ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි සිව්වන වෙළුම

2022 ජනවාරි කලාපය

සීත හිම සහ ඔට්ටු වන්නට නොහැකි වී හිරු දෙවිඳු පායයි දෙව් බඹුන් වුව යනෙන විටකදී ගොඩ වෙනා මහ බැංකු යායයි දුරුතු දෙවරක් නිවෙස් සිරගේ බවට හරවා මහලු වේ යැයි සිතුහුද පෙර දිනෙක ඉගිලෙන විටදි මෙය ජීවිතය වේ මැයි
අනුර ලන්ඩන් මුල්‍ය නගරයේ ගොඩනැගිලි සංකීර්ණය

සංස්කාරක: අනුර හෑගොඩ Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා Web Admin: Tharindu Rajakarauna

වසරක් නික්ම ගොස් තිබේ. වසර පුරා 'ලන්ඩන් කවි සරණිය' අපූරු කවි නිර්මාණයන්ගෙන් සැරසූ ඔබට අපගේ ප්‍රණාමය. වසර අවසානයේ කවි සියයක් මුද්‍රිත ග්‍රන්ථයක් ලෙස එළි දැක්විය යුතුයැයි කල්පනා කළෙමු. එහෙත් දහසකටත් වඩා පළවූ කවි අතරින් සියයක් තෝරා ගන්නේ කෙසේද යන්න ඉමහත් ප්‍රශ්නයක් විය. මෙයට කවි නොලී සාහිත්‍යවේදීන් දෙදෙනෙකුට එම තේරීම බාර දීමට තීරණය විය. ජ්‍යෙෂ්ට කවීන්ගේ පලවිය යුතු කවිය ඔවුන්ගෙන්ම අසා තෝරාගත් අතර නවක කවීන් ගේ කවි තේරීම ඉහත දෙදෙනාට බාර විණි. කවි සියයක් තෝරා ගැනීමට නොහැකිව ඔහුවූ කවි දෙසියයක් තෝරා එවූහ . මෙම මස පළවීමට නියමිත 'ලන්ඩන්කවි සරණිය - තෝරාගත් කවි' ග්‍රන්ථය එයයි.

මුද්‍රණය පිලිබඳ පළමුවන දුරකථන ඇමතුම යොමු කෙරුනේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රකාශන ආයතනය වන සරසවි ප්‍රකාශන ආයතනයේ අධිපති ප්‍රේමසිරි මහතාටයි. දෙවරක් නොසිතාම "අද හෙටම එවන්න - ජනවාරියේ ගහන්න පුළුවන් වෙයි" යනුවෙන් ප්‍රේමසිරි මහතාගේ විසල් හදවත විවෘත විණි. කවි පොත් මුද්‍රණය කරන්නේ සාහිත ප්‍රගමනයට සහ විනෝදයට මිස මොනවා හම්බ කරන්නද?

දෙවන දුරකථන ඇමතුම මාගේ ගුරු දේවයෙකු වූ ප්‍රංශයේ වැඩ වසන කවීන්ද්‍ර කෝ. ආනන්ද නා හිමි වෙතය. "නායක හාමුදුරුවනේ, අපි පහුගිය මාස දොළහෙ පළවූ ලන්ඩන්කවි වලින් දෙසීයක් තෝරලා මුද්‍රණය කරන්නයි බලාපොරොත්තුව" මම කීවෙමි. උන් වහන්සේ ද දෙවරක් සිතුවේ නැත. " හොඳ අදහස. අපි හොඳට මුද්‍රණය කරමු. කියන්න කියක් වැය වෙනවද කියලා. මම වියදම බලා ගන්නම්." ඒ උන්වහන්සේගේ කවි ආත්මයයි. මට හැඬුම් ආයේය. කඳුළු අතරින් උන් වහන්සේ සමගින් කතා කළෙමි.

ලන්ඩන් කවි සරණියේ මුද්‍රිත ග්‍රන්ථ කතාව එයයි. එය තව සති තුන හතරකින් නිකුත් වෙනු ඇත. එය දොරට වැඩීමට zoom මගින් හමුවෙමු.

සුභ නව වසරක් වේවා !

විල්සන් හෑගොඩ

2022 ජනවාරි කලාපය

කොළඹ යුගයේ සිත්ගත් කවි - කවිකොළකාරයා

වම් අත කනේ කවි කොළ ටික දකුණු අත
හක්කේ බුලත් විට හප වී ඉවර නැත
නෙත් සැර වරින් වර යවමින් සෙනඟ වෙත
හඬ දී ගිරිය පාදා කවි කියනු ඇත

ගෙදරින් තරුණියක ගෙන ගිය පුවත හොරෙන්
බිහිසුණු මිනී මැරුමක වග රුහුණු කරෙන්
රිය අනතුරක සැණකෙළියක පැසුළු දොරෙන්
තොරතුරු ඇදී එයි මොහු වෙත විදුලි සැරෙන්

සුළු පුවතක් නමුදු ගණනට ගත නොහෙන
ඔපයක් අමුතුවෙන් දී නව පණ ගැහෙන
කවි වැලකට ගොතා ගෙන නවරස වැහෙන
කියවයි ගැඹුරු හඬකින් ඈතට ඇහෙන

පිංකම්පොළක ගම්බද වෙළෙදම් පොළක
බස් නැවතුම්පොළක හෝ මහා මං කඩක
කඩ මණ්ඩියක් රුක් සෙවනක් වැනි තැනෙක
මොහුගේ කට හඬට පිටුපා යා නොහැක

කිසි මගියෙකුට මුණ නොගැහී සිටිනු බැරී
එළිමහනකම හඬ දෙන විට කොතැන හරී
ආරංචියේ උණුසුම්කම අනුව හැරී
මොහු වට කොට බලා ඇත මහ සෙනඟ පිරී

මොහු පල කරන කවි කොළ එකිනෙක දේට
රසවත් වී තිබේ පොදු ගම් වැසි යාට
එක සත දහය ගණනේ මිල තිබු ණාට
විකිණෙයි දහස් ගණනින් සමහර දාට

නොදැනුම නිදහසක් කොට වියරණය මැරූ
වරදට මොහුට ගරහන්නා වරද කරූ
වැඩිහිටි ඇතැම් කවිවරයන් නුදුටු විරූ
රසවත් අලුත් නිමැවුම් ඇත ඔහුට හුරූ

තවමත් උසස් කවියක රස විඳින හැටී
මහ පඬිවරුන් නොදනිති හිටිවනම හිටී
මොහුගේ සරල කවිවල හඬ සමඟ ගැටී
කවි රස විඳීමේ හෝඩිය කියනු වටී

හැමදා කනට වැටි වැටි මොහු දෙන රාවේ
කවි රසිකයන් පිටිසර ගම්වල බෝවේ
කවි කොළ කාරයාගෙන් සිදුවන සේවේ
නොනැසී ඉතිරි වී සාහිතයට යාවේ
View Poem

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

2022 ජනවාරි කලාපය

විසල් හදක කවි - උගුල්ලා දැමුව ගස

උගුල්ලා දැමු පසුව
ගසක් හුන් පොළොවෙන්
මලානික මුහුණින්
ගස හිඳී ළපළු පත් පවා
බිම හළමින්

නව බිමෙක ඇදෙන්නට
තන්තු මුල් නැතියෙන්
ගස හිඳී මලානික මුහුණින්

කළා යැයි ඉර එළිය සොරකම්
පලාඵල නෙලූ අය පවා
කරන විට ගැරහුම්
ගසක් ඉවසිය යුතුද කෙතරම්

බිම වැටෙන විට දිනෙක
කිසියම්
ගෙන පොරෝ කියත්
ඔප දමමින්
හපා රසකර බුදින
සිහිනයේ කෙළවරක
ගස හිඳී ක්‍ෂාන්තිවාදීව
හිසනමාගත් වන ම තනියෙන්

පමාවනු නොදෙයි
බිම හැලූ පත් අසුලමින්
තැවෙමින්
ගසත් නරක ම ඉරණමට වුව
ඉතින් සුදානම්

31-12-2021
View Poem

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

2022 ජනවාරි කලාපය

දුරුතු පුන්සඳ දිදුල නුබකුස..

සම්බුදු සමිඳු ගෞතම අපගේ මුනිඳු
බුදුවී ලොව්තුරා අටමසකින් පසිඳු
උරුවෙල් දනව්වේ දුරලා අවිදු අඳු
දමනය කළේ ජටිලයො දුරුකරන් අඳු

සිදුහත් කුමරු ගිහිගෙය හැර යනමගට
හමුවුණු නිරිඳු එදවස සිටි මගධරට
බුදුවී පසුව වඩිනා ලෙස සියරටට
බිම්බිසාර රජු කීවේ බෝසතුට

ලබගෙන බෝසතුන් මහ පදවිය සමිඳු
වැඩියා මගධරට සිහිකරමින් යලිඳු
දෙව්රම් වෙහෙර කරවාලා මහ නිරිඳු
දුරුතු පොහෝදා පිදුවා සසුනට බුදු

හෙලදිව එදා මහ උයනේ මහනාග
ඇවිලුණු අරගලය මහ යක් හා නාග
දිවසින් බලා සලසන්නට යහමාග
බුදුහිමි වැඩියෙ ලක්දිව විලසින් මේඝ

අමෝරා සිටිද්දි යක්දන නෙක නෙක අවි
දමනය කරන්නට යෙදුවේ බුදු සමිඳු සවි
මහාමේඝ අකුණුද මහවැසි පෙලට මැවී
බියවුණු යකුන් දිව්වා ගිරිදිවට නැවී

මහියංගනේ යක්සේනා දමනයට
වැඩිදා බුදුහිමි මේ හෙලදිවට
සමන් සුරිඳු වැඳ බුදු සමිඳුන්ට
ලැබුවේ කේශධාතුන් වැඳ පුදන්නට
View Poem

අමර ගුණසේකර Marne la Valée ප්‍රංශය

2022 ජනවාරි කලාපය

නිවසට එළිය සිරි දෙව්දුව අම්මාය

දිරිය මව සේම පිරිපුන් සවිබල ඇතිව
දකිණා සිහිණ හැබැහින් ජයගත් දිනුම
බිරිඳම වුණත් අම්මා ලෙස අප හැමට
කරණා සැළකිලිම වේ සසරේ හුරු ලෙසට

ලැබුණේ සෙනෙහසයි ඔබටත් මාපිය තුරුලේ
ලදුයේ අපයි ඔබලත් මව්ගුණ උරුමේ
මුණුපුරු මිණිපිරියගේ සුරතල් හඬ අතරේ
කොටුකර තබන්නට නොහැකිය මගෙ සෙනෙහේ

පාරමි පුරා බෝසත්වරු බුදුවන්නේ
පැතුමන් බෙලෙන් අප දරුවන් ලැබ ගන්නේ
දෑගිලි බැඳුණෙ මංගල පෝරුව මත්තේ
යළි මතු දිනෙත් අප හැම එක්විය යුත්තේ
View Poem

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

2022 ජනවාරි කලාපය

සාගරට තරහ ගිහින්

සිඳී ගිහින් ගං දිය ගං දෑල මැද
නෙරිය නොතිය ඔසරිය ඇඳි සේය බඳ
රුසිරු සිඳුන වියපත් වූ තුරුණු ළඳ
පෝරු මස්තකේ හමුවිය සයුරු තෙද

බිඳී පෑරෙමින් සාගර හිමිගෙ හද
මුහුදු පතුල දෙබෑ කලා කිපුන මද
පෙළින් පෙළට රළ ගුවනත සිඹින ලද
සුනාමියක් සේ නැගුනයි සිහින බිඳ

AnA 12/2021
View Poem

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

2022 ජනවාරි කලාපය

මල් වත්තක නිදමි........

.මල් වත්තක නිදමි........

සිල් බිදලන්න බැරි හින්දා දැහැනින් නොම මිදි
විල් තෙර සිටි මනස් සළෙලු වත මඩලෙහි වැදි
පිල් විදහා සෙබඩ රැලක් නටන නැටුම් විදි
නිල් කටරොළු මල් වත්තක හැගුම් දරා නිදි

මලින් මලට පියඹනු බෑ සුවද මලක් හිමි හින්දා
රහසින්වත් හිත් නොම වෙයි එතකොට සෙනෙහස බින්දා
ප්‍රේමය රාගය සෙනෙහස උතුරා යන තැන කැන්දා
පිවිතුරු ආදරයෙ සුවඳ හැම මොහොතේම මම වින්දා
View Poem

අලගියවන්න මුකවෙටි තුමා

2022 ජනවාරි කලාපය

සුභාෂිතයේ සිත්ගත් කවි - අලගියවන්න මුකවෙටි තුමා

 

කුලුණු ගුණින් යුතු උතුමන් සිත මහරු
දුදන බසින් නො යෙදෙයි කරනට නපුරු
නව රුවනින් පිරි මහා සමුදුර ගැඹුරු
තණ සුළකින් උණු කළ හැකි වෙති කවුරු

කරුණා ගුණයෙන් යුක්ත වූ පිදිය යුතු
උත්තමයන්ගේ සිත දුර්ජනයන්ගේ
වචනයෙන් නපුරු කිරීමට නොහැකි වෙයි.
නව රත්නයන් ගෙන් පිරුණු ගැඹුරු මහ මූද,
තණ පන්දමකින් උණු කිරීමට හැකි වේද?
View Poem

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

2022 ජනවාරි කලාපය

තේ වත්තේ ඇවිලෙන ගිණි

දිලෙනා හිරු රැසින් බැබලෙන බදුළු කඳූ

සැලෙනා පුවත් දෙයි දෑසට කඳුළු බිඳූ

තේ දළු නෙලන අම්මා වස පොවා දරූ

කුස ගිණි නිවූ තැත අහලා උනා ගොළුු#

 

සැමිය සිහි විකල් දොඩවයි ඇවිදිද්දී

තේ වතු පෝර නෑ කහ පැහැ ගැහෙද්දී

දළු නෙළනා දෑත වෙන වැඩ සොයද්දී

බිළිඳෝ හඬති උහු කුස ගිණි ගනිද්දී

 

ගව් ගණනක් ඇවිද හිඟමන් සොයාලා

කන්නට දරුන් හට රොටියක් පතාලා

කඳු ළඳු ගාටමින් මව් ගුණ ගලාලා

හිස් අත පැලට එනවිට හති වැටීලා

 

