2023 ජනවාරි කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2023 ජනවාරි කලාපය

සකල ලොව් වැසි දනා නිති මුහුවෙනා ලන්ඩන් හිම බිමේ නැතේ වෙනසක් නොමැත තනියක් ජීවිතේ විඳිනා ඉමේ වසර මුල් දින පෙරහැරේ යන සේද මාවතෙ ආ පෙමේ ජාති ජම්මය අවැසි කාටද එයයි ජය මිනිසත් කමේ

– අනුර
ජනවාරි පළමුවැනිදා ලන්ඩන් නුවර වීථි සංචාරය කරණ පෙරහැරට ලෝකයේ සෑම රටකින්ම පාහේ පැමිණ එහි වෙසෙන්නන් නියෝජනය වෙයි. මේ ආමීනියාව හෝ ඇසබයිජාන් දේශයේ විචිත්‍ර දසුනයි. 

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

ලන්ඩන් කවි මුද්‍රිත සංග්‍රහය දොරට වැඩුම


මුද්‍රිත ලන්ඩන් කවි සරණියේ පිටපත් අවශ්‍ය අයෙක් ඇතොත් ඊමේල් මඟින් ඇණවුම් කරන්න.

කෙළවර

කෙළවර

ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

හිරු මඬල පැහැසර ඉන්ද්‍රචාපය කෙළවර දුන් එළිය, අවසන කදෝ කිමියකු පසුපස සැර පරුෂ කුණාටුව සංසිඳෙයි යම් දවසක හුදෙකලා මවක මුව මියෙඬුරු සුසුමක් ව ඒක මාලා මාලිනී වී පිපී ගිය මලු'යන නතරවෙයි දවසක පරව යන මල් වඩමක වනත් ගං හෝ පැන සයුරු වෙරළත ඉම පැන දිනක් එයි ලැගුම් ගන්නා ළතෙත් ඇසක කඳුලක 2022-12-24
කවිය බලන්න
විසල් හදක කවි - පාලම උඩ

විසල් හදක කවි - පාලම උඩ

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම පේරාදෙණිය

පේරාදෙණියට වශී වී එහිම වයසට ගිය මට තිබුනේ තේමා තුනක් පමණි කවි ලියන්න- හන්තාන සරසවිය මහවැලිය හත් දොහක් පුරා ඇදහළෙන අනෝරා වැස්සට මහවැලිය ගලයි දෙගොඩ තළා මොර සූරන වැස්සේ අපි හිටියා පාලම උඩ ගඟ බලන්න "අද නං ගඟ හරිම ලස්සණයි" "පනිමු ද?" ඔබ ඇසුවා "පිස්සු ද" මා ඇසුවා එදා වගේ ම අදත් ගඟ ගලයි දෙගොඩ තළා මම තනිව ම පාලම උඩ සිතමින් පනින්න ද? අදත් ඔබ සිටිය නං මගෙන් අසාවි පිස්සු ද?
කවිය බලන්න
නෝනක්කා

නෝනක්කා

ජේ.එම් අමා කුමාරි ජයවීර

බඩවැටියෙන් වරෙන් ඉර මල හැරුණාම මිරිවැටි සගලටත් රිදවන් නැතුවාම පිල්කඩ උඩින් පන් පැදුරක් එලුවාම දැනෙනා කිතිය වාගෙයි උඹ බැලුවාම කුරහන් තලප මෑ හොද්දක් පිහාගෙන බැලුවෙමි එයිද දඩමස් වත් උහාගෙන හිලෑ නැතුව බැදි පටවැල් කඩාගෙන කුලු මීමෙකු වගේ එයි හති හලාගෙන මළ පාලුවට කණවැන්දුම් හිතක් යට ගැටපද නොලියාම බින්නෙට ආපු කොට තුත්තිරි ඇහිදිනා පත්තිණි කතා වට නොසැලෙමි පෙනෙල කැඳ බොනවද උදේ හෙට අටුවා ,ටිකා හොයමින් මුළු ගමේ වට නොගියට කන වැකුණි එක දෙක කතා මට දුටුවා අදත් කන හැටි අන්නාසි ගැට රිංගල තියෙනවද සුමනගෙ ගෙදර වැට
කවිය බලන්න
සඳසාවි

සඳසාවි

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

පිං පුරා හද අරණෙ ලැගුම්ගත් සඳ සාවි මින් මතුව ඔබෙ ලොවට සෝ තැවුල් නොම ඒවි සොඳුරු හද විල් තලේ පිපි පියුම ලෙස පේවි අද මෙන්ම මතුවටත් හිඳින් මසිතට යාවි....
කවිය බලන්න
නව වසරත් 'ඩිවෙලොපිං ' ද?

නව වසරත් 'ඩිවෙලොපිං ' ද?

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

යලිත් කතිරය ගසා උරගාන ඡන්දයක් වරක් දෙවරක් ඒවි විශ්වාස භංගයක් වලක් හාරා උඩින් මල් වඩම් ඇටවුමක් තවත් පෙන්වයි රටට වතුර නැති මිරිඟුවක් හතර වට බලන කල සැනකෙළිම භූමියක් එතෙර සිට බලන විට මෙය තෙවන ලෝකයක් නතර නොකරම ඇසෙන 'ඩිවෙලොපිං කන්ට්‍රියක්' එයත් තව නොවිසඳෙන පොලීසියෙ 'ඇන්ට්‍රියක්'
කවිය බලන්න
දෙවඟන  ස්වර්ණමාලී

දෙවඟන ස්වර්ණමාලී

අනුජමාලී විමලවීර කොළඹ

මනු සතුන්ගේ අඳෝනාව ඉවසා ගත නොහැකි දරා විමනින් බැස ගොස් බැලුමට එක්වර සිත් දුනි මෙමටා මගේ රෝගය නැති කරන්න දරුවෙක් මට ලබා දෙන්න දරුවා සමත් කරවා දෙන්න මුදල් හදල් ලබා දෙන්න හතර අතේ වැඳ වැටෙමින් පෙරළි පෙරළි මලුව පුරා වෙන්නේ මේ කිමද කියා බැලුමට සිත් දුනි මෙමටා හට්ටි ගණන් මුට්ටි ගණන් කිරිබත් ඇත මලුව පුරා හිරු බැස යන්නටත් ලඟයි පිලුනූ ගඳත් දැනෙ මෙමටා නෙළුම් ඇතේ මලුව පුරා සුවඳ දිදී සෑම අතේ යලිත් පිපුණි මල් කඩවල එම නෙළුම්ම නිර්මල බව විදහා අටපිරිකර දස පිරිකර කප්රුක් පුජා එමටා යලිත් ඒවා ඇත කඩයෙහි කිසිවක් නොවුනේ ලෙසටා කොපමණ පහදා දුන්නත් නිරිඳු ගැමුණු එකල කියා මගේ විමන නැති කර ගන්නට සිත් නොදුන්නේ ඇයි මෙමටා නම් කරනෙමි නුඹේ නමින් මනු ලොව ඇති මහා සෑය බැස පලයන් අනේ දැන්වත් රූබර දෙව් ස්වර්ණමාලී නිරිඳු වැඩියා තුසිතය වෙත මෙත් බෝසත් සමඟින් නිවන් යන්ට මා ඇත චාතුර්මහාරාජිකයේ බොහොම දුරයි තුසිතය වෙත විමනට ආසක්ත නොවී සිටියා නම් එකල මමත් සිටුමට තිබිණෙමිනි මමත් තුසිතයෙ නිරිඳුන් සමඟින් 2022.12.08
කවිය බලන්න
ලක්බිමට අවුරුදු පැතුමක්

ලක්බිමට අවුරුදු පැතුමක්

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

පින්බිමයි , මේ බිමයි අපට අගනා වන්දනා කරන අයට ජයම ලැබෙනා සිත් තනා , මෙත් වඩා පැතුම් පතනා සාදු දී වදිනෙමි මේ මව්බිම බැතිනා දවස ගානෙම හත් අට වටයක් යනෙනා සිරි දළදාවේ සුදු බුදු රැස් බලෙනා සමන් ගිරෙන් තවත් අළුත් ඉරක් වඩනා හැටි බලන්න අපි රොක්වෙමු තුටිනා නමුණුකුල ගිරි හිස අහස් කුසම සිබිනා සුදු සේල වලා වැනි දියඇලි මවනා ඒ දියවර රටක්ම සරු කරනා කෙත් වතු , නෙක තුරු පල බරිනා රන් වැලි සෑ මළු පිස එන පවනා රන්වන් බෝපත් සෙලවෙන සරිනා ගුණ දම් දළු ලා දුකදුර දුරුකරනා නව වසරේ පතනෙමු ජය බැතිනා
කවිය බලන්න
මගෙන් රතු මල් ගන්න

මගෙන් රතු මල් ගන්න

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

මා දිනෙක එමි තිරව ඔබ හමුව සමු ගන්න ඒ දිනය මට නොහැක සැක හැරව පවසන්න සිතමි දිගු කලක සිට මල් මිටක් ගෙන එන්න සුවඳ රතු මල් පිරුණ මල් මිටක් විය යුතුය දිගු කලක සිට සිතමි මේ මහරු ශුභ ගමන දිරි දෙමින් එමි තිරව ඔබ හමුව සමු ගන්න මා දුරක සිට ඔබව දැක තිබෙන රුව සමග තිත් සහිත රතු ඇඳුම හැඳ එදින ඔබ ඉන්න එක් දිනක් මතක ඇත ඔබ කඳුළු සළමින්ම දුර ඈත බලා ගෙන කල්පනා සයුරු තෙර සුදුම සුදු මල් එතුව මාලයක් පැළඳ ගෙල මට ඇසෙන ලෙස මුදුව ගීතයක් හැඬවු'යුරු එදින ඔබ කඳුළු පිරි දෙනෙත් සඟවා සඳට තුරු වදුළු සෙවනැල්ලෙ පා නගනු මා දුටිමි රතු මළුත් පොකුරු බිම ඇඹරිලා ගොස් තිබුනි මා දෙනෙත් විහිදලා ඔබේ මග දෙස බැලිමි ඔබගෙ දුක පෙළෙන සිත විරිය ගෙන යන ගමන දෙස මම ද නෙත් යොමන බව ඔබට හැඟෙනු ඇත ඔබද එක්වී සිටින මාරුතය අඬ හැරය මම දුටිමි බොහෝ විට රතු පැහැති සුළං මැද හොරණෑව පිඹින ඔබෙ හිතවතුන් පිළි ගන්න සැත සමග ඔබෙ ගෙලට දෙන පහර ඉවසන්න සහසක්ම නගන නෙක වේදනා මුසු ශබ්ද සැත මැදුරු දෙස හැරී හොරණෑව පිඹිනු ඇත මා දිනෙක එමි තිරව ඔබ හමුව සමු ගන්න දිගු කලක සිට සිතන මේ මහරු ශුභ ගමන මහෝඝය ගලන දින මම සෙමෙන් ඇවිද එමි රතු ඇඳුම ඇඳ ඉන්න මගෙන් රතු මල් ගන්න
කවිය බලන්න
කැරකෙණ රෝදේ

කැරකෙණ රෝදේ

අමර ගුණසේකර Marne la Valée ප්‍රංශය

බහිණා කඩාගෙණ පපු කුහරය තුළට වදිණා පහර කුලුගෙඩි පහරක් විලස දැණෙනා තවම දැරු දුක් කන්දක මහත විඳිණා වේදණාවන් යයි දෝ කිකලක පහව විලුම් ගෙවී මෙලහට ලාඩම් නැත්නම් ලාඩම්වලත් හිල් පෑදී දැන් බෝ කල් කළගුණ පිටව යන්නේ ඉස්සරහ දොරින් ලද සම්මාන ඇත බැඳෙමින් මකුලු දැළින් දෑතට දිරිය දෙන්නට මං දැරු සවිය දැණුමෙන් ඔලුව පුරවන්නට යොමු කළ තරම දන්නේ මමයි මගෙ හදවත විතරක්ය මගෙ හෙවණැල්ල විතරක් දැන් මට ඇතිය උඩු වියණක් වුණේ එදවස මං නුඹට පා වාඩයක් ලෙස ඉන්නෙමි මතු දවස කරත්තයේ රෝදය කැරකෙණවාය සවිබල අහිමි ලෙස අද මං රෝදය යටය  
කවිය බලන්න
සුපුන් දුරුතු සඳ නැගී -පවසයි පෙර විසිතුරු......

සුපුන් දුරුතු සඳ නැගී -පවසයි පෙර විසිතුරු......

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

සම්බුදු සමිඳු ගෞතම අපේ මුනිඳු බුදුවී ලොව්තුරා අටමසකින් පසිඳු උරුවෙල් දනව්වේ දුරලා අවිදු අඳු දමනය කළේ ජටිලයො දුරුකර අඳු සිදුහත් කුමරු ගිහිගෙය හැර යනමගට හමුවුණු නිරිඳු එදවස සිටි මගධරට බුදුවී පසුව වඩිනා ලෙස සියරටට බිම්බිසාර රජු කීවේ බෝසතුට ලැබුපසු බෝසතුන් පදවිය සම්බුදු වැඩියා මගධරට සිහිකර යලිඳු දෙව්රම් වෙහෙර කරවා මහ නරනිඳු දුරුතු පොහෝදා පිදුවා සසුනට බුදු හෙලදිව එදා මහ උයනේ මහනාග ඇවිලුණු අරගලය මහ යක් හා නාග දිවසින් බලා බුදුරජ සලසන්නට යහමග විගසින් වැඩියෙ ලක්දිව ගුවන් නැග අමෝරා සිටිද්දි යක්දන නෙක නෙක අවි දමනය කරන්නට යෙදුවේ බුදු සමිඳු සවි මහාමේඝ අකුණුද මහවැසි පෙලට මැවී බියවුණු යකුන් දිව්වා ගිරිදිවට නැවී මහියංගනේ යක්සේනා දමනයට වැඩිදා බුදුහිමි මේ හෙලදිවට සමන් සුරිඳු වැඳ බුදු සමිඳුන්ට ලැබුවේ කේශධාතුන් වැඳ පුදන්නට
කවිය බලන්න
කේතුමතී නුවරට නව වසර උදාවෙයි.

කේතුමතී නුවරට නව වසර උදාවෙයි.

ආරියරත්න ජයසිංහ මහරගම

ගෙවී යයි අවුරුද්දක් උදාවෙයි නව වසරක් රතිඤඤා හඬ ගිගුම් දෙයි ලොව පුරා එකම ගිනි කෙළියකි මුළු ලොවම සුබ පතනු ඇසෙයි දස දෙස උදාවූ නව වසරට පිරී යයි ෆේස් බුක් වට්ස්ඇප් තිස් එක රෑ සමුදෙමු පරණ වසරට. පුරා තරු පහේ අවන්හල් හිස්ව යන මධු බඳුන් පිරී යයි යළි යළිත් . රඟදෙති තරුණ කැල බමන මතින් රැය පහන් වන තුරා. අපි ගයමූ අපි වයමූ අපි රඟමූ උනුනුන් බදාගෙන රැය පහන් වන තුරා තිස් එක රෑ. ඒත් හෙට අළුයමත් පරණ ඉර හඳ පුරුදු විලසම උදාවී බැස යාවි නිසැකින්. යදියන් යදිනු ඇත මාවතේ හෙට අළුයමත් සාදුකින් පීඩිතව දුගියන් හිඳිනු ඇත හාමතේ හෙට අළුයමත් යුද බිමේ අවි ගැටේ ලොව පුරා විරාමයකින් තොරව. අහිමි වී නෑසියන් ගේදොරද ගාල්වී කඳවුරු තුල හිඳිනු ඇත අසරණුන් හෙට අළුයමත්. වර්ණ භේද වර්ග භේද සමය භේදයෙන්  භින්නව හිඳිනු ඇත මිනිස් කැල හෙට අළුයමත්. ඉසි කෝ මාන මදයෙන් දන ලොබින් බල ලොබින් නැගිටගමු අපි හෙට අළුයමත්. පරණ ඉර හඳ පුරුදු විලසම උදාවනු ඇත පෙර’ඹරේ හෙට මේ කේතුමති නුවරට.
කවිය බලන්න
ඇයි අපට කරුවල..

ඇයි අපට කරුවල..

