2022 අගෝස්තු කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2022 අගෝස්තු කලාපය

ගෑස් පෙරහැර වන්ට අවසන් ලඟා විය ජය කණු බලා වීල් සයිකල් කාර් පෙරහැර නොමැත තව අහවර වෙලා සකල සිරිලක සියළු දන වෙත දයාවෙන් බැල්මක් හෙලා දියත සුපතල ඇසළ පෙරහැර ගමන් අරඹයි බල ලොලා

අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන

ලන්ඩන් කවි සැප්තැම්බර් – ජැක්සන් ඇන්තනි උපහාර කලාපය.

කලා සපිරි, එක සහ එකම ජැක්සන් ඇන්තනි ශූරින් වෙනුවෙන් සැප්තැම්බර් කලාපය නම් කෙරේ. ඔහු පිළිබඳව ඔබ ගේ උපහාරය, ආදරය, අගය කිරීම ගොනු කර එවන්නේ නම් සුවපත් වූ පසු ඒවා කියවා බලා ඔහු සතුටුවනු නොඅනුමානය…


ඉරි දොරට වැඩුම ජැක්සන් ඇන්තනි දෙසුම

ගමට ගියෙමි

ගමට ගියෙමි

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

සාද අතුල සුර සැප රිසියෙන් වින්දේ නාද නෙලන පන්හිඳ අතැතිව නින්දේ වාද නොකල මුත් ජීවිතයයි ඇන්දේ බේද නොමැත හිත තවමත් ගං මැද්දේ පාද ගෙවෙන ලඳු කැල ගං දිය සද්දේ සේද ඇන්ද උකුලට බර දිය බැන්දේ වීද පමා කුකුසකි හදවත මැද්දේ මාද පන්හිඳත් කවියක රස වින්ඳේ
කවිය බලන්න
පාඩමක්......

පාඩමක්......

"පසුගිය පාඩම පෙරලා ගන්න.... .." ගුරුතුමා අණ කරයි ! ආර්ථික විද්‍යාව යනු කුමක්ද ? ගැ ති වෙමින් සල්ලියට නෙතු පුළිඟු දිලි සෙනා ඇ ති එකා ගොඩ ගසයි මැදුරු මන්දිර තනා නැ ති එවුන් සුසුම්ලයි කුස පොත්ත හැකි ලෙනා ඉ තින් වෙනදෙයක්නම් නොදන්නෙමි මෙය විනා ඉල්ලුම -- සැපයුම ම ල් ලියා හාමතේ ඉකි ගසන කඳුළු බිඳ තොල් තියා මවගෙ වියළුන දෙතන උරන සඳ ඉ ල් ලුවෙමි පිළිසරණ කුහක ලෝකයට වැඳ ග ල් මුගුරු විනා වෙන දෙයක් නොදුටුවෙමි ලද මුදලේ අගය හොයා කුලියක් ගමේ වෙහෙස වී සවි වරා ද යා බර මෑණියන් තැවෙයි ලෙඩ ඇඳ අරා උ යා ලුණු කැඳක්වත් ඇයට දෙන්නට පෙරා කි යා නිම කළ නොහේ අගය මුදලෙහි කිරා නම්‍ය තාවය රි වි කිරණ සිඳීලා අඳුර මැද හති ලමින් දැ වි දැවී සුසුම් රැලි වැසෙන සඳ කළු දුමින් ස වි ය සැනසුම ගෙනෙන විමුක්තිය අය දිමින් දෙවි කෙනෙක් ළඟ නැමෙමි ආත්මය පුද දෙමින් " විභාගය අත ළඟයි ළමයිනේ........ " තිගැස්සී අවදි වුණෙමි ගුරුතුමාගේ හඬින් දෙවියනේ....... විභාගය..........?
කවිය බලන්න
අනවරත මායාව

අනවරත මායාව

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

ඈත සිට සඳ එළිය මැලවුණු කළු වළාවක පැටලි පැටලී දඟකාර ලෙස උසට විහිදුණු රුක් මුදුන් හරහා පෙරී විත් වැටෙන පණ ගිය කිරණ පිහිටෙන් නුඹේ මුව පැහැදිලිව නොපෙනේ සදා මා හද පිරී ඇවිලෙන රශ්මි දහරා එළිය විහිදා නුඹේ මුව මා දෙනෙත් දුටුවේ නුඹට හොර රහසෙනුයි සොඳුරේ නුඹට මා නොපෙනේය අඳුරේ මාද නුඹ නොදකීය අඳුරේ ඈත මිලිනව දිලෙන සඳ රැස් විලස දිලිසේ මහද අරණේ හීන් අඳුරින් මලොව වැසිලා නුඹට මා නොපෙනෙන්න සළසා මසිත ගොළු කොට වියළි කරවා සිහින් මද නළ හමා යනවා ගස් කොළන් වැල් එකට එතෙමින් මල් පලින් බර වෙලා හිනැහී මදෙස බලමින් ඉඟිපාන සේ සෙනෙහසක් හද තුළ නැගෙන්නේ නභෝ-මණ්ඩල මිනිස් සිත තුළ පුරා පැතිරුන හිස් අහසවන් සිතේ මායා ලෝකයක් වේ නුඹද නොදනී මාද නොදනී [මා විසින් රචිත 'හඬනා උතුනී' කාව්‍ය සංග්‍රහයේ පළවූ කවියකි]
කවිය බලන්න
සුපුරුදු සිනහව පානු මැන ........

සුපුරුදු සිනහව පානු මැන ........

අනුර හෑගොඩ

දැනට අට මසකට පමණ පෙර ශ්‍යාම කුමාර මුණසිංහ කිවිඳානන් ගේ 'ඉරි' කාව්‍ය සංග්‍රහය ලන්ඩනයේ සිට Zoom තාක්ෂනය මඟින් දොරට වැඩි දා ඒ පිළිබඳව දේශයක් කල ජැක්සන් ඇන්තනී ශූරින් හඳුන්වාදීමට මෙම කවි දෙක ලීවෙමි. ඔහු හඳුන්වාදීමට මට හැකියාවක් නොමැති බවද මේ ඔහු ගේ කුසලතා පිළිබඳව සියයට පනහක් බව ද සඳහන් කලෙමි. අලගියවන්න මුකවෙටි කවි පඬි වියත ලිව් කරුණක් වේය සැකයක් ඇත මවෙත "ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත" එහෙනම් කෙලෙස ජැක්සන් දිනුවේ දසත රැඟුම නැටුම ගැයුමට එක ලෙස සූර කථනය අරුම බස් වහරකි බරසාර සකල කලා පිරි ලැබූ ජන උපහාර ජැක්සන් ඇන්තනිඳු ඉරි ඔබටයි බාර අද අපි ඔබ සර්වබලධාරී දෙවියන් වහන්සේ වෙත බාර දී , සුවපත් කරදෙන ලෙස යාඥා කරන්නෙමු.
කවිය බලන්න
ලද  අත්දැකුම්......

ලද අත්දැකුම්......

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

බලා සිටියෙමි බොහෝ කල් හිඳ සිටින අයවළු ගැන ලඟ සම හරක් ඒ අතර මෙන් විය කණ හපන අය සිට අඟ උනොත් අමතක ඉහල යන්නට මං තනාදුන් ඉණිමග වැටෙනු නියතය යලිත් පොළොවට පමණි ඉතිරිය මහමග
කවිය බලන්න
සඳවතිය සැඟවිලා

සඳවතිය සැඟවිලා

අන්ජලී චන්දිමා සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

විසල් අහසට පෙම් බැඳන් උන් සඳවතිය නෑ සැඟවිලා ඒ පෙමට නිති සහය දැක්වූ තරුත් දුකටම මැලවිලා විසල් අහසම තනිවෙලා කඳුලු සලමින් වැලපිලා ඒ කඳුලුවල පහස ලබමින් පොළව සතුටින් ඉපිලිලා අංජලී චන්දිමා සිල්වා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
කවිය බලන්න
මෙදා උපන් දිනේ  ......

මෙදා උපන් දිනේ ......

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

තරුවක් අරගෙන වරුවක් යන්නට දුර එක යොදුනක් හිත ගිහිල්ල Highway එකෙ ගන්නව පොඩි නිවාඩුවක් පරණ පුරුද්දට හිටියත් අහන්න හුරු පුරුදු හඩක් මෙන්න බොලේ Facetime එකෙන් එනව කොල එළියක් ලැබුණත් දහසක් පැතුමන් එක්කල Sticker රැසක් බලාන ඉන්නව එනකන් ඔබෙන් ලැබෙන තරු අකුරක් මල්ලක් කඩචෝරු ඇතත් Cupboard එකේ තට්ටු දෙකක් රටකජු ගොට්ටක මතකය දුවනව දුර රස ගමනක් අත් අල්ලා හිත සතුටින් සදතැන්නේ ගෙවුණු රැයක් Photo අතර හිත දුවනව දුරින් දුරට දුර ගමනක්
කවිය බලන්න
කඩා වැටුන තරුවක්

කඩා වැටුන තරුවක්

ආරියරත්න ජයසිංහ මහරගම

සඳ හැංගී ගිය අමාවක දවසක අනන්ත ග්‍රහ තරු දිලෙන රෑ මැදියම පටු දේශසීමා නොමැති හිස් අහසක ග්‍රහ යුද්ධයක් සිදුවිය දෙදරවා නුබ ගැබ ඇසුනි දසතින් අසණි සෙණ අවි පුපුරනා හඬ එක් කුඩා තරුවමියක් අහිංසක වැදී මිසයිල් පහරක් බිඳී හදවත කඩා වැටුනා හිමාලය කඳු මත දැවෙන උල්කාපාතයක් විලසින දෙදරවා මෙහෙසුරුගෙ කෛලාශ කූටය. මෙහෙසුරු තෙමේ රැගෙන එය තම දෝතින් තැන්පත් කළා සුරැකිව අති මහත් බැතියෙන් මිනිසත් වගට මතුනොව සව් සතට අදරින් පෙම් කරන එක් කුඩා මිනිසෙකුගෙ නිතියෙන් සුවිසාල හදවතේ සැමදා දිළෙන විලසින්.
කවිය බලන්න
නිකිණි පෝයදා....

නිකිණි පෝයදා....

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

සමයක් නිසා වැසි වැඩි මතු තුන්මාසේ රුක්මුල් අසල ඇතිවන සීතල දැඩිසේ අපහසු නිසා කරනට බණදම් රිසිසේ එකතැන විසීමට දුන්නා බුදු උපදේසේ පෙරවස් වසන්නට තිබුණත් පෝයට ඇසළ මගහැරුනොතින් සඟුන්හට ලැබුමට සීල පසුවස් වසන්නට පොහොදින විසුල නිකිණි පෝයදා සිදුවෙයි විලසින් පතළ ලලාට ධාතුව අපේ ගෞතම බුදුහිමිගේ තැන්පත් කරවන්න මත්තෙහි ලක්මවගේ ඉදිකරවන්න සේරුවාවිල වෙහෙර අගේ වැඩ ඇරඹුනේ නිකිණි පොහොදා ඈත යුගේ දෙසුදම් සයුර අපෙ සම්මා සම්බුදු හිමි මතකයෙ තබාගත් මැනවින් නැතුව නිමි ලැබුවේ රහත්භාවය බිඳ සසර බැමි නිකිණි පෝයදා මහ ආනන්ද හිමි ගෞතම බුදුන්ගේ මහ පරිනිර්වාණෙන් තෙමසක් ගෙවුණුදා මහ කසුප් තෙරුන් මුල්තැන අරන් අජාසත් රජු අනුබලෙන් නිකිණි පෝයදා කළේ සංඝායනේ මුලින් සම්බුදු සමිඳු වැඩ සිටියදි දෙව්රම් වෙහෙර එළඹුණු වස් සමයෙ එකුන් පසලොස් වසර අසා බුදුන්ගෙන් රාහුල හිමි රාහුල සුතුර ලැබුවේ රහත්භාවය පොහොදා නිකිණි පුර දළදා සමිඳුහට පුදමින් බොදු බැති උපහාර කරනා උතුම් පෙරහැර මංගල්ලේ මෙම වර සෙංකඩගල වීදි සරන අවසන් රන්දෝලි පෙරහැර අදයි දිනේ පුන් පොහොදා උතුම් නිකිණි පුර
කවිය බලන්න
ටකරන් මඩුව......

ටකරන් මඩුව......

