2022  මාර්තු කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2022 මාර්තු කලාපය

ශ්‍රී ලාංකේය පුවත්පත් කලාව නවමු මගකට යොමුකළ මහා කලාවේදී බන්ධුල පද්මකුමාර ශුරීන්


කුමර 'කුමරි 'ය හදෙහි 'රිද්මය' හඳුන ගන්නට ඔබට හැකිවිණි 'රැජින' 'සත්සර' 'සමුදුර' ද 'අරලිය' ත් එකලෙස නොනිමි රසදුණි දෙව්ලොවත් අද 'මුල් පිටුව' දැන 'දහස් නෙත' ඒ දෙසට යොමු වුණි වැරදිලා ඔහි එන්න ලැබුනොත් හමුවෙමුය අපි පද්ම කුමරුණි

– අනුර

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන
අඩු කුලයේ ශෝකාන්තය

අඩු කුලයේ ශෝකාන්තය

බන්දුල පද්මකුමාර

පුරාණ ගමේ වැදගත් තීන්දු ගනු ලැබූවේ මොහොට්ටාලලා, ගමරාළලා , විදානේලා වැනි ගමේ ප්‍රභූ පන්තිය විසිනි. ගමට අයිති වැවෙහි වතුර කුඹුරු වලට ලබා දිය යුතු ආකාරය තීරණය කරන්නේ ඔවුන් විසින් පවත්වන ලද සභාවක දීය .මුලින්ම වතුර දෙනු ලබන්නේ පරවේණි ඉඩම් ලෙස සැලකෙන මහා වෙල් පන්තියටය. දුප්පතුන්ට හෝ අඩු කුලයේ අයට පහළ වෙල් පන්තියේ කුඹුරක් තිබෙන්නට පුළුවන. නමුත් ඒවාට වතුර ලැබෙන්නේ පරවේණි ඉඩම් වලට වතුර ලබා දී ඉතිරි වුවහොත් පමණි. ඉඩෝර කාලවලදී ගමේ අහිංසකයන්ට මේ ඛේදවාචකයට මුහුණ දෙන්නට සිදුවේ. ගම කරවන ගොල්ලන්ගේ සබාවේ විදානෙලා ලොකු දේවල් කතාවේ මැළවී ගොසින් ඔබ ආවේ මද්දහනේ කතා නැති නමුත් දෑසේ කඳුළු දිලේ පොල්කටු දෙක තුනක පැන් හිස් වුනා නමුත් බත් පත නො අල්ලා හෝරා දෙකක් ගිහින් නුඹේ හීය රැඳුනු එළිපත්තේ වරිච්චියෙන් කඳුලක් හැලුනු නැති එක පුදුමයක් ඉතින් අප්පච්චියේ මහ උන් මොනවද කීවේ බැරි තැන පොඩි එකී ඇසුවා හීන් සැරෙන් මේ කන්නෙටත් දිය නොලැබෙන හැඩයි දුවේ මහ වැව අයිති උන්ටයි පොඩී අපට නොවේ අහසත් ගිනි ලන්නෙ අපෙ පැල් කොට වලට වැහි දිය පොදක් දුටුවේ නැහැ කල්පෙකට අඩු කුලයෙ උන්ට විතරද මේ වින්නැහිය මොනවා කරන්නද පූරුවෙ කල පවට
කවිය බලන්න
නිවී ගිය බන්දුල පද්ම කුමාර

නිවී ගිය බන්දුල පද්ම කුමාර

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

උදා ළාහිරු කිරණ මැද්දේ කාලයක් තුළ පුංචි තිරයේ රසික නෙත් අංජනය කරමින් මුල්පිටුව, මුල් පුටුවෙ රැදෙමින් එකින් එක ජාතික පුවත් පත් අතින් ගෙන මුදු සිනාවෙන් රටම දැණුවත් කළා නොවැ ඔබ අළුත් ගමනක් අරඹමින් මුද්‍රණය වූ පුවත් පත් පිටු මුලින් දර්ශන තල මැදින් විවරණය කළ අළුත් මාවත මැදි සිතින් මතු බලා උන්නේ බොහෝ රූ නාලිකා ඔස්සේ එයමැ ජන සිත් පුබුදමින් ගලා ගෙන ගිය රැස් ප්‍රභාවයි පුවත් පත් දෙටු නියමුවාණෝ සරසමින් සිනමා පුවත්පත් කරලියට ගත් 'කුමරි' ගීතා' එදා ජනගත වුණේ අපමණ රසික සිත් නන්දනය කරමින් ආ මඟෙහි පන්නරය ලබමින් උදා කෙරුමට බිහිදොරක් වුණෙ "කුමරි" හා "පතිපතිනි සගරා" ඔබේ රැකවරනය තුළින් සබාපති ලෙස පත්වෙමින් පුවත්පත් මහගෙදර බැබළූ කලක් කාගෙත් ආදරය ලත් මේ සුපිප්ෂිත පද්ම කුමරුන් බැසගියේ සිටි, නමින් බන්දුල තරු වටා වුන් පුරහඳක් වන් පුවත්පත් නිල් අඹර සරසූ ඝන වළාවක සැගැවෙමින් 24.2.2022
කවිය බලන්න
වැස්ස පමා වෙලා වරෙන්

වැස්ස පමා වෙලා වරෙන්

අන්ජලී චන්දිමා සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

වැස්ස ටිකක් පමා වෙයන් හනි හනිකට නුඹ ආවොත් පුංචි දෝණි බඩගින්නේ වලව්වෙ වැඩ ඉවර වෙද්දි දන්නෙම නෑ වෙලා ගිහින් ඒ හින්දයි මේ තරමට පය ඉක්මන් කරන්නෙ මං මට තරමට හදිස්සියක් නුඹට ඉතින් නැති හන්දා ටිකක් පමා වෙලා වරෙන් ගෙදරට මං යනතුරුවත්
කවිය බලන්න
ජීවිතය අපි හොයනවා ....

ජීවිතය අපි හොයනවා ....

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

ජීවිතය අපි හොයනවා .... ගෙදර වත්තේ තිබුණු ගස් ටික කපා වනසා Interlock කර කඩෙන් ගෙනැවිත් පාට මල් පැල ආයෙ වත්තම හදනවා ජීවිතය අපි හොයනවා අම්මා, අප්පා යවා ගෙදරින් බෙදා වැඩිහිටි නිවාසෙට දන් සෙල්ෆි දහයක් ගහනවා Facebook හැඩ කරනවා ජීවිතය අපි හොයනවා කප කපා දිගු සේද වරලස Saloon කට් එක අනුව ඇහිබැම නේක නම් ඇති Cream උල උල මූණේ ලස්සන හොයනවා ජීවිතය අපි හොයනවා වීසිකර තිබු සරල දිවි පැස බදා සංකර ගති සිරිත් රැස Busy කිය කිය දවල් රෑටත් සල්ලි පොදි මිටි බදිනවා නිමා නැති තරගයක් මැද්දේ ජීවිතය අපි හොයනවා අපට අපි මගහැරෙනවා
කවිය බලන්න
කිඹුල්වතට වඩිනා ගෞතම මුනිඳු

කිඹුල්වතට වඩිනා ගෞතම මුනිඳු

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

ඇසළ පෝයදා සත්වසකට පෙර එදින සිදුහත් පුතුන් කලපසු මහභිනික්මන බුදුවී පැමිණ මගධයේ වේළුවන සිටිනා බව දැනගත් රජු සුධෝදන සියපුතු දකින්නට සිතනැගි ආශාවෙන් යැව්වා දූත පිරිසක් ඇමතිද සමඟින් පවසනු පිණිස ගොස් බුදුහිමි දකිමින් පියරජු පැවසු බව සියරට වඩින ලෙසින් පළමුව ගිය දූතයන් නැහැ යලි ආවේ සුදොවුන් රජුගේ අරමුණු නැහැ ඉටුවූවේ ඇමතින් නවදෙනෙක් නව වරකට යැව්වේ නවදහසක්ම ලැබුවා ගොස් පැවිදි බවේ දූතපිරිස් නවයක් ගොස් මහණ වුණා දසවෙනි දූත පිරිසත් රජු කැඳවුණා කාළුදායි ඇමතිව නායක කෙරුණා බුදුහිමි වැඩමවන්නට අණ ලැබුණා කාළුදායි සුදොවුන් රජුවෙත ආවා කොන්දේසියක් රජතුමවෙත පෑවා බුදුබණ අසා මහණවෙන්නට පැතුවා රජුවර ලැබී පිරිසම රජගහ ආවා යොදුන් සැටක්දුර රජගහනුවර සිට තමන් උපන්ගම නෑදැ සියන්හට බුදුන් ගිය නිවන් තතු පහදන්ට මැදින් පෝදාක ඇරඹුවේ වඩින්නට කාළුදායි මහණවෙලා සම්බුදු අපේ බුදු හමුවේ වැඩිදින නොගොසින් ලැබුවා මහ රහත් බවේ දින හතඅටක් යද්දි එළඹුණු ඒ සුභවෙලාවේ සුදොවුන් රජුගේ ඇරයුම තැබුවා බුදුහිමි හමුවේ ගාථා හැටකින් වැනුවා අසිරිය ඇති යනමගේ පිළිගෙන ඇරයුම බැලුවා සිරිතද හිමි බුදුමගේ මැදින් පෝයදා වසන්තේ අරඹද්දි සුභයුගේ කිඹුල්වතට යන ගමනේ මුල පිරුවා යස අගේ
කවිය බලන්න
දුරින් ඉඳන් ඉඹිනවාලු

දුරින් ඉඳන් ඉඹිනවාලු

අනුර හෑගොඩ

නෙතින් නෙතක් ඉවතට ගෙන අතින් අතක් අත්හළ දා හිරු සඳු තරු පායනවා කිසි ගානක් නැතිවා හිරු සඳු තරු හිනැහෙනවා කිසිම දුකක් නැතිවා ගුරු පාරේ සල් ගස්වල අලුතින් මල් පිපිලා ඒ මල් සුළඟට අසුවී පෙති හැමතැන හැළිලා ගඟ හරහට ඔරු පදින්න ගියත් තනිය මකලා මා ලියු කවි පෙණපිඬු වී ගඟ පුරාම පිරිලා එදා වගෙම මල් වැස්සට රේල් පීලි තෙමෙනවාලු බෝ පත් අතරින් එබිලා තරු කාවද හොයනවාලු හාදු දෙන්න සඳු පසුපස හිරු තවමත් දුවනවාලු බැරි වුනාට පෝයදාට දුරින් ඉඳන් ඉඹිනවාලු ----------------------------------------------- ගායනය ; අමරසිරි පීරිස් / සංගීතය : නාලක අංජන කුමාර නිකුත් වීමට නියමිතයි - ලියූවේ 2013 දී පටිගත කරන ලද්දේ 2017 දී
කවිය බලන්න
බැදුම් නැති තැන රිදුම් කිසි නෑ

බැදුම් නැති තැන රිදුම් කිසි නෑ

අරුණ ශ්‍රී එදිරිසිංහ පන්නිපිටිය

කුරුලු පැටියට කිසිම දිනකදි නැතිය මහගෙදරක් කුරුලු යුවලක් හදාගන්නව තමන්ටම ගෙදරක් සින්දු කියනව නැටුම් නටනව එතන හරි මිහිරක් සොබා දහමට වෙන්න අවනත නැතිය කිසි වරදක් බැදුම් නැති තැන රිදුම් කිසි නෑ ඒ අමා නිවනක් දියුණු මනසක් දියුණු දහමක් ඔටුණු පැළදූවත් කුරුලු ලෝකය හිතා බැලුවම අපට වැඩි පොහොසත් පොදි බැදුම් නැහැ පොර බැදුම් නැහැ නැතිය තණ්හාවක් මිනිසුනේ මේ හිතා බලනට හොද ම පණිවුඩයක් අහස් මාලිග නොම තනාලා පොළොවෙ පා තබලා මිනිස් දහමේ සුවද බඹ විහරණෙන් තෙත් කරලා සරුන්ගලයක් නොවී පාවෙන නූල අතහැරිලා ගහක් වාගේ ඉදිමු සුළගට නැවෙන්නට හැරලා
කවිය බලන්න
පාටමල්.