දරුවන් බඩ සයින් අගුපිල හඬන්නේ

කෝවිඩ් බියෙන් කිසිවෙකු නැත බලන්නේ

හිස ගිණි ඇවිල ඇය සරණක් සොයන්නේ

දරු පැටවුන් සමග මතු ලොව දකින්නේ

 

දරුවන් තිදෙන පැල ඇතුලේ දඟලනවා

අමමා සිහි විකල් හිස ගිනි ඇවිලෙනවා

වස කුප්පියෙන් මරුවා ළඟ ළඟ එනවා

රෝහල තුලට දෙවියන් උහු ගෙන යනවා

 

දොස්තර දුකින් සිහිසුන් දරු බලද්දී

අම්මා හඬයි කියවයි ඇඟ ගැහෙද්දී

කැඩි කැඩි එන වචන විත් කණ වැටෙද්දී

දොස්තර සැළුනි තේ දළු අත් දකිද්දී

 

ලද සුළු විවේකය රට තොට පුවත් ගැන

අවධානයෙන් සිටි දොස්තර විඩා ගෙන

ඇසු පුවතින් නැවත සැළුනා කඳුළු ගෙන

දුටුවේ දුකින් තේ වතු ගිණිගෙන දැවෙන

 

එපුවත අඳුරු මළ පුඩුවක දසුන් පිරී

තේ වත්තේ ලැයිම අද්දර අඳුරෙ ගිලී

රේල්ලුවට පැන මව පිය දරුන් කිරී

මරුවා පිහිට සෙව්වේ ගිණි නිවනු බැරී

 

කඳුකර සිරියාව වැනු තේ ළඳුන් හුවා

ගයනුයෙ කුමට ගී ඇය පන පිටින් මරා

අඳුරුව ගිණි ගනී ලැයිමේ ළමුන් දවා

ලෝ දන දිව ගාන තේ ලේ රසයි සබා
View Poem

කෝ ආනන්ද පැරීසිය

2022 ජනවාරි කලාපය

මහ ගෙදර බිඳ වැටී

ලොකු මල්ලිගේ හදිසි පණිවුඩේ සවන්වන් සැනිණි
මුළු හදම සැඩසුළං පහර වැදි ළදල්ලක් සේ සැලිණි
සනුහරයක්ම එළිය දුටු පින් කෙතක් වූ සිරිණි
පරිණාම පත් එගම හඳුනගන්නට තිබූ රූපය පැරණි
මහගෙදර නොකල්හි බිඳවැටී ඇතුල හා පිටත ගැටලු ද මැවුණි

එකල කවුරුත් ගමේ සිනහවැසි වස්සවා වැඩ පිරූ
ගහකොළ ද අත්ගුණෙන් සරුසාර වී සුවඳ දී මල් පල දැරූ
අගහිඟෙන් තුරන් වූ ස්වයං රැකියා සුරූ
අඬදබර නොහොඳ නෝක්කාඩු ඇල්මැරූ
කල්පනියි නිමාවෙයි එකතුවෙයි එසඳ අවුරුදු සරූ

කල් මැරී වියපත්ව දුර්වර්ණ පැහැගත්ත
බොල් වෙවී බිත්ති පුපුරා හැලී ඇතුල හා පිට පැත්ත
පිල් බෙදී අත් උදව් නැතිව අම්මාම පිළිණ කරගත්ත
මල්ලි අවසන්වරට මරණයෙන් බිලිගත්ත
මහගෙදර බිඳවැටී කනත්තකි දැන් අපේ මහවත්ත

අහුලා ගන්නට ඇවිත් මද්දුමය නොබිඳි දැවදඬු
උහුල ගන්නට බැරිව අම්මා දොස්පරොස් වචන මිරිකා දරදඬු
ලියල දීල ද ඕකෙ අයිතිය උඹට විතරක් අදෝනා අවනඩු
අහල පහළට ඇසී ගිනි නැඟේ පිලිස්සී ආරංචි කුණුරොඩු
ඉහළ අහසේ පියා සලමින් විදෙස් ගත වී දැනේ ඒ දුගඳ පිළිහුඩු
View Poem

අතුල කුමාර කටුවන

2022 ජනවාරි කලාපය

කොහොමදැයි මස්සිනේ

මස්සිනේ කාලෙකින් හමුවුනේ
අඩු නැතුව කියපන්කෝ
කොහොමදැයි විස්තරේ
පැල්කොටේ කහට බී
කුඹුරෙදී කිවු වගේ
පන්න ගෙන ආවදැයි
දෝණියා මුදලිගේ.....

ගම පුරා අපි දෙන්න
හක්කොලං ගැවුවා නේ
ගස් වලින් රා හොරෙන්
බාල බිව් ඒ දොහේ
මතකදැයි උබට බං
අප්පොච්චාගෙ සැර බණේ....

පන්සලේ බණ මඩුවේ
අපි නටපු ඒ නාඩමේ
හිටිය රං එතනා බං
වාහේ වුනා ජීවිතේ
සංතෝෂේ එක්කලා
දරු පැටවු වැදුවා නේ....

ඒකි මට නොකියාම
ගියා බං දෙවුලොවේ
තනිවුනා දුක් වුනා
වෙල ගාව පැල් කොටේ
මග බලනවා තාම මං මස්සිනේ
එනතුරා මරුවගේ පනිවිඩේ....

උබ දැක්කාම පිරුණා
ලෙංගතුව තුන් හිතේ
ලස්සනයි එදා බං ජීවිතේ සී පදේ
කොලු කෙල්ලො දැන්
නඩන්නෙම විගඩමේ
හිතට දුක උන්ගෙ පන
හිර වෙලා අන්තර්ජන්ජාලයේ..
View Poem

අසංක රුවන් සාගර

2022 ජනවාරි කලාපය

ඔබ තමයි ඒ දෙව්දුව !

මන්දාකිණියක කෙළවර
අඳුරු කළු කුහරයක
හරි පරෙස්සම් නිම්නෙක
ආදරේ හැංගුව,

අඬ අඬා දවසක
පටාචාරා හේ උමතුව
කිරි මුහුද ඉහ ඉහ
අහස් වෙරළත වෑවුණ

වළාකුළු නම් කීයක්ද
පණිවුඩ අරන් දුර ගිය
අර කළු කුහර පහු කළ

ඇත්තටම ඔබට මතකද
තරු හතක් ඔබ වැලලුව
ඔරායන් හැටියට නම් කළ

දැන් හරි මාව මතකද!
View Poem

අනුර හෑගොඩ

2022 ජනවාරි කලාපය

ඇහි බැම දුණු ශිල්ප ලඳුනි

ඇහි බැම දුණු ශිල්ප ලඳුනි
නෙතඟින් එවූ හීය වැදුණි
ගලවාලනු කෙලෙසද එය
මිහිරකි ගත සිත පුරා

හමුනොවෙමුය යළි කිසි දින
පැතූ නමුදු හදට හොරා
හැඟුමක් විය සිත අද්දර
හමුවන්නට දවස පුරා

නොකරමි ආලය කිසිදින
දවසක මා හද නිහඬ කළා
පැතුමකි යලි ඒ හද තුල
ආදරයක් සසර පුරා.

සංගීතය/ගායනය ; නාලක අංජන කුමාර
(ප්‍රචාරය කිරීමට නියමිතය)
View Poem

අරුණ ශ්‍රී එදිරිසිංහ පන්නිපිටිය

2022 ජනවාරි කලාපය

රැවටුණු රැවටිල්ල

වියපත් මිනිසුනේ
නුඹලාට වඩාත් දැනේවි
දෙපැත්ත මාරු කර කර
රැවටුණු රැවටිල්ල

කොහෙද ඉතින්
තේරුණත් නොතේරුණා වගේ
වහල් සුදියෙන් මත් වෙලා
වවුල් හපයක් උපන් බිම

උඹලට ම ගැළපෙන දරුවො
අලුතෙන් හිතන්න දුන්නෑ උන්ට
ආගමක් කළා කතිරය
හිටපල්ල නරා වළේ එකට

හැත්තෑ එකේ නැගිටීම
අසූ නවයේ නිදහස් සටන
සුජාත පරපුරක හරි දැක්ම
කලින් දුටුවා මේ විනාශය

තේරුම් ගනිල්ලා මිනිසුනේ
එදත් අදත් තියෙන්නේ
ඇති හැකිවුන් නැති බැරිවුන්
පාගන පන්ති සටනක්

පව් සෝදාගෙන වරෙල්ලා
දිවි පරදුවට තබා
නුඹළා වෙනුවෙන් ම සැදූ
අපේ ම පවුරු වළල්ලට

පණ්ඩ්ත වෙන්න එපා
වෙයල්ලා නිහතමානි
වැරැද්ද නුඹලාගේමයි
මේ සුබම වේලාවයි

හෙළ දිවයින මගෙයි
මා ඉපදුන රටය
ලොව අන් සියලු දිවයින්
මේකට යටය
View Poem

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

2022 ජනවාරි කලාපය

තනිකඩ හීනය

 

රෑන කිතුල් සේ දිළෙනා ඔබෙ නිල් කෙහෙරැල්

පොරකනවා හුළඟ එක්ක කරමින් හුරතල්

නීල මැණික් වගෙ දිදුලන ඔබෙ නිල් නෙතුදැල්

ලෝකෙ පුරා කලබලයෙන් දුවනවා තව කල්

 

සැළලිහිණියෙ, තිසර, මයුර පොත්වල වැනුමන්

සිහිකෙරුවා ඔබේ පිරුණු පියයුරු අබිමන්

ඉටි රූපෙක වගේ පිරුණු ඉඟ සුඟ වැනුමන්

සිතුවම් පෙළ ඇන්ද වගෙයි හිත තුල සක්මන්

 

ඉගිල ගිහින් සයුරු මතින් කාලය අතරින්

මිසර , රෝම , ඉන්දු නිම්න ළදුන් පිරිවරන්

තනි යහනේ පාළු කපන දවසක් එනකං

රෑ හීනෙක අතරමංව හිටිය මං බලන්
View Poem

වෛද්‍ය බෝධිනී සමරතුංග ස්වීඩනය

2022 ජනවාරි කලාපය

ගෙල වැල ලා ගත් මිතුරිය....

ඉතින් කොහොමද ඇසූ දා මිත
සිනා නැගුවද හිතින් තැවෙමින්
කීවෙ නැත්තේ ඇයිද දුක් කඳ
අතැරයන්නට කාරණා කිම

දරා උන් දුක් කන්දෙ විස්තර
ඇවිද ආ මාවතේ වත ගොත
ජීවිතේ අත හැරුණු මොහොතක්
උහුල් ගත්තේ කොහොම නොකියූ

හලා ඒ බර තියා නැවතුම
අඳුරු වූ මග අතැර ගිය දා
දරාගත් හැටි නොදත් බෝ දන
නිසල නුඹ අස සසල දෙනෙතින්

"අනේ අඩුවක් කොහේ තිබුනද
කොහොම උහුලන් ඉහළ ඇදුනෙද
වෙදුන් වෙන්නට ඉගෙන ගත් හිත
තිබ්බ විරීය කොහොම නැති විද"

එහෙම අහ අහ ඉකිබිඳීන දන
ඉරිතැලුණු හදවත දකීවිද ?
විශාදය හා සටන් වැදි නුඹ
වෙහෙස අත් හල හැටි පෙනේවිද ?

(විශාදය නිසා ලොව පුරා ජීවිත බොහෝ ගණනක් අකාලයේ අහිමි වේ. )
View Poem

චමිලා නවගත්තේගම - ලන්ඩනය

2022 ජනවාරි කලාපය

කුවේණිගේ අඳෝනාව

බැහැලා විජය කුමරුන් ලක් දෙරණ මැද
එරිලා තාම්බ්‍රපර්ණියෙ වැලි පොළවෙ පද
දැකලා මෙපුර රජ කුමරිය සෙනෙහෙ බැඳ
ඔදලා සරණ වැද රජකම ගැනුනි සොඳ

දසත විදා ආවත් රුදු සතුරු කඳ
මවිත වෙලා විජයගෙ ඇති බලැති තෙද
පැවත ගෙනා කුවේණිගේ තේජ නද
පතිත වුනා කරුණා ගුණ දැහැන මැද

බඹර තුඩක මුදු සෙනෙහස හදට වැද
කුමර විජය මා හද තුල වසග බැඳ
තඹර විලක හමනා මද සුවඳ විඳ
කවර දිනක නොසිතු ලෙස දුකද ලද

නෑ වෙන කුමරුනේ සරණක් මවෙත ලද
පෑරුන හිතද දුක් කදුලට ලැදිව හිද
කාරන කිමද දරු දෙ⁣දෙනත් හැරලා බිද
ජීවන නදියේ පැද දොම්නස් අඳුරු විද

වෙලා දුකේ සොදුර මතක රැඳේ හද
සලා කදුළු බලා හිදිමී විඩා මැද
කලා මදිද පින් කුලයෙහි වර⁣ද වෙද
පලා එනු මැනේ හිමි නුඹ කොහේ අද
View Poem

චන්ද්‍රා සේනාධීර - නවසිලන්තය

2022 ජනවාරි කලාපය

ආසිරි ප්‍රාර්ථනා

කටු පදුරු තැනිතලා මැදින්
මතකයේ දොරටුව ඇරන්
සිහි කරමි පිය සටහන්

මතකයට ආනන්දයක් එක් කරමින්
යෞවනයේ පාසැල් දිවියට පිවිසෙමින්

ගෙතු දිගු වරලස කරලින්
සරසා මුදුනත මලින්
හැඩකාර සිරුරින්
කඩිසර දඟකාර ගමනින්
සිනාව දයාව පාමින්
ඉංග්‍රිසි බස හදවතට කියාදුන්
චන්ද්‍රාවෝ ....පන්ති භාර ගරු මෑණියන්
සිහි කරමි මිතුරියන් සමඟින්

විශ්ව විද්‍යාල වරම් නොලදින්
විද්‍යා විෂයයන් සමඟින්
යායුතු මඟ සොයමින්
ආවෙමි ඔබ නිවෙස සොයන්

ඔබ සදාදර හිමියන්
ගැණදාස අමරසේකර මැතිදුන්
නව දොරටුවක් ඇර දෙමින්
අඩිතාලමක් දමා දුනින්
සිහිපත් කරමි හද බැති අදරින්

උපරිම ඵල නෙලා ඉගැනුමෙන්
ලොවට සෙත සුව සලසා
සිටිමි මා අද විරාමයකින්
මගෙ කවි හද පුබුදුවමින්

ඔබ දෙපොළ දෙපා නමදිමි
උදාවන නව වසරෙ
තුරු ලිය ඵල අතරෙ සිසිලින්
නිදුක් නිරෝගී සමිපතින්
පිරි ඉතිරේවා !!!!
මා හඳ බැදි ප්‍රාර්ථනාවයි.

