2022 ජුනි කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2022 ජුනි කලාපය

ලොවම හඳුනන 'රැජින' ඔබවේ රැඳුන නිරතුරු මල් සිනාවන් වසර සැත්තෑ හෙබවූ කිරුළින් දියත විසිරුණු කිත් මනාවන් ඔබව දකිනට දසත මහ සෙන් නුවර ලන්ඩන් වෙත ගෙනාවන් දෙවිඳු පිහිටයි! මහ රැජිනියනි වැජඹ සියවස් සිත් පිනාවන්

අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

පුරා වසර සත්තෑවක් මහා බ්‍රිතාන්‍යයේ රජ කිරුළ දැරූ දෙවන එලිසබෙත් මහ රැජින 2022 ජූනි මස තුන්වනදා ඇයගේ ප්ලැටිනම් ජුබිලිය සමරන්නිය. ඇයට අපගේ හද පිරි සුභ පැතුම්!

God save our gracious Queen
Long live our noble Queen
God save the Queen
Send her victorious
Happy and glorious
Long to reign over us
God save the Queen’
– verse from UK national anthem

යසෝදරාවතේ  සිත්ගත් කවි

යසෝදරාවතේ සිත්ගත් කවි

මහනුවර යුගයේ ජන කවියා

යසොදරාවතේ සිත්ගත් කවි

දිව යහනේ බෝසත් නැගිට විගසිනේ
පිම්ම පැන්න ලෙස යමි මහණට ඉතිනේ
ඔන්න කවුද? දොරටුව ළඟ සිටින්නේ
චන්න මමයි දොරටුව ළඟ සුවාමිනේ

කවිය බලන්න
පොසොන් සදේ රුවගුණ ඉතිරිලා ගිහින්……….

පොසොන් සදේ රුවගුණ ඉතිරිලා ගිහින්……….

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

මිහින්තලා කඳු සිප එන සාදු නදින්

මහ කනදරා වැව පිරි සුදු ඕලු මලින්

අනුබුදු මිහිදු සමිදුන් දෙසු දහම් වැලින්

පොසොන් සදේ රුවගුණ ඉතිරිලා ගිහින්

මිසදිටු දමින් පිරි සිරිලක ඉන් මුදවා

මනරම් කලාවන්ගෙන් පන්සල් පුරවා

අහස සිඹින සුවිසල් දාගැබ් කරවා

පොසොන් සදේ සිරි අසිරිය වැඩි කෙරුවා

සියවස් පුරා පැවතුණු ඒ ගති සිරිතින්

බොදු හදවත් පිරී ඉතිරිනි හද බැතියෙන්

අදටත් වෙනස් නැත සිරිලක පොසොන් සඳින්

පියමැන බලනු මැන රජරට සුවද මැදින්

කවිය බලන්න
ගොවියාගේ ඉරණම

ගොවියාගේ ඉරණම

අන්ජලී චන්දිමා සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ගොවියාගේ ඉරණම

කෙසඟ සිරුර වාරු කරන්
කුඹුරට බැස උදේ රැයින්
කුඹුරු කොටන ගොවි රජවරු
අද මහ පාරේ

කණකර ටික උකස් තියලා
කුඹුරට වී පොහොර අරන්
කුඹුරු කෙටුව මෝඩ කමට
නෑ වාවන්නේ

දරුවන් කුස ගින්නෙ නිසයි
හාල් ටිකක් ණයට ගත්තෙ
රජකමටත් සුදුසු ගොවියා
සිඟමන් යදිතෙයි

කවිය බලන්න
යළි බිහිවනු මැන

යළි බිහිවනු මැන

ආරියරත්න ජයසිංහ මහරගම

ජාති ආගම් පක්ෂ භේදයෙන් උමතු සත් වග වෙසෙන
බොරුවෙන් හොරකමෙන් මුලාවෙන් නිරන්තරයෙන් පිරුන
සුවහසක් අසරණ දනන්ගේ දුක් සුසුම් මහ වැසි වසින
ගිනි ගත් දිවයිනකි බෙංගාල බොක්කේ අවපාත සුළි නැගෙන

කුසට අහරක් නැතුව කිළුටු ඇඳ අඳුරු අගුපිල ලගින
කඳුළු ඩාදිය හලන දෙවියන් වඩමවා යළි දෙවොල වෙත
හිඳුවා පූජාසනේ පළඳවා දිවසළු දෙව්බරණ හැම
ඉන්දීය සාගරේ මුතුඇටය කරන්නේ කවදාද මේ රට

බව සසර පුරා අප විඳින ඒ සොඳුරුතම වදන් පෙළ
ආදරය ප්‍රේමය මිනිස්බව වැළලී යන්ට පෙරාතුව
උත්තරීතර මිනිස් ගුණ වගාකොට මනුසතුන් සිත් තුල
ඉන්දීය සාගරයෙ මුතුඇටය කරන්නේ කවදාද මේ රට

මෛත්‍රී බෝසතුනි කඩිනමින් පහළවී සත් පියුම් පිට
ජේසුස් ක්‍රිස්තූනි දිවි පුදා හෝ යළි රළු කුරුස මත
නබී මොහමත්තුමනි යළි ඇවිත් බලා මේ දුක් හැම
ඉන්දීය සාගරේ දෙව්ලොවක් කළ මැනැවි මේ පුංචි දිවයින

කවිය බලන්න
රාගය යට .. ප්‍රේමය උඩ.....

රාගය යට .. ප්‍රේමය උඩ.....

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

අමුතුම රැයක නොසිතූවම වෙිලාවක
සෙනෙහසෙ නාමයෙන් නොවැටුණි මුලාවක
රාගය ප්‍රේමයෙන් යටවුණු කලාවක
අසිරිය විදිමි අදටත් හුදකලාවක

කවිය බලන්න
හෙද දින උපහාර,

හෙද දින උපහාර,

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

කඳුළක දුක දරා මුවගට සිනහ ගෙන

අවපස සඳට පිටුපා හිඳ එළිය මෙන

කවරෙකු ඇතිද රිදුමක් ළඟ සිතට වෙන

හෙදියක මිසක පවසට දිය දෝත දෙන

පරම ලාබ මදි විය ලෙඩ ඇඳට වැටී

අරුම පුදුම ලෙස හෙද සුව බෙදුව හැටී

වරුණ කියා ගන්නට බැරි තරම් වටී

කියන ලෙඩුන් අපමණ රෝහලක සිටී

බෙදාගන්න හැකිනම් තම කරුණාව

හිනාවෙන්න හැකිනම් බිඳ කම්පාව

නෙලාගන්න මෝරනු පෙර සංකාව

වෙලාගන්න හෙදියක වී නොපමාව

අවසානයක් නොපෙනෙන ආදරේ ඉම

උපකාරයක් අවැසිම තැන රැගෙන පෙම

වෙන කාරියක් නෑ හෙදකම සමඟ සම

උපහාරයක් වෙයි නයිටිංගේල් නම

කවිය බලන්න
ප්‍රේමයේ සිහිනයක්

ප්‍රේමයේ සිහිනයක්

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

සැඳෑ සමය ලඟා වෙනව හිරු කිරණද සිසිල් වෙමින්
එසැන නැගෙන අඳුර සමග සිත කිතිලයි සිනාසෙමින්
පසුකල දින කිහිපයේම සැඳෑව දෙන මේ සතුටින්
නිදි දෙව් දුව ළඟා වෙලා සයනෙට යමි කාන්දමෙන්

හෝරා දින වසර වෙලා ගෙවී ගියත් මහට හොරෙන්
ඇය මල් දම් රැගෙන එනව මසිත අවුළුවා දමමින්
පෙම් ගිණි මැද වස බඳුනත් එකල ගියත් ඉහට උඩින්
මේ මල්දම් නුඹේ සිනා මා විකසිත කරයි කැළුම්

නුඹෙ කෙහෙ රැලි සුළඟේ යන විලාසිතා දුටු එසැනින්
මා ඉගිලී ඉගිලී යයි වලා රොදක ගෙල සිඹිමින්
කිසිදා තී වත නැවතත් සිඹින සිහින නොම දුටුයෙන්
කෙළෙස නුඹේ රුව මසිතේ ඇඳී මහද සසලවමින්

තාරකාව ඈත දිළුන මසිත සැඳැවක ඇමිණී
පාව ගියා කිසිම දිනෙක නැවත මා සිතින් නොපැතී
කිම දෙනුවණ හැර මා ලය පාරවලා ගියෙ නොපෙනී
මා සයනේ තනිව වැතිර අඳුරේ නුඹ වැළඳ ගනී

කවිය බලන්න
සුභාෂිතයේ සිත්ගත් කවි

සුභාෂිතයේ සිත්ගත් කවි

අලගියවන්න මුකවෙටි තුමා

පබද පසිඳු කිවිඳුද යුදෙහි සෙබළු ද
පැහැද සුරති කෙළිනා වර වරඟන ද
කිවද තො තා යන බස් පෙරදැරි සුහද
වරද නොව අසත් නිරිදෝ වැඩම් නොඳ

කාව්‍ය කරණයෙහි ප්‍රසිද්ධ කවීන් ද, සටනෙහි දී
යුධ භටයන් ද, සතුටට පත් ව රති ක්‍රීඩාවෙහි යෙදෙන
විනෝදකාමී ස්ත්‍රීන් ද ආදරය මුල් කරගෙන තෝ , තා
යන බස් කීවත් රජවරු විරුද්ධ නොවී සතුටින් අසති.

කවිය බලන්න
නෙතු හෙලනු මැන හිමියනේ...

නෙතු හෙලනු මැන හිමියනේ...

ලේඛක, පරිවර්තක චන්දන ගුණසේකර ලන්ඩනය

සත්ත්ව හිංසා විනෝදෙට කළ තිස්ස නිරිඳුන් නවතලා
සියළු සතහට මෙත් සිසිල දෙන අනගි දහමක් පතුරලා
මිහිඳු හිමියන් එදා පැමිණිය ලක්දෙරණ අද වනසලා
රජුන් සහ ඇමතියො හඹා යයි මුවන් පසුපස එලවලා

දිවිය රැක ගත් මුවන් පරපුර අදත්‍ නොමැරී මැරෙන්නේ
දහම තම වාසියට හැරවූ රජුන් තවමත් රඟන්නේ
උන්ගෙ පසුපස ලොවින සිවලුන් දැයම වනසා දමන්නේ
වැදි බණම දෙසනා සඟුන් හැම රජුගෙ පදයට නටන්නේ

හිමියනේ සාවුන් මුවන් අද මහ මඟට බැස සිටින්නේ
වෘක සම පෙරවූ බැටළු හොරු තවම සිහසුණ හිඳින්නේ
දහම රකිනා අහිංසකයින් දඟ ගෙයටමය යවන්නේ
එදා ඔබ තැනු ධර්ම ද්වීපයෙ නීතියක් නැත රැකෙන්නේ

මිහින්තලයේ ගල් කුළත් අද ශෝක ගින්නෙන් දැවි දැවී
බලාගත් අත බලාගෙනමය තිබුණු දිස්නය ඇත නිවී
දෙපස ඇති අරලිය මලුත් ඔහෙ බිම වැටී ගොස් මැලවෙවී
පොසොන් සඳටය ගතු කියන්නෙ සුළං සමඟින් තැවි තැවී

කවිය බලන්න
නීතිය කුමට ද

නීතිය කුමට ද

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

නීතිය කුමට ද කාට ද කාගේ ද
එය හිමි රජුන්ටයි
යහතින් රජ කරන්ට යි
ඉතිහාසෙ ම සාක්ෂි

පාරේ යන නිකමුන්ගෙ
ආඩපාලි අඬහැර වලින්
බේරෙන්න යි
දමනය කරන්න යි
පර වැඩ ගන්න යි
දඟ ගේ ලන්න යි
දඟ දානකොට
ඕන නැති දේ ඉල්ලන කොට
සර්ව සාධාරණ යුක්තිය
මානව හිමිකම් වගේ
මනෝ විකාර
නිසරු දේ වල්

දෙන දෙයක් කා
ප්‍රජා අයිතිය නිදහස
ඉන්ට හැර පොත් පිටු අතර
රජුට රජ පැටියන්ට
නොකර කරදර
ඇයි බැරි උන්ට ඉන්න ට

නීතියක් දන්නවා
නිලමක්කරුවනුත් දන්නවා
බැසිය යුතු තැන අගල ට
නැමි නැමි යන්න ට
රාජ තේජස ඉදිරි පිට

නීතිය රජාගෙයි
තීන්දුත් එයාගෙයි
හිතුනොත් යවනවා
වැරදි කළ උන් ගෙදර
දමා දඟ ගෙයි
වැරදි පෙන්වන පරයින්
වැඩි ය දඟ නම්
යවනවා නොඑන තැනක ට

දමනවා කූඩු වල
සත්‍යය, සත්‍යය ඉල්ලන උන්
අසුරු සැනයට

හිටපන් සත්‍ය ඔහොම
නොකර දඟ මුහුණ පෙන්වන්න ට
මුහුණු ඕනෑ නෑ රටට
යමක් ලැබෙතොත් බඩ කටට

24-09-2021

නීති පොත් වල කුමක් තිබුනත් සර්ව සාධාරණ නීතියක් තිබිය හැකි ද ?