තුන වසරේ දි මම හිටි ටකරන් මඩු ව ඈතින් පෙනෙයි සිරිපා කඳු මනහර ව පන්තිය නුදුර ඇති සුරිය ගහ මුලු ව පොත්තක් නොමැත එහි ඇති දලඹුව හමු ව වසරේ හැමදාම තැන හතලිස් එක හරි ය මෙතරම් ලකුනු අඩු පුත නැහැ නේ සරි ය ඉතිහස, භුගෝල මට නිතරම බැරි ය අම්මා අකුරැ කීම ද හරි අමාරැ ය කහ සමනලුන් යන සිරිපා හැම වාරේ මුල් ගරැතුමා පුතු හැම දා අවිචා රේ පමා වී පැමිණ සිසු කරදහි ගනින් පොරේ අයුක්තිය බැලිය නොහැකි හද මාඉතින් පොරේ දිනක දි පමාවී මා පංතිය වෙත ආවා තොසා වෙන සිසුනට ද කරනා පිළිවෙල කීවා දෙසා ඉවසනු නො හැකි බෑ, මා රකුසෙකු විල සා ගැහුවා ටකරම ට උස්සා පොල් පිත්තක විලසා නොහො බින වචන පැවසු බව ගුරැතුම ට දාහත් වරක් රැව්දුනි වේවැල අත් දෙක ට තව තහනම කි ක්‍රීඩාව ට නොයෑම ට සිදුවිය බෝඩිමේ වසර ම තැපීම ට අන් යහලුව න් එක් වී ක්‍රීඩා කර ආවා මගෙ ඉරිසියා නෑ, දැන් හිත පොත ගාවා තව තව අලුත් අදහස් හැම දා මට එක් වුවා දින දින අලුත් මිණිසෙකු සේ පිය නැගුවා වසර අවසාන පැවතුණු විභාග යෙන් මා මුල් තැනට තේරී ඇත නොසිතු ලෙසින් අදහා ගන්න බැරි තීරණ යක් විලසින් ජීවිත ගමනෙ වෙනසත් විය මේ විලසින් සෑම අවාසිය ක්ම, වාසියකට පෙරළා ගන්න ඔබට ජය.......
කවිය බලන්න
ගිණි දළු හා සීතල

ගිණි දළු හා සීතල

චන්ද්‍රලාල් ද සිල්වා තොටගමුව

සියළු දේ හලු කලන් ලං වෙන්න බැරි වුනත් ගිණි දළුත් සුන්දරයි දැල්වද්දි බුර බූරා මවමින් විවිධ හැඩතල රූ රටා අකමැති වුවත් කොපමණ සීතල තමයි ඕනම සීතලට හුරු වුන මිනිස්සුයි ජයගත්තෙ ලෝකය ද්‍රව්‍යමය
කවිය බලන්න
විප්ලවයක් ම වේවා..

විප්ලවයක් ම වේවා..

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

උස් කාලයක් තිස්සේ කන්දක් දුන්නු පීඩනය හීන් දිය පාරක්‌ ගලා තැනිතලා කර ඇත නාය ගියත් දේපළ කවුරු ඇසුවාද කන්ද දුන් පීඩනය සයුරු ගැබ ඔක්කාරව කුණු කන්දල් සේරම වැලි මාලිගා ද සුන් කර වීසී කරඇත වෙරළ ට සාප කළ මුත් මුහුදට කවුද දැක්කේ දියඹ පැසවන දුක භාරත තනපුඩුව යට එකම කිරි බින්දුවට ගොම කුරුමිණි වැහුවම කිරි දරුවෝ තටු කඩා ඇත බැන්නා ට අරගලය ට දුටි ද හොරරැළ එකතුවන රඟ
කවිය බලන්න
කලාත්මක  පැතුමන්

කලාත්මක පැතුමන්

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

තාත්තෙ මොනවාද අඳින්නේ අද මුහුරත් උළෙලට ....... මම නම් මඟුල් ගෙදරට යනවා වාගෙයි අඳින්නෙ,.... කලාකරුවාණන් ගේ දුරකථන පිළිතුරු තම පුතුට,... සිංහබාහු චිත්‍රපට මුහුරත් උළලේ,.... කැපීපෙනුණේ ඔබ රන්වන් පැහැති ඇඳුමින් නරඹන්නන් විස්මිත කරමින් අයස්කාන්ත රංගනයෙන් සිංහබාහු චරිතය පණ ගන්වමින් කලා ලොව සොලවමින් රඟ පෑ කලාකරුවානෙනි,...... උතුම් නිරෝගී සුව ලබමින් එක්වන්න අප අතරට සියලු දෙවි පිහිටෙන් !!!! ගිඡිදානෙනි වන පෙත් අරණට සොයාගෙන ඵන්නම්,..... ලැබූ සැනකින් ඉන්ධන වෘක්ෂ ලතාවන්ගේ ඖෂධීය පිහිටෙන් නිරෝගී සුවයක් ලැබ එන්න අප අතරට නොබියව,..... ගිඡිදානෙනි,.. ඔබ නිදොස් කොට නිදහස්කර හමාරය. 16/7/2022
කවිය බලන්න
මධු විතින් සැඟැවුනු යාතාර්ථය....

මධු විතින් සැඟැවුනු යාතාර්ථය....

ලේඛක, පරිවර්තක චන්දන ගුණසේකර ලන්ඩනය

බිඳෙන් බිඳ හිස්වෙනා මධු විත පිරවිය හැකි නමුදු යළි යළි දිනෙන් දින ගෙවෙනා වූ දිවි මල පරව යයි ප්‍රමුදිතව නොම යළි සෙමින් දිව යද්දී රස මධු ගත නහර පුරවාන සැළි සැළි වයස අමතකව සිතිවිලි නැගෙයි සඟවාන සම රැළි නග්න අඩවන්වු නෙතු යුඟ බොඳකර දසුන් සියුමැළි විඩාපත් මහළු ගත සිත පුබුදුවාලා මවයි හසරැළි මත් වී තිරිහන්ව නින්දට ගියද තරුනකුව හැඩිදැඩි පසු දා අවදි වී බැළු සඳ හොල්මන් කරයි මහළු සෙවනැළි....
කවිය බලන්න
උක්ත අහිමි ආඛ්‍යාත

උක්ත අහිමි ආඛ්‍යාත

ඩිල්හාන් ෆොන්සේකා ඔස්ට්‍රේලියාව

ක්‍රියාවක් කරන්නා තමයි උක්තය කරන ක්‍රියාව ආඛ්‍යාතය ක්‍රියාවට ලක් වෙන්නා තමයි කර්මය "ඔය බොරු" මම කිව්වා මිස්ගෙ මූනට "උක්‍තයක් නැතත් ක්‍රියාවන් කෙරෙනවා" රතු වෙලා මිස්ව තරහට ඉස්සුවේ නැතත් වේවැල රැදිලා තිබුනා මිස්ගෙ සුරතෙම " ළමයෝ වාක්‍යයක් උනත් කර්ම කාරක කරන්නෙක් ඉන්නවා ඒ තමයි නියමය" මම හිටියෙ ඇස් හරව ගෙන බිමටම "හොදයි කියනවකො තමුන්ගෙ උදාහරණය" මතක් වෙන්නෙම අක්කගෙ කඳුළු පිරි මුහුණම "අක්කා තමයි කර්මය" "බඩට ලමයෙක් දීලා ආක්‍යාතය” "කොහෙද මිස් එතකොට උක්තය?" "මරන්නම හැදුවත් අම්මා ඒකිව කිව්වෙ නෑ උක්තයක් ඇති බව අක්කා හරි බයයි මිස් අම්මට උන්නා නම් සහතිකයි කියනව ඒකි ගැම්මට මිස් හිතන්නෙම උක්තයක් ඕනිමද ආඛ්‍යාතයකට?
කවිය බලන්න
අත සැපීම...!

අත සැපීම...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

කන්න දුන් අත සපන බව ඇත අසා සැම, පොඩි කාලයේ... මෙන්න බලනුව එවන් දසුනක් ගැලපෙනා ඒ තාලයේ... දුන්න කල අප උදව් යම්කිසි අයෙකු හට ලෝ ගෝලයේ... පන්න පන්නා සපන්නේ මේ ලෙසිනි, නෑ තෙත ඒ ලයේ... කිරි පෙවූ නයි දස්ට කළ බවකුත් ඇතේ නිතරම අසා... තිරිසනුන් හට සිතනු බැරිකොට සමා දිය හැක ඒ නිසා... සිරි මවා සිනහා පපා එන මිනිස් කැල කරතත් ගොසා... නරි වගේ හැසිරෙනා කලනම් එපා වනවා හද නසා... මුලින් පානා සෙනේ කෙලෙසද වෙනස් වන්නේ , එක සැනේ... දලින් විස පිට කරන අයුරින් දොඩවමින් එහෙ මෙහෙ වැනේ... කලින් කල ඒ පැහැ වෙනස් වන රෝගෙකින් පෙලෙනව දැනේ... තුලින් හද පැන නගින්නේ දුක සිහි කැඳවමින් වැදි, ඇණේ... දක්ෂිණි සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා. දෙහිවල . Attachments area
කවිය බලන්න
හඬන ලක්මව

හඬන ලක්මව

දමයන්ති රූපසිංහ බ්‍රිස්බේන්

තුන් තිස් පැය ම පිරිතෙන් මය ගතවෙන්නේ පැතුවට පැතුම් නෑ රට නම් ගොඩ යන්නේ දුෂ්කර සමය කරුමය බව නොසිතන්නේ මොළගෙඩි කොහිද ලොකු තැන්වල මිනිසුන්නේ අතහිත දීලා සුළු නිපැයුම් කරුවන්ට ලෝකයේ අනිත් රටවල් යයි ඉදිරියට ලක් මව යන වගක් නොපෙනෙද පසුපසට ඉදිරිය අඳුරු මය නිපැයුම් නැති රටට දළදා මැදුරෙ, කැළණියෙ සහ අනුර පුරේ හැංගූ කාසි එළියට ගෙන මෙදා සැරේ පැදුරේ ඉන්න මිනිහව තිබ්බොත් මැදුරේ මහ සඟ රුවනටත් දෙව්ලොව දොරක් ඇරේ සෝ ගිනි දැවෙයි දකිනා සැම පුවතකම දින දින වැටෙන හැටි දැක මගෙ උපන් බිම නැඟි කඳුලකින් තෙත් වුණ ඇස් දෙකෙන් මම ලියවුණ කවියෙ දොස නොදකින් මිතුරු සැම
කවිය බලන්න
සද කැලුම් ....

සද කැලුම් ....

දීපා ද සිල්වා ලන්ඩනය

වැව් කන්ඩියට නෑගම් එන පුර හදට පාවඩ එලන්නට සැරසෙන තරු කැලට යහන තනන්නට වෙහෙසෙන නිල් ගැබට චාමර සලන්නට හැකි වෙද මද නලට සද කැන් වැටී දිලිහෙන රන්වන් වතුරේ සේරුන් නා ගනී කලකින් ලද මිහිරේ සෙවනැලි රග දේවී කෙකටිය මල් පදුරේ නිදිගත් ඕලු මේ සිරි බලනට ඇහැරේ වවුල් පියාපත් වදිනා නාදයට දවුල් බෙර පදය පරයන තාලයට දිවුල් ගහේ එල්ලී සිටි සාරයට තැවුල් නිවේ මේ සුන්දර කාලයට මෝරා වැඩෙන සද මඩලේ කාන්තියයි කුමුදු කුසුම් සිත් පුරවන ශාන්තියයි සිතුවිලි ඉමක තනිකරවන රාත්‍රියයි සරතැස නිවා මල් පුදින සුයාමයයි සැම සුවදින්ම පෙරමුණ ගත් සිල් සුවදයි නල මුදු රැල්ලෙ දැවටී ගත සිත සනහයි බෝ පත් සද කැලුම් සමගින් බණ තෙපලයි හදවත් නිවාලන දම් සාදයේ සිසිලයි
කවිය බලන්න
හොරුන්ට යති කඩේ

