2022 ජුලි කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2022 ජුලි කලාපය

හත අට ඇඳි වස්ත්‍ර එකිනෙක නිති උනන නොබලන ලෙසින් ළඳුන ගෙ රූ සිරි බලන මහතුඟ වුවත් බිරිය ගෙ අරුමය දකින 'සමර්' ඇවිත් ඇස් වෙදමහතුන් සොයන

අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන
69 ක් හොඳටම  කලේ ඒක...

69 ක් හොඳටම කලේ ඒක...

වජිර ජයවර්ධන

සැප වැඩි වුනාම කලකිරෙනවා සිද්ධාර්ථ කුමාරයට වුනේ ඒක සැප නැති උනාම එපාම වෙනවා පෝලිං වල වල ඉන්න මිනිස්සු හිතන්නේ ඒක මැද හිටියම අතර මං වෙනවා චන්දෙට කලිං 69 ක් හොඳටම කලේ ඒක...
කවිය බලන්න
මගෙ කුසට එනතුරා  ඔබව හඳුනන්නෙ නෑ

මගෙ කුසට එනතුරා ඔබව හඳුනන්නෙ නෑ

ප්‍රීති රන්දෙණිය

කොයි දේසෙ කොයි දීපෙ හිටියාද දන්නෙ නෑ මගෙ කුසට එනතුරා ඔබව හඳුනන්නෙ නෑ සංසාරෙ පුරුද්දට ආවාද දන්නෙ නෑ මවක් වෙනතුරා මට මවු සෙනෙහෙ දැනුනෙ නෑ මටම අදහනු නොහැකි මගෙම ලේ කිරි කරණ විශ්වයේ විශ්මිතම නිමැයුමක් මගෙ සිරුර තුළ හිඳී කන්න නෑ නුඹ කුසේ නවාතැන් සාදාගෙන නින්ද නෑ නුඹ කුසේ සෙල්ලමක් හදාගෙන දුවන් නෑ වස්තුවේ ඒ නුඹව රැක ගන්න මගේ කුස නුඹේ ලොව මගෙ සුසුම නුඹ දිවිය මගෙ ලෙයින් මගෙ කුසින් මගේ සුසුමින් වෙන්ව එන මොහොත බිලිඳු පණ දෙවින්දෝ රකිත්වා යෝද බල යෝද සවි මගෙ පුතුට ලැබෙත්වා තිලෝගුරු දහම් කඳ සෙවනක්ව සිටිත්වා ! ගායනය ; උරේෂා රවිහාරි සංගීතය ; ආචාර්ය රෝහණ වීරසිංහ
කවිය බලන්න
උන්ගෙ ගෙවල් අපි අරගෙන

උන්ගෙ ගෙවල් අපි අරගෙන

අන්ජලී චන්දිමා සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

විදුලි වැට පෙරලලා ගම් බිම් ද වනසලා රස අහර සොයාලා ඇත්තු ගම් වැදීලා අස්වැන්න කා දමා ගෙවල් එක දෙක කඩා මිනිසුන්ට පහර දී උන් යනවා සතුටු වී වරද කොතැනද කියා තවම සොයමින් යතා උන්ගෙ බිම් ගත් නිසා නොවෙද මේ හැම දුකා
කවිය බලන්න
මිණි ගංදෑලේ......

මිණි ගංදෑලේ......

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

යුග යුග රැදි රහස් කියන මිණි ගංදෑලේ සදුට මුවාවී ඉන්නා හෙවනැලි අතරේ හීතල මීදුම් රැල්ලේ හමනා සුළගේ ඇහුවද ඔබෙ කතන්දරේ කවුරුත් රාලේ සෙහෙහෙ පිරුණු හිත් මල් වල සුවද හැංගුවේ කවුරුද ඒ කදුළු ගගේ දුර දිග මැන්නේ පාට පිරුණු ඉර මල ඇයි තාම පමාවේ අළුත් ලොවක් එළිය කරන් ඇයිද නොආවේ කාසි පනම්, මිණි කැට තුල රැදුණු සංතොසේ කොච්චර කෙටි කාලයක්ද මිහිර ගෙනාවේ සතුට දෝරේ ගලා හැළුණු පුංචි කුඩුවේ හොදහිත ඇයි පෑල දොරින් පිටවෙලා ගියේ
කවිය බලන්න
ඔබ නොහෙලයි නම් පෙමාදර බැල්මක්

ඔබ නොහෙලයි නම් පෙමාදර බැල්මක්

ආරියරත්න ජයසිංහ මහරගම

සිහිල් දිය කඳ රැගෙන කුමට ගලනවද මේ ගඟ ගඟ නොබොනව නම් එකම දිය බිඳුවක් අතු පුරා පල මියුරු කුමට දරනවද මේ ගස ගස නුබුදියි නම් එකම රස පලයක් රෑ අඳුරු අහස් කුස කුමට දිලෙනවද තරු රැස හිරු නොබලයි නම් එකම එක තරුවක් කවිකම් ඉපිද සිත් කුස කුමට මියැදෙයිද එසැණින පන්හිඳ නොලියයි නම් එකම රස කවියක් පෙම් හැඟුම් නැඟී ළය තුල කුමට පිරිමදිනු හද තත ඔබ නොහෙලයි නම් පෙමාදර බැල්මක්.
කවිය බලන්න
කළ පව් කිමද දෙවිඳුණි  මුලු රට භාර

කළ පව් කිමද දෙවිඳුණි මුලු රට භාර

අමර ගුණසේකර Marne la Valée ප්‍රංශය

බුදු හාමුදුරුවොත් වැඩ පුදබිම කළ දේසේ හිරු සඳු ඇවිත් සිරිපා නමදිණ දේසේ ලෝකෙන් උතුම් රටවූ අපගේ දේසේ හීණ දීන කළවුන් යති දැවෙමින් ගින්නේ නිවාඩුවට යන්නට අපෙ මවු රටට සුන්දර පැතුම් සපුරා ගෙණ සිටි අපට දරු පැටවුන්ගෙ සිහිණය බොඳ කළ වුන්ට වැහි නැති අකුණු එනු ඇත කැරකී භිසට අප මව්බිමේ සුන්දරතාවය දන්නෝ හැරදා නොයන්නෝ මාපිය නොහඳුණන්නෝ මාපිය නාමයද කෙලෙසා වැනසූවෝ දොරළග අපායේ බව දැණගත යුත්තෝ තෙල් පැට්රෝල් පෝලිම්වල දුක් විඳිමින් අසරණ ජනතාව හෙළණා දුක් සුසුමන් උඩ ඉන්නා දෙවියොවත් නැද්දෝ දන්නේ අපෙ දේශයට හිමිවූ මේ දුක්බර කරුමේ අදහස් කුරිරුවී දෙපිරිස් ඇවිළෙන්නේ පෝලිම්වලත් ගුටිබැට නිති ඇතිවන්නේ මිනිසුන් නොමිනිසුන්වී මුලුරට වැණසෙන්නේ දෙසිය විසිපහම සුවසේ වැජඹෙන්නේ Marne la Valée ප්‍රංශයේ
කවිය බලන්න
හිත ගියතැන මාලිගාව......

හිත ගියතැන මාලිගාව......

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

කඳුළැලි වලට නෙතඟින් එන තබා තිත සිනහව විඳගනිමි ලෙසටම අසීමිත දැරුවත් ලෝ දනා නෙක නෙක බොහෝ මත ඉදිවුනි මාලිගා ගියතැන මගේ හිත..
කවිය බලන්න
ඈතට ගිය ඔබ

ඈතට ගිය ඔබ

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

බොහොම සුන්දර හැඟුම් ඇතිරුව මගේ හදවත තැනිතලාවක් ඔහොම ඈතින් ඉන්නෙ කොහොමද හිතාගන්නට බැරි මුළාවක් කොහොම හරි මග හොයා ගන්නට එවනවද මට බට මාලිමාවක් ලොවම පීරා සොයා එන්නම් දකින්නට සුසුමක නිමාවක් සිහින කැන්දන රැයක හිනැහී ගසක එතෙනා සේ ලතාවක් ඉහින හැමතැන ඉබේ පැලවන මලින් උපදින මුදු හිනාවක් වහින හිරිකඩ හීතලේ ඇති මගේ ලෝකේ නුඹ ඉනාවක් කිරන බෙදමින් දුරින් බැබලෙන සුදෝ නුඹ මට රැයෙ දවාලක් බිඳෙන රළ වෙරළේ හැපීගෙන අදින විට කිරියෙන් රටාවක් රිදෙන හදවත හිනා වෙන්නේ සිහි කරන් නුඹ කී කතාවක් ඉදෙන බත සරි කරනු වස් ගිය එතෙර රැකියාවත් සුරාවක් විඳින නොවිඳින ජීවිතය ජීවත් කිරීමත් අද කලාවක් AnA 2022  
කවිය බලන්න
කඳුළු ඇත නෙත ඇති තරම්

කඳුළු ඇත නෙත ඇති තරම්

අනුර හෑගොඩ

දුක් දෙන්න ඔබ ඕනැ තරම් මට කඳුළු ඇත නෙත ඇති තරම් රිදුනු තැන් සුවපත් කරන් මට අඩන්නට දෙනවද වරම් ගං ඉවුරේ මුදු තුරුලට වී සිනා කැන් විසිරුණු වතින් මා දුටුවෙ ඈ ඔබ අඩ නෙතින් ඒ දුකත් ඔබ හට නොම දැනෙන් සිඹ නළල උණුසුම් වූ තොලින් දැමු ගෙතුම දැන් පරවුණු මලින් නිමක් නැති හද දුක් සුසුම් කළු වලාකුළු වුයේ ඉතින් ගායනය : මීනා ප්‍රසාදිනී සංගීතය : නවරත්න ගමගේ
කවිය බලන්න

"ආදරේ"

ශාස්ත්‍රපති අජිත් වෙත්තසිංහ

දියදලු ඇල්ලක ගීතයක් ගැයෙන්නේ... ගලන ගඟේ රැළිවැල් නැගී රඟන්නේ... ඇදෙන දොලේ පෙනමල් සිනා නගන්නේ... සසර පුරා අපගෙම ආදරේ දෝ... සිතිජ ඉමව් මැදිවී ඔබේ දයාවේ... මිරිඟුවකින් රැවටී නුවන් හැඬූ දා... කඳුල ඉතින් රහසක් හඬා දොඩා කී.... අමතක දෝ නොවෙනස්ලු ආදරේ ඒ... සෙනෙහසකින් ඉපදී බැඳුම් නොවේ නම්... වතට වතින් හමු වූ දිනේ මතක් වී... හිතට හිතින් අමතා ඉතින් කියන්නේ... සසර පුරා අපගේම ආදරේ⁣ දෝ...
කවිය බලන්න
ගිණි නිවමු මව්බිම

ගිණි නිවමු මව්බිම

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

සුසුම් සමග දැවටි දැවටි එබිම බලාගෙන ලතවී සියුම් මතක කැලති කැලති කවියක එතිලා ගුලිවී සිසිල පිරුණ මේ හද තුල රත්වන විට ගිණි ඇවිලී පැකිල කුමට ලත වන්නේ තබමු පාද වැල නොකැඩී දිනිඳු කිරණ සමව වැදුන යායෙ වී කරල් පැසුනා සතර දෙසට ගලන නදී කුමරි ආලයෙන් වෙළුනා හරිත බරිත වන තුරුලිය විහඟ නාදයෙන් පිරුනා කිමද ගලනු මෙබිම පුරා අඳුර ගිණි විසිර තවනා නිහඬ වෙලා එම ගිණි මැද අසමින් හඬනා දරු දුක ගඟට දරුන් ගෙන පනිමින් දිවි හැරයන මව් දැක දැක රජ මැති සැම නොදකින විට ජනයින් විඳිනා එම දුක කුමට තවත් ලතවන්නේ බසිමු වීදි නගමින් ගොස කුල මල ජාතිය අවුලා නොමග යවා ජන සමගිය වෙස්ගෙන මේ ලෙස එන විට රජ මැති කළ ශාප සැරය නෙත් හැර බලනා ජන හද එක් කොඩියක සෙවනට වැද මහ මග බැස කෑ ගසමින් සනසමු හඬනා ලක්මව
කවිය බලන්න
ඇසළ සදට මතක අතීතේ....

ඇසළ සදට මතක අතීතේ....

