුතු
බැවිනි..

(පොත් කවර චිත්‍ර නිර්මාණ ශිල්පිනි)

කවිය බලන්න
කෙටි කවි තුනක්

කෙටි කවි තුනක්

කපිල කුමාර කාලිංග

අතරමං වීම

කරදිය මිදිණි
ශිත සෘතුවේ

උණුසුම් රටක සිට
දුරු ගමනක යෙදුණු

මිරිදිය දහර තැවෙන්නී
ආපසු යනු නොහී

ප්‍රමාද දෝෂයක්

පැයක් සිප ගනිමු'යි
ගිවිස
එලාමය තබා
ළංවීමු
එලාමය නොවැදුණි.

වැසි වළාව

වැස්සට පෙර
දැන්ම එන්න
සවසට මා නැත
වළා කුළක්
දෑත දිගු කරයි
මවෙත

කවිය බලන්න
අනුබුදු වරුණ

අනුබුදු වරුණ

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

ස්ථායී
බුද්ධ ධම්ම සාර සංඝ - ධම්ම දීප පින් බිමේ//
ඇසේ ඇසේ ඇසේ ඇසේ උතුම් බුදුන් දෙසූ
සුදම් මහෝද සේ - සුදම් මහෝද සේ...//

අන්තරා 1
වැව දාගබ ගම පන්සල - කෙත් වතුපිටි අසිරි සිරිය//
ගොවි ගෙවිලියො නෙක ගොවිකම කරති මෙ බිම එ දවස සිට
පැරකුම් පිළිරුව අබියස - දෑ හැඟුමේ පියුම් පිපෙන
දිනේ දිනේ සදා දිනේ - මෙ සුසිරි ලක දියේ
මෙ සුසිරි ලක දියේ...

අන්තරා 2
අහස් තල අරා පැන නැඟි - සිරි සමනොල ගිරි ශිඛරය//
වන්දනීය මුණි පා - පංකජ පහසින් විරාජමාන
දේශ දේශයෙන් ඇදී - අටඟ සෑ රදුන් වෙතේ
මෙත් ගුණෙන් පිපී හදේ - පිදේ පිදේ බැතින්
සුපුණ්‍ය දම් මලින්...

අන්තරා 3
බුද්ධ පුත්‍ර මහානුභාව - මහාවංශ පොත් පෙළේ//
ලියකම් ඇම්බැක්කේ - රස කලා මීර දඹුලුගලේ
ලියා තනා තැබූ අගේ - සමාධි අවුකන රුවේ
දිලේ දිලේ හෙළේ දැයේ සිරී විභූතියෙන්
සිරී විභූතියෙන්...

අන්තරා 4
සිහල බොදුනු හැදියාවයි - සිරිත විරිත සමුදායයි//
අත්කම් ගෘහ ශිල්ප `ඥාණ - සම්ප්‍රයුක්ත දාන මාන
මිහින්තලා ගිරි ශිඛරය - අනුබුදු හිමි ලකට වැඩිය
සිසි වණ නැහැවෙන අරුමය - බලන් පොසොන් සඳින්
මේ මිහිඳු දිනේ... - මේ මිහිඳු දිනේ... - මේ මිහිඳු දිනේ...

*****

2024.06.01

කවිය බලන්න
සමනල සඳෙස -13

සමනල සඳෙස -13

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

සමනලයා දුටු දියැලි-1

බෝපත්පිටියේ මනාලිය-15

245. සමනල නර නුඹ සමන් දෙවිදුගේ
අඩවිය පසු කර පහළට එන්නේ
අඩවි පෙතේ හිද ගලා බසින නෙත
රදනා දිය දහරක් මතු වන්නේ
වැඩිය ළං නොවී ඈත ඉදන් බල
ගලා හැලෙන දිය කිඳුරිය වැන්නේ
බොපත් ඇල්ලයි වන මැද ඇත්තේ
කියන් ඇගේ වතගොත නුඹ දන්නේ

246. මහවැලි-කැළණි-කළු හා වළවේ ගංගා විලසිනේ
බෝපත්පිටි ඇල්ලත් සිසිලස විදගෙන සමගිනේ
මග ඇදි-ඇදි ඇද ගමනින් ඉග-සුග ගත වනමිනේ
මහ ගල් කුළකින් පහළට ඇද හැලෙනව මහවනේ

247. සුසිනිදු සිසිලස දෙන හිරිකඩ මල් සේ පිනි වලා
පුළුන් කදක් සේ සුළගට දසතට යන විසිරිලා
සුරතල් බෝපත්පිටි දියැලිය සොදුරිය බද සලා
නටන්නී ද දුටු-දුටුවන්ගේ නෙත්-සිත් පුබුදලා

248. නුඹෙ වයසේ තව එකියක් නුඹෙ හැඩ-රුව ඇති අනේ
බෝපිටි මිණිමුතු පොළොවේ හැර නෑ වෙන ඉපදුනේ
නුඹෙ රූපෙට තරග වදින්නට සිරිලක් සිව් වනේ
කිසි ම කෙනෙකු නැහැ නුඹ හැර පළමුතැනේ නම දිනේ

249. කොතැන ඉපදුනත් සුරගන නුඹෙ රුව කල-එළි කළේ
බෝපත්බද මිණි පොළොවෙහි බෝපත්පිටියෙන් ගලේ
ඇඹරි - ඇඹරි පහළට එන නුඹෙ සුන්දර දැක හෙළේ
දුටුවන් සැමගේ ආදර හැගුමන් නුඹ වෙත සැලේ

250. ලස්සන රම්බොඩ - දියලුම - දුන්හිද යන දිය ඇලී
කොතරම් මනහර ලෙස පෑවත් නෙක රති දිය කෙළී
රගන විලාසය පන්සර වැදෙන හඩට හද සැළී
යයි නුඹ වගෙ අන් කිදුරගනක් ලක් බිම නැහැ මලී

සමනලයා දුටු දියැලි-2
බෙලිහුල් ඔය කුමාරිය-16

251. තවත් මනාලියකගෙ දිගු වරල්
නැගෙන රැළි තැල්ලෙන්
සුදත් සේල ඇදහැලුණා සේ
බෝපත් දිය ඇල්ලෙන්
වියත් සුදන කවිකොට කිව්
බෙලිහුල් ඔය සිත පල්ලෙන්
නුඹත් ගොසින් බලා වරෙන්
වැටෙනායුරු ගිරි දල්ලෙන්

252. ඇස ගෙන කදු මුදුනෙ සිට සාරවත් කම
බැස ගෙන සිනිදු ගල් කැට ඔප දමයි හැම
ර-ස ගෙන දෙමින් දුටුවන් මන බදින සම
පි-ස ගෙන එන සුළග රහසින් කියයි පෙම

253. නෙත-සිත උමතු කරවන සැම දෙනාගෙ ම
උස කදු ගිරි රැසින් වට වී වටේට ම
ඔබෙ රස ගුණ උකාගෙන මුළු පළාත ම
තුරු පල ලබා පොබවයි හැම වෙලාවෙ ම

254. සරස්වතී දෙව් නුවණින් බැලුම් හෙලූ
ඔබෙ රුව පියකරුයි කාටත් නෙතින් බැලූ
බෙලිහුල් මනාලිගෙ සේලය දැකුම් කලූ
සුරතල් කරයි දෑතින්ගෙන වළවෙ - කලූ