පාටමල්.

ආරි ලියනගේ ඉතාලිය

නෙක නෙක ජාති මල් නොපිපේ එක ගහක නෙක පැහැ මල් පිපේ විටකදි තනි ගහක කෙතරම් හැඩවුනත් එක්කර ගෙන පාට සුවඳට මලේ මුසු වන්නේ නැත පාට. ආඩම්බරෙන් පිපුනත් රජ උයන් වල කටු අකුලක මඩ වගුරක කැලෑ වල සුලඟක පහස මලකට නැතිවුනදාට පරවී පෙති හැලෙයි නැත බඹරෙකු පහස තබා සිත් පතුලෙ සිරකර නොපිපුනු මලක සිහිනයක් බදාගෙන සිඹින්නෙ විටෙක නාදුනා මලක සුවඳක් මලයි ගැහැණියයි දෙදෙන සඳාතනික බැඳි ප්‍රේමයක් පෙම් බදින්නට බාඳුරා මලකට සදාකාලික සිහිනයක්.
කවිය බලන්න
වැසි වසීද මන්දා

වැසි වසීද මන්දා

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

වසින්නට සිසිල බෙද සැරසුනත් දාහෙට ඉසින්නට ඇරයුමක් නොලද හිත් යායට බින්දින්නට නොහැකි සීතල බැඳුනු හීනෙට වැටෙන්නට බැරි වැස්ස මිදී ඇත සීලෙට බිඳින්නට සම්මතේ වටකරන පවුරූ බැඳෙන්නට ඔනේමලු ගඟ දෙපස ඉවුරූ විඳින්නට නොහැකි ආදරය රස මියුරූ රිදවන්න දන්නවා හිතක දුක ඇතිරූ
කවිය බලන්න
කම්පන තාල

කම්පන තාල

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

සිසිල් දිය රළ අතර පිහිනා ලෝල බස් ඉඟි මරා කියනා මින් රැන් ගී ගයන දියඹට ඉහළ හිරුගේ කිරණ සරනා සොබා දම් වීණාව නද දෙන ලොවේ පිළිහුඩු හඬද ඇසෙනා පිච්ච අරලිය නා මලින් පිරි වන අරණ විහිදන සුවඳ මැද දොළක සිලි සිලි හඬින් පිබිදී පිපී සුවඳින් සුළඟෙ වැනෙනා ඕලු මහනෙල් නෙළුම් අතරේ ගිඩාරන් මල් ගඳත් දැනෙනා හදින් හිනැහී දුක දරාගෙන කෘස දරුන් ඇකයේ ගසාගෙන දැත් කරගැට පැලී ලේ එන සමාජය නගනා කෙඳිරි මැද වාසලේ මන්දිරේ නටමින් සවන් කම්පන තාල වයනා සා පැටව් මුව පැටව් කෙළිනා බටිචි ලිහිණින් නළා වැයෙනා හරිතබඩ සිසිලසම ගලනා දොළේ ගඟුලේ වැවක සයුරේ ගෙඹිද ඉබි මින් රළ හඬද්දී උකුස්සන් නුබ ගැබේ සරනා
කවිය බලන්න
ගන්දබ්බ චාරිකාව..............

ගන්දබ්බ චාරිකාව..............

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

ගන්දබ්බ චාරිකාව.............. ගිලන් රථයෙ ආදෝනා මැද ගන්ධබ්බ චාරිකාවක මම මගෙ මරණය ඇයට කියනට ගියෙමි ඇයගෙ නිවස අසලට ඇගේ සුකුමල සොදුරු රුව හඩ දුරකථන පෙම් සදැ වරුවක ඇගෙන් සමුගෙන සමුදෙන්න සිරුරට යද්දි යළි මා හිත හදාගෙන ඇසුණා කියනවා ඇගෙ පෙම්වත සැත්කමක් හදිසියේම එනවා ඉන්න ගන්නම් මග බලාගෙන.... දවස් දෙකකුත් පැය දොලහකුත් නින්දෙ සිටියා සිරුර තනියම පාවි පාවි දුටුව දේවල් හින්දා යන්නම් හිත හදාගෙන
කවිය බලන්න

"මානිවත්ථ අභික්ඛම"

අමර ගුණසේකර Marne la Valée ප්‍රංශය

ජීවමාන පිය සටහන් රැඳි සේම ඩෙස් පුටු බංකු පාසල් මව් පියස රැඳෙනා ඉසව්වේ නොනිඳන හිත තුලම ආදර සෙනෙහෙ ගඟුලකි නොසිඳෙන උල්පතකි මුල් පුටු පේළි වල රජ කළ දළ ඇත්තූ මාළිගාවෙ පෙරහැර දා බලවත්තූ අන්තිම පේළිවල අසරණ දුක් ගත්තූ දරුවන් හන්ද අපෙ පාසල නම ගත්තූ ඊයෙ දවස දෙස හැරිලා බලන කොට හද පිරි සුවඳ අමතක කරමුද කෝම ලොප් වීමකින් තොර යන්නට ඉදිරියට ඔබ දුන් හඬට මං තවමත් ණය ගැතිය මගෙ විදුහල් මෑණි වෙත මං යන දාක ඩෙස් පුටු බංකු ටික ගුරු දෙගුරුන් එක්ක දුන් සුවඳම එදා ජීවන පුසුඹක් සේම යළිඳු දෙන්න මගෙ හද පුරවා ගන්න සිල්ප සතර දී දැනුමින් මා ලොකු මහත් කළ ගාල්ලේ මීපාවල අමරසූරිය මහ විදුහල් මෑණියන්ට මගෙන් ගුරු පූජාවක් 2022.02.18
කවිය බලන්න
සුදු ඇන්ද පින්වත් මහතුනේ

සුදු ඇන්ද පින්වත් මහතුනේ

ආරියරත්න ජයසිංහ මහරගම

නිසසලය මේ අරණ විලක් බඳු පිපි තඹර ඔබට හැක පිවිසෙන්න. ඇවිලි ඇවිලී දැවෙන කුරිරු ලාවා ගලන එට්නා ගිනි කන්ද ඇල් දියෙන් නිවාගෙන මළ කහට ඉවත හැර ඔබට හැකි යළි යන්න. දොර ජනෙල් කවුළු නැති සොර සතුරු බියක් නැති බැඳීමෙන් තොර අරණ ජීවිතේ එවරස්ට් කන්ද නැග හති වැටී මෙහි එන්න අළුත් මිනිසෙකු විලස ඔබට යා හැකි නික්ම සුදු ඇන්ද පින්වත් මහතුනේ මළ බැඳුනු සිත වසා සුදු නොඇන්දත් කම් නැතී “මිනිසෙකු” ලෙස ඇතුළුවන්න. එහෙත් මෙය සිතනු මැන උපතේදි ණයට ගෙන ඔබ පැළැඳගෙන සිටින ජාති, ආගම්, වර්ණ, කුලමල පාවහන්, හිස් වැසුම්, වෙස්මුහුණු දොරටුවෙදි ගලවන්න පුදබිමකි මේ අරණ ආපසු යනවිට නික්ම ඒවා අවැසි නොවනු ඇත යළිත් ගෙනයනු පිණිස. -ආරියරත්න ජයසිංහ- (2022 ජනවාරි)
කවිය බලන්න
කොට්ටේ ?

කොට්ටේ ?

වෛද්‍ය බෝධිනී සමරතුංග ස්වීඩනය

අලුත් දොස්තර මම වෙමි‍ බෙහෙත් දෙන්නට ආමි‍ ආයුද අත දරා නේමි‍ නෑ ඒ ආමි නොව මම ආවෙමි… ඌර් එංග අම්මා ‍ ? ගම කොහේදැයි අසන්නේ… වන්නි වන්නි කියමින්‍ මට සිරික්කියම දමන්නේ‍ වන්නි මේ මුළු පළාතම නේ ගමේ නම යළි අසන්නේ පූනකැරි යැයි ඇය කියන ගම‍ පුනරීන් අපි කියන්නේ අලුත් දොස්තර මම වෙමි වාට්ටු ව වෙත ආවෙමි ඇඳන් උඩ බිම පැදුරු ය කොට්ට හිස නැති බව දුටුවෙමි “අනේ මිස් මෙහෙ එන්න‍ මේ අම්මලා පව් ඔන්න‍ කොට්ට නෑ නොවැ හිස තියන්නට‍‍ කොට්ටයක් ගෙන එන්න !” හිස අත් බදන් ඇස් උස් කරන්‍‍ මිසී දුවගෙන ඇවිත් නේ‍ ‍මාව පසෙකට අරන් ගෙනිහින්‍ හොරෙන් රහසෙන් කියන්නෙ ‍‍ “මොනවා මේ දොඩන්නෙ‍‍ කොට්ට කොට්ටෙයි කියන්නෙ‍ ඒක මහ නරක වචනෙ දොස්තර නේද ඔබ” අසන්නේ එකම වචනෙට බොහෝ තේරුම්‍‍ නිතර මගෙ කණ ඇසෙන්නේ කන් කියන්නේ ඇසට දෙමළෙන් නිතර පැටළුම් ලෙහන්නේ‍ උතුර අපටයි දකුණ අපටයි ‍ බෙදුම් මොකටද අසන්නේ ආදරෙයි මට කියන සැමටම නේරම් ඉල්ලෙයි කියන්නේ ( සිංහල දෙමළ තේරුම - කොට්ටෙ - වෘෂණ කෝෂ නේරම් ඉල්ලෙයි - වෙලාවක් නෑ )
කවිය බලන්න
අළුත් පරපුරක්

අළුත් පරපුරක්

චන්ද්‍රලාල් ද සිල්වා තොටගමුව

කොහා හැඬුවා අවුරුද්ද ආවා ගමේ පොඩි උන් තුටු වුනා සුසර වී නුඹෙ ගී හඬින් මම පඳුරු අස්සෙම වැතිරුනා මඟුල් බෙර හැඬවුනේ නැතිමුත් මධුසමය අපෙ ගත වුනා මටත් නොදැනිම බක් මහේ හෙන මගේ ඉහමත පිපිරුණා ප්‍රසූතිය ලං වෙද්දි කැදැල්ලක් හෙව්ව අපි බැරිම තැන කපුටෙකුගෙ කූඩුවක දැම්මෙ බිජු මතකයි නෙ ගියසැරේ කපුටි නැති අවසරේ බිත්තර රැක්ක හැටි වහං වෙල පන බයේ කපුටටත් තේරුණා දවසක් බිජු රකින්නේ අඹු නොවන වග මා දිහා ඌ බැලූ බැල්මට ඉගිලුණා නොපෙනෙක්න ඈතට එලව එලවා පැටවුන්ට කෙටුවා කපුටි අනුකම්පාවක් නැතුව තමන්ගෙම දරුවන්ට කොටල මරනව බලා ඉන්නට සිද්ද වුන නිවටියක උනා මම මීට පස්සෙ මට නම් බෑ බිත්තර බර වෙච්චි දාට කපුටිගෙ කූඩුවට යන්න මමත් කැමති හැබෑ අම්මෙක් වගේ මගේම උණුහුමත් එක්ක මගේම කූඩුවක් ඇතුලෙ මගේම බිත්තර රකින්න දෝස්මුරයක් නොවෙයි අනේ අපි හදාගමු කූඩුවක් අඩු තරමෙ කපුට හදනව වගේ නැතිනම් කිසි දවසක මං එන්නේ නෑ නිදි වදින්ක පඳුරු අස්සෙ තමුසෙ එක්ක අර බලනව පොඩි උනාට වඩු කුරුල්ල උගෙ ඇඹනිට තට්ටු දෙකේ ගෙයක් හදල "මෙම නිවසට ඛුදු සරණයි" බෝඩ් එකක් හෙම එල්ලල ලජ්ජාවක් ඇත්තෙම නැති වැඩකට නැති පිරිමි වෙච්චි තමුසෙ වගෙද පොඩි වුනාට අන්න පිරිමි ඉගෙන ගන්නවකො තමුසෙත් පැල් කොටයක් අටවගන්න අඩු තරමින් කපුට වගේ නොහැදුවොත් කූඩුවක් බක්මහට ඉස්සරින් අම්මා පල්ලවත් මම යනව යනවයි පුංචි වුනත් කම්මැලි නැති වඩු කුරුල්ලත් එක්ක කූඩු හදන්නත් පුළුවන් සිංදු කියන්නත් පුළුවන් අලුත් පරපුරක් හදනව උන්ගේ නම වඩු කොවුල්ලු 03.12.2022
කවිය බලන්න
ආදරණීයයි