හොරුන්ට යති කඩේ

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

නිතර අම්ම පුංචි කාලෙ යැව්වා මාව කඩේ තිබුණෙ රොබට් අයියලාගෙ ගෙදර පුංචි ඉඩේ වෙහෙස නිසා පැදන් ගිහින් මගෙ සයිකල් ලඩේ ඉතුරු සල්ලි වලට ස්වීට් දා ගත්තා බඩේ පුරුදු වෙනව මේ විදිහට ගමේම කොලු නඩේ සහය දීම වරදක්‍ නැහැ නිකං ඉන්න විඩේ නරක මේකෙ ලොකු වුණාම පෙන්වා වැඩ කිඩේ නැතිව සංගෙ දෙස්පාලකයින්ට යෑම කඩේ කැමහි එකා කළත් අමන වැරදි නොයෙක් හැඩේ නොපෙනි වගේ සිටින එකත් ලක්ෂණයකි ලෙඩේ නොලැබ වුණත් ගරු සේවෙට එකක් පුංචි වඩේ නොගහ අමුඩෙ පීනනවා බැහැලා වසුරු ගොඩේ දැවුන පුස්ථකාලය ගැන ගැලුව දිගට හොඬේ කඳුළු නොමැත පාසැල ගැන වැසුව නෙතඟ තුඩේ ඇසෙන විටදි හොරකම් ගැන රකින සීල කැඩේ කැතයි නැමෙන හැටි හොරුන්ට වගේ නමන කුඩේ රකිනු පිනිස පාහරයින් බොරු බේගල් දෙඩේ ගහල යද්දි සුනාමියෙන් පලක් වෙයිද අඩේ අතැර නොදා ගියොත් තවත් රට එරෙන්නෙ මඩේ මෙයට ගෙවයි මතු පරපුර හෙට දිනයෙදි දඩේ
කවිය බලන්න
මේ ණය ගෙවා මිස කෙලෙසක මිය යම් ද

මේ ණය ගෙවා මිස කෙලෙසක මිය යම් ද

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

බත් දුන් ගොයම ලය දී පණදුන් දෙරණ මා ගත නහර ලේ බිඳු පණ දුන් දෙරණ අත දරුවකු ව මහ මිනිසකු කළ දෙරණ මට අමතක ද මා ණය ගැති බව ඔබ ට මා ඉපැදුනේ මගේ ලෝකය වෙනුවෙන් ද තනතුරු ඉසුරු සුව යහනාා වෙනුවෙන් ද සාරය ඔබේ මා මිනිසකු නොකළේ ද මේ ණය ගෙවා මිස කෙලෙසක මිය යම් ද මහ වැව් තනා නිල් ගොයම ට පණ දෙම් ද කවු . ගී ලියා ඔබේ ගුණ කඳ නමදිම් ද සටනට ගොසිිින් ඔබ වෙනුවෙන් දිවි දෙම් ද මතු පරපුරට ඔබ කෙලෙසක රැක දෙම් ද 2010 අප දෙපයින් සිටුවා මහ මිනිසුන් කළ දෙරණ ට අප ණය ගැති බව අමතක කළ හැකි ද ? .අප ඒ ණය නොගෙවා මිය යතොත් අප කවර දරුවෝ වෙමු ද ?
කවිය බලන්න
රට වටේ වැට ගසනු

රට වටේ වැට ගසනු

මහාචාර්ය ටී. එල්. ගුණරුවන්

වල් ඌරු රැළ කැකුණ ගෙඩි තලන වෙලේ හබන් කුකුළට නොවෙ ද රජ මඟුල මලේ ? පුරවැසින් හබ කරත බෙදී තම පිලේ දැයේ උරුමය වැටෙයි සොර සතුරු දැලේ හොඳ වෙදුට ඉඩ දුන ද සිහි සිඳින නිලේ දෙමු ද අවයව සොරුට සැත්කමට බලේ ? වකුගඩුව ගැලවුණොත් ඉඳිත සැත් හලේ සුව විණැයි රැවටිලා කිම ද ඇති පලේ ? වෙන්දේසි කරුවන්ට ආ විටදි දළේ රට-දැයෙහි හතර කොන අලෙවි වෙයි පොළේ හෙට දිනක් පතන්නන් ගොනු වෙලා රැළේ රට වටේ වැට ගසනු, ඇතොත් සිහි මොළේ ....!
කවිය බලන්න
කුරිරුය ලොව දම්

කුරිරුය ලොව දම්

හසිතා ඉන්දීවරී දාස්වත්ත

නෙළා ගත්තු මලෙක රැඳෙන්නෙ නැහැ සුවඳ දකින කලෙක මලක නෙළන්නෙමැයි සිතෙන නොනෙළුෑ මල දකිත හද පැලෙතැයි සොවින නෙළන කලට මලෙක රැඳෙන්නෙ නැහැ සුවඳ 2021. 01. 05
කවිය බලන්න
සෙල්ලම් බඩු

සෙල්ලම් බඩු

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

සෙල්ලම් බඩු දරුව, කොයිතරම් සතුටින්ද නුඹ! උදෑසන පටන්ම, දූලි පිරි බිම හිඳ කෝටු කැබැල්ලකින් සෙල්ලම් කරමින් නුඹ දෙස බලා සිනාසෙමි ගිණුම් වැඩ කර පැයට ගෙවුම් ලබමි සමහරවිට නුඹ මදෙස බලා සිතනවා ඇති "කොයිතරම් මෝඩ සෙල්ලමක්ද… උදේ වරුවම නාස්ති කරගන්න!" දරුව, කෝටු කැබලි හා කෝම්පිට්ටු වෙත ඇලී හිඳින්නට මට දැන් අමතක වී ඇත මා සොයන්නේ මිල අධික දේ ය රන් හා රිදී ගොඩවල් එකතු කරමි නුඹ නුඹට සොයාගතහැකි දේ ඇසුරෙන් සතුටු සෙල්ලම් මවා ගනී මම මට කවදාවත් ලබාගත නොහැකි දේ වෙනුවෙන් කාලයත් ශක්තියත් වැය කරමි මගේ දුර්වල ඔරුවේ නැඟී ආශාව නම් සයුර තරණයට වෙර දරද්දී මාත් නිරතව සිටින්නේ සෙල්ලමක බව අමතක වේ මට පරිවර්තනය- හෙල්මලී ගුණතිලක Translation of the poem Playthings by Rabindranath Tagore Link to Original poem https://www.poetryfoundation.org/poems/45671/playthings Poet’s bio translated from Britannica Copyright free photo from pixabay 1861දී ඉන්දියාවේ කල්කටාවේ උපන් රබීන්ද්‍රනාත් තාගෝර්- කවියෙක්, ගීත රචකයෙක් කතුවරයෙක්, චිත්‍ර ශිල්පියෙක් සහ දාර්ශනිකයෙක් ලෙස හැඳින්විය හැක. ඔහුගේ සාහිත්‍ය නිර්මාණවල භාවිත කර තිබෙන විචිත්‍ර ගීතවත් බස නිසා ඒවා ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා ප්‍රචලිත විය. තාගෝර්ගේ ගීතාංජලී කෘතිය වෙනුවෙන් 1913දී නොබෙල් සාහිත්‍යය ත්‍යාගය පවා පිරිනැමුණි. බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ ජාතික ගීයන් ඔහුගේ නිර්මාණ වන අතර ශ්‍රී ලංකාවේ ජාතික ගීයටද ඔහුගේ ආභාෂය ලැබුණු බව කියවේ. සාහිත්‍ය ලෝකයට මහත් සේවයක් කළ රබීන්ද්‍රනාත් තාගෝර් 1941 දී අභාවප්‍රාප්ත විය.
කවිය බලන්න
ස්ථම්භය

ස්ථම්භය

මාලපල්ලේ හේමාංගි අමරසිංහ

මතක දිවේ ගව් ගණනක් ඈතට කහට ගසේ දිගිලිය ගම්මානෙට මොර ගස් පීදී මහ දං රෑණට අතු අග බර වී පොකුරු ගැසී වට... දෙමාපියන් දෙදෙනා අයියා හා අක්කා සමගින් සතුට බෙදාගෙන පුංචි එකී මං සාරියෙ එල්ලී ආවා මතකයි දුව-දුව පැටැලී... කොළඹ ඇවිල්ලා ඒ ගම්මානේ හිටියා මනසින් ගස්-ගල් ගානේ මතක පොතේ හිටි ගමේ ළමයි හැම දවසින්-දවසෙ ම ඉරී ගියේ කොළ... සීලවතී යසවතී ගුණවතී කේතුමතී රන්මැණික පියවතී එ වෙනුවට අදේශක එක් විය මහප්‍රාණ ඇලපිලි නං වැඩි විය! චිත්‍රෙට ඇන්දෙත් වැව, දාගැබ,කෙත මන්දිර වෙනුවට පැළයි සෙවිලි කළ මෝටර රථයක හඩක් නොමැති තැන “කර-කර” ගෑවේ ගොනු බැදි දෙසකය... සද්ධ-බද්ධ වී දෙන දොංකාරේ කරයි මනස නිති අවුල් විකාරේ කොළඹට කිරි වුව කෙරෙන ප්‍රකාරේ ගම සුව‍ ‌දෙයි‍ තවමත් ගැමි ආරේ!!
කවිය බලන්න
නුඹට කවි ගැයෙත්වා

නුඹට කවි ගැයෙත්වා

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

උනා භවබිය සරා සඳ දැක පිපෙන සුවඳැති කුමුදු මල් අම්බපාලිය වැන්නවුන් අප'තරත් වයනව මිණි මෙවුල් කන්නගිය සේ බිඳී හදවත නොදැල්වූවට අග්නි දැල් බිඳීලා ගිය දෙපලු හදවත් පණ පොවයි ලෝකෙට විසල් සදා කාලෙට කුස රජුන් සේ කිරුළු නොම'ලන හිමි ළඟින් මෙදා පතිනී සහක් ඇති හදවතට ආලේ අගුළුලන් විදා දෑතම කිසිත් නොකියා කුවේණිය සේ නොම කරන් පුදා වඳිනට සදිසි තනි මව් රජ කරා ඇගෙ දරු රුවන් ඉසුරුමුණියේ ශිලා ගත වී සිය ගණන් වස් පෙම් කරත් මෙදා භවයේ දිනක හමුවක් දරා ගත්තා ගැහැණු හිත් පිපී සුවයේ හිනැහෙනා රත් උපුල් දෑඟිලි අග නැතත් සුකෝමලියේ නුඹට සීගිරි ළඳුනටත් නැති කවි ගැයෙත්
කවිය බලන්න
හැදූ මව

හැදූ මව

හේමා ඩෙප් ලන්ඩනය

මං පුංචි දවස් වල - මගේ පසු පස්සෙන්ම හිටියෙ මට ලං වෙලා - මගේ ලොකු අම්මාය ආදරය කරුණාව - වගේ ගුණදම් වලින් ඇය ඉතා පොහොසත්ය - කියා මට කිවහැකිය තනිකඩව හිටියාට - ඇයට තනිකමක් නැත උදෑසන නැගිටලා - මගේ මුව දොවාලා කිරි ටිකද පොවාලා - ලස්සනට අන්දවා නලල මැද කළු පාට - තිලකයක් තබාලා ආදරෙන් සෙනෙහසින් - ඇගේ උකුලට අරන් මගේ හැඩ බැලූ හැටි - අදත් සිහියට නැගේ මහන්නට ලස්සනට - කරන්නට ගෙත්තම්ද ඇගේ මුළු ජීවිතය - හැම අතින් බැබලුනේ හිතන්නට බැරි තරම් - ඇගේ දස්කම් මතය ගමේ පොඩි කෙල්ලන්ට - ගවුම් පොඩි මසාලා අන්දවා හැඩ බලා - විදි සතුට අපමණයි මා ඇගේ මැණික යැයි - සැම විටම පවසලා මගේ මුව සිප ගත්තෙ - ඇගේ මුළු ලෝකයම මා මිසක් වෙන කෙනෙක් - නොවන බව කියමින්ය මා ඇගෙන් ලබාගත් - සෙනෙහසක මහිමයද මගේ මුළු හදවතෙහි - සදාකාලිකව ඇත සෑම මසකට වරක් - බුදු සමිඳු ඉදිරියේ මල් පහන් දල්වලා - සීලයක පිහිටලා අපේ හදවත් වලත් - ගුණ දහම් පුරවන්න මහත් ආසාවකින් - ජීවිතය කැප කලේ ඇගේ මුළු හදින් බව - මගේ සිහියට නැගේ කුස්සියේ පාලනය - ඇගේ තනි මතයටයි සේවකයො පිරිසගෙන් - ලබන සහයෝගයයි ඇගෙ අතින් නිමවෙන්නෙ - රසම රස බෝජනයි ඇගෙ අතින් බත් කවා - මිස මාව සනසන්න මගෙ මවට ඉඩ නොදෙයි - අයිතිකරු ඇය කියයි මා කොතෙක් කෑවත් - හොරෙන් ඇය ළඟ ට ගොස් ඇගේ බත් පිඟානෙන් - මම කටක් නොකෑවොත් මගෙ බඩට මදි බවක් - හැමදාම දැනී ඇත ඒ ඇගේ ආදරය - මට ලැබුණ සම්පතයි කොහෙ ගියත් ඇය යන්නෙ - මගේ මුව සිප ගෙනය දඟ නොකර ඉන්න යැයි - සෙමින් මතුරා ගෙනය මා කරන හොර වැඩත් - අම්මාට නොකියන්න වග බලා ගත් මගේ - එකම යෙහෙළිය වුනේ මගේ ලොකු අම්මාය - මා හැදූ අම්මාය ....
කවිය බලන්න
ජීවිතේ මට බයක් බං