255. කවි රස දන්න කවියන්ගේ බස ගත්තේ
දෙ පද - තුන් - සතර පද පෙළ රස ගත්තේ
තෙලිතුඩ අග වණින් බොද වී වෙස ගත්තේ
ඔබ රස ගුලාවකි පැසසුම් දෙස ගත්තේ

256. බෙලිහුල්ඔය නම ද ලොව සිහිවටන පෙළේ
රසවත් කමින් වියරු ව පෙළ ගැනුණි මුලේ
ඔබෙ ළය මඩලෙ “සංදේශය” වැඩුණු කලේ
සිතුවම් පට අතර ඔබ දුනි තුරුණු බලේ

257. ඔබෙ සිරියාව නෙත සරසා ය සිසිල ගෙන
සුළගට මුසු වෙලා නිබද ව හමා යන
ගුණ - රුව - රසය නිති ලබනා නිසා දන
ලොව නන් දෙසින් පැමිණෙයි නුඹ සොයා ගෙන

258. පිස - පිස ළවැලි මුතු කැට රොන් මඩ ඈදී
සිඹ - සිඹ මිහිකතගෙ ළය වැද මිණි පෑදී
කහ - රතු - වයිරෝඩි රුවනාරින් සෑදී
වටිනාකම කියයි මහ ඉහළින් කෑදී

259. හෑරෙන පස මැදී තව සාරෙට මානයි
තේරෙන බව දැනී කෙත්වතු හරි සාරයි
සෝබන කුමාරිය බෙලිඔය මන-මාලයි
මේ ගම ඔබේ සුකොමල දෑතට බාරයි

260. දැනුවත් උගත් පොහොසත් දන මන දන්නා
රුවෙනුත් මොනවට ද පැහැදිලි කර දෙන්නා
කෙරුවොත් සමක් රස කර තාලෙට ගන්නා
සවිමත් කරයි ඇගෙ දරු - දැරියන් ඉන්නා

261. මහදැව ගම්මානෙ රාසිං මහා රදා
කිරි බණ්ඩාර තනි ‌කළෙ මහ කැලේ වැදා
ගොවිතැන්- බතට දිය උල්පත් වෙමින් බෙදා
ඔහු රැක ගත්තෙ බෙලිහුල් කුමරියයි එදා

(මතු සම්බන්ධයි.)

2024.06.01

කවිය බලන්න
සහෝදර රුධිරය නොවෙද මේ - කිර්ති ලොකුලියන

සහෝදර රුධිරය නොවෙද මේ - කිර්ති ලොකුලියන

කිර්ති ලොකුලියන

පහළ අතු කපා වැනසුවද
ගස වැඩී හමාරය ඉතින්
උන් සිත කීරි ගැසෙනා විලස
බලව් රතු මල් පිපෙනා හැටි

වේලාසනින් අවදි වූ වරදට
උන් උදුරාගත් ජීවිත වුවද
විරුවන් ලෙසින් සමුගත්
සහෝදර රුධිරය නොවෙද මේ -

කවිය බලන්න
ඉඳින් විඩාබරය මේ ජීවිතය...

ඉඳින් විඩාබරය මේ ජීවිතය...

කාංචනා පෙරේරා කපුගේ කොළඹ

අමාවක අහසකට සදක් එන් නැති හැටී
තරුවකින් අසාවිත් වළාකුල් මට කී හැටී
හමාගිය හුළගටත් කදුළු වියලනු බැරී
මගබලා හුන් නෙතට විඩාබර ඇයි මේ හැටී

රළක් පෙරලී නැවත ආවත් වෙරළකට නවතනු බැරී
වඩ දියට අවනත නොවුනු දියඹද අනේ සැඩවුනු හැටී
සයුර මත හිද වාරකන් මට රුවලකින් නවතනු බැරී
සිතිජ ඉම මත ඇදුණු සිතුවම් සිතින් මගෙ පිටමන් වුනී...

කාංචනා පෙරේරා කපුගේ

කවිය බලන්න
පමාව....!!!!!

පමාව....!!!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

ආ... පුතා ආවද
ගොඩ කලකින් නේද පුතේ
පලතුරුත් ගොඩක් ගෙනත්
මට දැන් කන්න බැහැ පුතේ
පස්සේ හිමිහිට කන්නම්
අම්මටත් ටිකක් දෙන්න
අම්මත් හරි ආසයි මේවට
අම්මා කලක් තිස්සේ
මග බලන් ඉන්නවා
පුතා එනකම්
ඒත් කලකින්
දැක්කේ නැහැ ඇයවත් මං!

Photo credit ;Noah Silliman

කවිය බලන්න
ස්තුතියි කැමරා ශිල්පියාණෙනි

ස්තුතියි කැමරා ශිල්පියාණෙනි

ලාල් හෑගොඩ  

ඇතුලත සොරුන්ට
නොහැකිය පලායනු
ඇත වීදුරු කවුළු දැල් ගසා
පිටත සොරුන්ට ද ඇතුලට යා නොහැකිය

"අභිරූ තෙද බලැති කෙසරා" වන්
අප මැතිඳු
දැල් ගැසූ කවුළුවෙන් නොව
දොරින්ය වදින්නේ ඇතුලට

පුද ලැබිය යුතු නැණින්
මහත් රජ මඬුල්ලට
සියුම්ව අංග රචනා කර
හැඩ කර ඇන්ද වූ
වෘෂභ සළු පිළි රුවින
අප මැතිඳු

රෝහල් අසල අපමණ
මල්ශාලා ඇතැයි
ජනතාවට පහදා දී
සොඳින්
යස සුවෙන්
සෘජු කයින්
නො අනලස් ගමනින්
නොහෙලා එන බිඳක්
මැති තේජසින්

රූපවාහිනී කැමරා
නොදුටුවා සෙයින්

මංගල රථයකට
එළඹෙනා ලෙස
දොරින් එළැඹීම අපූරුය

පිටුපසින් නොව
නිසි තැනින්
කැමරාව මෑනුවාට
ස්තුතියි ශිල්පියාණනි.

කවිය බලන්න
මතක...

මතක...

ලලනී ගීකියනගේ රත්නපුර

අරා ගගනත තරු කැළුම්
නාවා...
පෙරා සඳකැන් ගෙමිදුලේ
ගෑවා...
දරා කොළ දළු පලින් හද
වාවා...
සරා සඳ ඔබ මල් සුවඳ
පෑවා...!

උතුම් පුන් පෝ සඳයි
දිලිසෙන්නේ...
හැඟුම් මල් පූදිනා
දින වැන්නේ...
පැතුම් ඉටුවන්නටයි
පින් දෙන්නේ ...
සුපිපි කුසුමක සුවඳ
පැතිරෙන්නේ ..!

සලා නෙතු අග කඳුළු
මුතු අහුරේ...
වෙලා හද සෝ සුසුම්
රැලි ඉතිරේ...
වළා රොදකට මුවා
වී අඳුරේ....
ගලා රොන් සුනු ඈත
දුර විසිරේ...!

මඳ පවන වැද සීත
කඳු සිරසේ....
ලපලු නැළවේ කැකුළු
මල් විලසේ...
හෙටත් මල්වර නොවුනු
මතකය සේ....
නෙතක් කඳුලැලි පුරයි
හොර රහසේ.....!