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

සුරලොව තුසිතයෙ සුරසැප හැරලන්න මනුලොව ඉපිද තුන්ලොව සනසන්න දෙව්ලොව දෙවියන් විය පවසන්න බඹලොව බඹුන්ද විය අයදින්න කාලය දීපය දේශය බැලුවා මව්තුම සමඟින් කුලයත් බැලුවා නිසි දහමක් ලොව නැතිබව දුටුවා බෝසත් මනුලොව වඩින්න සිතුවා මහභාරතයේ නුවර කිඹුල්වත් කපිලවස්තුපුර මහරජ තෙදවත් සුද්ධෝදන වූ ශාක්ය කුලවත් බිසවට වූවා මහමායා පුත් ඇසළ පෝයදාවක මහ මායා බිසවුන් සැතපෙන කළ දුටු සිහිනය මෙලෙසින් සුදු නෙළුමක් ගෙන සිය සොඩින් කුසට ඇතුළු වූවා දකුණු ඇලෙන් සරණපාව ගෙන කුමරිය යසෝදරා විඳිනා කළ රජසැප සිදුහත් කුමරා දැකලා සතර පෙර නිමිතිද සිත දරා ඇසළ පෝයදාවක ගියෙ ගිහිගෙය හැරා සොයාගන්න යහමග බවදුක නිවන ගමනයන්න සැරසුනවිට බෝසත් එදින යසෝදරා දේවිය ලැබුවා පුත්රුවන තැබුවා නමක් පුතුහට රාහුල ලෙසින සිදුහත් තවුසාණන් ලැබ සම්බුදු පදවි සයවසරක් එක්ව සිටි මිතුරන් සිහිවි ඉසිපතනේදි පස්වග තවුසන් හමුවී ඇසළ පෝයදා දෙසුවා දම්සක් මුල්වී දෙසූ දහම් ඇසුවා පස්වග මහණුන් කොණ්ඩඤ්ඤය පලමුව වූවා සෝවාන් ගෞතම මුනිඳුගෙ මංගල දෙසුමෙන් ඇසළ පෝයදා සැනසුවේ සගයින් සම්බුදු සසුනේ වස්කාලය එළඹෙන්නේ දායකයින් වස් ඇරයුම් දෙන්නේ මහසඟ පෙහෙවස් සිල් අරගන්නේ ඇසළ පෝයදා පළමුව වෙන්නේ ගෞතම බුදුන්ගේ වම් දළදාවත් රැගෙන හේමමාලා සමඟින් කුමරා දන්තද දෙදෙන කිත්සිරිමෙවන් රජසමයේ ලක්දෙරණ ඇසළ පෝයදාවක ඇත මෙහි සපැමිණ පාත්තරා ධාතුව සිරිලක වැඩමීම මාහිමි උපාලි සියමෙන් වැඩමීම දළදා පෙරහැර ලක්දිව ඇරඹීම ඇසළ පෝයදා විය බොහොදේම
කවිය බලන්න
ඇතුළෙද ? එළියෙද ?

ඇතුළෙද ? එළියෙද ?

බූපති නලින් වික්‍රමගේ

බැන්ඩේජ් එකේ උඩ ලේ කැටිය මගෙද? වෙන කාගෙවත්ද? ඇතුළට ගන්න කලින් PCR කරන්නලු PCR කලත් තියෙන්න පුලුවන්ලු ඔක්කොටම කලින් ඒක බලන්නලු බූස්ටර් ගැහුවත් හැදෙන්න පුලුවන්ලු කිරීටක ධමණියෙ තෙල් තට්ටුව පිලාවූස්ද? ෆැමිලිද? ෆාරාද? එක්ස්ප්‍රස් පර්ල්ද? ඇතුළෙ කැටි ගැහිලා එළියට ආවද? එළියට ඇවිත් කැටි ගැහුනද? ප්‍රෙෂර් කීයෙද? පනස් නමයෙද? අසූනමයෙද? දෙදාස් නමයෙද? නමය නපුරුයිලු නේද? ඇතුළෙ කැටි වෙලා එළියට ආවද? කැටි වෙන්නම එළියට ආවද? මගෙද? වෙන කාගෙවත්ද?
කවිය බලන්න
Harem

Harem

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

Law of the jungle was streangth Animals took what they wanted forcibly If the situation demanded they fought forced themselves on the females who meekly surrendered No protest No objection got the protection in return It was Animal Nature Humans were no different When they came out of the jungle the srongest became the leader was called the king later If the king fancied any woman ordered her to the harem No protest No objections No option either Ample food Ample cloths Ample what not and protection in return The ministers could not have harems but found secret ways to follow the foot steps of the king. They protected their secrets only which they still do Those who wield power statutary or monetary have harems original styled or different styled to match the modernity women surrender meekly too ready to drop the cloths to the command No protest No objection Not a whimper from Women's Right Champions either After all this is a free society (if that is their wish no champion can stop them but the champions can make a living by shouting if that is their wish) Showered with food, cloths gold and diamond whisked away in limousines protected by personal body guards What else do the women need ? We educated people so called civillised lot Champions of the righteous society Call names, condemn vehemently shout - dirty ! harems! a disgrace ! they are remnants of the past The world has changed we are a cultured and ethical lot This is Human Nature Do a little soul searching My friends Arn't we all jealous ? 16-03-2022 Nature demands all males to go after the feamales all the time.. Some males are smarter, some are stronger in their approach. Weaker ones put forward theories criticize the others and condemn. Isn't this jealousy ?
කවිය බලන්න
විශ්මිත ලොව

විශ්මිත ලොව

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

මිතුර මා ලද අමා සුවය ඔබෙන් ලද ඇරයුම.... ගිම්හාන සෘතුවේ එංගලන්තයේ හමු වෙමු,...... කෙලි කවට සිනා මැදින් Chelsea flower show පුරා මිතුරන් සමඟින් දැතේ වෙලි වින්දෙමු සුවඳ පාට පාට,.... මගෙ සුහදයානන් Lords ක්‍රිඩා පිටිය සිසාරමින් විඳි සුව,........ අතිතයේ සිහිවටන මැද නතරකොට,..... මගෙ පාසැලේ first century ගැසු මගේ පින්තූර පාසැල් බිත්තියේ,......තාමත් විවෙකයෙන් පසු තව දිගු ගමනක් Gretna Green හන්තානේ කන්ද තරණය නොකලාට වලේ ඉඳන් ගී රස නොවින්දාට පොද වැස්සෙ එක කුඩය යට තුරුල් නොවුනාට Gretna Green යන මග දෙපස නිල් තැනිතලා කඳු අතරින් වංගු කැරකෙමින් පුලුන් වළා යටින් විටින් විට කඩා හැලුන සේද සිහින් වැහි රේඛා කෝපි කෝප්පයකින් උණුසුම හා විවේකයක් එක් කළා ගතට විශ්මිත කම්මල්කරුවාණෙනි,...... මා පෙර පින් කර ඇත්තෙමි ඔබ මැවු ඒ පෙම් කතරේ බැස ඇවිදින්න,....මෙ සංසාරයේ විස්මිත කම්මල්කරුවාණෙනි ප්‍රේමයෙහි සිහින මාලිගා,... සැබෑ කරමින් නීතියේ දොරවල් විවරකර ප්‍රේමයේ තොටිල්ල පැදවූ,..... ඔබෙ දැතට ප්‍රේමවන්තයන් සදා ණයගැති නොවෙදෝ!!!!!!! 19/6/2022
කවිය බලන්න
සොබාදහමක් විඳිනු කෙලෙසද රට අපායට ගිහිල්ලා...

සොබාදහමක් විඳිනු කෙලෙසද රට අපායට ගිහිල්ලා...

ලේඛක, පරිවර්තක චන්දන ගුණසේකර ලන්ඩනය

මලින් අතු ඉති බරවෙලා අද වසන්තය ඇත ඇවිල්ලා සුවඳ විහිදෙයි සතර අතෙහිම අනඟි රැඟුමන් අවුල්ලා බඹර ඉඟි බිඟි කුරුළු කූජන සවන් යුග යයි අතුල්ලා එහෙත් මිනිසුන් දුකිනි තැන තැන සතුට කොහෙදෝ ගිහිල්ලා රටේ හැමතැන පෝළිම්ය අද මුහුණු වෙහෙසට මැළවිලා බෙහෙත් නොමැතිව ලෙඩුන් මිය යති තුන්බියම ඇත පැතිරිලා තරුණ පරපුර මහමඟෙහි වැද ක්‍රමයෙ වෙනසට සැරසිලා එහෙත් බොහො අය දිය කෙළිති තව හැළියෙ දිය දැන් උණුවෙලා හොරුන් මැරයන් යෙහෙන් වැජඹෙති නීතියක් නැත ඔවුන්ට ඔවුන් පසුපස කඩේ යන අය වෙරදරති උන් රකින්ට රටක් වෙනුවෙන් හඬ නැඟු පිරිසකට දඟගෙයි ලඟින්ට සිදුවෙලා ඇත ලක් මවුනි අද තව කඳුළු නැත හැලෙන්ට මෙතෙක් කාලෙට රට කෙරූ අය සුරපුරය වනසා දමා උන්ගෙ බඩකට වඩා ගත්තේ ලක්මවුන් විපතට යොමා රටේ ජන කැළ එකතු නොවුනොත් තව තවත්‍ නොම වී පමා අපට වසනට රටක් නැතිවෙයි සිතට ගතයුතු වෙයි සැමා
කවිය බලන්න
සිදාදියෙ සිංහල

සිදාදියෙ සිංහල

චන්ද්‍රලාල් ද සිල්වා තොටගමුව

ලීලදාසත් එක්ක මරියකඩෙ හන්දියෙන් බස් එකෙන් බහිනකොට ටිකක් රෑ බෝ වෙලා ඉස්සරහ අන්දියෙන් බයිනවා කොන්දොස්තර කියුව පොඩි එකා කයිනවා ඛේත් ගන්නත් ඕන මිනිඅ එන්නෙත් අයට මං යනව මා ඉස්පිරිතාලෙ මට එහෙම කිියාගෙන මාගරට් ගියා දුවගෙන සිදාදියෙ සිංහලේ 'හ' යනු නැති බව දන්නෙ මමත් ඉස්ටොක් වත්තෙ පය තැබුවට පස්සෙ ටික දවසක් යද්දි අවබෝධ වුනා මට "හ" යන්න නැති වුනත් "හු" යන්නෙන් එන වචන හොඳ හැටි ශබ්දකර කියන බව අඩු නැතුව. 23 - 06 - 2022
කවිය බලන්න
ස්ත්‍රිය යනු...!

ස්ත්‍රිය යනු...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

විස්මිත මේ සිතුවම පවසනවා නෙව අපට යමක්... ඉස්ත්‍රිය ගැන; පැවරුවහොත් වගකීමක්, වුවද කුමක්... ඉස්තරමින් කෙරුවොත් නොපැකිල සිතලා යුතුමකමක්... ඉස්තිරවම ලබනව ඇය කිත් පැසසුම් සහිත නමක්... දිස්වන ලෙස, ලඳුන් තිදෙන ඔසවන්නේ එක් කලයක්... හිස්මත, උරයේ, උකුලේ ⁣රඳවාගෙන පා ඇලයක්... තිස්සෙම එකිනෙකා වෙනස්, ඇතිවත් නැතිවත් බලයක්... දස්කම් විවිධාකාරයි , සැසඳුම් නොගෙනෙයි ඵලයක්... ඉස්ත්‍රිය ගැන පෙර කවියෝ වැනුවේ ඇය වගෙයි සඳක්... ලස්සන ඇගෙ දිනෙන් දිනම වැඩෙයි ලෙසින් ගසක කඳක්... තිස්සෙම රඟ පෑමට ඇත විවිධ චරිත, සිතමු මඳක්... විස්කම් මැවුමකි මහබඹු කළ, 'සුන්දර දිරිය ලඳක්'...
කවිය බලන්න
කියා ගනු හැකි නම් ....

කියා ගනු හැකි නම් ....