කවිය බලන්න
මුණුපුරා  සමගින්

මුණුපුරා සමගින්

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

දෙවසරකට වැඩි කාලයක්
ගෙවී ගියා කෝවිඩි සමඟින්
නොදැක මුණුබුරා
ජිවත් වුයෙන් වෙන රටක
ඉඩ ලද හැම විටකදී
තාක්ෂණය හමුවේ
පාසැලේ තොරතුරු ක්‍රිඩාගැන
කතා කලා සිනාසුණා
සෑදු කෑමක් නැරඹූවා
සිතින් රස විඳිමින්
මෙ හැම දෙයක් මැදින්
සැබෑ කරමින් අපෙ පැතුම්
දෑසට තුටු කඳුළු ....ඉනුවා
ඔබ සැම අප දකින්න එන පුවත
ගුවන් තොටුපලේදි අපි එකිනෙකා
බදා වැලඳ ගත්තේ
අපරමිත ආදරයෙන් සෙනෙහසින්
නිවසට ගොඩ වු සැනින්
පුංචි පුතුනි ඔබ දිව යන්නෙ
සොයාගෙන ඔබෙම කාමරය
Thomas ඡනෙල් රෙද්ද දැමූ .. ...
අත ගා බලා මදහසින්
සිහින ලොවෙ නිරතවනු දුටිමි
උදැසන අවදිව අපෙ නිදි යහනට පැන
මගෙ සීයා කියමින් තුරුළු වෙද්දි
අපෙ මතකයෙහි නැත කිසිවක්
නැගෙන්නට සිහියට අප පුතුගේ

එකම දෙයක් ඇත සිහි වන්නට
උදැසන පහේ කනිසමට
ටියුෂන් පන්ති ගිය හැටි
ශිෂ්‍යත්ව විභාගයට ලියන්න
තේරුණා රෝයල් කොළිජියට
හ්ම්,.....
සියාගේ එළවළු වගාවට පැන
මැල්ලුම් පලා නෙලා තාත්තා සමඟින්
කෑම මෙසයේ රස වින්දෙ අපුරුවට

විවෙකය ගතකරන්න
බෝඩ් ගේමක් ගහන්න
Rummy Kub
වාඩිවූනා සිහිපත් කරමින් අතීතයෙ
කැරම් ගැසූ හැටි අප පුත් සමඟින්
චුටි පුතේ .....
හරිම සතුටින්
සතුටු සයුරේ ඔබ අප ගිල්වුවා
තාත්ති වගෙ,.....

මුහුදු වෙරළට යන්න හරි ආසයි
දුව පැන ඇවිදලා,......
විනොදයෙන්
සවස් කාලය විවෙකයෙන් ගෙවන්න
තාත්තයි පුතයි එකවගෙම
වැඩ ඇරි ගෙදර ඇවිත්
දුවත් පුතත් සමඟින්
Gall Face පිටියට
ගියා මතක් වෙනව,...
චුටි පුතේ මහන්සියි
මා ගල් පරයක වාඩිවී
බලා සිටියා සයුර දෙස,.....
මා අසලින් වාඩිවෙලා
චුටි පුතත් නිහඬව,......
රළ කඳ නගන හඬ දැඩි වුනා
අඳුරත් හිමින් යා වුනා
නික්ම යා යුතුයි පුතේ,...
ගල් පරයෙන් නැඟිට එද්දී
මිමිනුවා චුටි පුතුනේ ඔබ
Nam Myoho Renge Kyo
මා හද බැඳි තුතිය
ඔබ මවටයි චුටි පුතුනේ

11/5/2022

කවිය බලන්න
පරිස්සමින් යාලූ...!

පරිස්සමින් යාලූ...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

*******************
පමණට වඩා විශ්වාසය
ඇති කලදී...
අනුනට පිහිට වන හින්දා
අප මුලදී...
ගණනට ⁣දුරින් නොතබා ගත්
පව පලදී...
විඳිනට වෙනව දුක් අවසන
හිතද රිදී...

අසහනයෙන් පෙලෙන දන අද වැඩිම නිසා...
ඉවසන අයට වෙන්නේ නම්
හරිම දොසා...
පවසන අයත් ඇත යම් දේ
හදම නසා...
අවසන වැරදි කරු කරනව
අයුතු ලෙසා...

නන්නාඳුනන අය මිතුදම්
පතා එන...
අන්කාලයට වැඩියෙන් ඇත
සිතා ගෙන...
දන්නාවුන් ලවා සොයලා
සතා දැන...
ඉන්නා එක ඇඟට වෙනවා
ඉතා ගුණ...

කවිය බලන්න
මල්ලිලාට කඳුළු ගෑස් ගහන්න එපා පුතේ

මල්ලිලාට කඳුළු ගෑස් ගහන්න එපා පුතේ

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

පසුගිය මැයි 7 වනදා පාර්ලිමේන්තුව ආසන්නයේ විරෝදතාවෙහි නිරත වුණ අන්තර් විශ්ව බලමණ්ඩලයේ සිසුන්ට කඳුළු ගෑස්ප්‍රහාර එල්ල නොකරන ලෙස ඉල්ලමින් මවක් හද සසළකරවන ආකාරයෙන් හඬා වැටුනාය.

නරුම නරපති සමග පිරිවර දැමූ දේශය මුලාවේ

අරුම හස්තය යොදා බින්දා තිබූ සම්බර තුළාවේ

කෙරුම ගැන දැන දනා උරණව විරෝධය පෑ වෙලාවේ

උරුම රකිනට නියුතු උන් හැඩ පෙන්නුවා ගැති කලාවේ

මුදාලනු ලෙස අපේ මව්බිම ඇදී නොවැටී ගින්දරේ

නගාලනු ගොස පිනිස ආවේ වීර සිසුකැළ අන්තරේ

නිවාලනු වෙනුවට එතැනදී තවත් කඳුළුයි එක්කරේ

දවාලනු තව එපා කියමින් හඬා ඇය හද තෙත්කරේ

මවකවී සිටි සියළු දූ පුතු වෙතට ප්‍රේමෙන් හදවතේ

නොහැකිවී තව බලා හිඳිනට දුක විඳින හැටි දසඅතේ

උරණවී නොව වේදනාවෙන් යැදිය කරුණා මුදුසිතේ

දෙපිලවී ඇති දූපුතුන් දැක කඳුළු පිරුණා යුගනෙතේ

සොහොයුරන් සටනක යෙදෙද්දී මවට සහනය දෙන ලෙසේ

අවිදරන් අත පහර දුන්නේ වායුවෙන් ගිනි ලන ඇසේ

ශෝකයෙන් ඇය නැගු විලාපෙට සවන් නොම දුන්නේ කෙසේ

ඉදිරියෙන් සිට බලා සිටි පුත හඬා වැටි ලක්මව දෙසේ

කවිය බලන්න
අසිරි පිනි දිය ....

අසිරි පිනි දිය ....

දීපා ද සිල්වා ලන්ඩනය

නුඹේ කම්මුල් පාසා කරවිත් කදුළු එක දෙක වැටෙන්නයි
වියලි ගම් බිම් අලුත් හැඟුමින් පියුම් පෙති මෙන් පිපෙන්නයි
බතේ හිඩැසයි හිතේ තනියයි දෙකම එක වර පිරෙන්නයි
කදුළු සිරි පොද අසිරි මල් වී හිසට ඉහලින් ඉසින්නයි

සුරත පා නෑකම් කියන්නට මග බලන තුරු නංගියේ
පා දොවන්නට දිය කඩිති ලග මාන අල්ලන කෙකටියේ
කලල මත සෝ සුසුම් හෙලමින් තනිව වැළපුණු නෙලුමියේ
සෝක සංකා අතැර රඟ දෙනු වසන්තය පැමිණී තියේ

දිය කඳ සරැලි නංවා ගැයු ගී රාවේ
පෙම්වත් බවට මද නල හෙමිහිට යාවේ
ඉහිනට සිරස් මුදුනට මල් වරුසාවේ
තවමත් දිය බින්දු එක දෙක විත් නෑවේ

අලුත් මනාලිගෙ මුහුණේ ඇති විළිය
පෙන්වයි නුඹේ අඳුරෙන් තොර කල එළිය
තැන තැන රඟන මිහි තලයේ සැනකෙළිය
මිහිබට සුර පුරක අසිරිය ඉසිලීය

කවිය බලන්න
මේ වන් පින් බිමක් හැර යනු පුළු වන් ද

මේ වන් පින් බිමක් හැර යනු පුළු වන් ද

ගාමිණී සුමනසේකර

නීතියෙ සිදුරු අතරින් රිංගා යන්ට
ජාතියෙ නමින් නො‌ම දෙව් රට කෑ උන්ට
මේ ජන බලය බැහැ තව නො‌තකා ඉන්ට
පීඩිතයිනි වරෙව් මව් බිම රැක ගන්ට

කළපලපුරුදු ඇ‌ති මෙ රටේ උගත්තු
පලයව් නො‌ම කියා කළහැටි සවුත්තු
නිල බල වලට නිවටුන් ලෙස විරිත්තු
බල තව අදත්නැත උන් සරි උගත්තු

ගුණනැණ නො‌දත් මානෙන් ඉදිමුනු හිසට
බුදු බණ උනත් නො‌තකයි තඹ සතයක ට
අසරණ වෙලා රට වැටනේ හිගමන ට
යට උන නිසයි මීහරකුන්ගේ බස ට

සිරි පා සුවඳ රො‌න් සුනු සමනල කන්ද
ජයසිරි බෝ‌ සමිඳු ගුණ සිහි කර වැන්ද

අව්කන පිලිම පා මුල මෝ‌හය බින්ද
මේ වන් පින් බිමක් හැර යනු පුළුවන් ද

කවිය බලන්න
සුදු නෙළුම් !

සුදු නෙළුම් !

ගර්ලි චන්ද්‍රිකා මාළබේ

නීතියේ දෙවඟන,
ඇයි ? තාමත්
නිහඩ,
යන යකා ගියාලු,
කොරහත් බිඳගෙන
අහිංසක ජීවිත
බිළිගෙන,
රටට අවැඩ
රජු සමඟ, පුරෝහිත
කැලත් තියාගෙන
ඉවසුවා ඇති
කාලය එළඹ ඇත.
නිදි ගැට හැර නැඟිටින්න,
වරෙව් සිහලුනේ
රොඳ බැදන්,
අපි ශක්තිමත්මැයි
උන්ට වැඩියෙන්
අව් වැසි නොබලා
ඔබ ගතින් වැටෙන දා බිදු,
මුතු කැටමය අපිට,
ඔබ මුවින් පිටවන වඳන් සිහ නඳමයි අපට
ඇස වැටෙන කඳුලු
දියමන්තියක් මැයි,
අයුක්තියට, අසාධාරණයට,
පීඩිතකමට,
එරෙහිව නැඟී සිටින
ආදරබර සොහොයුරනේ, සොයුරියේ
මුතු පොටක් මෙන් එකට ඇමුණුනු,
පෙළගැසෙමු,
බඳිමු අත්වැල්,
ශක්තිමත් අපි උන‍්ගේ
යදම් පවුරුවලට
වැඩියෙන්,
මා දිනු මේ දේශය
ගොඩනඟන්නට,
ලක් දරුවනේ
ආඩම්බරයි.
නුඹලා ගැන,
නු‍ඹේ සුවදින් ඔකඳවෙමින්
පිපේ ඔය වැලි බිම තුල,
පතොක් මල් වෙනුවට,
සුවඳ සුදු නෙළුම් මල් !!

කවිය බලන්න
අහසට ඇදගත් පිනි කෙල්ලක්

අහසට ඇදගත් පිනි කෙල්ලක්

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

වලාකුළු වීදුරුව මුදු හඬින් බිදුනා
පිනි වුවද වීදුරුය හෙමින් බිම වැටුණා
ඔබේ කවුළුවෙ පඩිය උඩත් පිනි තිබුණා
මමත් ඒ තියුණු පිනි බිදු අතර උන්නා

මීදුමේ ලෝගුවෙන් වසාගෙන කලු රහස්
ඔබේ මහ මන්දිරේ නිදාගෙන ගොලු වෙසින්
කවුළුවේ දොර හරිනු පිණිස ඔබ එන තුරුම
මග බැලුවා හීතලේ ගැහි ගැහී මම අදත්

වැළඳගෙන කටු ඇනී කුමට දුක් වේදනා
ඒක වෙන්නැති නාවෙ කවුලු දොර වෙත එදා
කටු ඇතත් සුකෝමල පිනි සලුව බිම හෙළා
නුඹේ වැහි ඇස් වසා හිරු මාව ගෙන ගියා

කවිය බලන්න
මිහින්තලේ අබිමන

මිහින්තලේ අබිමන

මාලපල්ලේ හේමාංගි අමරසිංහ

සහන් එළිය ගෙන දේවා
කළා මිහිර දඹුලුගලේ
නිවන් පුරය ළං වේවා
ගල් පඩි නැග මිහින්තලේ...
අරුමැසි පෙම් රස හමුවේ
ඉසුරුමුණියෙ පැතැලි ගලේ
පැරකුම් පිළිරුව අබියස
දෑ හැගුමන් පියුම් පිපේ...
සදකඩ ලියවැල් ලියැලේ
ලී කැටයම් ඇම්බැක්කේ
මීමුත්තන් තම පණ මෙන්
රජ දවසේ රැක ගත්තේ...
එවන් රුවන් රැක ගතහොත්
මතු අපගේ නමත් දිනේ
පොසොන් සද කැලුම් සේ
සිරිලක් මව දිලේ නැඹේ!

කවිය බලන්න
කවි බණක්

කවි බණක්

මහාචාර්ය ජගත් ප්‍රේමචන්ද්‍ර කොළඹ

කවි බණක්
පොත: අත් වැලක අස්වැසුම - ජගත් ප්‍රේමචන්ද්‍ර

වස්සාන කාලයේ බෝ මළුවෙ තැන්පත්ව
පින් කරන හැන්දෑව අද හරිම පාළුවෙන්

පොඩි නමගෙ මුදු හඬින් කවි බණක් අහගන්න
උපාසක අම්මලා පිරූ පින් අහවරද?