Photo credit ; Alex Meta

කවිය බලන්න
ඇස් වලින් වෙඩි තියා

ඇස් වලින් වෙඩි තියා

ලලිත් ද සිල්වා නුගේගොඩ

ඇස් වලින් වෙඩි තියා
මල් පිපුණු පපුවකට
පෙනේරය වගේ එය
සිදුරු කර ඔබ ගියා

වෙඩි බෙහෙත්
සොයමි මම
කවියකට පුරවන්න........

කවිය බලන්න
සුහුරු මා

සුහුරු මා

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

අනූ දසක යේ බටහිර උපන් දිනේ
හයේ හතරෙ මුහුනක් ඇත අදට අනේ
කයේ පැතලි කම තවමත් රැකුනානේ
අතේ පහස කෙනෙකුගෙ මට දැනෙයි සෙනේ

මුලු ලෝකයම සඟවාගත් පොඩි මෙ මට
අඩු නැහැ ලැබෙන පැසසුම් ගැරහුම් දිනට
වැදුනම පොලොවෙ ගැසුවිට ටයිලය මතට
කුඩුවෙයි එහෙත් සැත්කම් ගෙනදෙයි සතුට

නලවා ගන්න බැරි පොඩිවුන් නලවන්නම්
කවා ගන්න බත කාටුන් පෙන්වම්නම්
පෙම්පත අරින්නට whatsapp මං දෙන්නම්
නොදන් දෙයක් google කියලා දෙන්නම්

දුකයි මා නිසා සිදුවන නැස්පැති ය
තැපැල් කරුට, සිනමාවට වැඩ හිඟය
දරු මවපියන් පිලිසඳරේ දැන් අඩුය
කාමර විදුලි බිල නැග දෙන හෙන පොදිය

නොමැකෙන සාක්කිය මා ලඟ රැකගනනේ
හොර මැරකම් ඇල්ලීමට සෑහෙන්නේ
ගත් චායා photoshop කරමින්නේ
වංචා ක්‍රියා උපදින්නට දිරිදෙන්නේ

බන පදයක් ඇසුමින් හිත සනසන්ට
යන්නට නොහැකි රටකට ඔබ ගෙනයන්ට
මිතුරු මිතුරියන් සමඟින් හිනැහෙන්ට
හැකිය, සුහුරු මට ඔබ හට ලං වෙන්ට.

කපටි දනන් හට දෙන වාසිය පිහිට
ඉක්මනු හැකිය නුවනින් වැඩ කරොත් හෙට
පිහියෙන් ගෙල බිඳීමට/ අඹයක් කපන්නට
හැකිමෙන් මටත් හැක, රිසි ලෙස හැසිරෙන්ට

කවිය බලන්න
ජනතා විලෙහි පිපි කුසුමකි

ජනතා විලෙහි පිපි කුසුමකි

මහින්ද සමරවීර ස්කොට්ලන්ත ඇබර්ඩීන් නුවර සිට

සුන්දර ප්‍රහර්ශය පැලඳු මුව කමල
ජනතා සේවයම දිවියම වූ සකල
පින්බර මැතිඳ බාකීර් මාකාර් පතළ
ලක් මෑණියන් ඔබ ගිය දින විය නිසල

සම්මානයට ගෞරවයට දෑත නොපා
කඳුලට දහඩියට හදවත සෙනේ පපා
පොඩි මිනිහාට රජවෙන්නට පාර කපා
සිහිනෙන් ඔබේ රුව අගයමි දෑත සිපා

නීතිය හදාරා මුදලට වහල් නොවී
සාමය පෙරටු කොට මහජන වවුර වෙවී
නායක කතා පුටුවට රණ් මිණක්ම වී
ඔබ දුන් එළිය යුගයකි මහමෙරකි සවී

මිනිසුන් අතර වෙනසක් නොම විය යුතුය
සාමය සමාදානය ලොව අප සතුය
ඒ සිතිවිල්ල අද බෙහෙවින් බලගතුය
දෙවියන් මැවූ ඔබ සැමදා අප නතුය

සහකම්පනය සැමදා හඳවතෙහි බැඳී
ඔබවන් පියෙකු යළි එනතෙක්‍ බලා හිඳී
හමුවී වෙන්ව යන දිය කඳ ගියද සිඳී
මහජන විලේ ඔබ කුසුමකි සුවඳ රැඳී

ආදරණීය බාකීර් මාකාර් මැතිඳ
ඔබ පුතු දරු කැලම පතුරති ඔබ සුවඳ
සිහිනෙන් තැවරු සුවඳක් මෙන් හද නිබඳ
දිලිසී සරසන්න ලකඹර යළි සබඳ

(හිටපු කථානායක දේශමාන්‍ය අල්හාජ් එම්. ඒ.
බාකීර් මාකාර් මහත්මාගේ මැයි 12 වැනි දිනට
යෙදෙන 107 වැනි ජන්ම දින සංවත්සරය නිමිත්තෙනි.)

කවිය බලන්න
සමවත

සමවත

මාලිනී හෑගොඩ USA

සමහර දවස් ගෙවුනත් හරි සීරුවට
හරබර වැඩියි ඊ ළඟ දින පේළියට
ජරමර ගොඩක් තව දවසක ඉදිරියට
කරදර ඇතත් දිවිමග යයි තාලයට

පිනිබර උදේ කාලය ගෙවුණා සරියේ
පැහැබර දිවා කල නිමවිය කඩි මුඩියේ
අහවර වෙන්න තව ලොකු කලකුත් නැතියේ
අනදර කුමට සැන්දෑ වරුවට දිවියේ

මෙහෙවර ඉවර වෙන දින ළං වනු ඇතිය
හරසර කුමට අප පොඩි පොඩි අතු ඉතිය
පපුතුර කොනක රැඳුණොත් මා ගැන බැතිය
මවැතිර සිටිමි මට මල් පෙත්තක් ඇතිය

2024 මැයි මස 2 දින
ඇමෙරිකා එක්සත්ජන්පදයේ දීය

කවිය බලන්න
අකාලයේ පරවූ මලක්

අකාලයේ පරවූ මලක්

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා High Wycombe - UK

ගිරිහෙල් තෝ තැනි පසුකර ආ මග
අවසන අතැඟිලි අතහැරුනා
පෙම්බර දුක්‌බර මතක ඉතිරිකොට
මට කලියෙන් නුඹ ඉන් හැරුනා

දරාගන්න බැරි අදුරු වළාකුළු
වැහි බීරම මිහිමත වැටුනා
පිණි වැද දිලිසුනු සුවඳ විහිදු මල
අකලට පරවී බිම වැටුනා

දෙනෙත් අයා සිටියත් කෙතරම් තව
ඒ රුව නැහැ යලි මතුවී එන්නේ
අකලට පරවී යන්නට නැගණියේ
ඇයි මෙතරම් හැඩ වී නුඹ පිපුනේ

සිනිදු සේල අන්දා නුඹ හැඩකොට
මළහිරු බසිනා හෝරාවේ
උර මත හිඳුවා අවසන් වර මා
සැලෙන දෙපා එකිනෙක තැබුවේ

මව්පිය දෙපලම නුඹ තනියට ඇති
මා පමණක් හෙට සිට තනිවේ
දුම්රොටුවක් වී නිල් අහසේ නුඹ
පාවී යයි නෙතු අසරණවේ

