නිහැඬියාව​

නිහැඬියාව​

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

මහ පොළව දෙදරවන පරිසරය කලඹවන මහා හඬක් ඇසී මම අවදි වුනෙමි තැතිගෙන කෙසේ බිහි වුනි ද එවන් හඬක්? භූ කම්පාවක්, සුනාමියක්, කුනාටුවක්! බ​ඳු සොබා දහමේ විකුර්තියක් නමුදු එහි නැත මෙවන් බිහිසුණු බවක් කෙසේ බිහි වුනි ද එවන් හඬක්? යුද ගිනි මැද විලාපයක්, මහ පිපිරුමක්! මහ වන මැද කොටි, සිංහ ගෙරවුමක්! නමුදු එහි නැත මෙවන් රුදුරු බවක් කෙසේ බිහි වුනි ද එවන් හඬක්? කෑ මොර දෙන දේශපාලන වේදිකාවක්! චන්ද පොරොන්දුවක්, හතුරු ගැරහුමක්! නමුදු එහි නැත මෙවන් නිවට බවක් අසාධාරණය, අයුක්තිය, අනීතිය අබියස නැගෙන්නේ ඒ මහා හඬ මය හැම තැන හැම විට එකම හඬ නිරතුරුව​ ඒ මිහිකත නුහුලන සුදනන් ගේ නිහැඬියාව​
කවිය බලන්න