විශ්‍රාමික

විශ්‍රාමික

පුෂ්පා ඉලංගන්තිලක

කුරුලු තුඩක මේ තරමට
ගී ඇති බව කවුද දන්නෙ
මලින් ඔටුනු ලා තුරු හිස්
මා පිළිගන්නට වගෙයිනෙ
හීන් සැරේ සුළඟ ඇවිත්
අලුත් හුස්ම අහුරු දෙන්නෙ
මෙතුවක් ⁣නුදුටුව අසිරිය
මගෙ ගේ වට කවුද මැවුවෙ...

(උදේ රැයින් දොර ඇරගෙන පිට වෙනවා
හැන්දෑවට දොර වහගෙන ගෙට එනවා
සති අන්තෙට කොසු ඉදලේ හම යනවා
තිස් වසරක චක්කරයක් නිම කෙරුවා)

දොරකඩටම ඉර ඇවිදින්
හිස අතගා සුබ පතන්නෙ
මට මා හා පිළිසඳරට
මුළු ගෙදරම ඉඩ හැරෙන්නෙ
නොකියවු පොත් එක එක
හෙමිහිට මා ළග ඇස් අරින්නෙ
මගෙ තනියට- මගෙ හිත යට
කවි කැකුළක් පණ ගැහෙන්නෙ...

කවිය බලන්න