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා

කවිය බලන්න
හීන හැඩුවා රෑ රහසින්

හීන හැඩුවා රෑ රහසින්

මුදිතා ඩයස් කොට්ටාව

සදකැන් පිපි හිනහිලා
තරු මල් පිපි විසිරිලා
අදුරු රෑ මසිත පිබිදිලා
ප්‍රේම හැගුමන් දගකලා
හිත තිගැස්සි අවදියෙන්
මෘදු කොපුල් හාදුවෙන්
තෙමෙයි සිත සීරුවෙන්
රතු පබළු විසිරෙමින්
ගව්ගණන් දුර ඈතින්
මිණිමෙවුල බිද සැණින්
සිත ගොලු වෙලා තනිකමින්
හීන හැඩුවා රෑ රහසින්

කවිය බලන්න
අනේ ආයෙත් හුස්ම වැටියන්

අනේ ආයෙත් හුස්ම වැටියන්

නිවන්ත ගයාන් ප්‍රේමසිරි

සමාදෙනු මැන කරපු වරදට
දමා යන්නට ජීවිතෙන් හැර
ඔවා දුන් හැම සිතේ තිබුනට
ගියා මම දුර මටත් නොදැනිම

දෙමාපිය ඔබ මැවූ ලෝකෙක
හැඩකරන් දුර ඈත යන්නට
මටත් තිබුනා හීන අහසට
නිමේෂයකින් බොඳ උනත් හැම

අනේ දවසක අඳුරු අහසක
උණුහුමට ගුලි උනා රහසෙම
මගෙම යැයි මම සිතා උන් පෙම
රිදුනු මතකෙක තනිකලා හැම

ඉතින් කොහොමට දරා ගන්නද
රිදුම් දුන් ඒ මතක දහසක
නැහැ වෙනත් විසදුමක් මා හට
මියදුනා මම සැමට රහසෙම

මෝචරිය තුල අඳුරු කුටියක
දෑත් පා යුග වෙලුම් දැවටෙන
හැඩකරන්නට ඔසරි පටලන
නිහඬ ගමනකි යන්න සැරසෙන

හැමූ සුළඟට අහක විසිවූ
නිසල මා මෙහි වැසූ සළුපට
තවම ඉතුරුයි නිය රටා හැම
රිදුම් දුන් මතකයක පැටලුන

බයයි තව මා මෙහි සිටින්නට
මත් වෙලා බඹරුන් මෙහෙත් ඇත
නෙත් අයා ඉඟි පාන බැල්මට
හුස්ම නැති මලසිරුර කම් නැත

හදෙහි සිරකර තනිව වැලපුන
බොහෝ ඒ තැන් මෙමට වැරදුන
හදිසි තීරණ නොගත යුතු තැන
දිනුම තිබුනා පරක්කුයි මම

කවිය බලන්න
නිහැඬියාව​

නිහැඬියාව​

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

මහ පොළව දෙදරවන
පරිසරය කලඹවන
මහා හඬක් ඇසී මම
අවදි වුනෙමි තැතිගෙන

කෙසේ බිහි වුනි ද එවන් හඬක්?
භූ කම්පාවක්, සුනාමියක්, කුනාටුවක්!
බ​ඳු සොබා දහමේ විකුර්තියක්
නමුදු එහි නැත මෙවන් බිහිසුණු බවක්

කෙසේ බිහි වුනි ද එවන් හඬක්?
යුද ගිනි මැද විලාපයක්, මහ පිපිරුමක්!
මහ වන මැද කොටි, සිංහ ගෙරවුමක්!
නමුදු එහි නැත මෙවන් රුදුරු බවක්

කෙසේ බිහි වුනි ද එවන් හඬක්?
කෑ මොර දෙන දේශපාලන වේදිකාවක්!
චන්ද පොරොන්දුවක්, හතුරු ගැරහුමක්!
නමුදු එහි නැත මෙවන් නිවට බවක්

අසාධාරණය, අයුක්තිය, අනීතිය
අබියස නැගෙන්නේ ඒ මහා හඬ මය
හැම තැන හැම විට එකම හඬ නිරතුරුව​
ඒ මිහිකත නුහුලන සුදනන් ගේ නිහැඬියාව​

කවිය බලන්න
ගුරු පඬුරු

ගුරු පඬුරු

නිලූකා පතිරණ ඇඹිලිපිටිය

හිරුත් සමඟින් පිපෙන මල් වල
සුවඳ හදවත සිප ගනිද්දී
නුඹේ නොවනා පැටව් තුරුළෙහි
හොවා සිප්කිරි දිය පොවද්දී

හමා ඇදෙනා සුළං සිසිලස
විඩාබර නෙතු මත හැපෙද්දී
හෙළා දහදිය කඳුළු මුතු කැට
කළා නුඹ සෙනෙහස පිරෙද්දී

සැරට වේවැල රිදුම් දුන්නත්
වැටෙන නෙතු කඳුළැලි දකිද්දී
තිබුණෙ නෑ මයි හිතේ තරහක්
හදවතේ දුක සිර කරද්දී

අදත් මතකය අරන් ඉඳහිට
තක්සලා දොර ළඟ හිඳිද්දී
එදා වාගෙම තවම පුදුමයි
හීන ගස්වල මල් පිපෙද්දී

අමර සාමලා විදු බිමේ තව
අන්න අර සල් මල් නෙළද්දී
නුඹ කියා දුන් අකුරු අමුණමි
අදත් නැණ ගුණ දම් වැඩෙද්දී

නුඹත් නොමැතිව හෙටක් කොතනද
උගත් වියතුන් නම් දරද්දී
ගැලූ සෙනෙහස ලොවක් නහවයි
සිපිරි ගෙයි දොරගුළු වැසෙද්දී

ඉතින් අවසර නුඹේ සුවඳින්
සෙනෙහසින් ළය තෙමා යද්දී
තබා සිරසම දෙපා නමඳිමි
නුඹේ දෑසින් ලොව දකිද්දී

ඇඹිලිපිටිය ..

කවිය බලන්න
යන්න බෑ 'රට' ...

යන්න බෑ 'රට' ...

නයනශාන්ති දිසානායක

මට මා ද හිමි නොවූ මොහොතක
මා නමින් මට හිමි ව උන්
මේ වූ.. ගහ කොල මේ වූ මල් ඉති
මේ සුළඟ .. ගෙන ආ පවන්
මා නමට ඇද හැළුන මහ වැසි
දෝර ගැළු දා මා දරන්
පායාපු ඉර එක්ක ටික ටික
හිත හැදු ඒ රැස් සහන්
අතැ'ර දා මේ හැම හිනාවන්
දමා ගොස් දුර ගත අරං
රටක තනි වී මා නිවෙම් වි ද
අතැ'ර මාගේ හද සුසුම්.....