දීපා ද සිල්වා ලන්ඩනය

සම්බුදුන් පා කමල නැමදලා පේ වෙලා රත්තරන් අබරණින් සැරසිලා හැඩ වෙලා සදාකල් නුබට හිමි ඔටුන්නත් හිස දරා වෙනද හුරු පුරුදු ලෙස ගුවනැබේ රජ වෙලා දගකාර සියක් පෙති මුකුළු ලග නවතිමින් අදුරු දිවි මන් පුරා නව අරුණ ගල්වමින් කදුළු සෝ දුක්නිවා සිනහවක් පූදමින් හිමි සඳේ නුඹ දියට එක් කළා ජීවයක් හැම ඇකය සනසමින් සැරිසරා වෙහෙසෙමින් ගිනියම් වු රැස් කැරලි ලය තුලට හකුලමින් විඩාබර මුව වසා ලෝකයෙන් සගවමින් නුබ ඇදේ මා වෙතට සැනසුමක් අයදමින් පුරුදු ලෙස වැලදගමි සෙනෙහස ම පුරවමින් කියාගනු නොහැකි වූ ප්‍රේමයක් මුමුණමින්
කවිය බලන්න
(ප්‍රභූ ආරක්ෂක )විරුවා

(ප්‍රභූ ආරක්ෂක )විරුවා

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

තුමා සමගින් ඇදෙන වේගෙන් වහන්වීගෙන හැංගිලා ගෙවා පසුකර නගර හනිකේ තිබෙන පෝළිම් දික්වෙලා මහා විපතක හෙලූයෙන් රට ජීවිතේ බර වැඩිවෙලා ලෙහා ගනු බැරි අවුල් සිත මා නිල රථය තුළ තනිකලා උයාගන්නට බැරිලු අම්මා දරත් වැස්සට අහුවෙලා සොයාගන්නට නැහැ ප්‍රෙෂර් පෙති තාත්තා ඇති බයවෙලා කපාගන්නට අරන් විදුලිය මල්ලිගෙත් වැඩ නැතිවෙලා හිතාගන්නට බැරිම තරමට සියළුදේ පැනයක් වෙලා සිටිනවා කුසගින්නෙ ජනයා මුන්ගෙ සැප නැහැ අඩුවෙලා ගෙවනවා දිවි විනෝදෙන් දරු පවුල් සමගින් වැජඹිලා තිබෙනවා නීතියත් පොලිසිය අයුක්තියටම යටවෙලා සිතෙනවා මේ කාලකණ්නියො කුමට රකිමුද වෙහෙසිලා එදා උතුරෙදි සුරැකි විලසින් ද්‍රෝහීන්ගෙන් ගලවලා මෙදා මව්බිම වෙතට මෙහෙයක් කරව හදවත අණකලා යොදා එල්ලය නලල මැද්දට නැගිටුවා අත සොලවලා පුදා මුල්තැන රට රකිමි යැයි දුන් පොරොන්දුව ඉටුකළා
කවිය බලන්න
නැලවිලි ගීතය

නැලවිලි ගීතය

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

Cradle Song by Sarojini Naidu නෙලුම් මල් පිරි ගඟුල් හරහා කුඹුරු, කුළුබඩු උයන් පිසිමින් දිළිසෙනා පිණි බිඳු ද තවරා නුඹට ගෙන එමි පුංචි සොඳුරු ම සිහිනයක් මැණික නුඹ නෙතු වසා ඇති විට දෙව් විමන් වැනි කොහොඹ ගස් මැද කදෝපැණි රංචුව නටති දුර සොරාගෙන පොපී ගසක බඳකින් නුඹට ගෙන එමි පුංචි සොඳුරුම සිහිනයක් ඉතින් සුපතමි පුංචි දෑසට- සුභ රැයක්! රන් එළිය මැද තරු දිලෙද්දී මුදු ව පිරිමැද නුඹ අතට දෙමි පුංචි සොඳුරු ම සිහිනයක් Link to the original poem https://allpoetry.com/poem/8496437-Cradle-Song-by-Sarojini-Naidu Copyright free photo from pixabay Poet’s Bio translated from Poetry foundation සරෝජිනී නයිදු 1879- 1949 කාලයේදී ඉන්දියාවේ වාසය කළ කිවිඳියකි. ඈ කවිකමට වඩා ප්‍රසිද්ධියක් උසුලන්නේ ඉන්දියාවේ නිදහස් අරගලය වෙනුවෙන් සටන් කළ වීර කාන්තාවක් හැටියටයි. ඇගේ කවි වල විචිත්‍රවත් බව නිසා ඇයට මහත්මා ගාන්ධිතුමා පිරිනැමූ ‘භාරත් කෝකිලා’ නම් ගරු සම්මානයටද පාත්‍ර වූවා ය.
කවිය බලන්න
කම්මලේ යුද්ධය

කම්මලේ යුද්ධය

මාලපල්ලේ හේමාංගි අමරසිංහ

“උසුකිරිං - උසුකිරිං” මයිනාහමේ විලාපය වේගවත් වී නැවත යාන්තමට කොලුවාගේ අත්දෙක ම ඉහළට - පහළට හති අරින සද්දය විලාපෙන් වහගෙන! සිරුරට වඩා බර ලොකු - මහත මිටියකින් උඩ පැන - පැන මහලු මිනිසා තඩිබායි “තග්කටං තග්කටං” මෘදුකමක් නැති තෙතමනයකුත් නැති ගිනියම් වූ දෑකැත්තකට! වේගවත් ය කට හඩ මහල්ලාගේ “ඇදපං කොලුවෝ - ඇදපං තවත් හයියෙන්” වේගයෙන් වැදේ ලොකු - මහත මිටිය දෑතලේ! තොරතෝංචියක් නැති ව ඉදහිට තවමත් ඇසේ “තග්කටං තග්කටං - උසුකිරිං - උසුකිරිං” 01/07/2022
කවිය බලන්න
වනයේ තුරු'ඟනන්

වනයේ තුරු'ඟනන්

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

මල් වලින් හිස් ගවසගත් තුරු මුදුන් අඟනෝ යායෙකී තුරු'ඟනන් ගේ නෙරිය ගවසා ඇදී යන ගං දහරකී තුනටියෙන් ගත නමා ගං සළු අන්දනා තුරු බෝමෙකී රිදී වන් වැලි තලා කැඩපත් සේම ගෙන උන් රූ දකී වන සිරස් මදු පවන් බී තුරු අංගනා හා රඟ දෙතී නෙක උසස් මල් පළඳනා හිස් මතින් ලිහි ලිහි බිම ලතී රැළි සහස් රහසින් නඟා ඒ මල්ද ගං සළු වහගතී කිතු යසස් පතුරා සොබා සිරි මලින් යළි තුරු ගැවසෙතී තුරු'ඟනන් ලා දළු දෙතොල් සල සලා ගී පද ගායනා හිරු රදුන් කිතු කිරණ විහිදා වයන්නේ එහි නාදෙනා ගං දියෙන් ගෙතෙනා එ සළුපට රැඟුම් දී හැඩ පාමිනා පුර'ඟනන් කෝ දෙවැනි විය මේ වන'ඟනෝ හට පැරදෙනා
කවිය බලන්න
මහින්දාගමනය  හා සදහම් ශ්‍රී විභූතිය

මහින්දාගමනය හා සදහම් ශ්‍රී විභූතිය

වෛද්‍ය ඉන්ද්‍රාණි රත්නායක පුංචි බොරැල්ල

"තිස්ස.. තිස්ස" හඬට යොමා කණ, බැලුවිට හිස ඔසවා..... රැස් විහිදෙන කහ සිවුරේ අසිරිය හොඳහැටි දුටුවා..... දස්කම නැණ නුවණ රජුගෙ පැන විමසා මැන බැලුවා අස්වනු ලෙස සිරි සම්බුදු දහම හෙළයෙ මුල පිරුවා .................... දහ අට කුළයක පිරිවර මහ බෝ හිමි සමග වැඩිය සඟමිත් තෙරණිය තැබුවා මෙහෙණි සස්න රැඟෙන අඩිය සිහළ බසින් දහම ලියා හෙළ අටුවා සිංහ කොඩිය ලෙළදුනි සාහිත අඹරෙහි නව මගකට රැඟෙන එඩිය .................. මළවුන් පිදු හෙළයන් හට එය බුදුදහමට ගාවා කළ කළ දම් දෙසුම් නිසා පිරි මොහඳුර දුරුවූවා කුළදරුවන් රජ දරුවන් සදහම් රසයෙන් නාවා සෙලවිය සසරට තිබු බැමි සියල්ල බුදුබණ ගාවා ................. උස් අහසට මහ පන්සල්, දාගැබ්, පෙති පිළිම තනා ගස් ගල් වැඳ සිටිය හෙළයො නව මගකට එකතු වුනා පස් පවු, දස අකුසල් හැර යහගුණ හදවතට උනා ලස්සන විය රට දහමින් අනුබුදු හිමි සමිඳු ගෙනා ............ අදටත් නව වරක් පිදුනු මේ රට සම්බුදු සමිඳුට විදහයි හෙළයන් අබිමන දන්සිල රැක සසර ඉමට වැඳ අත් යුග තබා නළලෙ අනුබුදු මහ මිහිඳු නමට සිඳළන්නෙමි බවේ අඳුර සමිදේ ඔබ පමණි පිහිට!
කවිය බලන්න
අහිමි ප්‍රේමය

අහිමි ප්‍රේමය

කරා ආදරේ මං මහ මෙරක් තරමට.. ආදරේ සොය සොයා අතරමං විය කතරක.. බොහෝ පිපාසා දැනුනි.. මම සෙවූ ආදරය අයිතිය තවත් හදකට.. දැනුනා දුක මහාමේරු පර්වතය සමකොට.. හදවතම හිස්.. මගේ ඇස් සමයි දැන් ඉරි තැලුනු කතරකට.. කියන්නට බොහෝ දේ ඇත.. පවක් ඇති මා කළ ඒ නිසා.... අහිමි වන්නට ඇති ප්‍රේමය ඉතින් අවසන මෙසේ කියනෙමි සඳ අයිති අහසට පොළවට නොව... ජනිත් චතුමදුර ප්‍රේමය අහිමි උන ඈත ක්ෂිතිජයක සිට 2022.06.09
කවිය බලන්න
හුදෙකලා කවියෙක්

හුදෙකලා කවියෙක්

කපිල කුමාර කාලිංග

නමක් දිනු කවියෙක් නොවෙමි එහෙත් කවි ලියමි නොකියැවුව අන් කෙනෙක් මම ම කියවමි, මා කවි තනිව විඳිනෙමි. කවිය මට හුස්ම ය දිවිය රැකදෙන නිදසුනක් ලෙස කියමි ඉකුත් වත එක් කලෙක ඇතිවුයෙන් මහා නියං සායක් රෝබියක් කැරළි, රජ මැති අවුල් මියෙන්නට ගති සහස් ගණනින් දරණු නොහැකිව දරුණු පිරිපත ගැළව යන්නට මගක් සෙව්වෙමි ගෙන නෙක කවි පොත් තනා කවි ලෙනක් එහි සැඟවුණෙමි මට පෙර හුන් කවියන් ඇසුරේ තනිකම් නොදැනුණි තවුස් වෙසින් එහි බෝ කල් විසුවෙමි කවියට හැකිය රැකුමට දිවිය කවියක් විඳුම ඔසුවක් බඳුය හිත සුව සදන එපුර වෙසෙන මහ සෙනගට නිතර කවි ලියා තුටුවන මිතුරනි මට කම් කළ මැන මගේ කවිය, මට පමණය.
කවිය බලන්න
රාත්‍රිය සඳහා ඇඳක්

රාත්‍රිය සඳහා ඇඳක්

කමනිකා මොහොට්ටිගේ

ජර්මන් ජාතික නාට්‍ය රචකයෙක්‌ සහ කවියෙක් වන බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් ලියූ 'A bed for the night කවියෙහි සිංහල අනුවාදය. . මා අසා ඇති පරිදි ශීත ඍතුවේ සෑම සවසම, නිව්යෝර්ක් හි 26 වන විදි කොනේ එක් කුඩා මිනිසෙක් බලා හිඳී ... පසුකර යන මඟීන්ට අයැද නිවාස අහිමි වුවන්ට ඔහු සෙවණක් සොයා දෙයි .. . එය ලෝකය වෙනස් නොකරනු ඇත.. එය මිනිසුන්ගේ මිනිසත් ගුණ දියුණු නොකරනු ඇත... එය සූරාකෑම නොනවතනු ඇත... . නමුත් ඔහුගේ මේ ප්‍රයත්නය නිසා මිනිසුන් කිහිප දෙනෙකුට රාත්‍රිය සඳහා ඇඳක් ලැබෙනු ඇත.. සහසක් කඩු තුඩු මෙන් ඇනෙන, දරුණු සීතලෙන් හිම කුණාටුවෙන් මිදීමට ඔවුන්ට සෙවණක් ලැබෙනු ඇත .. . ඉතින් මෙ 'කව කියවා ඉවතට විසි නොකරන් මිතුර .... . සහසක් කඩු තුඩු මෙන් ඇනෙන, දරුණු සීතලෙන් හිම කුණාටුවෙන් මිදීමට ඔවුන්ට සෙවණක් ලැබෙනු ඇත මිනිසුන් කිහිප දෙනෙකුට හෝ රාත්‍රිය සඳහා ඇඳක් ලැබෙනු ඇත.. . නමුත් ඔහුගේ මේ ප්‍රයත්නය මිනිසුන්ගේ මිනිසත් ගුණ දියුණු නොකරනු ඇත... සූරාකෑම නොනවතනු ඇත.... ලෝකය වෙනස් නොකරනු ඇත...
කවිය බලන්න
විසුල පෙම් මල්

විසුල පෙම් මල්

වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

විසුල පෙම් මල් අතුල යහනේ පිපුණු සිත් මල් පරවෙලා තෙපුල පෙම් බස් අතීතේ අපි තුමුළ යහනම ගොළු කලා... පවන රුදුවිය පෙති තැලී සුවඳ පිදුනිය මල සැලී මලක මල්වර සුවඳ කොයිදැයි නොඉඳ මුනිවත කියන් සොදුරියේ වෙලුනු දෑගිලි තෙමී කදුලින් නෙලුනු මල ඉකි බිඳී විලියෙන් සිඳුනු සුවඳින් ලොවට කෙලෙසින් යමුද හෙට දින කියන් කුසුමියේ හඩ; අමරසිරි පීරිස් සංගීතය : විශාරද දිනේශ් බෝගොඩ
කවිය බලන්න
කටු කැලේ පිටිසර මල්  පිපී නගරයේ...