ආදරණීයයි

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

මිහිරි ගී ගයමින් අත්තෙන් අත්තට පනිමින් ආදර රැඟුම් පාමින් තුඩට තුඩ දෙමින් ආදර බස් පවසයි සෙමින් එදා,..... කෝටු කෑලි සොයාලා පරඬැල් කොල ගෙනල්ලා තාලයට තියාලා ඡෝති ගීයක් ගයාලා හදවත් මත් කලා අද,...... අළුතින් පදයක් එක් කරලා සේද නුල් සොරා ගෙනල්ලා ඇතිරිල්ලක් ගෙත්තම් කරලා යාබද නිවසේ පියස්සේ පිල්ල අස්සේ වට පිට බලමින් කැදැල්ල සදන්නේ හොරෙන් හොරෙන් යාබද නිවෙස දෙසින් ඇසෙන ආයාචනාත්මක හඬින් ගයන දුක් ගීයෙන් මහ රෑක මා අවදිවුයෙන් කන් දුනිමි නිසොල්මනින් ගැයෙන දුක් ගීතයෙන් ආදරය පවසයි යහමින් සුදු මැණික් මගෙ රත්තරන් දොර අරින්න ඉක්මනින් ගෙනාවා රසවත් ඵල යහමින් සැරි සරද්දි නිදහසෙන් පැටලුණා මිතුරන් සමඟින් මී විතක රස බැලුවා කලකින් කැදැල්ල සොයා ආමි ඉක්මනින් හනික දොර අරින්න රත්තරන් කුරුලු ගෙදරක ඇති සතුට සාමය මිනිස් ලොවෙත් ඇත්නම් ....... 15/2/2022
කවිය බලන්න
නෙළුම් සුරඟන

නෙළුම් සුරඟන

චමිලා නවගත්තේගම ලන්ඩනය

නෙළුම් සුරඟන නෙතඟත් පිරෙයි නුඹෙ වත රන් කමලාන බඹරුත් ඇවිත් සිප වද දෙයි අවදාන නැඹුරත් ඇතිව දුව හැම දින මුනිදාන ගිහිනුත් වදිනු මල් පුද හිස නැමදාන උවනත් නෙතගෙ රුවගෙන දෙයි කළඹාන පැහැපත් ගතද පියුමකි එය පිනවාන බඹරුත් ඇතිද වැව් දිය පිට සගවාන තඹරත් රැගෙන නුඹ ගෙන යයි කැදවාන කොළපත් දිළි නිල් රැව දෙන සරසාන බියපත් ඇතිව සුකුමල වත ගලපාන පෙලපත් වලට ගරු බුහුමන් කරවාන මෙහෙමත් හොදද ඇයි තනියම කරබාන පොහොසත් කමක් ඇද රෙදි පිලි සරසාන පෙනුනත් අසිරියෙන් මුළු ලොව කළබාන ඉමහත් සතුට ටික කලකින් සඟවාන යනවත් ⁣නිසැක බව දැන ගනු අඟවාන පිපුනත් ගොහොරු මඬ තුල රන් තඹරාන නුඹවත් ඉතින් ඒ මල් මෙන් කළඹාන හදවත් වසඟ කර නෙත ගත පුරවාන මිනිසත් කුලේ නුඹ මගෙ දුව මිනිපහන
කවිය බලන්න
අතීතයේ වැලන්ටයින්

අතීතයේ වැලන්ටයින්

සිසිල් මාන්නප්පෙරුම Brampton, කැනඩාව

පෙරදිනයක මා පෙම්කල යුවතිය කවදාවත් අමතක කල නොහැකිය ගිලිහී ගියහොත් ඇය ගැන මතකය ඇය හට මා පෙර පෙම්කර නොමැතිය ඇය දුටු මුල් දිනේ මට ඇතිවුන සතුට තව වැඩිවුනා ලංවිය ඇගෙ හදවතට ආලය කලෙමි සුන්දර පෙම්බස්වලට වෙන්වුන දිනේ හදවත හැඬුවා දුකට අහස් මාලිගා හැදුවත් තරුණ වියේ කඩාවැටෙන බව නැත අප දැන සිටියේ දෛවය වෙන්කලත් දෙදෙනා අතීතයේ සුන්දර මතකයන් ගොනුවක් සිතෙහි තියේ දශක ගණනකට පෙර මාගේ පෙම්වතිය කොහේ සිටීදැයි නොදනී හරිහැටිය දරුවන් ලැබී සතුටින් ඇගෙ ජීවිතය ගෙනයනු දැකීමයි මා ගේ චින්තනය පෙම්වතියක් සමග ගතකල ජීවිතය විස්තර කල නොහැක එතරම් සුන්දරය පෙම්කල සිතක නැත වෛරය රලුගතිය පතනෙමි ඇයට සැප සම්පත් වැඩිවැඩිය කිහිපදෙනෙක් පෙම්වතියන් සිටියාට පෙම්කල සැවොම වටිනව පෙම්වතකු හට අස්ථිර ලොවේ කිසිවක් නැත ස්ථිරට තෝරා ගැනුම බාරයි නොවැ දෛවයට පෙම්කල යුවතියන් පසුපස යන්න එපා මගතොට දුටුවොතින් ඇය මග හරිනු එපා සුන්දර මතකයන් අමතක වෙන්න එපා කිසිම විටක නපුරක් නම් කරනු එපා
කවිය බලන්න
ඇද ඇද බැලීම...!

ඇද ඇද බැලීම...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

ගැහැණු කැමති දේකිය අර සාප්පු යෑම... වැහුනු කඩත් අරවාලා රෙදි තේරීම... ඇහුනු දේකි එය නම් උපතින් ගෙනඒම... මහනු දස්ස අයට ඒක සතුටකි බෝම... හැම රාක්ක පුරා තියෙන රෙදි ඇද බලලා... නොම ගෙන යනවිට ආපසු එන්නම් කියලා... එම කඩවල ඉන්න අයට බෝ දුක හිතිලා... සමහරු බනිනව සද්දෙට යන්නට හැරලා... ගන්න මුදල් ඇත්නම් හොඳ දෙය විමසාලා... ඉන්න අයට කරදර නොම කර මිලදීලා... යන්න අරන් රෙදි, නොකරම කඩ වනසාලා... දෙන්න ඉඩක් සැනසෙන්නට ඒ විකුණාලා...
කවිය බලන්න
මගේ ප්‍රේමය ....

මගේ ප්‍රේමය ....

දීපා ද සිල්වා ලන්ඩනය

සැලෙන පත් දෙසවනේ අද්දර මිහිරි ගී පද ගයද්දී කුසුම් පෙති මුව මතට වාරුව කොමල හසරැලි නගද්දී සිහින් නල සකි කොදුරමින් විත් අනෙක රූ සිරි මවද්දී නොහැගෙනා ලෙස දෙනෙත් වසමින් අනේ ඔබ මග හරිද්දී දැනෙන සීතල, උණුසුමින් සතපන්න හීනේ දැවටිලා වල් වැදුණු හද මඩල කිරියෙන් දෝවලා පිරුවට වෙලා මල් තුහින ඉසිමින් සෙමෙන් විත් ලමැද තුරුලේ සැතපිලා මැවූ මන්දිර දෙපා අද්දර නොදැනීම මිහිදන්වෙලා බලා සිටියද කල්පයක් කල් ඇරයුමක් නොලැබෙන නියා කදුළු බිදුවක කැටි කරන්නෙමි සෙනෙහසේ කවියක් ලියා සෙමින් නැළවෙන පවන් රැල්ලට සීරුවෙන් එක තැන තියා කියව ගනු මැන මගේ ප්‍රේමය සුන්දරද කෙතරම් කියා
කවිය බලන්න
වැඳපල්ලා නැමි නැමී.... අති උතුමන් දැන් එති !

වැඳපල්ලා නැමි නැමී.... අති උතුමන් දැන් එති !

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

වැඳපල්ලා නැමි නැමී.... අති උතුමන් දැන් එති ! දහම් දිවයිනය ආගම් රැසක් ඇති පිහිට මිනිසෙකුට මිනිසකුගෙන් නොමැති තිස්තුන් කෝටියක් දෙවිවරු ගෙන් යදිති පිනට නොදෙන කාසි පඬුරු ලෙස පිදෙති දෙවිවරු කුළියට ගන්නට කැස කවති රුපියල් සත වලට වරම් දෙති සිතති බැරිම තැනදි යකුන් පසු පසේ දුවති දුගිනට නොදෙන රස අහරින් උන් පුදති අපල ගෙනෙති ග්‍රහයන් වෙන වැඩක් නැති දුර සිට වුවද සුරයෙන් උන් දමන වෙති හදි හූනියම් නූල් පැනිලි දෙහි කපති පූසාරිලා කට්ටඬියන් තර කරති ප්‍රතිමා පිළිම වලට කෑම බීම දෙති පන ඇතිවුන් කුසගින්නේ මිය ඇදෙති දෙවිවරු හට සැප දෙන්නට වෙර දරති තමුන් විඳින දුකින් මුදන්නැයි යදිති ලොකු ලොක්කන් හට බිම පෙරලී වඳිති මුලසුන් පුදා උන්ට වැටී දන නමති හොරා කමින් උන් හොඳහැටි සැප විඳිති තැලී පෙලී මිරිකී උන් ගුණ වනති මෙහෙව් මෝඩකම් ලොව වෙන කොහෙත් නැතී තේරුම් ගත්ත දා දියුණුව වෙතට යතී නොහිතුවොතින් මේ ගැන මඳකට නැවතී හැටහය කෝටියක් දෙවිවරු වෙයිද ඇතී
කවිය බලන්න
මගේ මලගම් දිනේ ..

මගේ මලගම් දිනේ ..

දිනූෂා මනම්පේරි එක්සත් රාජධානිය

මගේ මලගම් දිනේ .. රෑ සීත කලුවරේ … හමා එන මදනලේ .. මා නිසල දේහයේ… සුවඳ ගෙන යනු මැනේ… ඔහු නිදන කාමරේ … පුංචි හැඩ කවුලුවේ.. මුව තබා මෘදු ලෙසේ.. කියාපන් මා මල දිනේ .. පාලු සොහොනක රැයේ.. මා තනිව කලුවරේ… නිසල වූ හදවතේ… හිඳී ඔහු පාඩුවේ … මල් වඩම් පෙරහැරේ … රැහැයි ගී නාදයේ … මගේ මලගම් දිනේ… ඔහු නැතිද මදනලේ …
කවිය බලන්න
නොදුටුවෙමි මිතුරිය නුඹවන් සොයුරියක් !!!

නොදුටුවෙමි මිතුරිය නුඹවන් සොයුරියක් !!!

