ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම
2024 ජනවාරි කලාපය
එදා දිදිලූ අදත් දිදුලන හෙටත් සුදිලෙන විදුහලයි
වසර එකසිය පනහ සපිරෙන දැයේ නියැදුරු පුදබිමයි
රටට කැප වූ දැයට සිතලූ සිසුන් බිහිකළ නිජබිමයි
නීතියේ දෙවඟන නමින් සිසු දැයට දෙන්නේ සැනසුමයි
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna
පටුන
ශ්‍රී ලංකා නීති විද්‍යාලය 150 වන අභිමානවත් වසරට පා තබයි
දෙතන කිරි රබර් කර රබර් කට්ටිය කපන
තේ එකක රස නොදැන වත්තෙ තේ දළු නෙලන
බයිසිකල් එකක් නැතිවුනත් අධිවේග මඟ හදන
කුඹුරෙ වැඩ කළත් අඳයට පැටව් හාමතෙ නිදන
ගෑනුන්ගෙ මිනිසුන්ගෙ කඳුළු දාඩිය පෙරන
අර වලාකුළ...ටික ටික පාත්වී...
ඒ කඳුළු දාඩිය බිංදු බීගෙන බීගෙන බීගෙන
කළුම කළු පාටට ජල වාෂ්ප පුරවගෙන පුරවගෙන
අර ඈත කඳු මුදුන්වල හැපීගෙන හැපීගෙන
කඳුළු පෙරමින් අඬාගෙන අඬාගෙන අඬාගෙන
ඒ කඳුළු සේරම හලයි මහා වැස්සක් ලෙසින
ඝෝර හෙණ හඬ තලා මුරුගසන් වැස්ස මෙන
ඒ මහ වැස්ස.....
නායගිය මහ කඳුද ඉදිමුනු ගං හෝ ද
මූණ පුම්බා ගත්තු වැව් පිටි යටවුනු ගම්බිම්ද
ගසාගෙන ගිය ජීවිතද අඳෝනා වැළපිලිද
දසතින්ම විනාසය රැගෙන රුදුරු නාලාගිරි විලස
ඒත් ...වලාකුළ අඬ අඬා කියන්නෙ...
“ මං කොහොම ඉන්නද මේ බර දරාගෙන.”
කවිය බලන්න
නව වසරට සුබ පැතුමක්
ගෙවී ගොස් තව වසක්
එබී බලයි නව වසක්
පැතුම් මල් දහසක්
ගොඩනැඟී යළි වරක්
සැම නෙතක කඳුළක්
සැම සිතක සුසුමක්
දුක් කරදර ගොඩක්
මැද පැමිණි වසරක්
නැඟේවා මුවඟ සිනහවක්
නිමේවා තැවුල් දුක්
ලැබේවා සිතට සවියක්
නොවේවා කිසිදු විපතක්
කවිය බලන්න
ආසිරි පැතුම්
දිලී තරු මල් පිරුණ සඳ මැද
නිල් අඹරෙ සිරි මැවේවා
මිදී දුක පිරි රෝග සා ගිණි
බියෙන් සැම දන දිනේවා
නිවී යුධ ගිණි ලොවේ දසතම
සාමයේ මල් පිපේවා
නව වසරෙ කවි රස ගඟුලෙ
සැම කිමිදි කිමිදී රැඳේවා
ළඳුන් සීගිරි ලෙනේ පානා
මඳහසින් රාගෙන් මිදී
සඳුන් සුවඳින් කාලිදාසයො
දැවෙන සොහොනේ දුක දැනී
ඉන්දු සයුරේ ඉගිලෙමින් ගොස්
තාගෝර් රස උරමිනී
ලොවේ නන් දෙස ගලන කවි රස
උරමු නව වසරේ රිසී
කවිය බලන්න
කඩුව දුන්නේ ඇයිද මංදා.......
වසා සිරකර ලෙනේ දොරවල්
නුඹ රකින්නට බැරිම හින්දා.
නුඹට පට රෙදි රසම මසවුලු අරන් එන්නට ගියෙමි සැමදා
සිංහබාහුත් සීවලිත් දැන් දවසගානේ වැඩෙන හින්දා
සැකක් නැතිවම හිතේ සතුටින් පලංචියෙ දුක් රහට වින්දා....... :
සදකි නුඹ මට නගරෙ පෑයූ
ගමට ගෙන ගියේ රැයේ කැන්දා
ලෙනේ තනිකර වනේ පලවැල නෙලන්නට ආ අතරේ රිංගා
කැලේ බිදගෙන කොහෙන් ආවද ලෙන් දොරට ඒ නපුරු වැද්දා
මගේ සිහිනය ගිනි තියාලා
කඩුව දුන්නේ ඇයිද මංදා.......
සිංබාහුයි සීවලියි අද මහා කැලයක අතර මංවී
රුදුරු ලෝකය ඇස් අයාගෙන
උන්ගෙ ලෝකය ගිල දමාවි
සවිඋනත් තටු අහස් තලයේ
මග නොදැන උන් පියඹ යාවි
අතරමං වී පාර සොයමින්
එන්න ආපහු බැරිම වේවි. ::...
කවිය බලන්න
ආදරයේ වසරකට
තෙත් කරන් හදවතට වක්කරන මෘදු වදන්
නෙත් වලින් ලියන්නට වෙහෙසෙනා රත්තරන්
මෙත් වඩන් සිනහවට මුහුකරන තොල් පියන්
හිත් තුලින් දැනෙන්නෙම ආදරේ ඉස්තරම්
මත් කරන් ජීවිතේ රසම තැන් එක්කරන්
තත් අතර නාද මවමින් මිහිර එක්කරන්
ලත් දෙයින් සතුට ජිවිතයටම ලං කරන්
අත් බැඳන් පිලිගනිමු මේ වසර ඉස්තරම්
Photo; Pablo Heimplatz
කවිය බලන්න
කනත්තේ නැහැ සොහොන් මිසක් මහ ලොකු පොරවල්
ඉරයි , හදයි එක අහසක දිලිසෙන ලස්සන
මොකටද මේ ජාතිය , රට, ආගම , පාසැල
ඇයි බෙදෙන්නෙ අපි බදාන මේ ලොකු මහ බර
ඉන්නේ අපි එකම ලෝකේ නෙවෙයිද කැරකෙන
කුලය, මලය බේද නැතුව බදින්න බැරිමද
ආදරයට , කරුණාවට පාට තියෙනවද
වෙන්කලාට භාෂාවෙන් සිරිතෙන් අපි බර
ලේ වල වෙන පාට කොයිද රතු ඇර මොනවද
උපදිනකොට අපි අරගෙන එන්නැති ලේබල්
මැරිලා යනකොට පෙට්ටියෙ ඉඩ නැති දේවල්
එතකොට මොකටද මේ ලොකු ගේ දොරවල්
කනත්තේ නැහැ සොහොන් මිසක් මහ ලොකු පොරවල්
බොරු මායිම් , සීමා වැට කොටු ඇද බැන්දට
හිත වටකර වැට බදින්න පුළුවන් කාටද
අමතක කර දාලා මේ නාටක කෝලම්
දාපු දාට දිනනවා අපි නෑ සැක කිසිකල්
Photo; Clément Rémond
කවිය බලන්න
කෙසේ සමරමුද?
වීදි පුරා නේක පාට ...පාට,...
සෙල්ලම් බඩු ඇඳුම් ආයිත්තම්
සාප්පු පිරිලා බලන්න ලස්සනයි
විදුලි රැහැන් ඇදල පාර පුරා.....
සුර පුරයක් වගෙ බැබළෙන්නේ
බෝනික්කෙක් තුරුළු කරන්......
පැටික්කියක් තාලෙට නටනවා සතුටින්
අම්මාගේ අතේ බඩු පිරිල,......
පාර පැන්නේ බොහොම සීරුවෙන්
ලොවෙහි තවත් තැනක
බෝනික්කෙක් තුරුල් කරන්
පුංචි පැටියෙක්,.....
සුන්බුන් අතරින් මතු වීලා,......
ඡේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපන්
බෙත්ලෙහෙම,.......
අද යුද පිටියක් විලා,....
20/12/2023
කවිය බලන්න
The Lost Treasure
No one knows and no one will judge,
What's inside?
Looks pretty worthy.
But no one could take it off,
Unless it's the heritor.
Believe in your eyes, it's you!
You missed it for some time,
Even without a glance.
And for some reason.
Who's responsible?
And what's responsible?
No one knows.
Gems, Diamonds, and Pearls...
A reminder!
They're not just materials.
A glimpse,
Rich with beauty and it glimmers.
And it's she who nature offers!
Pure love.
Virtue than everything.
How to own?
Can be paid by nothing.
Just go for it because,
The devil won't give you anything!
Roar for the glory,
It's time to release your pressure!
Roar for the glory,
Victory is my only pleasure!
Roar for the glory,
And then you'll find THE LOST TREASURE..!
Photo - Buvanesh Gupta
කවිය බලන්න
පාට දිය වුණි රෝස කුසුමක.!
අමාවක පුර පෝය හදකට
පෙමින් බැඳෙමින් මා හදේ උමතුව
දිනෙන් දින නුඹ රුවත් නොදැකම
අහස් කුස් තල සිඹිනුයේ කිම ?
ඇනුණු හද නුඹෙ තියුණු කටුවල
නොවේ පෙති අග දෙතොල තැබුමට
ගොතා නිම කළ හැගුම් පදවැල
ගසා සරසමි නුඹේ හිස මත.
බිළිදු වෙස් ගෙන දෑස් අභියස
කදුළු ඇයි මේ දෙනෙත් තෙත් කළ
ටිකින් ටික මුතු පුංචි කැට ලෙස
කඩා වැටෙමින් මගේ උර මත
එතෙක් නොදැනී තිබුණු පෙමකට
පාට දිය වුණි රෝස කුසුමක.!
කවිය බලන්න
කූඹියාගේ අයිති ය
කූඹියා කවුද
උගේ අයිති ය කුමක් ද
කොහි ද
ඌ කුඩා හෙයින්
කවුරුවත් නොසොයති
නොතකති
නොබලති
හැමගේ පයට
පෑගී යන්නට නියමිතය
දූවිලි වැනි ය
පෑගෙනා විට
ආපසු හැරි කෑවොත්
සීනි බෝතලයට ලං වුනොත්
නිසි දඬුවම් ය
දඩ ගැසුම් සිරගෙවල් වැනි
සිල්ලර දඬුවම් නොමැත
තලා පොඩි කර දමනු ඇත.
වරද සුළු වුව
දඬුවම උපරිම ය
ඒ කුඩා වීමේ ඉරණමයි
උන් රංචු ගැසුනොත්
බලකොටු අවුල් කළ හැකි
බලවතුන් සිහි විකල් කළ හැකි
ඒත් කෙටි කලකට
උන් ගෙනා කල
උන්ගෙ මිසයිල
රංචුව ම අලු දූලි වනු නියත
ඒ නිසා
නෑ වගේ ඉන්න එක
කොයිකටත් හොඳ ය
මේ කූඹි කථාවයි
උන්ට හිමි තැන
උන්ගේ අයිති ගැන කථාවයි
ධර්මයේ හැටියට කර්ම යයි.
කර්මයේ හැටියට නං
ගෙවා ම ඉවර කළ යුතු ය
උන් මෙලොව උපන්නේ
සමාන අයිතියක් ඇතිව ය
එහෙත් වැඩි බලය ඇත්තෝ
කූඹියා මායිම් නොකරති
සමාන අයිති ය
අසමාන වූයේ එහෙම ය
කූඹියා යහතින් ඉන්නනං
නොපෙනෙන්න සිටි ය යුතු ය
කරන දේ නොපෙනීම කළ යුතු ය
උන්නත් නෑ වගේ සිටිය යුතු ය
මා පිය සබඳ
ඔබ කැමති තැනකට
මේ කූඹි කතාව
පෙර'පර ගලපන්න
කූඹියෙක් වුණත්
අලියකු වණත් වෙනසක් නැත
ඒ අලිත් කූඹි වන
වෙලාවල් -තැන් ඇති හෙයිනි
14-05-2023
කවිය බලන්න
පරණ තනු වයන........
සුපුරුදු වැතිරීම අහෝ මේ මට දැනෙන
බොරලු මුසු වැලි පොලව
වැතිර ගමි පුරුදු ලෙස
සිනාසෙයි කැනිමඩල .