කටු කැලේ පිටිසර මල් පිපී නගරයේ...

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දුරු කටු කැලේ නෙක මල් පිපී සුවඳයි ගමත් - පිටිසර මගේ සුව`ද විලවුන් වගේ - සුවඳ නැහැයට ගෙනේ නගරයේ පිපී ඇත එවන් වනමල් අගේ - මගේ පිටිසර ගමේ... බුදු පතුල සිඹ ගන්න අරලියා හිනැහිලා සුදු දෑ සමන් මල් මානෙල් නෙළුම් හා ඉද්දමල් වතුසුද්ද වට්ටියක සැරසිලා අතින් අත පා වෙවී බුදුගෙට ම ගිහිල්ලා බුදුගෙට ම ගිහිල්ලා... කුමුදු රෑ කුමාරී කොහේ දෝ සැඟවිලා දහවලට නොපිපී ම සඳුට අවනත වෙලා සුව`ද රෑ කල ගනුව කවුරු ඇත නිදි වරා පන්මලී හා රෝස කටු අත්තකට වෙලා කටු අත්තකට වෙලා... අලුයමට පුබුදු වන මලකි සේපාලිකා පිපී නොරැඳී කිමැයි මියෙනු ඈ පරවෙලා පිපෙයි දෙව් විමානේ පරසතු ද මදාරා කිසි දිනෙක කිසිවකු ද නොදුටු මල් නොමියෙනා නොදුටු මල් නොමියෙනා... ලියතඹර මැඩෝනා උඩවැඩිය මල් අගේ සිත් ගත්ත බව හැබැයි දැකුම ඉසිවරුන්ගේ ඉඩ දුනි ද බඹරුන්ට සිප ගෙන ම පැණි බොන්ට නොබැණ ඉඩ දී කිම ද කිසි දිනෙක දුක් නොවී කිසි දිනෙක දුක් නොවී...!
කවිය බලන්න
ගණිකාවගේ මරණය

ගණිකාවගේ මරණය

අඳුරු අහසම එළිය කරමින් අයාලේ ගිය රුවැත්තී.... මැඳුරු නිහඬව ගිලුණු අදුරේ සතුට ගෙනදුන් කුලැත්තී.... ගොඳුරු කරගත් මරුන් සමඟත් රමණයේ උන් පවැත්‍තී.... පැදුරු කොනකට ගුලිවෙලා අද සුනඛයින් හා කුනැත්තී.... කොයිද විනිසුරු අවසරයි දැන් ආවෙ අද මෙහි වෙසඟනක්.... ඇයිද නිහඬව වදකයිනි තොප වේද නිදි වැදි පෙරදිනක්...... නොයිද හැංගී පිසාචයිනේ සතුටු වීයන් එක රැයක්...... පව්ද අමතක කරන් මොහොතක් යම රජුන්ටත් දෙමි පැයක්..... ලෙවකමින් කුණපයේ රස තැන් සුනඛයින් නිදි නෑ රැයේ..... පොරකමින් කබරයින්,පිඹුරන් සතුට සමරයි මරණයේ...... පරදමින් මල් සුවද ඕජස ගලයි කෝ සිරි දෙතනයේ.... ඉවසමින් දඩුවමක් දුන මැන විනිසුරුත් තව සයනයේ.....
කවිය බලන්න
නාන ළිඳ

නාන ළිඳ

කුමාර හෙට්ටිආරච්චි

නාන ළිඳ හැමදා ම සොඳුරු විය කාවයියනුත් බොහෝ සතුටු විය හැමදා ම දිය නාන ගෑණු විය ඒ ගෑණු ළඟ නාන පිරිමි විය ඉනූ තනපට පුරා කූඹි විය නිදන නිදිකුම්බා ද අවදි විය නැමි නැමී කුණු උලන ගෑණු විය හැරි හැරී පිට උලන පිරිමි විය තුත්තිරි ද කස්තුරි ද මිශ්‍ර විය ගුස්ති දැන වස්තර ද ත්‍රස්ත විය නානු ගා රාණි ගෑ ගෑණු විය පාඩුවේ සන්ලයිට් පිරිමි විය සබන් උඩ උදම් වූ ගෑණු විය ගුදම් ළඟ පදම් වූ පිරිමි විය කන හාරමින් බලන ගෑණු විය දත් හාරමින් කහින පිරිමි විය හවරියෙන් පොල් ගාන ගෑණු විය හිරමණෙන් පිට කහන පිරිමි විය සබන් පෙණ සක්වලට වීසි විය ඉනෙන් උඩ ඉනෙන් යට ප්‍රීති විය දිය රෙද්ද සේදෙමින් තුනී විය ක්ලේශයෝ නොසේදී ශේෂ විය ගෑණුන්ට ඉනෙන් උඩ මතක් විය ඒ නිසා පංසලට යන්න විය පිරිමින්ට ඉනෙන් යට මතක් විය ඝන්ටාර හඬත් චූ බරක් විය නාන ළිඳ ටිකෙන් ටික පාළු විය බාල්දිය ළිඳ ගාව තරුණ විය. පංසලේ සෙල්මුවා දොරක් විය ගෑණුන්ට නිවන් දොර මතක් විය පිළිකන්න පැත්තටත් දොරක් විය පිරිමින්ට බාල්දිය මතක් විය.
කවිය බලන්න
සුදු මැණිකෙට

සුදු මැණිකෙට

කුමාරි ගවරම්මාන ශ්‍රී ලංකාව

හිත ඇතුලේ හිර වෙලා කොහෙද දන්නේ නෑ උනන කඳුළු මොන තරම් ද මට තේරෙන්නෑ සමාවෙන්න සුදු මැණිකේ මට වාවන්නෑ දවස් ගණන් ගත වුවත් වචන එන්නෙ නෑ දුවන පනින රූප නිතර හිතේ මැවෙනවා ඇත්තට නැති බව දැනුනම කඳුළු උනනවා මම එනවිට එන හැටි මට මැවිල පෙනෙනවා මගෙ ආදර සුදු මැණිකේ මට තවම ඇඬේනවා මාව සොයන් කොයි ලෝකෙන් ආවද මන්දා මාව රැක්ක හැටි නිතරම සිහියට එනවා සිහියට එන හැම වෙලේම කඳුළු වැටෙනවා සින්ඩි මගේ සුදු මැණිකේ හොඳ මිනිහෙක් වෙනවා
කවිය බලන්න
සිටවමු පැලයක්

සිටවමු පැලයක්

කාංචනා කුමුදුනි කොබවක

ඉඩලද විටක ඉඩසක තිබෙන සැටියට සිටවමු පැලයක් මතු දියුණම ලැබුමට කිරිපිටි බඳුනෙත් සිට වියහැක කදිමෙට ඉවතට දමන කිසිවක් නොමැත කැලයට කොබවක කාංචනා
කවිය බලන්න
කුහුඹු කඳුලැල්

කුහුඹු කඳුලැල්

කෞශල්‍යා ජයලත්

පෙරේදා හවස හතරේ සිට පාන්දර හතර වනතුරු පෙට්‍රල් පෝලිමේ ලැග තෙල් ඉවර වුන බව පවසා ගෙදර ආවේ ඔහු හිස් අතින් නොවේ මහතුනි; වැසි දියෙන් තෙතබරිතව හෙම්බිරිස්සාව කර වට අත දමාගෙන තුරුලුකරගෙන නිමාකර දවසේ රාජකාරිය සවස හත නාද වූ විගසින අද නැවත පිටවුණි ඔහු නිවසින් මුසුවණු පිණිස තෙල් පෝලිමකට හෙම්බිරිස්සා මට්ටු කරනා ඔසු සමග ඉඟුරු ද කොත්තමල්ලි ද පානය කර අහස් කුස කරුණාකර පිණි වැසි නොවස්සනු අද රෑ මහී මව් කම්පාකර තෙල් පෝලිමේ කුඩා කුහුඹුවන් සියොළඟ ම කඳුළින් තෙත් කර බූදල් නො වෙමි කුරුටු ගී නො ලියමි ලබන වසරේ අද වගේ දිනකත් මේ කවිය ලියන්නට වේ දැයි නො දනිමි එලෙස නොම වේවා පතමින් කොමාවක් නොව තිතක් තබනෙමි.
කවිය බලන්න
දාරක ප්‍රේම

දාරක ප්‍රේම

නීතීඥ කල්‍යාණප්‍රිය ජයසුරිය නිව්යෝක් USA

ඇට ඇට මිදුලු පළා ගිය ළෙහි බර සදාතනික දහමකිය ලොවේ ඒ රැඳි රුහිරුද ශේෂයකින් හෝ උණුසුම් වී මුලු ගතම දිවේ දාරක ප්‍රේම වෘත්තාන්ත ද මේ මැයි අතීත සිතුවිලි සිහි කැඳවේ කවදා කොතැනක විපරියාස වුව එදිනෙදි ගෝලය හතරැහැ වේ.
කවිය බලන්න
රත් මලියේ ........

රත් මලියේ ........

ලියෝනි අමරතුංග කැනඩාව

මල් දෙවැටේ වතුසුදු හිනැහුනි නැත අරුමක් රන් මැණිකේ ඔය මුහුණද එවැනිම දසුනක් විල් තලයේ රඟ දෙන මහනෙල දැක දවසක් රත් මලියේ ඉවසමි කෙලෙසක නැත නිවනක් ආදර රන් කඳ මගෙ සුකුමලි පෙම්බරය සාගර නිල් දිය රළ පෙළ ලෙස සුන්දරය දේදුනු වන් දෙබැමද, සිනහව පින්බරය නාඹර බැල්මට බැඳි හදවත මල්වරය පැල වෙත ගෙන යනතුරු සිතිවිලි මගෙ පොරකයි මතු දින ඔය සුවඳට කෙත ලියලනු නියතයි ගෙල බැඳි මුතු දෙපොටට දෙනයන හැඩ කරවයි මල වට බිඟු රඟදෙනු දැක අප පෙම සිහිවෙයි (රවුළු ඡන්දස - සම විරිත් ඇසුරිනි ) ~~ ලියෝනි අමරතුංග - කැනඩාවේ සිට ~~
කවිය බලන්න
ඇට්ලස් ලා........

ඇට්ලස් ලා........

වෛද්‍ය ළහිරු දෙද්දුවකුමාර දිස්ත්‍රික් රෝහල මතුගම

" ඇට්ලස් කියන්නෙ කවුද තාත්ති ? " විමසයි පොඩි පුතු පැන ඔඩොක්කුවට මේ මුලු ලෝකයම දරාගෙන උර මත හිඳින යෝධයා ඔහුයි පිළිවදන් දෙමි පුතුට " පුතාගෙ තාත්තිත් ඉතින් යෝධයෙක් තමයි උස්සන් ඉන්න ගෙදරම බර " පුම්බා ළය උරහිස් පලල් කොට ආයාසයෙන් මවාගමි යෝධ වෙසක් මොහොතකට ම'පුතු අබියස විස්මයෙන් විවර වෙයි සිඟිති මුව ඇසෙයි මුලුතැන්ගෙයින් මෘදු නෝක්කඩු ස්වරයක් විඩාබර " බෙහෙත් ටිකවත් බොන්නෙ නෑනෙ ඔයා මං මතක් නොකලොත් වෙලාවට ! "
කවිය බලන්න
දෙනිපිටියෙ මහ ගහත් කැපුණා.....

දෙනිපිටියෙ මහ ගහත් කැපුණා.....