15/12/21
View Poem

වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය

2022 ජනවාරි කලාපය

එදාට මාත් ක්‍රිස්තියානි අංකල්...

මකුළු වියන් බැඳි චිමිනි දොරෙන් එබී
රතු තොප්පිය ගලවා
හාල් හුන්ඩු දෙකක් දානු
ලඟදි පැදපු නැති මැඳුරු බයික් එකේ
ටැංකි කටට එබී
පැට්‍රල් බින්දු ටිකක් දානු
මී ගහට යටින් වක්කඩ හෙලින්
කාසම කලත්තා
යුරියා අහුරක් ගහනු
කුස්සියට පිටින් පුපුරන්ඩ කලිං
ටැංකිය ට නොදැනී
ගෑස් ලිප් දෙක දවනු
මස් මාළු එපා බක්කියෙන් අරං
අම්මගේ අතට
එලෝලු මිටක් දෙනු
වතුර මැද ඇති විසල් මන්දිරේ
සභා ගැබ මැදින්
පුපුරවාගෙන මියෙනු...

එදාට මාත් ක්‍රිස්තියානි අංකල්...
View Poem

චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)

2022 ජනවාරි කලාපය

නිවාඩුවක නිමාව.......

විදුලි පංකා නැගූ ඝෝෂා මැකී යයි දෙසවන දිගේ
ගත තෙමාලූ දාහයේ ලකුණක නොමැත සියොළඟ මගේ
අවට රැව්දුන් ළපටි දඟ මලු හඬක් සිහිනෙන් මෙන් නැගේ
මහා මූසල තනිකමක් වැට කඩොලු බිඳ එනවා වගේ

කතාබස් නැත බිරිඳ දරුවන් සිහින ලොව පාවෙනු පෙනේ
වෙනදා අලුයම සිනාසුණු හිරු හැරදමා මෙනි පෑ සෙනේ
හමා එන සීතල පවන් රැළි ගතේ ගඩු පුප්පනු දැනේ
මව් පියන් හා නෑ කැළින් සූන් පාළු සිත දසඅත වැනේ

මව්බිමේ ආදර සුගන්ධය සිහිනයක වෙලෙමින් තිබේ
නිමේෂය නැත එහි රැඳෙන්නට දිවි සටන තරැහින් එබේ
යායුතුය අඹුදරු රකින්නට පාද එසැවෙන්නේ ඉබේ
ස්වප්න සුවයෙන් මිදී සමුගමි හාදුදී මුවඟට නුඹේ
View Poem

චමුදිත ධනරංජන

2022 ජනවාරි කලාපය

කඩදාසි මල්

ඇඳුමින් පැළඳුමින් අති නවීනය ඇය
මහපොළවටත් ඉහළින්
කඩිනමින් දෙපා තබමින් යයි
අහස අල්ලන්න මෙන්
'කොම්පියුටර්’ පන්තියට
අපල දුරුවන්න ස්ප කළ යන්ත්‍රරාජයාත්
ඉනේ බැඳගෙන
View Poem

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

2022 ජනවාරි කලාපය

රන්වන් හූනන්...!

 

හූනු සාස්තරේ කියල
ඉස්සර තිබුණලු...
මූණු එහෙම, "චුක්" සද්දෙට
ඇඹුල්ම වනවලු...
ගෑණු, යන්න තියෙන ගමන්,
පහුවෙල යනවලු...
"දානු ඕව අහකට", කිය
බැනුමුත් ඇහුනලු...

සාලය කැත කරපු හූනො
දැමුවත් එලවලා...
කාලය ටික ටික ගතවී
එවුනුත් රජවෙලා...
මාලයකට පෙති, කරාඹු
රනිනුත් නිමවලා...
තාලයකට පෙන්වූ කල
ගැහැණුත් රැවටිලා...

"චුක් චුක්" ගෑ හූනොත් දැන්
කන ලඟටම වෙලා...
"හික් හික්" ගා හිනැහෙනවලු
පැනයක් විමසලා...
"දැක්කත්, හඬ ඇහුනත්, එලවූ
අප හොඳ වෙලා..,
මක්කද ඒ පෙරලිය? දෙනු
අපහට පහදලා..! "
View Poem

දීපා ද සිල්වා - ලන්ඩනය

2022 ජනවාරි කලාපය

ඇය .......

 

රත් මල් පොකුරු සිප සනසන කෙහෙ රැල්ල
මද මුදු සුළන් සමගින් පානා ලොල්ල
පිනිපා කැලුම් වැද නැළවෙන හද තැල්ල
කාගේ පිනට ආවද සුරතල් කෙල්ල

අරුනලු එවන්නේ ඔබ මුව දෝවන්නයි
රජිඳුන් වඩින්නේ ඒ සිරි දැක ගන්නයි
බඹරිඳු රඟන්නේ කුසුමට රැවටීලයි
තුන් ලොව සරන්නේ හද රැඳි සැනසිල්ලයි

වැව් ඉපනැල්ල රන්වන් හිරු එලිය වැදී
දිලිහෙයි රන් රුවන් විමනක සිරිය දිදී
මග සොයමින් සරනා මින් රැළ පැහැදී
පණිවිඩ එවන්නේ සගවා රැල්ලේ නදී

ඉදහිට ඇසෙන සකුණගෙ කවි ගී සද්දේ
කෙකටිය පදුරු තරගෙට සෙලවෙයි බැද්දේ
තොරතුරු අසන්නට මෙන් ඇගෙ ගම් මැද්දේ
සේපාලිකා අතු එක තරමට පැද්දේ

තිමිර පට යටින් පායන පුන් සදකි
නිරුදක කතරකට වසිනා දිය පොදකි
කදුළු කොපුල් මත පුදින සිනහවකි
සසර කතාවට නවතින මන් තොටකි
View Poem

දීප්ත ප්‍රනාන්දු - ඉතාලිය

2022 ජනවාරි කලාපය

පාර අතුගාන මිත්‍රයාට

නැංවෙයි වාදනය නොමදන්නා ස්වරේ
මතුවෙයි සිතුවමක් දස අත ඉරි පැතිරේ
නැටවෙයි තාලයට ඉදලත් ඒ අතරේ
දිස්වෙයි ටිකෙන් ටික පිරිසිඳුවී නගරේ

හැඩවැඩ ඇඳුම් ඇඳගෙන වැදගත් ආරේ
හොඳවැඩ කරන ජනයා ලෙස හැම වාරේ
මුත්වැඩ කියයි බව ආරේ ගුණ නෑරේ
කැතවැඩ කරයි කුණු දමදම යන පාරේ

විසිකර බිමට කොල කා බී අවසානේ
හැඩිකර පොළොව හැම බිම් අඟලක් ගානේ
හිස්කර බෝතලද සිගරට්ටුව පානේ
සිහිකර ගුණය මිහිමව හට දෙයි දානේ

රකිනට ලෝකෙ වරදින් නැහැදුන උන්නේ
සටනට වැදී හොඳ මිනිසුන් කර දෙන්නේ
තමනට වඩා පහළට උන් හෙලමින්නේ
සිතනට තිබෙන අයිතිය කිම මිනිසුන්නේ

අව්වට පිච්චෙමින් වැඩ දූවිලි කතරේ
සෙව්වට සොච්චමක් යුතුකම මග නොහැරේ
මෙව්වට ලැබෙන අඩු සැළකිලි හද පෑරේ
එව්වට පරාදයි ගඳ කාණුවෙ වතුරේ

මිනිසුන් අතර අවගුණ දින දින වැඩුනේ
අතරින් සතුන් වනයේවත් නැහැ පෙනුනේ
ඇතියෙන් අයත් යහගුණ සුරකින සටනේ
වැනසෙන් නැතිව පවතියි ලෝකය මෙදිනේ

නිමවුන නමුත් පිරිසිදු කර නුඹ නගරේ
කුණුවුන මිනිස් සිත් සැම තැන ගඳ පැතිරේ
නැතිවුන කලට අනුවනකම අපි අතරේ
යහගුණ සුවඳ හැම තැන පැතිරෙයි මිතුරේ
View Poem

ආචාර්ය ඥානතිලක හේවාගමගේ - සිඩ්නි , ඕස්ට්‍රේලියාව

2022 ජනවාරි කලාපය

සෙයිලමට ගිය නාට්‍යාංගනාව

එල්ලල තිබෙන දිලිසෙන කැරැකෙන ........ගෙත්තම්

දැන් මගෙ කනට බෙල්ලට හුරු ..............ආයිත්තම්

ඇන්දෙන නැටෙන ඇඳුමෙත් ඇත හැඩ .....බොත්තම්

ඇත්තට බොඳවෙලා ගම රට ගැන .............සිත්තම්

හිස් අහසට යොමා හුල්ලන විටදි ..................උදේ

රැස් දුටුවාට ඉගිලෙන කණ කොක්ගෙ ...........සුදේ

විස්තර කරල කිව්වම මිළ නටන ..................පදේ

ඇස් දෙක කැමති විදුලි බුබුළු කරන ..............වදේ

වත හිනැහුනත් ඇතුළත හිස් තැනක් .............වගේ

ගත රැඳි පොත්ත අනුවත් කෙලෙසනව ..........රඟේ

හිත ළඟ සිටි අයත් ඇස නොදකිනව .............මගේ

ලත වෙන්නට කියා කිසිවක් ඇත්ද ................අගේ

වැටෙනා විටදි හද අනුකම්පාව ....................ගෙනා

වටිනා වචන ගැන කියනුයෙ කෙලෙස .............වනා

නැගෙනා කලට වෙව්ලන පා පෙරට ................වනා

සුදනා කඩුව වුව කැපෙනව දෙපස .................මනා

අගතිය රැව්ව සිට වයසෙදි ...................කිරිකෝඩූ

නඩුපොත වුණත් දැක්කේ අපෙ අඩු .................පාඩූ

වචනය හැලුව නම් කරනවමයි .......................කූඩූ

හිනැහෙනු හොඳයි කවදාවත් ලෙස ..................නෑඬූ
View Poem

ගීත් චාමින්ද සිල්වා අම්පාර

2022 ජනවාරි කලාපය

අසුරයෙක් රජ කරනවා

ඉරා සළු පිළි බදා කෙස් වැටි
ඇගේ දෙකොපොල් තලනවා
සුරා වෑහෙන දුඹුරු දෑසින්
රාග ගිනි දලු පිඹිනවා
හලා දහදිය මහා වෙිගෙන්
කයක් හාරා දවනවා
යකුන් ගස් නැගි වෙලාවෙිදිත්
රතී යහනට වඩිනවා

අමා රස තිබු සිනිඳු දෙතොලට
රකුස් ගඳ කිලි වැටෙනවා
දමා ආ ඇ⁣ගේ ස්වාමියා ගැන
හිත හිතා ඇය තැවෙනවා
ගෝ සතුන් මෙන් යහනෙ හිඳුවා
රිදුම් දී තලු මරනවා
විලාපය නම් තව්තිසාවෙි
අසුරයෙක් රජ කරනවා

ගිනි ගහන මහ එළිය නොතකා
උගුරෙ මත් පෙති රැඳෙනවා
මාලිගාවෙන් පැමිණි මනමේ
කුමරි ගොදුරට ගන්නවා
කුටියෙ හැම තැන විකෘතිව ගිය
මනෝ කායක් හිඳිනවා
අනේ හිමියනි සමාවෙනු මැන
කියා ඇය පසු තැවෙනවා
View Poem

හෙල්මලී ගුණතිලක - ඔස්ට්‍රේලියාව

2022 ජනවාරි කලාපය

ඝාන්ඨාරය සහ සලබයා

අද මා කාලය ගත කරන්නේ
ප්‍රියතම හයිකුවක
වචන කිහිපය
නැවත නැවතත් කියවමිනි

එය සර්ව සම්පූර්ණ කුඩා මිදි ඵලයක්
යළි යළිත් රස බැලීමක් වැනි ය

හයිකුව මුමුණමින් මම ගේ පුරා ඇවිදිමි
සෑම කුටියකම හිස් අවකාශය වෙත
එහි අකුරු ඉහිරේ

පියානෝවේ විසල් නිහඬ බව
ළඟ හිඳ හයිකුව කියමි
සයුරක සිතුවමක් ඉදිරිපස හිඳ කියමි
හිස් රාක්කයක් මත
ඇඟිලි තුඩින් එහි තාලය අල්ලමි

එය කියන මගේම හඬට මම සවන් දෙමි
සවන් නොදීම මුමුණමි
නොකියා ම සවන් දෙමි

බල්ලා හිස ඔසවා මා දෙස බැලූ විට
ගෙබිම දණ ගසා
උගේ දිගු සුදු කන් දෙක වෙත
වෙන වෙනම එය කොඳුරමි

මේ
බරැති ඝාන්ඨාරය ත්
ඒ මත නිදා සිටි සලබයා ත්
ගැන කවියයි

එය කියන සෑම මොහොතක ම
දැනේ මට
යකඩ ඝාන්ඨාරය මතුපිට
සලබයා ගේ ඉහිලිය නොහැකි බර

හයිකුව කවුළුව වෙත මුමුණන විට
ඝාන්ඨාරය ලෝකය යි
මා ඒ මත ඉසිඹුලන සලබයා යි

කැඩපත වෙත කියද්දී එය
මා බරැති ඝාන්ඨාරය යි
දුහුල් තටු ඇති සලබයා ජීවිතය යි

පසුව,
අඳුරේ මා එය ඔබට පවසද්දී
ඝාන්ඨාරය ඔබ යි
එහි හඬ උපදවා ඔබ රැව් නංවන්නේ මා යි
පද පෙළින් ඉගිල ගිය සලබයා
අසව්වක් සේ
නිදි ඇඳට ඉහළින් පියාසලයි

‘Japan’ by Billy Collins

Link to the original poem- https://www.poemhunter.com/poem/japan/
View Poem

හරිනි උත්පලවන්නා සුමනසේකර - කොළඹ

2022 ජනවාරි කලාපය

රට කොයිබට ද?