ජීවිතේ මට බයක් බං

කටට හරිම කාලකණ්නි රහක් දැනෙනවා බං අසරණකමයි, සල්ලි නැති කමයි පැලෑනක් පෙන්නන්නෙම නෑ ජීවිතේ බයක් බං. පුතාගේ පන්ති සල්ලි දූට අලුතින් සපත්තු වයිෆ්ගේ සීනි බෙහෙත් කිසි දෙයක් හිතා ගන්නවත් බෑ බං පර්ස් එක සූරල සූරල වීල් එකට ලීටර දෙකක් ගැහුව වැඩට යන්නත් එපෑය නැතිනම් පඩි කපනව ජීවිතේ මට බයක් බං. පෙරේදා ගත්ත ඇඩ්වාන්ස් එකෙන් යන්තම් සිලි බෑග් එකකට බඩු ටිකක් ගත්තා රෑට උයන්න දෙයක් නෑ කියල වයිපරේ අද උදේ කිව්වා ඊයෙ දවාලට කාපු ගමං ඒ ගෑනි මුකුත් කාලවත් නෑ මයෙ හිතේ මං කාපු පාං කෑල්ලෙන් ඒකිටත් කැව්වා උදේ සිනී වලට පාං හොඳ නෑලු දොස්තරයනම් කිව්වා ජීවතේ හරි බයක් බං. කෙල්ල ගේ ඇතුලෙමයි ඉස්කෝලෙ යනවා විතරමයි අලුත් ඇඳුම් ඉල්ලුවේ නෑ කාලෙකින් කොල්ල පාඩම් කරනවා භූමිතෙල් නැති නිසා ඒකා රෑට කලියෙන් නිදනවා උන් දෙන්නටම දැන් තේරෙනව ජීවිතේ මහ බයක් බං. සති දෙක තුනක වෙලේ ඉඳලා මගේ කකුලත් ඉදිමිලා ප්‍රෙෂර් වෙන්නැති වයිෆ් කිව්වා ඒත් කෝමද චෙක් කරන්නේ? සල්ලි නැතිකම දැනෙනවා ළමයි දෙන්නගෙ ඇස් ඇරෙනකම් කෝම හරි මං ඉන්නවා ඒත් උන්ටත් අනාගතයක් ඉතුරු වේවිද හිතෙනවා. මගේ දුක සැප අහන උඹටත් ප්‍රශ්න තියෙනව දන්නවා ඒත් මොනවා කරන්නද මං උඹට මගෙ දුක කියනවා යාලුවෝ මට හිනා වෙනවා වෙනස සැපදැයි අහනවා හරි බයයි බං ජීවිතේ ගැන ඉන්නකම් දුක ගෙවනවා.
කවිය බලන්න
කුහුඹු ජන පෝලිමේ දී ය.

කුහුඹු ජන පෝලිමේ දී ය.

කෞශල්‍යා ජයලත්

පියාපත් දර ලිප දැවෙමිනි සුදු සළු අඟුරු පෑයට හැරෙමිනි තවනා රිදුම් තෙල් සිඳෙමිනි කෙකිණිය බිඳෙන් බිඳ මියෙමිනි තෙල් පෝලිමක වැනි වැනි කිඳුරා රැය පහන් කරමිනි පිණි හී ඇනී හඬමිනි සඳ කිඳුරු දා කව ළසොවිනි සැරිසර තෛල හිඟයෙනි සංචාර තහනම් කෙරෙමිනි ඇසුර සීමා කරමිනි දුර සිට වැළඳ ගමි මිතුරනි තක්සලා නුවර දොර වැසෙමිනි ඔන්ලයින් සිප්සල් ඇරෙමිනි සිග්නල්, කාසි හිඟ දරු මිණි නියම් ගම් දොර සොවින් තැවෙමිනි තෙල් පොහොර අහිමි වූ කරුමෙනි පැළපත කෙසඟ වී මියැදුණි කෙත්පල් යැදුම් යදිමිනි දරු කැල සැකිලි සිරුරිනි දියවන්නාව සතොසිනි දිවිය සැණකෙලි සිරියෙනි කරවෙමිනි වැස්සට තෙමෙමිනි කුහුඹු ජන පෝලිම් ගලමිනි
කවිය බලන්න
කෙටි කවි හතරක්

කෙටි කවි හතරක්

කපිල කුමාර කාලිංග

1) ඇහිඳ ගතිමි කවක් පදිකවේදිකාවෙන් මිලක් ඉල්ලයි එයත්. 2) සායම් හැළුණු කඩදාසියෙන් අඟනක් එබෙයි මා දෙස. 3) කතක් දෙස රුවැති බලා සිටී සිත්තරෙක් තැබීය අත්සනක් ඈ බඳ මත පුරුද්දට . 4) සුදුම සුදු කමිසයක කළුම කළු පදක්කම් 2022/07/05.
කවිය බලන්න
කවදා හෝ

කවදා හෝ

කපිල ෆොන්සේකා කොළඹ

මේ ලොව මත යම් දවසක හැබෑවටම නුඹ විතරක් තට්ට තනියමේ ඉඳීවි හැබෑවටම නුඹ විතරක් හරියට වැලි පිරි කතරක් හරි මැද නූල් පොටක් ඇඟ නැති වී නිරුවත් වූ සේ දැනේවි නුඹ විතරක් නැතිනම් වග වලසුන් මිග ලේනුන් කිසිවෙක් නැති ගහකොළ මියැදුනු වනයක මග වැරදී තනි වූවා සේ දැනේවි නුඹ විතරක් ආං එවිට කවුළු පියන් පත මත ඉඳ සියොතෙකු එබිකම් කරාවි ඇඳ මත වැතිරී ඇති මේ අර්ධ කාය දෙස බලාවි උගෙත් ඔබෙන් නෙතු ගැටේවි දිගු මොහොතක් ඇසිපිය නොහෙලා ඉඳීවි යළි බලද්දි කවුළු පියන් පත පමණක් තවමත් සැලෙමින් තියේවි ... ©කපිල 2022 ජූලි 12
කවිය බලන්න
ප්‍රබුද්ධවරියගේ මරණය හෙවත් ප්‍රවද්ධ  යබුරිගේ රමණය

ප්‍රබුද්ධවරියගේ මරණය හෙවත් ප්‍රවද්ධ යබුරිගේ රමණය

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

ඒ රමණයා රම්‍ය වඩන්නට “රමහාව” නම් වූ රමණීය සමඟ රාගයෙන් උමතු ව - රංජනයේ දඟ දනු දිටී රම’ඹුව... * “...නිදිබර සුසුම් රොදක්-රහසක් මා සිතට කියයි... සියුමැළි ඇඟිලි තුඩක් මා ඇසිපිය සෙමෙන් සිඹියි... පතුල සිඹින වසින වරල - ගන මේකුලු හිසිනී දෙතන දෙකඳු මැද ඇලි-ඇලි - ගලන දුහුල රමණී...නිලන නිමල සිහිලිඹ පිරි - නයන 1 පොකුණු සොබනී...සසර කතර ගිම් සනහන කෙම්බිම ඔබ මරණී...” මන්දාර උයනේ - මන්දාර ලතාවක් සේ ය ඇගේ රූ අසිරිය... මන්ද ජනනීය වූ මන්දලෝචනය ඇගෙ සැරසුණේ බිඳින්නට මායිමේ වැට කඩුලු... මන්දානිල හමන මන්දාරම් වෙලාවේ මන්දෝන්මත්ත වූ සිතට පහර දුනි රතියෙන්-පහර දුනි රතියෙන්! මන්මාලයේ ඇති මදසන් මැදිරියට ඇගෙ බඩගෑවේ ය රහසින්-බඩගෑවේ ය රහසින්!! වැරැද්දක් සිදු ව ඇත - මම නිවැරැදි කරමි එය “මරණී (ය) -රමණී (ය) ලෙසින්!” * “...සියලු සැප අවසානයෙහි ජීවිතේ විඳින පරමානන්දයකි මෙය...” අහා! බලව-බලව හිතවත!!-පරමානන්දනීයයි!!! 2 * “ගිලන් ඇඳේ මා තනි ව ම සිටින විට අඹු-දරුවන් ළං වෙත මා හදවතට නිරන්තර ව නැ`ග-බැස යන ගිලාන කෙදිරිය තුළ - උන්ගේ කටහඬ මට ගමින් ඇසෙයි-සිහින් සරින්... ඊ.සී.ජී.එක්ස්රේ...හෘදරෝග රමණීට අසනීපයි වහා එන්න...” අහා! බලව-බලව හිතවත!!-වෙස`ගනක් ද කොහෙද... නැත්නම්... ගෑනියක් කියන කතා ද * “මං නරක ලු! වල් ගැහැනියක් ලු!! ඔක්කොම මගෙ යාලුවෝ... ඒ වුණාට මං කැමතියි ඒ ඔක්කො‌ටො ම...” මේ මටත්...!! ඉටි ගෙඩිය!!! මොන විහිලුවක් ද? * “රමණී මම කීවෙමි...රමණී...නෑ මම මරණී මරණී...(රමණී)... - රමණී...(මරණී)... මම අද නුඔට කියමි - මම නොමියෙමි 2 යළි උපනිමි...මට බෑ ඔබත් එක්ක ජීවිතයෙන් පැනල යන්න...වඩා කැමති ජීවිතයට...ඔබට වඩා එය සො`දුරු ය...!” කෙහෙම්මල! නුඹ කියන්නේ... ගැහැනිය නැති ජීවිතයක් ගැන ද... එහෙමත් නැත්නම් ගැහැනියක් නැති ජීවිතය ගැන ද...? එතකොට, ප්‍රබුද්ධවරිය...?? රමණී මළේ ද...??? මම නම් නොදනිමි, හිතවත!!! * රත් වණින් ඇත්තේ මහගම සේකර ශූරීන්ගේ“නොමියෙමි” යන කාව්‍ය සංග්‍රහයේ සැහැළි කොටස් කීපයකි. ඊට විකල්ප ව, මා - මගේ සැහැළිවලින් මේ සැහැළිය නිර්මාණය කළ බව කරුණාවෙන් සලකන්න. ඒ මා සේකර ශූරීන්ගේ “නොමියෙමි” උකහා ගත් එක් අවස්ථාවක් විදහා දැක්වීම උදෙසා ම පමණි. 2022/08/01
කවිය බලන්න
ගජගා වන්නම .. .

ගජගා වන්නම .. .

කමනිකා මොහොට්ටිගේ

'දෙව් පුර ඇතෙකි කුඹු දහසයකි .. දිග දළ අටකි සත් ගැබකි ' .... . පියුමකි- ඇතෙකි, කණ්ඩුල ඇතෙකි, තවෙකෙකි බෝසත් දළ දුන්නේ... . වෙඩි කෑ පියෙකි දළ කැපු හිසකි හනු පිපිරුමකි ලේ මැද මවකී .. . තනි වූ පුතෙ කි කෙඳි නැති කය කී ගජගා නම කී වන්නම කී ....
කවිය බලන්න
කෝ. ආනන්ද  හිමිට

කෝ. ආනන්ද හිමිට

ඒ එල් පංතියේ නව කව්සරණියට රස දුන් නිසා තවමත් ඇත කවි මනස හිමියනි, ගුරු පියේ ඔබගේ මුව කමල දුටු විට මතකයට ඒ මාතොට නුවර යන එන හුස්ම පොද සඟවාගෙන පෙරට ගිනිගෙන දැවෙන දිවයින ' විනිවිද 'දුටුව ඔබගේ තෙලි තුඩේ රැඳි මව්බිම ලකුණ අදටත් වටී මොළයක් ඇති මිනිසුන්ට
කවිය බලන්න
ඔබ හමු වීමට මම පින් කල බව දනිමී

ඔබ හමු වීමට මම පින් කල බව දනිමී

ලක්ෂ්මි දමයන්ති

ආචාර්ය ලක්ෂ්මි දමයන්ති බින්ග්හැම්ටන් විශ්ව විද්‍යාලයය නිව් යෝර්ක් නෙත් මානෙක නැතත් සොඳුරු කතා ඇහෙනවා ඔය සෙනෙහස දැනී හිතේ කඳුලු ලිහෙනවා ළං වෙන්නට බැරි තරමට දුරකි දැනෙනවා මහා බරක් උසුලා ගෙන කන්ද නඟිනවා දුෂ්කර ගමනෙක යන දුක සැප දරා ගෙන ගැඹුර දනිමි නිසලව ගලනා වු ගඟුලෙක හැපි හැපි සැඩ පහර කකා යන්නෙ නිහඬවම අපෙ හිත් මෙතරම් සියුමැලි වුණේ කොහොමද ආදරයට ආදරයෙන් පවසමි සබඳේ ළං වී ඉන්නට පමා වැඩියි මේ සසරේ එක් වී හිනැහෙන්නට ලැබෙනා හැම මොහොතේ ලද දේකින් සැනහෙන අපෙ හිත් සරලයිනේ දුන්හිඳ අද්දර ඉඳ ගෙන අපි කවි ලියමූ සඳවතියට දුරින් ඉඳන් අපි අත වනමූ සෙල් ලිපියකවත් නැති පෙම් සබැඳුම් හොයමූ හමු වීමට ලද පින් මහිමයෙන් සැනහෙමූ --
කවිය බලන්න
අම්මා නැතිව....