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

විහිදුවා අත් සෙවන බෙදපූ කරු මුලට බර ටිකක් තියපූ හිරුගෙ ගිනි සැර හිසෙන් වහපු බෝධියකි පෙර බුදුන් වැඩපූ ගෙන්දගම් බිම සුළං වැදුණූ කළු දුමින් කොළ තාර ගැහුණූ බුලත් කෙළ තැන තැනත් ඉහුණු නමුත් ඉවසූ පාරේ ගැහැණු සැදූ රොඩු බොඩු ජෝඩු කපුටූ කූඩු කොණ්ඩා වගේ බොකුටූ තිබූ මුත් ඇඟ මැද්දෙ අරටූ ගියේ නෑ අපෙ නෑයො මොරටූ පෙම්වතුන් අත් ඇඟිලි බැඳුණූ සෙවනෙ ඉඳ කියු කතා ඇහුණු දරාගෙන ලෝ දහම දරුණූ ගහක් වුණු එක පිනකි සිතුණු අවහිරයි මග ලියුම් එව්වා කපන්නට අත්සනක් ගැහුවා ගජමනුත් කවි ගීත ලිව්වා ඒත් දෙනිපිටි ගහත් කැපුවා
කවිය බලන්න
මෙහෙමත් සමයං

මෙහෙමත් සමයං

මයුරි කොඩිකාර ගම්පහ

කිතුලෙහි රෑන අද කෙටිවී පෙඳ කොටයේ උකුලද පෑදි නෙව හිරවී කිටි කිටියේ ලමැදද කීවෙ අව නඩුමය හිරු එළියේ නැතිවද තීගෙ විලි සංගය සිතෙ සැකයේ නිවසෙහි හිටිය සංවර දඟ පුංචි එකී ගමටම එළිය රුව කමලෙන් පිරුණු එකී ලැබුවනෙ රාහු පිටමංකර යවපු එකී වැනසුම තමයි සංකරගති වැලඳු එකී ඉනසිට පෙනෙන වියතක වැඩි එළියෙ ඇතී මිරිවැඩි සඟල ටක් ටොක් තාලයත් දෙතී කලුවට දිලෙන බෝතල් අඩි දෙනෙතෙ වෙතී දිගුවට වැවුන නියපොතු රතු පැහැය ගතී දොඩවන බසද අදනම් වහ කදුරු වගේ එහෙමෙහෙ වැනෙන දිව මුවගට සහෙට දඟේ අහස පොළොව ගැටලන කාරියකි ලඟේ කරකාරෙට කිසිවෙකු නොම ඒවි තිගේ
කවිය බලන්න
හීන් නඟේ

හීන් නඟේ

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

අන්දර වැටෙන් ඉර බැස යන හෝරාවේ ගින්දර වැනි රුවක් වෙත මා නෙත යාවේ සුන්දර කමට දඟ සිත එහෙ මෙහෙ පාවේ තුන්දොර කොහේ රැකගන්නද ඇන්නෑවේ සුළඟේ අක්ඹමර කෙහෙරැලි දඟ දාන සුරතේ පහස විඳ කීකරු වෙන ගාන මසිතේ කිතිකැවෙන සිතුවිලි හංගාන සුවසේ කොහොම ඉන්නද මං ඉවසාන හද සනසා සිනා මල් වැස්සක් වස්සා මද පමණින් ලතාවට ඇගෙ හිස ගස්සා හැඳ සිටි චීත්තයෙ පොට කොනකින් උස්සා හොඳ සීරුවෙන් ඇය වෙල් නියරට බැස්සා කාන්දමක් සේ ඇගෙ පසුපසින් වැටී වාන් දමන පෙම් සිතුවිලි සමග ගැටී හීන් තාලෙකට පැද්දෙන නිතඹෙ හැටී රාන් කිරිල්ලියෙ නුඹ මට දහස් වටී ආන් එහෙම බැලුවොත් නෙත් කැළුම් සලා කාන්සියක් නැත සිටියැකි එදෙස බලා වාන් දමයි ලෙන්ගතුකකම දෙගොඩතලා හීන් නඟේ බහ දෙනවද සිත නොතලා කැත්තට උදැල්ලට මගෙ අත හුරු ඇතුවා මත්තට දුක් නොදී නුඹ රැකගත යුතුවා තව ඉවසන්ටනම් මගෙ සිත නතු නැතුවා සිහිනෙන් පවා නුඹ කැන්දන් එනු දුටුවා කන්නට දෙකට අටු කොටු පිරැවෙන හින්දා දෙන්නට හැක සතුට සම්පත සිත රන්දා ගන්නට විගස නුඹ මගෙ පැල වෙත කැන්දා එන්නට නැකැත තව හරි නැතුවද මන්දා 21/06/2022
කවිය බලන්න
කවිය සහ වෙන්කට්

කවිය සහ වෙන්කට්

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

උපන් දා සිට හිතේ රජ වී ඉන්න මව හා පියාණන් වග නිවන් යනතුරු එකට ඉන්නට පතා ඇවිදින් දාල ගිය මග එවන් සුභ හා අසුභ වූ රස නිමිති එක් තැන් වෙලා හිත අග ලියන්නට යෙදුනා පොතක් ලෙස තියා කවි සංකල්ප එක ළඟ ඔහොම හෙමිහිට උපන් කවි පොත එළිදැක්ම අත ළඟට පැමිණී ළඟම රසිකයො මුහුණු පොත වෙත පැතුම් වැස්සක් එවා තිබුණී නියම කළ මිල ගෙවා පිටපත් ගන්න නම් කවුරුත්ම නොවුණී ඔහු ම නොමිලේ යැව්ව පිටපත් ලැබුණ බව වත් තාම නොදනී සීතලේ ගල් ගැහී වාගේ ගොළු හඬින් සුභ පැතුම් එවලා පින්සලේ කෙඳි වගේ එකටම ළඟම උන් අය යද්දි හැලිලා සිංහලේ මළ පොතේ අකුරක් නොදත් මුත් සහයෝගෙ පතලා කේරළේ 'වෙන්කට්' ඇවිත් පොත් දෙකක් ගත්තා මුදල් ගෙවලා
කවිය බලන්න
අපි යන්නද මල්ලි?

අපි යන්නද මල්ලි?

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

​ පසුබිම​: එදා 1983 වසරේ ​ජුලි මස 25 වෙනිදාය​. මෙම දින වැදගත් වන්නේ, එය කලු ජුලි ලෙසින් හැඳින්වෙන කාල වකවානුවේ පලමු දින වීමය. එදින පස්වරුව වෙන විට කොළඹ නගරය තුල ගිනි දැල් ඇවිලෙමින් තිබිනි. ඒවන විට බස් සහ දුම්රිය ගමන් නවතා තිබිනි. මෙම පද්‍ය රචනය​, එදින රචකයා ලත් අත්දැකීමක් ඇසුරෙනි. ඡායා රුපය: චන්ද‍රගුප්ත අමරසිංහ​ “මෙහෙන් දාල යන්නද අපි?” කොහෙන් ආව කව්රුද තොපි? පිට වරිගෙන් ගත්තද වෙස? මෙසේ අසයි විපරම් ඇස “මේ නංගිල ගෙදරින් ඇර ලන්ටයි අපි යන්නද මල්ලි, රෑ බෝ වෙන්ටයි” හිංගළ කතාව මම ගෙනියන්නං තව තව හොඳ පද ගලපල දෙන්නං අසලා මගෙ බස බැලී ඔහු රථය දෙස නැඟනියන් පිටුපස වෙතට යොමු වුනි ඇස නැතිව පොට්ටු පැළඳිලල්ලක් මූණු අතරේ කුමණ වෙනසක්! “මේ නංගිල දුර ඉඳලයි එන්නේ කලබල හින්දයි බස් නොදුවන්නේ” “පෙට්‍රල් තව නැද්ද දෙන්ට?” “ටැංකියෙ ඇති, මල්ලි ගන්ට” “වැඩ බොහොමයි අද කරන්ට කාලය නෑ තෙල් උරන්ට” අසලා මාගේ පිළිතුරු ටාසන් මා හා සුමිතුරු “පාරෙන් ඔක්කොම මාරු වෙයල්ලා කාරය දාන්ට ඉඩක් දියල්ලා” ගිනි ගත් නිවෙසක් අසලින් දකිමි පිරිසක් පෙට්ටි උසුලන් යති කරත්තෙට පටවති මග දිග දැවෙන කඩ වීදුරුද, සී සී කඩ මේ ටාසන්ලගෙ වැඩ ජාතියක මර හඬ! රථයෙන් මෙසේ යන විට යම් සිතක් පල විය මට ටාසන් කලත් මේ නොහොඳ අපට නම් කලේ හොඳ මං නම් නුඹලගෙ වරිගෙන් නූනට වෙරදිල හරි මට යන්නට දුන්නට මතු ජාති ජාති වල නල්ලම් ඉන්නට එල්ලාම් පින් ලබෙවා! අපෙ මල්ලිට May we pass brother? Context: It was Monday the 25th of July 1983. This date signifies the first day of unrest and turmoil in Sri Lanka, later to be known as “Black July”. By early afternoon the city of Colombo was burning. The mobs were holding sway on city the streets. Public transport was at a stand-still. The writer and a friend set off in a car from the central business district Fort. Their intention is to convey a group of girls who had come to work, to their respective homes. At some point near Town Hall, the car is unable to proceed as the street is obstructed by a group of men. The writer steps out of car speaks to person closest to the vehicle in Sinhala. May we pass brother? But are you one of us! Or someone other? Rowing eyes survey thus Taking girls home from work Assuredly I mutter Don’t you have sisters too That I dare not utter Rod in hand he twirls Peers down at the girls They of diverse race and creed But united in the hour of need Girls huddled in the car All similar pensive faces None with Pottu or Thaali, Those give away traces See bro, they come from far Buses not running… blah, blah! Fluency and tone matter So, I keep-up the chatter Got petrol in a tin can? No there’s some in tank No time to syphon, man Says Tarzan at my flank Now that I’ve passed his test Tarzan is my friend best Clear from the road you! This car must go through Shops ablaze and shattered glass Tarzan back at the helm yelling Unruffled mates loading hand carts Charred remnants of an once dwelling Although you made your call As if we be of the same feather May you gain merit and stand tall For letting us pass my brother
කවිය බලන්න
විධිමත් අධ්‍යාපනය

විධිමත් අධ්‍යාපනය

නිශ්ශංක දිද්දෙණිය

මාතෘ පිතෘ භාතෘ ගියෝය ඔබ තිදෙන නික්මී මට බත් දී - සිප් දී - ජීවය දී සිප් සයුරු තරණයට ණය ගැතිය පිරිමසනු බැරි ලෙසට මා - ඔබට සිප් සයුරු - තෙරපත් පුත් රුවන - සොයුරු මිණ ගිලගත්තේ ය දුරස් කොට ඔබෙන් මා මගෙන් ඔබ දිවි සයුර පතුලට ම 2022 ජූනි 22
කවිය බලන්න
ඇය අම්මා නම් විය............

ඇය අම්මා නම් විය............

නිරෝෂා ගුණසේකර බුත්පිටිය

ඇසැර බැලුවිට දකින දසුනෙහි නොමැති වුව සිත්කළු__________ බවක් වැතිර දරුපෙම අසල ගැහැටම විඳින මැය පෙම්බර______________මවක් නොහැර අදිටන විලස නොසැලෙන හිඳින ලෙස සත්කුළු________පවක් විසිර ගිය සිතිවිල්ල කැටිකොට ලියමි මම ඇය හට ______________කවක් ***************** හිරුට කලියෙන් අවදිවී නිති කරයි දරුවන් වඩන්නට _____________ වෙර මරුට පමණක් දෙවැනි වී හිඳ මරයි හැඟුමන් නැගෙන්නට _________පෙර දරුට ඇති පෙම හදෙහි බිඳුවක් නැතැයි ගියමුත් නොඑන්නට_____ හැර ඇයට දිරියක් උනේ ''සෙනෙහස'' සිතෙයි මෙතුවක් පදින්නට_______දුර සවිය ඇති ගැහැණියක නම් නිති නොසෙල්වෙයි මහමෙර__________ මෙනා අවිය ලෙස ඇගෙ අඳින සළුපිළි කිසිම කල නොදමයි __________________උනා දිවිය අමිරස උවද කවමින් කඳුළු කැට දරුවට __________________________අනා කවියකට එළිවැටක් මෙන් ඇය රකී දරුවන් ලෙස _____________________මනා
කවිය බලන්න

"මචං මං තියන්නං"

නුවන් තොටවත්ත

අද යාලුවෙක් කතා කලා. "හලෝ මචං කොහොමද ?" "ඉන්නවා.. ඉතිං" "තත්වෙ හොඳටම අවුල් නේද ?" "ඔව්. උඹට කොහොමද ?" "අවුල් තමයි ඒත් මට දුක මොකුත් කරගන්න බැරි අහිංසක මිනිස්සු ගැන. අපිට නං මොනව් හරි කරගන්න පුලුවන්. ටිකක් හරි." "හ්ම්ම්... උඹටයි උඹේ නෝනටයි ළමයි දෙන්නටයි පුලුවන් ද දවස් දෙක තුනක් නොකා ඉන්න .. මොකුත්ම නැති වුණොත් කුණු බක්කියක තියෙන දෙයක් හොයාගෙන කන්න. ?" එහා පැත්තෙන් සද්දයක් නෑ.. "උඹ අසනීප උණොත් උඹේ ළමයි දෙන්න ට පුලුවන් ද බස් එකක හරි පයින් හරි ටවුමට ගිහින් කන්න බොන්න මොනවා හරි හොයාගන්න. අඹ ගහකට පොල්ලක් ගහල ගෙඩියක් කඩාගන්න ? මොනවත්ම නැති වුණොත් උබට පුළුවන් ද කාගෙ හරි අතේ තියෙන පාන් රාත්තලක් උදුරගෙන දුවන්න? බැරි වෙලාවත් අහු වුණොත් මිනිස්සු ගහනකොට ඒක දරාගන්න ? මචං මේ පාර බේරෙන්නෙ ඇත්තටම මොනව හරි කරගන්න පුළුවන් මිනිස්සු. ඇත්තටම උඹට මොනව හරි කරගන්න පුලුවන් ද ?" . . . "මචං මං තියන්නං"
කවිය බලන්න
හරිව් සිතිවිලි වහල්