ගර්ලි චන්ද්‍රිකා මාළබේ

හුරුබුහුටි මුව කමල, අන්සිත් නොරිදවන වදන්, ඊටත් වඩා සංවේදී, උණුවන හිතක්, සසර පුරාවට ගෙන එමින්, තමන් ලද ජයග්‍රහණයෙන්, තවකෙකුගේ හදවතට, සතුට ළඟා කරලීමට, දරන ප්‍රයත්නය, අමතක නොවූ කෙළෙහිගුණ, අතීතයේ දිනයක, ආගන්තුකව පැමිණ, සැබෑම සොයුරියක් විය, අපට, නොදුටුවෙමි මේ මිහිපිට, හමුවුනේ නැත, දිවිතුරාවට, තම මව, පියා, සොහොයුරිය සේම, මිය ගිය මිතුරියක් වෙනුවෙන්, ඇය නික්ම ගිය දිනය, මතකයේ රඳවා ගෙන, ඇය වෙනුවෙන් පිං පමුණුවන, කළණ මිතුරියක්, කාලය, දේශය, දීපය, විෂම වූ යුගයක, පිනට පහළ වූ දයාබරිය, සත්සමුදුරින් එතෙර සිටියද, නු‍ඹේ ගුණ සුවඳ අපමණයි !!! දැනෙයි මට එය සොයුරිය, නුඹ මා ළඟ සිටිනවා සේ, නුඹට පෙර මා මියගිය දිනක ද, මෙතේ බුදුන් අභයස, මලක් පුද කොට, පතන්නකෝ හැර භවයේ, මෙලෙස හමු වී, උතුම් බුදු පා අභියස, සසර සයුර එතෙර වන්නට, අප හැමට හැකි වන ලෙස, ඉතින් මා ළබැඳි සොයුරිය, දිවි ඇති තුරු ඔබට, තිස්තුන් කෝටියක් , දෙවි රැකවරණයි !!! උතුම් තෙරුවන් සරණයි. !!!
කවිය බලන්න
අරුත කිම නිදහස ?

අරුත කිම නිදහස ?

මහාචාර්ය ටී. එල්. ගුණරුවන්

අරුත කිම නිදහස ? අපෙ කමට උදහස පර දෙසුට මඳහස හිඟමනට අදහස මෙ ද, අපට නිදහස ? තිබෙන’මුදු ජව පස වරන කල පල රස බුදින දෙය පිට දෙස කුමන දැයෙ නිදහස ? කොළොම්තොට යත වෙස යුගදනවි ගෙන බදු පැස තෙල් ගුදම දෙත ඉස එ ද නිදහසෙහි උස ? ලගිත රුපු සිවු දෙස බුදිත දැයෙ ලෙය-මස මකත දිවි හෙළ බස අරුත කිම නිදහස ? පැරැදි බව නොරහස එළැඹිය ද තෙසහස නොවෙද එය උපහස, විරුට හෙළ අපහස ? වඩමු දැය සෙනෙහස මඬිමු රුපු සුවහස දකිමු දන ජය හස දිනමු සෙට නිදහස !
කවිය බලන්න
නොකිවු  ආදර ය

නොකිවු ආදර ය

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

නොකිවු ආදර ය සොඳුරිය ඇණ ගසන් මා කුරුසි ය මත ස්පාටකස් ඇණ ගැසූ විලස ම එ දා රෝමය . නොහෙලමි එක ම කඳුළක් විකා දත් දැඩි කොට නොනඟමි එක ම කෙදිරියක් උසුල මි මරණීය වේදනා තනි ව මම තවත් බෑ මට නවතන්න මගෙ දෑස පිරෙනා කඳුළු කැට තවත් බැහැ මට උසුලන්න මගේ ළය විදින -මේ රිදුම එපා මට තව රිදවන්න ඉන්නෙ මම ඇති තරම් දුක් විඳ එහෙත් කෙලෙසක කියම් මං ආදරෙන් බව ඔබ ට තිබෙන කළ ලෝකය මේ ආදරය තහනම් කොට පරිවර්තනය 15-01-22 ස්වකීය යොවුන් ඉංග්‍රීසි ගුරුතුමිය කෙරෙහි ප්‍රේමයෙන් බැඳී එය ප්‍රකාශ කිරීමට අසමත් ව වූ ශිෂ්‍යයාගේ හදින් නැඟි වේදනාත්මක ස්වරයයි . Unexpressed Love Crucify me like Spartacus I won't shed a single tear I will grit my teeth And I will make no sound. Now i cannot keep tears in my eyes Now I can not keep agony in my heart Don't torture me I have suffered enough But how can I tell that I love you When it is prohibited. ! 1975 Original text Agony of the student who fell in love with his young English Teacher
කවිය බලන්න
මුල්ගුරුතුමා වෙත

මුල්ගුරුතුමා වෙත

ආචාර්ය ඥානතිලක හේවාගමගේ සිඩ්නි, ඕස්ට්‍රේලියාව

හෙළ බස රස කරන සුන්දර වදන් ....වැල් කවිමග දීය හමුවුණෙ කර සිතට ..ලොල් ඇයි ඒ බස් වහර මගහැර සියලු .......කල් අද මේ දරු දැරියො යන්නේ වැදී ........වල් විදුමග ශිල්ප ඉගෙනුමටම රැගෙන ..සවී විභාගෙ විභාගේ කියලා තරඟෙ ........දිවී විවහාරයේ ගණිතය අප කළත් ........නිවී අමතක කළේ නම් නැහැ කේයස්ගෙ කවී කිවියර පසිඳු මානවසිංහයන් .............සදා සිවුරක් හිමි නිසා සත හට බණත් .....වදා නුදුරුම ගම් පියසෙ වාසය කළේ ........එදා එදෙසින් එන සුළඟ තවමත් සිඹිමි ....බදා හෙළ කවිමග ඔසව එය කළෙ ලොව ....පසිඳූ විමලරත්න කුමාරගම වු කවි ........රජිඳූ අලියා වැටුණු වැව දනගේ හද .......ලහඳූ ගැන කීමෙන්ම විය ඔහු එදවස ....දෙවිඳූ හාස්‍ය රසය හෙළ කවියට .......පළඳවලා දෙස්පාලන අවැඩවලටත් පහර ....හෙළා සංකර ලෝකෙ විච්චූරණ ගැන ....ලියලා කව් මග දිලුනෙ ජී.එච්. පෙරේරා ..කියලා පෙරලා ගියපු රෝදය නැති කර .......දිලිඳූ දියුණුව කරපු පරිහානිය වෙත .......බිළිඳූ වේදනාවු සිතින් මත පළ කළ .........කවිඳූ මීමන ප්‍රේමතිලකයි ඔහු නම ..........පසිඳූ ළිඳ ළඟ ලියන් ගැන මනරම් කවි.........ගොතලා නර්තන කලාවට උත්ප්‍රේරක...........කරලා කළගෙඩි නැටුම නව ආරෙට......පුබුදුවලා පෙරෙරා නැගුනෙ පී. බී. අල්විස්......කියලා මෙහි කිව් නොකිව් කවියන් දැරු හැඟුම් බර සිතිවිලිවලින් උකහාගත් නුවණ හර ඉන් සෙත සැලසු මතකය අපි අළුත් කර යමු ඉදිරියට නවකයිනට දෙමින් වෙර ආචාර්ය ඥානතිලක හේවාගමගේ සිඩ්නි, ඕස්ට්‍රේලියාව
කවිය බලන්න
රමණීය වේ…

රමණීය වේ…

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

පුරුද්දට වගෙ දෙවැට සරසන කහ මලින් හෙබි නේක වැල් දුරුත්තට පසු හෙමින් ඇහැරෙන වසන්තේ කෝමල කොවුල් දෙපැත්තට වී දෑත් පානා තැන්නෙ මල් හා ගෙවතු මල් නිමිත්තට එළැඹී හමා යයි වසන්තේ මුදු සුළං රැල් මධුර මත් ගී විහග ගණ දෙන රන් දියක් සේ යයි ගලා අදුර විත් උන් රැගෙන යන තෙක් නිමක් නෑ ගී මල් සලා උදුර ගත් සේ සවන් ඇත මෙහි නිහැඬියාවෙන් ගිලීලා පැතිර යත් මේ විහග නද හැර කවුරු ගයනෙද ගී නොලා හරිත සායම් නේක ගුණයෙන් ඇතිරිලා තුරු පත් මතින් ඉවත බලමින් මුකුළු කරනා සුපුෂ්පිත කුසුමන් රැසින් පවත නොමදැන වසන්තේ ගැන කවුරුවත් මෙහි නොආවෙන් මසිත ඔකඳ ව වැළඳ ගත්තෙමි සොබා කොමළිය සෙනෙහසින් තැන්න අද්දර තැනූ සුපහන් නිවසෙ කවුළුව හරිනෙමී එන්න සැරසෙන නැවුම් සුළඟට ඉඩ දෙමින් එය සිඹිනෙමී පින්න සළු හැද නටන තණ පත් මතින් හෙමිහිට ඇවිදිමී දුන්න හිරු රැස් දෝත පුරවා රැගෙන මුව නිති සෝදමී හෙමින් සැලෙනා වන වදුලු වල අහිංසක තුරු පත් හඬින් විටින් විට සිත තුටින් බර වී ඵලින් සරු තුරු මිතුරු මෙන් ගතින් හා මුළු හදින් වැතිරී වසන්තේ මිහි මව් මතින් සුවෙන් නිම් නැති වසන්තේ අම පවන් බොන්නෙමි මුව අගින් සදා තනිකඩ නොපිරිහුණු නව යොවුන් තුරුණිය තැනිතලා මුදා මා මුළු ලොවින් ගෙනවිත් නුඹේ මිහිරේ පා කළා මෙදා සුන්දර වසන්තය දුන් සිරියෙ නැහැවී මත් වෙලා උදා වූ මේ වසන්තේ රමණීය යැයි කියනෙමි නොලා
කවිය බලන්න
නිශ්ශබ්ද ලෝකය

නිශ්ශබ්ද ලෝකය

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

The Quiet World by Jeffery McDaniel පර්වර්තනය- හෙල්මලී ගුණතිලක මිනිසුන් එකිනෙකාගේ දෑස් දෙස බලාසිටීම වැඩිකිරීමටත් ගොළු අය සතුටු කිරීමටත් එක් අයෙකුට දිනකට හරියටම වදන් එකසිය හැට හතක් නියම කර ඇත රජයෙන් මා ඊට හොඳින් හැඩ ගැසෙමිනි දුරකථනය නාද වූ විට කිසිත් නොකියාම එය සවනත තබාගනිමි අවන්හලේදී ඇඟිල්ල දිගුකර පෙන්වා සුප් ඇනවුම් කරමි රෑ මැදියමේ දී දුර වෙසෙන මා ප්‍රේමියට අමතමි “අද මා පාවිච්චි කළේ වචන පනස් නමයයි. ඉතිරිය ඉතිරි කරගත්තා ඔබ වෙනුවෙන්” ආඩම්බරයෙන් පවසමි ඈ පිළිතුරු නොදෙන විට දැන ගනිමි මම ඇගේ වදන් නිමා වී ඇති බව ඉතින් මම ‘මා ඔබට ආදරෙයි’ යැයි තිස් දෙකයි තුනෙන් එක් වරක් හෙමින්, රහසෙන් මුමුණමි ඉනික්බිති අප දෙදෙනා දුරකථනය විසන්ධි නොකර එකිනෙකාගේ හුස්ම හඬට සවන් දෙමින් රැඳී සිටිමු Link to the original poem https://www.poetryfoundation.org/poems/49238/the-quiet-world Jeffrey McDaniel 1967දී ඇමෙරිකාවේ පෙන්සිල්වේනියාවේ උපන්නෙකි. සරල බසින් සියුම්, සංවේදී කවි නිර්මාණය කරන ඔහු මේ වෙද්දී කාව්‍ය සංග්‍රහ පහක් පළ කර ඇත. Jeffrey McDaniel වෘත්තියෙන් ගුරුවරයෙකි
කවිය බලන්න
ජීවිතය සොයමි මම

ජීවිතය සොයමි මම

මාලපල්ලේ හේමාංගි අමරසිංහ

යෞවනයෙ අසිරිය හිටිහැටියෙ මැකී ගියෙ ලජ්ජ බය නොදන්නා තිරිසනෙකු හපා කෑ පහරින් ය ඇගේ වුවනත මෘගයකු විලසින්... අයාලයෙ ලැගුම් ගත් ඒ ඛේදවාචකය නැවත හරවනු ව පස්සට හැකි වේ ද කොපමණ වෙහෙසුණත් ඒ ගැන... යාදින්නියක සේ තවමත් ජීවිතය සිගාකන ඇය සොයයි ජීවිතය ඇයට නරුම ව උරුම වූ!!
කවිය බලන්න
ජරාපි දුක්ඛා