හිතම රිදවන විඩා දනවන
හේතු මත දියවෙන සවි
කඳුළු පිස දා දිරිය රදවා
හෙටක් ගැන සිත ඉව කෙරී
නුහුරු නුවරක ඉසුරු සැප යස
ඇතැයි කියවෙන රස වැකි
හීන විකුණා ලාබ සොයනා
කච්චපුටලත් හිඟ නැති

මලක පිණි මත සඳක රැස් මත
හුරු සුවඳ තැවරී ඇති
ගැහෙන හදවත නතර වෙන තුරු
හුස්ම මේ පොලවම යදී
කාසි කොල වල නොලී උණුහුම
මේ කොහේ හෝ ඇතුවැ'ති
හැපී මේ මත සොයා ගනු මිස
යන්න බෑ 'රට' .......
හිත, ගතින් ආපසු අදී

Photo credit; Diana Parkhouse

කවිය බලන්න
රසූත සුව

රසූත සුව

නාලක ගම්මැද්දේගෙදර

අවින්ඤානිකයේ ගැබුරට කිමිද
විචක්ශනය අවදිකොට
මනසේ හමුවු අවිදිමත් හැගිම්
එකිනෙකට පෙලගස්වා
වින්ඤානික මනසින් විනිවිද පිරා
විශ්වයට මුදා හැරුනු පසු
දැනෙන සුවය
ප්‍රසූත සුවයක්මදැයි
මා දැන් පිරිමි මනසින් අත්දකිමි

Photo credit; Hannah Skelly

කවිය බලන්න
මා තැනු කිරිගරුඬ මූර්තිය

මා තැනු කිරිගරුඬ මූර්තිය

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

මූර්තියක් තනන අයුරු පිලිබඳව උපදෙස්
නිචිටා ස්ටැනෙස්කු කිවිවර කලකට පෙර
ලිය තබා ඇති පරිද්දෙන්ම අත්හදා බලමි

සවිමත් සුදු කිරිගරුඬ ගලක් තෝර ගෙන
නෙක හැඩතල මවන- සියුමි කැටයම් දමන
මා දෑත ⁣සීරී කැපී රුදිරය වෑහෙන්නට ගනී

රළු තැන් සොයමින්- ඒවා සුමට කර ලෙයින්
කළුවර ලී අරටුවක් ගෙන ඔප දමන කල
උනන දහඩිය බින්දුද එමත රූරා වැටේ

සතුටු සාදයට කැඳවන් ආ යහළු මිතුරන්
මූර්තිය සිඹ ගත් විගස ලිස්සා බිම වැටුණි
එහි තැනින් තැන දැන් පළුදු වී ඇත

නොසිතූ විලසින් කඩතොලු නොවුණි නම්
මෙය පරිපූර්ණ මූර්තියක් වනු නියත බව
සල්පිලට පැමිණෙන සියළු දෙන පවසති

15.05.2024

A Lecture On The Cube

You take a piece of stone,
chisel it with blood,
grind it with Homer’s eye,
burnish it with beams
until the cube comes out perfect.

Next you endlessly kiss the cube
with your mouth, with others’ mouths,
and, most important, with infanta’s mouth.

Then you take a hammer
and suddenly knock a corner off.

All, indeed absolutely all will say
what a perfect cube this would have been
if not for the broken corner

By Nichita Stanescu

කවිය බලන්න
ගුරු සිත

ගුරු සිත

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

ශිෂ්‍යයෙක් : මම විභාගෙ කරන්නේ නෑ මිස්

කළල් කර නිස්සාර බිම් කඩ
මහත් වූ බැතිබර සිතින්
තැනූ රන් අස්වැන්න මිය යනු
දරනු ගොවි සිත කෙලෙසකින්

කඩ ඉමක් මග සිනාසෙන්නේ
නෙළා දෙනු රන් බිජු සොඳින්
වඩා ගනු මැන දෝතටම ගෙන
දුක් කඳන් මිරිකා තදින්

බිඳ හෙලා බාධක මැදින් ගඟ
කටු කොහොල් ගල් පරදමින්
ගලද්දී මනකල් ද කෙතරම්
නිසල ඟං දෑලට උඩින්

මාද මේ ලෙස පලා ගියෙ නම්
නියං කල මේ දිවි මගෙන්
අදට වැළලී බොහෝ කල් වෙයි
දරුවො මා උඹටත් කලින්

~ සකද මලයි බබළු වැලයි කාව්‍ය සංග්‍රහයෙන් ~

කවිය බලන්න
ආසයි හිතට රන් සමනල  තටු දෙන්න

ආසයි හිතට රන් සමනල තටු දෙන්න

රංජනී කොස්තා නවසීලන්තය

පාවෙන වලාමත රැඳිලා
සැඟවෙන්න
දේදුන්නේ සිත්තම් ගැන
විමසන්න
මායාවක් ලෙසින් නෙතඟට
සුවදෙන්න
ආසයි හිතට රන් සමනල
තටුදෙන්න

හීගතුවට පිපෙන මල්කෙමි
විමසන්න
ඈතට ඇදෙන බිඟුකැලටම
මුහුවෙන්න
කූඩුවෙ දොරින් හිඳ විහඟුන්
හමුවෙන්න
ආසයි හිතට රන්සමනල
තටුදෙන්න

රූරා ගලන දිය ඇලිලඟ
ගුලිවෙන්න
පීරා විසිරි පෙණකැටි මුතු
ඇහිඳින්න
ධාරා ඇදෙන රළුවෙරලට
එක්වෙන්න
ආසයි හිතට රන් සමනල
තටුදෙන්න

කවිය බලන්න
A Dilemma....

A Dilemma....

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

කාලයක් මුළුල්ලේ සුපුරුදු විදියට
සැමදාම උදෑසන
Good morning...
දුරකථන මුහුණත දිස්වේ
ඔබගේ සුබපැතුම.
ඔයා ඇහැරිලා නේද මැණික?
මට හිතෙන්නේම
අහනවා ඇත්තේ එහෙම.

Working now?
කෙටි පණිවිඩය දුටුවම
මට දැනෙන්නේ ම ඔයා කියනවැති
කරදරයක් වුනේ නෑනෙ
මග තොටේදී එහෙම.

ගෙදර යන්නයි හදන්නේ
මම කියනකොට
Take care කීවම
මට ඇහෙනවා ඇහෙනවා වගේ.
පරිස්සමින් යන්න හොඳද
මම ඉන්නවා වස්තුව ඔයා ලඟම.

නින්දට යනවිට
Good night බබෝ..
Sweet dreams කියනකොට
මම දන්නවා කියන බව
ඔයා තමයි ඉන්නේ
මගේ හැම හීනෙකම.

අනේ මන්දා ඇයි
මට දැනෙන්නේ මෙහෙම.

එක්කෝ මට
ඉංග්‍රීසි තේරුම් ගන්න බැරිකම.
නැත්නම් සිංහලත් හරියට
තේරෙන්නෙ නැතිකම.

ඇත්තටම මොකද්ද ඒකෙ තේරුම???

කවිය බලන්න
මිහිඳු හිමියන් යළි වඩිති ගමරට

මිහිඳු හිමියන් යළි වඩිති ගමරට

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

බුද්ධිය මැන බලා
පිවිතුරු සිතින්
ජම්බුද්වීපය
සහ අවට රටවලට
බුදුදහම
බෙදාදුන්
ඉන්දීය මහාධිරජු
ධර්මාශෝක පුත්
මිහිඳු හිමියන්
පෑරුණු සිත් ඇතිව
යළි වඩිති
ගමරට වූ
ඉන්දියාවට
අසන්නට
ලොකු අයියාගෙන්
(මෝදි)
සිරිලකට අයිති දේ
විදුලිය ,තෙල්, ටෙලිකොම්,වරාය, ගුවන් තොටුපොල)
කුණු කොල්ලයට
මිලට ගන්නේ
ඇයිදැයි අසන්නට....