දරු සෙනෙහෙ එකතුකර දොහොත් මුදුනේ තබා
පිදූ රස කැවිලි කිරි-දත් පෙළට මදි වීද?

බෝධියේ අතු තුඩින් ඇදී එල්ලී දිගට
පිරිත් නූලක් හඬයි සරුංගලයක් සිහිව

ලොකු හාමුදුරුවන් බෝ මළුවෙ අසුන් ගෙන
රහල් හිමි ගුණ වනා බුදු බණක් කියයි අද

ආවාස ගේ ඇතුළෙ සාමණේරයන්ගේ
පාන්දර නිදි කිරන බණ දහම් පොත නිදයි

ඒ මතින් අසුන් ගත් පොඩි නමගෙ වටාපත
කවි කොළය අත දරා කවි බණක් කියනවා

"බුදු වෙන්නට සිහිල් හෙවනක් පිදු හින්දා
බුදු නෙත් සිහිල සතියක් බෝ රුක වින්දා
පෙව් කිරි තිසා වැව් දියටත් වැඩි හින්දා”
අම්මේ මම කොහොම ණය ගෙවමිද මන්දා"

කවිය බලන්න
වෙනස් දවසක්

වෙනස් දවසක්

කපිල කුමාර කාලිංග

සයුර ද උස් රළ
නොනගයි
නිහඬව අසා සිටී
තුරුණු පෙළ නගන
මහ ගොස

කවුඩන් ද නිහඬය
පහන් කණු මත
හඬ නගන තුරුණන් දෙස
බලා සිටී නිහඬව

තුඟු පිළිම අවටැති
ඉවත බලා කිම?
කළ වැරදි සිහිවදෝ
පසුතැවිලි හැඟීමෙන්

ශෝකී අඳුරු අහස් කුස
දිව යයි විදුලි එළියක්
නැගෙයි අකුණක හඬක්
දොරගුළු වැසී ගිය මැදුරක
කවුළු තිරයක් අස
බියෙන් සළිත මුහුණක් .

22/05/01

කවිය බලන්න
කොපමණ හැඬුවත් කෝ මළණුවන් මගේ !

කොපමණ හැඬුවත් කෝ මළණුවන් මගේ !

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

මතකය අවදියෙන්...
රැහැයි නද පරාදයි නුඹ හැඬු හැටී
ඇසෙයි-ඇසෙයි නින්නාදය සවන් ගැටී
ගැහෙයි තව ම හදවත් ඒ හ`ඩින් කැටී
දැනෙයි අපට නැති සොව පාලුවක වැටී...

මතකයි සාරි පොටෙ එල්ලී අම්මාගේ
දම්පල් විදු පියසෙ මල්ලී සංවේගේ
පෙන්නුවෙ ඉගෙන ගන්නට මැල්ලී - වාගේ
දුන්නේ තාත්තා ඇද සල්ලී - බාගේ...

දඟ දන අයුරු ගෙදර ද පාසල ද කියා
මඟ වෙනසක් වුණේ නැහැ අඬ දඹර නයා
රඟ දක්වමින් කකියන හිත දවන නියා
කඟ වෙස ගති ය පෑවයි හදවතට තියා...

ගෙය පිටුපසින් තිබු කුඹුරේ ඉපනැල්ලේ
දිව්වෙමු තරගයට අපි හැම එක එල්ලේ
යහළුවො-යෙහෙළියන් සේ අපෙ සෙවනැල්ලේ
සිටියේ නුඹයි මල්ලියෙ අද නැහැ රැල්ලේ...

මා දැන නොසිටි රහසකි නුඹ රැගෙන බවේ
ආ බව එතෙක් සඟවා අපෙ මව්ගෙ මුවේ
දා ගිය ගමන් අවසනැ අප රුදුරු ලොවේ
ආ-යුෂ අඩු ව නිම කළ වෙ ද නොසිට පවේ...

හැම විට ජේත්තුවට ම නුඹ ඇඳුම් ඇඳ
සැමගේ ආදරය දිනමින් සතුට විඳ
කැමැති ව හැඟුම් “දැය සුරකිනකමට” සොඳ
රැකුමට ගියේ උතුරට අපෙ සිහින බිඳ

වනසන විට දි රුපුණන් රට සරා ගෙන
වැනසෙන විට දි දෙපසින් අවි අරා ගෙන
සැනසෙන විට දි පිරිසක් ඒ දරා ගෙන
නැති වුණෙ එහි දි දූ - පුතු ම ය මරා ගෙන...

දැඩි හිත ඇති ව පුහුණුව ලැබ හමුදා වේ
වැඩි පිරිසකට නුඹෙ සිත නැත හමු වූ වේ
හැඩි-දැඩි සුළං හමුවේ නැත පසු බෑ වේ
සැඩි-යෙකු නොවන් නුඹ පර රුපු සි| දෑ වේ...

ඇසුවේ මා පැනය මගෙ හිත කිති කැවු ණූ
නැසුවේ කොපමණ ද ගණනින් මට කිය නූ
දුන්නොත් මෙමට කොසු මිට ඔහු අත තිබු ණූ
අවියෙන් මැරෙන්නේ කවුදැයි දැන් කිය නූ...

ඇසුවේ පැනය හරි පිළිතුර දැන ගන්ට
ඇසුවේ මගෙන් ඒ පැනය ම සිත් දෙන්ට
වැසුවේ ඔහුගෙ අයිතිය මට නොකියන්ට
පැතුවේ එක දෙයයි දැය එක්සත් වෙන්ට

කිව්වත් දහස් වර අපෙ මව් කකුල් බදා
ගත්තේ නොම ඇයි ද වෙනතක් සිතත් හදා
අදිටන සිතේ පොර කෑ හැටි වචන යොදා
කිව්වේ එයයි නෑ වෙනසක් වුණේ එදා...

ස- වියත් එඩිය පෙන්වන්නට මීට වඩා
තිබුණත් මඟක් ගත්තේ නුඹ ඇයි ද කුඩා
කි-ව්වත් සිය-දහස් වර නෙතු කඳුළු කඩා
බ-ලවත් ඉල්ලීම ඉවතට දුණි ද විඩා...

හදවත පතුළෙ ඇති දුක ගනු බැරි ව දරා
උණුකර රුහිරු බිඳුමත පපු කැණැති ඉරා
ගත සර පණ ගතිය මොහොතින්-මොහොත මරා
පිට වී ගලයි බටහිර රත් අඹර පුරා...

රිදුමෙක සුසුම් හඬ මෙන් ගඟ දිය ඇද් දේ
තුරුලිය හඬ -හඬා උමතු ව මෙන් පැද් දේ
කේතකි ගුහාවල කළු උණ බට සද් දේ
සුළඟින් වැයේ ශෝකී මළ බෙර සද් දේ...

වියැළී මැරී තිබු ගස්වල ඉපල් දිගේ
අහසේ කඳුළු බී නව දළු රිකිලි නැඟේ
මව්-පියො-සියන්ගේ කඳුළින් පොළොව පෙඟේ
කොපමණ හැඩූවත් කෝ මළණුවන් මගේ!

2022.06.01

කවිය බලන්න
ගාලුමුවදොර නේරංජනා ගං තෙර දී ය.

ගාලුමුවදොර නේරංජනා ගං තෙර දී ය.

කෞශල්‍යා ජයලත්

පසුකර බොහෝ බැරියර කඳුළු පිරි අනෝමා ගං තෙර
කාකි කන්ථක ඡන්න ද නොදුන්න ද මිතුරු හද වර
කර ආදරේ අබිනික්මන මතුරමින කරුණා මන්තර
සරා සඳ සිදුහත් පරපුර බවුන් වඩනා ගාලුමුවදොර නේරංජනා ගං තෙර

පැස පුරා කිරි පිඬු ගෙන සුජාතාවෝ වඩිති මනහර
මාර දූවරු ද අතරින් පතර කරනා කරදර
අනේ පිඬු සිටු පරපුර නිතර සෝයුරු දෑත් දිගු කර
තනිව බුදු නොවනා ගමනට සෙත් පිරිත් ඉසිති පින්බර

තක්සලා නුවර පොත් ගුල මැවින ගෝඨාගෝපුර
රජගහ නුවර ජීවක බෙදනයුර ඔසු සමඟ හද ස්වර
නීතියේ දෙවඟන ද ඇස් ඇර වෙරළු මිණි පවුර නිම කර
ගමක් තුළ ලෝකයක් තුරුළුව නඟයි හද තත් දෙන්න උවමක් සුමිතුර

වෙසක් රමලාන් යනුවෙන් එකම සඳවත නම් කර
පෙමින් හිනැහෙන සුතුර ද යතුර ද සොයා ගත් සොහොයුර
හිනැහී හිජාබය අතරින් මරතොණ්ඩි රටාවැති දෑත් දිගු කර
දන් දෙන කොකිස් වටලප්පම් සත්තයි පරදවයි අමයුර

අන්තෝනි සෙබස් මුනිවර ජේසුගේ කුඩා කුසුමන් පෙරහැර
අසුන්ගෙන අසල බැරියර සුරකිනා අරගල ලෙන් දොර
මුසු වී කන්ද උඩ දෙසුමට දම් සක් සුතුර පින් ස්වර
මක්කම ද මල් උයන ද ගයාව ද ඉදි වී මුවදොර

නන්දිකඩාල් රුහිරු සයුරේ පීනනා තනි වරල් මින්හර
චෙම්මිණියෙ හා සියක් ගම්වල වෙඩි වැදුණු හස ය මිහිදන් කර
බදා ගෙන උර උර පපුතුර බෙදා ගමු අපේ කඳුලැලි බර
නැඟිටිමු විලස පවුරක් දල්වා පහන් මුවදොර

තවරා අරලියා පෙතිතර රත් ලේ සයුරු ගොරතර
ගුරු පඬුරු සොයමින ගිනි ලෑ දොර දොර දරා කඩු තෝමර
අංගුලිමාල පරපුර සෙලෙව්ව ද ලේ සිරස කුඩුකර
කෙලෙස නවතනු ආදර අරගලය පණ ගසන හදතර?

හැර ගිය ද පස්වග මහණුන් නොසැලෙන්න මුදිත මුනිවර
බලන් සියොළඟ දැවටුන මුදු හදැති මුචලින්ද පරපුර
දුකර කිරියා සමය නිම වී ගයා හිස නිමැ වී මුවදොර
එක ම නැකතක ලෝකෙම බුදු වෙනා උදෑසන අර අර

 

කවිය බලන්න
වැන්දඹු වුු ප්‍රේමය

වැන්දඹු වුු ප්‍රේමය

කංචනා කුමාරි දොඩංගොඩ පන්නිපිටිය

දිගු කලෙක සිට
මටම නොදැනිි
මියයමින් සිට ඇත
මගෙම හදවත රැවටුු
එහිම දළු ලා වැඩුනු
මලක් සේ පිිදුනත්
මලක් විි නොපිපුණු
අකලට පිපිි
පරව යන්නට බලා සිටි
ප්‍රේමයේ බිජුවට...

එය
සියයට සියයක්ම
මියැදුනු දිනය
හොදින් මතකය මට
ඊයෙ අද වාගේම!

වැන්දඹු වු පතිවත
කහ ගැහුණු සුුුදු සේළයෙන් වැසිි
හොරෙන් බලනා සැටි වටපිට
මගෙම හදවත දුටු දිනද
මතකය අද වාගේමය...

මංමුලාවී අයාලේ ගිය හදවතකට
තුන්සිතම එකතුකර
පුද කළ ආදරය
බිම හෙලා කැබලි කල පසු
මගේ වැන්දඹු වුු ප්‍රේමය
අකල් කඳුලැලිි වැස්සේ තෙමි
බුරා නැගෙන වෛරිිය ගිනිදැල් මැද
සති පුුජාවට
සැරසෙන සැටි බලව!!

30/05/2022

කවිය බලන්න
පොඩි පුතා!!!

පොඩි පුතා!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

අනේ මගේ රත්තරං පොඩි පුතේ.......

කප්පරක් බලාපො⁣ෙරාත්තු මල්ඵල ගන්වමින්

උබ උපන් වෙලාවේ.........

අප්පච්චි හිටියේ රජ කම ලැබුනා වගේ......

කර්කශක අව්වට කෙඩැරි වුනු ඒ කය කෙලින් කරන්

එදා උන්දැ පැල පුරා ඇවිද්දේ අඩියක් දෙකක් උඩින්...

වේලපත්කඩේ බලලා ඝණ තියාලයි

එදා අප්පච්චි උබට නම තිබ්බේ....

අනේ මගේ රත්තරං පුතේ, හීනේකින්වත් හිතුවේ නැහැ එදා.....

උබේ ඒ නම මෙහෙම පවුරක මට හොයන්නට වෙයි කියා!!!!

ජුනි 2022

කවිය බලන්න
මෙත් ගුණින් අප සැම රැකේවා !

මෙත් ගුණින් අප සැම රැකේවා !