එයිනුත් නොනවතින ඕලාරික රිදුම
වැතිර ඇත මා මතම
ඒ සුදු පාට කරමලය
හැමදාම එකම ලෙස හඬලා පිටව යන.
වීනාව සුසර කරණට නොදැන
කුමට අත පත ගා නිතර පසෙකින් තබන
හැමදාම එකම තනු වය වයා පිටව යන
වයන්නට ස්වර නොදැන කුමට ගත්තාද බැඳ.
ඉර බැස යන්නටත් ප්‍රථම
පටන් ගෙන වයන්නට තනු පරණ
වයා ගයා අවසන මොහොතකින් පිටව යන
ගාන්ධර්වය ඉතින් නාවට කම් නොමැත.
එකම වැයුමන් අසා එකම රැඟුමන් බලා
හිරි වැටී ඇතිය මෙ ගත.
Photo; Alice Alinari
කවිය බලන්න
කිඹුල කනවට වඩා
කිඹුල කනවට වඩා අසීරුව
කොහිල කටු ඇනෙන විට තමයි
ඔබෙ ඉතා සියුමැලි වෙනස් කම්
මගෙ සිතට දැනුනෙත් එහෙම මයි
අකුණු හඬ අසා සිටියත්
මදුරු කුරු කුරුව අමිහිරියි
අළු යටම ඇති පුපුරු මැද
ටිකෙන් ටික ඔබ මා දවයි
බොහෝ සේ විඩා බර සිතක
හැඟුම් සමුදාය රැළි නගයි
නෙත් විලේ දෑල තෙරපා
කඳුළු සේ රූරා ගලයි
වැටෙන බර කඳුලකි න් මිහි තලය
ඉරි තැලේදෝ මට බයයි
කඳුල පිසදා හැරියත්
ඒ දුක්ඛ නිරෝධය නෙමෙයි
Photo; Gaetano Cessati
කවිය බලන්න
නත්තල බෙදාගැනීමයි
ඇයිද සොයනුයෙ ජේසු බිළිඳා අතර සූරුවම් ගවලෙනේ
ඉපිද එතුමන් ඔබගෙ හදවත ඇතුලෙ නොවෙදෝ නැවතුනේ
ඔබද එහි සුව යහන සැදුයෙන් බිළිඳු සතුටින් සැතපුනේ
නිබඳ කෙනෙකුගෙ දුකක් දුටුවිට ඒ නිසයි ඔබ වැළපුනේ
කුසට අහරක් නොමැති බිළිඳෙකු ඉකිගසද්දී ඇහැරුනේ
ඔහුට අහරක් ලැබෙනු දුටුවිට නැවත නින්දට පිවිසුනේ
සිඟිති දරුවෙකු සිනහ හඬටයි සිඟිති ජේසුන් නැලවුනේ
ඔබයි පිබිදුවෙ එම සිනාවන් ජේසු බිළිඳුට සුවදැනේ
නොයෙක කරදර විරැකියා ලෙඩ දිළිඳුබව දැක බියවුණේ
දුබල අයෙකුට දෑත දිගුකළ විටදි බිළිඳුන් හිනැහුනේ
ඔබම ගවලෙන වුණ නිසාවෙනි සුදුපවුල එහි පැමිණුනේ
කරන යහපත වල්ගතරුවක් විලස ඔබ මත බැබලුනේ
තනිව නොමවිඳ බෙදාගත් තරමටයි නත්තල ජයවුනේ
ලැබෙන හැමවිට කරනු යහපත දයා කරුණා වඩමිනේ
කුමරු ජේසුන් වැඩ හිඳීවා ඔබගෙ සිත තුළ සැමදිනේ
සොඳුරු මිනිසෙකි ඔබ දිනේවා දේව ආසිරි ලබමිනේ
කවිය බලන්න
තවම ඔබෙ වම් පසින්
හීන් කෙදිරිලි හඩයි
දස අතේ පැතිරුණේ
වියපත් වු ප්‍රේමයයි
නෙත් අගින් බේරුනේ
සොදුරු මල් කම් දෙකකි
ලොවක් මැද දිලිසුනේ
වාරු නැති අත පයයි
සීතලට වෙව්ලුවේ
පසු කරන් ආපු මං
සොදුරුයි ද මොන තරම්
අපිට අපි
ඒ වගෙම
ආදරෙද
කොයි තරම්
මග හැරුණු
අත ඇරුණු
අය සිටින මුත් කෙතෙක්
තවම මම සිටිනවා
මැණික
ඔබෙ වම් පසින්
Photo; Lucas Cleutjens
කවිය බලන්න
වහං කල කළු පැල්ලම
රුදා දෙන හැඟුම් වුව නොපෙනෙන්න සඟවලන
හීනයක් තිබුනනම් දරුපෙමයි දළුදමන
තණ තලා දෙපයකට නොගැටෙනා දිවි ගමන
දවසේම පොරබැඳුවෙ ගල් වලෙහි ගත දවන
අසීමිත රතුරෝස පාළු සොහොනට මත්තේ
පිපෙන වග මා පමණි හදවතින් දැන ගත්තේ
දිවි මගේ ගිමන් බිඳු නිවන්නට හද චිත්තේ
ජිනේගේ සුවඳ මුසු වාරැල්ලටයි ඇත්තේ
අනෝරා වැහි මැඳින් ගලා යන බොර වතුරේ
ටිකෙන් ටික යට වුනා පැල්කොටෙත් පැති හතරේ
හූ හඬක් නොනැගෙන්න ගිගුම් හඬ නැඟි අතරේ
නඩුකාර ස්වාමිනෙ දරුව නිඳි අඬ අඳුරේ
රතුපාට ලොවි සමයි ඇස් දෙකම බීමතින්
බලු තඩියා දඩමසක් දුටුසේය හාමතින්
ගොඳුරු කල බේරෙන්න උගෙ ගොරෑඩි අත් මතින්
සාවියක දැඟලූ...වේ ගැලවෙන්නමයි ඉතින්
දරුපෙමට කිරි පිරිණු දෙතන මත වහ වටිලා
උමතුවෙන් වියරූ වී හූරමින් හපකරලා
එච්චරයි මට තිබුනෙ රෙදි කඩත් ඉර දමලා
උයන මැද පිපෙන මල දැමුවෙ පොඩි කර තලලා
යදම් බල බිඳිද්දී ලෝගුවෙහි බොත්තමක්
බැතිබරව රැක්කමුත් ,වටිනකම බිංදුවක්
කාසියෙන් වහංකර කළු පැහැති පැල්ලමක්
ස්වාමිනී! වැලලුවේ ජීවිතයෙ වත්කමක්
නීතියත් වල් වැඳී නියම තතු වැළලෙද්දි
ලෝගූවේ ශුද්ද හඬ නැහැ එයත් බොල් වෙද්දි
ඇස්පියන් ඇරුණනම් කලියුගයෙ මේ වෙද්දි
දකින ලොව පැහැබරයි "දෙව්දුවනි"! හෙට වෙද්දි
Photo: Simran Sood
කවිය බලන්න
උගතමනා ශිල්පය...!
පරිණත වන්නෙ මිනිසා, කියවීමෙන්ලූ...
අපෙ සිත එයට හුරුවන්නේ පිනකින්ලූ...
පොතපත කුඩාවුන් හට ලැබ දීමෙන්ලූ...
යහපත පල දරා බිහිවුනෙ උගතුන්ලූ...
දැකුමට ලොවක් ඉවහල් වන්නේ පොත් පත්...
සිතුමට පැහැදිලිව සකසයි මොල බොහොමත්...
පැතුමට ඉහළ නැගුමට, රුකුලකි යහපත්...
රැකුමට දරු මනස දියයුතු මේ ඔසුවත්...
සෙල් ෆෝනයේ ආගමනෙන් වූ හදිය...
ගල් පිලිමසේ ඉඳ ලබනව නෙවසුදිය...
සල්ලිය , කාලෙ ගිල දැමුවත් එම ලැදිය...
හිල් බඳුනකට දිය දැමු සේ, තව මදිය...
පොත් කප්පරක් තිබුණත් ගෙයි පල නැතය...
සිත් තුල නොමැති නම් එහි අන්තර්ගතය...
වත්කම ලබන දැණුමයි, මතු සම්පතය...
නැත්නම් පිහිටකට එන්නේ කොලපතය...
Photo from the Internet
කවිය බලන්න
විප්‍රවාසික සිතක්...
නෙළුව පැරකුම් පිළිරු අභිමන දුටුව වැව් රළපනාවේ
රළුව දැනුනිද "ලිබර්ටි" ලදගේ මුවග ඇඳි මුදු සිනාවේ
කළුව තවරා කොළඹ අහසෙන් නික්ම වට වන්දනාවේ
සිළුව හිරු පහනෙන් පෘථිවි ගෙයි බිතක්කන එළි වුනාවේ
අයා නෙත් ඇසු රොකී කඳු සොඳුරුද නමුණුකුලටත් වඩා
නොයා හුරු මං මිඳුනු ගංදිය මිසිසිපියෙ නොනිවයි විඩා
තියා එමි "මැන්හැටන් "පාලමෙ ආරුක්කු නවයම කඩා
සොයා සත් සිඳු තම්බපණ්ණියෙ වෙරළ සිඹ රළ එයි හඬා
වීදි සැනකෙළි නදුනුයන් සිරි මගැර නෙත ගම ලොබ කළා
පීදි ටියුලිප් පීරමින් පෙත් මගේ වනපස මල් නෙළා
සේදි සඳවති නයගරාවෙන් පනිනු දුටු සිතෙ කළු වළා
ඈදි ගෙන ඇති මිදුලෙ මහගෙයි ඇය රටා පැදුරක් එළා
සෑය කොත බෝ සා මඩුලු රත් ළපලු සිල් සුවඳක එතී
පෝය නොවුනත් සුමන දෙව්රද සමනොළට වඩිනව ඇතී
පාය සත් කුඹු හිම පියසි මත දිලි විදුලි මල් කැන් පෙතී
නාය ගිය දිවි හීන කඳුවල ඔප දමයි ශේෂ වු පැතී
හිරු ගෙනා ඒ වසත් සුරුසුව ගිම්හාන උණුහුමෙ ගැටී
නිරුවතේ බඳ ඉපල් අතු ඉති ශ්වේත පිළි හැඳ හිම කැටී
තුරු ලිහා දැමු "ඕක්" පත් මත ජීවිතේ ඇති මඟ වැටී
හුරු අයිස් මඟ සුදු තලෙළු කළු පා ලකුණු සම වෙන හැටී
ඉබාගාතේ යනෙන කඩිමුඩි නාඳුනන අය දෙඩු මුසා
හඹා යන මනුසත් කුලේ එක යායෙ හිනැහෙද ලොව වසා
නොබා එනු සංක්‍රමණ විහඟුනි නෑ සියන් සුවදුක් අසා
සොබා මව් දිවි දරා හිඳිනුයෙ ගෙවෙන සෘතු යළි එන නිසා
අසම පීඩනෙ ගල් අඟුරු මිනිරන්ව දියමන්තිය කෙරු
එකම කාබන් අංශුවම සැදු අණු තුනක් බැව් දැන හුරු
අරුම අතැඹුල විශ්ව ගම්මානයක තතු මැව් පත්තිරු
තවම සගවත් වර්ණභේදයෙ පුලිඟු ගිනිකඳු නොපිපිරු
වනන මානව විවිධත්වයේ අසිරි පෑවත් නෙක කොඩී
ගැහෙන ලයකට විප්‍රවාසික නොරට හුස්මත් බර වැඩී
නොයන වග හෙට පැටව් අපි ගිය බොරළු මඟ නැති මිරිවැඩී
කොතැන වුව තැන ගල් අඟුරු මිහි ගැබෙහි දියමන්තිව වඩී
Photo by Chamika Jayasri
මේරිලන්ඩ් , ඇමරිකා එක්සත් ජනපදය
කවිය බලන්න
සඳ හා හිරු...
සඳ ඇයි අහසට නැගී..
තරු වටකර පොපියමින්..
ඉඟිබිඟි කර බබලමින්...
රැඟුම් රඟයි වෙලී පෙමින්...
පොදි කරගෙන හද පැතුම්...
නෙත් අයා බලා ඉඳිම්..