අම්මා නැතිව....

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

වසරක් ගෙවුණු බව නම් නොදැනුන ගානයි නිතරම දකින්නේ ඔබ සිටිනා හීනයි ඔබ නැති බවක් සිත පිළිගන්නැති වාමයි ඔබ හා කියන්නට ඇති දේ නම් බෝමයි දොඩමළු වෙමි සිතින් ඔබ සිටිනා සේම කට හඬ ඇහෙනවා වාගෙයි පෙර සේම ඉමිහිරි මතකයන් සිහියට නැගුනාම අද ඔබ නොමැති බව ඉවසන්නද කෝම අඩුවක් නැතිව තිබුනත් අන් හැමදේම ඔබ නැති අඩුව දැනෙනව මට හැමදාම යන්නට ගියත් සුර ලොව වෙත නොකියාම අම්මේ ඔබෙ සුවඳ මට දැනෙනව තාම නවතාලිය නොහැක බේරෙන කඳුළු කැටී පිරිමැද මගේ හිස යස'සිරු පැතුව හැටී ගුණ සිහිකරමි ඔබෙ රුව ළඟ දණින් වැටී අම්මේ ඔබේ මතකය මට ලොවක් වටී සිහිනෙන් නිතර මම ඔබෙ තුරුලට වදිමී සෙනෙහස පිරුණු ඇකයේ උණුසුම සොයමී අප්පච්චිත් ළඟින් හිඳ හිනැහෙනු දකිමී ලෝබයි අවදිවෙන්නට සිහිනෙම සරමී
කවිය බලන්න
දුකට  ලියූ කවි

දුකට ලියූ කවි

මාලිනී වික්‍රමනායක කොළඹ

ඔබ තැනු සුන්දර කොළඹින් ඈත් වෙලා ඇවිදින මං තීරු ඔබහට දුරස් වෙලා යුද ගිනිදැල් දැවුණු මතකය උරණ වෙලා අමතක නොවන මගෙ මතකය අලුත් කලා ඔබ කල යහපතෙදි ඔබ හා ළඟ උන්න වටයේ සිටිය අය ඔබ ඔසවා ගන්න වැරදුනු තැනදි ඔබ පමනක් තනි වන්න හේතුව බැරි උනා ඔබ හට දැන ගන්න බොදු සිහලුන්ව ඔබ සිහසුනෙ තැබුව කියා වැලිකතරකට ඇයි ඔබ ගියෙ සරණ සොයා බොදුකම නැතත් ඒ මිනිසුන් පෑව දයා ගුණයට මගේ හිස නැමෙනව සතුට කියා ඔබ කල යහපතින් ඔබෙ දිවි ගලවන්න කෙනෙකුට බැරිඋනා ඔබෙ ලේ සොලවන්න ඒ දුර වැලිකතර රැකවරණය ගන්න පතනෙමි සියලු දුක් කරදර දුරුවන්න!
කවිය බලන්න
කණ කැස්බෑ නෙතක්

කණ කැස්බෑ නෙතක්

මයුරි කොඩිකාර ගම්පහ

රන් කිරි කට ගෑ නැකතක් උරුම නැතී සත් වටයක් කැරකෙන ඇත් රජෙකු නැතී මව් කුසයක් පමණකි සෙනෙහසද නැතී පින් පිරුවට අඳුරට හිමි සඳද නැතී පිය පෙළපත ඉරකින් ඇඳ සපත වුනී හිස සෙවනට අනත් නිවස සරණ දුනී අරුමෝසම් සෙල්ලම්බඩු සිහින මෙනී අඩක් පිරුණු කුස නිතරම හඬනු දැනී මිමි ගිලිහුන ඇඳුමින් නිති සැරසෙන්නම් රස මසවුලු දුටුමුත් තලු නොගසන්නම් බෙලෙක් කෝප්පයෙ කහටෙනි සැනසෙන්නම් කැඩුණු සෙරෙප්පුව කටුවෙනි අමුනන්නම් සුජාත දරු කැළ අභිමුව ගොලුවෙන්නම් අවජාතක නම අරගෙන වැළපෙන්නම් නැව මගහැරි නැංගුරමක සිරිගන්නම් සැඩ රළ පහරට මුව දී නොසැලෙන්නම් අවුවෙද වැස්සෙද පින්නෙද දැඩිවෙන්නම් රිදෙන සිතට කෝටුපාර ලැබදෙන්නම් නෙලුම් මලක් මෙන් මඩපිට පිබිදෙන්නම් විය සිදුරෙන් යලිදු අහස නොබලන්නම් අහේතුකව නොයිපදුනත් අනුන්ගේ වරදට දඬුවම් විඳින දරුවන් කෙතරම් වේද.... වගකිවයුත්තන් නොදන්නා සේ හිඳින
කවිය බලන්න
නිදි කුමාරී නම් නැගිට්ටා

නිදි කුමාරී නම් නැගිට්ටා

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

"ඇනුණි දවසක පොඩි තුඩක් රිදුණි කුමරිට මහ හුඟක් වැටුණි නින්දට සියවසක් නැගුණි ආ දින හොඳ කලක්" එදා තිබුනා පොතක ලියලා පුංචි සන්ධියෙ තිබුණු පෙරළා බැරිද ඒ වගෙ වෙන්න කියලා ඔලුව රිදුනා හිතල හිතලා මෙදා ඇනෙණා කටු වලට විස නිදා සදහට ඉමු වසා ඇස සිතා කුමටද කසකසා හිස නින්ද නොගෙනෙයි හිස්ව ඇති කුස ඒත් බැලුවම ආයේ හිතලා ඇත්තටම අපි නිඳන් ඉඳලා ඇනුණු කටුවෙන් පණක් ලබලා නැගිටින්න කාලයයි කියලා
කවිය බලන්න
අන්තිම පත්‍රය

අන්තිම පත්‍රය

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

නව දළුව ඇහැරුනා, මතුවෙමින් බිදෙන් බිද. රතු දල්ල බැබලුනා, නලියමින් මද පවන. වෙනස් කර පැහැය එය, එළඹුනා තුරුණු විය, කොල පාට තනි කොලය අතු අගෙහි ලෙල දුනිය. මියැදෙනා තුරාවට අත් නොහැර මිහි මඩල, රස පොළොව නහර වැල් දිගේ යවමින් අහර, පෝෂනය ඇරඹුවා, පොවා කිරි තුඩින් තන, මිහි මඩළ, මහ පොළොව වීය නිති මගෙ මෑණි. පුතු රකින පියෙකු සේ මා වටා දැවටෙමින්, තේජසද පතුරමින්, ලහිරු රැස් නහවමින්, පෝෂනය ඇරඹුවා ජීව ගුණයද දෙමින්, බෝ තෙදැති හිරු දෙවියො වීය මට පියාණන්. සුළග හා මුසු වෙමින්, තත බිදින වෙන නදින්, හීන් ස්වරයන් යොදා රගන නළගන ලෙසින්, එකින් එක වැහි බිංදු ආදරෙන් නහවමින්, ගත නිවන වැස්ස විය, සෙනෙහෙබර යෙහෙළි මා. වස්සාන, ගිම්හාන, සරත් කල් ගෙවී ගොස් ගත පෙළන, රුදු අදුරු, ශීතයද එළඹුනා. පැසී ගිය කෙස් ලෙසින් කොල පැහැය වියැකුනා. පරඩලක් සේ ලෙලෙන අවසාන පත ඉදින්, ගිලිහුනා නටු අගින්, නියත, අනියත දමින්. මෙල්බන් නුවර ශීත ඍතුවේදී
කවිය බලන්න
චිත්‍ර ප්‍රදර්ශනය .

චිත්‍ර ප්‍රදර්ශනය .

නුවන් තොටවත්ත

"ඇති වෙන්නෙ නැද්ද ඔය තරම් බලං ඉඳලත් ඔය ගෑනු රූපේ දිහාම" පසු පසින් හිඳ උරහිසට හිස තබා ඈ මුමුණයි රාමු කල සිතුවමේ දිලිසෙනා වීදුරුවෙන් මට නිල් නෙතු සඟලක් පෙනෙයි
කවිය බලන්න
නිවුන් පෙම - (Twins Love)

නිවුන් පෙම - (Twins Love)

නිශ්ශංක දිද්දෙණිය

නිවුන් පෙම - (Twins Love) කවිය ගීය මනසේ සිතුවම් ඇන්දා නුඹ රුව මා නෙත පළමුව හමුවූ දා හදේ ගැඹුරු කෙත අස්සැද්දුණු හින්දා පෙම් පුරන්න මං කවියෙක් උනා ද මන්දා මං නිසලයි - නුඹ සසලයි - මදහස නංවයි නෙතු - පිය අමතයි - මුවමල් පිබිදෙයි මගතොට හමුවෙයි - ඉඳහිට නිවසට එයි කාලය පැනයයි වියැකෙයි - හරි පුදුමයි මං ඉදිරියෙ ඉඟි පෑ මල්සර ගොළුවෙයි කවිය ගීය හදතුළ සිතුවම් ඇන්දා නුඹ රුව මා රුව ඇසුරට හුරු වූ දා කෙත පාළුව ගොස් මං තනි වූ එම දා ගොඩක් ම අම්මා තනියම ඉකිබින්දා
කවිය බලන්න
… to take me away…

… to take me away…

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

Dear Death, friend of Self-continuity Though I’ve seen you often I never wished your company But on that distinct day When I had lost my way In this unfinished journey Where existence continues You arrived to take me away Your courteous request I most gladly did accept Seated in that carriage next to me Was none other than Self-continuity You, dear Death Very well knowing That I the common earthling Still wish continuing, Facilitate this ‘closing’ To each sentient being But for saints when they die There is no Self-continuity and l Through window I see beyond As the carriage slowly moves on I see sun rising in the east Another day a new dawn Though no ultimate bliss - Nirvana And my destination unknown In this journey I am not alone As cause leads to fruit We reap what we sow So, it’s needless to sigh Now towards that new life For both Self-continuity and I
කවිය බලන්න
Snowflakes

Snowflakes

ඊ.ඩබ්.එස් නයගරා

I want to be a snowflake Pure white and light… to fall on a top of a tree and see the beauty of the winter… after sunshine comes I want to disappear… because I don’t want to see the end of the winter…
කවිය බලන්න
ඇයට නොපෙන්වන කවිය

ඇයට නොපෙන්වන කවිය

වෛද්‍ය නිලූෂි වීරප්පෙරුම

ඉන්පසු බොහෝ වේදනාකාරී දින උදාවේවි අතීතයේ අප ගත කල නිදහස් යෞවනත්වය පිරි දවස් ඒක පාර්ශ්වික මතකයන් පමණක් වන ඒ ගැන සිහි කෙරුම පවා හදවත හිමින් රිදුම් දෙන අමිහිරි දින බොහොමයක් උදාවේවි ඔබ නැතුව ඔබ එක්ක ගත කරන්නට ඔබේ මතකය විතරක්ම ඉතිරි වුනු එකිනෙකා සනසා ගන්නට වැඩිපුර නිහඩව මෙනෙහි කරන්නට අනන්ත රාත්‍රීන් වල තනිවම මතකය තුල සරන්නට බොහෝ වේදනාකාරී දින උදාවේවි හැම විටම සිනාවෙන්ම පිරුණු, මුරණ්ඩු හිතක් ඇති තරහ දවස් වල අහක බලන් යන අවුල් කෙස් ලොකු ඇස් ඇති උද්‍යෝගිමත් ගැහැණු ලමයා නැවත නොඑන්නම අතහැර යන බව ඒ පැරණි දේවදාර ගස් පෙල දැන සිටියාද? නිය ආලේපන නොගෑ අතැගිලි සිනාසෙමින් හිස හොලවා කතාකල නවාතැන් වල නවතින්නට අකමැති පියාට දැඩි ලෙස ආදරය කල මේ කුඩා දැරිවිය ඉක්මනින්ම පියා ලගටම ‍යන්නට යන බව පියාට වත් කියා තිබුනාද? ඉක්මනින්ම ඔබේ කෙටි පණිවිඩ නවතීවි ඔබ එක්ක වෙනුවට ඔබ ගැන කතා කරන්නට සිදුවේවි වේදනා මැද ඔබ සිනාසුනු හැටි සාමදානව වේදනාව ගැන කිව් හැටි නිවෙන්නට කිට්ටු පහනක් මෙන් වඩ වඩා ආලෝකවත්ව දැල්වුනු හැටි හිමි හිමින් නිවී ගිය පසු මතක වස්ත්‍ර පැන් වඩා සිහිකල පසු බොහෝ වේදනාකාරී දින උදාවේවි (වෛද්‍ය විද්‍යාලයේ ලගින් සිටි මිතුරියක දරුණු පිළිකාවක් සමග සටන් කරන අවසාන දවස් වල ඇය ගැන සිහිකරමින් ගත කරන අදුරු වැසි බර රැයක...) 06/02/2022
කවිය බලන්න
Poeple always fight