අනුරාධ හිරිපිටියගේ

දුරුතු මීදුම මැදින් මිදුණු උණු කඳුළැල්ල තුරුළු කරගෙන ඇයත් හොයනවා හසරැල්ල අඳුරු ළිග්ගල් තුනය - හිත පුරා ගිනි දැල්ල අපට අද දිනෙත් නෑ පායන්නෙ අරුණැල්ල වතුර කළයේ අඩිය හූරලා අරගෙන අකුරු කරනට යන්න පුංචි දූ ලතැවින ඉරුණු ගවුමට උඩින් පිළුණු පොත් වැළපිණ තුරුණු විය අබියස ම ඇගෙ දෙපා ගොළු විණ හේනෙ බටු මෑකරල් ණය පොතේ දිය වෙලා තාම මට රවනවා මුදලාලි ඔරවලා පාර අඳුරුව තිබේ ජීවිතය නැවතිලා හීන දිය කරන් යයි දොළ පාර ගල ගලා
කවිය බලන්න
දින දින කෙටි

දින දින කෙටි

අනුර හෑගොඩ

එක උඩින් එක පිටු දමා මාස පෙරළ පෙරළා හෝ ඉරා දමා වීසි කොට අමතක කරලන්නට හැකිවේද කැලැන්ඩරයේ සමහර දවස් ------------------------------------------------- කවදාහරි ඔයා තරහවෙලා මාව අත ඇරලා යන දවසෙ අපි දෙන්නා දිනපොත් මාරු කර ගනිමු ද -------------------------------------------------- මා අතැර ඔබ ගිය දින තබා මුහුණතට ඔබ මට දුන් කැලැන්ඩරය සියදිවි නසාගෙනය බිත්තියෙහි එල්ලී --------------------------------------------------- ගිය අවුරුද්දෙ දින පොතින් කඩා ඉරලා වීසි කළ දවස් මෙන්න ආපහු ඇවිත් අලුත් දින පොතේ අලුතින් ලියන්නද හිස්ව තියන්නද
කවිය බලන්න
හඹා ඒම

හඹා ඒම

බන්දුල නානායක්කාරවසම්

සෙනඟ දෙබෑ කරමින් කළබලයෙන් ඉස්පාසු නොමැතිව වීථි ඔස්සේ යනෙන විට වුව , දෙව් මැදුරු පියස යට දණින් වැටී , හිස නමා යදින විට වුව , සුහදයන් රොද බැඳන් එකට තුරුළුව , මුසුවී සිටින විට වුවද , මරණයේ ..... අකාරුණික මුහුණුවර මැවෙයි මා දෙනෙත ළඟ එහැම විට මට හැඟෙයි ; වේගයෙන් පියාඹන කාලයේ විහඟ තටු මත රැඳී මරණයේ වියරු කළු හෙවනැල්ල මා සොයා පියාසර කරන බව . ළදරුවෙකු සමඟ සිටිනා විටදි මම , මටම කියනෙමිය , ජීවිතේ අවසාන හෝරාව තදින් මිට මොළවගෙන මම හිඳිමි ; හෙට දවස උදාවෙයි , මට පොළොව මත වැතිර නිදන්නට ළදරු හට ? සුවඳ කුසුමක් විලස පිපෙන්නට ! කහ පැහැති පාවාඩ බිම එලුව මහ විසල් ඇසල ගස පාවුලදි මට සිතෙයි , මා මෙළොව හැර පියා ගිය දිනද මේ මහා ඇසල ගස පෙර පුරුදු විලස මල් වදනු ඇත . කෙසේ වුව සුහදයිනි ! කෙදින හෝ මා නිදන සුදු සොහොන් කොත අසල ' වසන්තය ' මගෙ තනිය මකනු ඇත මලිත්තන් , සකුණ කැළ නොනැවතී මට ගීත ගයනු ඇත. සොබා දම් මෑණියන් සෙනෙහසේ දිය දහර වගුරමින් මා අසල සදාකල් රැඳෙනු ඇත . Alexander Sergeyevich Pushkin 1799 - 1837 Adapted By BANDULA NANAYAKKARAWASAM බන්ධුල නානායක්කාරවසම්
කවිය බලන්න
කෑම කවන මන්තර

කෑම කවන මන්තර

වෛද්‍ය බෝධිනී සමරතුංග ස්වීඩනය

“නිතර ෆිට් එක, කන්නේ නෑනේ ෆෝන් දීලයි කවා ගන්නේ දුන්නෙ නැත්නම් මට තලන්නේ කිසි හොඳක් නම් නෑනේ නෝනේ" “මාළු මස්, දෙන්නයි කියන්නේ බිත්තරත් හරි ගණන් නෝනේ පළා නම් වත්තෙන් කඩන්නේ‍ ඒත් මුන් නෑ කට තියන්නේ” “අහස උස මිල ගනන් ඇත්තට ඩොක්ටර් නෝනට දැනෙනවද තව පෝසනේ කිය කියා ලිව්වට අපියි දන්නේ අපේ ගින්දර” මව්වරුන් මැසිවිලි කියන්නේ ජීවිතේ බර මට දැනෙන්නේ හිතේ ගින්දර නෑ පෙනෙන්නේ අපිත් ඒ ගින්නෙන් දැවෙන්නේ කහ සුදු නූලෙන් අත සැරසෙන්නේ සුර තඩි ගෙල ඉන වට දවටන්නේ රෝ දුක් කියමින් දෙවි නමදින්නේ කාසි පඬුරු වී දෙවොල සිඹින්නේ කන්න බොන්න අග හිඟයි කියන්නේ දකින දකින දරු බිස්කට් කන්නේ මාළු බනිස් කැන්ටිමෙන් ගෙනෙන්නෙ ඉතින් කොහෙද බත් එළවලු කන්නේ “පැංචො පැංචියො මේ අහන්නේ වැඩෙන්නට ගුණ කෑම ඕනේ බල කෙරිලි මේ මගේ නෑනේ කන්න බැරිනම් බේත් දෙන්නේ " "ඇඳ අස කබඩ් මත පැණි බීම හවසට චූන් පාන් පිටි කෑම රෑට කොත්තුව ඕනෙමයි කීම මේවා මා එක්ක බෑ ඔන්න" "ෆෝන් පෙන්නා බත් දෙන්න අපිට වේලා නෑ ඔන්න කන්නෙ නැති අය එන්න බෙහෙත් ඇත බත් ගිල්ලන්න” පුංචි ළමෝ ඇස් විසල් කරන්නේ “කනවා අපි බත්” ඉතින් කියන්නේ මව් හිත් සැනසුම් සුසුම් හෙලන්නෙ කෑම පිඟන් සැනකින් හිස් වෙන්නේ
කවිය බලන්න
මැද පන්තියේ අභිණික්මන

මැද පන්තියේ අභිණික්මන

චමික ගමගේ

සොමි සඳ පිරෙන ඇසලයෙ මැදියමේ කොනේ ගෙව්වා විලස දිවියක ලෙන්ගතුව සෙනේ බිම්බා කිවු විලස අවසන අදද දිනේ සිප හැර යන්න බැහැ හදවත හඬනු දැනේ පිසදා යන්න හැකිනම් ඔය කඳුලු නෙතින් දන්නව යලිත් ගැටෙනව මා මගෙම හිතින් සොයමින් කිරි සුවඳ දැවටී මවුගෙ අතින් රාහුල හඬයි දැක බිත්තියෙ පැලුම් තුලින් අහවිද පුත් මගේ දැක නැති පියා තව අසරණ වී යාවි බිම්බා ඔබයි මව සිතමින් නැවතුනිමි ටික කාලෙකට තව පස්සට තබා සසරක සැනසුමක සුව හැරගිය විලස එදවස බන පොතක් ලෙසේ ගියදා කෙලෙස ඔබ දරුවන් රකිනු කෙසේ රසදිව තවන රජබෝජන නැතත් එසේ කුසගිනි නොනැගෙන්න ඉඩ දිය හැකිද මෙසේ අස්වාමික රුවට පන දෙන විලස ගරු මුරකාවල් යෙදූ රජගෙට නො එති හොරු තනිවම පුත් රකින ඔබ රූ දැක අයුරු එන්නට බලයි දැල් කවුළුව මැදින් තරු රජකම් කිරුලු හිමි නැති හිස් වැසෙනු තියා හිල් වහලයක්වත් තිබ්බා රැකෙනු අයා ඇත් අස් රිය නැතත් මතු දිවි ගෙවනු නියා අටවත් සමත් වෙනකන් මා සිටිමි නොයා සූසැට භරණ දැසිදස් මාලිගා තුනේ රූසිරි නැතත් මා පවුලක් රකිනු දැනේ මාසික වැටුප කෙලවර තපසකට වනේ අභිනික්මුනොත් මා නිරයට යයිද අනේ කැන්දා උදය බැසගිය ඇසලයේ රැයින් ඉම්බා මා පුතුන් නලලත රුසිරු වතින් බන්දාගෙන ඇයත් යලි දොරකඩට ඉතින් ඉන්දා නික්මුණිමි කන්තෝරුවට පයින්...
කවිය බලන්න
පියාණනී......

පියාණනී......

ලේඛක, පරිවර්තක චන්දන ගුණසේකර ලන්ඩනය

නිමක් නොපෙනෙන සසර කතරේ ඇවිද යද්දී ලොවින් තනිවී කුළුණු ගුණයෙන් පිරුණු ඔබෙ නෙතු සොයා සිත වෙහෙසෙයි...... පියාණනි දකින තුරු වැළපෙයි..... පාළු නිසසල රාත්‍රි යාමේ තනිවෙලා සීතලෙන් මිරිකී සිටින විට මනසින් දැනුණු ඔබෙ සුසුම් පොද සුවයයි...... පියාණනි සුයාමය කැඳවයි.... කිසිදු හව් හරණක් නොමැතිදා ගරා වැටෙනා දිවි තලාවේ දැනුණු සරතැස නිවා ගත්තේ මතක පැන් පොදිනුයි..... පියාණනි මතකයද මිහිරියි......... ගායනය: ලක්මිණි උඩවත්ත තනුව සහ සංගීතය: රෝහන ධර්මකීර්ති
කවිය බලන්න
බින්න කසාදයකට ඉඩ ඇත ගෙදර

බින්න කසාදයකට ඉඩ ඇත ගෙදර

සිසිල් මාන්නප්පෙරුම Brampton, කැනඩාව

පාසැල් සමය නිමවී ටික කලක් ගියා ඉන් අනතුරුව මා රැකියාවකට ගියා සමහර යෙහෙළියන් හදිසියෙ දීග ගියා කවුරුත් කියයි මා දැන් යුවතියකි කියා අම්මා අප්පච්චි මාවත් මැදින් තියා හුරතල් කරනවා තවමත් දුවේ කියා විද්දේ නොමැත තවමත් මට අනංගයා නොදනිමි කොහේ ඇතිදැයි මගෙ කුමාරයා අම්මා අප්පච්චි දෙදෙනා තනිකරලා දීගෙක යන්න සිදුවෙයි දවසක අඬලා කොහේ ගියත් මම තනියම වෙරදමලා ආපසු ගෙදර එනවා අම්මා සොයලා මට මගෙ කාමරය දෙව් විමනකි ගෙදර අම්මා කවනවා මට තවමත් නිතර යන්නට සිතක් නැත මට කොහොමත් එතෙර බින්න කසාදයකට ඉඩ ඇත ගෙදර
කවිය බලන්න
පොඩ්ඩි ගෙදර වරෙන්..

පොඩ්ඩි ගෙදර වරෙන්..

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

පියන් දෙකෙන් වස වසා දූවිලි පාරේ කදුළු දියෙන් තෙම තෙමා ඉර මද්දහනේ පාට හැඩය අදුර එලිය අප දැකගත්තේ උඹෙන් නිසයි ඇහැක්වගේ උඹ රැකගත්තේ හිරිකඩවත් නොදැනෙන්නට හිඟ වරුසාවේ පුපුරක්වත් නොපෙනෙන්න ට කුසගිනි මැලයේ දා බිඳු උණුකර නාවා අප්පච්චී ගේ කිරෙන් තැනූ මව් ලැමැදෙයි උඹ හැංගූවේ කොතෙක් සුරංගනා කතා ඇතත් ලෝකයේ කුමාරයෙක් ඇවිත් අසෙක්‌ පිටින් දුරු රටේ කුමාරියක් අරං ගියපු කතා නොකීවේ උඹත් කුමරියක් නිසයි ඉලුක් මන්දිරේ ලොකු ළමයෙක් උන දවසේ මුල්ලකට වැටී මමත් දුවේ පිලේ උන්නෙ හුඟක් පාලුවේ විටක් හප හපා රෑ තිස්සෙම හිතවූවේ "කාට ද උඹ ලොකු - තාමත් හිච්චි එකී නේ " කුකුළා ඇහැරෙන්න පමා වෙච්ච දිනක දී වෙනදා මෙන් මිදුල ඇමදලා නෑ තිබුනේ උඹේ අම්මා කොටහළු වී උඹ හිටි මුල්ලේ උඹේ චීත්තෙන් වැහිලා ඇය ඉකිබින්දේ කරාබු දෙක ලිග්ගල උඩ හාන්සි කරලා අවුරුද්දට මහපු ගවුම ඇද උඩ නමලා පබළු ඔලිද මාලය බුදුපහනට පුදලා අම්මාගේ කොන්ඩ කටුව අතුරුදන් වෙලා මොකුත් කතා නැතුව දෙවට දිගේ අපි ගියා අජානේය කුර සලකුණු නියරෙත් හෙව්වා කුමාරයෙක් ගේ මිරිවැඩි ලකුණක් බැලුවා හොයාගන්න බැරිතැන දෙන්නම ඉකිගැහුවා චතුර එම්. විමලරත්න (තාත්තා)
කවිය බලන්න
Beauty of the Chic and Chicken

Beauty of the Chic and Chicken

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

Isn "t the beauty In the dress ? What it shows and what it hides leaving the rest to imagination isn't it the beauty ? Don't you agree ? But real beauty is underneath the dress I know you will agree ivory coloured skin and the contours covered by it Is the beauty Yet the shapes need to be magnetic eye catching and provacative to fit the claim it is beauty Greeks were the first to see such and sculptured to last till the eternity Where is the beauty underneath the skin It is all flesh soaked in blood Like chicken brought from the market which you like skinless But this chic you need with the skin only You embrace it , hold it tight to the chest You smell it you kiss it You lick it you suck it You play with it cat and mouse Until you are exhausted, powerless Not knowing that the mouse will start playing later Chicken from the market You don' t kiss Unless you are dead drunk Ofcourse you smell it when roasted You lick it too when reduced to the bone You don't play with it You simply devour it with the same gusto you consume your chic. What happens to the beauty without the ivory skin ? Is beauty an imagination in the mind Or Is the beauty dressed up unpalatable, can not do without reality ? But the roasted chicken ( mind you that is dressed up too) Is definitely palatable and it does not play mouse to a tamed cat in a trap once crept into its imagination We get caught to both because of our greed One goes to the stomach direct and gets in to the blood stream The other remains out side and cleverly does the same Both can put our blood pressure up Caution ! my friends This could be fatal. My friends I have laiid down the facts in front of you, clearly Can you resist the temptation for the chic or the chicken ? Don't tell me I know the answer is negative. 16-10-2022 Chic and chicken are essential parts in our lives today. Chic found the way to get into our blood stream at the begining of the world. Chicken entered the arena at an unknown later time. If you do not consume carefully in meassured medicinal quantities both can make you sick. Finally you will be sick of your own life .
කවිය බලන්න
තරුවක මරණය

තරුවක මරණය

චමෝද් තිමිර

රිවි කිරණ මත නැගී විහිදන සිරිය රන් පැහැයෙනා ගොම්මනට දළු මුර පිදීමට සඳ කුමරි තෙම සැරසෙනා එකී කුමරිගෙ තනි මකනු වස් රෑ නොබෝගැබ සරසනා තිබිය නොහැකිද උදුල තරුවක් කුමරි අබියස පායනා තඩාගයේ පිපෙනා සාරස සබඳ සැලවයි දද පුවත් විහඟුන් හට නිබඳ නොලසේ ස්නේහයෙන් ආදර දම පැළඳ පිළිවෙත් පුරයි සසදර දොම්නස පසිඳ ඡන්දය නිසා සසැලෙන සිත් පෙළකි නෙක සස හදවතේ යලි දිනකර සරනු දැක ආලය කලත් අදරින් සෙනෙහසින් රැක අන්සතු සිතක ආලය රැදවිය නො හැක තරුවේ වත අහස් ගැබට සැලවීලා අහසත් හඬයි ගිගුරුම් දී වැලපීලා තඩාගයේ පිපි සියපත් මැලවීලා මුනිවත රකිනු තරුවේ හැම ඉවසාලා ආලය හඳුනනා හද තේරුම් ගන්නා නිබඳ සැලෙන චංචල සිත් රැකගන්නා මහමෙර තරම් තනිකම යළි නො දැනෙන්නා සෙනෙහස දන්න කිරි සයුරක ඉපදෙන්නා
කවිය බලන්න
සුඛ විහරණ

සුඛ විහරණ

චන්ද්‍රලාල් ද සිල්වා තොටගමුව

ගහක දෙකක පොල් කඩලා කුලියක් මලියක් කරලා ගඟ අයිනෙ කටු මැටි පැලේ අපේ ජීවිත පැල කලේ ගමේ බවුතීස්මෙට සයිමයි මැගිලියයි අපේ එකම කොළු ඌට කිව්වෙ චූටා ඇටෙන් පොත්තෙන් තේරුණ කාලෙ ⁣ඉඳලම චූටට වැස්ස අව්ව වගේ කරුවල හඳ වගේ කිරළ කැරැන් කොකු කඩාගෙන විකුණන්න ගම වටේ ඇවිදින මාළු කකුළුවො ⁣ඉස්සො අල්ලන ඊතලේ කිමිදෙන දියකාව පරදන ටිකෙන් ටික දැඩි වෙද්දි සිල්ලරෙන් බැරි වෙච්චි ගඟ අයිනෙ වෙල් පැන්ට පැක්ටරිය ඉදි වෙච්චි අතමිට සරු වෙද්දි සහචරයො වැඩි වෙච්චි පොලීසියෙනුත් නිතර හිරිහැර සිදු වෙච්චි මහ සයුරත් චූටා ජය ගත්තා තරුණයන්ට බිස්නස් හුරු කෙරුවා අතු පැල වූ තැන මැදුරක් හැදූනා ගඟ ලඟ හෝටළයක සිරි මැවුනා නොයෙකුත් මල්වර්ග ගැන කතා ඇහෙනවා කේරළෙන් ගෙනෙන මල් මිළ වැඩියි කියනවා ඖෂධ වර්ගත් තියෙන වග දැනෙනවා චූටගෙම බෝට්ටුවෙ ගෙනෙනවයි කියනවා සිටුවරු ආරෙට ජීවිත ගෙවුනා අතට පයට සේවකයන් ලැබුණා සේවක සික් ගැන සොයලා බැලුනා උන්ට බෙහෙත් ටික නොමිලේ දුන්නා අවි ආයුද ගැටෙන සද්ද හුරු පුරුදුයි බිත්තිවලට ලැබුනත් හොඳ කෑම බිම ලේ නම් නෑ ඉනුවෙ ඇඟට නිළදරුවන් මෙහි යනවා එනවා උන්ගේ දිවියේ දුක පවසනවා ඒ ගැන අපෙ පුතු කම්පා වෙනවා මිළ මුදලින් කල පව් අරවනවා පාට පාට මැති ඇමතිල රෑට රෑට එනව යනව සීතල කාමර ඇතුලේ බෝතල් හිස් වෙලා යනව නා නා මාදිලි යුවතියො පෙනී නොපෙනි ආව ගියා නවතින්නට පිය එකියක් සොයා ගන්න බැරුව ගියා බෝධිය වටකර ප්‍රාකාර බැන්දා පෝය දවස්වල දන්සල් දුන්නා පිරිත් නුල් මිටි සුරතේ එතුනා සැම දෙයියම පුතු ලඟ වැඩ උන්නා ගමේ උන්ට දැන් චූටි මහත්තය මැගිලින් හාමිනේ සයිමන් මුදලාලි පස්සෙන් ගිහින් ඉල්ලුවත් දන් සීට්ටුවක් දුන්නෙ නැති දායක මහත්තුරු නෝනලා දානයක් වැරදුනොත් අපේ ගෙදරම තමයි ඉඩ කඩම් වාහන මන්දිර සුඛ විහරණ ගණු දෙනු නඩු අවනඩු අස්සෙ අ‌පි දෙන්න සිරකරල නො හඳුනන වෙඩික්කරු චූට අරගෙන ගියා 23.12.2022
කවිය බලන්න
කුස හා දුක

කුස හා දුක

චන්දන හෙට්ටිආරච්චි නිට්ටඹුව

පහසේ දෙහදක් දකිනා සුවසේ මිහිරක් ගෙනෙනා රහසේ සතුටක් ලබනා දහසේ පැතුමක් ඇඳුනා දඹරන් සපුවෙන් දිළෙනා රුවකින් මිණිමෙන් පෙනනා දුටුවන් වසඟෙන් බැඳෙනා සිහිනෙන් කොණකින් දකිනා බැබලී රුවකින් උයනේ පැටලී සැබැවින් මිදුනේ වැටලී කුමකින් ලඳුනේ බිඳලී සිතුමන් බැඳුනේ සැඟවී පියුමන් පොකුණේ රැකවී සොයමින් රැඳුණේ මැනවී දකිමින් ලැබුණේ පිනවී රුවවන් පොරණේ
කවිය බලන්න
සොඳුරු බියකරුබව...!