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

විනාශය පෙනි පෙනි,
අයිති නැති බව දැනි දැනි,
වෙනසද වලක් වනු බැරි
එසැම අපිටම අයත් වන සැටි
අවිද්‍යා තුරුලු කරගනිමින්
තන්හා මානේ රියට නගිමින්
බලා ඉමු අපි සසර ගමනින්
එතෙර වෙනසැටි කඳුලු හලමින්

මෙවන් බොදු බන ඇසෙන සැම දින
සමරමින් ඒ ලැබුන නැන ගුන
ත්‍රිලක්ශන ගුන ලඟා කරගෙන
සසර මග කෙටි වන්ට අදිටන
වෙරය රියටම නැගී සතුටින්
යන්ට සිතුවිලි පහල වේවා!
මෙත් ගුනෙන් ඔබ සැම රැකේවා!

කවිය බලන්න
පසුවදනක්

පසුවදනක්

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

උඩවත්ත කැලේ ගස් - බිම හෙලා කුසුම් පෙති
කළු වලා ඇදී විත් - සැඟෙව්වා ඉරේ එළි

හැමුව මුත් සුසුම් වැද - බියකරුම සුළං රැළි
නිසසලව ගල්වුනා - නුවර වැව් දියේ සුළි

ගහලයා උඩට ගත් - කගපතේ කොණ වැදි
ගිලිහුනා හිස කඳින් - ගලා ලෝහිත කැදලි

අයියණ්ඩි බිය නොවන් - මහ හඬින් කිව්වාට
නොදැන හිටියා නේද - පස්සෙ වෙන දේ ඊට

ලියුවාට පොතපතේ - වීරයෙක් ලෙස මාර
නම්බුවට පෙළපතේ -බරක් දුන්නට බෝම

බේරගන්නට නුඹව - නොහිටියෙන් ළඟපාත
අප්පච්චි ඇහැළෙපොළ - වැළපෙනව ඇති තාම

කවිය බලන්න
කිනිහිරියා මලක්...

කිනිහිරියා මලක්...

මයුරි කොඩිකාර ගම්පහ

කිනිහිරිය මලටත් පෙම් බැන්ද
බඹරු හිටියලු බිව් මකරන්ද
හදෙහි උහුලපු දුක් කන්ද
අමතකව මදකට සුව වින්ද

රළු පහසට ලොබ බැන්ද
සිරුර පුරා සලකුණු ඇන්ද
රිදුනු තැන් දැක පිරි මැද්ද
ඇත්ද කිසිවෙකු සිත් බැන්ද

එකෙක් ගියපසු තව එකෙක් ඩැහැ ගත්ත
සියුම් කෙඳිරිය සැපක්⁣ සේ නිති විඳ ගත්ත
මොණර කොල ලංසුවෙන් දිවි රැක ගත්ත
ඇයත් පණ ඇති දියණියකි සිල් බිඳ ගත්ත

ගැලවු රෙදි ලෝකයා මැද ඇඳ ගත්ත
සුදු චරිතයක් මවන් අනෙකගෙ හද ගත්ත
නිදාගත් ඇය දුටුව නෙත් අහකට ගත්ත
වසාගෙන හෙළු, සිනා මුව මත ඇඳ ගත්ත

සිතනවානම්....... යමක් ....

මයුරි කොඩිකාර
ගම්පහ

කවිය බලන්න
මිහිඳු සමිඳුනි අවසරයි !

මිහිඳු සමිඳුනි අවසරයි !

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

මිහිඳු මාහිමි වැඳපුදන්නට සුදෝසුදු වැලි මාවතේ
ඉහතදී අපි මිහින්තලයට පැමිණි හැටි සිහියට එතේ
එකල විඳි ඒ සියළු සම්පත් සිහිනවී පාවී යතේ
පොසොන් පුරසඳ බල බලා දැන් සුසුම්ලන්නට වී ඇතේ

අප කෙරෙහි වන් මහා කරුණා පෙරදැරිව වැඩියේ එදා
උතුම් බුදුදම් තිළිණ කර බබලවන්නට සිරිලක සදා
ලියන කියවන අඳින පලඳින සියළු සුරුකම් දුනි බෙදා
එහෙත් හිමියනි අවසරයි , මුළු රටම අඳුරට ගොස් මෙදා

මුසාවෙන් ජනතාව රවටා බලයටම කෑදර වෙමින්
එදාමෙන් නොව අද සිටින්නේ රුදුරු රකුසන් රජ වෙසින්
අනාගත පරපුරට යන මං ඇහිරිලා ඇත සිවු දෙසින්
පින්බිමක්සේ සමිඳුනේ ඔබ දුටුව ලක අවරට ගොසින්

දෙවනපෑතිස් නිරිඳු දෙස බස නැංවුවත් බුදු බණ අසා
මෙකල ඉන්නේ මවුබිමත් විකුණා බුදින්නන් තලු ගසා
දුරින් දුරුකර එවන් දෙස්පල් අපතයින් නොඑනා ලෙසා
යළිත් සිරිලක පනගසා දෙනු මැනවි වෙන කිසිවක් එපා !

25.05.2022

කවිය බලන්න
පොසොන් සඳ

පොසොන් සඳ

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා High Wycombe - UK

නිල් අහස් කුස හරිම එළියයි
ඇයිද අම්මේ අද මෙසේ
පොසොන් සඳ මුළු ලොවම එළිකර
දිලෙනු දුටුවෙමි මගෙ පුතේ

පොසොන් පෝයයි දහම් සිසිලයි
කිමද එකවිට දැනෙන්නේ
එදයි බුදුදම සිරිලකට
ගෙන වැඩියේ මගේ දූ පුතුන්නේ

මිහිඳු රහතුන් මිහින්තලයට
එදා වැඩි බව කියනවා
මෙත් සිතින් දම් දෙසනු රිසියෙන්
එදා වැඩිය බව දන්නවා

කවුද අම්මේ මුවන් මැරුවේ
එදා වන සිරි වනසමින්
දෙවන පෑතිස් රජුන් සේනා
දඩකෙලියේ ගිය බව දනිම්

අපිවගේ මුව පොවුන් අම්මේ
හී වැදී මියැදෙන්න ඇති
එදා රජ සිත රුදුරු විය පුත
සුමුදු බව අඳුනන්නේ නැති

සතුන්ටත් නිදහසේ ඉන්නට
අපිට මෙන් අයිතියක් ඇති
රජුන් සිරිසැප මැද ගෙවිය දිවි
එදා පින් පවු දන්නේ නැති

මිස්සක පව්වේ මුවන් සැමදා
මර බියෙන් දිවි ගෙවන්' ඇති
අහන් මෙය පුත දහම් සිසිලස
සිතේ ගිනිදැල් නිවනු ඇති

අසන්නෙමි දෙසවන් යෝමන්නෙමි
කුමක් විනිදැයි අසනු රිසියෙමි
ඉතින් අම්මේ කුමක් වීදැයි
පමා නොමවී අසනු රිසියෙමි

'තිස්ස', 'තිස්ස' යැයි මිහිඳු හිමි
රජ ඇමතුවා ඔහු නම කියා
විමතියෙන් රජ දසත බැලුවා
සසලවී සිත නෙතු අයා

දහම් රස මුසු මිහිරි වදනින්
මිහිඳු හිමි බුදු බණ කියා
සරණ තෙරුවන් වැලද ගත්තා
තිස්ස දුනු හී බිම තියා

කවිය බලන්න
A Butterfly and a Man

A Butterfly and a Man

ඊ.ඩබ්.එස් නයගරා

A butterfly flies to a flower garden,
That butterfly begins to drink nectar from a flower to quench his hunger,
But after drinking enough nectar, He no longer drinks too much nectar from any flower,
He saves them for someone else and flies away…

But
After few moments ,

A man goes to pick flowers in the same garden,
He picks flowers, He picks as many flowers as he needs until his basket is full,
But even after the basket was full of flowers, Even after his need is met,
His desire never ends, He thinks,
“This beautiful flowers withers on the tree itself, Therefore all the flowers should be plucked”
With that in mind,
He picks all the flowers without leaving a single flower for anyone else…

Why do people have so much greed and selfishness??

කවිය බලන්න
කෙසේ සිනාසිය හැකිද සතුටින්

කෙසේ සිනාසිය හැකිද සතුටින්

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

වේලෙන දිග හැරෙන තණ පතෙහි
ඉදී හැලෙනා තල් පතෙහි
ඉරට වේලෙන දිය බිදෙහි
විකසිතව පරවන පෙති මතෙහි
දියව යන විට තාරුණ්‍යය
ඇදී එයි මහළු බව
බෙනයට වදින උරඟකු සේ

මලකඩ බැඳී ඇත ඇට මිඳුළු
එසවිය නොහැක පා යුග
වැටෙහි ඉණි මෙන් දත් දෙපළ
සෙලව ගැලවී ඇත

කෝණු හාසෝ - කිමා නන්දෝ
කෙසේ සිනාසිය හැකිද සතුටින්

එකොළොස් ගින්නකින්
දැවි දැවී යන සිතකින්
මන නන්දනීය විලසින්
සිනාසිය හැක්කේද කෙලෙසින්

කවිය බලන්න
පැලට වඩින තුරු.........

පැලට වඩින තුරු.........

නිරෝෂා ගුණසේකර බුත්පිටිය

ගයන විට මියුරුගී රැහැයි කැළ ගංගොඩේ
තිත්තයින් ඒ නදට දඟකරයි වක්කඩේ
නිවාගෙන කුසගින්න හූරමින් දංකුඩේ
පැලෙහි නුඹ තනියෙන්ද ලඟම අලි මංකඩේ

නා කැපෙන කළුවරේ නෙත සොයන සඳවතිය
පෑ සිනා මතකයට නැගෙන කල හද කිතිය
රෑ හඳට පෙම් බැඳන් සඟවගත් මුදු රතිය
වෑහෙනා හැඟුම් සිත තෙරපුමත් මට ඇතිය

සඳ නැගෙන විට අඹරෙ මගේ රුව මවාන
කොඳ මළක් නැහැ පුඩුවෙ දැවටෙන්න තියාන
පිබිදෙනා හැඟුම් මැඩ මත් දෑස පියාන
වඩින තුරු මම පැලට හිඳින් නෙත් අයාන

කවිය බලන්න
මෙභීෂණය නොදැනද දෙවොල ගත්තේ

මෙභීෂණය නොදැනද දෙවොල ගත්තේ

නිමල් අබේසිංහ කඳාන

ජරා මළත් සෝදාගෙන ගලයි නදී
නිරාමිසයි බුදුහිමි පා පහස විඳී
ගරා යකුන් මේ තුම් පින් බිමට වැදී
සුරා සොඬුන් සේ රටටම කරයි හදී

පරෙවියා ලැගල හුන් මේ ඉසව්වේ
මැරැවියා අවල කෙලිමයි කෙලව්වේ
සර්පයා නමින් ලත් මුන් කොදෙව්වේ
නෙතු පියා ඉන්නෙ කෙලෙසද ඉළව්වේ

ආරලා එන්නෙ තලමල සේයාවේ
සූරලා ගනියි යන යකු ඇලියාවේ
සේදිලා යන්න ලං වුණු හෝරාවේ
කෑරලා හැඬුවෙ අරලිය මාරාවේ

මාද්දියට වින කටිනා දුෂ්ටයා
සරස්වතිගෙ දූදරු පෙළන කට්ටයා
වෙසමුනියාට ලංවී කෙලින මුට්ටියා
දෙපා කඩා එලවන් ජාති භ්‍රෂ්ටයා

මගේ අණයි පවතින්නේ තුන් හෙළට
වගේ කතාවක් කියලා ඇත රටට
අගේ ඇති වැඩකි කරගත්තොත් යසට
තගේ පිස්ටලෙන් ගිනි බිඳගන් පුකට

හිඳෙන්නට පෙරදි දිය වැඩිවෙයි මුහුදෙත්
නිවෙන්නට පෙරදි සිල වැඩිවෙයි පහනෙත්
දිරන්නට පෙරදි බොල් නඳ එයි ලීයෙත්
නහින්නට පෙරදි කට වැඩිවෙයි කාගෙත්

ගඟේ මූදෙ ඉරලා දැම්මත් අටට
මගේ මනාපය දෙන්නේ නැහැ තොපට
රඟේ වැටහේවි හෙණ වදිනා කලට
මුගේ වැඩ හොඳයි ඒකාගෙම මවට

විභීෂණය දෙවිඳුනි මහ පිනැත්තේ
මෙ භීෂණය නොපෙනිද දෙවොල ගත්තේ
සුභාෂිණිය හඬ රැව්දෙන හිතැත්තේ
ජනී ජනය දුක කිම නොදැනගත්තේ

උතුම් විභීෂණ දෙවිඳුනි පරසිද්ද
එදා සිටම රැකගත් බිම අති සුද්ද
මෙදා මෙබිම පහරණ බවනොදනිද්ද
ගොරා මරා නෙරපනවාදෝ නැද්ද

කැලණි පුරයට, කොත්කැරැල්ලට බෝධි මළුවට , වෙහෙර මැඳුරට
මැණික් පුටුවට, එරන් කඩුවට දිව්‍ය උයනට මාලිගාවට
පවත්වා සිය අණසකින් පිරි මෙසිරිලක රක්නා මනා කොට
හෙලා දිවනෙත් විභීෂණ දෙවි යවන් මැරයන් යමය ගාවට

යොදා දිව නෙත් බලා සව් දෙස නිරාකරණය කරන් අවුලත්
යදාවක් ගෙන මරා ගෝරා යවන් පරලොව සමග කපුටත්
මුදාගන්නට නොකළහොත් ලක යොදා නිසිලෙස ඔබේ දිව නෙත්
මෙදා ජනයා කරනවා කුඩු සැබෑ ඇත්තයි ඔබේ දෙවොලත්