Poeple always fight

ඔමිදු බෝමෙත් ප්‍රනාන්දු Meopham School - London

At the end nobody's right Are these People alright? They need to have a walk tonight Look at the moon is somewhat bright No starts in the sky like someone is guarding the light It's really dark at night Get the ghosts out of sight
කවිය බලන්න
සෙනෙහස

සෙනෙහස

උපන් දවසෙ සිටම සෙනෙහස දැක්කුවා හැම දෙනාම.. මෙවන් ගතියක් මිනිස් ලෝකෙට වටින කරුණකි මනාම.. ලවන් අතරින් ගලන සිනහව දෙනු මැනවි හැම කෙනාම.. නොවන් අමිහිරි හැඟුම් දීමක් ගනිමු දිවි මඟ දිනාම.. ඇත් කුලේ ඇතිනියට පැටවෙකු ලැබුණු විට රකිනව වගේ.. මත් නොවී රාගයෙන් හැම කල බලමු දරුවන්ගෙද දගේ.. සිත් සතන් මත පහන් හැඟුමන් ගලා ඒ මාවත දිගේ.. සත් සියක් කල් උවත් යා හැක දිනුම එය යැයි මට හැඟේ.. පුංචි දරුවන් දෙනෙත් අතරින් මිදී යන විට ලෝකෙට අංචි අදිමින් අකුල් හෙළුවොත් වැටෙනවා මයි සෝකෙට.. හිච්චි කාලෙදි සැලකුවා වගෙ වතුර දම දම සාකෙට.. කොච්චි කරලක් විලස නොම වී පිළියමක් වෙමු මේකට..
කවිය බලන්න
ලකට හෙටක් ?........

ලකට හෙටක් ?........

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

කුණාටු මැද රුදු සයුරක සීතල පිරි හිම කතරක මල් නොපිපුනු වැලි තලයක ගිනි ගෙන ඇත රට මොහොතක. නෙතින් කඳුළු කැට හෙමිහිට දහසක් මල් වැළපෙන විට නෙතු දල්වා හිස් අහසට සුසුම් පාව යයි සුළඟට. නොමැත සහන් නිමේෂයක් මැළවෙන තරු අනන්තයක් පැතුම් කඳුළු ප්‍රපංචයක් නොදකින හෙට වසන්තයක්. අමන කැළක් රජ වී ඇත නිමල පැතුම් ගිලිහී ඇත ලක් මව වැළපී කඳුලින් දහසක් මල් පරවී ඇත. නිල්වන් කෙත් නැත සරුවී රන්වන් කරලුත් හැකිළී දුප්පත් දන ඇත ගොළු වී පින්වත් ලක නැත සසිරී. කියනු කා හටද සෝකය දරණු නොහැක සංතාපය කැකුළු නඟන දුක් ලාපය කාට වැදෙනු ඇත සාපය.
කවිය බලන්න
සෙර කඩුපුලට ඇයි ද ලොලේ

සෙර කඩුපුලට ඇයි ද ලොලේ

ප්‍රීති රන්දෙණිය

ස්වාමී .... ස්වාමී ... මේ තනි යහනෙ අද තනි වී මා කල වරද කියනු මැනේ බියෙනී .... සැකෙනී හර්ද ස්පන්දනය ගැසෙනු තදින් අප සිරි යහනේ ගිනි ඇවිලේ දිව රෑ ...දිව රෑ සුවදින් පුරවා ඔබ වෙනුවෙන් ම පිපුණු මලේ රවටා ...පිටුපා සෙර කඩුපුලට ඇයි ද ලොලේ නොනිදා.. නොනිදා සදු ආකාසෙන් බසිනු පෙනේ හඩවා...රිදවා. ඉර කෝලහල කරනු ඇසේ දෑසේ ...දෑසේ දිය සීරාව ගලනු දැනේ හද මිහිතලය පෙගෙනු සැනේ වැලපී ....වැලපී ශෝකෙන් ...බරවී කඩු තුඩු අගට ගෙල පළදා ළසොවින් ..තැවෙමින් සුදු මුදු බාරි හර්දෙ පලා... 1--8--2022
කවිය බලන්න
අපේ යටගිය මතකෙ වග තුග

අපේ යටගිය මතකෙ වග තුග

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

දේව මැදුරේ මල් පැසක් ළඟ තිබෙන අල්තාරයේ මත හිඳ ඔබ නමින් ගැයු ගීතිකාවක් අදත් සවනට ඇසෙයි ඉඳ හිට ජේසු සමිඳුගෙ දෑස් අභිමුව ගලා ගිය මහ කඳුළු ගඟ මැද හාස්කමකින් රැඳී තිබුණා අපේ යටගිය මතකෙ වග තුග එදා කල්වාරියට ගිය මග හෙලූ ලේ කඳුලකට දාව ව උපත ලද ආදරේ නාමෙන් කුරුසියට බිලි වුනා සනහස මරියතුමිය ගෙ බාහුවක හිස හොවාගෙන දුක් කඳේ හැඩ තල ඇයත් සමගින් බෙදා ගන්නට දෙව් මැදුර යළි විවර කර ඇත
කවිය බලන්න
ඇසළ පෝදා දුටු දසුනක්

ඇසළ පෝදා දුටු දසුනක්

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

ඇසළ පෝදා දුටු දසුනක් මලයණ්ඩියා රෑ සිහිනෙක හැඬුවාද අපි දිවි ගෙවෙන හැටි දිවැසින් දුටුවාද පේරාදෙණියෙ සිට අහසින් වැඩියාද යාන්තමින්වත් කුසගිනි නිවිලාද කඳුළු විදින තැන් මැද්දේ හිටියාද ජාතක කතා වෛවර්නෙට පෙනුනාද කුළු පොලු වලට අතපය දෙක රිදුනාද කැකිල්ලේ කොසොල් සිහියට නැගුනාද ගින්දර ලිපේ තවමත් දැල් වෙනවාද මොන මොනවා නමුත් තැම්බෙනවා ඇද්ද මහ පාරටම දෙමාපියන් වැටිලාද නිදි නැති රැයක හිත චංචල වූවාද හිරේ විලංගුවෙ පැටලෙන්නට වේදෝ වානේ පන්නරය එතකොට දැඩි වේදෝ අව්වේ තිබෙන රැස් මාලා අඩු වේදෝ හිමි සඳ දිනෙක සසුනඹරට පායාදෝ 13.07.2022
කවිය බලන්න
යුරෝපයේ ලැව්  ගිනි

යුරෝපයේ ලැව් ගිනි

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

(මේ දිනවල යුරෝපීය රටවල් කිහිපයක පැතිරෙන ලැව් ගිනි නිසා මිනිස් ජීවිත නැතිවී දේපල හානි සිදුවී ඇත) සියොළඟ දවන උණුසුම් සුළඟකි හැමුවේ සර සර හඬිනි මහ රුක් අතු ඉති සැලුවේ අකුණක සැරය විහිදුණි වියළුණු දලුවේ මුළු වන පෙතම බියකරු සුසුමකි හෙලුවේ අතු අග රඟන ලේ රතු පැහැ ගිනි දළුය වියරුව හමන සුළගෙන් ගෙන යන අළුය සැනෙකින් නැගී නුබ විසිරෙන දුම කළුය දසතම වැසේ ලෙස වන මැද ගල් කුළුය සර සර හඬින් වැනසෙයි වන පෙත සිරිය සිරි සැප දුන් වනය සිර ගෙය වූ සරිය දරුමල් වැළඳ බව බෝ සිත අත හැරිය සැරසුණි පලා යන්නට සිත ගෙන දිරිය බුරා නැගෙන රතු ගිනි දැල් දස අතින ගරා වැටෙන ගේ දොර සඟවා නෙතින දරා නොහෙන සිතිවිලි පුරවා සිතින පරාජය රැගෙන නික්මිණි දැඩි සිතින පසල් දනව්වල මතුවූ ලැව් ගිනිය නිසල් ගුවන කම්පිත බිහිසුණු ගිනිය විසල් නුවර හැම දන ලය සෝ ගිනිය තුමුල් මිනිස් දිවි බිලිගත් ලැව් ගිනිය
කවිය බලන්න
සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි

සැළලිහිණි සංදේශයේ සිත්ගත් කවි

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

පෙරව සඳකිරණ පිපි කුමුදු මල් වටින් පරව තඹර පෙති ගිලි දිය තලා පිටින් තරව සිහි ඇතිව පරතෙරට යන අටින් කරව පියාසර සකි කොන්ත ගං තොටින් සඳ කැළුමෙන් පොරවනා ලද හාත්පස පිපුණු කුමුදු මල් හා පරවී වැටුණු නෙලුම් මල් පෙති ඇති ජල තලාවෙන් යුක්ත වූ කොන්තගංතොට නම් ප්‍රදේශයෙන්, පරතෙරට යන ආශා ඇතිව යහළුව සිහි බුද්ධියෙන් පියාසර කරන්න.
කවිය බලන්න

"ඊයේ" " අද" වූ හින්දා !!

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

ඊයේ රෑ බෙහෙත් බීලා නැත්තෙ මොකද මහත්තයා රෑ කෑමට යනකොට මම අතටම දුන්නානෙ බෙහෙත් කෑම කාල ගෙදර ආවෙ මැදියම් යාමෙනෙ කොලුවො ඇවිත් බලන කොට වෙලාව රෑ දොළහත් පහුවෙලා නෙ ඊයේ අද වූ හින්දා ඒක බීවෙ නෑ කොලුවෝ අද උදේට නියම බේත අරන් වරෙන් දැන්ම බොන්ට!! රම්‍යා අත්තනායක, මහනුවර 2022 ජූලි.12.
කවිය බලන්න
අපි අපට හමුවන තැන එතැන....

අපි අපට හමුවන තැන එතැන....

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

නිහඬ නිසසල ඉමක පාලුවෙන් පිරුණ විහඟ ගී නාදෙකින් නිසල බව බිඳුන හිත කොහෙද ලෝකයක අතරමං කෙරුන ඔබට මා මුණගැහෙන එකම තැන එතැන.. ලතාවට ගලන දිය දොල ඉවුරු සිඹින හුරතලේ බලාගෙන භාවනා කරන මොහොතකට සමවැදුනු ඒ දැහැන බිඳින මතකයේ ශේෂ පත් මිටින් අත හැරිණ.. සයුරු මැද නැවියෙකුට මග නොමග කියන පහන් තරුවට බැඳුන ප්‍රේමයක් තිබිණ තරු කඩා වැටෙද්දී සිහින මග හැරුන හිතක තනිකම වාවගනු බැරිව මිදින. එවන් තරුවක ප්‍රභා හද එකලු කරන දකිනු මිස ලංවන්න උරුම නැති බැවින රාත්‍රියකට අයිති වෙරළු මල් සිහින විසිර නෙතු පිණි පොකුරු මල් යහනෙ රැඳින. ගීතයක් කවි පෙලක් සේම ගතු කියන තව බොහෝ දේ තිබේ ආදරෙන් පිරුන ගිමන් හල් ඇති නමුත් විඩා සංසිඳන එකම එක තැනක් වේ ආත්මය නිවන.. පෙම් වඩනු නොහැකි මුත් ප්‍රේමයෙන් බැඳුන ලෙන්ගතුම වදනකට ආදරෙයි කියන හිමි අහිමි ලෝකයේ රිදුම් පිරිමදින පණ සේම බැඳුණු හිත් අහෝ!! මග හැරිණ.
කවිය බලන්න
සොඳුරුතම දසුනකිය ඔබ

සොඳුරුතම දසුනකිය ඔබ

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

හිම වැටෙන දුරු රටකි ගිලන් වී රෝහලක ඇදක් මත සිටි දිනෙක දොර ඇරන් කාමරයේ ආවා කළුමකළු හෙදියක් තල්ලු කරගෙන ට්‍රොලියක් තොරොම්බල් කරත්තය වාගේ හලෝ ගුඩ් මෝනින්ග් මිහිරිතම වදනක් බලමු අපි බ්ල්ඩ් ප්‍රෙෂර් ඊළඟට බ්ල්ඩ් සුගර් අතරතුර කථාවක් ගනිමින් වැටෙන නාඩිය අත තදින් අල්ලාගෙන ඊයේට වැඩියෙන් අද දවස කොහොමද බොන්න මේ බෙහෙත් ටික යන්න යයි අල්ලපු ඇඳට මව්බිමේ හිටි දිනක දැනුනි පෙර මතකයක් පෙරදිනක රෝහලක වී සිටිය රජ කුමරියක් ගැන කියන මියුරුතම ගීතයක සොඳුරුතම දසුනකිය ඔබ
කවිය බලන්න
කාලෙකින්

කාලෙකින් "හලෝ" කියු මිතුරාණ..