සොඳුරු බියකරුබව...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

කඳුකර සිරිය මනරම් අවටින් පෙනෙනා... මතුකර දෙන්නෙ සොබදම් මෑණිගෙ අගනා... මනහර දසුන්මයි අවටම, අති සොබනා... සිහිකරවයි තවද අවදානම සොඳිනා... පහලින් පෙනෙන ගැඹුරක් ගැන මැන බලනා... කුහුලින් යුතු සිතක් ඇතිකර ගත නොහෙනා.., එතුලින් ගෙනෙන බියකරු බව නොම දකිනා.., ඉහළින් සිතන්නෝ, දිවියෙන් සමු ගැනෙනා... සොඳුරුම දසුන් නැරඹීමට කැමති දනා... පඳුරුද ගස් ගහන වන තුල සැරිසරණා... කිඳුරන් සොයා මුහුදේ මුත් ගොස් ගිලෙනා... අඳුරුම කලෝ, ඥාතින්ගේ දිවිම වෙනා... තම දිවි පරදුවට තබමින් සුව සොයනා... කමකට නැති අයද දැක ඇත අප සොඳිනා... පමණම දැන සතුට සෙවුවට කම් නැතිනා... දමනයක⁣ලෝ සිත් නිතරම දිවි දිනනා...
කවිය බලන්න
පියවරු

පියවරු

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

විඳගෙන නිහඬවී පැමිණෙන දුක් රුදුරු දිරිගෙන සිතට අව් වැසි නොතකා අඳුරු නොමගෙන වගක් දහදිය කර ගත රුහිරු මැඩගෙන කඳුළ හිනැහෙන හදවත සොඳුරු නොමදී දනට වෙසතුරු හැගුමින් මිදුනු දුකදී හැරදමා නොගොසින් ළඟ රැදුනු නැමදී නොමැති මුත් බුදු බවකින් පිදුනු ලැබදී ලොවට මිණිසුන් යහ ගුණ පිරුණු ගතු නොම කියා එන භවයෙදි වත් නොපැතු මතු බුදු වන ඇයත් රැක ගැනුමෙහි නියුතු සතු ලෙස දිවි ගෙවා නොලබා සැප අමුතු යුතු පුද ලැබුවේද කිසි ව්ටෙකත් නොසිතු කුසයෙන් මිදෙන බර පටවා මත දෙවුරු ඔසවන් දස මාස නොව සිය ගණනින් සපිරු දරුවන් හදනු වස් දිවි පුද දෙන මහරු දෙවියන් මෙලොව පියවරු හැර වෙන කවුරු
කවිය බලන්න
සීතල හිම බිංදු ....

සීතල හිම බිංදු ....

දීපා ද සිල්වා ලන්ඩනය

තුරු හිස් රිකිලි මත නලියන හිම බින්දූ මුතු පෙළ විලස දිස්වෙයි ගෙල මත රැන්දූ බේරෙන විටදි දිය බිදු සීතල කැන්දූ දෙසවන කොදුරනා විලසයි ගී සින්දූ සුදු රෙදි පොරවගෙන සිටිනා පාර පුරා පා සටහන් මැවේ සුන්දර දසුන් අරා අමුතුම කලාවක අසිරිය ලොවට පෙරා සීතල පවන් විසිවෙනවා දසත සරා සේපාලිකා මල් ගිලිහෙන විලාසෙට හිම කැටි එකින් එක විසි වෙනවා බිමට මුදු මල් සුවද ඉව කෙරුවද පුරුද්දට මුව මත නැවතුනේ සීතල වතුර කැට
කවිය බලන්න
බිරිඳගේ සාක්කිය

බිරිඳගේ සාක්කිය

ඩිල්හාන් ෆොන්සේකා ඔස්ට්‍රේලියාව

තමුන්ගෙ මිනිහට මැහි තෙල් බොන්න හේතුවක් තිබ්බද ? - පොලීසිය බත් පත බෙදද්දිම හූනෙක් "චික්" ගෑවා කරුමෙට බත් පතට වැළි කැටයක් ආවා හැපුනම මහ හඩින් අපටත් දොස් කීවා තරහට ගිහින් මිනිහා මැහි තෙල් බීවා දන්නා දා පටන් වත්තක වල් කෙටුවා කොම්පැනියක් ඇවිත් ඒ ඉඩමත් කැඩුවා කුළියක් නැතොත් මහ රෝහල ලඟ සිටියා ලෙඩෙකුට හාල් ටිකකට රුධිරෙත් පිදුවා කොල්ලා රැළට එකතුව ගංජා උරන පාසල් ගමන ඇන හිටියා සැටලිමක දැක දැක වුනත් කුස්සියෙ මැහි තෙල් ගැළුම අම්මපා මිනිහා බිව්වෙම නැති එක පුදුම යන්තම් පොත්තෙ රත පමණට මතු වෙච්චි කෙල්ලත් බඩක් උස්සා ගෙන තනි වෙච්චී පිරිමි පපුව තුල දුක් ගුළි හිර වෙච්චි සුසුමක් හෙලූ පමණින් ඔහු සැනසෙච්චී පොඩි පොඩි වැරදි මා අතිනුත් නොවුනා නොවේ මිනිහා නැති අතර ගෙයි දොර ඇරලා තියේ දැක්කත් ළඟදි ඉන්නවා මම සමග ජයේ කදුලට මිසක නෑ ඇස මැහි තෙලට ගියේ පුදුමය මහත්‍තයො බත් පතෙ වැළි කැටය දරා ගන්න මිනිහට බැරි වුන එකය අඬ අඬ ඊයෙ දවසම ඉඳ වැඩි හරිය පොළවේ ගසා පොඩි කෙරුවෙමි නෑඹිලිය
කවිය බලන්න
තටු නැතිවට මේ නිලඹර අපට හැකිය පියාඹන්න!

තටු නැතිවට මේ නිලඹර අපට හැකිය පියාඹන්න!

දිල්රුක්ෂි ගුණතිලක

කරදර කරදර හිසමත නැත නිවනක් ලඟ පෙනෙන්න ජරමර මැද බර කරත්ත අඩුවක් නම් නැහැ දකින්න සුරපුර ලෙස දුටු ලෝකය යම පුරයක් වෙලා මෙන්න උරෙනුර එල්ලී නැගිටිමු එපා දුකින් කල් ගෙවන්න දස දුක් නව නින්දාවන් මිනිසුන්ටම බව හිතන්න වස කුප්පිය ඉවත දමා හිත සනසන බෙහෙත් ගන්න හිස මත වැවෙනා අකුලට වතුර පොහොර නොදා ඉන්න ඉස ඉස පැන් පිරිත් නිතර වස් කවියට තිත තියන්න වයසට හම රැළි වැටුනට එපා එයින් සසල වන්න සබයට බට නලුවන් ලෙස තුරුණු චරිත රඟපාන්න කැලලට කලු පැල්ලමකට එපා ඔය තරම් තැවෙන්න කරුමෙට ඉඩදී පැරදී දුක් කවි ලියමින් හඬන්න ආවොත් කලු වළාකුලක් හෙට ඉර එන බව සිතන්න නාවොත් සුබ ආරංචිය ඒ හොඳකටයැයි කියන්න වැටුනොත් එක පාරක් ඔබ නැගිටින්නට දිරිය ගන්න ඇතොත් සතුට ලෝබ නැතිව අනිත් අයට බෙදා දෙන්න කටු අකුලෙත් මල් පිපුනා මතක ඇතිව හැඩ බලන්න අටු කොටු පුරවා ගන්නට වෙහෙස වෙලා වැඩ කරන්න ඉටු කොට නිසි ලෙස යුතුකම් ජීවිතයද රස විඳින්න තටු නැතිවට මේ නිලඹර අපට හැකිය පියාඹන්න!
කවිය බලන්න
පන්හිඳේ  සුනාමිය

පන්හිඳේ සුනාමිය

දයාන් කන්නන්ගර ලන්ඩනය

පළමුවර සුනාමිය මුහුදුකර ජලයෙන්ද මැයි නමය සුනාමිය රටපුරා ගින්නෙන්ද දුක උරුම ජාතියක් ලෙසට දහදුක් වින්ද තෙවනවර සුනාමිය පන්හිඳෙන් හමාවිද? දැවි දැවී පිච්චෙමින් දැවෙන රොටියක් ලෙසට විඳවනා සුවහසක් හුදී ජනතා සිතට එකම ශක්තිය ලෙසට තුලාවක් අතින්ගත් යුක්තියේ දෙවගනට පවිටු මේ දිවයිනට සතරඅත සතරකොන පතුරුවා අණසකට කිරා මැන බලන්නට කාලයයි !දේශයයි! ධන බලය නිලබලය කිසිත් මායිම් නොවන යුක්තියට හිස නවන තුලාවම ජයලබන එවන්වූ දේශයක හුස්මපොද හෙලන්නට සුර අසුර යුද්දයක් මේ අවැසි කාලයයි වලාකුල් බැම්ම ළඟ මාලිගා භූමි තුල වැඩවසන හිමිවරුනි ඉහළතල වැජඹෙනා මහා නා හිමිවරුනි ගොලුවන්ව බිහිරන්ව රඟනලෙස ඇස් අන්ධ විවේකය හැරදමා කවිච්චිය ඉවත ලා ඔබ පුදන අහිංසක ජනතාව අතරමැද නගනු මැන ඔබේ හඩ එය අවැසි කාලයයි රැකවලුන් පිරිවරා සුදු ඇදුම් වතදරා දෝත පුරවා පුදන අල්ලසින් සොම්නසින් හදවතේ පත්ලෙන්ම පැනනඟින සෙනෙහසින් අත බදින සුදුනූල් පතන ආශීර්වාද නවත්වා මොහොතකට නැගෙන මේ ජනදුකට ශක්තියක් වී රටට එනු මැනවි ඔබ පෙරට පල්ලියේ අල්තාර අසල ඇති දනනමා යතිවරුනි බැතිමතුනි එකම එක මොහොතකට දෑස් කන් පිසදමා දකිනුමැන අසනු මැන නීතියම සිගාකන දනන්ගේ විලාපය! යාතිකා මොහොතකට කල්දමා සතියකට මේ මහා මෙහෙයුමට දෙනුමැනවි ඔබේ හඬ යුක්තියේ හඬ තකා ජෙරුසලම් භූමියේ දිවි පිදු ඒ මහා ස්වාමින්ගේ නමින් ලබාසිත් පන්නරය ඉදිරියට එනු මැනවි කෝවිලේ යතිවරුනි එලබ සිහියට පැමිණ කෝවිලෙන් එපිට ඇති ගොජ දමන උතුරයන ජනහදේ පීඩනය විදවනා කුසගින්න දකිනුමැන මෙත්සිතින් යාතිකා ගීතිකා දෙවියන්ව සනසවන සුවදදුම් වලින්එන සුවද නැත හමන්නේ නීතියක් නැති රටක මලානික සිත දවන හැගීමකි දැනෙන්නේ දේව මණ්ඩල නීතී රැකෙනවා ඇත තදින් මනු ලොවේ දිවයිනේ නීතී නැත රැකෙන්නේ දෙවියන්ද අසරණව උකටලී වී තදින් බලාසිටිනා ලෙසට නොහැක දැන් සිටින්නට යතිවරුනි එනු මැනවි දායකාදින් සමග නීතියත් සාමයත් සමගියත් ඇතිරටක මැරෙමු හෙට අපි එකට
කවිය බලන්න
තෛයිලෝක විජයපත්‍ර දසාව

තෛයිලෝක විජයපත්‍ර දසාව

ගාමිණී හේරත්

නමස්කාරය කියන්න දෙවියන්ට වැඳගන්න ඇස් පියාගන්න තිරෙන් එහා බලන්න එපා ඕං ග්‍රීං ග්‍රීං ඕං ග්‍රීං කට්ට වෙට්ට පිත්තල කට්ටු කරලා වෙට්ටු දාලා සක්වල ගල පෙරලාගෙන සක්විති රජ නැමඳීගෙන රාවණාගේ අමුඩ ලේන්සුව පල්ලා හතරමහා නිධානේ පල්ලා හතරමහා දේවාලේ පල්ලා ඕං එනවා විශ්ණු ඕං එනවා කතරගම ඔන්න එනවා නාථ බූත ඕං ග්‍රීං ඕං ග්‍රීං නැට්ටටම ගහලා කට්ටටම වැඳිලා නහුතයක් දෙවියන් දැකලා රෙද්ද උස්සාගෙන ඕං එනවා ඕං එනවා මෝහිනී පත්තිනි කාලි මෑණි භද්‍ර කාලි කුවේණි එකී නොකී හැම අම්මණ්ඩිම එනවා ඕං ග්‍රීං ඕං ග්‍රීං දැන් ඉතින් හොඳින් උරපං, හොඳින් උරපං නහුතෙටම කට්ට පැනලා තට්ටෙ පෑදිලා රෙද්ද ගැලවෙන්නෙ තෛයිලෝක විජයපත්‍ර ආනුභාවයෙන් යකුණේ දෙවියනේ මෙන්න මේ වඳ ගෑණිට ළමයෙක් දෙන්නේ මේකිගේ මිනිහා මැරිලා ගොඩක් කල් ඒ වුණාට කමක් නෑ දියං ළමයෙක් මේ ගෑණිට ඕං ග්‍රීං ඕං ග්‍රීං Seychelles December 2022
කවිය බලන්න
දුම්රියේ පෙම්වතිය

දුම්රියේ පෙම්වතිය

හර්ෂා සුගතදාස මීගමුව

හිමිදිරිය ගුලි කරගෙන මිහිදුම් සළු පොරොවාගෙන සිනාමල් පොකුරක් රැගෙන එදා සපැමිණි දුම්රියේ පෙම්වතිය සිනාමල් ගලනුලට දුරකතගේ මුව තුළ ඔබාගෙන අද යනෙන පෙම්වතුන් දකිනවිට ඔබව සිහිපත් නොවී කොහොමද කතා පෙට්ටිය සේ දොඩමළුව අතොරක් නැති කෙළිකවට ප්‍රේමයට දුන් ජීවය එදා මොන තරම් සොදුරු ද නැතිවා ද ඉසිඹුවක් - ප්‍රේම සල්ලාපයකට දෙසවනේ ඇබ ගසාගෙන - ඇසිය යුතුමද එකම ගීතය ප්‍රේමයේ නව මානය - වියපත් අපට අරුමය ඒත් සුවඳයි - එදා අප විඳි චමත්කාරය
කවිය බලන්න
සුනාමියක විපත

සුනාමියක විපත

හේමා ඩෙප් ලන්ඩනය

උනුසුම සිසිල අතරට සම ගුණය ඇති ලොව කිසි තැනක ඇත්තේ වෙන රටක් නැති ලංකා පුන්චි කුමරිය පින් කඳක් ඇති ලක්දිව අපේ මුතු ඇටයයි නමක් වෙති ලස්සන සයුර වටකර ගෙන සිරිය පෙනේ වටිනා මැණික් සම්පත් ඇති රටක ගුනේ ඉපදෙන්නට වරම් ලැබ ගෙන ගොදුරු වුනේ ඉක්මන් වුනේ සමු ගන්නට ඇයිද අනේ නොසිතූ විලස මහ ජල කඳ දිව එද්දී දරු පැටවුන් ද මා පිය තුරුලට යද්දී පිහිටක් පතා ගෙන මර හඬ පැතිරෙද්දී අත හැර ගියේ අල්ලන්නට බැරි වෙද්දී අහිමිව සතුට සාමය බිලි ගෙන එද්දී කළ පව් කිමද මෙලෙසට හද ගිනි ගද්දී සයුරේ රැල්ල කැත කරගෙන පෙරළෙද්දී ආවේ හොරෙන් දෙවියන් හට නොපෙනෙද්දී ජීවත් වුනත් ගේ දොර අද අටව ගෙන ආදර බිරිඳ සැමි නැත අද සොයා ගෙන දරුවන් නගන හඬ සුළගේ පැතිර එන ජීවත් වෙන්නෙ අද ඉතිරිය ගෙවා ගෙන හිතේ ඇවිලෙනා ගින්දර නිවන්නට සයුරේ ජලය මදි වෙයි අද ඉසින්නට අහිමිව ගිය අයෙක් නැවතත් ගෙනෙන්නට මිහිපිට කිසි කෙනෙක් නැත අද දකින්නට
කවිය බලන්න
අභිවන්දනා ලබනේය විදුමව් වාසනා...!

අභිවන්දනා ලබනේය විදුමව් වාසනා...!