ජරාපි දුක්ඛා

වෛද්‍ය ඉන්ද්‍රාණි රත්නායක පුංචි බොරැල්ල

සියපත සිය ලෙලෙන සුළඟට සැලි සැලියේ විල මත විය හිරුගෙ රැස මැද දිලි දිලියේ තරු රැස සඳ පිපෙන මොහොතක යලි යලියේ පරවිය දිය මතට වැටුණිය විළි විළියේ පැටි විය තුරුණු විය ගෙවමින් මහලු විය වෙත විය ගොනුකරන ජර බිය ජනිත විය සිය පිය දෙනෙත බොඳ විය හැට පිනුණු විය නතුවිය දහම වෙත නෙතුපිය විවර විය ඉපදුණු දා සිටම සියොළඟ දිරි ඇතුව වැඩුණා සොබාදම් දිනිතිය හට නතුව ඉටු වූවද නැත ද මොන දේ සිතු පැතුව හෙමිහිට ගලයි දිවි ගඟ කවියකි ගෙතුව දවසින් දවස, පැතු මුත් සැප අසමසම නොසිතුව ලෙසට ගිලිහෙන බව දනිමි මම උරුමයි වෙනස ඉපදුණ දා සිටම මෙම කොතරම් දුරක් දිව්ව ද තව නොදැක ඉම .......... මැණිකය කියා අහුලා කළු ගල් කැටය රැවටුන බව දකින්නේ ඇස ඇති විටය බුදු බණ නොඇසුනොත් ජීවිතයම මොටය සසරෙහි ඉම විවර නිරවුල් මනසටය
කවිය බලන්න
නොනිමි වන්දනා

නොනිමි වන්දනා

ජයතිලක කම්මැල්ලවීර

අතකින් දරා තෝමර අතකින් ගෙන භද්‍රඝටය මෙතැනයි සිටියේ අප දෙවිඳුන් විරාජමානව හමා ආ මාරුත හෙළා දෙව්රුව බිම සුනුවිසුණු කොට ගොඩගැසූ තැන තුඹසකි දැන් වන්දනා කරමු අපි පෙර බැතියෙන් ම දෙවියන් වැඩ සිටි මෙතැන මේ තුඹසට 2021 අගෝස්තු
කවිය බලන්න
කින්නරා වෙමී....ප්‍රියේ මම

කින්නරා වෙමී....ප්‍රියේ මම

කුමුදි නෙත්තසිංහ මොරටුව

කින්නරා වෙමී....ප්‍රියේ මම ශුංගාර මුවනත සදිසි පබවත වනරාජ නරනිඳු සැනෙන් කළඹන ඉන්ද්‍රජාලික ශ්වේත කෙවිළිය අනල හසඟන දියට බට සඳ ඕලු ,අම්බුජ සොවින් ඇඹරෙන සිඟිති පියොවුරු වසා දැවටෙන දියකෙළින මත්ස්‍යයන් සිහිසුන වුණා දැවටී ඇගේ සලු පිලි රිසින තවාරා කොකුමඟර උවැසිය නොපිපි පියුමකි රුසිරු දිගැසිය ඇවැසි නැත මධුපාන මත්වෙය දුටුව මනකල් ඇත් පැහැ දිගැසිය නැගෙන දියරැල් නිසොල්මන්වය වැදී රතැඟිලි හංසාංගනාවක යනෙන පාරුත් අතරමංවය සිතුණි වන්නට විලෙහි කින්නර කුමුදි නෙත්තසිංහ, මොරටුව. කංචුක චිත්‍ර ශිල්පිනි, රැජිනිය කවි පිටුව සංස්කාරක.
කවිය බලන්න
නෙරූදාට

නෙරූදාට

කපිල කුමාර කාලිංග

නෙරූදා කිවිඳ , දෙන්න ඔබේ බුරුම පෙම්වතිය මට ඔබට වැඩිනම් පෙම්කරන්නම් මා ඇයට ඇතිතරම් -මුළු හදින් හැකිතරම් . ඇය ගෙනා සහල් මල්ලත් ඔබම ගන්න එපා මට කිසිදෙයක් . ඔබ ත්‍රස්ත කළ ප්‍රේමයේ අස්වැන්න මම නෙළමි දෙන්න ඇගේ ඇසේ සෝ කඳුළු ආපසු ඈ දෙපතුල ගලා ගිය දනිමි ඈ වැසුණු ලවන් සිනාගන්වන අයුරු . නෙරූදා , ප්‍රේමයෙන් සැහැසි වූ බුරුම කොටිදෙන මට දෙන්න මහද වෙරළට ගෙන රමණයෙන් බැඳ දමා හීලෑකරන්නෙමි . බුරුම අසිපත ඔබටය බුරුම දුඹුරු කත මටය (අශෝක හඳගමගේ 'අල්බොරාදා' ( Alborada ) චිත්‍රපටය නැරඹීමෙන් පසුව ලියැවුණකි.
කවිය බලන්න
To Neruda

To Neruda

කපිල කුමාර කාලිංග

Neruda ,the poet, Please give me Your Burmese mistress if you think she's excess . I will love her my utmost from the core of the heart deepest . You may take the sack of rice she brought I want nothing at all. I will reap the harvest of her love , the love, which terrified you most. Please give her tears of sorrow that flowed beneath her feet much mellow I know how to smear a graceful smile over her tightened lips in a while Neruda , give me the panther which is obsessed with love and anger I will take her ashore and tame with lusty rapture You may take the Burmese sword I will take the Burmese brunette . (Being inspired by Ashoka Handagama's film 'Alborada' ) Translated by Sunethra Aluthdunne .
කවිය බලන්න
මට මව් වගෙයි ගමලිය මා “ළ” පල්ලයි

මට මව් වගෙයි ගමලිය මා “ළ” පල්ලයි

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

මට මව් වගෙයි ගමලිය මා “ළ” පල්ලයි ළහිරු රැසින් නැහැවෙන සඳ සිතට ගෙනා වදුළ මැද තැනින් - තැන මල් කැකුළු පිනා දොළක නැගෙත කසුකුසු හඬ මුසු ව මනා අසනු උපන් පින්බර මගෙ ගමෙහි සිනා මෙ කොණේ පල්ලමයි එ කොණේ කන්ද උසයි දෙ කොණ ම යා කෙළේ මඟ නාගයකු වගෙයි පෙනුණේ කෙත් රජයි රජයන එ මඟ දිගයි දැනුණේ සුවහසයි නිදහසෙ සුළං රොදයි බුදු රුව පතුල සතපන අරලියා මලී පසුයම පුබුදු වන සේපාලිකා මලී සඳු රැස දකිනු කැමැති ව සුදු කු මලී සපුමලි - වනමලී - බල නිදිකුම්බා මලී සුළඟට නැඟී ඉවුරට ළං වෙන රැල්ල ගෙල වට දැමූ රන් පට සේ වෙයි එල්ල කෙත - වැව - හේන සිඹ එන මදනල කෙල්ල මට - බොට කතා නැතිකොට කෙරුවෙ ද මෙල්ල කර දිය වළල්ලක් අසලක නොමැති නමුත් මිරි දිය රැළි පිරේ දොළ - වක්කඩක වුණත් කිරි දිය ගමට සපුරන ගොවිපලක මහත් විම සිය යුතු ය මගෙ ගම පිළිබඳ ව පුවත් නැගෙන - හිරින් බැලු විට දෙ අතයි කමතේ බසින - හිරින් බැලු විට නුවරයි මසිතේ උතුරු - දෙසින් බැලු විට ලකුණයි උපතේ දකුණු - දෙසින් බැලු විට සැදුණයි විජිතේ අඩියෙන් - අඩිය තබමින් මා ගිය පාරේ වැඩියෙන් තිබුණු වල්පැල - කටුගස් තීරේ සැදු‌ණෙන් දෙ පස මඟ එළි කරමින් හූරේ සැකයෙන් නොයනු ගම කල - එළියයි මීරේ කරුවල ගැසුණු වතුවල රබර ගස් වට ගිනිමල නැත පිපිරුමට විසුල පස් යට තුරුවල පැහෙන පල රස මිහිර හිස් කොට ගත කළ හැකි ය සිත් සේ තැස ද අස් කොට පෙර’තුව ඉබි ගමන් වග මං - තොට පෑවේ කඩ’තුව හැදුණු ලෙස වළ - ගොඩැලි ද සීවේ හැඩරුව බලනු නෙතු හැර සුමිතුර ජීවේ උමතු ව අධි මඟ ට සපැමිණ කොට්ටාවේ පෙර හුරු ගමන් මඟ නොව අද ගම් මැද්දේ තෙර දුරු කෙළෙන් නැත කටු පඳුරක් බැද්දේ වෙර පිරු බෙලෙන් බල ගම්ලියනගෙ සද්දේ මෙර විරු කෙමෙන් බිම තැබු බැඳි හිස මැද්දේ ය - කඩ ගොඩක් ඇත ගම මැද අඟුරු කකා දෙ - කඩ පිහිල්ලෙහි දෙ පය ද නොතැබු එකා සො-කඩ වෙමින් යමගෙහි හති අරින මෙකා දෙ-ගොඩ යා කරන් යයි මේ යකඩ යකා දුම් ගුලි ගගනතට පිඹිමින් අ`ගුරු කකා නිරතුරු කොළොම්පුර සිට ගමනෙහි ම තකා යන විට දුටුවහොත් කෙත් කිති කවන එකා ගමට ම සොඳුරුකම ගෙන එයි යකඩ යකා කුකුළන් හඬයි හඬළන හඬ ගමේ දුවයි විහඟුන් හැඩයි බඹරුන් නට - නටා ගයයි සුරඟුන් පෙළයි සමනල් මල් රටා වියයි බරුවන් ගැළයි කමතයි කවි මුවේ නටයි ක වියට නගන පද සංකල්පනා වන් ස වියට කියන හර මුව කළ කලා වන් ස බයට ඔබින ලෙස මදු රස ගුලා වන් මෙ ගමට සිටින “කිවිපුර” වාසනා වන් දීමට ඇත යමක් දැනුවත් කරනු නිසී කීමට තිබේ ගම ගැන පෙර නැගුණු කිසී වී සිත එඩි කමෙන් පා ගම සිටිය වැසී ජී-විත “මරුට” ගියෙ සිරිපාලගෙන් නැසී හොඳ වාගෙ ම නරකවුන් නම් දුන් ගමට සඳ වාගෙ ම සොමින් ගුණ ඇති දන් එමට වඳ වී යන්න ගුණමකු සිත්වල කහට මඳ වී ඇති ද කළ පින් පූරුවෙ පවට පොත්-පත් රැගෙන අකුරට යන දරු - මල්ලූ හිත් ගත් ඇති ව කරති ය ඉගෙනුම ඉල්ලූ නෙත් මත් කරයි දුටු දන - මන සිත් විල්ලූ සිත් - පිත් සුව සදයි යන ස`ද සම - නල්ලූ නිල්ල කරල කොමලිය කෙත් වළල්ලයි රනිල විමල කමලිය රැල් ළ'වැල්ලයි සුනිල උදුල පෙමලිය පන් පැලල්ලයි නිමල කොමල ගමලිය මා ළ’පල්ලයි උතුරු ලන්ඩනයේ එඩ්මන්ටන් ප්‍රදේශයේ සිට ලියයි. 2022.03.22
කවිය බලන්න
කිරි කුස්සිය

