ඊයේ අද සහ හෙට.
සාම මහ පාගමනේ
ආලෝකය වු ආලෝකා
ලෝකයට මඟ කියන නුහුරු නුපුරුදු ගමන
සාමයේ මල් වැස්ස තව තවත් මල් පිපෙන
මහ සඟුන් වඩින මඟ සාමයේ ඉදිරි මඟ
සමඟ යන ආලෝකා ලෝකයම හිත බැඳෙන
කරුණාව දයාවට වැට ගසන්නේ කුමට
අලෝකා දිනකදී නුඹ ඇවිත් සිරිලකට
තබා පියවර සෙමින් දකුණ කොණ උතුරු කොණ
බලායමු ඒ ගමන මහ සෙනඟ සමඟ ඔබ.
ඇවිදයන නුඹේ දෙපා සිඹ ගනි රට සැවොම.
ආලෝකා නුඹ ඇවිත් අපි එක්ක යන දිනක
සාමයේ මල් පොකුරු නුඹ සමග යන ගමන
සැම දෙනා එක්වේවී උතුරු දකුණද සමඟ
කරුණාව පැතිරේවී අරුණෝද හිරු සමග
ඇවිදයමු නුඹ අපද වටහාගෙන නව මඟක
ආදරය සාමයද ලෝකයට කියා ගෙන
ඇවිදයමු ආලෝකා ආදරය බෙදාගෙන.
එක් දිනක භාරතයේ වැඩිය මහ සඟුන් හා
යාළු වී හිත බැඳි ආලෝකා ගිය ගමන
මහ සෙනඟ ගම් නගර තව තවත් දැන හැඳින
මිනිස්සුන් අවදී වීය සාමයට මල් රැගෙන.
වීඩාව ද පීඩාව පසු කරන ආලෝකා
ඇමරිකා මඟ දෙසම දරුවන් ද ජන ගඟද
ලොව පුරා කාචවල ආලෝකා පිටු පිරෙන
දුවා දරුවන් අතර හුරතලා වී යනෙන.
බර අවිද වෙඩි හඬද එපා තව හෙට දිනට
සාමයේ නුහුරු මඟ පසු කරයි නව මඟක
වෛරයෙන් උණ හැදෙන දේශපාලන බොරුද
තව එපා බොරු කියන ඒ කතා නම් අපට.
මහ සඟුන් වඩින මඟ සාමයේ මල් පිපේ
දස දහස් සෙනග විත් මල් පොකුරු තව පිදේ
මිනිස්කම ආදරය ආලෝකා යන මගේ
දේශසීමා දොඩන මතවාද බිඳ වැටේ.
අපේ රටටත් ඉතින් මිතුරු දම් පතුර මින්
ආලෝකා පා ගමනේ සාමයට යන සිතින්
රටපුරා ඇවිදයමු සාමයට මිතු දමෙන්
අපි යමුද ආලෝකා කරුණාවේ පා ගමන්