රට හැමතැනම මිනිසුන් පාරට බැහැලා
උද්ඝෝෂණ කරයි අයිතින් ගැන අහලා
ගොවි, ගුරු, වෙද සැවොම පාරෙහි පෙල ගැහිලා
යුක්තිය සදාදෙනු දෙවියනි මෙහි වැඩලා

දවසින් දවස ඩොලරයෙ මිල වැඩි වෙන්නේ
ඒ හින්දාලු ඉන්ධන මිල වැඩි වෙන්නේ
රුපියල් සතය බාලව උඩ පා වෙන්නේ
ඩොලර් හිගය කවදද නැති වී යන්නේ

පාලකයින් ඇත ඇස් කන් පියාගෙන
පොහොර නැතිව ගොවියන් දිවි නසාගෙන
කන්ට නැතිව මිනිසුන් දුක දරාගෙන
දෙවියනි කොහොම ඉන්නේ මෙය බලාගෙන
View Poem

හෂී දිනේෂා

2022 ජනවාරි කලාපය

කිසි දින නොලියු කවියක් ලියවුනිය මට

සසැලී රිදී හඩවා දිය නැගෙන විලේ
මතුපිට තඹරු විකසිත වී රගති රැයේ
හිනැහී දිලෙන නිලුපුල් පෙති නිලට නිලේ
නෙතු කැන් අයා රස වින්දෙමි බොළඳ වියේ

ඇසිපිය නොගස සිටියත් විල දෙසම බලා
මහ සැඩ සුළං එයි මා වෙත රවා බලා
කැලඹී යනෙන කළ ජල කද ඉවුරු තෙමා
නිලුපුල් තඹරු පාවී යයි මිලින වෙලා

පෙත්තෙන් පෙත්ත එක් කෙරුවත් විල් තලයේ
පෙර ලෙස තඹරු රඟ නොම දේ සිත් අහසේ
නිලුපුල් සිනහ අමතක කර මුව මඬලේ
දුක්බර බැලුම් හෙලමින් නිදි විල් යහනේ

රිවි රදු හඬා දේදුන්නේ පැහැය මකා
බලා හිඳී හිනැහෙන තුරු පියුම් විලා
අහසත් කළුව ගිගුරුම් දී වැල පීලා
රිදෙනා කදුළු මහ වැසි වී ඇද හැලුවා

දිනයන් ගෙවී එළැඹීලා සුපුන් සඳ
කළා සොළස සපුරාලා දිලෙයි අද
ඇසුනින් තඹරු පැටවුන් පණ ගහන හඩ
කිසිදින නොලියු කවියක් ලියවුනිය මට
View Poem

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා විශාකා විද්‍යාලය

2022 ජනවාරි කලාපය

එන්න කවියක්ව

දෙපලු කර සුලං කෝඩය එකට පියඹන්න
එකලු වූ හද කොනිත්තා රසය දනවන්න
සිතලු එන ඇසිල්ලෙන් පන්හිඳට අමුණන්න
ලපලු වී නැවුම් සුවඳින් යළිත් නුඹ එන්න

රනින් කළ හිරු රැසින් අහුරක්ම ගෙන අතට
සැණින් මුව තවරගෙන සිනා එළි දල්වන්ට
මලින් කළ සේලයේ ඉරී ගිය අගිස්සට
මිණෙන් හැඩ දමන්නෙමි රෝස පෙති රටාවට

නැත නැවත එන දිනක පෙර ලකුණු ඇස ගාව
ඇත පවත එහෙත් නුඹ දිනෙක මෙහි ආව බව
අත මවෙත දිගු කරන් සිහිනයක අරුතක්ව
ගත මෙසිත පොබයමින් ගලා යනු කවියක්ව
View Poem

වෛද්‍ය ඉන්ද්‍රාණි රත්නායක පුංචි බොරැල්ල

2022 ජනවාරි කලාපය

හදවතට තට්ටුවක්

බැලුවද නාඩි මොහොතක් හරි අත අල්ලන්
දැනුනද සුසුම් තෙරපෙන නැහැපුඩු හොල්ලන්
නැහුනට උපන් දින සිට මේ ටික අල්ලන්
අතහැර යන්නෙ කුණු කය බැහැගෙන පල්ලන්

ඉම කොන නොදැන දිවයන මේ බව ගමනේ
හිත වටකරගෙනයි ලෝකය ගොඩ නැගුනේ
ගත කුලියට ගත්තෙ එය මොහොතයි තිබුණේ
වැහැරෙයි දිරයි දුක පමණයි එහි රැඳුනේ

වයසට යද්දි ලස්සන හම රැලි වෙනවා
මුතු කැට වගේ දත් එක එක ගිලිහෙනවා
අතපය වාරු නැති වී ගත වෙව්ලනවා
එනමුදු තරුණ හිත රහසින් වැලපෙනවා

ගුණ දොස් විවේචන කොහොමත් නොමැත අඩූ
පණ සේ ලඟම සිට පැටලෙයි සමග නඩූ
පිහිටට නොඒ කිසි විට ඒ කඳුල හැඩූ
යන තැන කල දේට හරියයි ලෙසට වැඩූ

දිනකදි නතර වන විට ලබ් ඩබ් රාවේ
සැනසුම පිණිස මෙහෙයමු මිය යන ජීවේ
දැනගෙන සසර දුක, එහි බියකරු බාවේ
පණ යන මොහොතෙදිත් බුදු බණ ඇසුනාවේ
View Poem

ජනාධිපති සම්මාන ලත් ගීත රචක ඩබ්ලිව්. ජයසිරි

2022 ජනවාරි කලාපය

උපන්දිනය

දෙලුම්මලේ
පාට ඇඳුනු
දෙතොල පුරා
ලිප්ස්ටික්කූරක
පහරින්
ලේ ගලනා හැන්දෑවේ
රෝසකොපුල්
වසාගන්න
පවුඩර්මල
හලාගත්ත
ක්‍යුටිකුරා හේදෙන්නම
මුරුගසංවරුසාවේ
අත්වැල්
පටලවා ඉම්මු
දෙන්නම
තෙතබරිතවෙන්න
එතකොට
ලෝකයදකීවි
නිරුවත්වුනු
ආදරයක
හැබෑවටම
සොබාවිකව
View Poem

ජයතිලක කම්මැල්ලවීර

2022 ජනවාරි කලාපය

දෙන්න බැරි සතුටක්

කලකට පසු වට වැස්ස
සෝදා හැර ඇත
ගෙවුණු ඉඩෝරයේ දූවිල්ල
අලුත් මිදුලේ වැඩෙන
අඹ පැලය
නව දළු සෙමෙන් සොලවයි
සැන්දෑ සුළඟට

රට ද මා ද විඳි
සියලු පිරිපත අමතකකර
සැනසුම් සුසුමක් හෙළමි
කොහොමද ඔබට දෙන්නේ
මට පමණක් මොහොතකට දැනෙන,
මේ සතුට?
View Poem

මහනුවර යුගයේ ජන කවියා

2022 ජනවාරි කලාපය

යසෝදරාවතේ සිත්ගත් කවි

ගණන් නැතිව අප දුන්නේ අත් බන්දා
ගණන් නැතිව ඇඩුවේ මම ඔබ සින්දා
කියන් ඉතින් මං කළ වරදක් ඇද්දා
හෙමින් මහණ වෙන්නට වැඩියේ ඇයි දා
View Poem

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

2022 ජනවාරි කලාපය

වනයක සිරිය

රවි සර බාල වී සඳ රැස දෙන යාමේ
කවි හර තාල කිචි-බිචි පැසවන සාමේ
දැවි දර ගාල අළු දා පස වෙන දාමේ
කවි කර මාල පළඳ මු බැස වෙණ කාමේ...

ගඟ රැළි නගා “චර-චර” සද්දෙට බැද්දේ
තඟ ගයතැ’යි යමරෙට සද්දේ
රඟ කෙළිදෙලෙන් මල් කුමරියො වන මැද්දේ
නැඟ තෙලිතුඩට වෑහෙත රූ-පට ගද්දේ...

වියැළී බිමට වැටෙනා පත් තැනින් -තැන
පියළී හැඩට පෙනෙනා මුත් සැණින් නැණ
පැටලී දවට ගෙතෙනා හත් මුතුන් පණ
වන ලී රුවට ඇදෙනා මනු ගති අමන...

සඳ වට දිලෙන තරු පොකුරක සිරියාව
විඳ රට තිබෙන සරු පොළොවක පිරියාව
කඳ වට වඩින විරු දෙපළක වරුණාව
බඳ කට පිරෙන තුරු පොකුණක කරුණාව...

දහවල පැයෙන් - පැය ගත වෙයි හෙමින් සැරේ
සඳමල කිරෙන් රැය පොබවයි පහන් පිරේ
මිහිකුළ එඩින් පය ඔසවයි තෙදින් පුරේ
මුහුකළ ලෙසින් දැය සරසයි වනන්තරේ...

පැයට යසස්-පති වෙයි විළිදන් හැර දා
කමට මිනිස්-ගති නැති මිනිසුන් ඇති දා
රැයට තපස්-වෙති ගැති තිරිසන් රති දා
කුමට විපස්-ගති මැති තුරු සුන් කර දා!!!

2022.01.01
View Poem

කුමාරි විජයරත්න ලන්ඩනය

2022 ජනවාරි කලාපය

නව අවුරුදු සුබ පැතුම්

සාර සදිසි සද මෙන් සිත පිබිදේවා
නෑර දිනක් පින් සිත තුළ රැස් වේවා
බීර රෝග ලෙඩ දුක් සිත දුරු වේවා
පාරමිතා බලයෙන් සිත සැනසේවා

දිලී දිලී අහස පිරුන තාරකා වලින්
පිපී පිපී රේනු නටන සුවද මුදු මලින්
සැලී සැලී ගත දැවටෙන සිහිල් මද නලින්
පිරී ඉතිරි ගිය ආසිරි ගෙනෙමි මුළු හදින්

රෑන් රෑන් කුරුළු රෑන් ගීතිකා ගයයි
රෑන් රෑන් මල් කෙමිවල සුවද පැණි පිරෙයි
රෑන් ඇදුන සිතිවිලි වල සතුට රජ කරයි
හීන්සැරේ ගෙනෙන පැතුම් වසර සරුකරයි

තියුණුව නුවන නව නිපැයුම් ඇතිවේවා
දියුණුව සැප සතුට දින දින වැඩිවේවා
කුළුණුව හදට දම් සිතිවිලි රැස්වේවා
පැමිණුන නව වසර කිරිපැණි ඉතිරේවා
View Poem

කංචනා කුමාරි දොඩංගොඩ පන්නිපිටිය

2022 ජනවාරි කලාපය

නව වසරට සෙත්කවි

නව වසරට සෙත්කවි

ලොවම පුබුදුවා දිනකර නැගේවා
රැයේ අඳුර පලවා සඳු නැගේවා
සේපාලිකා සුවඳට තරු පිපේවා
දෙව් බඹ මුවින් සෙත් පැතුමන් රැව්දේවා

සාමය ආදරය ලොව තුුල පැතිරේවා
රෝ බිය සදහටම මෙලොවින් දුරුවෙිවා
බිය සැක දුරුව සැනසුම ලොව ඉතිරේවා
සැමටම සුබම සුබ නව වසරක් වෙිවා!!
View Poem

කෞශල්‍යා ජයලත්

2022 ජනවාරි කලාපය

සරමු සක්වල සිසාරා සුබ නැකත ඇත සපැමිණ

දුරුතු හීතල පෙරවගෙන සීත සමීර
මියුරු ගී පබඳිමිනි විහඟ පිරිවර
හස නඟනයුරු පුහුණුවන කුසුම් පෙරහර
නැවුම් පැතුමන් පිපේ නෙතු මත දොර දොර

මං මුලා තොටියෙකුට පහන් එළි මුණගස්වන
මඟ වැරදි සකුණෙකුට කැදැල්ලට මඟ පෙන්වන
දළඹු දුක නිමකර නේක සමනොළ තටු පළන්ඳන
සුයාමය රැගෙන හෙට උදෑසන ගෙට ගෙවදින

සහස් ගිරි ශිඛර තරණය කරනා සිහින දකිමින
පිය ගැට පෙළ නඟින දන සුබ දසුන නිමවන
ඉසිඹු තැනි සේ ම රුදු බෑවුම් ද හමුවන බව දැන
සරමු සක්වල සිසාරා සුබ නැකත ඇත සපැමිණ
View Poem

කපිල කුමාර කාලිංග

2022 ජනවාරි කලාපය

කෙටි කවි

1) දුම් දමන තේ බඳුන
සෙමෙන් ඇල්වෙයි
කහට රස පමණක්
ඉතිරි කොට

2) උදෑසන බස් රියේ
කවුළු අසල අසුන
තවම හිස්‍ ය.

3) බෝධියට යන අතරතුර
දැක නැවතුණෙමි
මහළු අඹ ගස මග අස.

4) සුළඟින්
බිම පතිත මල්
සුළඟින්ම ඉපිළෙයි .

5) ඇය එන දවසෙම
ගොළු වූ සැටි
දොර සීනුව.
View Poem

ලාල් හෑගොඩ  

2022 ජනවාරි කලාපය

අම්මා

පිදුරු ගසක් සේ
කේඩෑරි වී
සුදුමැලි වී
රැළි වැටී

වී ඇටය ඇටයවත් තඹ තම්බා
කාගෙ කාගෙත්
ගින්දර නිවන්න ඇති

ඊටත් ඉස්සර
ළා ගොයම් කරලක් වගේ
ඉන්න ඇති
View Poem

මාවැලි කුමාරී කුලතුංග - මහනුවර

2022 ජනවාරි කලාපය

එදා අපි....