නිසල සඳට පෙම් බඳීම්....
දැව්වත් හිරු උණුසුමින්...
දුක් තැවුල් නිවාලමින්...
රැක්කත් මා සෙනෙහසින්...
පතනෙමි සිසිලස සඳෙන්...
සිටියත් හිරු පායමින්....
කවිය බලන්න
අප්පච්චි
සක්කුළු පව්වටත් වැඩිය බර ඉසිලූ සඳ
ගතේ රිදුම් හිත හයියට අමතක වෙනවද
ජීවිතයම අපි වෙනුවෙන් කැප කළ පිං කඳ
අප්පච්චිට ගැලපෙන කවි ගොතන්නේ කොහොමද
වෙහෙසක් නොම පෙන්වාලා කරුණාවෙන් දයා
ජීවන මඟ පිහිනූවා අපි කර මත තියා
සෙවනැල්ලක් වගේ ඇවිත් දුනි ජය මං සොයා
සංසාරේ දවසක නිවනින් සැනසෙනු පියා
දරු සෙනෙහස හිත තුළ පුරවන්නේ
උන් රජ කෙරුමට වෙහෙස වඩන්නේ
නොකා නොබී දිව රෑ වෙහෙසෙන්නේ
කවදද පියවරු මතු බුදු වන්නේ
නෙත් සේ රැක්කා කළසිට හිච්චී
අහක බැළුව දවසක් නෑ නිච්චී
නොනිදා තුන් යම වෙහෙසම වෙච්චී
දැං ඇති නවතිනු මැන අප්පච්චී
අතේ සතේ නැතත් හිතේ වීරිය වඩලා
පුතේ කියා සිනා සුනා හිස අතගාලා
හිතේ සතුට ලැබ ගණු මැන නිවන් ලබාලා
මෙතේ බුදුන් බුදු වන සමයක ඉපදීලා
හෂාන් සම්පත් සමනලවත්ත ✍️✍️✍️
කවිය බලන්න
මේ මොහොත
වසර ගණනක් තිස්සේ
බොහෝ සේ වෙහෙස වී, දුර ගෙවා විත්
මේ මොහොතේ
ඔබ සිටිනු ඇත
ඔබගේ කාමරය මැද,
නිවස තුළ
අක්කර භාගයේ
වර්ග සැතපුම ඇතුළත
දූපතේ, රටෙහි
අවසානයේදී ඔබ එතැනට එළඹුණු අයුරු
මනාව දැනගෙන
කියනු ඇත ඔබ
“මෙය අයිති මටයි”
මේ මොහොතේම
වෘක්ෂයන් තම මුදු දෑත්
ඔබ වෙතින් මුදාගෙන
විහඟුන් තම හඬ නැවතත් තමා සතු කරගෙන
කඳු මුහුණත් ඉරි තැලී බිඳ වැටී
ඔබේ හුස්ම හිර වන සේ
වාතය දිය රැල්ලක් සේ ඔබ වෙතින් ඉවත්වනු ඇත
‘නැත’ ඔවුන් මුමුණනු ඇත
‘ඔබට කිසි දෙයක් අයිති නැත
සදාකාලිකවම
ඔබ අමුත්තෙක් පමණි
කඳු තරණය කර, ජය දද නංවා ඔද වැඩුවද
අප ඔබට අයිති වූයේ නැත
ඔබ අප ව සොයාගත්තේ නැත
හැමවිටම සිදු වූයේ එහි අනිත් පැත්තයි’
Translation of the poem ‘The Moment’ by Margaret Atwood
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
සුප්‍රකට කතුවරියක්, කිවිඳියක් වන Margaret Atwood 1939 දී කැනඩාවේ උපන්නියකි. මේ වෙද්දී ඈ නවකතා, කෙටිකතා, කාව්‍ය සංග්‍රහයන්, සහ ළමා පොත් ආදී ග්‍රන්ථ සියයකට වඩා පළ කර ඇත. Margaret Atwood තම නිර්මාණ වෙනුවෙන් සම්මාන රැසක් ලබා ඇති අතර Handmaid’s Tale වැනි ඇගේ නිර්මාණ චිත්‍රපට බවටද පත් කර තිබේ.
Photo- by James Bishop on Unsplash
කවිය බලන්න
පියෑඹීම
වේගයෙන් පියාඹන කුරුල්ලා කියන්නේ මොනවාද?
මේ පියෑඹීම සතුටක් බවද?
නැතහොත්
අධික ලෙස කුසගිනි බවද?
එසේ නැතහොත්
සතුරෙකු පිටුපසින් හඹා එන බවද?
Photo: Raza Ali
12- 12. 2023
කවිය බලන්න
The Sparrow
Over the fields of greenery, I fly
In amber and turquoise, and sleek blue sky
In rain, in sunshine and over the zenith
The marvels of nature I see there, beneath
In full spread I let my wings sail
Over the plains, through valleys and gales
Tiny and soft, like a virgin’s veil
The streams roam by, in mountain trails
In mauve, white, scarlet and yellow
The trees are in bloom in winding willows
At times it’s bright and at times it’s grey
A theatre of art, the sky is, I may say
The swaying corn fields, a brush stroke of gold
The up roaring hunger, though hard, I hold
For, beauties fade away soon, I am told
I go on and on till the day gets strewn and old.
කවිය බලන්න
නික්ම යාම
නික්ම යමි
අබිනික්මනක් නම් නොවේමැයි
නැවත එමි
නිදහසක් ඇවැසිය මට
මද කලකට
ඔබට ද එය
ඇවැසි බැව් දනිමි
මැද මහ වන
පැන් පාසු තැනෙක
හිඳ රුක් මුලක
විදා දෑත් දෙපස
හිඳින්නට රිසියෙමි.
නිල් අහස් කුස දෙස
නෙතු විදමින්
සිතිවිලි ගනිමි
එක තැනකට
මිදෙමි සියලු ගිහි බැමි වලින්
එහෙත් මා තවුසෙකු නොව
යළිඳු දිව එමි
කුටුම්බය වෙතට
ප්‍රියයි මට
ඔබ හා විසුම
එහෙත් ඇවැසිය මට
නිදහසක්-විටින් විට
දනිමි එය ඔබටත් ඇවැසි බව
නොගියත් දමා කුලගෙය.
2023/12/22
කවිය බලන්න
අලුත් දිනපොත
ආයෙමත් අලුත් දිනපොතක්
පැරණි මතකම
අලුත් කර කර ලියන්නට
මේ දින පොතෙත්
ඇතැම් පිටු හිස්ව තියේවි
ඇතැම් පිටුවල ඉඩ මදි වේවි
හිතේ ඇතිවන දේ
ලියවෙනවා කිව්වාට
නොලියවෙන බොහෝ දේ තවත් ඇති
කවුරු නැතත්
සිතුවිලි අහන දිනපොතක්
හිත හිස් කරන්නට අපූරුම තැනක්
Photo: Boolblock
කවිය බලන්න
අප්පච්චි
වැලක්... ගහ කොල ඔතා ගත්තට
ගහට නොව... වැඩි උනේ බර
යන්න දී අතු අග... රිසි ලෙස
සුරැකුවා... පියෙකුසේ වැල
දිනක් එයි ගහ... වසාගෙන වැල
එදත් සිනාසුනා... දැක වැලේ මල්
දිරා ගියත් ගස... නොවේ අහිතක්
උනා පොහොරක් මිස… හැදෙන්නට වැල
ගස නැසූවත්... යම් දිනක වැල
ගසක් නොව කිසි දින... නසන්නේ වැල
ඒ වගේ පුත... සෙනෙහේ පිය
ගියත් වයසට... රිටක් උවලෙස
බදයි පොර... රැකුමට දරු කැල
දන්නේ නෑ නුබ... පිය සෙනෙහේ පුත
දුවයි සම..මස්..ඇට..ඇටමිදුලු සිඳ
එවන් අසරණ... පියවරුන් අද
කොතෙක් ඇතිදැයි... අසරණව අද
Photo Lora Ninova
කවිය බලන්න
මට හිතෙන ආදරය
මට හිතෙන ආදරය
මට දැනුනෙ අද තමයි
කනට කිති කැවෙන මද
සිනිඳු හඬ වැකුනමයි
මට දැනුණු ආ හැඟුම්
හිතට වැඩිවෙන හැඩයි
ඒත් මට කසාදෙට
හිතක් තව නැතුවමයි
සඳ ඇවිත් ඝන අඳුරෙ
සොමි රැයක ඉඳ ගනියි
කඳුලු පිනි වැටෙන හඬ
විටක පපුවට දැනෙයි
මට දැනුණු ආ හැඟුම්
හිතට වැඩිවෙන හැඩයි
ඒත් මට කසාදෙට
හීතක් තව නැතුවමයි
මට මගේ මව නැතුව
පුංචි අම්මා ළඟයි
මව් සෙනේ දැනෙන ළඟ
කිට්ටුවට නෑකමයි
නුඹ අරන් ආ දිනක
ඉන්න තැන සැක තමයි
ඒත් නුඹෙ කසාදය
නොකර බැරුවා තමයි
කවිය බලන්න
දෙමු දැඩි පහර කවි පෙරලා අවියකට
හෙලයේ කවිය සහ හෙලකම රකින්නට
වෙහෙසෙන අයට දුක්පීඩා නොවන්නට
ලන්ඩන් කවිපොතෙහි කවි කිවිදියන්හට
පතනෙමි නව වසර සතුටෙන් හිදින්නට
සුභ පැතුමන් පුදා සුභ නව වසරකට
නෙත සිත යොමු කරමු මව්බිම වැසියනට
උන් පෙලනා නරුම දෙස්පාලකයනට
දෙමු දැඩි පහර කවි පෙරලා අවියකට
එදවස සින්හලේ නම පරසිදු රටට
සිදුවන විපත දැක දැක නිහඩව නොසිට
සුන්දර හෙටක් බිහිකෙරුමට සිරිලකට
අපි පෙල ගැසෙමු සමගිව නව වසරෙ සිට
මව්පිය දෙපල සේ මව්බිම පන සරිය
මව්බිම නොරැකි නම් ප්‍රතිඵල අමිහිරිය
රට දැය රකින අයහට වඩමින් විරිය
ලන්ඩන් කවි පොතෙන් අපි ගෙනදෙමු දිරිය
බටහිර යුරෝපය හා ඇමෙරිකාවට
මුදලට යටවෙලා පාවා දෙමින් රට
කටයුතු කරන අය ලග කොදු කෙලින් කොට
හිටගමු සැවොම එලබුනු නව වසරෙ සිට
කවිය බලන්න
කැලැන්ඩරය
හැම දිනකටම වෙනස්ම අරුතක් සුවදක් ගෙනෙන
කොලයක් ගිලිහෙන හැම මසකම
අලුත් අදහස් අරගෙන එන
නැවුම් බලාපොරොත්තු ගොන්නක්
හැම දිනකම ගෙන දෙන
පිටුව පුරා ලගා විය යුතු අරමුණු ලියවෙන
සදහන් නොවෙන සිදුවීම් සමුදායක් එක්ක
මේ නව වසරෙත්
අලුත් කැලැන්ඩරයක් මේසය මතට ඇවිත්!!!
