ඇසීම
නොකියනා දෙය ඇසීමට
හදවත සුසර කළේ
ඔබ හමුවූ මුල් යුගයේදීමය
හර්ට්ස් විසි දාහටත් වඩා
වැඩි තාර තාවයෙන්
ඔබ මොර දෙන්නේ
රික්තය පුපුරවා හරිමින්ය
ඒ හඬ ඇසී
නටුවෙන් මල් මිදී
සමනල පියාපත් සිදුරුවී
අකාලයේ කුහුඹුවන් බිහිරි විය
බරම වදනක්
සිරවී ඇතිදැයි සැකෙන්
කන් සිදුරු
අතගා බැලුවේ රහසේය
පෙරහන් කඩදාසියෙන්
නිමවා ඇති හදවතට
වැද්දාගන්නේ
නොරිදෙනා වදන් පමණය