හංදියෙ කඩේ නානගෙ එළුමස් කරිය
ගෝදම්බර සමග නම් පදමට හරිය
වටලප්පම් නොකා ඉන්නටනම් බැරිය
හොඳ හිත මිසක මොකටද උන් පැටිකිරිය

තෝසේ සමග තෙල් පෑදුනු සම්බාරු
වඩයක් සමග තේ කහටක් අත නාරූ
දුම් අල්ලමින් නලලේ ගා තින්නෝරු
අමතක කළොත් නරකද මාවිල් ආරූ

කැකුළෙන් නිවුඩු හාලේ බත උයාගෙන
පොළොස් ඇඹුල් පොල්සම්බල අනාගෙන
කිරි හොද්දකුයි කරවල බැදුමකුයි ගෙන
කෑවොත් සමකරන්නට නැත රසක් වෙන

නෝම්බි කාලෙට හවසට කැඳ බිව්වා
දීපාවලියෙ මුං කිරිබත් රස සෙව්වා
අවුරුදුදාට හැමටම කැවුමක් කැව්වා
හිත හඬනවා අද නැත්තේ ඇයි එව්වා

මොහොමඩ් සමග රාසම්මා අපෙ මිතුරු
එක බත්පත බෙදා එදවස කෑ අයුරු
සිහියට නැගෙයි කිව්වත් මොනවා කවුරු
අදටත් දැනේ එම මිතුදම් රස සමරූ

ගොට්ටේ දමා තල් රා වල රස බලමු
කට්ටේ කිතුල් රා බීලා පදම ගමු
පට්ටේ දොදොල් කන්නට මාතරට යමු
ගැට්ටේ එකට හිඳ රාම්ලාන් සඳ බලමූ

ජාතින් අතර අසමගිකම් ඇතිකරවා
මානෙන් උදම් අනමින් සමහරු නැටුවා
සාමෙන් එකතුවී උන් හැම හැර පලවා
නෑගම් යමු උතුර දකුණට යාකරවා

කවුරුත් ඉපිද මියයන මේ ලක් දෙරණේ
එක රිද්මයකටයි කාගෙත් හද ගැහුනේ
මිනිසත්කමට ගරුබුහුමන් ලැබ දෙමිනේ
එක්වී පියනඟමු නව වසරට සොඳිනේ

උස් මිටි නොහොඳකම් ඇද පසෙකට දාමු
වැරදුනු අතීතය නොබලම වළ දාමු
සතුටින් එකතුවී යළි හසරැළි පාමු
විස්සයි විසිදෙකට නව අරුතක් ගේමු
View Poem

මොනිකා නානායක්කාර - බණ්ඩාරගම  

2022 ජනවාරි කලාපය

මඟ බලා සිටින්නී ඈ

අරුණෝදයේ පිපි මල් කැකුළු
සෙනෙහේ දියෙන් නහවා
හිරු කිරණ සේ ලොව එකළු කළ
පහන නුඹ අම්මා

ජීවන පොතේ මුලකුර කියූ
දිවි මං පෙතේ එළිවැට තැනූ
ජීවිත කවේ පදවැල් ගෙතූ
කිවිඳියයි නුඹ අම්මා

නෙක දුක් දරා දරු සැනසවූ
කුසගිනි දරා දරු කුස නුවූ
වැරහැලි දරා සළු පැළඳවූ
උවැසියයි නුඹ අම්මා

පුතුන් රජ කරවූවත්
මව් සෙනෙහෙ ඉවතට දමා
කහවනු ගඟේ පිහිනා
සිදාදියෙ හිත රඳවා

දුබල ගත සවි බිඳී
මව් තනිවුණා ගම්පියසෙදී
හදෙහි පැතුමන් දරා
නෙතෙහි කඳුළැලි පුරා

පුතුන් එන මඟ බලා
සෙනෙහෙ මහිමය දරා
මඟ බලා සිටින්නී
මලානික නෙතු දල්වලා..
View Poem

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

2022 ජනවාරි කලාපය

පුනරාගමනය

කාලයේ වැලි තලා වසාගත් මතක පොත
මාරුතේකට පසුව ආයෙමත් මතුව ඇත
පාඩුවේ ගෙවන්නට හදාගත් මගෙම හිත
ජීවිතේ හොයනවා ඒ පොතේ අකුරු මත

සුන්දරයි අතීතය අසුන්දර තැන් ඇතත්
දුක්බරයි ඉඳහිටක තෙමුන කඳුලින් නෙතත්
අමතකයි ඇවිද ගිය පාරතොට දැන් මටත්
මල් පිපෙයි පරව යයි එමග පෙර ලෙස අදත්

බිඳුණු තැන් ගලපමින් අවුස්සා සෙහොන් කොත්
රිදුණු තැන් පිරිමදියි යළි යළිත් මිතුරු අත්
ඇසුණු කල මුමුනනා සිත නිවන පිරිත් සෙත්
හිඳිණු බැහැ නොදුටු සේ අතරමං වුනා සිත්

ගතවෙනා තත්පරෙත් වටිනාම කාලයක
ලතවෙලා කුමකටද මේ කෙටිම ජීවයක
සැනසිලා ඉනු පිණිස බොඳ නොවන සීනයක
හිත හදා යළි බැඳෙමි මග ඇරුණු මිතුදමක
View Poem

නාලිකා සමන්කුමාරි - අරාබි එමීර් රාජ්‍යය

2022 ජනවාරි කලාපය

බඹර පැනයක්

සුවඳට ඉව කරයි බඹරුන්
දුර ඈත
කඩුපුල් පිපුණෙ ඒකද ඔය
මහ රෑට
සේපාලිකා හැලිලා
හිමිදිරියේම
කොඳ මල් ගිලී මිය යයි
සඳ වතුරේම

උදයේ දිවා රෑ නෙක නෙක
මල් බෝම
විකසිත වෙවී මුකුලිත
වෙයි හැමදාම
සමනල බිඟුන් හට බියගුළු
කම් පාන
රෑ මල් කදෝපැණි සෙනෙහස
වින්දාද ....

මලකට පැවැත්මක්
තනියම නෑ නේද
කුමකට රහසෙ පිපිලා
මිය යනවාද
බිඟුතුඩුවකට රොන් බිඳුවක්
පිදුවාම
පරවෙන මලක නම්බුව අඩු
වෙනවාද ....
View Poem

නුවන් තොටවත්ත

2022 ජනවාරි කලාපය

ඇයට කියනට බැරිව ලතැවුණු

වසර අටකට පසුව හමුවිය
කතා පොත ඈ අතේ සිරවුණු
බිම තැබූ මොහොතකට මත්තෙන්
නොකියා ම යන්නට පිටත්වුණු

මුල් ම පිටුවෙහි ඇලවුණු
රෝසමල් පෙති කිහිපයකි වියැළුණු
පොත සමග මා තිළිණ කල බව
මට ටිකින් ටික මතක නැතිවුණු

මැදට ලං වන තුරු ම පිටු විය
එකදු දුහුවිලි පොදක් නොවැදුණු
තවත් පිටුවක් පෙරලනා විට
කඳුළු බිඳුවකි වැටී වියැළුණු

එතැන් සිට විය කඩින් කඩ මුත්
පිටු නොසන්සුන් අතින් පොඩිවුණු
ඉරුණු තැන් දෙක තුනක් හමුවිය
මටත් රහසින් පිළිසකර වුණු

පටුනටත් පෙර බව නිමා වුණු
ඇයට කියනට බැරිව ලතැවුණු
නිමාවට පිටු කිහිපයක් ඇති
තැනක පොත් සළකුණකි තනිවුණු
View Poem

නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර

2022 ජනවාරි කලාපය

කළය පුරවමි කදුලින්

 

දැවී හළු වී ගිය දුමිදුන්
කෙරෙන් මතු වී අංකුරයක්.
පුදන්නට නුදුටු පිය මිතුරා හට
සයුරින් එතෙර ලක් පති.

රන් පාත්‍රයක වඩවා,
පිරිවර ලදුන් සමගිනා,
ලපටි බෝ සමිදුන්,
භාරදුනි පිය දියණි වෙත.

හෙළ දෙරන සැළුනා,
මහා අනුහස් බෙළෙනා,
බෝ සමිදු පිහිටුනා
උයන මහමෙව්නා.

කතකි ගෙන ආවේ,
තරණය කර මහා සමුදුර.
අහෝ! එනමුත් අද,
තහනම්‍ ය කතුනට බෝ මළුව.

පුදනට බෝ සමිඳු මම්,
ඈත මළුවේ ඉදං
පුරවමි කළය පැන්,
කදුළු පිරි දෑසින්.
View Poem

නිශ්ශංක දිද්දෙණිය

2022 ජනවාරි කලාපය

හිමි සුතනඹු හිමි පෙම

නිශ්ශංක දිද්දෙණිය

සැමියා:
තුරුණු පෙමින් තුඟු හසුන් ළමැද යහනේ
කිති කවා හොවා මා සතපන පිය සොඳුරේ
එරුණු කිරෙන් සුව දෙවා එකම ළමැදේ
දරු පෙමට උතුරා කෙළි කවට සිනා නැගුණේ
කිම වෙනස සුරස පහසේ
කිව මැනවි මගෙම ළඳුනේ

බිරිඳ:
හිමි සඳුනි ඔබට දරු පෙමට සුවය සදනා !
පුළු'ලුකුල දෙතන තුඩු සාමය වෙනස් නොවනා
අනුරාග සිරුරු සිත් දැහැනක බැඳ ඔබ මා
පිදු සෙනේ වෙළී දරු පෙමින් සුදට හැරෙනා
විමතියකි රුහිරු උනනා
ලෝ දමක සැඟව තිබෙනා

2021.12.06
View Poem

Omindu Bometh Fernando Meopham School - London

2022 ජනවාරි කලාපය

POSITIVE WORLD

We dream of a world of peace
Where there is no difference between rich and poor
We rise by lifting others
Helping Each other to find a way out

We see the clouds covering us
The things we see are mysterious
People are curious
We Must have hope and not be furious

We are all unique
Trying to make the world a better place
Freedom is the oxygen of the soul
We shall be happy and love will bless the world

Omindu Bometh
Meopham school
London
View Poem

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

2022 ජනවාරි කලාපය

ආයාචනා ....

ආයාචනා ....

තුරු ලතාවනි සුනිල වූ
පුබුදුවාලනු මැනවි කුසුමන්
ළදළු මත තුරු හිස් මුදුන් වල
සොඳුරු සුවඳක් විහිදුවා .

තාරකාවනි නිමල වූ
දිදුලමින් යළි සිනාසෙනු මැන
සීත රැයෙ තනිකම මකන්නට
අතීතයෙ සිතුවම් අඳින්නට.

නදී කොමලියෙ සොඳුරු වූ
ගලායනු මැන නොනැවතී ඔබ
රුදුරු බාධක ශිඛර අතරින්
සිඳු මවුන් වෙත සෙනෙහසින්.

සඳ කුමරියනි මිහිරි වූ
එබී එනු මැන වළා අතරින්
රුදුරු ඝනඳුරු අහස් තලයක
පාළු තනිකම මුදා ලන්නට.

සරණ සියොතුනි නුබ ගැබේ
මියුරු පදවැල් ගයනු නිරතුරු
වැටුනු පිණි බිඳු මැකී යනතුරු
හදවතේ මල් පෙති පිපෙන්නට.

වැහි වළාවනි අඳුරු වූ
පතිත වන්නට ඉඩ හරිනු මැන
එකට ගොනු වුනු ඔබේ කඳුළැලි
දැවෙන මා හද ගිනි නිවන්නට.

දරන සැම දුක් මිහි ලියේ
වැළඳ ගනු මැන දෑත් විහිදා
සෙනෙහසින් මා ඔබ තුරුළ වෙත
සියලු දුක් ගිනි නිවා ලන්නට.
View Poem

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

2022 ජනවාරි කලාපය

ඕස්ට්‍රේලියානු පුරවැසිකම

මල් බඳුන් සිසිල් පැන් රතු මේස රෙද්ද මත
හිඳ සිටිති නගරපති මැති ඇමති ප්‍රභූවරු
බහු වගට හිමි දනන් රැසකි නෙක බස් දොඩන
ඔවුනතර ලක් පුතෙකි නිරතුරුව හද ගැහෙන

එකින් එක හඬ ගසයි නුහුරු නුපුරුදු නමින්
නේක දන නැංග විට පිරිනැමේ සහතිකය
අතට අත දී නමා හිස නගා ප්‍රතිඥා
මල් පෝච්චිය රැගෙන මෙරට පුරවැසියකුව

ඇසේ සිංහල නමක් සැලෙන පා ඉදිරියට
අතැර යන ගමනක්ද ජනිත ලක් මව් දෙරණ
ඔබත් දැන් පිළිගැනේ ඔසී පුරවැසිකමට
බිරිතානි මහා රැජිණ නාමයෙන් දිවුරන්න

දුටු ගැමුණු රජුන් මෙන් වීරයකු වන්ට සිතු
ලක්දනට මෙහෙවරක් කරන්නට සිහින දුටු
නිදහසේ ඉගෙනුමේ ඵල ලැබූ ලක් පුතකු
ඔසී පුරවැසියෙක්ලු දේශප්‍රේමය එයලු
View Poem

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය

2022 ජනවාරි කලාපය

විස ම - භාග

අහෝ! මෙතනින් තනි ඉරක් ඇඳ
හරි මැදින් වෙන් කළ යුතුයි...
සම සමව එය බෙදාගෙන දැන්
සිතුවමක් ඇඳ ගත යුතුයි...
වර්ණ මුසු කළ පින්සලට මෘදු
සංයමය එක් කළ යුතුයි...
වෘත්තයේ ඇද පළුදු නොතියා
දෙකෙන් පරිධිය ගත යුතුයි..
View Poem

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ

2022 ජනවාරි කලාපය

මාළිග සිහින

විසිතුරු දේදුණු පාටින්
දූපුතුන්ට සතුට අරන්
නැවෙන් ඇවිත් ඈත රටින්
කදිම ⁣⁣මෝස්තර තෝරල
අඩුවට දෙන්නම් සරසල
බැලුම් බෝල පොකුරු හදල

කැපවී බාරයක් වෙලා
සල්ලි ටිකක් ඉතුරු කලා
දුක නොබලා වෙර දරලා
ණයක් වුනා පෙර දිනයේ
කැටෙත් බිඳල හෙට උදයේ
ගේනව මාලෙත් ආයේ

වීදි පුරා ගොස් වටේට
වෙහෙසයි කළුවරයි අවට
කිඹුල බනිස් කාලා දැනට
අදත් ගමුද උළුඳු වඩේ
කෝවිල ලඟ තෝස කඩේ
දැන් දැන් බඩගින්න වැඩේ