හරිව් සිතිවිලි වහල්

නාලිනී කොඩිකාර මෙල්බන් නුවර

දැයක් දිනනා හෙටක් සාමයෙන් පිරි රටක් ලොවම බබළන හෙටක් බලව් දිදුලන රටක් නගන්නට දැය යළිත් හරිව් සිතිවිලි වහල් රකින්නට හෙට රටක් බැඳෙව් සටනට පෙමින් කුවේර තැනූ පුර ආලකමන්දා සිහිවේ දැක දැක මෙපුර නිබන්දා මතුවේ තැන තැන ඉසුරු අමන්දා සැරදේ මගෙ දැය දෙව්සිරි රන්දා මගෙයි රට නැත සැකක් මමයි රජු රැජිනියත් පුදමි දිවි ඇවැසිවෙත් විදිමි අම සුව මළත්
කවිය බලන්න
Fond memories

Fond memories

ඊ.ඩබ්.එස් නයගරා

I have something in my heart, but I can’t turn it into words, but I can feel only one thing, it’s that I’m still living with my past, it means with my beautiful memories … but everything has changed, so many people lived with me at that time, specially loved ones… some are still with me as before, some people are not like that … But they are still with me physically but their thoughts, attitudes and feelings have completely changed… That's why I said, everything has changed ... now I have no big dreams about those people, my only wish is, please give those people only one chance to treat me like before, with the same love and trust as before… Because I want to go back to those beautiful memories at least once…
කවිය බලන්න
DOWNFALL

DOWNFALL

ඔමිදු බෝමෙත් ප්‍රනාන්දු Meopham School - London

We live life we are nice sometimes we roll the dice we make lots of memories like we pick berries we are mean but we forgive we are kind so we give the moon is full like our smiles we try our best and be nice
කවිය බලන්න
මව් සෙනෙහස.......

මව් සෙනෙහස.......

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

බලා පෙර මඟ නිතින් දයාබර නෙත් දෙකින් පැතිර වූ සෙනෙහසින් දිවි ලදිමි ඔබ වෙතින්. දවා ඝන'දුර ලොවක දිරිය වී හැම විටක සෙනෙහසින් වී මවක පහන් සිල විය සිතක. දිනන්නට ලෝකයක් වඩන්නට දේශ යක් මවන්නට සිහිනයක් වීය මට ලෝකයක්. පිය සමඟ එකතු වී අප සැමට සරණ වී අපගෙ නෙත් දල්වලා ඔබ ඇතේ සැඟවෙලා . ඔබේ ළඟ රැඳි ගුණ සුවඳ මිස නොමැත අද අප හැදු වැඩූ කය පාව යන සිත නැවති මොහොතක මවුනි ඔබෙ රුව දකිමි සිහිනෙක.
කවිය බලන්න
සමරු සිහින

සමරු සිහින

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

හැන්දෑ යාමයේ අනෝරා වැහි වැටන දෝතට ගනිමි මම හඳක් විලසින් පෙනෙන එක පිම්මේ දුවන උණුසුමක් තෙත බරිත අමුත්තෙක් ආ විගස උණුසුමෙන් පිළිගන්න කුඩා කල පුරුද්දට උකුල මත්තට පනින ළදරුවෙක් මෙන් පෙනේ යෝද සිරුරක ඉන්න දවසේම ළඟින් හිඳ ඉර හැරෙන්නටත් පෙර පුරුදු ඉරියව්වෙන්ම නිදිද අද නිහඬවම නිසල නෙත් වැසී ඇත උණුසුමයි තවම හිස සිසිල දෙන කරඳ ගහ යටින් බිම හාරලා පොද වැස්ස නොතකමින් විදුලි පහනින් බලා පස් දෝතක් ගනිමි සීතලයි ඒ උණුසුම
කවිය බලන්න
දියණිය පාලමෙන් ගඟට දැමූ අම්මාගේ ගීතය

දියණිය පාලමෙන් ගඟට දැමූ අම්මාගේ ගීතය

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

ගෙදරකට වැඩකාර කමටවත් දෙන්නටයි උඹ උපන් දින මගේ හිත ඇතුලේ දැවටුනේ උඹ මගේ බඩට ආ හැටියවත් දන්නේ නෑ දිළිඳුකම නිසාමයි මං හිතන්නේ දුවේ කුලී වැඩ ලැබෙන්නෑ මේ දවස්වල දුවේ හිඟා කන්නට තමයි වෙන්නෙ අද හෙට වගේ බඩගින්නෙ නිදන උඹ කෙඳිරි ගානා සද්දෙ ඇහෙනවිට මගේ හිත වාවන්න බෑ දුවේ දිනෙන් දින දිරා යන උඹේ ඇඟ දිහා මට බලා ඉන්නට බැරිම තැනයි මම දුව ගියේ වේලකින්වත් උඹේ බඩ ගින්න නිවන්නට බැරිම බැරි තැනයි මට පිස්සු වැටුනේ දුවේ බුදුන් ගුණ හිත හිතා අවසිහියකින් වගේ පාලමේ කෙළවරට මම ඔහේ ගියෙ දුවේ ලබන ආත්මේදි වත් හොදින් ඉන්නට පතා දෙන්නාම එකපාර මැරෙන්ටයි මගේ දුවේ ඊට පස්සේ දුවේ මක් උනාදැයි කියා හරිහමන් කල්පනාවක් තවම නෑ දුවේ උඹේ අර හිනාවෙන් මුළු මුණ පුරෝගෙන මගෙ ලඟට වරෙන් මගෙ රත්තරන් පොඩි දුවේ
කවිය බලන්න
බඩුව

බඩුව

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

නිමිත්ත : අංගම් ශිල්පය ප්‍රශස්ත ලෙස ප්‍රගුණ කිරීමෙන් අනතුරුව එම ශිල්පයෙ කෙළ පැමිණ පෙළහර පානා ස්ත්‍රීන් වෙත පුද කරනු ලැබූ ගෞරව නාමය " බඩුව" නම් වේ. උකුසු ඇස් සහ මොනර කන් ඇති වඳුරු පිමි සහ කොටි ගමන් ඇති වල ගැහෙන කම්මුල් දෙකක් ඇති ඈ තමයි ගමෙ බඩුව 'චින්තනි' දික් ගුටිය ලෙන් පහර අත් දඬ පිඹුරු ගැට සහ කතිර ගැට ටික අංගමින් නිල තබා අල්ලන ඈ තමයි වෙද ඇදුරි බන්ධනි කෙසෙල් ගොබයේ පෙති කපාගෙන පහළ සිට ඉහළට ම දුව යන අංගමෙන් මුළු ගම ම කලඹන ඈ තමයි අපෙ සළඹ පත්තිනි ඇල්ල ලඟ ඇති පාළු ගල උඩ යෝග වඩනා ඇයව සොයමින කොළඹ දේසෙන් මහත්තුරු විත් ඇසුවා මාගෙන් ඇයගෙ සංසිධි සියලු විස්තර අසන් සිටි අය ඇයව නොදැකම යන්න යන විට ආ පයින් ඇයි යන්න හැරුණේ ඇසුවා හේතුව කරන් සෝදිසි බඩුව නම් ඇය අපට නොහොබියි කියද්දී උන් සිනා බිඳගෙන ඇගේ ගෞරව නාමෙ අංගම් 'බඩුව' බව මම කීවෙ සන්සුනි මහත්තුරු ටික හැරී ආයෙත් සමාවත් ගෙන අනේ මාගෙන් ගියේ ඇල ගල් පොත්තෙ හිදිනා දැකගන්න අපෙ 'බඩුව' චින්තනි "සකද මලයි බබළු වැලයි" කාව්‍ය සංග්‍රහයෙන්.
කවිය බලන්න
කොළඹ යුගයේ සිත්ගත් කවි

කොළඹ යුගයේ සිත්ගත් කවි

වෙන්කත රංගමාල් - පී.බී.අල්විස් පෙරේරා අන්තිම සිහල රජුගේ අග බිසොව ලෙස පෙම් මල් උයන් වැවුවද රජ ගෙදර වැස පසු කාලයෙහි ඔබ ලද කම් කටොලු රැස මම සිහිකරමි දේවිය උණු කඳුලු පිස ඔබ ගේ සිනා රැලි පුන්සඳ රෙහෙණු පොදී මැද මහනුවර පිළිමිණි ගිරිකුළෙහි රැඳී මතුකළ එළිය ගැන තොරතුරු ඉහල දිදී ජෝන් ඩොයිලි ලගු සටහන් කියන ලදී " සිරි වික්මන් රජුගෙ නායක සුරතලිය අති රූපත් ය එ පමණටම සියුමැලිය ඇගෙ දිගු නෙතින් පළවෙයි නිල්මිණි එලිය " ග්‍රැන්විල් ලියූ මේ තොරතුරු පැහැදිලිය තුරුළුව හිමිට ඔබ සිටියදී කඳුළු පෙරා එහි ආ අමන එක්නැළිගොඩ නමැති හොරා බැඳි මිණි කොඩොල් ගත් සැටි කන් යුවළ ඉරා අමතක කරන්නද ජාතිය තිබෙන තුරා වැස්සෙන් තෙමි තෙමී දුම්බර කඳු වැටියේ දහවල ගෙවා එළියෙන් සදැවෙල කැටියේ ආරච්චිලගෙ ගෙට ඇතුළුව උඩ පිටියේ වෙවුලන ළයෙන් ම ය දේවිය වැඩ සිටියේ කන් පොතු ඉරා ලේ වගුරා දරුණු වද පමුණා හඬන දේවිගෙ කෙස්වැටිය මැද සැරසූ මැණික් හර ගලවන විටදි ඇද ගිනි නොගැනුනේ උඩරට මොන පුදුමය ද? "මට වදකරනු ඇයි එක්නැළිගොඩ දරුව?" යනුවෙන් කියූ විට හැඳි සළු පිළි ඉරුව ඒ ජඩයාගෙ ජඩකම් දක්නට බැරුව මුහුදේ වැටෙන්නට ඇත ඉරබටු තරුව වැළපෙනු බලා කණ ලේ ඇස කඳුළු පපා දේවිය ඔබට වද දුන් තෙත් ගුණය නොපා ජඩ මිනිසුන්ගෙ නමවත් මගෙ කණට එපා නළලින් පිසින්නෙමි සියුමැලි ඔබගෙ දෙපා
කවිය බලන්න
මද්දුම බණ්ඩාර පුතුට....

මද්දුම බණ්ඩාර පුතුට....

පුෂ්පශාන්ත සමරනායක මොරටුව

කොළඹ නගරෙට මහ දුරක් නැහැ උඹ මැරුණු මහනුවර ඉඳලා... නොමැරුවත්, උඹ වගේ පොඩි උන් අදත් නොදැනිම යනවා මැරිලා... "මැරෙන හැටි" නං පුතේ මොකටද.. තවත් එකෙකුට කියාදීලා... කියාපන්,මිය ගියත් විරුවකු වෙන්න පුළුවන් සටන් කරලා.. බන්ඩාර මද්දුම පුතේ උඹ මැරෙන හැටි තව වරක් හිතපන්.... මැරෙන්නට බය නැති උනත් උඹ, අවසාන මොහොතෙත් සටන් කරපන්... දංගෙඩිය උඩ හිස තියන්නට කලින් රජුගේ දිහා බලපන්... පරයෙකුට බිය නොවන බව මහ රජුට උඹ කෑ ගහලා කියපන්...... 2022.06.25
කවිය බලන්න
සිත්තරාගේ ප්‍රේමය

සිත්තරාගේ ප්‍රේමය

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

අහම්බෙන් දුටු රුවට පෙම් බැන්ද සිත්තරා හද පත්ලෙ ගැඹුරේම සිතුවම් කලා ඇගෙ රුව අත් කර ගන්ට සිතු මුත් අන් සතු ලඳක බව දැන කඩදහි කොළයක සිත්තමකට නගා මහ ප්‍රදර්ශනයක අලෙවියට තැබුවා ! 2022 ජූනි 16 වෙනි දින.
කවිය බලන්න
ලං ලංව දැනෙනවා ප්‍රේමය..