කිරි කුස්සිය

කාෂ්‍යප ප්‍රේමචන්ද්‍ර

කිරි කුස්සිය පිළිකන්නේ, මහ ලිග්ගල් තුන මුදුනේ, කල්දේරම ගොන්නන්නේ, කිරි මුදියන්සේ. රබර් කොටන් දර දමලා, පූහ්...පූහ්...ගිනි පිඹලා, ගින්දර බෝ කරගන්නේ, කිරි මුදියන්සේ. ලිඳේ බොලොක්කෙට දමලා, වතුර බාල්දිය ඇදලා, කල්දේරම පුරවන්නේ, කිරි මුදියන්සේ. කිතුල් කඳේ පලුව කපා, කිරි බන්ඩේ හදල දුන්න, කිතුල් පත්ත දෑත බදා, හබල් ගාන්නේ. හබල් පාර ඉවසනු බැරි, සුදු නෝනගෙ සුදු කිරි කුඩු, බුබුළු දමන උණු වතුරේ, ගිලී නැහෙන්නේ. කල්දේරම කොත ගහලා, කිරි සාගරයක් හැදිලා, ගැට්ට වටේ පෙන පිරිලා වාන් දමන්නේ. ඉස් මුදුනට ඉර එන්නට, දෙපැයයි ඉතිරිව ඇත්තේ, සොකඩ ටකේ හෙලවෙකොට, පෝලිම් ගැහුනේ. පෝලිම කොච්චර ආවත්, හැත්තෑ හතරයි ඉන්නේ, ඒ ගැන හරියට දන්නේ, කිරි මුදියන්සේ. පෙරංගාපු පොල්කට්ටට, බෙළෙක් කෝප්පෙට වක්කර, කැරඬිය පුරවා කිරිදෙයි, කිරි මුදියන්සේ. උගෙ අම්මා කිරි මැණිකා, උගෙ අප්පා කිරි බන්ඩා, හද්දා පිටිසර කොල්ලෙකි, කිරි මුදියන්සේ. ඇන තියාන උන් අම්මගෙ, උරේ උඩින් කුක්කු තනේ, ඇදගෙන මව් කිරි බිව්වේ, කිරි මුදියන්සේ. අනේ මූට මක් උනාද, කොඩිවිනයක් පෑගුනාද, කිල්ලටවත් අහු උනාද, කිරි මුදියන්සේ. සිස්සත්තෙන් පාස් වෙලා, ජේෂ්ඨයට යන්න වෙලා, ඒක නිසා පේන්ඩ නෑ, කිරි මුදියන්සේ.
කවිය බලන්න
රකිමු ලියමු කියවමු ලන්ඩන්කවිය

රකිමු ලියමු කියවමු ලන්ඩන්කවිය

ලක්විජය සාගර පලන්සූරිය

ඉපැරණි කවියෙ වටිනාකම අගය කල කවි සිතුන් නිසි තැන නිති එකළු කල ලොව හැම තැනක හෙළ කවි රැස් විසුම් කල ලන්ඩන් කවිය නිති කියවමි රසය කල යුග කොළඹ හෑගොඩ පුතු අනුර වෙතින් ලන්ඩන් කවිය විදුගතවේ මසක් ලෙසින් නොව ඉවසිලි හැම සිතුවිලි පැදි විලසින් ලන්ඩන් කවිය රස වින්දෙමි කවි රසකින් දහම සොභා ඉපනැල්ලට කවි ලිව්වා නව පරපුරේ පද කෙරුමට ඉඩ හොවා රට ගිය කවිය අත්දැකුමෙන් පද කෙරුවා ලන්ඩන් කවිය මේ හැමකටම ඉඩ හැදුවා පදයේ රසය හැම විට එක් තැන්වීය තේම්ස් නදිය අසලින් එය රසවීය හෙල පැරැකුම වෙනුවෙන් එය කැපවීය රකිමු ලියමු කියවමු ලන්ඩන් කවිය
කවිය බලන්න
වඩිනු මැන හිරු දෙවියනී!

වඩිනු මැන හිරු දෙවියනී!

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

වඩිනු මැන හිරු දෙවියනී! වඩිනු මැන ඉරු දෙවියනී මගෙ හදේ තනිකම දුරුකරන්නට, දුරින් හිටියා මදිද මෙකලක් අහසෙ බටහිර ලක නොපෙන්නට, මැදින් පෝයත් අත ලඟය සඳ දෙව්දුවත් එයි කිරන දෙන්නට, එහෙත් ඔබෙ සිරි රන් කිරනෙ තෙද, කොයි ජගතු හැකි පරදවන්නට? කුසුම් ඩැෆොඩිල් හිස වන්නට සිටී ඔබෙ කිරු සිප ගැනීමට රෝස මැග්නෝලි ගසත් ඉන්නේ කැකුලු බරවී, පුබුදුවන්නට, කෝටු පිරි මහ වෘක්ෂයන් කොල ඇඳුම ලඟදිම පොරවගන්නට ඔබව කැඳවා එන්ට එවනෙමි මගේ අසරණ පැතුම හනිකට. සොබා දහමින් නිපදවන සුන්දරම සිතුවම් හැඩ කරන්නට ඔබගෙ කිරනින් නහව ඒ සැම වර්ණ දිප්තිය ඇතිකරන්නට සැඟවි සිටියොත් දිගු කලක් තව, රැජින සොබදම් උරන වන්නට හැකිය දෙවියනි! වඩිනු විගසින් ලොවම සනසා පුබුදුවන්නට! කුරුලු රැහැනක් තුරු ලතා මත සොවින් හඩනව දුක හිතෙන්නට මිමැසි ගොමුවක් ගසවටා කැරකැවෙනව මල් රොන් ලබාගන්නට සිඟිති දරුවන් බලා ඉන්නව මිදුලෙ සෙල්ලම් දඟ කරන්නට තරුන අඟනන් ඉන්නෙ කලු කබායන් පොදි ඉවත ලන්නට. නැඟෙනහිර සැරි සැරුව ඇති දැන් , වඩිනු මැන බටහිරට හනිකට පිරිවාර කුමරී රැහැන සමගින්, බලා ඉන්නව පිලිගැනීමට, ඇවිත් රන් කිරන පතුරා, කලක් හිටියොත් සැමගෙ සතුටට පුදමි මගෙ හද, තෙලි තුඩින් නිම සිත්තමක් සමගින්ම ඔබ හට.
කවිය බලන්න
මගේ නොවෙන මගේම නඩුව !

මගේ නොවෙන මගේම නඩුව !

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

මගේ නොවෙන මගේම නඩුව ! උසාවිය.... සීරුවෙන් ! ඔන්න හිටගන්නවා "නිශ්ශබ්ද වෙනු" කිව්ව පසුව හිඳගන්නවා දැන් කියයි නඩු අංකෙ කණ දාන ඉන්නවා විගසින්ම පැමිණිල්ල පැත්තෙ හිටගන්නවා වසර ගණනාවක්ම මේ නඩුව ඇදෙනවා රජය වෙනුවෙන්ම මම තනිව නඩු කියනවා රජයටම අයිති දේපලක් මෙහෙ තියෙනවා රැකගන්න ඉන්න උන් එය නසා දමනවා වැටයි නියරයි දෙකම ගොයම කා දමනවා කියන්නට කෙනෙක් නැත උනුත් මග හරිනවා ගජමිතුරු එකිනෙකා බේරන්න බලනවා වගකීම කහපාට කොල වලින් වැහෙනවා නායයන තැනෙක උන් පරිසරය නසනවා අණපනත් කණපිටට හරවන්න බලනවා වැරදි බව දන්න අය යසට මග හරිනවා පරිසරය රැකගන්න මමත් නඩු කියනවා පඳුරකට ගැසුවාම වීසි වෙන්නට තරම් හැම අටංපහුරටම මැති ඇමැති ඇති පදම් මෙව්ව කොහෙ බලන්නද උනුත් දැන් අතරමං රජයෙ දේ රැකගන්න හෙටත් නඩු කියමි මං උසාවිය ..නිශ්ශබ්ද...වෙනු ! 24.01.2021
කවිය බලන්න
සිගිරි ලදකගේ සුසුමක්

සිගිරි ලදකගේ සුසුමක්

මහේෂ් චතුරංග ජයවර්ධන

මගේ සිවුමැලි කැකුළු වත දැක රාජ අණකින් දන්වලා මාලිගාවට යන්න සිදු වුනි අපේ නිවසින් වෙන් වෙලා දැහේ රූරා වැටෙන කඳුලින් අප්පාගේ නෙත් තෙත් වෙලා යන්න අවසර දුන්නේ කඳුලින් රාජ නීතිය එය නිසා රාජ බෝජන දුහුල් සළු පිලි මටම කියලා හිමිවෙලා තවත් මල්වර කුමරියන් මැද මගේ හිත අසරණවෙලා සිහින මාලිග අගුල් දමලා මාලිගාවක සිරවෙලා රහසෙ හැඩුවා කඳුලු හන්ඟා අප්පාගේ නෙත් සිහිවෙලා අම්ම නැති උන දා පටන් උඹ මගේ පන යයි කියා රැක්ක දුව අද කළුගලක් උඩ මාලිගාවක තනිවෙලා කැකුළු නාඹර මගේ උඩුකය වැසුණු සළු ඉවතට වෙලා සියල්ලන් මැද සිතුවමක් වී කළුගලක් මත ලියවිලා සදා කාලෙට උරුම නැතිබව සියලු සැප සම්පත් මෙහේ යන්න වෙන බව දන්නවා මම තරුණ කම නැති වන දිනේ හදේ නැගෙන සෝසුසුම් වල කදුළු බර වැඩි උනු දිනේ ගලත් සෙලවී පැලී යාවිද මගේ දුක හඳුනන වෙලේ .... සිගිරි ගල ළඟ සිංහයා නම් තාම තරුනව වැජබෙතේ අපේ ගේ පැල පහුකරන් යන වගක් සැලවී බිය උනේ ගෙදර සිටිනා අපේ කැකුළිය බාල නැගණිය සිහිඋනේ අනේ අප්පේ කෙල්ල හංගා පැලේ දොර වහ ගනු හොදේ.... 23/02/2022
කවිය බලන්න
පන්නරය නිසසලයි

පන්නරය නිසසලයි

ආචාර්ය මංජුලා දිල්කුෂි සිල්වා High Wycombe - UK

පන්නරය නිසසලයි ගිරි දුර්ග පසුකරන් මා පැමිණි මේ ගමනේ පය පැටලිලා වැටුණු වර බොහෝයි සිතට දිරි ගනු පුතේ දෙපා පොඩි සවි නැතේ ඔබ කියූ වදන් නිති සිහි නැගේ සුළි කුණාටුත් බොහොයි ගන අඳුර රජකරයි ආලෝකයක් අවැසි බව දැනෙයි පහන් සිළුවක් විලස ගන අඳුර මැඩලමින් මා ලඟින් සිටි අයුරු සිහිනැගෙයි විසල් ගල්පර මතින් ගමන බොහො දුෂ්කරයි දෑත සවියක් සොයන වග දැනෙයි පන්නරය වී අම්මේ ඔය දෑත දිගුකරන් මදෙස බැලු දෙනෙත් අද නිසසලයි
කවිය බලන්න
වෙන මොනව කරන්නද

වෙන මොනව කරන්නද

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

ඉදුනාට බත් හැළිය ළිපේ රස්නය වැදී හිත තාම ගිනි අරන් දවස ගානෙම රිදී දැනුනාම වෙනස් කම් කඳුල හා ආ බැඳී ඉවසාන ඉනු කෙලෙස තව තවත් මෙහි රැඳී කෙස් පොදක් එක දිනක කිවු කතාවක් දිගේ තත්පරෙන් තත්පරය සැකය වැඩි කළ අගේ හිත් වලින් දුරක් ගිය පසු හැරෙනු බැරි මගේ දැන් ඉතින් මගෙ හිතත් තදයි කලුගල වගේ එකම වහළක් යටදි ඉඳන් දෙතැනක ලෝක අපිම රවටාගන්නෙ ඇයිද සිත් වී සෝක දුවට අහිමිව ගියත් රැකවරණ රැඳි රෑක බිඳුණු සිත හැදෙන්නෑ කතා කිව්වට නේක ලිහාගෙන යද්දි බැමි නීති පොත කිවු ලෙසට පතාගෙන ආ ලොවම සමතලා වුනි බිමට බදාගෙන වෙන්වෙන්න දුර වැඩිනේ මගෙ ගතට වඩාගෙන සමුදෙන්න මට නොවේ අපෙ දුවට
කවිය බලන්න
කැබලි