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

පොළොව් තලයෙන් උනාගත් රස සාරබර ඇති ආසිරී දෙමව් මා විදු වැඩූයේ අප දයාවෙන් නිතැතින් පිරී සදෙව් ලොව මට මෙහිම විය ඒ මවුන් මහ සෙවණක් සරී නිමව් වී ඇත ඍතුවක් තව වසන්තයකට දොර ඇරී හිස් අතින් විත් උස් මනස් ගෙන ඉගිල යන්නට දිරි ගෙනා ගස් එකක් නෑරම නුඹේ බිම දෙන්නෙ අප ගැන එබැවිනා උස් අහස් තලයෙන්ද ඔබ්බට ඇඳෙන ගී අපෙ පැබඳෙනා සෙස් ලොවින් අභිවන්දනා ලබනේය විදුමව් වාසනා ලෙයින් නොව ආදරෙන් බැඳි මා සොයුරියන් සමඟින් දිනා නෙකින් නෙක හැකි සෑම දස්කම් විදු මවුන් ළඟ පාමිනා මෙයින් යැයි පෙන්වන්න හැකි එක හිස්තැනක් වත් නොමවෙනා තුටින් කඳුලෙන් කිරුළකින් විදු මවුන් පුද අප නික්මෙනා...
කවිය බලන්න
නොවැදගත් දේ

නොවැදගත් දේ

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

බළලුන්ට එදිනෙදා දේවල් ගැන මතක ඇත්තේ මොනවාද? නිදන්නට උණුසුම් ම තැන, කෑම ඇත්තේ කොතැනද, වේදනා දෙන දේ ගැන, තමන්ගේ හතුරන් ගැන පක්ෂීන්ගේ කරදරය, පසෙහි උණුසුම් පුසුඹ දූවිලිවල ප්‍රයෝජනවත් බව, ඔවුන්ට මතකයි ඇඳක කිරි කිරිය අයිතිකරුගේ පා හඬ මාළු කද්දී අම රස, කිරි බඳුනක සොඳුරු බව බළලුන්ට මතක ඇත එදිනෙදා දේවල් වල වැදගත්ම කොටස ඔවුන් අපට වඩා සුවෙන් නිදන්නේ එබැවිනි අප නොවැදගත් දේ මතකයේ රඳවාගෙන හදවත් බිඳගනිමිනි. පරිවර්තනය - හෙල්මලී ගුණතිලක Translation of the poem ‘Inessential Things’by Brian Patten Brian Patten 1946 දී එංගලන්තයේ ලිවර්පූල් නගරයේ උපන්නෙකි. ගැටවර වියේ සිටම කාව්‍යකරණයේ යෙදුනු ඔහු පාසල් වයසේදී තමන්ගේම කවි සඟරාවක් ලියා පළ කළේය. වැඩිහිටියන්ට මෙන්ම කුඩා ළමුන් වෙනුවෙන්ද කවි ලියූ ඔහු කාව්‍ය ග්‍රන්ථ කිහිපයක්ම පළ කර ඇත. Link to the original poem- http://a-poem-a-day-project.blogspot.com/2019/03/inessential-things.html Poet’s picture and bio- https://literature.britishcouncil.org/writer/brian-patten Photo- Unsplash
කවිය බලන්න
එකෝමත් එක සීත දවසක...

එකෝමත් එක සීත දවසක...

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ඉනේසා මගේ දයාදර මිතුරිය එක්ක මතක් වෙනවා ඇවිදපු තරම් හිම පියළි උඩ සුදුමැලි උනත් සීතලේ ඇගේ මුව, සීත සිසිරයේ ඇහැරෙන වියෝලා පෙත්තෙ පාටමයි ඒ ඇස් යුවල... විහිදාන කාන්තිය සීතල ඉරාගෙන රූරගෙන ආදරේ වැගිරුණා ඈ ගාව හැමදාම... ඔබේ නමටත් වැඩිය පිවිතුරුයි ඔබ ,ඔබේ සිත හා කාව්‍යක්කාර සංවාද... ඉතින් ඉනේසා මම ආයෙත් ආවොත් ඔබේ මව්බිමේ ආඩම්බර දේවදාර ගස් පාමුලට සිසිරයේ හිමෙන් වැසුණාම හාත්පසම දිව්රන්න ඔබත් එන බව මතක හිම පියල්ලක්ව නැහැ පුඩුව මත සීතලට වැටෙන්න...
කවිය බලන්න
විශ්‍රාම

විශ්‍රාම

ජයන්තිමාලා පෙරේරා

මොකද්දෝ සතුටක් තියෙනවා හිත යට කියන්නට දන්නෙ නෑ ඒ වුණත් හරියට සිනා වී මූණටම දැල්වුවත් ගින්දර සැලුනා ද කිසිවිටෙක නිවුනා මිසක් මම හමුවුණා නොමිනිස්සු මිනිස්සුත් ඉ‍ඳ හිට පැසසුම් ද ගැරහුම් ද එළි කළා මාවත හුස්මක් නොගෙන ඒ දිව්ව එක පිම්මට ජීවිතය නවතලා විඳිනවා දැං මම
කවිය බලන්න
වැරදුණේ මට අම්මේ

වැරදුණේ මට අම්මේ

ජානකී එදිරිසිංහ

සිපිරි ගෙයි සීතලේ බිම ඉඳ දුර බලන කොට කලුවරේ බිත්ති අතරින් රිංගලා මම එන්නේ ඉන්නට උණුහුමේ උඹේ ඇකයේ ඉඳන් තරුකැට ගණන් කෙරුවා පෙනෙන්නේ සුදු කමිස දා අතින් අල්ලන් එක්ක ගිය හැටි මැවෙන්නේ ගුරු දෙපා ලඟ දණ ඔබා මා භාර දුන් දා පාසලේ පුතේ හොඳ මිනිහෙක් වෙයන් කී හීන් හඬ තාමත් ඇසේ හතේ පන්තියේ ගණන් පාඩම කට්ටි පැනලයි බීඩි බීවේ අමරේ එක්කලා ගහට නැගලා ගුණේ මාමගේ කිතුල බෑවේ තරහ අරගෙන මූණ කලු කර උඹයි මගෙ කම්මුලට ගැහුවේ මෙහෙම දවසක් ඉවෙන් දැනිලද එදා උඹ රෑ පුරා ඇඬුවේ හෙටත් උඹ එයි බතුත් අරගෙන යකඩ වැට අද්දරට උදයේ මතක් වෙනකොට උඹෙ මූණ මගෙ පපුව ඉරි තලනවා වාගේ නාඬා ඉඳපන් උඹෙ වරද නෑ මමයි හිතුවක්කාර වූයේ දේවදත්තට පාර කියනට බුදුන්ටත් බැරි වුණා අම්මේ
කවිය බලන්න
කුහුඹු අපි

කුහුඹු අපි

ජයතිලක කම්මැල්ලවීර

කුරු කුහුඹු රංචුවකි මේ විසල් තණබිමේ කුඩා සුණු ඔසවගෙන එහෙ මෙහේ සැරිසරති ඒ අතර ඉන් එකෙක් ශේෂයක් තරම් ලොකු සුණු බිඳක් හිසින් ගෙන පා නගයි මහ බරට ඔහු දකින මට සිතෙයි ඒ කුහුඹු මහා බර මා හිසෙත් වන්නේ ද?
කවිය බලන්න
පිස්සෙක් ලියූ කවියක්....

පිස්සෙක් ලියූ කවියක්....

කමල් සේමගේ කතරගම

කවියක්ය කියන්නෙම ලියන්නට බැරි දෙයක් නිමිත්තක් දුටු විටෙක හැඟීමක් එන තැනක් භාවනාවක් තුලින් සිතට එන පදවැලක් සිදුහත්ගෙ බුදුභවය නොනවතින කවි පෙලක්
කවිය බලන්න
කාක නාද

කාක නාද

කෞශල්‍යා ජයලත්

කටුනායක කඳුළු විලේ නෙළුම් නෙළූ නැගණී නෙළුම් මාල ගෙලේ බැඳන් තුටින් සිනා නොවුණී නෙළූ නෙළුම් මඩිස්සලේ කහවණු වී දිලුණී තණමල්විල වැව් මිදුලේ ගඩොල් ගෙයක් මැවුණී අප්පච්චිගෙ ඇඳ වියලේ සැනසිලි සඳ ඇලුණී අම්මාගේ චීත්තවල නැවුම් කුසුම් පිපුණී සෙරෙප්පුවල හිල් පතුලේ හැංගුණ නෙත් කෙවෙණී සපත්තු හිස ලා රජ වී ඉස්කෝලේට ඇදුණී නළපාන නළුව අජානේය අසරුවෙකුව පැමිණී ඇතෙක් බරට නෙළුම් නෙළා දෙම් රැවටී සකුණී උදෑසනින් විල් කොපුලේ කාක නාද ඇසුණී රාජාලි ළඳක සෝකී නැළවිලි ගී මුමුණමිනී
කවිය බලන්න
සසද භාග්‍යාවී

සසද භාග්‍යාවී

කුශාන් ලවන්ග

ප්‍රේම ගීතවී නාරී දේහිණී සසද කුමාරිනී මධුරභාශිනී භාග්‍යවන්තවී සුරම්‍ය සීත නාදිනී නුඹ සීත ගං උයනේ කුසුමාසිනී හිරු පිපිණ කදු මුදුනේ ගිරි වන්දනී මේ කල්‍යානී මගේ රෑ සීහිනෙන් වගේ නුඹ පෙනේ විපුලස් සිහියෙන් නුවන් සිරවේ නිල් අහසේ තරු අතරේ උන්මාදනී මේ සීතේ නුඹ පිපෙන ගිරි ලාලිනි නා තොල් විහිදවී ගංගා ගිල්වනී නුඹ මා සිතේ චායාවිනී පෙම් මානසාවීයේ ගී සරසන්නියේ ගත ශීයෙන් දිවරැසේ ප්‍රේමාවියේ මා හද මිහිරාවියේ නුඹ සුපසන් මගේ ආදරේ ඒ ශීයෙන් හදින් බැන්දෙමී
කවිය බලන්න
දුම්රියපළක දසුනක්

දුම්රියපළක දසුනක්

කපිල කුමාර කාලිංග

දුම්රිය කවුළුවෙන් එබී බැලුවෙමි පසුකර යන දුම්රියපළ දෙස එක පෙළට හිඳ සිටින මගීන් දුරකථන දුරකථන දුරකථන සැවොම වැඩ අතැති දුරකථනයෙන් අනිමින් අසමින් කියමින් අවට ලොව ගැන නැතිද කිසි හැඟුමක් උමතුවී ද සැම දන ඇලී ගැළී දුරකථනයට මැළවුණු එළවළු දෙක තුනක් ඇති මල්ලක් අතින් ගත් මැදිවියේ මිනිසෙක් පමණක් හිස බිමට නවාගෙන බර කල්පනාවක 22/12/05
කවිය බලන්න
දෙව් බඹුනි මගෙ පුතා..........

දෙව් බඹුනි මගෙ පුතා..........

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය නිව්යෝක් USA

දුරුත්තේ සීතලේ පොංගල් දින උදා කර සදා හසරැල් මිහිර බෙදුවා පෙරා රන්දැල් නොනවතින සේ ගලන ගඟුලැල්. මිහිතලය පිට නන්දෙසේ හිඳ පිය උරය මත සෙනේහය විඳ වීදි පහුකර ආ ගමන් මග සැරසුවා නුඹ රන් මලින් සොඳ. සදා උණුසුම් ළමැද ළෙහි බර උදාවේ සැමදා දිනෙන් දින බදා දෝතින් රඳා ගත් නුඹ මෙදා සුවබර සිනිඳු දෑතක අහස් කුස දිව විමන් දොරගුළු නොලා එබි එබි බලන සුරඹුන් කිණිති මල් සලමින් ගයති ගී පංචසිඛ වෙණ මිහිර විඳිමින්. ගුවන් ගැබ සිට පොකුරු මල් වැහි වසී පෙර මග යුවළ යහපත් රුසිරු පියඹද සමග රැකදෙන් දෙව් බඹුනි මගෙ පුතා බෝසත්.
කවිය බලන්න
සුර අසුර

සුර අසුර

කපිල ෆොන්සේකා කොළඹ

ඔබ කොටුවේ කොටු කොටු ඩච් හොස්පිට්ල් මිදුලේ ගස් යට කොටු කොටු බංකු ළඟ ලගිමින් ඩිජිටල් කොටු මත කොට කොට පොරොත්තු වන ඩිජිටලුන්‍ ය මොබ බෝගස් සෙවන වැටෙන නොවැටෙන මායිමේ විට හපමින් කිහිල්ල යටින් පිල්කඩ කෙලවරට කෙල ගසන කපුටු බෙටි පොළොව මත නිරුවත් පා තබා තිරව සිටගෙන හිනැහෙන ඇනලොගුන් ය ඔබ කොකුන් රැස විළස විල ගෙල කරකවා බලමින් වම දකුණ වම නැවතී නොසිටම මැද පටියෙන් පටිය කලු සුදු ඉනිමග තරණය කර නොලසව එතෙර වන ඩිජිටලුන්‍ ය මොබ පරණ පත්තර කඩදාසි වල ඔතා සිලි සිලි මලු තුල ලා ලන්ච් පැකට් විකුණන අව්වේ කරවෙන ඇනලොගුන් ය ඔබ කුළුණු දෙගුණ යුතු වර්ල්ඩ් ට්‍රේඩ් විමනෙහි සීතාශක්තව හනිකට රිංගා අතුරුදන් වැ යන ඩිජිටලුන් ය මොබ ඉඳහිට මොහොතක් ඔසවා සිය හිස ඩිජිටල් කොටු මත කලු සුදු හිනි මත එකෙල මෙකෙල වන ඩිජිටල් ග්‍රැෆිකල් ඡායාවන් වෙත ඊශ්වර නෙතින් බැල්මක් හෙලනා ඇනලොගුන් ය ඔබ මද පවනත් නැති ඩිජිටල් දවසේ හරි මද්දහනේ සැනෙකින් ඇඹරී පිපිරී ඉරි ඉරි උණු වී ගුලි වී දියවී වැගිරෙන කුළුණු දෙගුණයකි මොබ පික්සල් නැති වී හිස් වූ තිරයකි ! 2022 දෙසැම්බර් 21
කවිය බලන්න
මටත් පෙර නුඹ නිවන් දැකපන් මගේ සික්කර නංගියේ!

මටත් පෙර නුඹ නිවන් දැකපන් මගේ සික්කර නංගියේ!

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

පපු කුහර බිද කැණැති ගලවා ඉරා දමමින් සිතට වද දී මස් වැදැලි යළි කැබැලි කරවා හද පටක ඇද වේදනා දී ගත ගැහී එක්වරට නැවතී ගලකි සේ ගල් ගැසුණු තැන දී මන පෙළූ “පණිවුඩය” කිම නුඹ සවනතට පෑහුණේ මොර දී හිත් තිබූ මුත් නුඹේ හිත ළග වැටි-වැටී නිදි වැරූ වෙහෙසී ගත් සෙවූ මුත් නුඹට සෙත් දෙන බුදුන්-දෙවියන් ළග ම වෙසෙසී අත් ගැසූ තෙල්-මල්-පහන් සුවදින් පිරුණු බුදු කුටිය පැසසී දත් විසූ කිසිවකු සිටීවි ද නුඹත් ගිය මග නොගිය එලෙසී පතා ආවත් වී මගේ සහ-උදරියක සේ දෙවැනි තැන හිද වතාවත් කළ වුව ද හොද හෝ නරක හෝ ජීවිතයෙ බිද-බිද කතා කළෙමුත් සහෝදර පෙම හිස් මුදුණෙ නංවා සිතින් විද සිතා ගමු අපි අපට උරුම ව තිබූ කාලය ගියේ යැයි සිද මගේ නැගණිය වෙන්ට පෙර නුඹ කොහේ සිටිය ද මා නොදත්තේ නුඹේ සහ-උදරයකු වූ මා කොයි සිට ද ආ බව නොදත්තේ වගේ අප සැම ආ නියා එක් මව් කුසින් ලෝකයා දත්තේ සබේ කවුරු ද පෙර ආත්මයෙ කළ-නොකළ දෑ නැති ව ගත්තේ සිත දුවයි මගෙ මතක දුරකට කහටගස්දිගිලිය ම දක්වා “සිකුරුපැට්ටා” කීව මතකයි පියා බිව් දුම් පෙට්ටි පෙන්වා විහිලුවට දෝ අනේ මන්දා එදා සිට ඒ නාමෙ බදවා කතා කෙරුවේ “සිකුරු නංගියෙ” නුඹට ඇති සෙනෙහස ම රදවා වින් ද දුක් නුඹ ජීවිතේ විය තුරුණු වූ දා පටන් ම කිම් ද නැගණියෙ කරපු කම් සසරෙදි විදින්නට එ තැන් ම මම් ද මේ ඇසුවට නුඹෙන් කළ කම් නොදත්තේ සිතින් ම කවු ද ඒ ලෙස නොවිද ගියෙ දුක්-කම්-කටොලු දිවි මගින් ම පැමිණ සබයට නුඹත් ගිය පසු දිවි හරඹ පෙන්වා එසේ සුගුණ සිහිකොට නැමද බුදු පා-කමල් සිත සන්සුන් පසේ මිදුණ වැළැකී පව්දමින් වඩ-වඩා ගුණපස කම් රැසේ එ පින් බලයෙන් නිවන් දැකපන් නංගියේ-පොඩි පැතු ලෙසේ! 2023.01.01
කවිය බලන්න
හදවත පැලුනු සඳ කුමරිය

හදවත පැලුනු සඳ කුමරිය

වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

ඉරයි හඳයි එක අහසෙම සිටියාට ඉර බැස යයි සඳ අහසට ආවාම විරසක වී වෙන්වන්නට සිතුවාට තරු පැටවුන් ගැන මොහොතක් සිතුවාද වටකරගෙන තරුකැල සඳ සිටියාට ඉකිගසමින් හඬනාහැටි දුටුවාද ඒ කඳුලින් මහ පොලොවත් තෙමුනාට හිරුට දැනෙන්නට හදවත නැතුවාද අකුනු ගසන හඬ මොකොදයි බැලුවාම සඳට කෑගසන හිරු මම දුටුවාය විදිලි කොටන හැටි හිමිහිට බැලුවාම හදවත පැලුනු සඳ කුමරිය පෙනුනාය
කවිය බලන්න
රජුනි මගේ

රජුනි මගේ

ලූෂන් බුලත්සිංහල

ලී තොටිල්ලේ හිරෙන් පැන්න දා බිම ඇද වැටිලා රිදුනත් නොහඬා නුඹ දුව පැන නැටුවා මතකයි කිරි සුවඳ කටේ රන් ටිකිරි සිනා පාලා මුලු ගෙදරම නලවා ඒ පුතාද අද මේ සිරකුටියක අඳුරේ කඳුලු පුරෝගෙන ගොලුවී හැකිළෙන්නේ සංවර පැවතුම් යහගුණයෙන් පුතුනේ සැවොම දිනූ නුඹ කාටදෝ වුණේ අකීකරු සිනිඳු බිලිඳු බාලේ ඉඳලා දෑසේ තියාගෙන රැක ගත්තේ ඇති දැඩි කෙරුවේ අම්මා නුඹව පුතේ ඒ හුරතල් පුතුගේ රන්කඳ පුරා ද මේ තැලුම් කා තොල් පුපුරා ලේ ලකුණු කුසගින්නේ දැවෙනා තැවෙනා සුසුමන් අසරණ ඇස් හිස් නොදැක නොවේ සේසත දියකර නුඹ සරසවි යැව්වේ අවනීතිය රජවී අද නුඹව දඟගෙයි දමන තුරා පුතේ නුඹයි රජකම් කෙරුවේ මගේ හීන ලෝකේ 25/12/2022
කවිය බලන්න
නව වසර!!!