Photo; Maddi Bazzocco
කවිය බලන්න
දැවෙන සුළුව 💔
සුරාවෙන් මත්ව
නුරාවෙන් සලිතව
නිශාචර අහස යට
සොයමි පහසක්
වීදියේ කෙළවරක
පහන් කණුවක් යට
දැවෙන සිළුවෙන් සලිතව
සිහි නොලද වූවෙකු
තිරිංගත් නොමැතිව
ළං ළංව එඹෙමින් මුවට
කඳු නිම්න සානු පසුකොට
රති සයුර කළඹන
මෘදු පහසෙ ගිළුණෙමි
ගමන අහවරව
නික්මෙන්න මොහොතකට පෙර
දුන්නු පහසට ගෙවුම, ලද විගස
කාලෙකට පෙර මඟහැරුණු
එකම කුස උපන් කුසුම
මාව මඟහැර මොණරකොළ සිඹින විට
වැසි නොමැති ගිණි අකුණු
හදට වැදිලා පිපිරිණ
Photo; Jéssica Oliveira
කවිය බලන්න
අම්මා!!! ආචාර්ය ලක්ෂ්මි දමයන්ති
දස මස කුසේ අදරින් රැක ගනිමින්න
නොවිඳින දුකක් විඳ මා මෙලොවට දුන්න
කුස ගිනි නිවා දෙතනේ කිරි පොවමින්න
අම්මා වඳිමි දෙපතුල ළඟ වැටෙමින්න
මතකයි කුසට අහරක් නැති වුවත් නුඹේ
මුට්ටියෙ ඉතිරි බත් රඳවනු අපේ මුවේ
බඩගිනි සඟවමින් හිනැහුනු නිමේෂයේ
උගුරෙන් පහල යන බත හිරවුණා මගේ
අවිහිංසක හිතට සැනසුම ගෙන දුන්න
හැම විට දියණියන් දෙදෙනා කරපින්න
උන් වැජඹෙන අයුරු රස කර කියමින්න
මහ ලොකු කතා ආඩම්බරයෙන් ඔන්න
අක්කා හොරු අරන් ගියාම අකල් යම
ඔය හිත හිර වුණා කඳුලක මහා බර
අදටත් හොරෙන් හැම රෑකම අඬන හඬ
මගෙ කඳුලුත් එක්ක මුසු වෙනවා නිබඳ
මොන දේ කලත් දුන්නත් මට නම් මදිය
නුඹෙ සිනහව රකිමි මගෙ මුලු දිවියෙන්ම
සසර නිවෙන තුරු මට අම්මා වෙන්න
තව දේ කරන්නත්, දෙන්නත් අදරින්න
බින්හැම්ටන්, නිව් යෝක්
8 දෙසැම්බර් 2023
කවිය බලන්න
සඳක් පායා එළිය කල දවසේ...!
සඳක් පායා එළිය කල දවසේ...!
හිරුත් හිනැහේ පසු දිනට පෙරසේ..!
ලොවක් හැඩ කල.
හිරුත් ඔබමය..!
සඳුත් ඔබමය..!..
එකම ආකාසේ..
දිළෙන හිරු දවසේ...
සිසි කිරණ වැද ගිලී යයි අහසේ..
සැඩ සුළං හමුවේ..
මල් පිපෙයි සුවසේ...
බඹර තුඩු අග රිදුම මලකට...
එමල නිහඬව දරා ගනු ඇත..
ඉවත ලන පර මලක සුවඳක් සේ..
නිවි නිවී තරු දිලෙන ආකාසේ....
රුසිරු පැහැසර නිවාලනු කෙලෙසේ...
අමාවක ගනඳුරට තනිරැක ...
වලාතිර සළු උනා දමනට..
සඳට හැකිවේනම්..
කෙසේනම් ඉවසනුද හොර රහසේ..?
2023.12.27
Photo ; Luca Iaconelli
කවිය බලන්න
කුස - ලා - ණය
කෙනෙකු පරදා
කෙනෙකු දිනනා
තරඟයක වැද
වෙහෙසුණා
ලෝකෙ එක ගෙන
ශෝකෙ කොටසක
තියා පිටියෙන්
පිටවුණා
මේක බල බල
ගේක ඉඳගෙන
බෝලෙ ගෙදර දි
ඇහුලුවා
රූප පෙට්ටිය
කීප විටක දි
රටේ බඩු මිල
වැඩි කළා
කවිය බලන්න
ඔබ සැමට සුභ නව වසරක්
24 වසරට
සාමයේ අරුත දුන් කිතු රදුන්,
සමග ලැබු නව වසර සමරමින්!
ලොව එකම මගුලක්සෙ සරසමින්,
රස අහර මී විතද විඳ තොසින්,
විදුලි බලයෙන් අවට සරසමින්
මිල අදික ඇදුමින් ම සැරෙසෙමින්
දරු කැලම මෙම දිවියෙ හැසිරෙමින්
සිටි, දනන් හට දැනෙනු සෙනෙහසින්,
සෙසු දනන් සිටින වග අවට දැන්,
කුසගින්න දැනෙනමුත් ඉවසමින්
විලිවසාගන්නෙ රෙදි කැබැල්ලෙන්
රෝග පීඩා සුවවෙන්ට කෝ ඔසුන්?
විනෝදය වචනයට සීමා වෙමින්
ඉහල යන මිල ගණන් දැනෙන උන්
අහර හිඟ නිසා කය දුබලයෙන්
වැළදගෙන ඉන්නෙ මේ මරුබියෙන්
සියලු සැප විදින පෙර කුසලයෙන්
තමයි ඒ පින යොදනු හද තුලින්
පතා මදි, සියල්ලට සැප ලැබෙන්!
කරමු යම් දෙයක් ඔබෙ ධන යොදන්
නිවන්නට දැවෙන ගිනි කඩිනමින්!!
කරමු විප්ලවය ඔබෙ ධන බලෙන්
අප සැවොම එක ලෙයින් නිමවු උන්
සිතා ඔබ සැවොම සැනසෙනු හදින් !
Image;
Kajaten Sumila
කවිය බලන්න
පැතුවද කිරි ඉතිරෙන වසරක් හිමිය බදු පිරි විසි හතරක්..
දුරුත්තේ සීතල නොදැනේ
දුක් ගිනි හැම සිත් දැනුනේ..
කිරි මිල අහස් උස
දරුට නැත පොත පත
පෝෂණය අවමය
දරුවන් හැම කෙසගය..
බෝ..ළූණු මිල ඉහලයි
එළවළු බතක් නොපිසෙයි
මස් මාළු රස නොදනියි
මෙහෙව් වසරක් දැන් ඇරඹෙයි..
ඇති නැති හැම කෙනෙක්
එක ලෙස නිරුතු නයවී
රටම ලොවට දුප්පත්වී
එමග යන වැසි දොම්නස්වී..
ආදායම් මං ඇහිරිනි
ජීවිත සටන ඇරඹිණි
සොර බිය දෙගුණ විය
නව වසර එලබිනි..
මෙලෙස කෙලවුනු මුතු ඇටයට
හතලිස් අට වසරෙ එයි හොඳ කල
පාලකයින් වෙතින් වහසිය බස
හුදී ජන හැම වෙයි සුසුමක..
දුරුත්තේ සීතල නොදැනේ
දුක් ගිනි හැම සිත් දැනුනේ..
පැතුවද කිරි ඉතිරෙන වසරක්
හිමිය බදු පිරි විසි හතරක්......
කවිය බලන්න
රැවටීම් ! රඟපෑම් ! ඉවසීම්
රෑක මහ සතපවා දෙනෙත නිදියන පැයට
සීත හිම ගිරි හිසක සිහිනයක වී මැදට
පාට දේදුණු මැකී අසිනි වැහි එන කලට
තාම මම හිතනවා කුමක් වී දැයි ලොවට
කතා කිව්වට නිතර ගොතා සමහර සොඳුරු
හිතා බැලුවම හුඟක් කළේ දේමයි නපුරු
බලා ඉන්නෙම ලෙසට කිඹුල් සේනා රුදුරු
කඩා හිත කැබලි කර ගන්න විලසට ගොදුරු
පලා යා නොහැකිවී රිදෙද්දී තුන් සිතම
හමායන සුළඟටත් කියමි වළඳන දුකම
පතාගෙන යම් දිනක ළහිරු එබෙතැයි සුබම
ඔහේ ඉමි ඉවසගමි අඳ බිහිරි ගොළු ලෙසම
කවිය බලන්න
මගේ ආදරය
ආදරේ කැටි කරමි රූපෙක
අඳිමි මම එය ඈත තරුවෙක
හුදෙකලාවේ සිටින මොහොතක
ඈත අහසට යොමනු මැන නෙත
වලාකුළු සළු අඳින අහසක
තරු වැසී නොපෙනෙනා මොහොතක
යළි ඔබේ තනි කම මකන්නට
ලියන්නම් කවි වලා පෙළ මත
ආදරේ නම් තව වෙලාවක
සියුම් ස්වරයකි නැගෙන තාලෙට
කන් යොමනු තනිවූ ඇසිල්ලක
දිග ඇරෙන මීවන ළපල්ලක
ආදරේ තව වෙනස් රූ ඇත
ගලන ගඟුලක, සයුරු රැල්ලක
කිසිම අඩුවක් නැතුව ඔබ වෙත
ගලා විත් ඔබ සිත තෙමනු ඇත
කවිය බලන්න
නිශාචරයන්ගේ රහස්
රෑ බදුල්ලන් අඳුර මැද්දෙන් සොයද්දී
රස පහස්
මෝහිනියනුත් සැංගුවා තම සළුව යට
ලොකු රහස්
පාරිශුද්ධයි ධවල ධඡයෙහි රතු ලකුණ
හරි උසස්
පාද සෝදන් ගෙට ගත්තවුන් රකිනවා
බක තපස්
කර අඹනවා නම් හොඳයි ඒ උන්ගෙ නිවනට පවස්
හණ ගසා හෝ එකම ඇඳකම ගෙවනු හැක සැම දවස්
ගැහැණු පමණද වරදෙ බැඳුනේ මුවෙ ඔබාගෙන හුඹස්
පින කියාගෙන ඉපදුනත් තව ඇරල නැත මුලු පරස්
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
Photo ; 𝗔𝗹𝗲𝘅 𝘙𝘢𝘪𝘯𝘦𝘳
කවිය බලන්න
චුට්ටක් ඉඩ දෙන්න
මං වශී වුණු
ඔය හිනාව
මටම සින්නක්කර
ලියාගන්න දෙනවද
ආසයි.. ඔය රතු පාට
තොල් වලින්
හාදු තියාගන්න
කම්මුලේ මැද්දෙන්ම
කාටත් හොරෙන්
ඔය පපුව මැද්දේ
හිස තියාගෙන
චුට්ටක් සැනසෙන්න
ඇස් පියාගෙන
තව තවත්
ඔය පපුවට
තුරුල් වෙන්න
හැකිද ..? ඔබට...
