වෙන්ව ගියදා කුමට ඇගයුම් -
දහස් දන සිව් දෙසින් පැමිණෙන
කලාගාරය තුළ හිදින්නෙමි
පාට සායම් වලින් තැවරුණු
ඔබේ සිතුවම් දෙස බලන්නෙමි
එකින් එක ළඟ නතර වී හිද
නොයෙක් හැඩ තල පිළි විසින්නෙමි
මුවින් මුව පැවසෙනා නෙක නෙක
සොඳුරු අදහස් ගැන සිතන්නෙමි
නේක පැහැයන් සොදින් මුසුකොට
කඳුළ, සිනහව මතුකරන්
රුවට ජීවය ලබා දුන් සැටි
සිතා ගන්නත් බැරි තරම්
දෙඇස පිනවන සිතද සනහන
සොඳුරු වූ රුව ඇත්තියන්
තෙලි තුඩග පැටලුණිද. කෙලෙසක
සිත්තරාණෙනි, මට කියන්
භාවනාවක සම වැදී නුඹ
එවන් රූ අදිනා වෙලේ
බලා උන්නෙමි දින ගණන් මම
කෙලෙස ඒ හැඩ මතු කළේ
තෙලිතුඩින් නුඹ පාන විස්කම්
දකින සිත් මන්මත් කළේ
සරසවිය දුන් මහගු වරමකි
සැමට හිමි නැති මේ ලොවේ
දිවා රෑ නිති ගෙවා නිමකළ
නුඹේ සිතුවම් දෙස බලන්
නුඹම සැනසෙනු බලා වැළපෙමි
නොළා කඳුලක් නෙතු අගින්
ලොවම දුටුවත් නුඹේ සිතුවම්
ඇගයුමක් නොලබා මුවින්
කුමට ඇගයුම්, කරන පැසසුම්
වෙන්ව ගිය දා නුඹ ලොවින්.
කවිය බලන්න
