අවුරුදු නැති අවුරුදු

අවුරුදු නැති අවුරුදු

ජයනාත් පෙරේරා

දක්වයි රතු සිනා එරබදු මල් පිපුන
දුක් ගී ලෙස ඇසේ කොවුලගෙ හඬ මිලින
බක්මහ එන මහේ අවුරුදු නැති බැවින
දැක්මට හැම තැනේ නැතිබැරි කම පිරුන

අස්වනු නෙලු නමුදු බැත අග හිඟ බැවින
රැස්කර නොම ඇතිය ධන ජන දුක මැදින
හිස් බව මිස රැඳුණු සරු බව නොම පිරුන
අස්වැසි කම කොහිද රෝබිය දුරු නොවුන

ඉතිරෙන කිරි බිඳක හෙට සරු බව ගෙනෙන
පැතිරෙන රස සුවඳ කැවිලිද ගෙයි තැනෙන
කතිරෙට බැඳ පදින ඔංචිලි මැද නටන
අතිරස රස කැවුම් ගැන පොඩි උන් හිතන

මීනෙට එන නමුදු හිරු අවුරුදු රැගෙන
මේසෙට කිරි බතක් පිස ගනිමුද එදින
හීනෙට පොඩි එවුන් ගේ හිත වත පිරෙන
ලෝකෙම තවම යුධබිය හැම දුක හිතෙන

26.03.2026

කවිය බලන්න