චුට්ටක් ඉඩදෙන්න
සිත් අහසේ පුන් සද වී
ලස්සනට පායන්න
රෑ.. පිපෙන කඩුපුල් මල්
සුවදින් නැහැවෙන්න
කවිය බලන්න
සමනල සදෙස-8
මාලපල්ලේ කුමුදු අමරසිංහ
2024.01.01
සමනලයාගේ සිරිපා කරුණාව
දතයුතු කරුණු ගොමුව - 6
128. පිය සමනලය නුඹ දත යුතු කරුණු පෙළ
පිය සටහනක විලසින් දළ කෙරුණු කල
සිය සංයමය තුළ පිහිටා බලනු මුල
කියවනු සොද ය පෙරතුව යන තැනට නිල
දිය කොමලියන්
129. සුදු පෙණ කැටිති සදමින් ගිරි තලය යටින්
හුදු දිය දහර ගති එන්නට ඉහළ ගිරින්
මුදුණත සිට පැමිණ තැන-තැන මතු ව බිමින්
රුදු ඝන වන වැදී සතරත දුවයි මතින්
130. මහවැලි - කැළණි - කලු - වළවේ සිව් ගංගා
සමනොල අඩවි මුදුණත සිට පැන නැංගා
යන විට දෙ කදු පෙත් මං අතරින් රිංගා
මිහිලිය රකියි මිණි - මුතුකැට හද සංගා
131. මේ දිය කොමලියන් තැන - තැන සැග ව බෙදී
දිය ඇලි, කඩිති, ඇල-දොල මතු කරයි සැදී
යන - යන තැනට ගෙන නෙක නම් වදා බැදී
හැම කල සෙත සදයි සාගත බියෙන් මිදී
132. සිහිතල ගල් පවුරු වටකොට සැදුණු හිමේ
මිහිතල වල් වැදී ගහ - කොළ පිරුණු ඉමේ
සිහිලල මල් කැකුලු එති - එති තුරුණුකමේ
මිහිපල සල් කරයි සිප දිය රැදුණු බිමේ
133. බැරි - බැරි විලස බිදුවෙන් - බිදුවට ම එතී
සැරි - සැරි පලස නෙක - නෙක පැතිකඩට ඇතී
පෙරි - පෙරි මෙලෙස එන සුදු දිය කුමරි රුතී
මැරි - මැරි කෙළෙස යන සොබදම ඇයට ගැතී
134. දැන් ව ද දනිති දැයි යන සැක දුරු ව ගිහින්
පැන් ල ද මසිත් ළපැටිය පණ ගැසුණු සෙයින්
තුන් හ ද වතින් කියතොත් නුඹ හනික ගොසින්
මන් ම ද හාසෙ විද ගනු මැන නල්ල - තැනින්
සමනලයා දුටු නල්ලතන්නියේ අපූරුව - කහටපත
135. හොද - හොද තැන්වලින් ඉපදී හොදට හැදී
කොද - කොද මල්ලියන් අතුරා දියට මැදී
විද - විද සිහිල් වන් පවනැල් ගතට වැදී
කද - බද සුසුදු වන් දුහුලින් නෙතට බැදී
136. පීරා සිව් අතින් පැන විහිදමින් රැළී
මීරා බිව් ලියන් ලෙස දගදමින් ගිළී
රූරා පව් මතින් පහළට වැටෙන් මලී
හාරා මව් මිහින් මුතු නොම ගිලින් යලී
137. තන්හි - තන්හී කැරකි - කැරකී දුවන ඉතා
වන්නි - වන්නී සැරසි - සැරසී පවන සතා
ගන්නි - ගන්නී උසුල - ගන්නී කියන කතා
තන්නි - තන්නී නල්ල - තන්නී හිදින ලතා
138. එ දවස සුදු රජය ලක සොලවන කාලේ
මුදලට ගන්න බැරි කෝපිය ගස් බාලේ
සැදුවෙන් ගලව - ගලවා වෙනුවට රාලේ
තේ ගස හැදුව වාගෙයි මේ ගම් මාලේ
139. කවුරු කෙලෙස කීවත් කවදත් පතල
මුදලට තමයි තිබුණේ ගරු - සරු ඉහළ
ගෙන්වා දකුණු පෙදෙසින් යාබද දමිළ
කම්කරු පිරිස් සැදුවේ සුදුවුන් වසල
140. මේ විලසින් තමයි මෙතැනට නම හැදුණේ
“පිරිසුදු වතුර” යන අදහස ම ය ගැණුණේ
ඉන්දු - දකුණු ළදුනගෙ රත් සුරතින්නේ
උන් සිටි නිසාවෙනි තේ පැල ලක වැවුණේ
141. සාදා කදු අතර ජනපද තැනින් තැන
වී-දා සදු පැතිර දළමුව පතින් පැන
බාදා ළදු නොතිර තිබුණත් උදෙන් දැන
පාදා වදු උගුර කියමින් බුදුන් බණ
දතයුතු කරුණු ගොමුව - 7
පුද බිමේ මග වැණුම
142. පුද බිම සරසමින් දළුලන තේ පැලමෙන්
හද විමනක් ලෙසින් අතුලන ගුණ සුවදින්
තෙද බල මහිමයෙන් සිසිලන බුදු සිරියෙන්
රද නුඹ ගිර සමන් බල මැන හද බැතියෙන්
143. විමසුම කළ සොදින් යා යුතු මග දුර ද
පිවිසුම පිහිටියේ තොරණින් වග පෙර ද
සැනසුම ගෙනේ දැන යා යුතු මග සුර ද
තෙරපුම සිතේ පහ වී යන වග හැර ද
144. මකර තොරණ දැක එ මගේ යනු මිතුර
සතර දිසානති බලමින් විද මිහිර
නතර නොවනු මිස නුඹෙ අත්තටු පහර
රුහිර නොයන තුරු ඇති සිරුරේ නහර
145. හිටි පිළිමයකි වෙත් පසෙකින් වැදුම් පිරේ
සිටි භික්ෂුවකි අත රදවා ජපන් බෙරේ
දිටි බුදු බලය කරුණා ලක් දනන් කෙරේ
වටි - නාකමෙකි බුදු මැදුරත් සමන් කෙරේ
146. කලක් පුරා ඇසුණත් ඒ ජපන් බෙරේ
කවක් විරා-ගයකින් ඇසුණමුත් ගිරේ
කුමක් අරා නැසුණ ද බෙර හඩත් මුරේ
තැනක් සරා බල හිමි හිදිනා එ පුරේ
147. සමන් අඩවියට සපැමිණ සමන් ගිරේ
සමන් ගිර නගින්නට පෙර තමන් කෙරේ
සමන් දෙවි පුදා ලැබ ගෙන සුරන් සුරේ
සමන් ගිර නගිනු කරුණා දියෙන් කිරේ
148. සිහි-තල පිණි කදුළු වගුරත තුරු එ ලතා
මුසු-කළ වැනි සිතලු හැගුමක් එ මගෙ ඔතා
සුප-තල ලොව සියලු දෙන හුදු හැගුම් යුතා
සමනල ගිර බබලු සිරිපත් වදිති සිතා
149. සමනල සබද නුඹ උන් පසුකොට නිබද
පියඔන සදෙහි හිස් මුදුණින් හැඩට සොද
ඉදහිට හරවමින් හිස පසුපසට බැද
බලපන් කෝඩුවෙන් යන දන ගිරට වැද
150. විවේකය ගන්න හිතවත අම්බලමේ
දොරණ ගස මුවා වෙයි පියසට මෙ ගමේ
බොහෝ දුර ගෙවන්නට ඇති නිසා හිමේ
නවාතැන මෙයයි සිදුමට මගෙහි ගිමේ
151. දොරණ ගසේ තෙල් ගෙන පන්හිද කැන්දූ
තොරණ රටා මල් වැල් සිත්තම් බැන්දූ
පරණ වෙලා කොහෙදෝ ඇති දැයි රැන්දූ
උරණ නොවී සොයපන් සමනල් බන්දූ
152. දුටුවෙ ද සෙවූවත් දුටු - දුටුවන් කිව්ව
සැගවෙ ද ඇසූවත් වුව සැණෙකින් සෙව්ව
බැදුණෙ ද නුවන් යුගවෙත මෙපුවත් මැව්ව
රැදුණෙ ද සොවක් නුඹෙ හද හඩවා පෙව්ව
153. කෙකටිය ගල ද පසුකොට නුඹ යන්න මහා
හමු වන හෙල තමයි “ළිහිණිය මළේ” බහා
යනෙන හැම දනා “ළිහිණිය අක්කෙ” අහා
“ගිහින් නැවත එන බව” පවසතේ වහා
154. හෙල දුටුවත් දැකුමෙන් සිත සනහන්නේ
හෙල දැක කිසි විට දි පහළට නොම යන්නේ
පෙළ හිදිනා පදුරු - කටු - තටු සිදලන්නේ
මළ දා වැළලු තැන කවුරුත් නෑ ඉන්නේ
155. මහ වන පෙත වසා තුරු හිස් මුදුන් ගොඩයි
ඒ තුරු අතරෙ රිංගා හිරු කිරණ නටයි
තැන - තැන හිස් නමන සුළගට වැනෙන ගසයි
උස් හිස් දළ කෙසින් වැසි පෙත එළිය නසයි
156. මේ මහ වනය පණ පොවමින් හරිත ගැසී
වේ දිය දහර මේ ගිර මැද පහළ බසී
සේ මුතු පිනි කැටෙන් - කැට බැදි වතුර වැසී
පේ වී ගලයි උල්පත් දිය දහර නිසී
157. කළු ගං උපත නුඹටත් දැක ගනු පිණිස
රළු මං ගෙවූ පසු ඇති වන දිය පිපස
තලු මං මරා බොන්නට උල්පත විලස
කළු ගං උපත ලද තැන නමමින් සිරස
(මතු සම්බන්ධයි.)
කවිය බලන්න
මහනුවර සිරියාව
සංවර්ධනය කියමින් මහ හඬ නැගුවා
මගෙ මහනුවර තිබු හැඩයත් නැති කෙරුවා
මහ උන් පැමිණ සැලසුම් ගැන බණ දෙසුවා
ගුඩ් ශෙඩ් බස් පොලත් අසරණ වී ඇතුවා
වාහන තද බදය දින දින වැඩි වෙනවා
පිළියම් සොයන්නට හැකි සමතෙක් නැතුවා
යන්නට යතුරු පැදියන් හට "වම" ඇතුවා
උන්ටම දෙවෙනි නෑ ත්‍රී වීලර් කටුවා
වරදක් දුටුව මුත් නොදුටුව ලෙස ඉන්න
ට්‍රැපික් මහත්තුරු දන්නව ඉවසන්න
ප්‍රභු රථ නලා පිඹගෙන එනවිට ඔන්න
ඉඩ දුන්නැතිවුනොත් උන් සැර බලපන්න
මැතිවරණයක් ලඟඑනවිට දැනගන්න
ලොක්කන් ඒවි අපෙ දුක සැප විමසන්න
නුවරම සුරපුරක් කරමියි පවසන්න
මෙතුවක් දුන් පොරොන්දුම ආයෙත් දෙන්න
නඟරය මග දෙපස සිටවූ තුරු ගොන්න
නැලවෙයි තාලයට මද නල විඳිමින්න
යන්තම් හොඳ දෙයක් කෙරුවැයි සැනසෙන්න
ගත්තත් කොමිස් අවුලක් නෑ පිං දෙන්න
Photo; Pius Martin
25.12.2023
කවිය බලන්න
අපේක්ෂා' ව...
රහම ගම මහරගම කියා ලියලා තිබුණ
'අපේක්ෂා' වක් පතා බස් එකක් දුවන් යන
එක වේදනාවක් තවත් කරන්ට් එකකින් දවන
ඒක දැක දැකගන්න උන තව හදක් පන අදින
ආදරේ ඉතිරි උන ලොකු පුංචි කාරනා
මතක ඉතිරිම කරන හදේ ගැඹුරුම කතා
සොඳුරු මං සලකුණුය දිවි ගමන තබා ආ
රුදුරු වී ඇත මෙලෙස සංසාර ධර්මතා
රසම දේ හොදම දේ හැකිම ලෙස ගෙනල්ලා
හිනාවෙන් දිරිය දී ගිලගන්න උහුලලා
ඇස් කොනෙන් අයදින්නෙ ජීවිතේ ඉල්ලලා
'අත් හරිනු නම් එපා' දරා ගමු එක් වෙලා
ගන්න හුස්මක් ගානේ දි කරන් අනුමෝදනා
මලක් පහනක් පුදා නිතින් සිහි කරවනා
දරා ගන්නට දුන්න දුකේ බර විදවනා
දැක දැක ම දෙවියන්ට යා හැකි ද පිටුපා...!
කවිය බලන්න
රැයේ කඩුපුල් වෙලා සුවද දී පිපෙන්න
ඇසින් නොව හදවතින් ලෝකයම දකින්න
සිනාවෙන ඇස්වලින් ලොවට අඩගසන්න
හඩන සිත් සනසලා ආදරය බෙදන්න
හැකි වේවි නුඹ හටත් ජීවිතය විදින්න
මගේ මට නොවෙයි අපි අපේ ගැන සිතන්න
රිදුම් දෙන හදවතක් සෙමින් පිරිමදින්න
ගිනි ගත්ත හිසක් මත හාදුවක් තබන්න
භාවනාවක් වේවි ජීවිතය නිවෙන්න
රැයේ කඩුපුල් වෙලා සුවද දී පිපෙන්න
මේ මහා පොලොව සේ දරාගෙන සිටින්න
ගලා යන ගග වගේ සා පවස නිවන්න
තනිව නොව ජීවිතය එකතු වී දිනන්න...
- ලන්ඩන් නුවර සිට.
Photo by ; José Ignacio González Pansiera
කවිය බලන්න
වැස්ස හෙවත් දළඹු පෙම...
ගිනිගත් හිරු මඩල මේ කුළු වසා ගනී
මිහිමත අහස වැගිරී විත් පාත් වුණී
සිරිපොද ඉහින විට තුරු ඉති සලිත වුණී
කවියක අකුරු ඒ අතරින් හිතට පනී..
පලු පත් පෙරන විට වැහි දිය පතින් පත
සමුගත් තැන පිරෙයි විරහෙන් මුදන් සිත
තෙමුණත් වැහි දියෙන් මල් පෙති උරන් තෙත
රැක ගත් හැටි පැහැය හිරු දුන් රසෙන් ගත..
දුර ගමනක හෙමින් ගිය මේ දළඹු තෙම
මුර කුටියක තියන් සුරකින විසල් පෙම
හැර කඩතිර මුදන් ගුරුකොට ලෝක දම
බර වැඩි තැනින් සමනල් තටු කරයි සම..