කවිය බලන්න
ඒ.ඩී.රංජිත් කුමාර සමුගනී

ඒ.ඩී.රංජිත් කුමාර සමුගනී

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

රිදී තීරයෙ මතක සටහන්
දුරාතීතයෙ සිටම මනරම්
වදන් ස්වරයෙන් අනවරතවම
දෘශ්‍ය තල පොත් පුවත්පත් හා
ජාතියට දායාද කළ ඔහු
සදානුස්මරණීය වේ මැයි
තවත් සිය දහසක් වසක්

දේශයේ වාසනාවට ලත්
ගැයුම් ලොව ගාන්ධර්වයන්
මහා යතිවරු කලාකරුවන්
මතක ශතකාධික කලක්
ඔබේ මනැසේ රැදී තිබුණේ
සසර වැඩු ස්මෘතී නැණින්

රූපවාහිනී තිර මතින්
ගලන ගගුලක් ලෙසින් පැවසූ
චරිත සුචරිත පුවත් සමගින්
ඔබේ බහුශ්‍රත බව නොදැක්කෝ
නොසිටියේ නම් අරුමයක්

දිගු කලක් මුල් පුටුව හෙඹවූ
එදා සරසවියට බැඳී
දාහතක් සම්මාන සරසවි
මෙහෙයවූ සුලවතාණෝ
ලියු චරිතාපදානය පෙර
නමින් කොස්ගස්හන්දියේ
අදත් ඇත ජන සිත් බැදී

ප්‍රබල සිනමා විවේචකයෙකු
හසල නැණවත් විමර්ශකයෙකු
පුවත්පත් කර්තෘ වරයෙකු
බුද්ධිමත් උත්කෘෂ්ට මිනිසෙකු
සත්‍යයට සැමවිටම ගරු කළ
නමින් රංජිත් කුමාරවු ඔහු
දැයෙන් සමුගෙන නිසල සිරුරත්
වෙදහලට දන්දුන් කෙනෙක්
ගුණය කිසිදා නොමියෙතත්
කාලයට ඉඩ හසර හිමිකොට
ඉදින් සමුගෙන යන්න අවසර

10/5/2024

කවිය බලන්න
අම්මාලා

අම්මාලා

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

ඉසුරු කුල ධන සපිරි ලලනෝ
ජනිත සද කුස කළල බිංදුව
දස මසක් තුළ දස වතාවක්
රටේ නොව මුළු ලොවේ සුපතල
වෙතැමැ ගොස් සුවිශේෂ වෙදවරු
එලැඹි කල, කල සුපිරි පන්තියේ
රෝහලක නෙක පහසු කම් මැද.
සැත්කමක් කොට සිසේ-රීයෙන්
හූණු බිජ්ජක් තරම දරුවෙක්
මහල් පායට රැගෙන එන්නේ
දිණූ ලෙද නොවැ යුද්ධයක්
තවත් ඇත ලොව එවන් අම්මාලා

රෝහලක් නැති පයින් යාහැකි
ද්‍රරක ඇති අතුපැලක වෙසෙනා
ගැමි ලියක් හත් අට වතාවක්
පැමිණි පත්වීමක් ලබා
සේවිකාවක ගේ පිහිටෙන්
ඇවැසි උපදෙස් නිරන්තර ලැබ
බොහෝ විට අතු පැලේමත්,
කලාතුරකින් රෝ - හලකත්
වැඩුණු බිළිදෙකු බිහිකරන්නේ
නොවිද විඳ නොවැ ව්ලි රුදා
තවත් ඇත ලොව එවන් අම්මාලා

දෙස් ව්දෙස් මහා සුපිරි පාසල්
සෙවන දී පෙර ව්යේ සිටමත්
ලක්ෂ ගණනින් ධනය දියකර
ණය තුරුස් වී සුසුම් විදිනා
උගත් නූගත් දරුවෝ වඩනා
තවත් ඇත ලොව
බොහෝ අම්මාලා

පැල ඉමේ සිට පයින් යාකැකි
ඇතැම් විට වල් අලිත් පන්නන
කැඩුණු උළු වහළෙයේ අතුරපු
නමට පමණක් පාසලක් වු
දෙව්වරුන් වන් ගුරුවරුන් ඇති
විදුහලක සිප් කිරි පොවන්නට
ළමැද කිරි නොඑරෙනා ඇතිතුරු
වෙර දරණ තුන් තිස් පැයේ
දහසකුත් ඇත අපේ ගම්වල
කෙඩෑරී වුණු අම්මලා

ලොකු මහත් වූ දරු පටවු
කුමර කුමරියො හා විවාහා වී
ඈත දුර ළඟ මාළිගා වල
විදිති සුර සැප දෙවරුවේ
එදා මන්දිර වල සිටී
අම්මාලා විය පත්ව තනිවී
දිනෙක ඇවිදින් ජාත දරුවෝ
නිවාසයකට වැඩිහිටි
ඇරලවන තෙක් රෑ දිවා
එනතුරා පෙජෙරෝව වැනි වැනි
බල බලා කල් ගෙවන තැන තැන
තවත් ඇත අපෙ අම්මාලා

ගම්දොරේ අතු පැලෙන් නික්මී
සින්න වූ පැල දෙස බලාගෙන
ගස් දෙබෑවක ඇටවු සෙවනක
දිවා රෑ සෝ සුසුම් විදිනා
දරුවෝ ඒරොප්පයේ වෙසෙනා
නොඑන බව නම් දැන දැනත්
සුසුම් හෙලනා අම්මලා
කොතක් නම් ඇද්දැයි කියන්නට
දත් කෙනෙක් වේදැයි නොදන්නෙමි.

0711481624

Photo credit

කවිය බලන්න
අප්පචිචියෝ සුරාව නිසා මා මියදෙනවා

අප්පචිචියෝ සුරාව නිසා මා මියදෙනවා

සඳුනිකා ඉන්දීවරී

සංසාර සයුරේ කිමිදී සොයා ඇවිල්ලා
මහන්සියට නැවතුනා කුසක් සොයලා
අම්මගේ බන්ඩියට මං හොරෙන් රිංගලා
අප්පචිචියෝ දන්නවද මාස හතක් ගත වෙලා

දෑත් දෙපා ගුලිවී ඇස් වහන් ඉන්නවා
උණුසුමයි කලුවරයි මට බය හිතෙනවා
අම්මා බන්ඩිය අත ගා ගීයක් මුමුනනවා
අප්පචිචිගේ කටහඬ ආදරේ මං හොයනවා

හේතු කියාගෙන බොරු අම්මට මවනවා
අම්මගේ හුස්ම පොදින් මට දුමාරයක් එනවා
නහර සිද වේදනා මැදින් න් මට රිදෙනවා
හිතට සැනසිල්ලක් නෑ බන්ඩියේ මං අඩනවා

සිලිං බිලිං සල සල ගා බඩු ඇහෙනවා
මහහයියෙන් රලු වදනින් දෙසවන් පිරෙනවා
තැවී තැවී දිවා රෑ මුලුල්ලේ මං ගැහෙනවා
ගංජා කුඩු සුරාමතින් අප්පචිචි රජකම් කරනවා

දසමස සපිරී විලිරුදා දී දිනය එලබෙනවා
ලොව වේදනා වැඩිම දුක දී මං බිහිවෙනවා
ලේ විලක් මැද හුස්ම හිරවෙන බව දැනෙනවා
අනේ අම්මේ වෛරයක් තරහක් නෑ
අප්පචිචියෝ සුරාව නිසා මා මියදෙනවා....