කැබලි

වෛද්‍ය නිලූෂි වීරප්පෙරුම

මට දැන් හදවතක් නැත ඇත්තේ ලේ පිරුණු පැසකි හැඩයක් නැතිව ඇලවූ පැලැස්තර ඇති ඉස්සරට වඩා රිදුම් දෙන තුවාලයකි ආත්මය කුඩාම කැබලි වලට ඉරිතලා කැඩී කැබලි වී විසිරී ගියේය මම පුලුවන් තරම් කැබලි අහුලා එකතු කරගෙන ඈතට පලා ගියෙමි පිටතින් නොපෙනෙන ඉතා ගැඹුරු කැපුම් තුවාල රාත්‍රීයේ නැගිට සිහින හරහා වේදනාව සිහිපත් කර දෙයි මට දැන් හදවතක් නැත ඇත්තේ මතක පොතක මතකයකි මට ඉතිරිව තිබුනේ එකම උත්තරයකි මම එය සොයා පලා ගියෙමි හැකිතරම් ඈතකට දිවගොස් සැගවී සිට -ඒ කැඩුණු බිදුණු තැන් පිරියම් කරනෙමි-පිරිමදිමි මට ඉතිරි වූයේ ඒ කැබලි පමණකි 15-02-22 ඔක්ස්ෆර්ඩ්.
කවිය බලන්න
මගෑරී ගියාදෙන්

මගෑරී ගියාදෙන්

නුවන්තිකා එදිරිසිංහ රාජගිරිය

සසර දුර දිගු ගමන යනෙන කල යනෙන අය නෙක නෙක වූ වේගයෙන් සිය ගමන දුර ගෙවත් යනෙන'තර එකම මග සම සමව වේගවත් හෝ සමව සෙමි සෙමින් අදෙන්නන් සගයන්ය ඒ ගමන් පසුපසින් හැඹවීම් හෝ එනතුරු නැවතීම් කිසිවක්ම යුතු නොවේ මගෑරී ගියාදෙන් මගෑරෙන ඒ බැඳුම්
කවිය බලන්න
වැලන්ටයින්දාට පසුවදා

වැලන්ටයින්දාට පසුවදා

නිමල් අබේසිංහ කඳාන

මා වත තබා සිසිලැල් සුසිනිඳු වතක කළු දෙබරෙකු වැසුවා සේ සුදු මලෙක මුදුවට අත තබා ඔබගේ එක් උරෙක සිටි ඒ දවස ගැන එනවා මට මතක මධුවිත බිඳක් ගෑවීතිබුණ ද තොලක ගිය නැති බවත් ඇත්තයි අපි වැඩි දුරක සඳු ළඟ කදෝපැණියෙක් කවදා මිලෙක සුදු බස්සියේ ඔබහට නැතිවද මතක සැමදා ළහිරු සහසක් රැසින් බබළන ඇස දා බලනු රිසියෙන් මෙමන් ලතවෙන ලසඳා සදිසි ඔබගේ රුවක් නොදකින පිසදා කඳුළු අද දින සිටිමි රහසින පුරා පෝය සඳ පායනු බලන්නෙමී නුරා හැඟුම් සිත් පුරවා විඳින්නෙමි සරා රසට කවදත් ලොබ බඳින්නෙමී ගිරා මලිත්තෙකි දුක් ගී ගයන්නෙමී -කඳානේ නිමල් අබේසිංහ
කවිය බලන්න
කැටුව යෑම​

කැටුව යෑම​

නිරන්ජන් සෙල්වදුරේ සිඩ්නි, ඔස්ට්‍රේලියාව

මරණය - භව මිතුර​ දැක ඇතත් ඔබ නිතර​ නොපැතුවෙම් ඔබ ඇසුර​ යන එන මං නැතිව​ සසර​ මග අසරණව​ සිටින විට​​ හුද​කලාව​ මා කැටුව යෑමට ඔබ පැමිණ දුර සිට කළ සුහද ඇරයුම​ සැනින් පිළිගතිමි මම​ අප දෙදෙන සමගින් අසුන් ගෙන නිහඬින් රිය තුල විය සංසාර​ භවය මා වැනි ප්‍රුථජ්ජන​ යන නොනිමි ගමන දැන​ යලි භව තරණය​ සලසන ඔබ මරණය​ සරණ වන සත හට බැව් වැටහු​නි​ මා හට​ සංසුන්ව යන ගමන් දුටිමි කවුළුව තුලින් හිරු නැගෙනු පෙරදිගින් නිවන් සුව නොලැබුනත් ගමනාන්තය නොදනිතත් නොදැනේ කිසි චකිතයක් හේතුවෙන් ලද ඵලය​ ලැබෙන බැව් නියතය​ ඇරඹුමක නව දිවිය​ සමගින් මතු භවය​ නිරන්ජන් සෙල්වදුරේ (Sydney, Australia)
කවිය බලන්න
ජනතාවට අසීමිතව ප්‍රේමකළ, මිය නොයන සත්‍යවාදියා.. සුනිල් මාධව ප්‍රේමතිලක

ජනතාවට අසීමිතව ප්‍රේමකළ, මිය නොයන සත්‍යවාදියා.. සුනිල් මාධව ප්‍රේමතිලක

නිශාන්ත ප්‍රීති සෙනරත් ලන්ඩනය

කගපතක් විය නුඹේ පන්හිද රටට වින කල මාරයන් හා සටන් කල සගයන් හැමෝටම.... පහන් එලියක් විය නුඹේ වැකි අසත්‍යය නම් අන්ධකාරය ගිලී තිබු රටකට එදා.... හෙන කඳක් විය නුඹේ කටහඩ අයුක්තිය රජකල එවුන් හට බියෙන් සලිතව පරලවන්නට... පන්නරය විය නුඹේ අදහස් දුක් විදින අසරණ එවුන් හට නැගී සිටුමට අසාධාරණ දෙයක් දුටු කල එයට එරෙහිව.. හදවතක් නැති අවිය අත දැරු තිරිසනුන් රැල... පැහැර ගෙන ගොස් මරා දැමුවා අපෙ තරුණ කැල එරෙහි වූ කළ අවනිතියට... එදා අසරණ අම්මලා හට යෝධ ශක්තිය විය නුඹේ හඬ... එදා අසරණ පියවරුන් හට වෙඩිමුරය විය නුඹේ රණ හඬ... නිදාගෙන සිටි රටක් පුබුදා එකට එක්වී සටන් කෙරුමට වීදි බැහැලා හඬක් නැගුමට... මරණ තර්ජන කොතෙක් ආවත් අතහැරියෙ නැහැ නුඹේ කගපත සත්‍යයත් යුක්තියත් සොයා ගිය... පෑන් පහරට බියෙන් සලිත වු පාලකයෝ දුන් වරදාන පොදි.. විසි කළා නුඹ උන්ගෙ මුහුණට කෙළ පිඬක් සේ අළුයමේ දුටු... ලෙයින් තෙත් වුන මගේ මව්බිම මරබියෙන් සලිතව තිබූ රට පලවා හැරලා ඝාතකයෝ රැල නිදහසේ අරුනැලි දැකපු රට ණයය් අය්යේ "උඹේ පෑනට" නික්මුනත් අද අතැර මේ ලොව මිය ගියේ නැහැ අපේ හද තුල "සත්‍යවාදී සැබෑ මිනිසා සුනිල් මාධව නුඹය් සිරිලක"
කවිය බලන්න
මෙයද ...දරුපෙමකි..

මෙයද ...දරුපෙමකි..

නිලන්ති පෙරේරා කඩවත

මෙයද ...දරුපෙමකි.. සුරලොවින් සුර කුමරියන් වඩිනා ලෙසින්...මේ. ..ධරණි තලය ට ඔබත් ආවේ....අපේ ලොව වෙත සතුට සෙනෙහස එකට කැටි කොට සුරතල්ව නුඹ වෙලුනි..දෙඅතේ දැනුනි දරුවෙක්. ලෙසින් මා හට සිගිති නුඹ මෙලොවට අයිති නැති...ලෙසින් . යන්නම ගියා තනි කොට වේදනාබර රෝ බියක....නුඹ වින්ද දුක් කම් කටොලු රැස මැද නෙත‍ඟ කඳුලැලි ගලා ගිය "යුරු නුඹට දැණුනිද සෙනෙහෙ අප හද මෙවන් සෙනෙහස් හැඟුම් ..දුක්බර් බැඳීම් බව හැඳිනුවත් හද මැද යළි යළිදු ඒ බැඳීම් වෙතටම .. සිතක් ඇදෙනා මහිම.. කෙලෙසද
කවිය බලන්න
වැරදීම හා සමාව...

වැරදීම හා සමාව...

පුෂ්පශාන්ත සමරනායක මොරටුව

දැවෙන කල ගිනි දැල් වලින් දෙව්දත් තෙරුන් අවීචිය මැද... ලැබුණු ඳඬුවම දැනෙනවා බුදු හිමියනේ සැර වැඩි ද.... සොහොයුරිය ගැන දුකින්, ගල පෙරළුවා වෙන්නට බැරිද.... "ගිජ්ජකූටය" හිමියනේ මගහැර වඩින්නට හැකිද.... මහමෙර තරම් සෙනෙහසක් හදවතේ ගැඹුරක දරන්.... කන්ථකත් මිය නොගිය නං ගං ඉවුරකදි හදවත පලන්... නොගොස් දෙව් ලොව යන්න තිබුණා බුදුරදුන් දැකගෙන නිවන්... ඉතින් කන්ථක ඇත්තටම මම වැරදිදැයි ඔබ මට කියන්....
කවිය බලන්න
සාමනේර

සාමනේර

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

සාමනේර පෝය සඳ මුදුන් වූ බෝ මළුව කෙළවරේ සුදෝ සුදු සිඟිත්තන් කෙළිකවට හඬ ඇසේ බොඳවෙමින් අවට ලොව යුග නයන කියූ දේ සිල් සුවඳ මුසු සුළඟ කොහෙද අරගෙන ගියේ ලොව නිදන යාමයේ මල් සිහින ලෝකයේ ඔයේ ගිලෙනා දැනී 'අම්මා' යි කියවුනේ අවදි වී අඳනකඩ නෙත ගැටුණු සැනෙකිනේ ඉනූ උණු කඳුළු කැට රහසේම වියලුනේ සමනල සිතුම් පිරුණු මුඩු හිසින් බිම බලා කසාවත යට ලපටි බොළඳ හද සඟවලා තෙවළා දහම් උගෙන අපිස් දිවියක් ගෙවා සව් පැරුම් නැණ ලබන්නට හැකිද මෙලෙසිනා කතුවරයා 2005 දී පළ කළ 'ඇසි පිය' කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත් පැදි පෙළකි.
කවිය බලන්න
නොයා ඉන්නද (1945)

නොයා ඉන්නද (1945)

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

නොයා ඉන්නද (1945) අමාවක සීතල රැයේ සැරි සරන්නද තුසිතයේ දරා හිටි නටුවෙන් කුසුම වෙන්වී ගියේ අපේ වාරය එන තුරා හිටියා කල්පයක් පුරා දෙවුර මතින් අරන් සිහින එකිනෙක මරා උනයි රුහිරය වැගිරෙමින් හැපි හැපී රිදෙනා තොලින් මතකය හිර කරන් පිස දමන්නෙමි හෙමින් බුර බුරා නැගෙන ගිනි දැල් බොඳ වෙමින් මැකෙන දුම් වැල් හිත දොවයි කඳුලින් හැරෙමි මනසින් විකල්
කවිය බලන්න
ආදරය...

ආදරය...