කවිය බලන්න
තවම මොකුත් වෙනසක් නැද්ද ? - නැන්දම්මා

තවම මොකුත් වෙනසක් නැද්ද ? - නැන්දම්මා

නුවන් තොටවත්ත

දරු සෙනේ කියන්නෙම
දුකක් නොදෙනා එකට
මං එහෙම හිතාගෙන
ඉන්නවා

කාලයක් දේශයක්
බලනු බෑ හැමෝටම
මං ඒක හොඳටෝම
දන්නවා

රිංගන්න හිතාගෙන
ඉඳල හිටලා රෑට
නෙලුම් මල් ගත් ඇත්තු
එබෙනවා

විසි හතර පෑ යන්න
කලින් පෙත්තක් බීල
මං උන්ව එලවලා
දානවාl

කවිය බලන්න
සැළමුතු පෙම (කවියාගේ බිරිඳ )

සැළමුතු පෙම (කවියාගේ බිරිඳ )

නිශ්ශංක දිද්දෙණිය

නුඹ පද පෙළකි කවියකි කිසිදා නොලියූ
නුඹ සිතුවමකි තෙලිතුඩ කිසිදා නොදුටූ
නුඹ රිද්මයකි නළුවක රැඟුමක නොරැඟූ
නුඹ මගෙ පියබඳ ඒ සැම රස පහස මැවූ

දෑඟිලි බැඳි හුයේ රැස් වියැකෙන විට
ගෙල බැඳි මාල උකසේ දියවෙනා විට
වැදුමව් විරසකය දිවි මග කැළඹු විට
මව් බිරිඳක් වුණේ නුඹ මා තුරුළු කොට

හැරයන ඥාති මිතු පිහිටක් නොලඹාම
ගිලිහුණු කිතු ගොසට ලොබ බැඳ නොහඬාම
ගේදොර වෙලාගත් හැමබර උසුලාම
නුඹ සැනසුණු සැටි ද මට දී සැනසීම

කවිය බලන්න
දින 50 පසුකරන ආදරයේ අරගලය

දින 50 පසුකරන ආදරයේ අරගලය

නිශාන්ත ප්‍රීති සෙනරත් ලන්ඩනය

 

පුරා දශක ගණනාවක් පාලකයන් හොරා කාපු
දෙපිල බෙදී මාරු වෙවී දුෂිතයන් රජ කරාපු
ඒ හොරුන්ට රැවටී රැවටී හැමදාමත් චන්දෙ දීපු
පරම්පරාගත ගොන්කම එපා කියලා නැගී සිටපු
මිනිසුන්ගේ අරගලයය් සිරි ලක්බිම අවදිකරපු

මහා කන්නෙත් වගාව නෑ, යල කන්නෙත් වගාව නෑ
පොහොර ගන්න ඩොලර් නැතිලු
රෝගියෝ ටික වැලපෙනවා
බේත් ගන්න ඩොලර් නැතිලු
වාහන මග නවතිනවා, මිනිසුන් පෝලිමේ ඉඳගෙන
ඉන්ධන ගැන වැළපෙනවා
පොඩි එවුන්ට කන්න දෙන්න
උයාගන්න ගෑසුත් නෑ
කිසිම වැඩක් කරන්න බෑ, විදුලිය නෑ මහජනයට
ඒ උනාට රජමැදුරේ
ගෑස්, ලයිට්, ඉන්ධන ඇත
පැය විසිහතරෙම AC
දාගෙන උන් රට හදනවා

ගෑස් ගන්න, බේත් ගන්න
තිබුන ඩොලර් වියදම් කර
කඳුළු ගෑස් ගෙනාපු ඒ
හිත්පිත් නැති පාදඩ රැල
අරගලයේ දරුවන් හට
කඳුළු ගෑස් ගහන ගමන්
වතුර බව්සරේ ගෙනවිත්
ජල පහරින් නාවනවා...
ඒ උනාට අපෙ දරුවන්
නවත්තන්න උන් හට බෑ
අසාධාරණේ අභියස
නිවටයෝ ලෙස වැටී ඉන්න
තරුණ ජවය ලෑස්ති නෑ.. ..
සූදානම් මහතුනි උන්
මේ හොරු රැල එලව දමල
අළුත් රටක් ගොඩ නගන්න

ගෝඨාගෝගම කියලා
අරගලයේ ගම හැදුනා
රටට ආදරේ මිනිසුන්
එක රොත්තට එකතු උනා
ජාති - පක්ෂ - ආගම් කුල
පන්ති - වයස් පරතර නැති
ආදරයේ අරගළයට
ජවය දෙන්න තරුණයො කැල
මිමස්සන් සේ රෝද බැඳ
ආදරයෙන් එකතු උනා
මේ සටනට සහය දෙන්න
ලංකාවේ හතර වටේ
ගෝඨාගෝගම් හැදුනා
ලංකාවේ පමණක් නොව
ලෝකේ වටේ විදි පුරා
ලාංකිකයෝ හඬ නගනවා
ආදරයේ අරගලයට
ගඟක් වගේ එකතු වෙලා
හොරු එළවන්නට එනවා...
මේ ජනගඟ නවතන්නට
ජගතෙක් මේ මිහිපිට නෑ...

දින 50ක් ගියත් අනේ
අරගලයට මහන්සි නෑ...
දුෂිතයන් පලවා හැර
අළුත් රටක් හදන තුරා
අරගලයට නින්දක් නෑ....
පාලකයිනි මේ අහන්න
හොරා කාපු සල්ලි දීලා
කරුණාකර ඉවත් වෙන්න
වෙන විකල්ප විසඳුම් නෑ...

නීතිය , සාමය රජයන
දූෂණ වංචා නැති උන
රටට ආදරේ මිනිසුන්
අලුත් රටක් හදන තුරා
අරගලයත් පවතිනවා....

කවිය බලන්න
උඩු, ගුවනේදී ලියූ කවි

උඩු, ගුවනේදී ලියූ කවි

ආචාර්ය නිශාද් උඩුගම්පොල කේම්බ්‍රිජ්

ගිහින් වයසට
දෑසත් දසුනත්
රුවත් පුසුඹත්
ගහකොලත් ගේදොරත්
මාපියන් මාප්‍රියන්
මම

විඩාබර දෑස්
දිරාගිය දෑත්
සුන්වූ පැතුම් ගැන
නිහඬවම සුසුම් ලන
කොම්පැනියෙ වැඩ නිමව
තම පුතුන් එනතුරා
දෑස් දල්වා හිඳින
මුණුපුරන් පස දුවන
උන් හිනාවෙන්
කඳුලු පිස දමාගෙන
නිවන් ලොව අතගාන
ඔවුන්

පෝලිමේ කලුවරේ
ගතුකියන නිදිමරන
දූපුතුන් මාපියන්
සන්තොසින්
තියන්නට කැස කවන
මොබයිලය කන පැලඳ
රන් කාසි ඇහිඳ යන
ඔවුන්ගේ දූපුතුන්

ඔන් ලයින් ලෝකයේ
එල්බගෙන වෙර දරන
නිම් තෙරක් හඹායන
පවනසේ ගසා යන
හෑෂ්ටැග් පරපුරේ
ඔවුන්ගෙත් දූපුතුන්

දුරු රටක
හිඳ විටෙක
බක් මහේ එක් දිනෙක
පාව විත් දුං දමා
ඩෝං ගා දැවීගිය
අහස් කූරක් උනිද
නිමක් නැති
අහස් කුස
මම?

සබඳ,
මීවිතක් තොලගාපු
ගීතයක් මුමුනාපු
මූදු රල පයගාපු
නිමේෂෙක,
පුලිඟුවක් වත්
දුටුවාද
නුඹ?

කවිය බලන්න
නූතන පෝලිම් කවි..

නූතන පෝලිම් කවි..

ඉන්නෙත් ටවුමෙමයි තෙල් පෝලිමක් අග..
කන්නෙත් කටු තමයි (නො)දුන් චන්දයෙ පවට..
එන්නෙත් බවුසරෙයි ඒකත් විටින් විට..
යන්නෙ කවදාද පොම්පය දකින්නට..

අද උදේම මම ගමනක් යන කලට..
බවුසරයකින් බානව තෙල් ශෙඩ් එකට..
දැක්කත් සැපයි සතුටකි මිහිරකි සිතට..
ඉක්මන් වෙලා සෙට් වුනි පෝලිමෙ අගට...

එහා ගමේ තෙල් ඇවිදින් තිබේ ලූ..
මෙහා ගමෙත් තෙල් ඇවිදින් තිබේ ලූ..
අපේ ගමට අද තෙල් එන්නෙ නැති ලූ..
එහෙම කිව් එකාගෙ කට කෑ හැකි ලූ..

ඔන්න මලේ ඔය ශෙඩ් එකෙ බලා වරෙන්..
තෙල් තියෙනවා ෆේස් බුකියේ දමා වරෙන්..
අපේ ගමට එන බවුසර් බලා වරෙන්..
සාදු කාර දී තෙල් ටික ගහන් වරෙන්..

මාතර ගමේ උන් ඒ ඇමති ගෙ පැටියා..
කට සද්දයි තෙල් ඇමතියා වූ සැටියා..
යන එන තෙල් නැවුත් මුහුදේ නවතාගෙන සිටියා..
ඩොලර් සොයයි මාතර ඇමතිගෙ පැටියා..

තෙල් පෝලිමේ මම රත්වී ඉන්න කොට..
රුවැති ළඳක් ආවා මගේ ඉස්සරට..
මුකුලු පපා පෑවත් මායම් හැටට..
දෙන්නේ නෑ යන්නට පෝලිම මුලට..

ගියත් බෙන්ස් එකේ හැඩ වැඩ දමාලා..
ගැහුවත් අට බයික් එකේ නවාලා..
යන්නෙ ත්‍රී විලේ අස්සෙන් දමාලා..
එක පෝලිමේ කවුරුත් උඩ බලාලා...

ගඟ දිය බොර වුනොත් විපක්සෙටයි වාසී..
ඒ දිය මොක වුනත් මයිනට මයි වාසී..
බලතල අඩු වුනත් රනිලට මයි වාසී..
මුන් හැම ගොඩ යන්න අවුසදයක් කාසී...

මයිනා බේරිලා ඉන්නට ට්‍රින්කෝ ගියා..
ලස්සේ වටින කොප්ටරේ දිය වන්නා ගියා..
දෙසිය විසිපහට අඩුවට තෙලුත් ගියා..
උන්ට ඉන්න හෝටල් කාමරත් ගියා..

බෝඹු ඉදල දළු ලා දෝ නෙලාදෝ..
කෙකටිය මලේ වක යාදෝ නෙලාදෝ..
රටට හෙණ ගසා තිබුනද පාන්දෝ..
කවුන්සලේ උන් වල් පල් දොඩාදෝ...

කවිය බලන්න
THE SUN

THE SUN

ඔමිදු බෝමෙත් ප්‍රනාන්දු Meopham School - London

Great, Gorious, Golden sun
shine down on me today
you are the life of all this Earth
you and your magic ray
And i will welcome your golden ray
For you mean life to me
you mean happiness and health
Strength and energy
Shine down great sun on flower and field
And never say goodbye
Forever and ever give us your light
From out the wide blue sky

Meopham School - London

කවිය බලන්න
අහිමි වීමක්

අහිමි වීමක්

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

ජීවිතය කලබල නිසාවද
ලියූ කව් නැත සොයාගන්නට
සාංකා මෙන් සිතේ රැඳුනද
හැකිවේද යළි ගැට ගසන්නට

සිහිගිරේ සුරුවන් අසිරිමත්
කතා නැති මුනිවරුන් තිදෙනත්
රුදු යුද බිමක කොටු වුන සිසුන්
වෙහෙසුනෙමි සිතුවමට නගමින්

එදා මා සිත පෙලූ සිතිවිලි
කෙසේදෝ යළි පණ ලබන්නේ
එදා ගැලපූ ඒ වදන් වැල්
කෙසේදෝ යළි සොයා ගන්නේ

පැමිණියා සේ පැරණි මිතුරෙක්
දේවාශිර්වාදයකින්වත්
කවදාක හෝ මතු වෙන වගක්
වරින් වර සිත කියයි රහසින්

කවිය බලන්න
අරගලයේ ප්‍රේමය

අරගලයේ ප්‍රේමය

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

ඔබව දුටු මුල් දිනේ මා හද ප්‍රේමයෙන් සසලව ගියා
අරගලෙන් හති වැටුණු සියොළඟ නව ජවයකින් පිබිදුණා

මා සමග ඔබ සිනහ වූ විට කඳුළු වායුව පැතුරුණා
ඔබේ පියකරු මුහුණ වසමින් සුදු දුමක් පැතිරී ගියා

කළු දුමෙන් අහසම වැසීගිය දිනක ඔබ සොයමින් ගියා
කඳවුරේ හෙම්බත්ව සිටි ඔබ නෙතට කඳුලක් නැංවුවා

මැර පහර එල්ලවූ ඒ දින ඔබ සොයා මා දිව ගියා
පාර කෙළවර හතිලමින් උන් ඔබව දුටු මා සැනසුණා

ගාලු මුවදොර මහ මුහුද සේ හදේ පෙම්රැළි පෙරලුණා
අවට ලෙළදෙන සිංහ කොඩි සේ සිත් අහස කැළඹී ගියා

විගසකින් අප පැතුම් ඉටුවී අරගලය ජයගත් දිනේ
සැබෑ වන බව දනිමි සොඳුරිය අපේ සිහිනය ජීවිතේ

21/05/22

කවිය බලන්න
සමුදීම

සමුදීම

පියුමි මදුභාෂිණි මොරටුව

සිනාවක් නොමැති තැන් වල වුවත් සැනසීම
මුලාවක් නොවෙන ලෙස ඉනාවන් වැළලීම
රටාවක් ලෙසින් දුක සැප හිතේ ඉපිලීම
බොහෝ රසවත් කරයි ජීවිතේ සමුදීම

ද්වේශය ම මුල් නොකොට ආදරෙන් ඇමතීම
ආදරය සඟවාන ජීවිතය වැනසීම
ආයුෂය කෙටි නොකොට ජීවිතය සැරසීම
බොහෝ සුන්දර කරයි සෙනෙහසක නික්මීම

සියක් හිත තුළ හොවා ඉන් එකක් පැවසීම
බියක් නැතිවම සෙනෙහෙ මරා එහි වැළලීම
නියක් කඩ යුතු දෙයක් පොරවකින් සුන් වීම
සදා කඩ තොලු කරයි හදවතක හිමිවීම

කවිය බලන්න
නෙත්........