✍️📖️🖋

කවිය බලන්න
මගේ බෝසත් අම්මා-

මගේ බෝසත් අම්මා-

සුනිලා විජේසිංහ

ඉනට පළ වැල අතට වෙරළු ද
නෙළාගෙන එන අම්මා
දුරට ළඟට ද සුවඳ යහ ගුණ
බෙදන සුදු මල අම්මා
සිතට මිහිරි ම මිහිරි වදනක්
තවත් වෙද මිස අම්මා
පිනට පහළව මට ම මව් වුණු
මගේ බෝසත් අම්මා...

උතුරු සළුවට පෝය දවසට
සුදට බබලන අම්මා
මතුරු මතුරා සියලු සත හට
සෙත ම පතනා අම්මා
මිතුරු දම් මිස සතුරුකම් නැති
සෙනේ උල්පත අම්මා
ඉතුරු බත් උල කුසට කිස කොට
පුතුන් වඩනා අම්මා...

පිපුණු මල වට බමර නද සකි
ගයන නැළැවිලි අම්මා
වැසුණු දොර අස සුසුම් ලනු කිම
විවර දොර අස අම්මා
රිදුණු සිතකට ඔසුව ඔබ ම ය
වෙදැදුරු ද ඔබ අම්මා
නිතින ඔවදන් දෙමින නිසි මඟ
කියන තරු රැස අම්මා...

සඳක සිසිලෙන් බෙදයි සෙනෙහස
දියත සතර'ත අම්මා
තුරක පල බර , නැමුණු අතු සේ
දරයි දුක් කඳ අම්මා
ගඟක තරමට කිරට ඔබ පෙවු
ණය නොඉල්ලයි අම්මා
විලක මල් මට නෙළා පිදුවත්
මදි ය මට මගෙ අම්මා.

කවිය බලන්න
මැජික් බිත්තර

මැජික් බිත්තර

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

අත්තම්මගේ උයන ගෙදර
හරි කැමතියි ඉන්නට මම
හිල් වුණු වහලෙන් ගෙයි බිම
හැඩවෙනවා දුකේ බැරුව

දහවල මෙන් උදේ යසට
ඉර පායා හිනැහෙන කොට
වහලේ හිල් වලින් වැටෙන
බිත්තර ඇත ගොම ගෑ බිම

අත පානා විට ඔසවා
අල්ලට බිත්තර එනවා
කකුල් දෙකෙන් පෑගුවාට
බිඳෙන්නෙ නම් නෑ ඒවා

මේ බලන්න මැජික් කියා
මං මල්ලිව රවටනවා
උඩින් වැටෙන බිත්තරයක්
දෙන්න කියා මොරදෙනවා

"බොරු නොකියා ඉන්ට කිව්වේ
පොඩි එකාව අඬවනවා"

එහෙම කියා අත්තම්මා
හොරැහින් මට ඔරවනවා
ඇස් වහගෙන මැටි කොරහේ
දහයියා කුඩු උඩ ඉඳගෙන
බිජු රකිනා කළු කිකිළී
කෙකර ග ගා හිනැහෙනවා

කවිය බලන්න
නුහුරු සායමේ ගිලී, අකාලේ මළ සාත්තර හූනා

නුහුරු සායමේ ගිලී, අකාලේ මළ සාත්තර හූනා

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

කාගෙත් කල දවස සැකවින් කී හූනා
කාටත් නොකියාම වැලිගම ගොස් නේනා
කීවත් නොකීවත් මළ ගම මහ සේනා
මේ පත් විපත් යටපත් බතකුයි ඕනා

වහලේ කොනක සිට වේලාපත් බැලුව
මහ ලේකම් ලෙසින් පාටිය හැඩ කෙරුව
අවුලේ උපත පවුලේ කීමට බියව
දවුලේ හඬක් නෑ, මළ ගේ ගරු සරුව

ආවෝ ගියෝ මතුවෙයි වැහිබර දාට
වේයෝ තටු ඇවිත් අහසින් යන පාට
බෑයෝ පොර වදී මෙරු මළ කුණු කාට
කාවෝ බණ කියති පොත් අහවර දාට

අන් සතු කේන්දර එකිනෙක ගලපන්නේ
මන්තිරි මැති ඇමති පුටු ගැන වද වෙන්නේ
යන්තර වලිනි බිත්තිය සායම් වෙන්නේ
මන්තර වලට නෑ යන්තර කන් දෙන්නේ.

ගඟේ දෙගම්බඩ රජකම් කළ කිඹුළා
අගේ කරයි හූනා පෙලපත් හොයලා
ඇඟේ බරට බිත්තියෙ සායමෙ එරිලා
වගේ වගක් නැතිවම හූනෙක් මැරිලා

කටහඬ අසා රජවරු කරබා ගත්ත
සටනට නොයා විරුවෝ සැඟවිනි ඇත්ත
හූනට තිබිනි නම් දිව නෙත් සහ දත්ත
කුමකට අකල මෙලෙසින් ඇස් වහගත්ත

බිතක්කනේ තැන තැන රැස්වෙති හූනෝ
මතක් කරයි සුබ පල අපලද නෝනෝ
කටක් ඇර විටින්විට චුක් චුක් ගානෝ
හූනෙක් උනත් යස නැකතට පිටුපානෝ

යතිවරු පවා හූනන්ගේ බස් අසති
මැතිවරු හිටු පයම විටකදි ගල් ගැසෙති
පියකරු අලුත් සායම් මරුවි වඩිති
සූරගුරු සාත්තර නොනගතයේ මියෙති

නැකතට නොවේ කූඹියෝ මළ ගෙට ආවේ
විපතට හඬ හඬාමයි මළ බත කෑවේ
සවසට ඇට සැකිල්ලයි බණ පද කීවේ
කිඹුලට අනුව හූනයි ඉල්ලන් කෑවේ

කවිය බලන්න
සම්බුදු පියාණනේ

සම්බුදු පියාණනේ

කේ.පී.එස් සචින්ත්‍රා හෝමාගම

සම්බුදු පියාණනේ
කරුණාබර මා සම්බුදු පියාණනේ
පියුම් වතින් ගලනා
සුදු මුදු සම්බුදු ගුණ සිසිලේ
මා හද විය නිසලේ

සම්බුදු පියාණනේ
කරුණාබර මා සම්බුදු පියාණනේ
හිමි දෙසු ලොව නිවනා
සුනිමල පිළිමිණි දහම් දියේ
සතපමි සිත සුවයේ

සම්බුදු පියාණනේ
කරුණාබර මා සම්බුදු පියාණනේ
හිමි නැති අප වසනා
මනු ලොව විය ගිනියම් කතරේ
මෙත් විල ඔබ සසරේ

නවක පාඨශාලාචාරිණී,
බප/හෝ/ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය

Photo credit; Mattia Faloretti

කවිය බලන්න
රෑ සුවඳ කළ දෑ සමන් මල

රෑ සුවඳ කළ දෑ සමන් මල

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

රෑ සුවඳ කළ
දෑ සමන් මල

දහවල ගෙවී රැය මෝදුව ආ කලට
පුන්සඳ ඈත දිලිසෙයි ආලෝකයට
මුතු පිනි වැටී ලස්සන වූ ලෝකයට
දැසමන් මලක සුවඳක් දැනුණා අවට

කවි සිත ඇහැරිලා කවි පද පෙළ ගැසුණී
හිතකට සතුට වැනි විය සරණා ලිහිණී
ගහකොළ කියා පෑවෙත් සතුටය දැනුණී
වෙන මොනවද ඉතිං මට නොදැනිම රැඟුණී

අරුණලු ඈත අහසේ ඇතිරෙනා කල
හිත කලබලෙන් පෙති හකුළා නටුව තුළ
නින්දට සැරසෙනා ලෝකය සුවඳ කළ
යන්නට අවසරයි මගෙ දෑ සමන් මල

කවිය බලන්න
රහස රකිමී....