ලං ලංව දැනෙනවා ප්‍රේමය..

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

එන්නෙ නැති බව දැන දැන තව කොතෙක් කල් බලා ඉන්නද නොඑන්නට හිත හදාගන්නව තිබුණා නොකීවා නම් එදා ඔබ ඉස්සරම තිබුණු හැඟුමන් තවත් නොවෙනස් ව ඇති බව. කියාගන්නට නොහැකි සිතිවිලි නොනැවතී සැඟවෙන්නෙ කවි පද තුල මගබලන හිතකට උරුම කඳුලැල් විතරක්මද? නිමාවක් නොදැකම වසා දමනට ප්‍රේම පුස්තක පහසු නැත හිතකට පාට පින්තාරුවෙන් හැඩවුන වියෝගය අභියස තාම වෙහෙසෙයි සොයා අක්ෂර තිබේදැයි සොයමින් සෙනෙහසක් යන්තමින් ගෑවුන... සරත් සම නිමාවක වියලි ඇඟලුම් නොමැති ගසකට දිව්‍යමය පත් හා කුසුමන් රැගෙන එනවාමයි වසන්තය දවසක සියොලඟම හිරි වට්ටන සිසිරයේ එක සවසක ගිනි සිසිල ඉටු නොවුන පැතුමකි හේඩෑරි වූ තනි හිතකට. පායන්නට අමාවක රැයක තනි තරුවක් වෙලා වත් හිත් අහසක පහන් තරුව වෙන්නයි පැතුවේ දියඹේ අතරමං වූ යාත්‍රාවකට කල්පයකුත් තවත් ටිකක් ඈතයි අතපොවන්නට වත් නොහැකි හත්දින්නත් හීන පොකුරට ඒත් ඔබ තවමත් මුමුණන්නෙ කොයිතරම් ලඟ ද අපි අපට!! රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල.
කවිය බලන්න
ගමට ඔබ රැජිණක්ය රෑ දවල්  හඬ තලන

ගමට ඔබ රැජිණක්ය රෑ දවල් හඬ තලන

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

ගලන ගඟ ගව් ගණන් ඉදිරියට ගලනවා ඉවුරු බිම් ගිලගෙනම ගඟ මැදට අදිනවා පෙනුම නම් හරි හැඩයි සොඳුරු බව පෙනෙනවා ඒ වුණත් වැහි දාට ගඟ දෙගොඩ තලනවා නුඹත් ඒ වගේමයි පෙම් හැඟුම් දැනෙනවා කවියකින් ගීතෙකින් නුඹේ ගුණ වැයෙනවා රන් මසුන් විස සතුන් නුඹ තුළත් ඉන්නවා සුනාමිය ආ දාට නුඹ වියරු වැටෙනවා සඳපානෙ නුඹ මවන පෙම් දසුන් මනරම්ය කවියෙකුට තිළිණයකි නුඹ ගොතන කවි පදය මවන හැම හැඟුමකම මිහිරි දේ අපමණය ක්‍රිෂ්ණාට දෙව් ලොවකි යමුනාවෙ ගං තීරය උපත කඳු මුදුන වුව සයුරටම පෙම් බඳින මවන පෙම් හැඟුම් සහ රංගනය පොර බදන නිමක් නැති ගමනකට නිරන්තර සිත බැඳුන ගමට ඔබ රැජිණක් ය රෑ දවල් හඬ තලන
කවිය බලන්න
ලෝකෝපකාරයේ සිත්ගත් කවි - රණස්ගල්ලේ නා හිමි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි - රණස්ගල්ලේ නා හිමි

රණස්ගල්ලේ නාහිමි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි රදුන් බජනය කළ කෙ දනවත් දනවත් ව බබළා රන් මෙර ඇසුරු කළ හැම සතන් එම පෑය වන මෙන් රජවරුන් ආශ්‍රය කරන කවුරුත් වස්තුවෙන් බබළනුයේ මහා මේරුව ආශ්‍රය කරණ සියලු දෙන එම රන් පැහැයට හැරෙන පරිද්දෙනි.
කවිය බලන්න
ඔව්...මං පිළිගන්නවා

ඔව්...මං පිළිගන්නවා

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

ඔව්...මං පිළිගන්නවා අයාලේ යන බව මගෙ මිනිස් හිත ඇද බැඳ තබන්නට නොහැක මට එය වරෙක යනවා පිම්මෙ යන්නට ඈත පෙනෙනා අනන්තය වෙත බැඳගනිමි නෙත් අසුන් මනසට එවිට මගෙ කන් ඇසෙන්නේ නැත රෑ දවාලක් නොබලාම හිත පාවයන්නට හදයි සැමවිට ඉඳුසැව්වෙ රැඳි පැහැ උලාගෙන පාවෙනා සේ දූලි හිරු යට නොකර මායිම් නුඹ ඇතත් ළඟ මගෙ හිත යයි ඔහේ තැන තැන දෑත විහිදූ සිතිජ ඉර ළඟ මුහුද නැවතෙන'යුරු බලන්නට ඇවැසි යැයි සිත ගහපහ දෙනවිට මං කියා මොනවා කරන්න ද? බඹර තුඩු ගා පෙළා හැරගිය මුහුළු පියුමක දුක අසාගෙන ඒ දුකම මං මගේ කරගෙන එතැන සිට නෙත් දිය හලන විට ඇත්තටම නුඹ ගැන දුකක් නැත ඉනික්බිති එතැනින් ද පැන ගොස් රතිනුදුල කඳු යහන් උඩ හිඳ හිරු නිවෙන පඬුපාට එළි මැද දුරාතීතයෙ පෙම්කතාවක තැවුල් අවුළා ඉන් දැවෙන්නට ඕනැමයි මගෙ සිත කියන විට නුඹේ හිත ළඟමයි මගෙ හිත කියා බේගල් කිව්ව ඇහැකි ද ?
කවිය බලන්න
නොදැමුනු දෑස්

නොදැමුනු දෑස්

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

නොදැමුනු දෑස් වත සුපිපුනු ලවන් සිඹි න නිතඹ ලමැද හැඩ අගය න හිතට වඩා එහෙ මෙහෙ ය න නිතර අකීකරු දෙනය න ලස්සන දුටුවිට පොපිය න උස් මිටි තැන් රුවක දකි න හිස් හැඟුමින් සිත වෙහෙස න ඇස් දෙක මට පව් පුරව න ‍මේඝ කෙලෙසුන් අකුණු සමගි න ‍වේගයෙන් විත් ඉඳුරු පුබුද න රාග වැස්සට පෙනය ඉහල න නාග රජිඳෙකි දැමුනු මා ම න 17/06/2022
කවිය බලන්න
Sand Stone

Sand Stone

සන්ජය ප්‍රියදර්ශන උඩුගම්පොල

Our meeting is doomed When my hurly burly soul Hugs your beds of water You absorb my whole world Forever To me our company is divine I like to be still over your shoulders Your exhales sipped in my nostrils I foresee my father waking in you I burst out my little sobs over your chest Palms of waves, drops of water soothing Magically decay my burden of heart Oh lover! I am a tiny sand stone sitting You’ll wash me deep into heart Surely dissolved one day down On your hands
කවිය බලන්න
රවීණ රංගන වේදිණී ලියෝනී කොතලාවල  සමුගත් වගයි

රවීණ රංගන වේදිණී ලියෝනී කොතලාවල සමුගත් වගයි

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

සතර කොණ වේදිකාවේ ඔබ පැතිර වූ පාසල් වියේ සිට මධුර රංගන විසුල ප්‍රතිබා නිතර මතකයේ නිදන් කරවූ එදා "සාමා" නාට්‍යයෙන් මුල්වරට හැඩ කරන්නට ඔබ මතුව දායක වුණෙන් ළඳුනේ දෛයිවයෙන් ලත් උරුමයෙන් " සාමා "නමින් වූ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයින් සමග රජවී ප්‍රථම වර වේදිකා රංගන හොදම නිලි සම්මානයෙන් දිනු පළමු රංගන වේදිණිය ඔබ හෙළ කලා උළෙලකදි පෙරදා එදා 'වජිරා' සියුමැලී ලෙසින් හැඩතල ජනිත කරමින් 'චණ්ඩාලි' 'රජ දරුවො' සමගින් 'පිපෙන කුමුදු' ද රැගුම් පෑ ඔබ රිදී තීරෙන් නැත මැකී සිහළ ටෙලි සිනමාව හැඩකල සැගව 'හිරුටද මුවාවෙන්' සමග 'තාරාදේවි' යද හා දුටුව සද 'සෝමාගේ සිහිනය' 'චරිත තුනකට' මැදිව ඉන්දු හා අරවින්ද සමගින් පෑව රංගන පුංචි තිරයේ මුතු පොටක් සේ ඇත බැදී වේදිකා සිනමා කලා ලොව දිදුල රන්තරු සම යුගේ අහස හැර මිලිනවී යන සද ගලන අඳුරේ කාල රේඛා විහිදමින් ඇත හෙළ 'ඹරේ ශතක අටකට මදක් අඩුවූ ඔබේ සුන්දර සොඳුරු දිවිමඟෙ අමිල මතකය ශේෂ කරදී ගියෙද සමුගෙන ලියෝනී යැ ඔබ නමින් කොතලාවල දැයෙන් අද සසර ගමනට එකතුවී පතන්නෙමු අපි ඔබට සුබසෙත යළි යළිත් හමුවෙන තුරා
කවිය බලන්න
හෝඩි පොතට නව පිටුවක්

හෝඩි පොතට නව පිටුවක්

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

බහින්නම් අදත් මම මට පුරුදු හන්දියේ කියන්නට දහක් දේ ඇතත් සිත් මන්ඩියේ ගියත් බස්රියේ හිඳ එකට හැම වංගියේ ගොළු-බිහිරි මම කොහොම දොඩන්නද නංගියේ කුමට පිට සක්වලක සොයා නව මිතුරුදම් එකම අසුනක හිඳින නුඹට මා දුරයි නම් හෝඩිපොත පිටු අගට ‘අත්බස’ත් තිබුණිනම් මටත් නුඹ පවසාවි සිතේ සිරකළ හැඟුම් කුමට දෙසවන් දෑල නුඹේ වදන් අසනු බැරි ලබා දෙඅදර කුමට වදන් තෙපලන්න බැරි දෑත ලෙළවා දොඩන මගේ බස නුඹට බැරි උගෙන ඒනම් නුඹත් මගෙ සතුට කියනු බැරි
කවිය බලන්න
ගැහැනිය

ගැහැනිය

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

ගැල හා බැඳුනු නම කැත අපහාසෙට පිරිමින් පටබඳිනවලු හැම කෙංගෙඩියටම උන්ටම මිනිසුන් අවලාද නගනවලු නියතින් ඇයට ණය නැති කිසිවෙකු ලෝකෙම නැතිලු හනට ගන්න හැටි පිරිමින් හීනෙන් දැක නිදි වරණවලු අපමණ දුක් දරා කර දඬු උස් කර දරුවන් වඩලා අසහාය දිරිය කැටි කොට දෙතනේ කිරි පොවලා ඇඟ සුඟ හැඩය නොතකා දරු සුව දුක පිරිමහලා අඩු නැති කැත කතා තූ නොදකින් නොමිනිසුන් වැහි වැහැලා ශානි - 28/06/22
කවිය බලන්න
සේරිවානිජගෙන්, වානිජ අධිකරණයට අභියාචනයක්

සේරිවානිජගෙන්, වානිජ අධිකරණයට අභියාචනයක්

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

සසරේ බොහෝ පෙර එකමත් එක කලෙක මනි බඩු විකිණුවා අපි දෙන්නා එකට පා ගෙවෙනා තුරා ගෙන් ගෙට ගිය දිනක එක පත බෙදා, රෑ ගෙව්වෙත් එක පිලක එකමග ගොහින් කල මනිබඩු වෙළඳාම පාඩුයි ගනන් බලනාවිට හැමදාම ලොස්පිට කරණු බෑ බිස්නස් නම් මෙහෙම ගත් ණය තුරුස් ආපහු ගෙවනදු කොහොම එකමග නොයමු මින්පසු අප දෙන්නාම දෙමගක ගියොත් ලාබයි මේ වෙළඳාම ඒ අදහස ඔබෙයි, නොවුනෙමි මා පුදුම බිස්නස්වලදි ඔබ මට පෙර හැමදාම ඉන්පසු එක මගක නොගියෙමු අපි දෙන්නා දෙමගක ගොහින් බිස්නස් කරගෙන උන්නා දවසක මිතුර ඔබ ඒ සීමාවන් පන්නා මගෙ ඒරියා එකටත් උඹ හොට දැම්මා කැඩුවේ කවුද , ගිවිසුම එකඟතාවය හෙව්වේ කවුද, ගැටුමේ සැබෑ මූලය ගනනින් පන්සිය පනස් වරක් මා වැරදිකාරය මේ අවනඩුව යලි විමසීම ඔබට බාරය
කවිය බලන්න
පත්තිනි අම්මලා