රූරා ගලන වැහි දිය රේඛා අස්සේ
හෝරා ගණන් දළඹුව පත් යට මැස්සේ
පීරා හොයන කවියක අරුතම ඉස්සේ
හාරා පපුව කවියගෙ හදවත ගැස්සේ
Photo; Timothy Dykes
කවිය බලන්න
අනිත්‍යය දැකගතිමි
තප්පරයෙන් අංශුමාත්‍රයක් බඳු ජිවිතය
කප්පරක් සේ දැනෙන්නට
ඇලෙමින් ඇලෙමින් ඇලෙන්නට
විඳිමින් විඳිමින් විඳින්නට
සොයමින් සොයමින් සොයන්නට
ආලයේ පැටලෙන්නට
රාගයේ වෙලෙන්නට
කූඩු තනන්නට
පැටවුන් වදන්නට
උස්පුටු හින මත උන් උඩ තියන්නට
පැටවු කරකාර දෙන්නට
වුන්ගේ ගැටලු විසදන්නට
වෙහෙස වන්නට
පැටවුන්ගේ පැටවු හදන්නට
වහෙස වන්නට
ගිලන් වන්නට
හැරි බලන කල ජිවිතය
අධ්‍යාත්මය සිහි වන් විට
කාලය ඉවර බැව් සිහිවු විට
කාලයක් තිබේද අපට
අධ්‍යාත්මය සොයන්නට
මරන මංජකය සිහි වේ හෙට
දරුමුනුබුරන් වටවේ ඇඳවට
ඇරබිය කසු කුසුව රෑ ජාමෙට
උරුමයෙන් ගෙදර මල්ලිට
මහකුඹුර අපිට
නංගිට උගන්වපු ටිකම ඇතිය
කටු කුටුව ඇසෙයි හෙමි හෙමිහිට
කහ සිව්ර පෙනිනි ජායාවට
බොඳවිනි දෙනෙත් තැඹිලි පාටට
පාවිනි අහස් තලයට
පෙනිනි සනුහරයම කුරුලෙකු විලසින
දැල්විය පහන නිසොල්මන් මාලග
පිරවිය තෙල් අඩුවෙන අඩුවෙන ගානට
දින හත ගෙවිනි සනුහරයම මැද
වැලෙලිනි අඩි හතක් පොලව යටටම
දැල්විනි පහන් මා පපු තලය මත
නැවතිනි මොහොතක් මා එය මත
දැල්වී නිමෙන පහන් දෙස බලමින
අනිත්‍යය දැකගතිමි මා ගන්දබ්බ මනසින
කවිය බලන්න
නිහඩ සාක්ෂිය
මධුමේහයට
පැණි රහ අගුණයි කිය කියා
සීනි බෝතලේ අඩිය හූරද්දි තාත්තා
හාංකවිසියක් තිබුනේම නෑ
එලබෙන දවස් ගැන,
අම්මත් ගියාට පස්සෙ එලොව
පෙට්‍රල් මෑන් වෙලා
වහන්කරගෙන ජීවිතේ හිස් තැන්
ඇස් දෙක වගේමයි බලා ගත්තෙ
කෙලි පැටික්කිව...
"ලිපිකාරිනියක් කරලා
රජයේ ඔෆිසියක"
සින්න වෙන මහ ගෙදර
අඹ ගහේ මුදුන් අත්තක
හවස හය පහු වෙනව එක්කම
උලලේන කෑ ගෑව එදා මූසල දවසක් !
Photo: Ben White
කවිය බලන්න
Boys from Hanguranketha ..
Friends, a boy from Hanguranketha
- a first year medical student
needs support to continue studies
Feel like chipping in..
~
Yes Wije .. let's do it soon
Gave a talk at Jaffna university yesterday
Together with Nagul
- Thanks Gihan, our prof in Aussi
Remember taking you on my push bike
From Arunachalam Hall to the faculty
~
Machan, first of all tell me a little more
about this story
- Sunil, check your Whatsapp account
Did you do any new Sinhala songs lately?
~
I will donate as well
Stormy weather- no power at home
Had to move to a small hotel
- Thanks Samanthi
Hope meeting you in a month from now
At our next gethering in the hills
****
Friends, we have sufficient funds now
It's so true life is much stranger than fiction
Hundred and fifty of us, met one fine day
-a 12th February, but long long years ago
coming from every nook and corner of the island
But scattered all over the globe now
You guys are great!
Preethi Perera,
16.12.2023
කවිය බලන්න
පියෙකිය ඔහු මගේ දියණියගේ ද
කුඩා සිඟිත්තියකගෙ
කෙහෙ රැළි කඩා
තෙල් බිඳක් දමා
කොණ්ඩ කරලට ගොතා
හැඩ බලන...
ආදරේ යැයි කියන...
පියෙකිය
ගීතයක....කවියක සිටින
ඔහු වැනිය හැම ඉරියව්වක්ම ඇගේ...
හුරතල් මුහුණක්ය
පියකරු සිනහවක්ය
වටකුරු ඇස් දෙකක්ය
ඈ සතුව
අප අතර පවුරක්ව අහුරන්න
ඒ පුංචි ඇස් දෙකට පුලුවන
පුදුමයි
මට ආදරේ හිතෙන්නෙත් ඒ ගැන
ඇය තමයි අපි වෙන්කර තබන වෙඩිල්ල
ඔහු
මා කියවූ අගනාම
සුරංගනා කතාවක
ජීවමානව සිටි
හොඳ පියෙක්ය
මගේ දෝණිගේ නොවන
කවිය බලන්න
නව වසරයි මිනිස් කැළයි.....
නිල් කඳු අතරින් පිණි මල් එක් වී ගලා ඇඳෙයි ගඟුලැල්
තුරු හිස් සරසා සුවඳක් පතුරා පිපී දිලෙයි නෙක මල්
හිමිදිරි යාමෙක ලොවම පුබුදුවා නැඟෙයි විහඟ ගී වැල්
දිනකර පිබිදී නව වස එළැඹී පතුරයි ලොව හසරැල්.
නොමැරෙන විලෙසින් සිටිනා සැමදා බලයෙන් මත් වන්නේ
අසරණ දනගේ නෙත් දිය සයුරේ වියරුව කිමිදෙන්නේ
පිපෙනා මල් පෙතිසුවඳ නොදෙන්නට හැමකල් සැරසෙන්නේ
නොමිනිස් මිනිසුනි හෙට ලොව දිනනට මෙත් සිත් දරපන්නේ
මිනිසුන් රුදුරුව අවි ගෙන දෑතට වගුරයි ලේ දහරා
වන සත් විලසට පැටලී වියරුව යුද වැද සිත් පාරා
හසරක් නොමැතිව දිය දම් දිනිතිය කෙලෙසා රුදු ලීලා
කුමටද සැමරුම් මේ නව වසරේ දල්වා ගිනි මාලා.
කවිය බලන්න
𝑵𝒐𝒕𝒉𝒊𝒏𝒈 𝒆𝒍𝒔𝒆 𝒊𝒔 𝒔𝒊𝒈𝒏𝒊𝒇𝒊𝒄𝒂𝒏𝒕
𝑺𝒐 𝒄𝒍𝒐𝒔𝒆.....
𝑵𝒐 𝒎𝒂𝒕𝒕𝒆𝒓.....
𝑯𝒐𝒘 𝒇𝒂𝒓....
𝑰𝒕'𝒔 𝒊𝒎𝒑𝒐𝒔𝒔𝒊𝒃𝒍𝒆 𝒕𝒐 𝒃𝒆 𝒎𝒐𝒓𝒆
𝑭𝒓𝒐𝒎 𝒕𝒉𝒆 𝒉𝒆𝒂𝒓𝒕...
𝑭𝒐𝒓𝒆𝒗𝒆𝒓 𝒕𝒓𝒖𝒔𝒕𝒊𝒏𝒈....
𝑾𝒉𝒐....𝑾𝒆.....𝑨𝒓𝒆.....
𝑨𝒏𝒅 𝒏𝒐𝒕𝒉𝒊𝒏𝒈 𝒆𝒍𝒔𝒆 𝒊𝒔 𝒔𝒊𝒈𝒏𝒊𝒇𝒊𝒄𝒂𝒏𝒕...
𝑭𝒐𝒓𝒆𝒗𝒆𝒓 𝒓𝒆𝒍𝒚𝒊𝒏𝒈 𝒐𝒏 𝒐𝒖𝒓 𝒕𝒓𝒖𝒆 𝒔𝒆𝒍𝒇.......
𝑻𝒓𝒖𝒔𝒕𝒊𝒏𝒈.....
𝒘𝒉𝒐.....𝒘𝒆.....𝒂𝒓𝒆.....
𝑳𝒊𝒇𝒆 𝒊𝒔 𝒐𝒖𝒓𝒔..........!!!!
𝑾𝒆 𝒍𝒊𝒗𝒆 𝒊𝒕 𝒊𝒏 𝒐𝒖𝒓 𝒐𝒘𝒏 𝒘𝒂𝒚
𝑰 𝒅𝒐𝒏'𝒕 𝒔𝒊𝒎𝒑𝒍𝒚 𝒔𝒂𝒚 𝒕𝒉𝒆𝒔𝒆 𝒘𝒐𝒓𝒅𝒔
𝑵𝒐𝒕𝒉𝒊𝒏𝒈 𝒆𝒍𝒔𝒆 𝒊𝒔 𝒔𝒊𝒈𝒏𝒊𝒇𝒊𝒄𝒂𝒏𝒕.....
𝑰'𝒗𝒆 𝒏𝒐 𝒊𝒏𝒕𝒆𝒓𝒆𝒔𝒕
𝑰𝒏 𝒘𝒉𝒂𝒕 𝒐𝒕𝒉𝒆𝒓𝒔 𝒅𝒐......
𝑶𝒓
𝑾𝒉𝒂𝒕 𝒐𝒕𝒉𝒆𝒓𝒔 𝒌𝒏𝒐𝒘
𝑰 𝒕𝒓𝒖𝒔𝒕 𝑼....
𝑰 𝒅𝒐𝒏'𝒕 𝒘𝒂𝒏𝒕 𝒕𝒐 𝒔𝒆𝒆𝒌 𝒂𝒏𝒚𝒎𝒐𝒓𝒆
𝑬𝒗𝒆𝒓𝒚𝒅𝒂𝒚 𝒊𝒔 𝒅𝒊𝒇𝒇𝒆𝒓𝒆𝒏𝒕 𝒇𝒐𝒓 𝒖𝒔.....
𝑨 𝒏𝒆𝒘 𝒂𝒅𝒗𝒆𝒏𝒕𝒖𝒓𝒆........!!!!!
𝑻𝒉𝒂𝒕'𝒔 𝒘𝒉𝒂𝒕 𝑰 𝒘𝒂𝒏𝒕𝒆𝒅....
𝑾𝒆 𝒘𝒊𝒍𝒍 𝒐𝒑𝒆𝒏....
𝑶𝒖𝒓 𝒎𝒊𝒏𝒅.....𝒕𝒐 𝒂....
𝑵𝒆𝒘 𝒑𝒆𝒓𝒔𝒑𝒆𝒄𝒕𝒊𝒗𝒆.....
𝑵𝒐𝒕𝒉𝒊𝒏𝒈 𝒆𝒍𝒔𝒆 𝒊𝒔
𝑺𝒊𝒈𝒏𝒊𝒇𝒊𝒄𝒂𝒏𝒕.....!!!!!
20.12.2023.
කවිය බලන්න
යම ලෝකෙට ඩිමොක්‍රසි
එදා ඉඳන් අද වෙනතුරු
එකම රජෙක් යම ලෝකේ
රජ කරගෙන ඉන්නවා
වයසත් ඇති දැන් හොඳටම
කලින් කලට යම ලෝකේ
අලුත් අලුත් යම රජවරු
පත්වෙන වග අහලම නැහැ
යම ලෝකේ ඉන්න අයට - ඇයිද නැත්තේ ජන්දයක්
සල්ලි නැද්ද අපිට වගේ - ආර්ථිකේ ඍන වෙලාද
යම ලෝකේ මොනතරම් - මැති ඇමතිල කොයිතරම්
ඉන්නව ඇති මෙහෙන් ගිහින්
යම ලෝකේ රජවෙන්නට - ආස ඇතිනේ ඒ අයටත්
හුස්ම ගන්න හැමදාටම - ඇමතිකමේ ඉන්න අයට
හුස්ම නොගෙන ඉන්නදාට - ඇමතිකමක රැඳී ඉන්න
යම ලෝකේ ජන්දයක් - තියෙන එකේ ඇයි වරදක්
24 දෙසැම්බර් 2023
කවිය බලන්න
මාරයා මාරම මාරයෙක් රැගෙන යයි
නිමිත්ත: අති විසල් ගස් කදන් පටවාගත් ලොරියක් කොළඹ දෙසට ඇදෙයි.