සෞම්‍ය ලලිත් කළුබෝවිල අනුරාධපුරය

"කාලේන ධම්ම සාකච්ඡා දැන් අහවරද" ? අහන්නට හිතුණාට.... ව්වර නොකෙරුවෙ ම මුව දොර ගලන දිය රළෙහි සැඩ බව දැන.. නින්නාද දෙයි කළ චෝදනා සන්නාම කොයිතරම් පිදුවාද? උන්නාම වගෙ පෙනුණු තරමට උන්නාද මට සැකයි සුමිතුර... කරදර රෝ වාහක නුඹට වාගෙමයි මට ද නොදැන නොබැලූ වරදම මට පමණමද හිතවත? මේ නිහඬ රැය පුරා තලු මරා හප කරන හම ගසා ඵල බුදින හඬ නගා තටු ගසන වවුල් සර මිහිරි යැයි සිතමි.. වෙනදාට නැති සොඳුරු බකුසු ගී තනු අසමි.. පිණි බිඳක හඬ මඩිමි. දුක දැනුණු , නිහඬ වුණු කාරණා.... නුඹ කරන චෝදනා.... ගොනු කරමි වරපට බඳිමි ගිණි තබමි හුස්මකින් අවුලවමි.. නුඹෙ ගිලන් බව අසමි ..දුක කියමි හී සරක වේදනා චෝදනා විඳ ගනිමි ගුණ කියමි සිත සදමි සෙත පතමි දුරක සිට ළඟ රැදෙමි.. මොනාලීසා නොවන ඇත්තෙන්ම සිනා පමණක්මය ඒ අමිල සිතුවම. ඇඳි බිතේ හදවතේ ඇණ ගසමි තද කරමි නොකල්හී වැටුණාට වැසි දියේ සුව දනිමි ගිණි ගැනුණු සිත් පස තෙමමි සහෝදර සෙනෙහසක නොමැරි මුල් දිය බිඳක පහසකින් පණ ගසා යළි නැගෙනයුරු දකිමි වැසි පතමි ! ඵල දරන දින ගනිමි..
කවිය බලන්න
Summer Love

Summer Love

සිනෙල්යා ෆෙර්නාන්ඩො New Ash Green Primary School. Year 4

Flowers blooming The sun is rising Stars are shining Night to morning The moon is looming We are enjoying But sometimes, The weather is warning Drying.... Raining.... Trees are wearing The sea is waving The sand is sunbathing And the clouds are flying Finally............ The world is swinging Sinelya Fernando Year 3 New ash green primary school - London
කවිය බලන්න
Powder Puff

Powder Puff

සන්ජය ප්‍රියදර්ශන උඩුගම්පොල

Sanjaya Priyadarshana – Sri Lanka I feel your sweet scent gone through my heart vent blending a delicate kiss hug by my rough lips Once melancholies withered blooms a may flower feathered you are the all sensible relief in this infinite world unbelief be hold in my dream spraying your aroma beam dissolve my life emptiness by fulfilling my hopefulness
කවිය බලන්න
හැකිනම් නුඹට

හැකිනම් නුඹට

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

හැකිනම් නුඹට මා ප්‍රිය සබඳ පෙන්වනු මැන මට සිඟිති තටු සලා පියා සලන කුඩා පරවි පැටවුන් එතෙන අයුරු සීතලට රිදී පිණිබිඳු කඩා හැලෙන උණුසුම් අරුණෝදයක දනවනු මැන මට කහපාට සමනලයෙකු රත් පැහැ සෙව්වන්දියක් සිරස ලූ සදාහරිත ලිය ගොමුවක් වට තටුසලමින් අනවරතයෙන් කරන රංගනයේ ප්‍රහර්ෂය උරුවම් බා පෙන්වනු මැන කන්කටුලටත් නින්නාද නගනා පාන්කිරිත්තෙකුගේ සරයේ ගැබ්ව ඇති සුව හැඟුම පාට කූරු ගෙන සිතුවම් කරනු මැන නිල්ල බෑ කඳු යුග්ම යා කරන දිළිසුම් නගන ඉන්ද්‍රචාපයන්ගේ විසිතුරු බව මුමුණා සවනට මටම පමණක් ඇසෙන්නට ගලා යන සිහින් දොළ පහරක් සේ පවසනු මැන මෙලොව මා දුටු නොදුටු සියල් චමත්කාරයන් හි සුලමුල එවිට මට හැඟෙනු ඇත මා ප්‍රිය සබඳ නුඹ මට පුද කළ ප්‍රේමය සැබැවින්ම මා ලද අමිල ත්‍යාගයක් බව.
කවිය බලන්න
සැවොම ඇවිදින් කොලොම්පුරයට

සැවොම ඇවිදින් කොලොම්පුරයට

ගී පද රචිකාවී සමන්මලි සේනානායක එක්සත් රාජධානිය

සමාවි ලක් මවුනි අපහට දෙන්න අවසර ඔබ තුරුල යට ඔබ සිනාසෙන රඟ බලන්නට සැවොම ඇවිදින් කොලොම්පුරයට ලොකු පුතා බය වෙලා හොදටම ගෙයින් පැනලා හොරෙන් රහසෙම පොඩි එවුන් වලි කන්නේ හොදටම ලක් මවුන් රැක ගන්න සැමටම වත්ත පිටියත් ගහ කොලත් උන් රැක ගනී දැන් පන දෙවෙනි කොට වන සතුන් හිනහේවි ඒ යට නිජ බිමක් රැක දීපු සතුටට ගලයි ගංගා සිසිල දීගෙන හමයි මඳනල සුවඳ විහිදන පිපෙයි වනමල් ඔබව සරසන මවුනි ලක් සැනසෙන්න නිතියෙන එකෙක් දෙන්නෙක් ගියෙ අයාලේ උන් හැදුනෙ පර ගැතියො වාගේ නොදත් උන් ලක් මවුගෙ සෙනෙහේ එපා උන් යළි නුඹගෙ ඇකයේ හිදී නුඹ ලඟ දරු කැලක් දැන් දනී උන් ලක් මවුගෙ අගයන් දෙන්න ඔවුනට යෝද බලයන් ලොවම දිනලා වන්න විරුවන්
කවිය බලන්න
තනිකම

තනිකම

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න මහනුවර

තනි වෙලා මා රැයක කරුවල පහන් සිල වූ එළිය ඔබමය හැර දමා වෙන මගක අරුමය වනු එපා කිසි දිනක නපුරය සැඩ පහර මට එතෙර වන්නට නුඹම විය පාරුවද එදවස අසල මා අද පාළු තොටුපොළ මගේ තනිකම නැවත රජ විය දිවි ගමන මට නිතර රළුමය බොහෝ තැන්වල මතක කටුකය ඔබ රැඳුණු දින ගණන අල්පය නමුත් ඒ ටික ඉතා මිහිරිය
කවිය බලන්න
අතීත සිහිනය

අතීත සිහිනය

සුනිල් එස්. සිරිසේන මහනුවර

නිදි යහන ඉහත්තෑවේ ලියකමින් විසිතුරු කොට නේක මල් කැටයම් තිබුනද ඒ මල් සුවඳ නැත සීගිරිය එකළු කළ විජ්ජුලතා මේඝලතා අත සියුමැළි ඇඟිලි තුඩින් එක් කොට බොහෝ මල් තිබුණද ඒ මල් සුවඳ නැත පරසතු මදාරා මලක තතු පොත පතෙහි ඇති නමුත් නොදන්නා මලක් මතු මතු ද මනසින් සිප ගත හැකි වුවද නොදැනේ මල් සුවඳ ? පූජාසනය මත වැතිරුණු අනේක සුවඳ පිරි නෙක පැහැ පරමල් ඇතත් ඒ අතර ද හමු නොවුණි මා සොයන ඔබේ සුවඳ
කවිය බලන්න
ලංකා වසන්තය

ලංකා වසන්තය

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

සොඳුරු මුතු ඇටේ අද උණු කඳුළු මත උජාරුවට සිටි කාලය කම්මුතුය ඩොලර් නොඑන ලෙස කැරලිම ගහපල්ලා සීයා අපේ කීවා කට කහනවට අඩ සියවසක් ඇහිලා දැන් යල් පැනපූ සටන් පාඨ ඇහුණම නම් ඔක්කාරේ නීතිය උන්ලු පිටිපස්සෙන් එන්නෙ හිනා හොටු ගෑනිව ගෙට කැන්දා ඉලව්වේ රටේ ගම්භීර පැරණිම ගොඩනැගිලී කීතු කීතු වී යයි ඇස් පනාපිට කොළඹ සන්නියත් ඇත එහි රඟපාලා හේනට රිළවු පැන්නා සිහිවුණා බොලව් අලුත් නමක් දාගෙන නැගලා යන්න දසත ගිනි තියති වනසති බුදු අම්මෝ එතැන මුහුණු දැක්කම නම් බඩ දනවා රටක් බාර දුන්නොත් මොනවා වෙයි ද
කවිය බලන්න
වත් සහ නිරුවත්...

වත් සහ නිරුවත්...

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

පැන් පොකුනක්‍ ය නිරුවත් පිපී දිදුලයි සියපත් මස්ටක රෑන හොඳ හිත් සියපතට නොලීය, පෙම්පත් උනාදා හැඳිවත් කුස රජ දියේ සැඟවෙත් දිය බුං ගසා නෑවත් මස්ටක නොවේ පැහැපත් පිලී ගඳ කොතෙකුත් මස්ටකයෝම නාසෙ හකුලත් රුසිරු වත පබවත් නොදන්නී කිසිත් තවමත් කුදී ගත් අල්ලස් පොදි ගහයි කොක්කනේ නොම හිස්
කවිය බලන්න
අහෝ මගෙ රට,.!!! 🥲

අහෝ මගෙ රට,.!!! 🥲

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

අහෝ මගෙ රට,.!!! 🥲 හැදෙන්නට නම් ඒත් කල් ඇති හොරුම රජ වෙති තරම් වත් නැති අගාධෙට ඔය ඔන්න පෙරලෙති කලේ මොනවද දෙයියො නොදනිති! ‘පොට්ටු’ හිරවුනු අලිය මදකිපි අහිංසක කොළු රැළම පන්නති ලැජ්ජ නැති සම හරක් ඉපිලෙති “දේශප්‍රේමී” හිවලු රජ වෙති ගැත්තො ඔක්කොම දුන්න උඩගෙඩි හොරුන් නැංවුව උන්ට ජය කොඩි මල්ල පිම්බුන, මන්ධීර රජ පඩි සොක්කො පාරේ කතී ‘මල් වෙඩි’ දුවා දරු මහපාරෙ වේලෙති ඉස්කෝලෙ ගුරුවරු හුලං බී හති අනාගතයක් කොහෙද?! ගොලුවෙති අහෝ මගෙ රට හුම්මානෙ හිරවෙති 22/07/22
කවිය බලන්න
දැන(නො)දැන

දැන(නො)දැන

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

රක්ත ධවල වර්ණ බොදව විල් දිය මත පිපි සියපත් දන්නවාද නොදන්නෙහිය පත්ලෙහි විහිදුණු රොන් මඩ පෙති මත එක බිදකුදු හෝ යාංතමින් වත් නොරදන් හිරු කිරණින් සැනසෙන්නට සඳ කිරණින් බැබලෙන්නට නොආව වග පිබිදෙන්නට රෝස කුලේ සෙවුවන්දිය දේදුනු පැහැ පරදවමින් නටු අග විකසිත වූවද දන්නවාද නොදන්නෙහිය නටු මත කටු තිබෙනා බව මිලාන වී යනතුරාම සහසක් තරු කැට දල්වා අහස් විලේ රාත්‍රියෙහි පුන් පෝ දා උදාවෙත්ම පුරහඳ පුරපස දිලුනේ දන්නවාද නොදන්නෙහිය පසු කර විත් අමාවකේ ගන කළුවර පිය මැන බව වළා අතර සැගවී සිට දෙගොඩ තලා ගලාන යන මහ ගං අතු ගංගාවල් සරතැස විඳගනු නොහැකිව වියැකී ඉරිතැලී ගියද දන්නවාද නොදන්නෙහිය ඉන් දවසෙක අත් මිදෙන්න උත්සාහයක් නොදැරූ බව ආමඟ උඩූගං බලාන ගලාන යන්නට කිසිදා
කවිය බලන්න
ඝීශ්මය තෙමා.