නෙත්........

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

නොගැයූ ගීයක තනුවක් වාගෙයි
නො පිපි මලක රැඳි සුවඳක් වාගෙයි
නොදුටු සිහිනයක මිහිරක් වාගෙයි
දොඩමළු වු නෙත් පවසන විසිතුරු.

අහස පොළව එක් කරනා
සිතිජය වෙත සෙමින් ඇදෙන
රැල්ලක් සේ මගෙ සිතිවිලි
පැතුම් මවයි නෙත් හසරැළි.

වැලි කතරක පියුම් විලක්
වගේ පිපෙයි හදේ මලක්
ජීවිතයම සිහින විලක්
එහි රඟ දෙති හංස කැළක්.

නෙත් හිනැහේ තරු අතරේ
සඳ සැඟවී හද පතුලේ
පාවෙන සුසුමන් අතරේ
සිහින මැවෙයි සිත් අතරේ.

ගොළු වී ඇත දොඩමළු නෙත්
තනි වී ඇත පිබිදුණු සිත්
පායාවිද හෙට හිරු විත්
පිබිදේවිද මැලවුණු සිත්.

කවිය බලන්න
අතීතයෙන්   කතාවක්.

අතීතයෙන් කතාවක්.

ප්‍රීති රන්දෙණිය

ලොකුදුවේ මෙහෙ වරෙං
වෙදසිංහ මහත්තයා
මොරදීපු සද්දයට
ලොකුදුවගෙ මුලු ඇගම
වෙව්ලුවා බීතියෙන්

මැගිලින්ගෙ ලොකු කොලුවා
එක්ක මොනාවද උඹේ
තියෙන්නා ගනුදෙනුව
පේර කෝටුව අතේ
ගෝර නාඩුව කටේ

කියාපිය කියාපිය
මගේ යකා ඇවිස්සෙයි
ලියන්න ට හොර ලියුම්
කවුද කිව්වේ උඹට
ගොවිගමෙන් කවුරුන්ද
හාලින්ට හිර දෙන්නෙ
මේ ගෙදර මහඑකී
නිදියාන උන්නාද

කියාපිය කවුරුන්ද
ලියූං ගෙනිහින් දුන්නේ
පේර කෝටුව පිටේ හරස් ඉරි අදිනවා
මැද ට ආ අම්මටත් ඉරි ලකුණු ලැබෙනවා
ලොකු කෙලී ගලක් වගෙ
නොසෙල්වී ඉන්න වා
කදුලු නැති ඇස් දෙකෙන්
ගිනි පුපුරු පනිනවා

සහෝදර ප්‍රේමේ එල්ලුනා කෝටුවේ
ගැහුවා ඇති අක්කා ට
අක්කා ගියෙ නෑ එළි යෙ
මම යි ගෙන්හින් දුන්නේ
අක්කා ව අත ඇරලා
මට ගහලා සැනසෙන්න
මොහොතක ට පොඩි එකා
යෝදයෙක් වගේ වෙලා

බොටුවෙන්ම ඇල්ලුවේ
හෙල්ලෙන්න බැරි වෙන්න
දැක්කාද මූ මගේ
මූණ ටම කියපු හැටි
දන්නෙ නෑ මගේ තරම
මං පුතෝ අද උඹව
කෝටු මස් කරනවා
බදිනවා පොල් ගහේ
දානවා දිමි ගොටුව

මල්ලි ට අතක්වත්
තිබ්බොතින් තාත්තේ
පනිනවා ලිදේ මම
පොඩි යි කියලා ඉතින්
බයවෙන්නෙ නෑ තවත්

මේකිගෙ කටේ හයිය
පහලොවත් ගිය මාසෙ
වහපිය හැකරකට
පැනපිය ළිඳේ උඹ
හදන්න ට හිතුවා මදි
මං උඹේ තාත්තා

දුකයි මට ඒක ගැන
අහිංසක මිනිසුන්ට
හාලියයි කීවාට
තාත්තා නෙ හාලියා

මොකක් බොල තෝ කිව්වේ
තාත්තා ට නේද උඹ අපහාස කරන්නේ
මොන වාට හැදුවාද මෙහෙ ම දරුවන් රටට
ඒ අතට මේ අතට
අත් කකුල් කොටු රූල්

ඔව් මම යනවා මයි
මහන්තත්තය යන්න
බදිනවා ඌව මම
බදින්නට බැරි වුනොත්
වහටිකක් හරි කනවා
ආයිමත් පස් ටිකක්
පාගන්නෙ නෑ ගෙදර

ඇස් දෙකට නොපෙනෙන්න
පල දැන්ම තොලිංච්ව

ලොකු දුවේ නැවතියන්
ළිඳ උඩින් මව් සෙනේ
අක්කෙ යන්නට එපා
කිරි මුවේ හැඩියාව
අපිත් අරගෙන යන්න
ගවුම් කොන ඇද්දිල්ල

මගේ දුවේ රත්තරං
තුරුලු කරගත් සැණින්
අම්මා ගෙ ඇස් දෙකෙන් වක්කඩේ ගොඩ ගැලුවා
පපු කැවුත්තුවෙ කෑලි කැඩෙන හඩ දුව ගෙ කණේ
සහෝදර මාලුරැල නොනවතින වෙව්ලිල්ල

කදුලු මහවැලි ය සේ
ගලනකොට ඔලුවෙ ඉද කෝප උන
ලේ බිංදු ඇස් දෙකේ ගිනි පුපුරු නිවි නිවී වෙඩරු වී

තර්ජනය ගර්ජනය හිංසා ව
නොමැතිව ත් කදුලු බිදුවක බලය බොහෝ දේ කරනවා

තාත්තා ගෙ දරු නු සිත
කරුමෙකට මට ඇවිත්
වාසනා ව න් අම්මෙ හදවතේ නුඹේ ලේ
හැඩුවා ඇති බුදු අම්මෙ

මේ කදුලු පාවඩේ
පාගලා නොයන්නමි
අම්මා මල්ලි ල නංගී
දාල මට යන්න බෑ
අදින් පසු අම්ම වගේ
මම ත් මහ පොලව වගේ ..

25...5...2022

කවිය බලන්න
තවම සොයනවා

තවම සොයනවා

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

සසරෙ හුරු පුරුද්දට
මුණ ගැහෙන බොහෝ අය
සතුට දුක දෙක අරන්
අප අතර සරනවා...

මිතුරු වෙසකින් පැමිණ
හිතට වස විස පොවන
අය ලැබුණෙ පෙර කරපු
පවකටැයි සිතෙනවා...

බැන වැදී ලෙස හතුරු
යහපතම පතන උන්
මුණගැහුණෙ පරම වූ
පිනකටැයි හැඟෙනවා...

කොතෙක් කල් ගත වුවුත්
හැර දමා නොයන අය
දුක සතුට විඳ දරන්
හැමදාම ඉන්නවා...

සංසාරෙ පුරුද්දට
වඩා ලොකු දෙයක් ඇත
එහි තිබෙන යටි අරුත
තාම මම හොයනවා...

කවිය බලන්න
ජයගමු දිනෙක මේ සෙනෙහස් අරගලය

ජයගමු දිනෙක මේ සෙනෙහස් අරගලය

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

දහඩිය වැකුණු සිරුරත
වැහි බිඳු වැතිරී
දාහය නිවූවද හද ගිනි
කඳු පිපිරී
පැතුව ද ලොවක් සැනසුම
සාමය සපිරී
අද මිස නැත හෙටක්
පැතුමන් යයි විසිරී..

ඇස්බැන්දුම් වලට නතු වුන
ලෝකයක
නොසොයා දිග පළල
හැඩ අන්සතු දෙයක
ඉල්ලන කෑ ගසා
අරමුණ ජීවයක
මන්දාකිණි පොළෝ මත
එක පන්තියක..

හිරු සඳු තරු කැකුළු
දිස්නය එක වාගේ
විඳ විඳ කම්කටොලු මුත්
වෙහෙසක් නෑඟේ
නිම් නැති හඬකි
සමුදුරු ඝෝෂය වාගේ
තාරුණ්‍යයේ හඬයි ඒ
ලක් අම්මාගේ

දුන්නෙන් මිදී ඇදෙනා විට
ඊතලය
අරමුණ වෙතම යනු මිස
නවතනු බැරිය
ඩිජිටල් ලොවක ගෙන
හණ මිටි අඩුවැඩිය
නවතනු හැකි නොවේ
සෙනෙහස් අරගලය!!

කවිය බලන්න
කුජ මාරුව

කුජ මාරුව

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

උපන් වෙලාවේ හැටියට
කුජ පිහිටල පළමු කොටුවෙ
කරුම පල දෙනවලු
දිවි ඇති තුරාවට
දුකෙන් ඉන්ට සිදු වෙනවලු
අනාවැකිය අසා ගත්ත
පුද පඬුරු ත් ගෙවා දැම්ම
හඳහන හකුලා දැම්මා
මං විතරද පව් කෙරුවේ
හිතුනා මට අතර මගදි
අමා මෑණී බුදු පියාණන්
දෙසූ බණ අනුව නම්
අංගුලිමාලටත් නිවනක් තිබුණාලු
පව් නිවා ගත්තැකි ,කුසලය වැඩීමෙන්
අසා ඇත්තෙමි,කුඩා කල සිට
එතැන් සිට වෙර දැරුවෙ
කුසලය වඩන්නට
සැපකුත් නෑ !දුකකුත් නෑ!
සැනසිල්ලේ කල ගෙවෙනවා
කුජ යන එන තැන කොතැනද
හඳහන නෑ බලා ගන්ට. !!!!

2022.05.25.

කවිය බලන්න
වැඩිසේක අරිහත් මිහිඳු මා හිමි

වැඩිසේක අරිහත් මිහිඳු මා හිමි

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

වට්ස් ඇප් ෆේස්බුක්
වයිබර් මැසෙන්ජර්
ට්විටර් රේඩියෝ
අහලවත් නැති
නිරිඳු දම්සෝ අදිරද
යොදවා සිරිලකේ
බුද්ධි චරපුරුෂයන්
ලබාදුන් තොරතුරු
නිවැරදියි සහතිකයි
යන්න පුත පොසොන් දින
ලක්දිව මිස්සක පව්ව වෙත
මුණගැසෙන්නට නිරිඳු
පෑතිස් මහරජ
සහ පිරිවරින් එදිනේ
උයන්කෙළියෙහි
යෙදෙන දවසකි
හමුවී පිළිසඳරේ
මැණ බලා බුද්ධිය
හැකිනම් පිහිටුවන්නට
බුදුසසුන ලක්දිව
මිහිතලය මත
පියරජුගෙ උපදෙසින්
පිරිවරින් අහසින්
මිස්සක පව්ව වෙත
වැඩිසේක අරිහත්
මිහිඳු මා හිමියන්

කවිය බලන්න
අනේ පරිස්සමෙන්

අනේ පරිස්සමෙන්

වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක

අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුවද
පෙට්‍රල් ගැනීමට
අබිනික්මන

ප්‍රමුඛත්වය දෙන ලියුමද
පරිස්සමට කලිසමේ
දකුණු සාක්කුවේය

ගෙවෙන කරුමයේ හැටියට
හර්දය වස්තුව වුව විස්වාස නැතිය
ඒ හන්දා කෝකටත් GTN spray එක
කලිසමේ වම් සාක්කුවේය

පැය ගාණක් පෝලිමේ සිට
රුපියල් තුන්දහස් පන්සීයකට
තෙල් පිරවූ සැප පහසු
වාහනය පිටුපසය

" අනේ පරිස්සමෙන්
ඔයාට ඕවා එච්චර පුරුදුත් නෑ "
අනියත බියකින් ඇස් පුරවාගෙන
බලා සිටින මගේ යසෝධරාවන්
නිවසේ දොරකඩය

එනුමුදු
මා
යා යුතුය
වාට්ටුවේ
ජීවිතය අයැදින
දරු පැටවුන්ය
දරුවන් සුවපත් වනතුරු
බියෙන් පසුවන අම්මලාය

මම කන්ථක අසුපිට
නැග ගතිමි
පවනට බදු වේගයෙන්
නොගියත්
හමන මද පවන සැපය...සනීපය
අතරමග
නේරංජනාව පරදන
තෙල් පෝලිම් පසුකරමින්
මම යන්නෙමි
නිවන්නට රෝ දුකින්
පෙලෙන දරු පැටව්

කවිය බලන්න
හෙලෝ? සිංග්නල් අහුවෙන්නෑ මැණික...

හෙලෝ? සිංග්නල් අහුවෙන්නෑ මැණික...