සීතල අරුනෝදයකි දසතම ගලති මී දුමාර
වේග රථ පෙලකි මැද ලොරියකි සෝමාර
අත ගායි කොන්ද දැනෙයි මහන්සිය මාර
නමුදු බර හඩ නගයි මෙන් තරුණ කුමාර
කරට ගෙන අමාරුවෙන් ගස් රාජයෙක් මාර
වමර වමාරා පාරට කලුවට කැටිති දුමාර
ලොරි යෝධයා මොරටුවටය ප්‍රමාණය මාර
අහෝ කදන් ගොඩකි; අයිතියටය තනි මාර
අරය මැන්නොතින් නිසැකය අඩි හයාමාර
දික් අඩිවලට ගැන්නොත් ආදායමකිය මාර
ගසන්නැති ලොකු අත්සනක් කැපිය යුතුමය මේ මාර
ඉතින් අවනත නොවී පුලුවන්ද මාරයෙකුට වුව මාර
ඇසතු බෝ මුලකදි නැටුවලු එදවස දූවරුත් මාර
ගෙන'තට පොරෝ, පිහි, කියත් මුව තියා හමාර
පියා ඇස් ඉන්නැති අසමින් උහු බස් 'යකෝ තද' මාර
දෙන්නැති අවසාන මාර සෙවනත් ඒ පුතුන්ටත් මාර
මුවෙක්, දල ඇතෙක් වෙයි කොට කැබැල්ලක් මාර
මතු දින පන්සලක බුදු රුවකි; නිමැවුමකි මාර
සැදැහැතියන් වදීවි පුදමින් මල් දම්ද මාර
එනමුදු සුවිසල් මාර වනස්පතියක ජීවිතේ හමාර
කවිය බලන්න
ලැයිස්තුවේ නම නෑ
උලමාගේ
අදෝනා
ඇසුණු
කළු ඔක්තොම්බරයෙ
ඇසුනේම
වෙඩි හඩ
ගෙදර
හැම දෙනාම
කිටි කිටියෙ
එකම පැදුරෙ
ගුලිවෙලා
කිව්වෙම
තුන් සූත්‍රය
ඒත් මද්දුම අයියව
අරන් ගියේ
ගෝනිබිල්ලගෙ
සංඥාවට
උඳුවප්
මහත් ආව
මද්දුම අයිය
ආවෙ නෑ
විපරම් කළත්
එහෙම නමක්
ලැයිස්තුවෙත් නෑ
කවිය බලන්න
ඒ හිස් තැන
බලා සිටින විට
එක පිට එක වැතිර
සුදෝ සුදු වලා
කැටි ගැසී ඇති
දිවා කල අහස දෙස
දුටිමි අහම්බෙන් මෙන්
එකම එක හිස් තැනක්.
බැබළෙයි දිළෙයි එය
කිරි සයුරෙහි වන්
ඉන්ද්‍රනීල මිණක් ලෙස
හිස් කරමින්
මා ළය ගැඹර තෙක්
ඔඩු දුවා ඇති
ළතැවුල් ,සංතාප
පියඹා දෑසින්
වැතිර ගත් සඳ මනසින්
නුබ මත එළා ඇති
ඒ කුඩා හිස්තැන ඇති
නිල් විල්ලුද පලස මත
බලන්නට සිතෙයි මට
කුරුළු ඇසින්
අන්නතෙට විහිදෙන
විසල් මහ පොළොව දෙස
වැසෙන්නට පෙර
මාරුතයෙන් එසවෙන
වලා කැටිතිවලින්
ඒ හිස් තැන
මොහොතකින් තව.
කවිය බලන්න
ආයෙමත් ආවේ මා නෑවිදින් බැරි කමට
ආයෙමත් මම ආවෙ නෑවිදින් බැරි කමට
කාගෙවත් හිත් රිදෙයි නාවොතින් යන දුකට
සායමත් ගිහිල්ලා වගක්වත් නෑ රටට
සීතලත් දැනෙනව දුරුත්තත් අත ලගට
රැවටිල්ල, කෙටවිල්ල, හැමදාම පුරුද්දට
මැසිවිල්ල, ලතැවිල්ල කරච්චලයක් කනට
එරවිල්ල, ගෙරවිල්ල ඉහේ ඉඳ දෙපතුලට
වැපිරිල්ල, බතල කොල කෙරුවාව කටින් කට
ගැබ්බර දෙනුන් සේය රට කරන මුදලි හොරු
සබ් කොන්තරත් ගත්ත නිලධාරි නිලමෙවරු
සබ් බීතියෝ කියා ආවඩන දුසිල් තෙරු
ගොබ් කොලෙත් උලාකයි ඉට්ට හමුවෙනා තුරු
මුසා වාදා දෙසයි නිලමෙල එක දිගට
දෙසා කට ගත් සැනින් කොමිස් එයි අත යටට
අසාධාරනය මැයි රජ කලේ එක දිගට
තොසා බස් සුබ පැතුම් ආයෙමත් තව කුමට
ජය වඩන පුරවරේ තරු හතේ හෝටලේ
කය මිසක හිසක් නැති සනුහරේ රෙදි හැලේ
ණයට කා බී නටති ගවර කැල එක වලේ
සිය දහස් හොරකම්‍ය වැට් ලෙසින් නම් කලේ
කළුවරේ අත ගගා වරක් වැටුනා වලට
පෙරඹරේ සිටිමි මා වල පෙනේදෝ නුඹට
සුමිතුරේ අසම් මා කට කහන පුරුද්දට
මේ සැරේ සමු දෙමුද ගඳ ගහන ලැට් වලට
රට කලෝ මෙතෙක් කල්, ණයයි ඉපදුන රටට
"හෙට අපට " කියන්නෝ ළමා පිරිසකි කවට
නට නටා උන් වටා පුදන්නෝ මැයි නිවට
මට දුකයි ආ ගමන නෑවිදින් බැරි කමට
කවිය බලන්න
රඟපාමි.....
ඔබේ නෙත් මා වෙත රැඳේ
මගේ සිත වෙනතක ඇදේ
මා කියන දෙබසක පදේ
අසා ඔබෙ ඉලඇට රිදේ
වේදිකාවේ සිට මෙමා
රඟමි තුටුකර ඔබ සැමා
පියවි රැඟුමන් නැත නිමා
මගෙ චරිතයත් මේ තමා
සතුටු කර සැම සිනාවෙ න්
ප්‍රේක්ෂක ප්‍රතිචාරයෙ න්
කඳුළු නෙත් අග පුරවමි න්
තිරය පහතට වැටෙයි දැ න්
රැඟුම ජීවිත කරලි යේ
සිනහවෙන් තොරවී ති යේ
මමද ඔබ මෙන් කාසි යේ
එකම පැත්තේ දාර යේ
කවිය බලන්න
මගෙ දිවියෙ තුන් මවුන් ❤️❤️❤️
එක දිවියෙ එක මවයි
අසා ඇති ඔබ හොඳින්
ඒත් මට තුන් දෙනයි
ඇත්තමයි ඔව් ඉතින් …!
අහිංසක ආදරෙන් කරුණාව ගුලි කරන්
පෙම්මා
දෝරගලයි ආදරය ඉහවහා නොදුන්නත්
උම්මා
තුන්හිතම තුන් ඇවරයි දරු පෙමට හැමදේම
සුම්මා
උපද්දපු මව මගේ ශිරාණිය, ඇය මගෙ පෙම්බර
අම්මා ❤️😘
අම්මා ශෙරින්, කෙදිනකවත් නැත ඇය
නැන්දම්මා
දරුවන් සේම බෑනා, ලේලියන්ට ආදරෙ නැත
නිම්මා
මුනුබුරු මිනිබිරියන්ට සේසතම වියදම් කල
අත්තම්මා
චිරාත් කාලයක් දිනේවා ඇයත් මගෙ ආදර
අම්මා ❤️😘
නැවුම් විකුම් සිතිවිලි පිරි නැණගුණ සපිරි මෙත්
මහිමා
මව සහ දුවගෙ ලබැඳිවූ සිතගත් හදවත
උරුමා
අනේක කාරණා පහදා ඔවදන් අදහස් දුන්
ලලිතම්මා
නිදුක් නිරෝගී දිවියක වැජඹේවා මගෙ ආදර
අම්මා ❤️😘
ශානි- 14/12/23
කවිය බලන්න
හදට එබෙන "ඉසා"
පොවන පණ නළු කමට සමවැද හදේ පතුළට දැනෙනවා
මවන රස තිර මතට කොටු නැත ඔබෙ රැඟුම් දිවි නිවනවා
දවන අපෙ හද ඉඳහිටත් පෙර 'ඉසා' එබිකම් කරනවා
කවන චරිතෙට අරුත්බර දම් හැරගියත් මතු රැකෙනවා
( ඉතා ම මෑතකදී අප අතරින් සමු ගත් ප්‍රවීණ රංගනවේදී සුමින්ද සිරිසේනයන්ගේ නාමයට හද පිරි බැතියෙනි)
කවිය බලන්න
වාරෙ ඇවිත් ...
ඈත ඉඳන් සමනළ රැල්
පාව වටින් පෙරහරකට
ගීත බඳිති සිත ම නිවා
වාරෙ ඇවිත් කියනට සිරි පා
සීත ගඟුල සුදු පියවිලි
පේව වියන සමනොළ හිම
වීතරාගි හැඟුම් පුරා
යාව නිවන් වඳිමුද සිරි පා
කුළුණු බැලුම් නෙත'ග මවන
සුමන සමන් දේව රජුනි
රකිනු මැනවි නඩය අපේ
සැදැහැ සිතින් කරනෙමු පිණිපා
Photo: Aarn Giri
කවිය බලන්න
හඬන මුහුද
ඇයි මේ තරම්
සුසුම් ලන්නේ....
ශෝක වන්නේ.....
මුහුදකට උනත්
පුළුවන් ද දරන්නට
මේ තරම් කඳුළු
රැළි නගයි ප්‍රේමයේ කඳුළු
නිහඬයි....බරයි...ගැඹුරුයි
මවුවරුන්ගේ කඳුළු
ඉඳහිටක හමායන කුණාටු
ඒ තමයි.......
පියවරුන්ගේ කඳුළු
බිංදුවන් බිංදුව එක්වේලා කඳුළු
තැනුණාට සමුදුරු
පිරිලා දැන් මුව විටටම
ඉක්මවූවොත් වෙරළ ඉම
ගිලී යනු ඇත
දූපත් මෙන්ම මහද්වීපද
Photo: Joseph Barrientos
කවිය බලන්න
මිරිඟුව
ගලා යායුතු වේය පහළට
නැවතීම කළ නොහැක ගඟකට
කොහොම එකතැන හිඳිමි සදහට
දමා ගිය දා රුදුරු මගකට
පිපී හිනැහෙන සුවඳ මල්පෙති
අවට ලස්සන කරති හිනැහෙති
ලොවේ විසිතුරු දුටිමි නිම්නැති
ඔබේ ළඟ ගෑවිලාවත් නැති
කඳුකරෙන් ආ සුමුදු සුවඳක
ක්ෂිතිජයේ ලාවණික සුළඟක
මෙතෙක් පෙර අත් නොවිඳි මිහිරක
ගිලෙමි ඔබ ළඟ නැතිම මොහොතක
තුරුලු කරගත් පැටව් රෑනයි
කුරුලු මවකගෙ විරහ ගීයයි
ඇසේ ඈතින් දවස් මෝරයි
සතුන්ටත් දුක දැනෙන පාටයි
දිනෙක ඔබ ආපසුව එන කල
මා නොඉනු ඇත තැනම අත් හළ
රුසිරු දැක විඳගතිමි ලොව තුළ
ආල මිරිඟුව බොහෝ පසු කළ
කවිය බලන්න
The Kite
Have
You ever seen a kite?