ඝීශ්මය තෙමා.

සපුමල් බන්ඩාර ලන්ඩනය

පීදුනු මනරම් කුසුමක බැදී වෙරදරා අල්ලා ගන්නට සිතකය වෙහෙස කරවාලුව වටී පනටත් වඩා මට මීවිතද හා ගීපොත යුග ණයන රස සොම්නස තුරුළුවූ හද උනුසුම වටී පනටත් වඩා මට ඝීශ්මය තෙමා එන එකම එක වැහි පිදකය එකදා එකට පියව යන්නට වටී පනටත් වඩා මට
කවිය බලන්න
කවියෙකු ගේ සතුට

කවියෙකු ගේ සතුට

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

නෙක විසිතුරු දෑ විකිණෙන දෙපසේ කඩපිල් ඉදිවුනු ජනයා නිතරම ඇවිදින නගරය මැද මහ වීදිය තැනෙක රෙදි ඇඳුම් පැළැඳුම් රන් අබරණ දිලෙයි දිසෙත විලාසිතාවන් දක්වන මහා පුවරු ඇත ඉහළින කලා කරුවෙකිය කුටියෙක සිය නිමැයුම් අතර හිඳින කිසිවකු නැත නෙත් හෙලුවේ මිලකට ගන්නට සිතුවම් අසලම ගොඩ වෙදෙක් වීය හිස් කබලකි මේසය මත විකිණෙයි තෙල් කුප්පි ගොඩක් නොමදැන එහි ගුණාගුණය ගැදි පැදි රස මිණි ඇමිනූ පොත් රැසකිය තවත් තැනෙක තිබුනත් ගන්නට නොමිලේ කිසිවෙකු නොබලති ඇසහැර * * * යන්නං වාලේ ඇවිදින දෙපා දුවන සිත ඇවිලුන මිනිස්සුන්ට එක්වෙන්නට කියනව මට මගේ හිතත් ජීවිතෙ ආදරේ මරණෙ ගැන කවි කොළ වල ලියලා ඇවිදින්නට සිතෙයි මටත් මගෙ ඇඳුමේ එල්ලාගෙන සෙනඟ අතර තෙරපෙද්දී ගැලැවී ගිය මගෙ කවියක් කවුරුන් හෝ අහුලාගෙන කියවයි නම් සතුටකි මට
කවිය බලන්න
සොහොන් වල කණිමින්

සොහොන් වල කණිමින්

වෛද්‍ය සුමුදු ඉරසිංහ සමර්සෙට්, එංගලන්තය

යොදා වෙර වීරියෙන් මුදාගෙන මර බියෙන් පුදා දිවි රැක ලැබ දුන් සදා සැනසුම් සුවෙන් .... එදා මළකුනු ලෙසින් කලා අකුරක් පොතින් සිතා ලොව මහ පඬින් වැදූමව් රමණය කරන්... මුලා වී ‍රන්මසු නදින් දොඩා වහසින් හඬින් උනා සලු රඟදේ උනුන් වමාරාකන සේ රසින්... 24/07/23
කවිය බලන්න
ඕජස්

ඕජස්

සචී ජයවර්ධන

අහා! ගෙල ලූ මල්දම සිරවී හුස්ම හිරවී නහරවැල් උලුප්පා යන අපූරුව සුන්දරයි මේ බලන්න.... වෙව්ලා පරලවෙමින් පන යන්න දඟලන ශරීර කූඩුව දුටුවාද? සෙමින් පන පිටින් වැගිරෙන ගඳගහන ඕජස් වූ බැඳීම් ගංඟාව එන්න, අපි අනාගෙන කමු ආයෙම... බෑ.... දැන් හදන්නෙ එකතුවෙලා ඒකිගේ සොහොන් කොත මොකක්ද අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ? ඒකි හරි ආතල් ගෑනියෙක් උඹ ඒ ගෑනිව කෑවා....
කවිය බලන්න
අම්මා  -  1

අම්මා - 1

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

අම්මා - 1 බුදු යන නම දරන දෙදෙනෙක් සිටිති ලොවේ අන් කිසිවෙකුට හෝ ඒ නම අයිති නොවේ සම්බුදු සමිඳු ඉන් අග තැන දරති ලොවේ අම්මා බුදුය දෙවනුව වෙන අයෙකු නොවේ බුදු හිමි විවිධ ගුණයෙන් පිරි සම්මාය මුළු ලෝ සතුන්හට පිහිටැති අම්මාය නිවසේ බුදුන් අපෙ ආදර අම්මාය සැම දුක දරු කැලගෙ නිති පිස දැම්මාය සීමා තිබේ මහ සයුරට පණක් නැතී මහ පොළොවද එලෙස නිමවන තැනක් ඇතී අහසේ කොණක් නැත දක්නට ඉමක් නැතී මව් සෙනෙහසද අහසක් මෙනි නිමක් නැතී පායා එන විටදි හිරු පෙරදිග අහසේ මුළු ලොව එළිය වෙයි දැකගත හැකි වනසේ ලෝකය දකින්නට නුවණැස මතුවනසේ දරුවට එළිය දෙයි අම්මා හිරු දෙවි සේ රුධිරය සැමගෙ ගත සැමතැන විසිර තිබේ ඒ ලෝ දහම වෙත නතුවෙයි සැවොම ඉබේ දරුවන් කෙරෙහි බැඳි මව් පෙම දැඩිව ලොබේ ලේ මස් නහර ඇට විදගෙන දුවති ඉබේ සිතිවිලි අතර මුල් තැන දරුවට යොම්මා මතු දියුණුවට වෙහෙසෙති නොමැතිව නිම්මා උතුරා යන පෙමින් දරුවන් රැක සම්මා රතු ලේ සුදු කරන යන්තරයකි අම්මා
කවිය බලන්න
සඳ

සඳ

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

තරුත් නිහඬව බලා උන් සඳ නුඹත් නිතරම දොස් නගන සඳ කෙලෙස රුදු වූයේ ද මගෙ සඳ සිතා ගන්නට බැරිව සිටි සඳ නුඹේ ප්‍රේමය බලා සිටි සඳ ගිලිහී යද්දී අමාවක සඳ ලෙසින් සිටි ඒ මගේ පුර සඳ නිහඬ වූවෙමි මගේ සරා සඳ රොස් පරොස් බස් කීව මුත් සඳ හදේ කහටක් නැතේ කිසි සඳ කෙලෙස මම වෙර බඳින්නද සඳ නුඹට තව පෙම් බඳින්නෙමි සඳ --
කවිය බලන්න
කවුරුන්ද ඇහුවෙ නෑ ආදරේ වැඩිකමට

කවුරුන්ද ඇහුවෙ නෑ ආදරේ වැඩිකමට

උපාලි වීරසිංහ

නුඹෙ අම්ම එනවිටත් මා එක්ක පොඩි පැලට පුතු ඇවිත් තිබුනනේ කාගෙන්ද ඇගෙ කුසට දුන්නමුත් උප්පැන්නෙ පියාණන් ලෙස නමට කවුරුන්ද ඇහැවිවෙ නෑ ආදරේ වැඩි කමට.. ගියත් මම පාන්දර ගෙයින් පිටමන් බලා දවස් ⁣දෙකතුන හිටියෙ ගමෙන් දුරකට වෙලා අත්කකුල් වල නැගුනු කරගැටට නෙත් හෙලා ටික කලක් යන විටදි ඇයම පිලිකුල් කලා මම නිවසෙ නැති අතරෙ සලෙළු වෙක් පැමිණිලා හැමදාම නිදි යහනෙ සිත් තොසින් සනසලා ලඟ තිබුන සේසතම ඔහු අත්ලෙ රඳවලා අනෙ පුතේ අපෙ සිහින නුඹෙ අම්ම බොඳකලා දිනක් මා පැමිනෙද්දි රෑ ටිකක් බෝවෙලා හුඟක් මහ සෙනග ගොස් හිටියෙ එහි පිරිලා පොල් කඩල ගෙන දුන්නු තුටිටුවත් පුදාලා නුඹෙ අම්ම රෙදි කඩින් බාල්කෙක එල්ලිලා යන්නෙ උඹ ගෙයි දාල⁣ කොහොමදැයි සිතාපන් ටික දොහක් තව ඉතින් දුක් කඳුලු දරාපන් කිරි දීපු හැටි අමිම හීනෙනුත් බලාපන් තව ටිකක් මගෙ පුතේ පොල් ගොඩෙි නිදාපන්.
කවිය බලන්න
තනිකම

තනිකම

උපාලි අත්තනායක මහනුවර

තනිකමයි පාලුවයි ගොම්මම්න් කලුවර වටම ගිලගනී සිතිජ ඉමෙි හිරු බැස යන යාමෙි සිතන්නන දෙයක් මට තවත් ඉතිරි වී නැත අද දවස කවදාද හෙට දිනය කවදාද අද මෙන්ම ගෙවී යයි තනිකම සිතට කොඳුරයි ඉතිරි වී ඇත්තේ තනිකමයි පාලුවයි රස බොජුන් මී විතට බව බෝග සම්පතට ඇදුනාද මිතුරු කැළ කොතැනකද අද ඔවුන් ළඟපාතවත් නොමැත මගේ තනියට සිටිය මැකී ගිය රුව වරුණ මා මෙන්ම තනිවෙලා සසර සැරි සරනවද 2022.07.25
කවිය බලන්න
කාලයේ දඩුවමක්

කාලයේ දඩුවමක්

වජිර ජයවර්ධන

ලස්සනයි මේ මොහොත කිව්වාට තත්පර කට්ට නවතින්න බැහැ බිදක් වත් දුවන පෙරහැරේම තමයි විනාඩියා නම් ටිකක් පැය කාරයා හුඟක් විඳිනව දැනෙන විදියට ඒත් බැහැ නවතින්න කිසිම මොහොතක එක තැන ගඟකට හමු වුනොත් ලස්සනම ඉවුරක් පුලුවන්ද නවතින්න එකම එක මොහොතක් ගලා යන ජීවිතේ ඇසට හරි සහනයක් අකාලයෙ මතක කාලයේ දඩුවමක්
කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි -

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි -

වෑත්තෑවෙ හිමි

පරසතු මලින් පුද ලද මුනි සඳුට දියනද වනපස මලින් පුද කළයි පවසනු කවර වරදද පරසතු පුෂ්පයන්ගෙන් පුජා ලද බුදුරජාණන් වහන්සේ කැළෑ මලින් පිදීම කිනම් වරදක් ද
කවිය බලන්න
ලන්ඩන් කවියට ආසිරී ....

ලන්ඩන් කවියට ආසිරී ....

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

කවිපොත් ගිලිහිලා යනකොට අතින් අත වෙබ් පිටු , මුහුණු පොත මත ඇත තරුණ හිත කොට කොට අකුරු පුවරුවෙ ඇති යතුරු මත කවිපද ලියනවා සමහරු ඇතුව හිත සෙවුම් මෙවලමෙන් ගන්නා රූ අලවා පියකරු අකුරු ගලපයි ගුණයෙන් බලවා වෙබ් නැණ ඇතිව ඩිජිටල් ගැලපුම් කරවා මාසෙන් මාසෙ හැඩවෙයි මේ කවි දරුවා සදැසින්, නිසදැසින් සහ පෙර පැවති කවීන් කදිමට, සීරුවට අමුණන ලබැදි පෙමින් ලොව දස දෙසින් කවි එක්කොට වෙහෙස වෙමින් කරනා මෙහෙය අගයමි, ආසිරි තුණුරුවන් බෙලෙන්
කවිය බලන්න
🗙