සෙව්මි ලෝචනා ලියනගේ රෝමය

හේ අරගලයට හුස්ම දෙන්නෙකි, ඈ පැටවුන් රැකන් නැකතට ඔහු ගමට එනතුරු මඟ බලන්නියකි. "ඉතිං පහුවුණු නැකත පහුවෙලා ගියාදෙන්..."

(ඈ)
කොහා හැඬුවම අපේ ගෙවල් වල ඉස්සර...
කැවිලි කිරිබත් මේස හැදුනා ද? කොච්චර...
තියන හොදි බත් කාපි ළමයි නම් රත්කර..
ඔයා කෑව ද? හොඳඳ? අරගලේ විස්තර...

(හේ)
ඉතිං පහුවුණු නැකත පහුවෙලා ගියාදෙන්...
වැහි කඳුලු යට සිංහ දජ නටයි ප්‍රබෝදෙන්...
පොඩි උන්ට හෙටක ජීවත් වෙන්න විනෝදෙන්...
අපි අපි ම පිලිල නොරපිය යුතුයි සමාජෙන්...

(හේ)
බක් මහේ උබේ සරු උකුල් තල කොනක...
නිදියන්න මට ලෝබ හිතෙනවා මැණික...
රට බේරගෙන අපිට මහිමයෙන් පිනක...
ගමට එන්නට වරම් ලැබේවා! හනික...

(ඈ)
ලක් මව ම හැර රැකිය යුතු වෙනත් කාව ද?...
මේ ගින්න මැද ඔහෙට හිතට බර මාව ද?
දිරි ගනින් ඉදිරියට බර වේවී සී දද...
මහන්සි ද? දරුවන්ගෙ අප්පච්චි කෑවා ද?...

(හේ)
කුස ගින්න විඳින්නට අපිට ඉඩ දෙන්නෑ...
කන්න දෙන උන් සසර බඩගින්නෙ ඉන්නෑ...
මැණික අපි මැරුවමුත් සටන බිලි දෙන්නෑ...
දිනලා ම මිස ආයි ගමට මම එන්නෑ...

කවිය බලන්න
වෙන්ව යාම

වෙන්ව යාම

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

පෙරඹ'ර සියල් තරු කැට
නිවී මිලානව යන
මොහොතක ,
පෙනේ
බොඳව බොර වූ මා දෑසට
බැසයන්නට මැලි
තරු කැට යුවළක්
ළංව සිටිනු එකිනෙකා වෙත
බැඳී සිටිනා කලෙක මෙන්
උතුරා ගලන සෙනෙහසින් මත්ව

අනවරතයෙන්
මිහිදුම කඩා වැටෙන
ඒ සීත හිමිදිරියේ
බැලූවෙමි එදෙස
වරින් වර මම
එබී දොර කවුළුවෙන්
මැඩී අපමණ කුහුලින්

එවිට දුටුවෙමි
දැල්වෙන'යුරු ඒ තරුකැට
මහත් උද්‍යෝගයෙන්
රැය නිමා නොවු කලෙක මෙන්

ඉවත ගෙන නෙත් මොහොතකට
යළිත් එබී බැලූ සඳ ඒ දෙස
අහෝ ඒ තරුකැට දෙක
මදක් නිවී ගොස් නිසලවී ඇත
එවිට දැනුණේ මට
වදනින් පැවසිය නොහැකි
නුහුරු සංතාපයක්ම ය.

බලා සිටින විට
තව තවත් ඒ දෙස
ඒ කුඩා තරු එළිය
ක්ෂුද්‍ර වූ තිතක් ව
මා දෑස් මානයෙන්
නොපෙනී යන්නට විය
සොයාගනු පිණිස
වෙහෙසී, දෑස් ඉගිල්ලූවද
දැකගත නොහැකි වුණි
අරුණෝදට පත් අහස් ගැබෙහි
කොතැනක හෝ එය

එහෙත් බොහෝ දුර්වලව
කණාමැදිරි එළි තිතක් ව
පෙනෙන නොපෙනෙන තරමට
මා පියවි දෑසට
හුදෙකලාවෙ හිඳී නිහඬව
මදක් ලොකු ඒ තරුකැටය තවම
බැස නොයා ඉවතට

තවත් සුළු මොහොතකින්
ප්‍රථම හිරු කිරණේම
සැඟවී යනු ඇත එය ද

දෑසින් නවතාගන්නට
නොහැකි බව දැන
උකටලීව ගිය සිතින්
ඉවත බැලුවෙමි මම

කවිය බලන්න
වසන්තය ඇවිත් ....

වසන්තය ඇවිත් ....

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

බලා සිටිති ලා දලු කොළ වෙන්න ට
පොහොට්ටු හිඳීවි මල් වර වෙන්න ට
තණකොළ ගස් අස්සෙන් මතුවෙන්න ට
පිණි බිඳු හදනව තව සැඟවෙන්න ට

වැනෙනව ගස්වැල් හමනා සුළඟ ට
දැනෙනව අඩුවෙන සීතල හෙමිහි ට
ඇහෙනව ගුමු ගුමු හඬ දැන් සවන ට
පෙනෙනව සියොතුන් ඉගිලෙන අහස ට

මල් පෙම්වතියන් හිඳීවි පේ වී
පෙම්වතුන් ලෙසින් බඹරුන් ඒ වී
රිසි ලෙස මධු කෙමියට තුඩ දා වී
තව මල් වෙත උන් යනු ඇත පා වී

නිල් වියනත් කොල පලසත් අත රේ
දේදුනු පාටින් මල්ගොමු පැති රේ
සිත් නහවන සොම්නස් දිය දහ රේ
වසන්තය ඇවිත් දැන් මේ වස රේ

කවිය බලන්න
රාජසිංහ Go Home

රාජසිංහ Go Home

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

රාජසිංහ Go Home

කන්ද උඩරට කන්දසාමිව
පන්නලා සිහසුන රකින්නයි
වින්ද දුක් අඩුපාඩු නිමකර
තුටින් සෙංකඩගල තියන්නයි

රජා විඳි රජ වාසලේ සැප
සියළු රට වැසියන්ට දෙන්නයි
සදා වින කළ පවුල් බළඇණි
නැවත සියරට යවා ගන්නයි

වැසුණු කම්හල් සුසුම් දුම් රොටු
වලින් රටතොට අඳුරු වෙන්නයි
පැසුණු අදහස් දරන හදවත්
එවන් ගිනි මැද දැවී යන්නයි

පල්ලි පන්සල් එතෙර බළ මුළු
එක්ව මහ රජු කොන් කරන්නයි
කැරලි මතයට නොනැමෙනා බස්
කාර් දේපළ ගිනි තියන්නයි

බලන් සිරිලක වටේ කැරකෙන
ඒරොප්පෙ ඒජන්ත රෑනයි
වහන් වී රජතුමා සිටියත්
අසුබ පෙරමග ලකුණු මෝරයි

කවිය බලන්න
අපි නොදන්න, සමනලීගේ කැරැට්ටුව

අපි නොදන්න, සමනලීගේ කැරැට්ටුව

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

මල් පැණි මිසක නොගනි කොල සුඹුලු දළු
යන-එන ගමන් අහසේ, තටු සුමුදු සළු
ඈ නෙත් ගැටෙයි ගාටනු දලඹුවෙක් කළු
හකුලා ගනි දෑසම තුරු, පතර බැළු

හොඳටම කිලිටි ගොරහැඩි වස්තර අඳින
ගස් පොතු ලෑටි ගා පනුවෙක් මෙන් ඇදෙන
මේ කැත සතා දැකුමත් අපුලයි නෙතින
කාගේ කවුද තොප කිලුටෝ කිව ඉතින

තටු ඇති නිසා අහසේ සිත්සේ සරණ
ඇති හැකි නිසා මල් පැණි පමනක් බුදින
ඉපදුන දාම අත්තටු ලැබුනයි සිතන
අක්කේ දලඹු මලයා මම බඩගාන

උඹත් මා වගේමයි පොඩි කාලේ දළඹුවෙක්
මොන පැණිද ,ඒ කාලෙ උඹෙ කටෙත් හප විටක්
සමණොළේ යනවාළු වටකරන් තව ගොඩක්
උන්න හැටි මකා දා කරන පිං නෑ පලක්

කවිය බලන්න
අලුත් මලක්  පිබිදෙන්නට  කාලයයි

අලුත් මලක් පිබිදෙන්නට කාලයයි

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

හිත පුරා ගිනි සමග කුසගිනි
මග දෙපස ගිනි පුළිගු ඇවිලුනි
නිවාලන්න නැගුණු ඒ ගිණි
ගිණි පෙනෙළි ගෙන සැණින් සැරසුණි

නිදා සිටිවුන් සෙමින් පිබිදුණි
අලුත් ලොවකට මගක් සොයමිනි
ඉරක් නොමැතිව අහස තනිවුනි
රුදුරු අදුරට සැවොම කොටුවුනි

සදක් වීත් ලොව එලිය කරනට
තරුත් සැනෙකින් නැගුණි අහසට
හඩක් නැගුවත් එයත් කුලියට
කරුවලත් එක් වුනා අදුරට

පිපෙන්නට පෙර කැකුළු මල් පෙති
දියව ගොස් ඇත ඉතිරි වී ඉති
උපද්දනට යළිත් මල් පෙති
හිතන්න ට තව බොහෝ දේ ඇති

කවිය බලන්න
ලංකාවට සරිලන බණ - සපුමල් බන්ඩාර

ලංකාවට සරිලන බණ - සපුමල් බන්ඩාර

සපුමල් බන්ඩාර ලන්ඩනය

සොඳුරු අඔ ගස් සිසිලේ
අහිංසා දහම පෙරමුණේ
කියා දෙනුවස් උතුම් බුදුගුනේ
මිහිඳු හිමි ලක්දිවට වැඩියේ

ඔබතුම කියදුන් උතුම්වු දහමේ
සෑම අංගද තවද සපිරුනේ
එනමුදු අපගේ මිහිඳු හිමියනේ
ලංකාවටනම් එය තාම නොවහැටුනේ

එකා පරයා අනෙකා යන්නේ
හොර පාරෙන් වැඩ කරගනු රිසිවේ
පක්ෂ පාට ගැන හරි උගතුන් වේ
එනමුදු හරියට වැඩ නොකරන්නේ

වඩිනුමැනේ නැවතත් ලක්බිම වෙත
දෙසනුමැනේ සරිලන බණ ලක්දීපෙට
එකතුවෙලා සවියෙන් වැඩකෙරුමට
මුවාටවත් ඇති නුවණ ලැබෙන්නට

කවිය බලන්න
යථාර්තය...!

යථාර්තය...!

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

ජීවිතය හරි කොටයි

ආ මගම මට හැඩයි

අත් දැකුම් පරතෙරයි

උගත් පාඩම් ගොඩයි

ගිරි දුර්ග , කටු අකුල්, මිහිරක්ව තනි රකියි

දිනෙන් දින විචිත්‍රයි

චිත්ත සුව මහමෙරයි

ඇතැම් විට හිත බරයි

කඳුළු කැට බර වැඩියි

අනිකාගෙ සපත්තුව මං දැම්ම වලංගුයි

තත්පරද කප්පරයි

කප්පරම හිත තුටුයි

හිත දැවුණු තැන් සුවයි

අත දුන්නු අත් ගොඩයි

හොඳ හිතින් එක හිතින් මගෙ හිතේ විතරමයි

වැඩ කලොත් හිතින්මයි

කතාබහ කෙලින්මයි

වගකීම උපරිමයි

මුසාබස් නම් නැතෙයි

යටි හිතත් උඩු හිතත් හැමදාම එකක්මයි

වැඩි හරිය අනුන්ටයි

නිනව් නැති තමන්වයි

කිසිත් නැති පොරොත්තුයි

හිතින් මං අනන්තයි

අත දුන්නු කාටවත් මතකදැයි හරි සැකයි

26/05/22

කවිය බලන්න
ස්වර්ණා කහවිට  සමු ගත්තාය

ස්වර්ණා කහවිට සමු ගත්තාය

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

හැටේ හා හැත්තෑවේ දශකයේ
ස්වර්ණ යුගයක අසිරි විහිදුනු
සිහළ සිනමා අසපුවට ආ..
යවුවනිය මුල් වරට
"වෙසතුරු සිරිත" තුළ
සුළු චරිතයක් හා
පසු ගමන් ගිය එවක තරු මැද
වරෙක සුපහන් පුරසඳක් සේ
ස්වර්ණා කහවිට නමින් වූ
සොඳුරු රංගන වේදිණිය අද
කාලයක් අසනීපයෙන් සිට
තිර 'ඹරෙන් සමුගෙන ගියා නොවැ
රංග ප්‍රතිබා ප්‍රබා විහිදා

'බිනරමලි' යේ බිනරමලි සේ
සුවහසක් සිත් සනසවාලූ
විරල ලාලිත මධුර රැගුමට
ඔබ ලැබූයේ හොදම නිලියට
උරුම සම්මානය එදා
ඉදිරි ගමනට බල ලබා

පනස් වසරක දුරාතීතයෙ
අර්ධ ශතකයකට ළගාවු
ඔබේ රංගන සොඳුරු දිවියේ
තැබූ සටහන් ලියැවිලා ඇත
සිහළ සිනමා තිරපතේ
'රහස් දූපත' , 'සිරිල් මල්ලී'
'අබිරහස' හා 'දයාබර නිලු'
'රෑන ගිරවු' න් සමග ඔබ බැදි
නැගී 'රන් ඔන්චිලි' දිගේ
ගිය අතීතය මතකයේ ඇත
තවත් කල් සහසක් පුරා

2022.05.27

කවිය බලන්න
Horseman and Altar

Horseman and Altar

සන්ජය ප්‍රියදර්ශන උඩුගම්පොල

A long way to altar now
fairly unfair walk of distance
Mares are like that
“Be fair and my best”
She nodded and didn’t believe me
she eloped with my shadow
Unpredictable sun dwindles his shines
Moon half way wakes bobbing out
much more difficult faculty to visit there
but it’s smiling, my aim
wouldn’t she be a mirage?
I see my aim ambiguously,
the altar, in my sweet dreams
it would be a long way walk now
a lonely night and day walk
under the scorching sun and sullen moon
Surely a long way

කවිය බලන්න
යශොදරා නෙමෙයි පලා ගත්තෙ හදවත - කන්ථක

යශොදරා නෙමෙයි පලා ගත්තෙ හදවත - කන්ථක

ශෂික සදීප් දකුණු කොරියාව

යශොදරා නෙමෙයි පලා ගත්තෙ හදවත - කන්ථක
කියන උන්ට මේ තමයි උත්තර

කන්ථක වගේ යශොදරත්
පලා ගත්තා නන් හදවත,,,,
සිදුහත් හැරෙනවා මිසක්
යයිද බං
නේරංජනාවෙන් එතෙරට,,,,

ඔව්,,
පිරිමි හැමදාම
ඉපදුනා,දැඩි උනා,රජ උනා,බුදු උනා
ඇයි දන්නවද?

