ඔබ බුදු වනු දුටුවා අම්මේ!

ඔබ බුදු වනු දුටුවා අම්මේ!

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

ගෙපැල් බිමේ මැටි සුණු කර බිම ඇතිරූ අම්මා එබි‌මේ සෙනෙහස මැදිකොට බිත්ති බැන්ද අම්මා එබැමි උඩින් මුදුන් වෙලා සෙවනක් වූ අම්මා දෑස් මැදින් යුගත් හොවා උණුසුම දුන් අම්මා ජයසිරි මහ බෝ සමිඳුට පහන් පිදූ අම්මා ජයසිරි මහ බෝ සමිඳුගෙ පිහිට පැතූ අම්මා ජයසිරි මහ බෝ සෙවනේ සක්මන් කළ අම්මා ජයසිරි මහ බෝ විමනෙන් දරුවන් පැතු අම්මා අටමස්ථානය වැඳ හෙව බුදුගුණ ගැයු අම්මා හිත ගත් තානය මැද නිති ප්‍රාර්ථනා නිම්මා කැපකොට පුද සැළකිලි ලැබ ගන්නට සිත් නම්මා හැම දෙවියන් තෙද ඇති රැක දුන්නයි අපෙ අම්මා පිළිසිඳ ගත් බව දැන ගත් දිනේ පටන් අම්මා නොම රිදවන්නට මුදු ලෙස පියවර මැන පෙම්මා බඩ දරු බැ`දි සෙනේහයෙන් සයනට වී අම්මා අප හා ඇය කතා කළේ නොනිඳා නෙත් තෙම්මා දරු සෙනෙහස දෝරෙ ගලා ළය පිරවූ අම්මා ළයෙහි රුහිර කිරි කර කිරි කළ-කළ පෙව් අම්මා නොකා නොබී නිදි වරමින් අප මත්තෙ ම අම්මා දෑත් දෙපා මොළකැටි හැඩ ගැස්සෙව්වේ අම්මා ඉපල් එක්ක උරණ වෙලා ගිනි බත කළ අම්මා එබත් කටින් සා ගිනි දැල නිවා දැමූ අම්මා හෝඩි පොතේ පිටු අතරේ සැඟවී සිටි අම්මා අකුරු අතර අප සෙව්වේ සැඟවුණු අපෙ අම්මා පාසල් යන්නට පය ඔසවන්නට පෙර මඟ ගත්තේ දෙමාපියන්ගේ ගුරුහරුකම් පෙරහුරුවයි වත්තේ “අයන්න අල්මයන්න මා” අම්මා දැක සත්තේ ගෙදර බුදුන් වැන්දා පළමු ව මව්පිය මත්තේ සුදු පිරුවට ඇඳි අම්මා බෝපත් සමිඳුන් වැඳලා භාර-හාර ඔප්පු කළැයි තුටුපඬුරුත් ගැට ගසලා මතකයි අප කැටුව ගොසින් ඒ ගැන සිහිපත් කරලා කළුතර බෝ සමිඳුන් අබියස ඇය වැටුණා හඬලා කළ වරදට සමා දෙමින් පෙන්වා හරි මඟ නිරතුරු කෝප නොගෙන කියා දෙමින් ලෙස හිඳිමින් අපෙ සුමිතුරු සහය වෙමින් කය වෙහෙසූ පියාට අපෙ ලොව දිවයුරු ඔබයි අපේ ලඟින් ඉඳන් සිසිල දුන්න සඳ සොමියුරු මිනිසුන් මැද මිනිසුන් විලසට ඉන්නට අම්මේ පහණක් වී සිරසින් සිටියා අප හා අම්මේ දුටුවන් මන බඳිමින් යහගුණ පෙරමඟ අම්මේ සිටියෙන් හදමින් ලෝකය අපට අපේ අම්මේ බැබලෙන හද නිලඹර සඳ නුඹ ම ය තරු ගොන්නේ නොසැලෙන යද විලසිනි ඉදිරියට ම පිය මැන්නේ එන-යන සෝ සුසුමට දිවි මඟ දුක් තෝ- තැන්නේ අල්පේච ව හිටියෙ නුඹයි අප ඒ මඟ ගන්නේ දුක් දුන් නැති දුක විඳ ගත් දුක නොපෙන්වු අම්මේ අප කුස ගිනි පිස කුස ගිනි උහුලා සිටි අම්මේ වරදක් වේ නම් අප අත සමා වෙලා අම්මේ අපෙ හිත්වල දුක නිවන්න යළි එනව ද අම්මේ හද වෙහෙරේ වෙහෙර ගැබේ නිරතුරු ඔබ අම්මේ හිඳිනු දැනේ මට නිබඳ පූජාසනෙ අම්මේ වළලු මැදින් දිදුලන සලපතළය නුඹ අම්මේ කිරි වෙහෙරේ කොත් මුදුණට වඩිනු මැනවි අම්මේ උගත්කමේ උසස් ගුණය උඩින් තබා උස හැදුවා මිනිස්කමේ උතුම් ගුණය බුදු සිරිතෙන් ගෙන බෙදුවා පුහුදුන් සිතිවිලි හැර දා සිරිදුල් කර සිත් පිදුවා සිරිමහ බෝ සමිඳුන් ළඟ ඔබ බුදු වනු අප දුටුවා හැම අම්මා කෙනෙකුට ම මේ කවිමල් පූජා වේවා! සාධූ! සාධූ!! සාධූ!!!
කවිය බලන්න