සතියේ වාසනා දිනුම
බයිසිකලේ එනව ළඟම
අද නම් ගන්නව දෙකක්ම
මෝරාලා පූරුවෙ පින
මාළිගාව හිතේ තියෙන
හැකිවේවිද බිම තියන්න
View Poem

ප්‍රීති රන්දෙණිය

2022 ජනවාරි කලාපය

වඳ ගැහැණිය

දස අවුරුදු විවාහයක් පෙති කරල් ගෝනියක්
කුස පොත්තේ කලළයක් නොපිළිසිඳි සාපයක්
සුබ දවසක අසුබ දසුනක් මම වඳ ගැහනියක්

පෙම්වතා ඉන්ද්‍රකීලයක්
බොළඳ වදන් මියුරු ස්වරෙන්
ස්වාමියා වැටඉන්නක්
කටුක වදන් බමන මතින්
මම පල නැති මල
කම්මලේ බැල්ලී

නැන්දම්මා පාට වෙනස් කල කටුසු දේනුව
නෑණා සුරබිදෙන
දරුවන් ගෙ කොටහලුවෙ
කිරි අම්මා දානෙක
මා තුං නොදකින්

ආතතිය විශාදිය
ඔලු කට්ට පුපුරන්න
කණපිරුනු කොහොඹ යුෂ
වැට ඉන්න වෙන පැලක
හිසහැරුනු තැන යන්නෙ
හද පැලුනු වැලහින්න

අහම්බය අහම්බය
අහෝ ඒ සුන්දර ම අහම්බය
අරුමැතිම නිමේෂය
හමුවීම පලමු පෙම
සිත සමග ගත නිවුනු
මදුරතම හෝරාව

දස දහස් මල් වෙඩිලි
අහස් කුස පුපුරුවා
අනෝතප්තයෙ නෙලුම්
සුවඳ දී පුබුදුවා
පත්තිනිය බිම හෙලූ
සළෙඹේ කිංකිණි වයා
මගෙ කුස ට සුදු ඇතෙක්
නෙලුම් කැකුලක් තබා

ඉතින් මම සුරබිදෙන
මගෙ හිමිගෙ පතිනි ළඳ
කටුසු දෙන මගෙ ම මව
නෑණා ගෙ පෙර මිතුරි
View Poem

රොෂාන්ති විජේසිංහ  -  ඉතාලිය

2022 ජනවාරි කලාපය

සෙනෙහස ඔබෙන් විදිමි

සම්මතයෙන් පිට
අසම්මත පෙමක බැඳිලා
අපේ සිත් විඳවන තරම්
හිමි නැති බව දැන දැනත්
අපි අපිට ආදරේ කරන තරම්
රාගයක් නැති සෙනෙහස
හිතතුල පිරිලා තියන තරම්
ඔයාගේ ආදරණීය වදන් වලින්
මගෙ හිත සැනසෙන තරම්

විඳවපු ජීවිතය
ලස්සනට විදින්න
ඔයා මට කියලා දුන්නා
අඳුරු වලාවෙන් වැසුණු
මගෙ ජීවිතයට සඳක් වෙලා
ආලෝකය දුන්නේ ඔයා
අද මං සතුටින් ඉන්නවනම්
ඒ ඔයාගේ ආදරේ නිසා

ගතින් ළංවෙන්න බෑ තමයි
කිසිම දිනක එත්....
හිතින් ඔයා ම⁣ට දෙන සෙනෙහස
මගේ පණ හා සමානව වටිනවා
සමහරවිටක .....
ඔයාගේ ආදරේ මතක එක්කම
මම යන්න යාවී......ඔයත් නොදැනම
ඔයාව නොදැකම...... මේ ලෝකෙන්..
View Poem

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් - කිරිඳිවැල

2022 ජනවාරි කලාපය

මැදියම් මනාලී

සකුණ ගී හඬ මැකී
රෑහි නද මතු වෙවී
නිහඬතාවය බින්ඳෙ
මාවවුල් තටුවකී
කිරි මූද කළඹලා
සඳ දියේ පෙඟි පෙඟී
හොරෙන් ඉඟි බිඟි කලා
රන් රුවට වශී වී...

සිතුම් කෙමි මල්වරව
නුරා ගිනිදැල් මැවී
මගබලා සිටියමුත්
පැතුම් සුණු විසුනු වී
විඳින්නට හෝ පුදන්නට
වරම් නොමැත්තී
බිම බලන් ඉකිගැසූ
මැදියම් මනාලී....

රණතිසර තුඩු ඝනව
නාඹරව ඉලිප්පී
බඹර පහසක සුවය
මග බැලූ දිගැස්සී
රොන් පිරූ මකරන්ද
සීරුවෙන් සැලි සැලී
තැලී පොඩි වී ගියා
ඇඟිලි තුඩු වල ගැටී....

අළුයමට ඉඟි කරන
රැස් කෙඳිති එබි එබී
එන විටදි සුසුම් ලා
පැලඳි සළු පිලි ඉරී
රැඳි සුවඳ දුර යවා
පවනකට ගතු නොකී
පෙති සලා නිහඬ වූ
මැදියම් මනාලී....
View Poem

රේණුකා බණ්ඩාරනායක පර්ත් - බරහිර ඔස්ට්‍රේලියාව

2022 ජනවාරි කලාපය

වතුර

 

කඩා හැලෙන මහ වැස්සක්

කියන්න බැරි හිතේ බියක්

පෙර දිනයක අත්දැකීම

හිතන්න බැරි ගංවතුරක්

 

දෙගොඩ තලා වතුර ගිහින්

ගස්වැල් ටික කැඩී ගියා

උදේ හවා වතුර දැම්ම

ඒ මහන්සි ගලා ගියා

 

කරවෙන විට මහ රස්නේ

සරු කෙරුවේ වතුර බිදයි

මහ වැස්සට බිමට ඇවිත්

නැති කෙරුවෙත් වතුර තමයි

 

වලාකුලේ රැගෙන ඇවිත්

පොඩි වැස්සක් අපට දෙන්න

ලොකු වැස්සක ගංවතුරෙන්

අනේ අපිව බේරාගන්න
View Poem

රත්නපාල ගමගේ - ස්විස්ටර්ලන්තය

2022 ජනවාරි කලාපය

අහිමි වුවත්

මගුල්පෝරුව
සිතට නෑ දුක්
ගිලිහුනත් දෑතේ
රන් වළලු හැඩ වැඩ කළ
නොබැලුවත්
හැඩරුව
මගුල් සාරියේ
ගැට ගසා වේල්පට
ගියේ ලොකු දෝණි
මනාලයෙක් නැති
මගුල් ගෙදරක
එතෙර වන්නට
සසර දුක් වලින්

කිතුල මල් රෑන් වන්
දිගු කෙස් කළඹ
කපා බිම හෙළු පසු
හිස වටා කරකැවෙන
යන්තරය මොහොතකින්
මතු කළේ මුඩු හිස

ඉනුවේය ගිහි ඇදුම
පැළැද බුද්ධ චීවරය
පාත්‍රය අතට ගෙන
වැඩියාය බුදු ගෙට
ජනේරුව එළඹෙන්නට
කළියෙන් මොහොතකට
View Poem

රංජිත් ද සිල්වා - නවසීලන්තය

2022 ජනවාරි කලාපය

අපි තුන්දෙනා

අපි තුන්දෙනා
රහීම් - වේලායුදන් - මමත්
එකම හිරුගේ රැස් විඳිමින්

බස් නැවතුමේ - පාසැල් සේවය බස් එක එනතුරු
කැඩුණු සිංහලෙන් - කැඩුණු දෙමලෙන්
කතා කරමින් සිටි හැටි - අදත් මතක් වෙනවා
පාසැල් බසයේ අපි ඉඳ ගන්නෙත් එකම සීට් එකේ

පාසැල් බස් එක ටවුමට සේන්දු වුනාම
අපි බසයෙන් බැසගන්නෙත් එකටම
සිංහල බෞද්ධ පාසැලට මම යද්දී
රහීම් ගියා මුස්ලිම් ඉස්කෝලෙට
වේලායුදන් ගියා ද්‍රවිඩ පාසැලට

පාසැල් සේවය බසයේ
උදේ හවස එකම සීට් එකේ ගියාවාගේ
එකම ඉස්කෝලෙකට අපිට යන්න ලැබුනනම්
අපි ඔක්කොම වැසියෝ - ඔක්කොම නෑදෑයෝ

26 දෙසැම්බර් 2021
View Poem

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

2022 ජනවාරි කලාපය

සැලළිහිණි සංදේශයේ සිත්ගත් කවි

පැහැ සරණිය මිණි පැමිණිය කොත් අගට
බඳ කිකිණිය දද ගිහිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැලළිහිණිය වදු කැළණිය පුරවරට

මැණික් වල කාන්ති කදම්භය කොත් මුදුනට
පැමිණ තිබෙන්නාවූ, විමානයන් වටා බැඳ තිබෙන
මිණි ගෙඩි ඇති, කොඩි වලින් ගහන වූ, කිසි
විටෙකත් පැරණි නොවී විටින් විට රමනිය
වන්නා වූ මනහර කැළණි නගරයට ඇතුල් වන්න.
View Poem

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

2022 ජනවාරි කලාපය

හිත නැවතෙන තැන

 

රෝස නටුවෙ කටු තිබුණට

වන බඹරෙක් පිටු පෑවද

කිසිමදාක රෝස මලට.

සමනලයින් මල් ගොමුවල

ලස්සන බලනව විතරද

පැණි පිරිච්ච මල් දැකලා

ඉවත බලා ගියෙ කවද්ද.

ගැටිස්සියන් ගැවසෙන තැන

කොලු ගැටයින් රෑන් පිටින්

සැරි සරන්නෙ නිකම් නොවෙයි

සිත ගිය තැන මාලිගාව.
View Poem

වෛද්‍ය රුවන් එම් ජයතුංග - කැනඩාව

2022 ජනවාරි කලාපය

සුදු හිම පියළි

 

හිම පියළි වැටී
සුදුම සුදු වූ භුමියේ
කාලය හා අවකාශයෙන් මිදී
ඇවිද යමි දේවදාර ගස් අතරින්

වසන්ත සමයේ
චෙස්නට් ඇට සොයමින්
එහි මෙහි දිව ගිය
ලේන්නුනි නුඹලා කොහීද ?
ගස් බෙනවල සැගවී
යලි වසන්තය උදා වන තෙක්
යලි බලා ඉන්නවාද ?

සීතල සුළඟ නිසා
තුරු ගොමු මුදුනින්
ඇද වැටෙන හිම කැට
වැස්සක් සේ විසිරී යයි
මවමින් මනස්කළු රටා

උණුසුම සොයා
ඈත දේශයට පියඹා ගිය සියතුනි
හිමවලින් වැසී ගිය
තුරු ගොමුවල අලංකාරය
නුඹලාට කියා දෙන්නේ කවූද?
View Poem

සෙව්මි ලෝචනා ලියනගේ - රෝමය

2022 ජනවාරි කලාපය

... අහඹුවක්....

 

නගරය දෙදරවන සැණකෙළියකි එදින...
පිරිවර පුර ලියන් රඟ දෙත් මන බඳින...
උන් මැද එක් ලඳක් විය සිඟමන් යදින...
තිගැසී මගේ හිත ඈ ගත්තා හැඳින...

චූදිත හිතට නිදහස දෙනු නිසා බැරී...
අණ දෙමි මතක මත යන ලෙස නොමැරි මැරී..
කලකට කලින් මා පෙම් කළ සුපෙම්බරී...
කළ පව් මටත් ඵල දෙයි මතු කවදා හරි...

හදවත පරණ මතකය දෙස හරවනවා...
සිතුවත් රුහිරු කඳ පපුවේ හිර වෙනවා...
කිරි කැටි සිනා ඇගෙ කොල පත පුරවනවා...
මගෙ ලේ හිනැහෙමින් තන කිරි උරවනවා...

මා වෙත ඔසවමින් උකුලෙහි හුන් දැරිය...
ඇසුවා මතකදැයි ඔබ මට කළ හරිය...
දැන දැන මා නිසා බර වුණු බව නෙරිය...
කීවෙමි " ඔබව මට හඳුනන්නට බැරිය"...
View Poem

සන්ධ්‍යා ද සිල්වා

2022 ජනවාරි කලාපය

(නො) පෙනෙන දෙනෙත්

(නො) පෙනෙන දෙනෙත් - සන්ධ්‍යා ද සිල්වා

මහ මග මැද දැල්වෙන මහ ගිනි මැළයක්
වටා රොක් වුනු නිරි-සතුන් පිරිසක්
නරඹති එය- ඔවුනට අසිරිමත් දසුනක්
වීඩියෝ කරති රසවිඳින්නට-එය මට අපුලක්

මුහුණු වැස්මට ඉහළින් පෙනෙන-සොයුරකුගේ දුක්බර දෑසක්
ආදරණීය බිරිඳකගේ සන්සුන්, විඩාබර, අසරණ දෙනෙතක්
අතර දිවගිය මා නෙත් නැවතුනා අබියස -වික්ෂිප්ත බැල්මක්
පසක් කරමින් එය-ඔවුනට කුරිරු දසුනක්

ළමාවිය පියමන් කරමින්-ලොවට එබිකම් කරන
පුතුගේ දෑසින් නුදුටිමි කෝපයක් හෝ ශෝකයක්
දැනුනේද ඒ මනසට හද සසළ කළ අවනඩුවක්
කෙසේ පුරවාවිද ඒ හිස් බව වැඩුණු පසු ඔහු - එය ගැටලුවක්

දයාබර මව්තුමිය රකීවි ඒ තැලුණු සිත- ඉඩ නොදේවි
පුරවන්නට හිස්බව වෛරයෙන් හා හීනමානයෙන්
හාමුදුරුවන් පහදාවි කේ්රාධයේ ආදීනව-නෑසියන් උගන්වාවි
ආදරය විශ්වාසය-ඔහු වැඩේවි සමබර මිනිසෙකු ලෙසින්

යකඩ කූරු අතරින් ආඩම්බරයෙන් හිස ඔසවා
හෙළන හිස් බැල්ම - සසළ කළා මා සිත මොහොතක්
එහි නෑ පසුතැවීමක්, ශෝකයක්,වෛරයක් හෝ බියක්
මානව දයාව නොභඳුනන - ඔවුනට එය සාමාන්‍ය දෙයක්

මළ පොත අකුර නුගත්-කඩතුරාව තුළින් අඳුරු ලොව දකින
මෑණිවරුනට හැකිවේද පහදන්න මිනිස් ජීවිතයක අරුමය
එකම පොතකට යොමුවු බොර පැහැ දෑස්- කිසිදා දකීවිද
එකම දෙවියන් මැවු ලොව තුළ-අනුන්ගේ දරුවන් නැති බව

ඉම්රාන් ඛාන් මැතිඳුනි, ඔබටයි මේ අභියෝගය
අවදි කරන්න ඒ දෑස්- දකින්නට ලෝකයේ සුන්දරත්වය
View Poem

සුනිල් පෙරේරා - ලින්කන්ෂයර් - එංගලන්තය

2022 ජනවාරි කලාපය

මුහුදට දුක දැනේවිද ?