රහස රකිමී....

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

පොකුණු දියමත සැඳෑවේ
රොන් බිඳක් සෙවු වෙලාවේ
ඇරයුමක් ලද විලාසෙන්
දිටිමි ඔබ විල් තලාවේ

දිනකර සමුගෙන යද්දී
අවුරා ඔබෙ පෙති අතරේ
සිරකරුවෙක් කළාද මා
මගෙ ආදර නෙලුම් මලේ

මදු කෙමියක රස සිත්සේ
විඳින්න මුලු රැයක් පුරා
මා තරමට පින් කර ඇති
අන් බඹරෙකු විය හැකි දෝ

හිනැහෙද්දී ඔබ හිරු හා
පහසින් මිදුනෙමි උදයේ
නොකියමි විඳි සුව රහසේ
මධු සොරුන්ට ගුම් නගනා

කවිය බලන්න
The Blank Space  -Sithuki Disara

The Blank Space -Sithuki Disara

සිතුකි දිසාරා ශ්‍රී බෝධිරාජ විද්‍යාලය

My steps rush to a court
life awaits to break apart
My eyes struck on a tender love
A couples' dreamed expectations !

Standing before a jury
My eyes stare into his,
"Divorced" no ties abide
If only love was conditional,
Our hearts would still abide

It's fair darling you to leave !
A man to live in a father's dream
For, I'm a blank space

A pause !
Does a mother breaths
only thorough a womb ?

My mother still sits beside a man
A secret within me hides untold.
So guess it's the fate women own
To love a man unconditionally
Though she's never loved so !

Photo credit; Jeremy McGilvrey

කවිය බලන්න
ආලය තුහින වීමය...

ආලය තුහින වීමය...

සුධර්මා වීරක්කොඩි

හීතල වුන හිතක
හිරිගඩු එන්නෙ එලියට
මනසට වියෝ දුක ලග
කදුලු විතරක් සීතල

ඉවර උනහම ගලලම
කදුලුත් සීත නෑ තව
ගල් වෙලා හිතලග
ගුලිවෙයි හිම කුහර තුළ

දැවටෙන නමුදු ලොව තුළ
හැගුමන් නෙවෙයි උණුහුම
පුලුවනිද දවසක
කෝපි සුවදක්ම වෙන්නට

නොවෙයි එය නම් සැබැවින
කෝපිත් නොබී අතහැර
සිසිලේ විදුම අරගන
ආලය තුහින වීමය...

කවිය බලන්න
දුම් කවුළුව

දුම් කවුළුව

තුෂාරි ජයසිංහ මහනුවර

කලෙකින් නගින දුම් රොටු
සිප වැළඳ සියොලඟ කිතිකවා
පිනවයි සිතම සැනෙකින්
ලැබ දී නිරාමිස සුවයක්

සීතලට ගල් වී සිටි දුඹුටු වැල්
එල්ලි එල්ලී චිමිනියේ
පදී ඔන්චිල්ලා
තනාගෙන යොහොඹු යහන්

කරකාර බැඳි පාළුවට පෙම් කර
කිරා වැටෙමින් හිටිය ගෙදරක්
යළිත් පිරෙනවා වළළු හඬෙකින්
පැතුම් බොහොමැයි මග බලන්

මහ ගෙයින් නික්මී
කතර ගෙවා විත් යළිත් ඈ
බත ඉදෙන පමාවට
උණුසුමක් ලැබ දේවී
මොළවමින් ගිනි සිලක්

2024.05.19

කවිය බලන්න
කුමකට මනසෙ දියුණුව කරුණාව නැති

කුමකට මනසෙ දියුණුව කරුණාව නැති

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

අහසට නැගුණු නෙක උස ගොඩනැඟිලි තැනූ
අහසින් පියාඹන සුවිසල් යාන තැනූ
මුහුදේ පතුල දැක මහ සාගරය දිනූ
මනසේ මිනිස් දියුණුව මේ දෙයින් දනූ

මේ ලෙස දියුණු කළ හැකි සිත ඇති මිනිසා
එය නිසි අයුරු නිසි මඟ යොමු නොකළ නිසා
බලගතු ගිනි අවිද නෙක වස විෂ සකසා
මුළු ලොව දිනෙන් දින දමමින් ඇත වනසා

කොතරම් දියුණු කළ මුත් සිත වෙහෙස දරා
එය යහපතට නම් යොමුවී නොමැත තිරා
ඇත්නම් උසස් ලෙස සිත මෙත් කුළුණුබරා
මුළු ලෝකයම සැනසෙනු ඇත සැපත දරා.

කවිය බලන්න
වඳිමු දළදා සිරස

වඳිමු දළදා සිරස

උපාලි අත්තනායක මහනුවර

වලාකුළු බැම්ම උඩ
හන්තාන සුලං පොද
සිසිල් දිය රැලි පහස
ගතකළ හැන්දෑව

සුවඳ දුම් මල් සුවඳ
ඇසෙයි හේවිසි හඩ ද
සිත් සතන් නිවාලන
වඳිමු දළදා සිරස

ලෝදනන් ගේ මහගු
පුදබිමයි වැඳුම් ලද
සමාධී ගුන වඩන
වඳිමු දළදා සිරස

සිරස තුළ සගවලා
පරසතුරු උවදුරෙන්
වැඩමකර රැකගත්ත
වඳිමු දළදා සිරස

රටට හැම සෙත් පතා
පිවිතුරෙන් විසිතුරෙන්
පුදකරයි පෙරහරින්
වඳිමු දළදා සිරස

කවිය බලන්න
කටු කම්බි හරි විසයි මගෙ  පුංචි සමනලිය.....

කටු කම්බි හරි විසයි මගෙ පුංචි සමනලිය.....

උදයංගනී විජේරත්න

මත් බඹරු සැරිසරයි
ඉඟි දෙවන තුරු නොයිඳ
රත් දෙනෙත ගිනි ගනියි
උන් අසල පෙම කොහිද
ලත් සැණින වින කරයි
ඉන් මිදෙනු දුක නොවිඳ
අත් නොහැර නුඹ රකියි
මව් පියන හිත නොරිද...

දුර අහසෙ ඉගිලෙන්න
දුව තවම සියුමැලිය
අර පෙනෙන වැටඉන්න
හරි විසයි සමනලිය
හැර දෙනෙත විමසන්න
දඟ කරන තරුඑළිය
පුර සඳට මියැදෙන්න
ඉඩ නොරඳ සැණකෙළිය....

වැට ඉමෙන් දුර යන්න
ගුණ නැණින් බැබළෙමින්
දැන හොඳින් ඉගිලෙන්න
රුපු සතුන් මැඩලමින්
මුදු ලෙසින් සුපිපෙන්න
ලොව ඉතින් සරසමින්
දුව තුටින් හිනැහෙන්න
මව් පියන් සනසමින්...

Photo Credir ; AARN GIRI

කවිය බලන්න
🗙