නව වසර!!!

ලුම්බිණි විතාන ලන්ඩනය

පැරණි කිලිටු වු සිතිවිලි නැවුම් වත්සුනු සලු පිලි වලින් වසාගෙන අලුත් නව අවුරුද්දක් සමරන්න ලක ලැස්තිවෙන අපුරුව.
කවිය බලන්න
ලන්ඩන් කවිය මට නම්........

ලන්ඩන් කවිය මට නම්........

ගමගේ ලයනල්

ලෙන්ගතු කවිය නැත්නම් හිත් විරස කය පන්හිඳ පෙළ ගැසුනෙ නැත්නම් කරුම කය සංහිඳ ළඟ වගේමයි නිස්කලං කය ලන්ඩන් කවිය මට නම් කව් රාක් කය
කවිය බලන්න
ප්‍රේමය

ප්‍රේමය

ලලිත් ද සිල්වා නුගේගොඩ

ඔබ කෙසඟ රාජිණී .... වර්ණ කේශිනී.... තුරඟ දේහිනී .... ම හද ලාලිනී .... මා සිත ළඟ ප්‍රේම බන්ධිනී .... ඔබ භද්‍ර යෞවනී .... කුරු කේශීනී ....ප්‍රේම රාජිනී ... ම හද ජීවනී .... මා සිත ළඟ ප්‍රේම බන්ධිනී .... ඔබ සිනිඳු දේහිනී.... සිවිය කාචිනී .... නේත්‍ර වර්ණනී .... මහද නාලිනී .... මා සිත ළඟ ප්‍රේම බන්ධිනී .... ඔබ නිසරු චින්තනී .... ක්ෂණික තීරණී...කිපෙන මෝහිනී.... මහද නර්තනී .... මා සිත ළඟ ප්‍රේම බන්ධිනී .... ඔබ තිසර හංසනී .... රාග දේහිනී .... කොමල භාෂිණී .... මහද මාලිනී .... මා සිත ළඟ ප්‍රේම බන්ධිනී .... ඔබ නේත්‍ර අංජලී .... දෙබැම ගලවනී .... කෝළ නයනනී .... මා සිත ළඟ අන්ද මන්දිනී ...
කවිය බලන්න
2023

2023

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

දසඅත බලාගෙන ඉන්නේ කවි එනකං සීතලෙ ගැහි ගැහී මම සිතුවිලි එනකං ඉන්නව බලාගෙන අහසේ කලු යනකං අර්බුද ගෙනා විසි දෙක හිර බැස යනකං! තවමත් නෑ නෙ කවි සිතුවිලි පහල උනේ අහසත් තවම ගොර්වනවා ඇයිද අනේ? දහසක් දෙයක් ගැන සිතුවත් ඉතින් අනේ කවියක් ගොතා ගන්නට ඇයි පමා අනේ? සුන්දර මතක දුව එන මේ දුරුතු මසේ පෙම්බර මවගෙ උනුසුම ලැබු දුරුතු මසේ හඬ හඬ අකුරු කරනට ගිය දුරුතු මසේ. සිතුවිලි නොලිය වෙන්නේ ඇයි දුරුතු මසේ? පෑන හොරාගෙන ඇත මා කවි ලියන කෑම සොයායන සියොතුන් දංග රෑන පේන මානයක තැබුවොත් ඒ පෑන ගීත ගයන හඬ දෙමි ඩැහගත්එ දින විසිතුන ලබන විට අහසෙන් පනිවිඩයක් රන්වන් දහර ගෙනදෙයි අමුතුම හැඩයක් සැඟවුන සොඳුරු සිතුවිලි තව එක සැරයක් ලියනට දෑත හුරුවෙයි මට, එය පැතුමක්!
කවිය බලන්න
ලන්ඩන් කවි

ලන්ඩන් කවි

ලතා ද සිල්වා මෙල්බර්න්

හසරක් නොදැක පාවෙන විටදී සවිය අතොරක් නැතිව සුවපත් කර සිත නිවිය සසරක් නොම බලා දුන් සතුටේ අවිය වසරක් තව ගෙවුණි දැක ලන්ඩන් කවිය මවුබිම හැර ඉගිල ඈතට ගිය දවසේ සවු දිය පුර පුරා මිතුරන් හා සවසේ කිවු කතා ඇසේ කඳුලක් කර දිගැසේ සිවු දෙසින් පෙනේ මගේ රට සුර පුරසේ වින්දත් සැප දුකින් සිත සුවපත් කරලා කන්දක් සතුට අරගෙන සැම දුක් දුරලා බින්ඳක් නොව පමා පළවෙනිදට හැරිලා ලන්ඩන් කවි දුවයි කවි හදවත් සරලා තව තව සෙනේ අරගෙන අපවෙත එන්න මව මව නව සිතුම් කවි ලොව සරසන්න දව දව දුක් සුසුම් හදවත් සනසන්න ලන්ඩන් කවිය මේ මල්මිට පිළිගන්න 26 දෙසැම්බර් 2022
කවිය බලන්න
හැත්තැ පහ සැමරුම.....

හැත්තැ පහ සැමරුම.....

ලක්විජය සාගර පලන්සූරිය

හිරු නොබැසි අධි රටින් නිදහසක් ලබාගෙන එලබි විසිතුන වසරෙ හැත්තෑ පහ සපුරලා... ඒසුද්දො වැවුව තේ තවම රට රකිනවා උන් හදපු දුං පාරෙ කෝච්චිය දුවනවා... දේශයේ මාමකයො විජිතයට ගරහමින් හැත්තැ පහ නිදහසේ මහ ඉහල සැමරුමක... පෝෂණය මන්දවී රෝගින්ට බෙහෙත් නැහැ ගහකොළට පෝර හිග හැම දෙයක් ගිනි ගනන්... ඒවුනත් හැත්තැ පහ නිදහසේ සැමරුමට පාලකයො මුල් තැනක හැම සතය වැය කරයි... විනිමයත් හිදී ඇත ලැබෙන මං වැසී ඇත වංචාව දූෂණය ඉහවහා ගොසින් ඇත... පාලකයො හැම බෙදී එකිනෙකට චෝදනා බහුතරය දුප්පතුන් තළුමරා එය අසයි... දහසකුත් එකත් පැන හැම එකක් අමතකයි මුතු ඇටයෙ පුරවැසියො හැත්තෑ පහ සැමරුමේ
කවිය බලන්න
ලැබ කුමට  ඉපැදුණි ද මිනිසත්            බව,

ලැබ කුමට ඉපැදුණි ද මිනිසත් බව,

මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පානදුර

ලැබ කුමට ඉපැදුණි ද මිනිසත් බව, නිජ බිමට පලක් නැති උන් මේ ලොව ? මිනිසුනට එ වැනි, පණ නල දුන් පව මොන ලෙසට ගෙවනු හැකි වෙ ද උන් මව ? දස අතට වෙමින් ණය ගැති තව තව නිදහසට දැයෙහි වළ කැපෙනා බව දන සිතට නොහැඟෙතොත් එහි ඇති රොව දිනු රටට ලැබෙ ද හෙට කිසි හැඩ රුව ? පිට රටට විකුණමින් සිරිලක් මව අද දිනට ඇතොත් විනිමය හෙට නොව එය සතුට විලස තැකු මිනිසුන් ගව ඇති දැයට උරුම නියතයි යම ලොව ...! ඉගිලුමට ඇතොත් වැඩියෙන් ණය වුව තුටු සිතට එතොත් එයමයි දැයෙ සොව බුදු දමට දෙතොත් ඇස කණ මන මුව තව ණයට ගතොත් එන හෙණ වෙයි ඉව ..!! දිනු දැයට දෙමින් සිත වැඩ කළ බව හද තුළට දැනෙනවුන් ගත ඇති ජව නව ලොවට කියනු එ පවත් දී රැව තම මවට එයයි දෙන උපහර කව .....!!! 2022 දෙසැම්බර් 27
කවිය බලන්න
මිහිරැති දඬුවම

මිහිරැති දඬුවම

මේඛලා උදාරි ලියනගේ.

මේ ශුෂ්ක බිම තක්සලාවයි දිසාපාමොක් වරු හැරි හැරී යන පතොක් මල් පමණක් නොව බොහෝ සුවඳැති කැලෑ මල් සුපිපෙන අත්දැකීමෙන් උගන්වමි ධර්මය පොතේ නැති "තාදිය" ඇපල් ගෙඩියක් නොදුටු එවුනට පොරොවෙන් පටන් ගමි "හෝඩිය" දැකුළු මල් උයනේ විරාජිත වේවැලද බොහෝ සංවේදිය.. කේඬෑරී මුහුණකට , කහට පිරි ඇඳුමකට සාහසික නමුදු උගන්වමි , පෝෂණය, ස්වස්ථාව ආදිය කුස නොපුරවා හිසක් පුරවන්න එන පැටව් දකින්නට ලැබීමම ඛේදයක් සම්පතක් බෙදෙන හැටි උගන්වා නැත තවම ඉගැන්වීමම උන්ට වේදයක් හර ලවය පෙන්වමින් භාගයක් විමසනා දරුවාම එක විෂම භාගයක් අඬන්නද හිනැහෙනුද හිතා ගනු බැරි තැනෙක පපුව හා මොළය සංවාදයක් මේ ශුෂ්ක බිම තක්සලාවයි දිසාපාමොක් වරු හැරි හැරී යති කොතන පිපුණද සුවඳ විහිදිය යුතු බව උගන්වමි..කර පෙන්වමි.. මිහිරැති දඬුවමට තුති!!
කවිය බලන්න
පහන් තරුව ඔබ නිදිද ?-

පහන් තරුව ඔබ නිදිද ?-

පහන් තරුව ඔබ නිදිද බුදුන් බුදු වූ ඒ උතුම් දින දිනමිණට අමතකවද 2009 යේ ඒ වෙසක් දින පුර පෝය හඳට හොඳින් පෙනෙන එකදහස් දෙසිය අසූ හතරක් ඉඳුමිණ රැගත් මුල්ලිවෛක්කාල් හදවත සොරා ගත්තද දේවදත්තයන් අධිකාර සෙබළ හිත දමා ගසන්නට නාගසාකියන් ඒ උන්ගේම දෙරණ මත බලා හිනහෙන්නට හිනහී සැනසෙන්නට එකින් එක නිවී යන ඒ පහන් සිළු කූඩු දල්වා තොරණ පෙන්වා සැදෑ සිතින් දන්සලුත් වැන්ඳා අමතකද තවම අමතකද බුදුන්ටත් ගැරහූ ඒ කරුම දින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිදුක් වී සුවපත් ම වෙත්වා ................... යාපනයේ ගිනිදැල් සමානද අවුෂ්විට්ස් වල ගිනිදැල් වලට ඉදින් මනුසතකු විලසට කුමද කියනු නොහැකි ඔබට
කවිය බලන්න
කිරි මුහුද බොරවූ දින

කිරි මුහුද බොරවූ දින

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා High Wycombe - UK

පෙන කැටි නංවමින් හැඩවුණු කිරි මුහුද රළු වී චණ්ඩ වී බොරවීලා කිමද දියබිඳු සිසිල විඳි පා පෙරදා සවස නැහැ අද වාරු නුඹ කල හදියක මහත ඈතින් නැගෙන රල බියකරු හඬක් ගෙන සුවිසැ ල් අවන්හල වෙත එන විලාසෙන සී සී කඩ ගියා කැවු බත් අතින් ගෙන දිව්ව්වෙමි අතට අසුවූ අත අල්ලගෙන ලද මොහොතකින් මා නෙත් දෙක අයාගෙන බැලුවෙමි දසත ඈ කොහිදැයි හොයාගෙන නිසලව හිඳින උන් දැක සිත දවාලන සිතුවෙමි පියා සමගයි නෙතු පිහාගෙන සිහිනෙන් මෙන් ඇසුණු කෙඳිරිලි හඬ මැද්දේ සෙව්වෙමි තැනින් තැන නිසසල අය මැද්දේ නෙතු දිව ගියා රෝහල් කාමර මැද්දේ මගේ සිහි විකල්වුනි විලාපයන් මැද්දේ ඇය නැත දකින්නට ගිනිදැල් හද පත්ලේ බුර බුර නැගේ, නෙත් දියවෙයි උණු කඳුලේ හීයක් ඇනුන සේමය මගේ හද පතුලේ අවසන හැඳින ගත්තෙමි තිදෙනෙකු පවුලේ සන්සුන් නොමැති සිත ඇ ය කොහි දැයි සොයති පොඩි දරුවෙක්ද ? සමහරු දුටු බව කියති අක්ක කෝ අතේ නොදරුවා හඬ නගති ඒ රුව දකින්නට මගේ නෙත් දෙක හඬති දසතින් ලැබුණු නොයෙකුත් තොරතුරු වලට අප දිව ගියා ඇ ය සොයමින් හැම අතට සිතමින් කිම සුමුදු අතැඟිලී මගෙ අතට හිර නොවුනේ එදා, අසුවුනිදෝ රළට සුදු රැලි ගවුම කෙහෙරැලි පිළිවෙලට දමා සිහිවෙයි නුඹ මාව කඳුලැලි විලක දමා නැහැ ලිප ගින්දරක් හද ගින්දරම තමා කවදා නුඹ එයිද දන්නේ දෙවියෝ තමා කාලය පියඹුවා දහඅට වසරක්ම නුඹ සිහිවුනා මට හැම තත්පරයකම සිහිනෙක හෝ වෙලී අප හා සැමදාම ඉන්නට පතමි මගේ නෙතු පියවෙනතුරුම
කවිය බලන්න
සිනිදු පුලුන්

සිනිදු පුලුන්

මනුල රන්දික වික්‍රමාරච්චි 4-B කේරි විදුහල

සිනිදු පුලුන් විසිරිලා වගේ අන්න බලන් සුන්දර අහසේ උදේ දවල් හවස රෑ හැම තිස්සෙම එක වගේ කුරුල්ලන් පියඹලා අහස පුරාම අහසේ ලස්සන දෙගුණ තෙගුණ වෙයි අහස ලස්සනයි පොළොව ලස්සනයි දසත ලස්සනයි ලොවම හැඩ කරයි
කවිය බලන්න
නූපන් පුතුට.....

නූපන් පුතුට.....