 

සිහිපත් කරමි අද වැනි සනි දිනෙක එදා
පැරදුනු මගේ දුව රළ අතර පොර බදා
වෙරළට ආමි පෙළෙනා වියොවකින් සදා
මුහුදට හැකි වේද මගෙ දුක ගන්න බෙදා

දිව යයි ඇස් සිතිජය වෙත නොදැනී ම
වළාකුලින් අඳුරුයි එතැනත් බෝ ම
හිරු ගිලිලා ගියෙ කොතනද වාගේ ම
මගෙ දුව ගිලුනු තැන සොයමිද මම කෝ ම

මුහුද මොහොතකට නිසලව හඬ නොත ලා
සෙමින් බිඳුනු රළ වෙරළට පා කර ලා
පෙණ කැටි විසිරලා මාගේ පා දොව ලා
කීවේ සමාවෙන්නද දුන් දුක දැනි ලා

17/12/2021
View Poem

වෛද්‍ය ශානිකා ඇන්තනි - ලන්ඩනය

2022 ජනවාරි කලාපය

රන්මිණි වන් ඔහු ...මා ප්‍රියසබ, වෙනුවෙන් කළ ගීත කාව්‍ය

රන්මිණි සරු රන් පුන් කලසක්
තේජස උතුරන රුසිරු රුවක්
කරුණා වෑහෙන උතුම් හදක්
පණනල, මා, දිවිහිමි, ... වාසනාවක් //

ප්‍රසන්න තුෂර ප්‍රේම ගීතයක්
රස පොදි බැඳි රොන් ආකාරයක්
උණුහුමට වෙලුණු සුමට හාදුවක්
උතුරන ආදරේ... // උල්පතක් ...

රන්මිණි සරු රන් පුන් කලසක්...

දැනුමෙන් ලොව දන මන එකලූ
චෙදැසින් මනු හදවත් සැනසූ
මා සිත ගත ආලයෙන් නැහැවූ
උත්තම ප්‍රිය ඔබ මාසතු වූ //

රන්මිණි සරු රන් පුන් කලසක් ...


<a href="https://youtu.be/3er_glkGJ10" target="_blank" rel="noopener">ගීතය මෙතනින්</a>

ගායනය : චමිලා තුෂාරි
සංගීතය : දිනේෂා ඩයස්
View Poem

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ - කොල්චෙස්ටර් - එංගලන්තය

2022 ජනවාරි කලාපය

සැනසුම

තනිවූ මවක ලෙස නළලේ ඇඳි පරිදී
දරුවූ අයට දිවියම දියවිය මගදී
නැතිවූ නුවණ කඳුලින් ඉවසා ඉද්දී
මුහු වූ තනිකමක් දැනුණා හිත ළඟදී

ගෙදරක් සදිසි වහලක් තිබුණත් හිසට
සුසුමක් සමඟ කඳුළක් දැනුණේ හිතට
සතුටක් කියන බිඳුවක් නොතිබුණි අවට
කරුමක්කාර මිනිහෙක් මොකටද නමට

***

දැන් මගෙ ගෙපැල මාලිගයකි පිරි යසස
පින්වත් වීමි රැජිණක වන්නට පියස
දෙන්නගෙ වැඩෙන සෙනෙහස ඈතට අහස
පැන් වී එකතුවෙයි සාගරයක් විලස

සතුටක් සදාකාලිකවම රැඳෙන සඳ
කොලයක් ඇයි ද නීතිය හා තියා බැඳ
සවිමත් පැලක උණුසුම ආදරෙන් ලද
කවියක් වගෙයි ගැලපෙන්නට ගෙතූ පද
View Poem

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

2022 ජනවාරි කලාපය

වෙඩි කෑ මගේ කමිසය

සීතල සමණොලේ මහ මූකලන් මැද
සරමක් බැනියමක් නෑ, අමුඩයක් ඇඳ
බත් පත බෙදා මා අත ගරුසරින් පුද
වාඩියෙ උයපු ආතා දෙව් ලොවේ අද

වටාපොතක් වැනි රැවුලක් වවාගෙන
මුරුතැන් ඇලෙන් දිය නා කෙහෙ විදාගෙන.
ලහින් ගියත් රන් ලයිටේ සුවඳ එන
ආතා මිසක අදටත් නොදනිමිය නම

ඇත්තොට දෙහන්කරගෙන වැහි වහින්නේ
ගිනි ගොඩ පමණි පය පාමුල තැවෙන්නේ
රෑ මැදියමේ උලලේනිය හඬන්නේ
"කහට අබින්දක් දෙංඤං අහන්නේ

උන්දැම පෙරන් ගෑ පොල් කට්ට මනා
කහට ගලබොඩින් ආරොං කඩෙන් ගෙනා
හකුරු ඇස්ස දෑතින් දෙක තුනට කඩා
ඇනබාගනි, මැහි පාමුල නොකර කතා

දවසක් බොහොම නිහඬයි රෑ මැදියාමේ
උන්දෑ මගේ කණලඟ කනුකුනු ගෑවේ
"ඔන්නොහෙ ඉම්මු නාකද ඉන්නා තාලේ
යන්නම ඕනිමද ඔය ලොකු ඉස්කෝලේ"

වහිනදාට පැල්බැඳගෙන වහින්නේ
නියං කලට පැලි වළනුත් පැලෙන්නේ
බත් ඇති තැනයි කොස් මුට්ටිත් ඉදෙන්නේ
ඔයවගෙ බණ පදයි උන්දෑ දෙසන්නේ

දුරෙක්කන්ද ගම, බක් මහටයි යන්නේ
සුදු කොටු සරම සුදු සාලුව උරලන්නේ
ලිග් ගල් තුනට වැදලයි පිටවී යන්නේ
ඉහතෙල් ඇඹුල් ගාලයි ආපහු එන්නේ

මල්වල පිරිවෙනේ මා අකුරට යන කාලේ
පරණ කමිසයක් නුඹ ඉල්ලපු ලීලේ
ඒ කමිසය පිටින් නුඹ පුතු වෙඩි කෑවේ
ගිලීමලේ මැම්බර පඩි නැති කාලේ

"මහත්තයා දැකලා මං දුව ආවේ"
මගෙ කමිසේ ඇඳි මිනිහා මට කීවේ
මා පටවලා දළු ලොරියට හැන්දෑවේ
ඉන්පසු කිසිදාක නෑ ඔහු හමුවූවේ

හැට්ට කටුවෙ ඇමිනූ බාටා පතුරු
මිරිවැඩි සඟල පයලූ පිංවත් කුමරු
දෙකකුල් පුරා කූඩැල්ලෝ ලේ පුපුරු
මුහුනේ රැවුල් කොට තැන තැන තව ඉතුරු

කූද්දාගෙන ගොහින් දවසක් රෑ ජාමේ
"එංඤං" කීවට නෑ පැදුරට ආවේ
පැටවුන් රෑ බතට රොටි ඉරුවකි කෑවේ
කට පුංචාගෙ කට සැරටයි බඩ දෑවේ

"පැටවුන් තනිවෙලා මං එන් නෑ ආයේ "
තොල්පොට නෙමෙයි දෑසයි ඒ ටික කීවේ
වාඩියෙ ගිණිමැලේ නෑ, රෑ දළු ලෑවේ
ඒ රෑ මමයි, උලලේනිට දුක කීවේ
View Poem

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

2022 ජනවාරි කලාපය

යථාර්ථය

 

සඳ එළිය බොදව ගිය
රාත්‍රිය සුන්දරයි
ලෙසින් ලොව සිතන්නේ
හිරු එළිය නිවී ගිය
පසුව කුර ගගා එන
සන්ධ්‍යාව අබියසයි

යස ඉසුරු පුරෝගෙන
මාළිගා හදාගෙන
දූෂණය වවාගෙන
භීෂණය වඩාගෙන
අන් වස්තු දරාගෙන
ධන කුවේරයන් සේ
මිහිකතට උඩින් යන
බොහෝ අය සිතන්නේ
රජවරුන් යයි සිතා
දුප්පතුන් ලොව නසා
පරපුරෙන් පරපුරට
සැප විදිය යුතුම යැයි
සසර සරනා තුරා

අවාරයේ ගලා ආ
සත් මුහුදු කළඹලා
සුනාමියකට හසුව
සැනින් සැම අහිමි වී
මහ මඟට වැටුණු පසු
කෙසේ මුත් පරපුරම
තමනටද නැගිටින්න
අනුන්ගෙන් ගත් දෙයට
දෙඅත් ඔහුනටම පා
පුලන්නන් වී ලොවේ
සිටින්නට සිදුවෙතේ
ගමන නිමවෙන.තුරා

මැරෙන තුරු නොතේරෙන
ලෝදහම දැනදැනත්
මෙසේ කල් ගෙවන්නෝ
සඳ එළියෙ හිරු එළියේ
වෙනස නාදුනන තුරු
ධනය ළඟ බලය ළඟ
දෝලනය වෙනු පෙනේ
View Poem

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර

2022 ජනවාරි කලාපය

නව අවුරුදු පැතුම

ගුණ නුවණ වැඩි වන
යහ ගුණය සපිරුන
සෙනෙහෙ මල් පිබිදෙන
වේවා නව වසර හැම ලෙසින් ජයවෙන
බිළිදු සිත් සනහන
කිරි මවුන් විලසින
රෝ බියෙන් දුරුවන
සිනහ දේවා දසන් පෙන්වන
ඇති හැකි සැවොම සතුටින්
නැති බැරි අයට දෙන දිරියෙන්
එක කුස උපන් උන් විලසින්
නව වසරෙ මුළු ලොවම හිනැහෙන්
මනසින් උතුම් වෙන
ගුණ දම් වලින් සැරසුන
රුවැති නුවණැති දන
නිදුක් වේවා සතුට සමගින
View Poem

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

2022 ජනවාරි කලාපය

සිරි විකුම් වළප

<img src="https://londonkavi.com/wp-content/uploads/2021/12/siri.jpg" alt="" width="100%" />
View Poem

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ

2022 ජනවාරි කලාපය

අයිකනය

 

දැමුවෙමි මුහුණු පොතට
මම, මගේම පින්තූරයක් ,
වියපත්ව ගිය මෙකල.

සිටිනා ලෙස සැබැවින්ම
පින්තාරු නොකර
ඇස ,තොල හෝ වත

දැකගනු පිණිස අඩසියවසක්
ඉක්ම ගිය තැන මා
එසැටියෙන් ,
දත් නොදත්
මුහුණු පොතේ මා සකියන්ට.

නොවිණි එකදු හෝ
කොමෙන්ටුවක්
හද පාරවන
"ලස්සනයි"
"ලස්සනයි"
"තාමත් ඉස්කෝලේ යන
කාලේ වාගෙමයි "
දත් නොදත් සියල්ලන්
එලෙසින් කියයි.

ඉසියුම් ප්‍රහර්ෂයක්
පළමුව.......

එහෙත් සිතුණි මට එක්වරම

"මොනතරම් උදාසීන ද
ඒ පැසසුම් ගොන්න ?"

එහෙත් බාරගතිමි සටහන් කොට
හදවතක් ඒ සැම ඉදිරිපිට
සිඹින කලෙක මෙන් දැනුණි
මට එවිට
ඉටිමල් මිටක් සුගන්ධය රහිත

මදින් මද කුදුවෙන
අවපස සඳ දුටිමි
ගගනතින් එසඳ.....
View Poem

සපුමල් බන්ඩාර - ලන්ඩනය

2022 ජනවාරි කලාපය

හොවා දෙනු

හොවාදෙනු පරහට
තමා සම්මතයේ පිහිටාසිට
දැන් ඕවායෙන් වැඩක්නැත
කවුරැ මේවා ඉගනගනු ඇත

ඇදල ගත්ත දමල ගැහුව
මලක් පිපුන මල පරවුන
පහලින් පහලට ඇදී යනවිට
පිපීඑන මල් පරවෙලා ඇත

කියන්නා කෙසේ කීවද
අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුමද
සිතා නොසිතා බෙදාලන විට
පට්ටපල් වුවද බොරැ නොවනු ඇත

ගින්නක් නැතිව දුමක් නගීද
ඇවිලෙන ගින්නට පිදුරැ දාමුද
සියල්ල තොරතුරැයයි සිතාගෙන
පොතකින් මුහුනු වසාගෙන ඇත
View Poem

සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර

2022 ජනවාරි කලාපය

භාග්‍යය

සයිමන් වීය ඔහු නම,
සයිරින් ගමේ වාසය.
පැමිණියේ ජෙරුසලමට,
සිරි බලන්ටයි එ පුරවර.

ඇදෙනුයේ මහ සෙනග,
පෙරහරක් දෝ එනුවර?
කෙනෙකු ගෙනයති පෙරටුව,
කුරුසයකි ඔහු කර මත.

දුබල ගත ඇති මිනිසා,
ඇද වැටෙයි ක්ලාන්තව,
නැවත නැවතත් බිම,
දැරිය නොහැකිව මහ බර.

සෙබල කැළ රෝමානු,
පහර දෙති කසයෙන් නොමදව.
අනේ! කිසිවෙක් නොමැතිද?
මුදා ලන්නට කුරුසියේ බර.

බොහෝ කල් ඔහු හා සැරූ,
කොයිද? ඔහුගේ සගයෝ.
ජෝන්, සයිමන්, මැතිව්,
පීටර්, පිලිප්, තෝමස්?
ඇයි ඔවුන් නොඑන්නේ?
කුරුසියේ බර දැරුමට.