පත්තිනි අම්මලා

සෙව්මි ලෝචනා ලියනගේ රෝමය

පිටි පස්සෙ වැට කඩොළු පැන හෙමින් රිංගලා... හෝඩියට උඹ යැව්වෙ මගේ නම හංගලා... ගැලවුණත් මගේ සළු, සුදු ගවුම් අන්දලා... දෙව් ලොවට යවන්නට උබව මම පිං කලා... කට කතා නැති, දුරක මාව නොම පේන... නාසනා පලාතක "අම්මගේ ගාන"... වැඩුනාම කිරිලියේ හා කුරුළු රෑන... ඈතටම ඉගිලියන් හොය හොයා හීන... උඹේ නම ලියා මගෙ ජාතකේ මකලා... වැජඹියන්, හූල්ලයි ගමේ උන් දැකලා... අතීතය මොක වුණත් හෙටක් ගැන හිතලා... කුල කතක් වන් උතුම් පති සීල රැකලා... බර වැටුණු උකුළු ඇට රිදෙනකොට මැරෙන්න... යටි බඩට හුරු වෙලා හෙණ වුණත් දරන්න... මයෙ දුවේ බෑ අදත් මට උබව වඩන්න... නැලවියන් පැංචියේ තාත්තෙක් නොදන්න...
කවිය බලන්න
මට නැතිවුණු මම - සචී ජයවර්ධන

මට නැතිවුණු මම - සචී ජයවර්ධන

සචී ජයවර්ධන

ගිරව් ඉගිලුණු හවස් උඳුරගත්ත ඉක්මනින් චීස් බේරෙන සුවඳ හංඟගත්තා මම හොරෙන් නාභියේ මැද ඉඳන් හොලවලා දාපු කටු ඔටුන්නෙන් බුර බුරා පැන්නෙ රතු ලේම නම් ව්‍යවච්ඡේදකයා කරේ බොරුවක් දැනුණ තැන හිරිවැටිලා නෑ තවටත් දෙන්න මට වයින් උගුරක් කොච්චර බිව්වත් දැනුණෙ ජින් රසයක් රත්තරං, ඔයාට මතකයිද මාව අදටත්....
කවිය බලන්න
බණ...

බණ...

වෛද්‍ය සුමුදු ඉරසිංහ සමර්සෙට්, එංගලන්තය

"සංසාරෙම අරගලය ක්" ඇහුනට, බණකට කිව්වට දැනුනේ සුළු පිරිසකටයි වගක් නොවේ බොහෝ අයට ... සුදු ඇඳ ගෙන ජේත්තුවට දන් දුන්නට උජාරුවට සිව්වනක් පිරිස සේරොම "අටලෝදම" දැක ඇඹරී කුපිත වෙලා ගෙල මිරිකන් "සංසාරේ දුක " විඳින්න සිත ලෑස්ති නැහැ තාමත් ....... 29/06/22
කවිය බලන්න
පසුපස එන පෙර කර්ම

පසුපස එන පෙර කර්ම

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

ජීවිතයයි උතුම් මිනිසෙකු ලෙස ලැබුව නොවටී ජීවිතය පවකට අත තැබුව කරුණා මෙත් සිතින් විසුමට සිත තැබුව කෙනෙකුගෙ අගය මුදුවකි මැණිකක් එබුව ලැබුවත් මිනිස් ජීවිතයක් පින මෝරා බාධක කම්කටොලු පැමිණෙයි සැප සූරා එක එක හේතු ඇත දුක දෙන සිත පාරා අපි දිවි ගෙවමු ඒවා දැනගෙන තෝරා ඇතැමෙක් කියති අපලයමයි දුක දෙන්නේ ඇස්වහ නිසයි දුක තවෙකෙක් පවසන්නේ කටවහ වුවත් දුක මිස නැත සැප දෙන්නේ කියමින් තවත් අය අඬමින් වැළපෙන්නේ අණවින කොඩිවිනද ඇත සැප වසාලන පැන්නුම් පිල්ලි ඇත ජීවිත නසාලන සාපද අවලාද වෙයි තව විඩාදෙන වස් කවි යන්ත්‍ර මන්ත්‍රද ඇත මරා ලන අනතුරු නොයෙක් ඇතිවෙයි අත පය කඩන රෝගාබාධ ඇත ඇඳකට කොටු කරන වැසි ගිනි සුළං ජල කඳ නොසිතූ ලෙසින ජීවත නසයි දේපල වනසා ලමින මේ කී නොකී නෙක නෙක බාධක මැද්දේ පීඩා දරාගෙන දිවි පෙරටම ඇද්දේ සැනසුම පිණිස පින්කර දෙවියන් යැද්දේ එනමුත් ඉවර නැත දුක නවතන යුද්දේ ඇතිමුත් හේතු පෙනෙනා නොපෙනෙන නේක දුක ඇති කරන පළවෙනි හේතුව කෝක අපි පෙර කරපු නෙක පව්කම් ඇති සේක මුල් තැන ලැබෙන හේතුව දැන ගනු ඒක
කවිය බලන්න
ඉතින් කන්නගී

ඉතින් කන්නගී

තුෂාරි ජයසිංහ මහනුවර

මහ නුගේ මුල සංහිඳේ යට පහන් යායක් දැල්විලා හිස තියන්නට උරහිසේ ඉඩ ලැබී හිමි නුඹේ සැනසිලා පළා ගිය හිස්තැන් පිරී අද රික්තයේ ඉඩ ඇහිරිලා දෙවියන්ට කළ කන්නලවු නුඹ ඵල දරා ඔහු හිමිවෙලා මල් නෙලා කර පළන්දන්නට නොහැකි වී තනි වූ විඩේ මගේ උරහිස වෙන්කලා මම ඔහු නමින් දී පණිවිඩේ රික්තයක් වූ කළට සාගරේ ආදරෙන් මා පිරවුයේ ගඟට ආවඩනා බවම දැන මිස අයිති කර ගන්නට නොවේ නෙළුම් විල මැද අතරමං වූ පාවෙනා ඒ ඔරු කඳේ හබල වී මා එතෙරෙ කෙරුවා විල්තෙරට නිදුකින් හොඳේ දුක් පොදිය මගෙ කරේලාගෙන සතුට පුරවා ඒ නෙතේ අනේ කඳුලින් තෙත් කරා මම නිසරු පොළවක් දැන් නැතේ තන කඩා ලොව ගිනි තියන්නට එපා සොයුරිය අසාපන් නුඹේ සිතිජයේ සුරැකිවම ඔහු තබා සෙනෙහස පුදාපන් මේඝයේ කළු වලා තිර ඇද හොඳින් ඝනඳුර වවාපන් නුඹෙන් ගිළිහුණු ඉරට තනි රැකි ඕෂදිය මම වසාපන් එදා වාගෙම සුදු නෙළුම් මල් තාම පිපෙනව ගොහොරුවේ එක මලක් ගෙන බැතින් තබලා මහ නුගේ යට සන්හිඳේ එදා වාගෙම මෙත් වඩන්නම් කිළිටි නැ මගෙ නම් හිතේ නෙළුම් පිරි විල වගේ දරුවන් පීදියන් නුඹගේ ගැබේ තුෂාරි ජයසිංහ මහනුවර 2022.06.13.
කවිය බලන්න
සැඟවූ ප්‍රේමය

සැඟවූ ප්‍රේමය

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

දෙනෙතින් නුඹ හෙළූ කැළුමන් මාගෙ දෙස මුවගින් නොකී ස්නේහය තිබුණා එදෙස නුඹගේ පෙමට පිටුපා යන්නේ කෙලෙස ආවෙමි තුරුල්ලට නුඹෙ සුරලිය විලස නුඹගේ සෙනෙහෙ අඩු නැතුවම තවම දැනේ ඉඳහිට නුඹම එය සඟවන අයුරු පෙනේ කොයි ලෙසකින් සඟවන්නද පුදන සෙනේ දෝතින් සයුරේ දිය සින්ඳනු හැකිද අනේ මගෙ හද පතුලෙ රඳවාගෙන නුඹෙ මතක යන්නෙමි ලොවෙන් නුඹ යන්නට පෙර දිනෙක මම වෙනුවෙන් එක කඳුළක් නුඹෙ නෙතක නොහෙළනු මැනවි මම මිය ගිය ඒ දිනෙක
කවිය බලන්න
අප්පච්චි විරුවෙකි

අප්පච්චි විරුවෙකි

උපාලි වීරසිංහ

ගලේ අකුරු අතගෑවා අප්පචිචි කියලා සොඳුරු හදක් ඇති සෙබලෙක් කරකාරෙක බැඳලා සොඳුර වෙන්න පෙරුම් පිරුව මා සිහිනෙක වෙලිලා දිනක් මගදි අපෙ නෙතු යුග එකිනෙක මුන ගැහිලා පෙමින් බැදුන නුඹ හා මා සසරෙ හුරුව දැනිලා.. අතින් අතට මංගල මුදු එකිනෙක පලදවලා රුවෙන් රුවට කැන්දන් ගියෙ මනමාලිය කරලා නිරන්තරෙ දුන් උනුහුම මා තුරුලේ තියලා ගිහින් මැනික මම එන්නම් කිව්වේ මුව සිඹලා නුඹෙන් ලදුව ඒ උණුහුම මගෙ කුසතුල වැඩිලා නිරන්තරෙ සෙත් පැතුවා අපි බුදු ගුණ කියලා දිනක් දුටුව ඒ දසුනට මා සිහිසුන් විලා ඇදන් වැටුනෙ හිමියනි මා නිසල සිරුර දැකලා. පුංචි දෝණි නෑ කිසිදින නුඹ හැබැහින් දැකලා දෙදන තියා ඇය වඳිනව නුඹෙ රූපය සිඹලා ඇයට හොරෙන් ගලන කදුලු සේරම පිස දමලා මමත් වඳිමි හිමියනි දොහොත් මුදුන් තියලා පුංචි දෝණි ඇවිදින් මෙහි නමේ අකුරු හොයලා ගලේ අකුරු අතගෑවා අප්පචිචි කියලා තවත් කොහොම ඉවසන්න ද පපුවම යයි පැලිලා අපේ පැංචි සනසන්නේ නුඹ විරුවෙක් කියලා ......
කවිය බලන්න
එක පුන් සදකි මං බිහිකලේ

එක පුන් සදකි මං බිහිකලේ

විශේෂඥ වෛද්‍ය උදාර කුලරත්න එක්සත් රාජධානිය

පාසැලේ සාලාව සරසන වියත් හපනුන් නම් පෙලේ නුඹේ නම දැක නැතත් නෑ කිසි දුකක් හද තුල ඇතිකලේ සමරුවේ ඉම කුහුඹු අකුරින් ලියූ සටහන දුටුවෙලේ දෑස් පිසදා හිනැහුනෙමි එක පුන් සදකි මං බිහිකලේ
කවිය බලන්න
මම කුරුල්ලෙක් වුණා නම්

මම කුරුල්ලෙක් වුණා නම්

උද්‍යා මාධවී

පොඩි දුවගෙ රචනා මාතෘකාව ලියා ඇත ඇය ඇවැසි බව ඉඟිලෙන්න නිල් අහසෙ ඈතටම නොපෙනෙන්න තිබුණි නම් මටත් ලියන්නට රචනාවක් ආයෙත් ලියනව මමත් නිල් පාටට පෙනුනට ඒ අහස ඇත්තටම හිස් බව ඉඟිලෙන්නට තවත් මට අවැසි නැති බව ඇත්තටම මට ඕන ආයෙ පියඹා යන්න මා උපන් ඒ ගමට අඹ ගහේ කූඩුවට බොරු අහස නොපෙනෙන්න වසාගෙන ඇස් තදින් මට ඕනෙ තනිවෙන්න උණුහුමක මා පිය පියාපතක් යට
කවිය බලන්න
බලාපොරොත්තුව..

බලාපොරොත්තුව..

යෂිකා විජේසිංහ

තබමි සුබ පැතුමක්.. දෙතොලගින් උණුසුම් හාදුවක තවරා ඔය නළල මත.. මේ අප හමු විය යුතු සෘතුව නොවේ.. අතරමග නොනැවතී යා යුතුය..යා යුතුය.. මල් වැරූ තුරු හිසක.. ඉව කරනු කිම.. මල් සුවඳකට.. අහඹුවක පැටලෙමින් හමු වෙමුද මතු නුඹ මගේමද.. අපි අපේමද නොඅසන.. අපට හිමි දේශයක අපට හිමි කාලයක.. ශීතයක් වුව ඒ අප හමුවිය යුතු සෘතුවයි.. 2022.06.28
කවිය බලන්න
🗙