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

චුරු පනින මඩ ගොඩක දවස ගෙවුවද ඔහේ සුදු නෙළුම් නොපිපුණයි කිසිම දිනයක මෙහේ නෙතු කොහොම දකින්නද ඇතෙක් හීනෙන් රැහේ මතු රජෙක් නොවුනාට රකිමි තබමින් ඇහේ ගසා අතපය ඔබේ කිති කවයි හිමින් කුස නිවාලයි මොහොතකට ගිනි ගැනුණු මගේ හිස දරා දුක කෙලෙස හෝ දරමි ඔබ මසක් දස පතා හෙට නගන්නට මුව පුරා නැගෙන හස තාරුකා ඉඟිමරයි අහස පැහැදිලි දිනක පායනා හිරුඑබෙයි මැදියමට ළඟ පැයක ගායනා ස්වර ඇසෙයි අහස අඬනා විටක ඒ තමා හිස වහළ සෝක නොම ගනු සිතක වකගසා ලණු ඇඳක නරකෙසින් හිස පිරුණු ගත දරා හැම රිදුම් දවන තරමේ දරුණු මළ කෙනෙක් නැති නමුදු මළ මුවක රඟ රැඳුණු අය මෙහේ හමුවේවි පිටට බඩ පොතු ඇලුණු මහා මයා නොවෙමි සත් දිනෙන් මග හැරෙන දරා ගෙන ළඟ ඉඳිමි කිරි මවුන් නැති බැවින කියා නිබ්බුත පදය නැතෙන් මා ගැන නිවුන දවා අළු කර දමමි උන් ඔබට වින කටින
කවිය බලන්න
දැවෙන මලකින් පැණි කුමට

දැවෙන මලකින් පැණි කුමට

මයුරි කොඩිකාර ගම්පහ

අම්බලම් පාලුවක් වාගේ දොර පියනෙ මහ හිල් ගොඩක් හත්මසක් දිය නොදැක නාහේ කඩාගෙන ගියෙ හඩු ගඳක් ඇස්ඇරන් පය තිබ්බ බෝදේ සෙව්ව දැක්කෙම කළුවරක් අත්දෙකෙන් ඇද ගත්ත මාගේ හුස්ම හිරවුනෙ මහ ගොඩක් තත්පරෙත් වටිනව මහත්තයො ගලවපන් ඔය ඇඳපු රෙද්ද බොත්තනුත් පනිනව ඉලව්වෙම ඇයත් ආවනෙ පද්ද පද්ද පන්දමක් ගත් කපුව පැරදුනෙ හැඟුම් දුම්මල වරම ගද්ද හිල්උනෙත් පිපි බැලුම එකවර දිරපු ඇඟපත වරම් දෙද්ද ගිලුණු ඇස් බිම බැලුව තිසරුන් කෙසඟ අතපය නිවට කමට කුමට සතුටක් නික්ම යන්නම් සිම්බෙ නළලත ලංව තදට නැතිද අභිසෙස් මොණරු ගුලිකර අතේ තැබුවද හොරෙන් උඹට බරයි හදවත තවත් උන්ගෙන් බේරුමක් නැති වෙයිද මලට
කවිය බලන්න
සිතට දහිරිය අරන්  එළියට බහිමු දැන්වත්  පවු නැතේ

සිතට දහිරිය අරන් එළියට බහිමු දැන්වත් පවු නැතේ

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

හාමතේ හඬනා පැටවු දැක මාපියන් සිත් ඇවිලෙතේ රටේ සම්පත් පිටට විකුනණ උන්ට පමනක් වෙයි සෙතේ බළය අරගෙන කවුන්සිලයට ගියත් පහරයි දස අතේ කොමිස් ගහනා එවුන් එමටයි නොදත් අකුරක් මල පොතේ උගත් කිව්වත් රට කරන්නට මොළේ කලඳක්වත් නැතේ මටයි පුළුවන් කියා කිව්වත් දිනෙන් දින ණය වැඩි වෙතේ බෙහෙත් නොමැතිව රෝ බියෙන් දරු පැටව් අකලට මැලවෙතේ කටට එනදේ කිය කියා මහ එවුන් වැජඹෙයි හිතුමතේ රටේ ජීවිත සමග සෙල්ලම් කරනවුන් තව වැඩි වෙතේ දෙඅත් පොරවා අහස බල බල කඳුළු සැලුවට නෑ සෙතේ මෙතෙක් කල් දිවි රැකල දුන් ණය ගෙවන්නට කෑ බත් පතේ සිතට දහිරිය අරන් එළියට බහිමු දැන්වත් පවු නැතේ
කවිය බලන්න
බිළිඳෙකු හඬනු  ඇසුනා

බිළිඳෙකු හඬනු ඇසුනා

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා High Wycombe - UK

සීතල මැදින් උදුවප් මස ගෙවන'තුරේ වල්ගා තරුව පායා දෝ නිල් අඹරේ නොදැනේ කිසිදු වෙනසක් ගව ලෙන ඇතුලේ සාමයෙ කුමරු අද නැතිදෝ අප අතරේ බිළිඳෙකු හඩනු ඇසුනා සිහිනෙකින් වගේ කනිසම වැදෙනු ඇසුනා සීනුවක් වගේ ගොපලු දරුවො දකිනා විට දුරින් වගේ ළා හිරු මඬල එබුනා කවුළුවෙන් මගේ බෙත්ලෙහෙමේ සීනුව ලොව රැවු දේවා සාමයේ පණිවිඩය හැමතැන පැතිරේවා සතුට සමාදානය සිත රජවේවා සුබ නත්තලක් ඔබ හැම දෙනටම වේවා
කවිය බලන්න
සුදු රෙදි කඩ

සුදු රෙදි කඩ

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

ලංඩන් කවි පොතක් පලවුනු පුවතක් ඇහුනද ඔබටත් ඔය​ හෑගොඩලගෙ වැඩක්! සැම මවිත කරමින​ නිසි අරුත ගූගල් වෙන හරි විරිත නොම දැන​ කවි සිරිත කෙලෙසන​ අප වැනි ඇහිඳා වර වර නිතර කැඳා කවි සසුනේ ඉඳා අනේ මේවත් කවිද මංදා බණ පද අමතක ථුල්ල පන්තක කිව්වලු හොඳ බණක් ජීවක නිවසෙදි වරක් ලංඩන් කවි සබය අප සැම​ හට කුමක් වැනී​ ථුල්ල පන්තකුන් ලත් සුදු රෙදි කඩක් වැනී​ පරිනත කිවිඳුන් අතරේ හිටියත් අප වැනි වැනී​ සමහර අපේ කවි මල් ඔය පොතේ පලවුනී!
කවිය බලන්න
උපන්දින තෑග්ග

උපන්දින තෑග්ග

නිමල් අබේසිංහ කඳාන

සිපී කිරණ අරුණැල්ලේ තඹරු ලියක විකසිතී හැපී මන්ද මාරුතයේ සිරස දෙපස නලවතී අපී සුවඳ මල් ලියන්ය මත් බමරා කැඳවතී දැපී සිටිය හැකි වේවිද එරන්දතිය පරදතී නුරා හැඟුම් පුබුදාලයි මීන නයන නලවනා පුරා විතක් මධු පුරවා තබා ගෙනෙති දෝතිනා දරා සිටින්නට නොහැකිය මනස් සතුන් කලඹනා කරා එන්න මල් කෙමියට මත් නොවේද සුවඳිනා මියුරු වදන් තෙපලන්නී මිණි කිංකිණි ලතාවයි ඉවුරු බිඳන් ගලනා රඟ සයුරු රළ ද පරාදයි සුහුරු ලියක රඟ දෙනවර සිදුවන්නේ මොනාදැයි මහරු ඵලක් නෙලා ගතිමි ලැබදුන්නේ අමාවයි සඳ එළියේ තණ නිල්ලේ රඟ දෙන්නී සා දෙන සඳ වටකොට මුකුළු කරයි රෑ අහසේ තරු ගණ තොල් පොපියා යටැස් යොමා නුරා රසය ලැබ දෙන පුරා දෙතොල් සිප ගන්නට නුදුන්නේද විවරණ
කවිය බලන්න
මිනිසුන් නොමැරෙති එකවර ම

මිනිසුන් නොමැරෙති එකවර ම

නුවන් තොටවත්ත

මිනිසුන් නොමැරෙති එකවර ම - කලිල් ජිබ්‍රාන් . . මිනිසුන් නොමැරෙති එකවර ම කොටසින් කොටස ම මිස මිතුරෙකු දුරස් ව ගිය කල මියයයි කුඩා කොටසක් හැර දමා යන කල තමන් සතු වූ ප්‍රේමය මියයයි තවත් කොටසක් ආදරෙන් රැකි සිහිනයක් මිය යන සෑම විට ඉවත් වී යයි ප්‍රාණය තවත් එක් කොටසක පැමිණෙනා විට මරණය කැටුව යන්නට දිනයක රැගෙන යන්නට ඇත්තේ සිරුරක කොටස් පමණය බොහෝ කල් සිට මියගිය ඉතින් කැටුව ඒ සිරුරෙහි මිය ගිය කොටස් බොහෝ කල් සිට නික්ම යයි මරණය . . මහා කවි කලිල් ජිබ්‍රාන් විසින් රචිත විවාන් ස්වස්තික සොයුරා විසින් සිංහලට පරිවර්තිත ලියවිල්ලක් පසුගිය දිනක හමුවිය. එහි මුල් නිර්මාණයෙ හි අදහස කවියක් බවට පත් කිරීමට උත්සාහ දැරීමක් ලෙස කරන ලද අනුවර්තනයකි.
කවිය බලන්න
Passage of love and beauty

Passage of love and beauty

ඊ.ඩබ්.එස් නයගරා

I went to my little flower garden, I saw beautiful flowers bathing in the sunshine and swaying in the breeze, Every flower is beautiful; one flower blooms beautifully and becomes fragrant without being jealous of another. I thought that if we as human beings thought and worked for ourselves without bothering others, we could all be beautiful. Then how beautiful this world would be? I felt like that : A little flower has so much to teach us.
කවිය බලන්න
පැය 6ක් ගොලුවූ හදවතක්.

පැය 6ක් ගොලුවූ හදවතක්.

ආරි ලියනගේ ඉතාලිය

සුදු කබා කොල කබා ඇඳගෙන රෝද ඇඳ උන් ගෙන ගියේ වට කොට පලන්නට පපු කූඩුව නුඹගේ මටසුමට පෙනුනේ උන්ව මට යමපල්ලන් විලස. ශල්‍යගාරයේ දොරකඩ ලඟ තනිව පලවෙනි හෝරාව වුනි කල්පයක් මට මලහිරු කිරණ විදුරු තල හරහ එන ගොලුවූ හදවතක් තව ගොලු කලා මිස. රුදිරය ගලයි කපා නහර වැල් සැමතැන නුඹ පණ සැඟවුනේ බියට කොහේදෝ දැන් හොරෙන් ආපසු එන්න ගන්න හිමිතැන වේලාවට ඉතින් වාවන්න හයිය නැහැ කඳුළුත් සිදී බොහෝ කල්.
කවිය බලන්න
ආයුබෝවන්

ආයුබෝවන්

නාලිකා සමන්කුමාරි අරාබි එමීර් රාජ්‍යය

මනුසත් උයනේ මල් පීදේවා මනදම් සුවඳින් සුසුවඳ වේවා හදවත් තුළ මෙත් උල්පත් පෑදී මුලු ලොව ඒ සිසිලෙන් නැහැවේවා දින දසුනේ කාරිය නිම වෙනවා කාලයෙ යාත්‍රාවෙන් දුර යනවා විමසා බැලුවොත් ආපසු හැරිලා තුටු විය හැකි නම් එය සෑහෙනවා අතු ඉති මත නව දළු මුමුණනවා දිනිතිය ගැබ්බර වී හැඩ වෙනවා වෙනසක් වී පරිසරයම පිරිලා ආයුබොවන් නව වසරක් එනවා 2022/12/26.
කවිය බලන්න
පියකරු හුස්ම

පියකරු හුස්ම

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

මේ කය ම වේ ලෝකය රන් කරඬුවක් නොව සුදු හඳුන් අරටුවක් නොව අශූචි වලක දඟලනා ගැඩවිලෙකු සේ අරඹනා ජීවිතය ජීවත් කරවනා ජීව වායුව ඔබ ය සොඳුරු හුස්ම පොද ඔබ ය උපන්දා සිට නොනැවතී අත් නොහරින මිතුරෙකු සේ නිබඳව... අසල සිට සසල වේ සෙවනැල්ල කොතැනකද රෑ හුස්ම ද එතැනමය මුහුදු රළ මෙන් දඟලමින් නිමක් නොම වෙයි සදා බෙනයක් තුළින් දිලෙනා නාගයකු සේ ඇදෙනා විටෙක උණුසුම රදනා වරෙක සිසිලස මවනා හුස්ම රැල්ල වටිනා පාවී යනු මිසක නොහැක දැක ගනුය නෙතකට නිබඳ ඇද හැලෙනා නොනැවතී පණ පොවනා ඇත්තේ කොතැනකද රෑ පියකරු හුස්ම වටිනා දුටහොත් සතියෙනා ලැබිය හැක නිධානයක් මනා ‘මම දැන් මෙතැන’ වෙමි සැනසුමද මෙතැන මය උතුම් සිහි නුවණ මේ මොහොත මා සතුය මේ මොහොත වේ කාලය මේ මොහොත වේ ඇරඹුම මේ මොහොත වේ සැනසුම - දිවියෙහි වටිනාම ලාභය
කවිය බලන්න
පුනරාගමනය

පුනරාගමනය

ප්‍රසන්නජිත් අබේසූරිය

ගම මැදින් ගොම්මනේ මර සෙනඟ මතුවුනේ බිම පතිත කුසුම් පෙති සලිත වී හැකිලුනේ කිම අනේ ගඟ දිගේ රළ ඉහළ ඉගිලුනේ නොම දැනේ ම'පුතු ඇයි එ'දිය තුළ සැඟවුනේ පෙළා අප දුක් දෙවන ගිනි නිවා මඟ සොයා කළා අභිනික්මනක් නුඹ අපව හැර පියා බලා සිටිමුත් කොතෙක් නොමැත නුඹ එන නියා වලා කළු නැගී නුබ කුසින් හිරු ගෙන ගියා බොල් අහස එකළු කර හිරු ආයෙ දිලේවිද සල් වනය සුවඳ කර සත් පියුම් පිපේවිද සිල් ගුණැති ම'පින් කඳ මරු පැරද වඩීවිද කල් නොහැර දියත ගිනි නිවා අප මුදාවිද
කවිය බලන්න
මාන

මාන

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

ලැවැන්ඩර්, චෙරි බ්ලොසම්, මෙපල් වෙස් වලාගෙන ආකාස වන පෙතේ තරු ලකුණු මකාගෙන හේමන්ත අතවරෙන් මිදෙන්නට හිතාගෙන වැහි ළිහිණියන් හිටියෙ වැරෙන් කන් යොමාගෙන බස්සෙකු ගෙ ගීතයට මියුරු තනුවක් තබා රැහැයියන් පැළඳගෙන ගෙන සීත සෘතුවේ කබා ත්‍රිකෝණාකාර කඳු බට පඳුරු හා සොබා රාත්‍රිය උන් එක්ක පවත්වයි ගම්සභා කවියකට හසුනොවන මාන ලොව තව ඇද්ද පෘථිවි කක්ෂයෙන් පිට අප නොදුටු තැන් වෙද්ද දරුණු ඇයි ඒ තරම් කළු කුහරයේ මැද්ද සිතමු මොකටද ලොවට න්‍යෂ්ටික අවි යුද්ධ "සකද මලයි බබළු වැලයි කාව්‍ය සංග්‍රහයෙන්
කවිය බලන්න
සුසානය අබියස සිට.....

සුසානය අබියස සිට.....

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

ඔබ මොබව පිය නැඟිමි දහස් වර මේ මඟේ බාලවිය තුරුණු විය මැදිවියෙද එක ලෙසේ නමුදු නොසිතිමි දිනක එහි රැඳුනු අනියතේ දොරටුවෙන් එහා මෙහි සැම සතට සම වෙතේ. නොතේරුන ළමා වියෙ එය භූත ලෝකයක් බිය දැනෙන පිුය නොමැති උරුම නැති දේශයක් කතාවට සිනාවට යොමු නොවූ භූමියක් නොදකින්න නෙත් යුග්ම හරවනා මානයක්. තුරුණු වියෙ සිහින මැද ඒ දෙසට නැහැ නෙතක් ලෝකයේ සොඳුරු බව මිස නොමැත දුක් බිඳක් දරු පරපුරක් සමඟ එක් විලා සැනසුමක් සොයයි සතුටක මිහිර විපත ගැන නැහැ ඉඩක්. පැණ වලින් මිරිකිලා කාලයක් ගෙවෙද්දී ළබැඳියන් ඉඳහිටව අපෙන් සමු ගනිද්දී හිත ටිකින් ටික දහම වෙතට යොමු කරද්දී මැදිහත්ව මෙබිම දෙස නොදැනීම බැලෙද්දී. සසර දුක දැනෙද්දී ලැබී වේදනාවන් සිහින පසු පස ගියා සිතෙයි කල්පනාවන් හැරි හැරී ඛලද්දී අතීතෙට මනාවන් මරණෙ පොදු දෙයක් බව දැනෙයි කල්පනාවන්. ළබැඳියන් යන විටදි ටිකින් ටික අප හැරා ගත දුබල වී දැනෙයි සැප නොමැති පිවිතුරා පිහිට ලබමින් දහමෙ දෙසු ලෙසින් ලොව්තුරා සියලු දේ නියත නැත උපන්නොත් මිහිතුරා. දැන් නොමැත බිය කමක් මේ දොරටුවෙන් එපිට සැම දෙනට පොදු දෙයකි නිසල අරණේ පිහිට වැහැරි සිරුරම පුදා පණ දෙමින් මේ බිමට මල් ලෙසින් හෙට පිපෙමු මේ බිමේ තුරු හිසට.
කවිය බලන්න
නෙත් තබන මා

නෙත් තබන මා

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

සීතල ගෙනෙන අළුයමේ සුබ නැකත් වෙලාවට පාට බිඳුවක් අරන් රන් කෙන්ද තවරන්න හුදකලා විය යුතුය මා සඬංගම් පූජා නිමාවෙන් බුදු කුටිය දොර අගුළු දැමුවෙමි විඳිමි සැනසිලි සුවය විස්වකම් දෙව් අසිරියෙන් මූර්තිය නිම වන නිසා අට ලෝ දමින් කම්පා නොවී අප බෝසතානෝ පෙර භවේ දස පාරමී දම් පිරූ බව වෙසක් පෝදා ඇසූ බණ පද යළි සවන නින්නාද දේ ලඟින් හිඳ ඇසුරු කළ අය ගැටළු කරදර විඳින දවසට ගොස් බලා එන්නම් කියා එක පයින් පිටවුන කෙනෙක් හිතට ආවා හදිසියේ හීන ගිනිගෙන දැවෙන දා මූන ඉච්ඡාවට හිනාවෙන ⁣නන්නාඳුනන අය වුනා උන් දැඩි අදිටනින් දරා හිටියා ගල් පිළිමයක් මතු වූ නියා ඡායා ⁣සැලෙන කැඩපත අතට ගමි එළිය විහිදන පහන් සිළුවෙන් මැවෙන අරුමැසි දසුන් දකිනෙමි බියද බැතියද නොතේරෙයි හද සසල වෙනවා පමණි
කවිය බලන්න
පොත් බෑගයේ මත්  ද්‍රව්‍ය සෙවීම

පොත් බෑගයේ මත් ද්‍රව්‍ය සෙවීම

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

ඉස්කෝලෙ ගේට්ටුවෙ පෝලිමේ කෙළවරේ පොත් බෑග් එල්ලගත් තැති ගත්තු ඇස් දෙකක් ටිකින් ටික ලංවේවි රාළහාමිල ලඟට පුංචි හද ගැහෙන හඬ පිටතටත් ඇසේවිද ඇරල හොඳහැටි බලති බෑගයට අත දමා පොත් ගොන්න එකින් එක එලියටම ඇද දමා පොත් කවර නෑ කියා සැර වදන් දොඩාවිද බැටන් පොල්ලෙන් ගසා හොඳටෝම තලාවිද නින්ද ගියෙ නෑ ඊයෙ හාමතේ මහ රැයේ ඉතුරු වූ දන්කුඩත් මල්ලි අරගෙන ගිහින් හිස් බඩම ආ නිසා ඇඟට පන නෑ වගේ කෝ උඹේ කෑම එක කියා මට තලාවිද මත් ද්‍රව්‍ය තිබේදැයි පරික්ෂා කරන්නට අරිනවා බෑග් එක ගැහෙනවා පොඩි දෙපා මෙයා ළඟ මුකුත් නෑ යනව දැන් පන්තියට තැති ගැන්ම පළාගොස් සිනා රැල්ලක් නැගේ දරුවකුගෙ අතින් ගෙන පෝලිමේ කෙළවරේ විඩාබර මවකගේ සිතේ පැනයක් නැගේ දරුව ළඟ දවල් කෑමට යමක් තිබේදැයි ඇයි රාළහාමිලට අහන්නට බැරිවුනේ
කවිය බලන්න
ගොරහැඩි පෙම

ගොරහැඩි පෙම

රුවන්තිකා සඳලි බණ්ඩාරගම

හුස්ම දැන් බර වැඩියි උහුලන්න බෑ නොවෙද ඒ බවක් දැන දැනත් සන්තාප දිය හැකිද ඔතා දුන් හාදු දෙක මගදි විසි කෙරුවාද නීති කොලෙජීයේ පෙම නුඹට දැන් අමතකද ගුරු පාට රැළි ගවුම තවම නුඹ අඳිනවද දණ ළගට තිබු කොණ්ඩෙ කැපුව බව ඇත්තක්ද තෑගි දුන් පෙන්ඩනය තවම පොත් අස්සෙමද ආදරය අකුරු කළ ලියමනත් ඉරුවාද ඇස් පියන් වහගත්තා ඉර බහින ගොම්මනේ ඔබෙ රුවම ඇයිදො මේ මැවිලා මට පෙනෙන්නේ ගොරහැඩියි කඩතොලුයි ප්‍රේමෙ මට හැගෙන්නේ වැළලුවෙමි පෙම් හැඟුම් හදවතේ සුසානේ කඳුළු කැට දෙක තුනක් වැක්කෙරුණා කම්මුලට විරහවේ පුළුටු ගඳ දැනුණා නැහැ පුඩු වලට ආලයේ කමටහන් බිඳුණේම නුඹෙ නමට පිරිමි හිත බයයි බං නුඹෙ නෝක්කාඩුවට
කවිය බලන්න
සිතක් පිරිමැදුමත් ප්‍රේමෙකී!!