හෙන ගැහුවත්
ගෑනු අඬ අඬ
හැමදේම දරාගත් හින්දම,,,,

කවිය බලන්න
Bright Blue Love

Bright Blue Love

සිනෙල්යා ෆෙර්නාන්ඩො New Ash Green Primary School. Year 4

You can love everybody
Nature can be love
You can be loved by your family
Have so much excitement from love
Even though you love yourself
You can love God, Jesus, Mary and Buddha
The sky has Bright Blue Love..

New Ash Green Primary School - London
Year 3

කවිය බලන්න
එයා තෝරපු කවිය.

එයා තෝරපු කවිය.

තුෂාරි ජයසිංහ මහනුවර

තිස් පහක් කවි තිබූ
පොත අස්සෙ
එයාගෙ හිත ගියෙ
නන්දෙ ඩ්‍රයිවර්ගෙ කවියට
එතනදිම හිතුනා මට
මම අවලංගු කාසියක් බව
මිය ගියත් බිරිඳ
නන්දෙටඇහුණෙ
ඒ ඇගේ කටහඬ
මල් පිපෙන වෙලාවට
පැතුම් පොදි පිදුවට
හැමදාම මල් පරවෙන
කණිසමට
හැංගිලා යනව එයත්
හිරු වගේම
ඉතින් මම වැටෙනවා
නැංගුරමක් නැති
නැවක් ගානට
වෙන මොනව කරන්නද
අඳුරු මඩ තුල
ගිලී යනු මිස
ගඟේ ගහගෙන යනකොට
ප්‍රේමය....................

කවිය බලන්න
නෞකාවක ස්නේහය

නෞකාවක ස්නේහය

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

ඇද හැලෙන සීතලම - වැහි කෝඩයෙන් තෙමෙන
වියරු වූ සයුරු තෙර - චණ්ඩ රළ පෙරළවන
අසරණ ව සයුර මැද - සෝකයෙන් සුසුම් ළන
නැංගුරම ගිලිහි ගිය - නැවක් විය පාව යන

පුංචි නැව අඳුරේම පා විය
පහන් ටැඹ බෝ දුර ඈත විය
ටැඹට නැව් රුව පෙනෙන්නට විය
නැවේ දුක දැක දෙනෙත තෙත් විය

එළිය ලබනට වරම් ඇති මුත්
ටැඹෙහි අයිතිය නොමැති බව දත්
එහෙත් යන්නට දමා නැති සිත්
නිසා නැව මහ සයුර සිප ගත්

කවිය බලන්න
ලක් මව රකිමු අදරින්

ලක් මව රකිමු අදරින්

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

රට රකිනා අයගෙ කිසි ගුණයක් නැත්තේ
තම තම දියුණුවයි නිති සලකනු ඇත්තේ
ඒ ගැන සිතන විට කෝපය එයි සත්තේ
එනමුත් ඉවසගෙන සිත රැකගත යුත්තේ

සම්බුදු සමිඳු දෙසු දම්පද සුරැඳි රට
කරුණා ගුණෙන් පිරි මිනිසුන් විසුව රට
උන් උන් මරා ගන්නේ ඇයි කියනු මට
සන්සුන් සිතින් කන් දෙනු දම් පදයකට

නපුරු දුදන සිතිවිලි නිති සිතෙහි දරා
මසුරු කමින් ධන රැස්කර දිවිය පුරා
මහරු රජකු ලෙස විසුවද බලය දරා
වැපිරු දෙයට ඵල හිමිවෙයි සසර පුරා

දුරුවී වසංගත අනතුරු සතුරු විපත්
නැවතී ලැබෙන ලෙස සැමටම සියලු සැපත්
ඇතිවී සතුට සැනසුම ජය සමඟ තොසත්
පවතීවා රටම සුරැකී අදත් හෙටත්

එක එක පැතිවලට බෙදිලා වාද කොට
දැක දැක වැටෙයි සිටි තැනිනුත් පහළකට
එක දෙක හැරදමා ඉසිකෝ මාන කැට
ලක රැක තබමු හෙට උපදින දරුවනට

අම්මා තරම් කිසිවෙකු නැත දරුවෙකුට
සම්මා සමිඳු අම්මා විය සැම දෙනට
නම්මා සිතම නිසි උත්තම දහමකට
අම්මා විලස රැක ගමු අපි ඉපැදි රට

ජීවය අපට දෙන්නේ අපෙ අම්මාය
ලොවටම මවක් වූයේ බුදු සම්මාය
අම්මා ලෙසට රැකගත යුතු පෙම්මාය
ජීවය සැමට දෙන අපෙ ලක් අම්මාය

කරුණා ගුණ නොමැති දුර්ජන දුම්මාය
මව මෙන් ලක් මවද දුකකට දැම්මාය
දැන්වත් ඒ කරුණ දැන සිත නම්මාය
මව් දෙදෙනාම රක්නට වෙහෙසෙම්මාය

රටකට ඇති අනගි වස්තුව මිනිසාය
හැකි හැම ලෙසින් සුරැකිය යුතු එනිසාය
අනුවණ දනන් යුතු දුබලැති මනසාය
ඒ බැව් නොදැන නෙක මිනිසුන් වනසාය

මුතු මැණික් රන් රිදී හා ඉඩකඩම් වාහන ගෙවල් මැද්දේ
මිනිස් ජීවිත තරම් වටිනා කිසිත් නැත ලෝ තලය මැද්දේ
සිතට ගෙන මේ කරුණ සැමදෙන ඉවත දා බොරු පිරුණ සද්දේ
අතට ගෙන ඔසු, කෑම බීමද කරමු අපි දිවි රකින යුද්දේ

දහස් ගණනින් මිනිස් ජීවත නැසෙන සැටි දැක දිනෙන් දින
යුද ගැටුම් වල කුමන්ත්‍රණ වල යෙදෙති මිනිසුන් ලොව තැනින් තැන
අහෝ දෙවියනි දිවැස යොමුකර බලා මේ අසරණ දනන් ගැන
රකිනු මැන ඔබ සැමට එය ලොකු පිනකි සැපයට කිම වෙනින් පින

කවිය බලන්න
සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

ලකළ පුළුලුකුලැ බඳ මිණි මෙවුල්ලා
සමග රන් සළඹ රැව් දී වෙවුල්ලා
වයන පදට තබමින් පද කමල්ලා
රඟන ළඳුන් බල රූ සිරි සියල්ලා

ඉතා ලස්සන වූ පළල් උකුළෙහි බඳිනා ලද මිනි මෙවුල්දම
සමඟ රන් සළඹ සොළවා නාද කරවා, වයන බෙර පදයට
අනුව පා පියුම් තබමින් නටන්නා වූ ළඳුන් ගේ සියළු රූ සපුව
බලන්න

කවිය බලන්න
අරගලයට පනස් දවසයි.

අරගලයට පනස් දවසයි.

තුසිතා සුරේකා මීගමුව

එදා වගෙ මට අදත් මතකයි
දැනුන දා උබ කුසට ආ වග.
කප්පරක් හිත හිතා ඒ ගැන
සැරසුනා පිලිගන්න උබ මම

හොය හොයා හොද දේම කලලෙට
සුරුවමින් උබ හැදුව කුස තුල
වරක් නොව සිය දහස් වර මම
හිතුව උබගේ ඉදිරි කල ගැන

සා පෙළට උබ වාඩි වෙනකොට
උසස් පෙළ උබ සමත් වෙනකොට
යුනිවර්සිටියේ දොර ඇරෙනකොට
මටම රහසින් ඇඩුව සතුටට

සීරුනොත් වැටුනොත් එදා උබ
රිදුනෙ උබටත් වඩා අම්මට
උබට ඉස්සුන බැටන් පොලු වල
මගෙ කතිරෙ සලකුනක් තිබුනද

මා නොදුටු අසමානතාවය
උබේ සිරසට හොදින් පෙනුනද
අරගලේ මැද පනස් දවසක්
උබේ හඩ නොවෙනස්ව ඇත තව.

කට්ට අව්වට, මහා වැස්සට
සාරි පොටකින් වහන් කල හිස
ගාලු මුවදොර පිට්ටනිය මැද
මහා වැස්සෙත් දුටුව නොවැ මම

නොදැනෙන්න හීතලක් අලුයම
ලයට තද කර දුන්නු උනුසුම
ආදරයෙ අරගලයෙ දොරකඩ
හීතලේ ගැහෙනව ගැටුන ඇස.

නුබට දැන් විසි පහක් අවුරුදු
පස් වතාවක් කතිරෙ ගැහු මම
උබගෙ ජූරියෙ වරද කාරිය
පෝරකය මිස දඩුවමක් නැත.

කවිය බලන්න
මහලු වයසේ

මහලු වයසේ

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම පේරාදෙණිය

මහලු වයසේ
වීණාව මුල්ලක
මකු‍ළු දැල් පොරොව ගෙන
හිත මිතුරු පොත් පත්
දූලි හා පුස් බැඳුණ
රස විඳිති කාවෝ
ඇවිදින්න වත් යමු ද
හන්තාන අතවනයි
කෙසේ එන්නද තනිව
වාරුවට නැත කෙනෙක්
කියමුද සින්දුවක්
කුරුල්ලෙක් අඬගසයි
තාල තනු රිද්ම
සියල්ලම මැකීගොස් මා හදේ
කෙසේ ගයමුද දැන් ?
භාවනාවක් කළොත් ?
කුඩා කාලෙ කට පාඩම්
ධමම්පදේ සතිපට්ඨානේ
මිතුරන් මෙන් මා හැර ගොස්
බලමින් ම දෙසම මතුරමි
අනිච්චං දුක්ඛං

කවිය බලන්න
ලන්ඩන් බස් සේවය

ලන්ඩන් බස් සේවය

විල්සන් හෑගොඩ

ලන්ඩන් නගරයේ බස් පිලිබඳ සේවේ
මැනවින් කෙරෙනු දුටු මුවඟට තුති ගෑවේ
සිත් බැඳ තබන පිරිසිදු බව සහ ජීවේ
කොතරම් හොඳද? යනු එක් වරටම සීවේ

සැතපුම් පහළොවක් ලන්ඩන් නුවර සිට
ඇත මා දැනට මෙහි නැවතී සිටින ගෙට
බස් සේවය නිසා ඒ මහ නගරයට
පැය තුන් කාලකින් පැමිණිය හැකිය මට

යන විට රියෙහි සිඹහල මෙනි වෙහෙස ඇඟේ
අසුනෙහි මොලොක් බව පැද්දී ඉහළ නැඟේ
දුහුවිලි බිඳක් නැත පිරිසිදු කමක අගේ
කවුළුව පිට පෙනෙයි වීදුරු නැතිව වගේ

නම් ගම් ලියා හෝ පිටුපස අසුන මතේ
නියපොතු ඉරක් ගෑවී ගිය තැනක නැතේ
මෙහි බස් සමඟ සසඳන විට සියලු අතේ
ලංගම අපේ බස් කුණු බක්කියයි සිතේ

අන්තිම විනීතය ගති සේවක යන්නේ
ගණනට වඩා නැහැ එකෙකුදු ගෙන යන්නේ
නිලැඳුම් දැමූ කොන්දොස්තර වරියන්නේ
කරුණාබර දෙනෙත් ළය විනිවිද යන්නේ

හය දෙනෙකුට තිබේ බස්රිය තුළෙහි ඉඩ
යනුවෙන් ඇසෙයි කොන්දොස්තර ලියගෙ හඬ
ගොඩවෙති හය දෙනෙක් පෝලිම නොකොට කඩ
කිසිවෙක් නොයති එල්ලී පා පුවරු උඩ

පෝලිම කඩා දිවයන කිසි කෙනෙකු නැත
අසුනේ හිඳින විට දැඟලිලි බිඳක් නැත
නිහඬව සිටිනු මිස දොඩමලු බවක් නැත
දුම්කොළ පිලිස්සී මතු වන ගඳක් නැත

හැසිරෙන අයුරු බස් පෝලිම අතර වැටී
බසයට නඟින හැටි බසයෙන් බසින හැටී
ලක් වැසියනට මෙහි මිනිසුන් අතර ගැටී
පෙන්වා දෙන්න හැකිනම් එය බොහොම වටී

ලන්ඩනයේ දී - 1964

කවිය බලන්න
🗙