වට පිට බලති සෙබළුන්,
සොයා ගැනුමට කෙනෙක්,
කුරුසිය රැගෙන යන්නට.
කෙලෙස හෝ යා යුතු හෙයින්,
ගොල්ගොතා කදු මුදුනට.

දකිති උහු සයිමන්,
සයිරින් ගමෙන් පැමිණුනු.
‘වහා මෙහි එව. ගණු මේ
කුරුසිය තොප කර මතට’.

වට පිට බලයි මොහොතක්.
පැන යා හැකිය විගසින්,
මිදී සෙබළුන් ගෙන්,
එන්නට පෙර ඔවුන්.

නෙත ගැටෙයි ඔහුගේ,
ස්වාමි දරුවානන් නෙත් යුග.
ලෙයින් නැහැවී සිටිනා,
කස පහර ඉවසනු නොහැකිව.

කිසිදා නොදුටු මුත් ඔහු,
කෙසේ යන්නද? ඔහු අත හැර,
ගත්තා කුරුසිය කරට,
සයිරින් ගමේ සයිමන්.

කෝ දැන් අර ගෝලයෝ දොලොස?

එකෙක් පාවා දුනිය,
තවෙකෙක් නොදන්නා බව කීය.
සමහරෙක් පැන ගොස්ය.
කෙනෙක් එති සැගවී දන අතර.

ඔවුනට නොවී භාග්‍යය,
දරනට කුරුසියේ බර.
මොහොතක සුවය දෙන්නට,
සමිදු හට මරණයට කැපවූ.

සයිරින් ගමේ සයිමන්,
ලැබු ඒ උතුම් භාග්‍යය.
View Poem

වෛද්‍ය සමන්ත කේ. සෙනෙවිරත්න මහනුවර

2022 ජනවාරි කලාපය

අසනීපෙ

වෙනද ලෙඩකට ගෙදර හිටියට
සහලෝල උණ මෙදා හැදුණම
වාට්ටුවෙ නවතින්ට ආවේ
ගෙදර ඉන්ටම බැරිම බැරි තැන

ඔළුව කැක්කුම තවම අඩු නැත
බෙහෙත් ලැබුණට නියම විදිහට
වැතිරිලා මං ඇඳේ හිටියේ
ගෙදර කුස්සිය ගැනම හිත හිත

හේනෙ වැල් ටික මැළවෙලා ඇති
වැඩ කරන්නට ළමයි ලොකු මදි
වෙනද උන් මං එක්ක යන්නේ
ගෙදර තියලා යන්ට බැරුවට

නංගි මල්ලී දඟයො දෙන්නම
බලන් ඇති ලොකු ළමය තනියම
තාත්තා උන් දාලා මැරුණේ
උන්ගෙමත් නොව මගේ අපලෙට

සැනසිල්ලේ ඇති ගිහින් පරලොව
එන්ට ආසයි මුණ ගැහෙන්නට
දරු පැටව් ටික තනි කරන්නේ
කොහොම කියලා කියා දෙනවද
View Poem

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

2022 ජනවාරි කලාපය

රෝස මලක පැතුම

හේමන්ත ඍතුවේ සීතලට ගල් ගැසුණු
ලස්සනම රෝසමල වසන්තයේ මුණ ගැසුණු
හමා ගිය මාරුතය ඇය කෙරේ නෙත ගැටුණු
දුටු නිසා ඇගේ වත හදවතම හිරි වැටුණු

කිම ද නුබ ගල් ගැසී මේ ලෙසින් සිටින්නේ
මේ සීත කුණාටුව නොමැති දෝ දැනෙන්නේ
කවුරු හෝ එනතුරු ද පෙරමග ම බලන්නේ
කාට දෝ මම නුබේ පණිවිඩය යවන්නේ

සිනාසුණු රෝස මල මේ ලෙසින් පැවසුවා
මගෙන් මත් වුණු බඹරා ආදරෙන් හද රුවා
බලාගෙන සිටින්නේ මල් පෙතිත් පුබුදුවා
වසන්තය එනතුරුයි ආදරය පතුරුවා
View Poem

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

2022 ජනවාරි කලාපය

දුක,විපත දෙන පව

දුක, විපත දෙන පව

දවසින් දවස අපි වයසට යනවාය
කළ කම් පසුපසින් නොහැරම එනවාය
රූපය වෙනස්වී සවි ගිලිහෙනවාය
සිත ගත දවා පාපය ඵල දෙනවාය

පෙර කළ පාප ගැන දැනුමක් නැතුවාය
පිනකුත් තිබේදැයි නොම වැටහෙනවාය
පින් ඵල ගෙවී පව් ඵල මතුවෙනවාය
අසරණ වී එවිට කඳුළැලි බොනවාය

සැම විට අන් අයගෙ දොස් දැක මතුරාය
පව් බිජු සතර අත සතුටින් වපුරාය
පව් ඵල තමා වට කරගෙන උතුරාය
පාපය සැමට දුක ගෙන දෙන සතුරාය

දුක දොස සමඟ ජීවිතයම දෙදරාය
යස ගොස තෙදස බල සිඳ බිඳ පෙරලාය
සෙත සුව සතුට සැනසුම නිති දුරලාය
කළ පව සසර සුව නිවනද වළකාය

.
View Poem

තුසිතා සුරේකා මීගමුව

2022 ජනවාරි කලාපය

හිමිසදුනි දයාබර

රැය පුරා සැරිසරන ස්වප්නයකි රිදුම්දෙන
ඉන්ද්‍රජාලා මවන වස්සාන මායාව
හිත මුඩු කරන තනිකම
අමාවක රැයකි ඝන, කැස්බෑ නෙතකි හිත
නැතුව එක මලක්වත් නටු අග නග්නව
ගිලිහුන පත්‍ර සෙනෙහස් දෙවට වසාගෙන
වැලපුමකි රිදුම්දෙන ,
උලලේනියෙ නොහඩා ඉදින් මගෙ දුකට හැමදාම
ගලන්නැති කදුලු වල, දරාගනු නොහී බර
හිරවෙලා දෙලැම මැද
රන් හුයෙන් බැදි දෑත, යද්දි පියඹා ඈත
හිස් වුනා ලෝකයම
පියාඹන අශ්වයන්
අහස් මාලිගාවන්
රන් මසුද කසීසලු
මොටද මට නුඹ නැතුව
සත් සමුදුරෙන් පිට
මම මෙපිට නුඹ ඈත
කෙසේ ඉවසම්ද මම
හිත දවන මේ තනිය
හිමිසදුනි දයාබර,
View Poem

තුෂාරි ජයසිංහ මහනුවර

2022 ජනවාරි කලාපය

පයිතගරස්ටත් ප්‍රේමයක් තිබුනද?

සමකෝණි නොවු
ත්‍රිකෝණයක
පාද අසමාන විය
අප මෙන්ම
නෙක නෙක දිගින් යුත්.

සබඳ .....

අසමපාද මත ඇඳි
සම චතුරස්‍ර වීමු
අපි
ඇය හා මා .

අපේ මුළු වර්ග
ඵලයම
එකතු කොට ගත්
කල
නුඹට හිමි පාදයේ දිගට
සම විය අප
දෙදෙනම.

එහෙත් සිදුවූ දෙයක
අරුමය
කර්ණය වූ
නුඹ
ලම්භකව ඇදි ඉරෙන්
කොටු වී සිටියෙමු
අපි
අපේ ලෝකවල.

එතනදිත්
මා
වැඩි ඉඩක් දී
ඇයට
සිටියෙමි කොනක
කුඩා කෝණයක් තුරුළු
කරගෙන

නොදනිමි සබඳ
තිබුනාදැයි
පයිතගරස්ටත්
මේ වගේ ප්‍රේමයක්.
View Poem

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

2022 ජනවාරි කලාපය

වාසනා

 

රන් ගොයම් තුරු ලපලු ලිය වැල් පීදෙනා
පුන් සදෙන් රැස් ගෙන නෙලුම් විල් පායනා
නන් දෙසින් මීදුම් මවා දිය වෑහෙනා
පින් බිමක් වී මා සොයා ආ වාසනා

ගිම් නිවා කවි ගී පබලු මුතු පාදනා
අවිදු දූවිලි වැකුනු සිත් මල් දෝවනා
සිත් පිනා දෙසවන් වසඟ කල ගායනා
මුදු බසක් වී මා සොයා ආ වාසනා

මිලින දිරි මල් පුබුදුවා සිහ නාදෙනා
ඝන තිමිර පට ඉරා අරුනලු සාදනා
කම්කටොලු සඟවා දරා දුක් වේදනා
මාපියන් වී මා සොයා ආ වාසනා
View Poem

උදයංග අමරසේකර ප්‍රංශය

2022 ජනවාරි කලාපය

සරණාගතයන් වෙනුවෙනි

පීටර් බකොව්ස්කි (Peter Bakowski,1954) විසිනි

සියලු නිවාස නටබුන්ව ගොසිනි
කටකතා ආදියට නිමක් නැත
ඔබේ නෑදෑයෝ මෙවනවිටත්
මළකඳන්ව ඇත්තාහ

ඔබ මඟට ඇවැසි දේ
ගමන් මල්ලක ලන්නෙහි ය
ඔබ ඔබේ යාඥා
බූරුවෙකු පිට ගැටලන්නෙහි ය

සෑම ශබ්දයක් ගැන ම
සෑම සෙවනැල්ලක් ගැන ම
අවධානයෙන් සිටිය යුතු වේ

දැන් ඔබ සතු එක ම ධනය
වෙඩිපහර සහ ඔබ අතර ඇති
දුර පමණි

මේ හා බැඳි සේයාරුව අවම වස්තු ඡායාරූප කලාව

(Minimalism Photography) පිළිබඳ ප්‍රාමාණික

හොසේන් සාර් ( Hossein Zare) විසිනි.
View Poem

උද්‍යා මාධවී

2022 ජනවාරි කලාපය

නුඹට

මල් පිපුණු උයනක්ය නුඹේ ලොව
විහඟ ගී නොඅඩුවම කනවැකෙන
වසන්තය කිසිදා හැර නොයන
ඉතිං දනිමි
අවැසි නැති බව
තත් බිදුනු වීනා හඩ,මා වයන
ගොළු කලෙමි එය
නැවත හඬ නොනැගෙනා ලෙසට
සඟව තබන්නෙමි
ගිම්හානයේ අදුරුතම දින අතර
අවැසි වූව හොත්
නුඹ නමින් ගී ගයනු පිණිස
එනමුදු..
නුඹට එය කිසිදාක
අවැසි නොවේවා.....
View Poem

ඒ .පී.ඒ. විජයන්ති මාලා අකරවත්ත- මූණමල් දෙණිය

2022 ජනවාරි කලාපය

සෙබල මවකගේ සිතුවිලි

 

දස දහස් වර ඉපිද මැරෙනවා මම පුතුනි
රස රහස් රකිනවා නමුදු හිත බොහොතුටිනි
පස වන් දහස් කල් ඔබේ සිරි නම දිළිණි
ඉස පිරිත් පැන් මගේ පුතු රකිනු දෙව් රජුනි

පුතු උපන්දාමයි පියා ගියෙ හැර දමා
සතු දෙයක් නැත උසට දෑත් මිස ආ හමා
නතු වෙලා කාහටත් සොයා ගත් දේ තමා
මතු වුණා දරු දුකම කුස පිරෙව්වෙමි මෙමා

හය හතර තේරෙනා කාලෙදී පටන් පුතු
සතු වුණේ එඩිතරයි කියන ඒ වදන් තතු
මතු වෙලා නැති කමම ලෝකයක් තමන්පැතු
ගතු අදිටනක් මේ ලෙස රට රකින්නට මතු

වැඩ මුරය බැරැක්කෙලු එහෙම කීවේ කොව්ව
වෙඩිමුරය තියනවලු උඹත් තිව්වද එව්ව
අඬහැරය සතුරන්ගෙ කව්ද කීවේ ඔව්ව
ඉඩ හරය මගෙ හිතෙහි පුතා දන්නව මෙව්ව

ඉඳ මේ ගෙපැළ තුළ උඹ ගිය දා ඉඳල
බිඳ අඳුර බලා ඉමි එන දිනය කෝ කියල
සිඳ සියල් සෝ සුසුම් උපන්බිම නම තියල
අද හෙටම වරෙන් මගෙපුතේ මම ගැනහිතල
View Poem

වෑත්තෑවෙ හිමි

2022 ජනවාරි කලාපය

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

 

පෑ උදුල් සිතියම් ලෙසින් සිටිනේ සුරන් සහ සක් නුබේ
රූ නිමල් සුරලිය තොසින් බැස රඟ කෙරෙත් නර රජ සෙබේ
මිරි කල් තත් සුන් වෙණින් බෝසත් ඔවුන් කරවයි ලොබේ
මේ සියල් විසිතුරු උතුම් එක තැන දැකුම් කිකලෙක ලැබේ

ප්‍රකාශිත වූ දිළිසෙන සිතියම් ලෙසින් දෙවියන් සමඟ සක්
දෙවිඳු අහසෙහි විය. රූපයෙන් නිර්මල දිව්‍ය කාන්තාවෝ
සතුටින් බැස මිනිස් රාජ සබයෙහි නර්තනය කරති.
මිහිරි සිත් පිනවන තත් සුන් වීණාවෙන් බෝධි සත්ත්වයෝ
ඔවුන් තුල ආශාව වඩවති. මේ සියළු උතුම් විසිතුරු එක
ස්ථානයක දර්ශනයට ලැබීම කවර කාලයක ලැබේවිද ?
View Poem

වජිර ජයවර්ධන

2022 ජනවාරි කලාපය

කැමති නැද්ද

ඉර වුනත් කැමති ඇති
වෙනස් වී මතුවෙන්න
සඳ වුනත් කැමති ඇති
දවල්ටත් පායන්න
මල් වුනත් කැමති ඇති
පිපිලාම හිනැහෙන්න
ගස උනත් කැමති ඇති
මල් වගේ මතුවෙන්න

ආදරේ මතුවෙන්න
හදවතට ඉඩ දෙන්න
ලැබුන තැන නවතින්න
නැවතිලා යළි යන්න
එපා හිත ගල් කරන්
වාඩි වී ඇලවෙන්න
දෙපා සවිමත් නිසා
නිදහසේ ඇවිදින්න
View Poem