Upside down on his own head
To pay homage bowing
Exposing gratitude
Thousand times
for his string
Photo by Agnieszka Ziomek
කවිය බලන්න
කිවිපති මාටින් ජයවර්ධන කිව්සුරු දැයෙන් සමුගත් වගයි
රසබර කව් ලියූ 'විරිතින්' සුව්සුද්ද
පහනක් වගේ දැල්වුණු හෙළ ගම්බැද්ද
මාටින් ජයවඩන කිවිඳුන් පරසිද්ද
සමුගත් වගයි අවසන මේ අවුරුද්ද
කාටත් වගේ පෙන්වනු වස් බල කවියේ
මාතර දකුණු පුර හොල්ලාගෙන සිටියේ
පාමින් අවැසි තැන බලතල කවි අවියේ
නෑ වෙන කෙනෙක් ඔබවන් සිටි මේ යුගයේ
පොත්පත් ලියූ කව් බස කවියටම නගා
අත් පොත් තැබූවො කර ඇත කවිය වගා
ඇත්තට නොදුන් කාටත් කිසි ව්ටෙක නිගා
සත්තයි ඔබේ නම පවතියි සතර දිගා
ගගුලක් ගැලූ ලෙද කී කවු හිටිවනම
මොහොතක් පමණ හෝ නිහඬව දුටුවනම
අඳුරක් කොහිද කවි සඳ දිලි නුබගැඹම
පවුරක් වුණියැ ඔබ බලයට පරපුරම
නැති කොතැනක වුවද යවහන් කව් දෝශ
නිති පත්තර වලට කව් ලියූ ස්වදේශ
සතියෙන් කල් ගෙවු සිටියෙද කොහි වාස
ගති ඔබෙ අමරණීයයි ගුණයෙන් පෝෂ
සවනට මී පොදක් දෙනු වස් රස දන්න
කලකට මතකයෙන් නොගිලිහී වැජඹෙන්න
ගමනට ගිමන් නිවෙනා තුරු සමුදෙන්න
නිවනට හනික නොගොසින් යළි මෙහි එන්න
28/12/2023
කවිය බලන්න
Dissolving in a rain drop - Sudharma Weerakkody London
Holding hands
Walked in river bank
Supporting solemate
Till acheiving to the brim
Rasied his buds
To flower and smell
Walking in rain with
Pouring tears...
Life desolved
In shining raindrop!
Photo; Guilherme Caetano
කවිය බලන්න
නව වසරට ආසිරි ......හෂාන් සම්පත් සමනලවත්ත
පැල් කොටයේ ලිප ගිණි යහමින් දැල්වීලා
මල් වන් දරුවන්ගේ මුව සිනා පිරීලා
කල් වේලාවට අව් වැසි නිබඳ ලැබීලා
සිල් ගත් පුරවරකට සිරි වෙනු පිරි වැඩිලා
ඇස් වල හිත් වල වැගිරුණු දුක් කඳුලැල් බිංඳූ
සැනින් ඉගිල හැම මුවකම සතුටු සිනා රැන්ඳූ
නව වසරේ සිව් කොන රැව් දී ජය දධ බැන්ඳූ
නිතිනි ඇසේවා සැමටම සාමයෙ ගී සිංඳු
වටහාගෙන සසර සරන භව මඟ ගැන අතිර
දුක් දොම්නස නසා ලැබිය යුතුයි සුවය සතිර
සාමය සමඟිය දස අත හැම හිතකම පැතිර
නව වසරම සුභ වේවා කිරි පැනියෙන් ඉතිර
හෂාන් සම්පත් සමනලවත්ත
කවිය බලන්න
කවියක් ලියමි මගේ පොඩි ගම මතක් වෙලා
වීදිය බණ්ඩාර රජ්ජුරුවන් ආපූ
ඉතිහාසයක රසමුසුතැන් ගලපාපූ
මුළු බටහිරට ඇති නුවරයි ඔදපාපූ
පිළින්ද නමින් දිදුළයි හැඩ වැඩපාපූ
සිංහරාජයට ළඟ නෑකම කියනා
කළුගල රක්ෂිතය වෙයි සැම සිත් බඳිනා
නිතරම ගලා හැලෙනා දිය මනබඳනා
සවනට නෙතට මනහර දසුනකි ගැටෙනා
හරිත වණින් බබළන වන වියන මැද
නිසලය ශාන්තය දැනෙනා සුවය අද
වන මැද පිහිටි අරණේ දම් සුවය විඳ
කිමිදෙමු අමා රසයක පෙම්බර සබඳ
දිසෙයි තේ රබර් කෙත්වතු හරි හැඩට
නටයි පුංචි දරුවෝ ඉපනැල්ල පිට
ගඟයි ගලන්නේ මඟුරුව කලාවට
ලොවයි දිනන්නේ පාසල කන්ද පිට
සිරිසිරි ගගා අවුරුද්දේම වැස්ස වැටේ
හෙරලිය පොළොස් ගෙන රසට ම දමයි කටේ
කොළපත රැගෙන ඇදගෙන යයි මිදුල වටේ
තාප්පයක් කොයින්ද මෙහි ගෙයක් වටේ
වැලි පොළොවේ බිංකුන්ඩන් නටවන්නේ
ලිප් ගල් තුන උඩයි කුසගිනි නිමවෙන්නේ
වේළුණු දර කැබලි හෝ ගා ඇවිලෙන්නේ
සීතල සුළං ඇවිදින් ගත පොරවන්නේ
ගස දැඩි උනේ කිරි පිහියෙන් දුක්විඳලා
සුළඟේ තාලයට නැලවී පද ගොතලා
කරුණාභරිත හදවත් සෙනෙහස පාලා
සැම දෙන පිළිගනියි මුව සිනහව පාලා
ටක් ටික් හඬින් තේ දල්ලේ ගෙල සිඳලා
විකුණා දමා ගන්නේ මුදලක් සොයලා
කහට කෝප්පෙන් මහ වෙහෙසක් නිවලා
කහට පාටට ම අතැඟිලි කට ඇරලා
බෝවිටියා දං හිඹුටු ද වෙරළු පලා
තිත්ත පැටව් හිටියා වක්කඩට වෙලා
තාර පාර යන වාහන ගණන් බලා
කවියක් ලියමි මගේ පොඩි ගම මතක් වෙලා
කවිය බලන්න
2024 නව වසරට සුබාසිරී!
මෙතෙක් යැයි කිව නොහැකි තරමට ගෙවී ගිය වසරම පුරා
බොහෝ කරදර රෝග පීඩා සමඟ විසුවත් දුක අරා
උදාවන මේ අලුත් වසරේ සියලු ඒ බාධක වරා
සිතේ ඇති සුබ පැතුම් ඉටුකර යමු සැවොම ජය ටැඹ කරා
කිසිම කෙනෙකුට දරා ගත හැකි නොවන දුක් පීඩා නොවේවා
එකෙකු නැතිකර තමා වැජඹෙන කුරිරු සිතුවිලි ඇති නොවේවා
ලැබුණු මිනිසත් බවට අවමන් වන ලෙසට ජීවත් නොවේවා
සොබා දහමෙන් පවා කිසිවෙකු වෙතට බාධක ඇති නොවේවා
අපල බාධක දුරැර සැමගෙම උතුම් අරමුණු සපල වේවා
දුබල වී ඇති සියලු ජීවිත සැමගෙ පිහිටෙන් ප්‍රබල වේවා
විපුල පූරිත ගුණැති තෙදබල සියලු දෙවි රැකවරණ වේවා
අමිල දායක තුණුරුවන් ගුණ බලෙන් සැමටම සැපත වේවා!
කවිය බලන්න
පාට
වළාකුළු අළු පාට වහිනකොට කලු පාට
ඉර එලිය රන් පාට බහිනකොට රතු පාට
මුහුද අළු නිල් පාට පෙන කැටිති සුදු පාට
වෙරළ ඊටත් වෙනස් ලා දුඹුරු වැලි පාට
මොකද මේ හැටි පාට හරි වෙනස් මේ පාට
පාට පෙට්ටියේ වත් මං දැකල නැති පාට
වළාකුළු අළු පාට වෙන්න පෙර කිරි පාට
ඉර එලිය දවාලට රිදී මුසු සුදු පාට
මුහුද හරි නිල් පාට පෙලක් තැන් කොල පාට
සුපිරිසිදු සුදු වෙරල ලා ම ලා කහ පාට
ජීවිතේ හැටි තමයි නේක විසිතුරු පාට
නුඹ දැක්ක හැටි වෙනස් මං දකින මේ පාට
Photo;Tharanga Dilrukshi
කවිය බලන්න
සරුංගලී....
ඈත අහසට
අයිති බව නුඹ
දන්නවා මම
සරුංගලී....
පාට කොළගෙන
ළඟට කරගන
සැරසු හැටි මම
සරුංගලී....
මතක ගොන්නක
අතරමැද මම
තවම ඉන්නේ
සරුංගලී....
උඩු සුළඟ අද
නුඹේ සෙනෙහස
අයිති කරගෙන
සරුංගලී....
ටිකක් හෙමිහිට
නූල ඇදපන්
රිදෙනවා මට
සරුංගලී....
මමත් ඇද්දොත්
නුබට රිදෙනවා
බැහැ අදින්නට
සරුංගලී....
තවත් බැරිවෙයි
දරා ඉන්නට
අත්හරිමි නුඹ
සරුංගලී......
හුලං වැඩිනම්
පහළ බැහැපන්
මග බලන්.. මම
සරුංගලී........
Photo; Giuseppe Famiani
කවිය බලන්න
කොන්දේසි විරහිත ප්‍රේමය
කපා බිම හෙළද්දිත්
අතු පතර විහිද ගිය
විසල් රුක තැවුණේම
හුස්ම දෙන්නට යළිත්
තම හුස්ම නැතිකමට...
නමක් නැති බැඳීමක
තිබුණේම නැතිවාද
කාටවත් නොපෙනිච්ච
කාටවත් නොදැනිච්ච...
ගැඹුරුතම ප්‍රේමයක්...
කොන්දේසි නොතිබිච්ච...
කවිය බලන්න
ගමනක් යනවා
පාරට බැස්සා ගමනක් යන්නට
සිතුවිලි පොදියක් මල්ලක දාගෙන
මම දන්නෙත් නෑ මොනවද සිතුවිලි
අරමුනු මොනවද
යනතැන කොහේද
කොහේද යන්නෙ
මොකටද යන්නේ
ආපසු එනවද
මගතොට හමුවන
දකින දකින අය
අසන දේට මට
උත්තරයක් නැත
මම යන එන තැන
මමත් නොදන්නෙමි
නුබත් නොදැන ගෙන
නුඹ යන එන තැන
නුඹ විමසන්නේ
ඇයිද නොදන්නෙමි
මගදිග රොඩුබොඩු මල්ලට පුරවා
මල්ල හලන්නට හිතදෙන්නෙම නැහැ
නවතින තැන ගැන නොදත් කමට මම
ගමනක් යනවා කොර ගහ ගහ මම
කවිය බලන්න
නිහඬ කවි
අනුවාදය :
උදයංග අමරසේකර
අපෙන් වසන් කරනු පිණිස
ඔබ සිත ම තැත් කරයි නම්
ඔබ සිත පහළ
ඒ මාහැඟි සිත්කලු සිතැඟි
නිහඬතාව ම
පුහුණු කිරීම මැනවැයි නොවේද ?
ඔබට ඊට අකුල් හෙලන
කිසිවෙකු මේ මිහිමත නැත
මහා ප්‍රංශ කවි
ෆ්‍රොන්සුවා ද මෙයිනාර්
François de Mainard (1582-1646)
මූලාශ්‍රය : P. DUPRE, ENCYCLOPÉDIE DES CITATIONS, ED. PARIS TRÉVISE, 1959. P. 15.
සටහන: උක්ත කවියට මාතෘකාවක් නොවී ය. එය තාවකාලික ව යෝජනා කර ඇත්තේ අනුවාදක විසින් බව සලකන්න.
සේයාරුව : උදයංග අමරසේකර, නිහඬ කුටියක කවි, නමූර්, ප්‍රංශය, 2220.
කවිය බලන්න
🗙




































