සිතක් පිරිමැදුමත් ප්‍රේමෙකී!!

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

දඟකාර කෙහෙරැළී මුහුණේ සිනා පිරී උතුරනා ආදරෙන් මුලු හිතම යයි පිරී.. උපහාස සැනකෙළී කවටකම් මිස නැත මැසිවිලී මුදු හාදු මල් පියවිලී සියොලඟම පිරිමදී.. සිතක තෙතකට මුල් ඇදී සෙනෙහෙ ඊතණ පඳුරකී උරෙහි මත හිස හොවා සැනහෙන කෙම් බිමට අත පොවන මානෙකී.. සිතුම් ළිහිණින් දුර යතී හසුන් තුඩු තුඩු ගෑවෙතී එකම නුබ හිරු සඳුට ලංවී රසම රහසක් පවසතී.. හඬ නිහඬ විය හැකී අස සිත ඉගිල්ලෙයි සකී හිමිකර ගැනුමම නොවේ සිතක් පිරිමැදුමත් ප්‍රේමෙකී!!
කවිය බලන්න
Unseen shadow.....

Unseen shadow.....

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

The colourful flowers Blooming with the blessings of sun rays They are meeting new birds and bees....! Not only the bees, But the wasps too......! The fullness of beautiful butterflies.....! They are wandering all over the garden.....! With a great pleasure Moon flowers...! And water snow flakes They are getting together To dance with fire flies In the moonlight Enchanting with the moonlight They all are delighting in the fantasy world Each and everyone as busy as bees.....! Why.......? The flowers are waiting to meet them......! What for......! For sharing and caring....! What a lovely feeling... But....... The sun and the moon....! Not to be seen.....! In their fantasy world.....! Dr Ramya Attanayake Kandy. 2022 .12.20.
කවිය බලන්න
මෙහෙමත් වැස්සක්........කවදා පායයි ද?

මෙහෙමත් වැස්සක්........කවදා පායයි ද?

රංජිත් ද සිල්වා නවසීලන්තය

ග්‍රීෂ්ම කාලෙත් ඇවිල්ලා - එත් තාම වැස්ස වැස්ස….. තාමත් වැස්ස වහිනවා……. මචන් සුනිල්... බලහන්කෝ පන්සලේ ධාතු ප්‍රදර්ශනයක්වත් තියෙනවද කියලා ආ ... නැහැ ..නැහැ දිය කපන උත්සවේ ඉරිදනේ ....ඊට පස්සේ පායයි........ 26 දෙසැම්බර් 2022
කවිය බලන්න
හමුවීම

හමුවීම

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

සගවා තබන්නට කටු පදුරකින් වටකර පිබිදෙන්නට සොයමින් විලිරුදා දිස්කර සුවදැති රෝස තුඩ ඝණ අදුර දෙබෑකර වළාකුල් අතරින් නිල් අහස් තලයෙන් පාවි මිහිකත සිපගත් සද රැජිණගෙන් බැබලනු විජිතයේ එකම එක රෝස තුඩ සැගවුවත් වනරොදේ සිපගත් විගස හිරුගේ රැස් දහර මොහොතකින් පිබිදී සුවද දී දිලෙන්නට සැරසුණු මොහොතේ රෝස මල සොයමින් සැරි සැරු වනගතව සිටි අයකුගේ දෝතටම හිමිවිය.
කවිය බලන්න
නොන්චි කෝලම

නොන්චි කෝලම

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

යනවිට - වයවයා හඬින් අණබෙර පෙන්නලා මගෙත් තුනු උරමඬල රූසිරිත් මිහිබට මල්සරා වගේ හැඩකොට - නළවලා උඹත් සිහිනිඟ ලෙළවලා ළමැද රන්කුඹු දෙවඟනක් වගේ හිටියට තුරුණු සංදියේ ලෝකෙට - කෝලමක් වෙලා නුඹ අද නොංචි නංගියේ ගතරූ - සිරිත් වන වනා නුඹ අතගන්න ආ සැමට පිටුපා ලංවුණා නුඹත් පෙම්බර බිරිඳ වී මගේ ඉඳහිට - මෙලවුනා වුණත් ලිපගිනි දැල්වුණා නිතර දුක්ගිනි ඉහිලුවේ නුඹත් පෙරකළ පවට නොංචියේ ලෝකෙට - කෝලමක් වෙලා අපි අද නොංචි නංගියේ සැමවිට - එල්ලිලා දෙතන දරුවන් ඉල්ලලා හඬන රන්කිරි වේලිලා ගියේ අරගෙන රූසිරිත් උඹේ වියපත් - මවක ලැම බලා හිනැහෙන අරුම දූපුතුන් අතහැර මව්කිරි බීපු උන් ඉන්න රටකට යමුද නොංචියේ ලෝකෙට - කෝලමක් වෙලා මොකටද ඉන්නෙ නංගියේ
කවිය බලන්න
සුදු සළු පිරි දරන්

සුදු සළු පිරි දරන්

සරත් සී. මුදන්නායක

සුදු සළු පිළි දරන් දොඩන පණ්ඩිත වදන් හැදුවත් කෙරුමට වසන් පෙනේ අනුවනකම් මෝඩයාගේ මෝඩකම් මුණ්ගේ මෝඩකම් හිසින් කරඩුව දරන් සාදු නඳ දෙත් මුවින් පිනෙන් නෙත් බර වුනෙන් හිමින් ගියේද ගමන් පෙනේ දුස්ශීලකම් මුණ්ගේ දුස්ශීලකම් දෑත පිරිසිදු බවින් ඇතැයි නිතරම කියන් කරයි හොරකම් හොරෙන් හොරුන් මැද රජ හොරුන් වේය මුන් කම්බහොරුන් මුන් වේය රජ කම්බහොරුන්
කවිය බලන්න
නදී නම් වු ඇය

නදී නම් වු ඇය

සුනිල් එස්. සිරිසේන මහනුවර

රිදී සේළයක් සේ උස් මුදුනක සිට කෙළි දළෙන් වැටෙමින් හිනැහෙමින ලැසි ගමනින් සැදි පෙළින් පෙළ මදහස ද සෙනෙහස ද දුක ද කඳුල ද නොඅඩුව බෙදා දී නටවමින් ලෙළවමින් පුළු ̈කුල හැඩ වැඩ පාමින් අවුත් ........... සයුරට එඹෙන විට ගැඹුරුයි නිහඬයි පරිණතයි ඔබ
කවිය බලන්න
සමුගත් කිවිපති  ලයනල් ගුණසිරි

සමුගත් කිවිපති ලයනල් ගුණසිරි

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

හසරැල් පිරුණු මුවගෙහි රස වැයේ ය කවිමල් සුවඳ නල රැළි හැර නොයේ ය තුරුවැල් පවා පිනි කඳුලැළි දියේ ය ලයනල් ගුණසිරිත් සමුගෙන ගියේ ය ---- පියඹා යොවුන් සමනලයකු සේ පෙරට කරබා නොසිට විත් කවි මුළුවල මුලට අරඹා ගඟක් ගැලු ලෙද කවි කිවූ පෙලට ප්‍රතිබා පිරුණු කවියෙකි නැති වුනෙ රටට ---- පෙනුමෙන් කුඩා මිනිසෙකි තරමක් කෙසඟ හැගුමෙන් සොඳුරු හදවත මැදුරකි සුරඟ දැකුමෙන් ගති වෙතත් විහිදීයන අනඟ පණමෙන් සුගුණ රැකි මිනිසෙකි සිටි අගන --- රජමැති ඇමති ජනපති කා ළඟ වුවද මිහිරැති කවි කිවූ කවියෙකි සිටි සුහද ධනපති කමෙන් අඩුමුත් නොවැටුණු නිබඳ කිවිපති නමට අබිමානෙකි ඔබ හෙටද ---- නෙක කවි සමුළු වල කුකවියො ඇති කලෙක සික පද ලෙසින් කවි ගුණ සැලකුව වරෙක අක ලට බැසැ ගියත් පසු සෑත්තෑ වසෙක එක මඟකය ගියේ අපි කවි පරපුරක --- සිවු පදයක් පවා කීමට බැරි සැනින මවු බිම සමහරුන් කවි පුටුවල සිටින හවු හරනයක් නැතිවම පහළට වැටුන ගවු රව ලැබියුතු කවියෙකි ඔබ වටින --- සසරින් උරුම වුණු හැකියාවෙන් එකසේ අඳුරින් දිලුණු ඉරබටු තරුවකි අහසේ කතරින් නොලැබුණත් දිවිතුරු දිය පහසේ අතරින් පතර ඇත දුක් කවි කිවූ රහසේ --- මුතුවැල් ලෙස හෙටත් කවිමල් පිබිදේවා පැතූ සැම නොලැබුණිද ඉරණම විසදේවා සතු සැම දෙයම අත් හැරදා සැතපේවා මතු මෙත් බුදුන් දා නිවනට පැමිණේවා
කවිය බලන්න
මෙතැනින් නවතිනු බෑ:

මෙතැනින් නවතිනු බෑ:

සපුමල් බන්ඩාර ලන්ඩනය

මුහුනින් මුවග බලා කී ඒ මිහිරි කතා දිවියේ සසරපුරා නොමැකේ සරණතුරා ඇසිපිය සැලේ රගයි තොල්පෙති පෙරලා සලමින් මාහද සැලේ අසයි මෙතැනින් නවතිනු බෑ ඔබමොබ සැලේ පෙනෙයි විල්තෙර කලඹා තිසරුන් මාහද සැලේ අසයි මෙතැනින් නවතිනු බෑ
කවිය බලන්න
අම්මා............

අම්මා............

විශේෂඥ වෛද්‍ය ඩබ්.ඒ. සුසන්ත ද සිල්වා

දහදුක් වින්දෙ අම්මේ දරුවන් වෙනුවෙන් දරුවන් නව දෙනෙක් බිහිකර උන් වෙනුවෙන් ඔබ හිත රිදවුනත් උන්ගේ හැසිරීමෙන් ඔබ අග රැජිනියයි අප දිවියේ නිතැතින් දස මාසයක් කුසයේ දරමින් උන්නා හැම ගැහැටක්ම විඳිමින් මෙලොවට දුන්නා ලේ කිරි කරල නව දෙනෙකුම රැක දුන්නා රස ආහර උයා කවමින් කල් ගෙවුනා කැත කුනු අත ගගා දරුවන් ගැන බැලුවා ලෙඩ වූ විටදි තුරුලට ගෙන සැනසෙව්වා අකුරට ගොසින් අප එන තුරු මඟ බැලුවා අප නහවලා පිරිසිදු කර හැඩ බැලුවා දරුවන් ලොකු මහත් වී වෙන් වෙලා ගියා සමහරු ඔබට නොකියාමත් යන්න ගියා දරු සෙනෙහසින් පිරි ඔබ හද දැවී ගියා එනමුත් හැම දුකක් දරමින් ඔබ සිටියා ඔබ ලෙඩ ඇඳේ සිටිනා විට දුටුව ගතේ දැනුනේ කියා ගන්නට බැරි දුකකි සිතේ අපගෙන් වෙන්වෙලා යන්නට ගිය මොහොතේ කඳුලැලි ඉතිරුවා අම්මේ අප දෙනෙතේ කව් ගී ලියැවුණත් ඔබ ගැන මෙනෙහි කර කවදාවත් නොහැක පවසා නිමා කර අප හද පත්ලෙන්ම හැම මොහොතෙම නිතර පතනෙමු මිදී යන්නට සසරෙන් එතෙර 21.12.2022
කවිය බලන්න
විලෙක - වලප..

විලෙක - වලප..

සුපිපි සඟමිත් යාපා කුරුණෑගල

කුඩා විලෙක නෙළුම් කැකුළු පිපිලා ලෙල දුන්නා.... විඩා නැතිව මාළුන් එහි පීන පීන උන්නා..... දඩාවතේ ගිය මස්සෝ දැලකට අමුණන්නා.... කඩා වැදුණුු ධීවරයෙක් ඔවුන්ව බිලිගන්නා.... නිලට නිලේ අහස දුටුවෙ මොහොතකි එක එල්ලේ.... විලට වඩා ඔරුව සැපයි මේ ඇල් පවනැල්ලේ... "අපට හුස්ම ගන්න බැරිය " මාළුන් වැලපිල්ලේ... මරුට බිලිවෙනා තුරු උන් යනවා නැළැවිල්ලේ.... මීනවලප නොඇසෙන මේ වදක තෙමේ තුටිනී .... යාන මතම වැතිරෙයි සිය වෙහෙස නිවනු රිසිනි.... පේන හීනයක් ගානේ රන් කහවණු මැවුණි.... නේන මරුට අඬගසමින් ,මින්රැල තව පෙලුණි.... පණ ගැහෙනා ආත්ම මත තව පොදියක් බරවී.... යන ගමනේ කෙළවර , අන් උදරයකය සිරවී..... වන දේ ගැන එනමුදු නැත උන්ගේ ඇස් ඇරවී.... බණ දහමට අනුව එයම ' කරුමය' සිහි කරවී.... 'පිපුණු තඹරු නැතිය, කලල් මඩ තරමට වටිනා'.... කරුණ වටහගන්නට මොළයක් නැතිවග පෙනුණා.... ගිලින ඇම තවත්, බිලි කොකුවල අමුණා තිබෙනා... තිළණ දැක , යලිත් මින්රැල රැවටේදැ' සිි⁣තෙනා.... 2022.12.28.
කවිය බලන්න
ශෘංගාර සංග්‍රාම

ශෘංගාර සංග්‍රාම

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

ඉඳහිට සිතෙයි මට ඔහු සිත කොණහන්න හීනියට රණ්ඩුවක් ඇදගන්න කවිකාර මගේ සිත මදක් උන්මාද බව ඔහු නො දන්නා බව නොයෙකවර සිතෙයි මට . ඉදින් මම සීරුවෙන් බලා ඉමි කුරුමාණම් අල්ලමින් බැළලියක ලෙස කඩා පනින්නට ඔහු වෙත ඒකාකාරී මොහොතක ජීවිතය පිටවන තුරු අනිසි වදනක් හසුකරගන්නා තුරු පෙර කළ වරදක් කියවෙන තුරු අහම්බෙන් හෝ අතීත පෙම්වතියකගෙ නමක් බලමි සීරුවෙන් මම ඉන්පසුව අරඹමි තනිව සංග්‍රාමයක් දැනෙයි මට එවිට නිර්වචනය කළ නොහැකි දුෂ්ඨ සතුටක් ඇණුම් පද කියමින් උණු කඳුළු ස‍‍ලමින් වවාගන්නට දඟළමි මහා ස‍ංග්‍රාමයක් එහෙත් ඔහු හිඳී එවිට අඳ ගොළු බිහිරි ව ගැඹුරු මුහුදක් ලෙස නිහඬව වෙහෙසට පත්ව මුහුණ රතුකරගෙන අඳුරුව ගිය හදින් බලන විට හොරැහින් දකිමි මම නිමග්නව සිටින'යුරු ඔහු දෑස් බරකරගෙන මහා කල්පනාවක දොම්නස් සහගතව ඉදින් වැද ඔහු වෙත සිපගනිමි දෙතොල් දෙකොපුල් ද සෙනෙහසින් මම සිනහ මල් පිපෙන තුරු ඔහු ලවන් යුග මත.
කවිය බලන්න
දැයෙන් සමුගත්  හේමශ්‍රි ද අල්විස්

