තුඩු ගගා
තුඩින් තුඩ ගෙන අවුත්
තුඩු ගගා පොහොනි කළ
පැටව් ඉගිළී ගිහින්
තටු ඇවිත් බොහෝ දුර
ආසාවකට වුනත්
නෑ එවුන් දකින්නට
ලඝුවෙලා මහලුකම
කඳුළකට සුසුමකට
මුහුණු පොත්වල උඹල
හැම විඩෙම ඉන්නවලු
යහළුවන් කියනවා
වට්ස්ඇපුත් කරනවලු
එහෙමවත් බලන්නට
ඒව අපි දන්නවයැ
මටත් වැඩියෙන් අම්ම
ඉන්නෙ මහ දුකින්මයැ
යුරෝපේ වගේ අපි
දියුණුවෙන්නැති නිසා
මේකෙ හිටියොත්
විඳින්නට වෙන්නෙ දුක නිසා
නුඹල වගෙ තව පැටව්
ගිහිල්ලලු සිය ගණන්
කමක් නෑ උඹලවත්
හිටපල්ල සැප අරන්
“රැවටිච්චි පොල්කිච්ච්
කැන්ද ගහෙ එල්ලිච්චි”
අපි තාම ඒ කැන්ද
ගහේමම හිරවෙිච්චි
අලයි ලූනුයි එකට
තියන්නෑ කියනවා
ගොරක මුට්ටියෙම
අපි තාම අත දානවා