දැයෙන් සමුගත් හේමශ්‍රි ද අල්විස්

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

තාම මතක ඇත ආ ගිය හැටි බැඳි පෙමිණී කෝම ඉතින් වාවා ගන්නද අද දුකිනි බෝම ගීත ලියූ රසරුත් කැටිකල රමණී හේමශ්‍රි ද අල්විස් ඔහු සමුගෙන ගොසිනි ආලින්දයේ පෙරදා මහ ගෙදර කලක් කා සමගත් සබඳව සිටි මතක පොතක් කාලය රන් වලටත් වැඩි වටින බවක් ජීවන මඟ පුරා පෙන්වූ සොඳුරු සිතක් සරල විරල නන්දිත රස නූතන ගීත නිසල සිතින් නිති බිහිකල පද සුවිනීත අපල දෝෂ කොතරම් තිබුණත් ළඟපාත සුනිල මඟක ගිය මිනිසෙකි ඔහු අතිජාත ගීයම ලියූ "ශ්‍රීණි විභූෂිත ලංකා" මියුරු ජීවිතයට ඇත නොමියෙන කලකට සොඳුරු දුනුකෙයියා මලක් වගේ පද වැල් ඇතිරු මනු සිත් තුළ නිදන්ව ඇත සබඳව මිතුරු නොදිරයි නාමය කෙනෙකුගෙ කළදේ හොඳනම් අලුවෙයි වැලලෙයි සියොළඟ ගති ඇති නොතරම් අඳුරෙයි හෙළ ගී නුබ කුස රන්තරු නැතිනම් සමුදෙයි ඔබ මිනිසෙකු සේ දිව් ගෙවු මනරම් 7/12/2022
කවිය බලන්න
පංකාවේ සාංකාව

පංකාවේ සාංකාව

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

නතර වී බොහෝ කල් ඉහට උඩ පංකාව ගේ කිරිල්ලිය දනි දුක් සුසුම් හද දෑව සුඹුලු පත් ගෙනල්ලා හදයි කූඩුව තාම ඉතින් කිරිලිය තොපට තුති පුදන්නේ කෝම හදිසියේ "වැරැද්දක්" උනිද කිරිලිය තොපට කැදැල්ලට පෙර, පැටව් ආවේද නුඹ කුසට කටක් ඇර "වැරැද්දක්" කියන් නෑ මම ඊට ඔය වගේ "වැරදි නම්" නොවන්නෙද අප කාට සැකයි නම් සයනයේ මා නිදන විට රෑට නො එන්නම් සයනයට පිල හොදයි මට ඊට කැදැල්ලේ ඉතිරි අඩ, තවම නෑ නිමි පාට නුඹට ඇති හදිස්සිය, නෑ වගෙ අනෙ ඌට පැටිත්තෝ තුඩින් ඇන, කටුව බිදලන දාට පන්කාව ඉකිබිදී ගල් ගැසී සිටියාට දරු පැටව් තටු ඉඳී පිටවෙලා යන දාට හිත හදාගෙන ඉදින්, ලෝ දමයි ඔය කාට
කවිය බලන්න
බත ඉදෙන තුරු

බත ඉදෙන තුරු

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

උසාවිය මිදුලෙ ලොකු මාර ගහ යට කොනක ඇයත් ඇගෙ අතින් ගත් මගෙම පොඩි දූ මැණික පෙරකදෝරුව එක්ක කතාවක් මහ දිගක අපේ කල දවස ගැන වෙන්න ඇති හෙට දි⁣නක මුල් වරට හමුවෙලා හිනාවුන නිල් දෑස මුහුණ රැඳි පිපි කුසුම කෝ කොයි ද සන්තෝස බෙදාගෙන ඉඩම ගේ තවත් දේ අපි ආස කොහොම නම් ගෙවමු මේ ඉතිරි අවුරුදු මාස නීතියේ කොළ කෑලි අපව වෙන්කළ දාම ජීවිතේ ඉරිතලයි විනාසයි හැමදේම කේන්තිය නිවුණු දා ගුණ අගුණ බැලුවාම කෝකටත් ඉවසීම නේද හොඳ හැමදාම මට හැකිය කාමරේ කෙළවරට හුරු වෙන්න නුඹ නුඹට කැමති තැන දුවට ඉඩ සලසන්න අපි ගෙවල් දෙකක් වෙමු එක වහල යට ඉන්න බත ඉදෙන තුරු ඉඳිමු නිවෙයි මේ ලැව් ගින්න
කවිය බලන්න
රටක් තෙත් කර කඳුලින් නිවී ගිය නිහාල් නෙල්සන්

රටක් තෙත් කර කඳුලින් නිවී ගිය නිහාල් නෙල්සන්

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

අපා දෙපා උපා පවා මිහිරට ඔබවාගේ පපා මධුර තණු ගී ගැයූ කලතා රස ඕගේ කපා කොටා මරණා බව දැන දැන ඈගේ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ ----- ඇස් දෙකට නැගුණ දසුනෙකි ඔබ කාටත් මනකල් විස්මිත රංගන අංගන සතුටකි සැමකල් විස්වාසෙන් ගැයූ මුල්ම ගීයෙහි පදවැල් ලස්සනට පිපුණු වන මල් ගල් පීරන දියවැල් ----- පිනේ තරම කොතරම් දැයි ලැබුව උදාරයි පෙනේ ගීත ගැයූ මුවඟ රැදුණු සිනාවයි වනේ සියොත් පවා ඇසූ සුසර රටාවයි අනේ අවදි නොවේ කුකුළ් නින්ද හමාරයි ---- සසරගතව ආවේ දිලෙමිනි ගී අඹරේ සුගුණගතව ජීවත් වූ මිනිසෙකි මිතුරේ සවස්ගතව මිය ඇදුනත් කම් පල අතරේ අනවරතව සිටියේ ගුණෙ අයියගෙ කාමරේ --- අගරජු වී කැසට් ලොවේ යුගයක පෙරදා මඟ තුළ ඔබ සිටියේ ලෙස අහසෙහි දිනිදා ළඟ අද නැතිමුත් සිරුරෙන් හඬ ඇත සැමදා වගතුග පත්තරේ ගැයූ නොමියයි කිසිදා ---- හදවත නිම්නාද දිදී ඇත ස්වර ඔපලා සඳවත ඔබ දිහා බලයි රන්තරු වටලා මුවවිත විස්වටටම දුන් රසුදැල් සලලා ජනගත කළ කස්තුරි වගෙ රසයිනෙ බයිලා ------- යක්කු සත්තු පවා හඬට සවන් යොමනවා මුක්කු ගසන්නට හෙම ගී ස්වර නොගයනවා කොක්කු ගුවන් ගැබ නිසලව හඬට බැදෙනවා කුක්කූ කූ.. කුක්කූ කුකුළා හඬනවා ------ බේරී බේරී ගලාපන්කෝ ගී සර ආලේ සීරී යස්ව බලාපන්කෝ නෙත් හැර දෑලේ නාරි දේහ මවාපන්කෝ කාලෙට තාලේ මේරි මේරී නටාපන්කෝ ගෙයි මැද සාලේ 21/12/2022
කවිය බලන්න
රිදුනු හද

රිදුනු හද

ශාමලී ගමගේ

බැදුනු සිත්වල රිදුනු තැන්වල.. ආදරේ යන අකුරැ හතරින්.. මා කෙසේ නමි සගව ගන්නද.. හිමි නැති නුඔ මතක සයුරින්.. විඩාබර නෙතු සොයන සෙනෙහස.. දැනෙනවා නමි ඔබට මට මෙන්.. රැදෙනවද නුඹ සෙමින් මා ළග.. සදේ තනියට සිටි තාරකා මෙන්.. මාකාලන්න බැරි මතක සිතුවමි.. දවාලමි මම සුළග විලසින්.. ඵබි බැලුවොත් පපුතුරේ මගේ.. දකියි නුඹ සිතුවමක් විලසින්.. 2022/12/18
කවිය බලන්න
කිරි

කිරි

සම්මානී විජේසිංහ

දිගු මගෙක තැනින් තැන
දෙපස තණ ඇතිරි දැක
ඇවිද විඳ දිවි ගෙවන
ගව රැළක් පසු පසින
හෙමි හෙමින් පා නගන
ගෝපිකාවක්මි මම
උලා කා ළතණ පත්
කටු පඳුරු -නිදිකුම්බ
සුදු කිරෙන් ලොව පුදන
එළදෙනක අරුමයක !
සුදු කිරෙහි කටු නොමැත
තණ පතක් හෝ නොමැත
කිරම පමණකි පරම
ලොවම සනහා වඩන
එළදෙනුන් හිමි වුවද
කිරට හිමිකම් කිවද
මට නොවේ තණ පතින්
කිරි නිපදවන වරම .
කවිය බලන්න
නත්තලට ගෙට ආ ලිය

නත්තලට ගෙට ආ ලිය

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

පාටත් උසත් හැඩ රුව ගැන හොයා බ ලා ගෙන ආවෙමි ලියක් නත්තල ලං කර ලා සරසා ඇයව නෙක විසිතුරු දේ පට ලා තරු ඔටුන්න තැබුවෙමි හිස මත රඳ ලා ඇය ලස්සනයි කියලා කවුරුත් කිව් වා සතුටු වෙන්න තෑගි බෝග ලඟ තිව් වා ඇගේ සුවඳ මුලු නිවසම පිබිදෙව් වා ඇය වටේට පොඩි උන් නිතරම දිව් වා සන්තෝසයෙන් හිටියත් නත්තල් දා ට කැමැති නැහැ වගේ ඉන්නට තව එක ට උනා දමා සරසා තිබු සළු ගත ට සැරසෙනවා වගෙයි යන්නට ගෙයින් පි ට නව වසරේ සුබ පතමින් ලඟ සිටි යා පැහැය සුවඳ ලස්සන අඩුවෙලා ගි යා ඉඳිකටු තුඩු බුමුතුරුණට ඇලී ගි යා රුක්ලිය ඉන්පසුව ගෙදරින් පිටව ගි යා !
කවිය බලන්න
තට්ටු නිවාස ක්‍රමයේ හිරවූ ගැමියා..

තට්ටු නිවාස ක්‍රමයේ හිරවූ ගැමියා..

සෞම්‍ය ලලිත් කළුබෝවිල අනුරාධපුරය

මිහිරි ගී අසා "කපුටු "සැවුල්" කඩා, නිදි ගැට-සිත් අවුල්, පුදා ඇති නිසා පෙර "පවු මල්" උදාකර ගමි "උදාව" නිවසේ මහල්.. කැඩූ , මුර ක්‍රමයෙ මිල අධික වතුසුදු මල් ගෙන බැතින් ශීතකරණයෙන් වඳිමි , මුනිඳුව ,"සිරවූ කුටියේ", ගොළුව බිහිරි ව හිමිදිරියෙ "හින්දි , රැප් ගී" පිරිත් මැද්දෙන්.. හැල්මෙ දිවගිය දෙපයේ වෙල් මැද්දෙන් තට්ටු බැඳ ඇති නිසා කම්මැලිකම ඇත්තෙන් හලා පොලිතීන් උර බැඳි හුයෙන් කවුළුවෙන් ඇදගනිමි.. පත්තර , එළවළු නෙක දෑ සිහිකර ගම්බිමේ පනිට්ටුව හා ලිං... කා බී හැකිනම්-හැඳ පැළැඳ "ලොකුකම්" පීරා මග දෙපස බහු රූ කෝළං උළා කළු දුම් රොටු වත මැනැවින් දුවමි කන්තෝරුවට විරියෙන් බසයෙන්.. පුදා ලොක්කාට නැති හිතවත්කම් ගෙවාලමි පැය අටක්-නිසාවෙන් පඩි පිං අඳුරු මුහුණෙන්-පඬුරු මිලකට ගත් , බිස්කට් ,ටොපී ඈ පුංචි මල්ලෙන්... සොඳුරු සිනහව පතමි "දයණියගෙන්" පඳුරු ලන දුක් නිවෙයි සැනෙකින්
කවිය බලන්න
මම දෙවියෙක්මි?

මම දෙවියෙක්මි?

සෝමබන්ධු කොඩිකාර මෙල්බන් නුවර

පළිගුවකි ලෝකය. බලන් එතුලින් - දිස්වේ පරම සත්‍යය. බිම දමා පළිගුව, බිදුනු කැබලිති අත ගෙන, බලත එතුලින් - දිස්වේ නොයෙක දසුනන් නොවේ ඒ සත්‍යය. බිදුනු ප්‍රග්නාවේ කැබලි මිස, කැබලි කළ දැනුම මිස. මම දෙවියෙක්මි! ඔබද දෙවියකු වේ මැයි.
කවිය බලන්න
මතක

මතක

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

අපෙ සෙවනැලි මියෙන දිනක මිහිදන් වූ අපේ මතක පාවී යන වළා රොදක සැඟව තියේ රහස් විලස හිරු ගිලගත් අහස් කුසක දම්පැහැවන් වළාකුලක නුඹ මා හට දුන්නු මතක රැඳී තියේ සුසුම් විලස ගණඳුර ලොව ගලන රැයක සීතල වූ සොහොන් කොතක නටඹුන් වූ නුඹේ මතක විසිර තියේ තවම හඬන
කවිය බලන්න
බාරගන්න අකමැති  අනිත්‍යය

බාරගන්න අකමැති අනිත්‍යය

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

වයසට ගියත් තරුණන් සේ සිටින්නට කැමතියි සැවොම සැකයක් නැහැ ඉතින් මට දරනා වෙහෙස නිසි වයසින් මිදෙන්නට සැමගෙම චරිත වල තිබෙනව දකින්නට ඉඩ නොම දෙමින් ගත හම රැලි වැටෙන්නට තවරයි පුයර මුළු සිරුරම වැසෙන්නට කොකුමඟරා සඳුන් සුවඳැති හැරෙන්නට ඇති නෙක ආලේප ගාගති දැනෙන්නට සමරයි උපන්දින සතුටක් ලබන්නට පවසයි නොසඟවා වයසද ඇසෙන්නට දිවි ඇති තුරා සමරන මුත් පෙනෙන්නට නොකියයි වයස කිසිවෙක් විසි පහෙන් පිට ළංවී ඇතත් හැත්තෑ පහ පිරෙන්නට සැරසෙති කෙනෙක් කරකාරද බඳින්නට බැරි මුත් බත් ඇටක් හරි හැටි හපන්නට උක් දඬු කපති සමහරු පැණි උරන්නට එකසිය විස්සෙ අග භාගයෙ ළඟින් සිට මිලදී ගනියි හෙක්ටරයක් තමන් හට ගත වෙයි වසරකුත් අස්වනු නෙළන්නට ඒ බව දැන දැනත් අරඹයි වවන්නට හැදිලා රෝගයක් බැරි සුව කරන්නට වැටිලා ඇති විටත් ඇඳ මත මැරෙන්නට රහසින් බලා බැංකුවෙ පොත් තුටින් සිට සඟවා ගනියි නොපෙනෙන සේ බිරින්දැට රාජකීය පණ්ඩිත පූජ්‍ය පනාමුරේ තපස්සී හිමි ලන්ඩන් .
කවිය බලන්න
ඉම දුටිමි

ඉම දුටිමි

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

ඇදුමින් වෙහෙසුනද තමනට කලින් ඔසු නුඹට දුන්නාද ඇය රෝමියෝ ආබාධිත ඇවිලෙනා පිටකොන්ද ඉවසා ඇනතියා පතුල් දෙවුවාද ඇය සාලිය මදුමේහිත වාරු නැති සිරුරතට මිනිස් කරුවක් උනිද සවි නැතත් සිහින් කය ක්‍රිශ්නා ආසාදිත
කවිය බලන්න
බුදු රුව

බුදු රුව

උපාලි අත්තනායක මහනුවර

සුළං පිණි පොද ගලා එනවා විදින ගල් කටු පහර දැනිලා ටිකෙන් ටික බුදු රුවක් මැවිල සුවහසක් බැති සිත් පිරීලා අනන්තවු බුදු ගුණ අඹන්නට නොහැක මට ශිල්පය මදි නොදැක්කත් බුදු හිමි නෙතින් සමාධි ගුණ අසා ඇත මම. වැටෙන දහදිය ගල් කුළුණු මත සියුම් වූවා තවත් කැටයම මවන්නට බුදු ගුණ කදම්බය හැකිවුනේ අල්පයක් පමණය. 2022 .12 .09 .
කවිය බලන්න
දැන් ඉතිං අපි යමුද කන්ථක

දැන් ඉතිං අපි යමුද කන්ථක

විදර්ශා පතිරත්න කොබෙයිගනේ

මාලිගාවක ඉසුරු කන්දක සැතපුනත් නෑ සුව ඇබින්දක අවදි වුණි සිහිනයෙන් නින්දක ජීවිතේ පිනි බිඳකි කෙන්දක රැගෙන ගියමුත් එදා ලන්දක බිම්බාව අද තාම නින්දක රාහුලෙක් ඇති ඇගේ සන්තක ගැලී නවතිනු නොහැක අන්තෙක ලොවක් දැවෙනා රුදුරු ගින්නක කුමකටද මේ සියළු සන්තක සඳ මෝදු උන සීත පින්නක දැන් ඉතිං අපි යමුද කන්ථක
කවිය බලන්න
කවි කෙටි

කවි කෙටි

වජිර ජයවර්ධන

දිගම දිග රැයවල් දිගම දිග පැයවල් තත්පර කටුවටත් ඕනෙ නැති දේවල් ================== කෙටිම කෙටි හරිම පොඩි විනාඩි කට්ටෙ නං තියෙන්නෙම එබිකං ================== ලකුණු වැඩි අය අඩු අයගෙන් පාලනය වෙන රටක උත්තර නිවැරදි නැත ================== කඳු දිහා බල බල හුඹස් වලට වැඳ වැටෙන අපි.......
කවිය බලන්න
පුරා හඳක් අහසේ පායලා

පුරා හඳක් අහසේ පායලා

විමල් ඇම්. ගමගේ

මේඝ කුමරු වැඩිය පසුව ගෙබිම පුරා තෙමා සඳ කුමරිය හිනැහෙනවා හිල් අස්සෙන් බලා දරාගන්න බැරි ඔච්චම පපු කුහරේ තියා හෙටත් යනව උළු මෝලට දෑත් දෙපා තවා
කවිය බලන්න
🗙