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

ගලා හැලෙන දිය වැල් අත⁣රේ පෙරට ඇදෙන්නේ ආදරයයි පාව ඇදෙන මදනල අත⁣රේ කොඳුරන්නේ ඒ ආදරයයි කඩා වැටෙන කඳුලැල් අතරේ සිනා නඟන්නේ ආදරයයි මිහිර මවන්නේ පැතුම් සදන්නේ සිහිනෙක රැඳෙනා ආදරයයි . වෙරළත රැල්ලක ඉකි බිඳ හඬනා නාදය වන්නේ ආදරයයි තුරුලිය නැළවී සැලෙනා පවනේ ගයනා ගීතය ආදරයයි තරු මල් හිනැහී සිත්මල් පිබිදී හද සනසවනා ආදරයයි සඳ රැල්ලක සොමි ගුණ හද කැටි වී සිහින මවන්නේ ආදරයයි . තුසර බිංදු සේ හිමිදිරි උදයේ පිවිතුරු වන්නේ ආදරයයි මියුරු සිංදු සේ සියොතුන් ගයනා කන්කළු රාවය ආදරයයි සොඳුරු ලන්දු නෙත් කැල්මෙන් පිබිදී හදවත සැලෙනා ආදරයයි කඳුළු බිංදු ගෙනදී හැමදාමත් සිත රිඳවන්නේ ආදරයයි .
කවිය බලන්න
කඩුව පමණක්

කඩුව පමණක්

ප්‍රීති රන්දෙණිය

නීතියේ දෙවඟන ත් බීතියේ සළු ඇදන් නීති පොත කොයි වෙලේ කීතු වේදැයි බියෙන් සළුව අත දරාගෙන හෙලුව වසනූ බැරි ව යුක්තියේ සළු අරන් එතැයි මග බලමින්ම හලා හල විස කිරන තරාදියෙ වරාපොට පැත්තකට බර වෙලා ඉඳී ඇය විශ්මිත ව දසස් ලැබුවත් සක්‍ර ඒත් නොපෙනෙන සත්‍ය නේත්‍රා වසාගෙන කෙලෙස විසඳනු ඇත්ත පලක් නැති ඇස් දහස දෙතොත් මේ කොමළගන විසි කරයි තරාදිය කඩුව පමණක් රැගෙන
කවිය බලන්න
වස්සානෙ අදත් අතවර කළා

වස්සානෙ අදත් අතවර කළා

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

ගිම්හාන - හේමන්ත - සරත් කල අහවරයි නිල් වර්ණ තුරු, අතර වසන්තය ස්ථිරයි පැනි සොයන බිඟුන් කැල පවා හරි චංචලයි සකි සඳුනි, මල් පිපෙන කාලය ම දුෂ්කරයි රත් අදර රඳවමින් මලක් මල හා ගැටෙන මධු බඳුන් උතුරමින් ගංවතුර සේ ගලන තුරක ළැම මත එතී වැලක් පෙම් රස උරන සකි සඳුනි, මෙය ඉන්ද්‍රජාලය කි හද දවන දිය කඩිති කඩිසරෙන් ගඟේ තුරුලට වෙලා සඳේ වතුරෙන් පෙඟී සුපෙම් බස් මතුරලා සුළං වැහි කෝඩයෙන් කන් පෙත්ත කිති හලා සකි සඳුනි, වස්සානෙ අදත් අතවර කළා
කවිය බලන්න
“Liberation of Lanka”

“Liberation of Lanka”

වෛද්‍ය රසීකා ජයතුංග ලන්ඩනය

“Liberation of Lanka” The Pearl of the Indian Ocean, celebrated its Independence recently To patriots the 4th of February is a truly significant day Be they Sinhala, Tamil or Muslim all communities celebrated Seventy-Four years ago as Lanka was liberated. Majestic kingdoms & irrigation systems built by rulers of the past Still stand though in ruins and through centuries will last Speaking volumes & revealing a rich heritage & culture We feel justly proud of and should continue to nurture. It’s the spices & the gems which brought travellers to us from the West They knew that little Lanka could provide them with the best The Portuguese, Dutch & English all conquered us in turn They took our natural resources & brought Christianity in return. Of the foreign rulers, the British were both the longest & the last The natural resources they took from us were valuable & vast But they taught us the national sport; Cricket which we all adore Which has made little Lanka, World champions as never before. The fight for Independence was no doubt extremely hard Breaking free from western forces & the mighty British Raj Such heroes we had in Dharmapala, DS & Co Who marched the Lion to victory against a common foe. These sons of Lanka, fought hard for our freedom We entered the Commonwealth, but were free from the United Kingdom Locals previously stifled, then had pride of place Irrespective of their ethnicity, their religion or race. Finally Independence you won in Nineteen Forty Eight Being free from foreign rule was a reason to rejoice & fete Many a government which followed have not delivered you the best Leading to political turmoil & public unrest. Sadly within our country today there are many different fractions Leading to an ethnic war requiring drastic actions We are dividing & destroying, our own dear Mother With the violence & destruction, aimed at each other. Seeing your own children fight, must surely make your heart bleed This is a pointless war, which we certainly do not need So many of your sons, have lost their limbs & lives Leaving behind innocent children & grieving widowed wives. United we must stand to celebrate this unique day A memorable milestone in Lanka’s history I would say The Seventy Fourth Anniversary, of our country’s Independence Day Let’s strive together to consolidate our proud nation without delay.
කවිය බලන්න
නොරැවටුන මල

නොරැවටුන මල

රොෂාන්ති විජේසිංහ ඉතාලිය

සෙනෙහස බිඳුනට ඉකි ගසා නුඹ හැඩුවට අහිතක් නොසිතනු මැන කිසිම දිනයක මං ගැන තනි වුන මෙහොතෙයි නුඹේ උණුසුමට ගුලිවී මත් වූ ඹබරෙකු ලෙස හැසිරෙන අයුරු දුටු විට මටත් නොදැනිම දෙනෙතෙහි කඳුළු බිදුවක් කොපුලත රූරා විත් වැටුණා නුඹේ මුව මත ගැස්සුනෙ දෙනෙත් දුටුවාම මම නුඹගේ තේරුම් ගියා හදට තව එක් ඹබරෙක් බව මලෙහි සොඳුරු බව රැකගෙන මිදුණත් ඔබෙන් ගැහැණිය චපලයි කියා නොම කියනු කිසි දිනක පෙරුම් පිරුවාට අහසක් තරම් උසට සෙනෙහස ලැබුනට මට එකට ඉන්න නුඹ සමග තේරුම් ගිය විට නුඹ වන ඔබරෙක් බව මැවූ සිහින මාළිගා බිද වැටුනි පය පාමුල
කවිය බලන්න
ආදරයට ආදරෙන්..

ආදරයට ආදරෙන්..

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

අහිමි වන්නට යමක් නොතිබු ඒ කාලයේ හීන වල විතරමයි ලියවුණේ ජීවිතේ බිඳුණු හදවතක පිරියම් නොපෙනෙනා ලොවේ සතුට දුර ඈත වුව නෑ දෙනෙත් තෙත් වුණේ.. මදහසක් තුළ රැඳෙන නිහඬ සමනල් සිහින එකින් එක රැගෙන කොපුලත තබමි සිඹින්නට ආදරය ආදරෙන් දොවා පුරවා හිතට පුද දෙන්න මග බලන දෑතක්ම හිමිව ඇත. සඳ දියෙන් මල්වරව දළු දමන ආදරේ සැඟව ගමි රහසේම හොවා ලය මානයේ ජීවයෙන් සිත පුරන මීවිත ක් මට තියේ සැනසුමක් දැනෙන තැන නතර විය යුතුම වේ ඉඩෝරේ අවාරෙක පිපුණු දූවිලි මලක පාට සිත්තම් කරන ජීවිතේ තෙලිතුඩක පරව යන්නට නොදී රැක බලන සෙනෙහස ට නොකර සරදම් ඉතින් හිස නමමි ඉරණමට!
කවිය බලන්න
මංගල සිනා

මංගල සිනා

රංජිත් ද සිල්වා නවසීලන්තය

මංගල සිනා සති අන්ත පත්තරේ - මංගල යෝජනා විස්තරේ මනාලයෝ සොයනා මනාලියෝ මනාලියෝ සොයනා මනාලයෝ ආගම - කුලය - ජාතිය ගැන සොයන්නේ එකම රටක එක කුලයක උපන් ලෙසින් නොසිතන අයද මේ අපෙ හාමුදුරුවනේ නිදසුන් අරන් මංගල දැන්වීම් වලින් සුමධුර බණක් දෙසුමට හොඳ වෙලාවක් එත් කෙලෙස කුලයට එරෙහිව යන්නේ පැවිදිව සිටින විට අහවල් නිකායේ…. 22 -02 - 2022
කවිය බලන්න
ශීශීරයේ ලියූ කෙටි කවි

ශීශීරයේ ලියූ කෙටි කවි

රුවංක ජයතිලක

කවුදෝ පෙර තැබූ පිය සටහන් මත සීරුවෙන් තබමි පය හිම මතින් යද්දි -------------‐---------------------------------- සීතල පොරවගෙන බස්සෙක් හ්ම් හ්ම් හඬින් වෙව්ලන -------------------------------------------------- බොඳවී පෙනේ මීඳුමට රතු සංඥා එළිය අධි වේගී පිවිසුමට පෙර --------------------------------------------------- හිම කබාය අස්සේ මකුළුවෙක් උණුසුම් වෙන්නද මන්දා ----------------------------------------------------- හිම වැටෙන උදයෙත් වලාකුළු හා එක්වයි කම්හලේ දුම -----------------------------
කවිය බලන්න
ගම්භාර දෙවි!

ගම්භාර දෙවි!

රත්නපාල ගමගේ ස්විස්ටර්ලන්තය

පුජා වට්ට් මල්මාල පිංපෙට්ටි ඇති තිරයකින් වටකළ පෙනෙන නොපෙනන ඉබේ පැළවූ කාක බෝධි යට පිටදී බෝඩිම් වී සිටින ගම්භාර දෙවි තෙමේ උඩින් වු අතු පතර එල්ලී නිදන වවුල් කැල බිම හෙලන වසුරු පිඩ දෙවිම බැහැ මගහරින්න ගම්භාර දෙවි තෙමේ නරයින්ට සෙත හදන්න 24 පැයම ඔන්ඩියුටි සෙල්ජ සේමිස් දෙවි පොල්තෙල් පහන් සිල නිමී ගොස් මිල වැඩි නිසා ලාභට ඉටි පහන් සිල සැලෙයි දෙවි ඉදිරියේ ගම්භාර දෙවි තෙමේ හොද වෙලාවට දෙවි වුණේ නැත්නම් සුවර් මයි කොරෝනා ඇවිදින් තිරය සමගින්ම වලේමයිනෝ කථා!
කවිය බලන්න
ලෝකෝපකාරයේ සිත්ගත් කවි

ලෝකෝපකාරයේ සිත්ගත් කවි

රණස්ගල්ලේ නාහිමි

පින් පව් කළ සතන් එක තැන දී ම බලා ගන්නේ යාන වාහනවල හිඳිනවුන් සමහරෙක් උසුලත් පින් පව් කළ අය එක තැනක දී ම බලා ගන්නට පුළුවන. එක පිරිසක් යානවාහනවල හිඳ ගෙන යන අතර තවත් අය ඔවුන් ඔසවා ගෙන යති.
කවිය බලන්න
බිරිඳගේ තීරුව

බිරිඳගේ තීරුව

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න මහනුවර

ලියන ලිපි හරි ලස්සනයි කියවන රසිකයන්ට ඇත්තයි ඒත් කටුකයි මැති ඇමතින්ට ගොඩක් ලාබයි පත්තර කන්තෝරුවට ගෙදරත් අඩුපාඩු ගොඩයි රටේ දේවල් හොයා බලලා රෑ මැද්දෙ එනකොට නොදැක්කට
කවිය බලන්න
රූ රැජින

රූ රැජින

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

මදහස පිරුණ බැල්මකි නව යොවුන් වත නිදහස විඳියි කෙහෙරැළ රත් කොපුල් මත අදහස අනුව විනිසුරු මණ්ඩලේ නෙත අද හිස කිරුළ පැලඳෙයි රූ රැජින වෙත කාගේ ඇසත් ප්‍රිය කළ රූබර කෙල්ල ආවේ ඈත ගමකින් යාගොඩමුල්ල මාලේ සින්න කළ ආයිත්තම් මල්ල රෝගී පියා කළඹයි ඇගෙ දැඟලිල්ල රෑ වුන දිනෙක පෙරහුරු ගමනක මැද්දේ ගෑවුන කිළිටි පැල්ලම හිත තුළ සද්දේ නෑවුන දාත් ලොකු අම්මයි කන විද්දේ පාවෙන කෙනෙක් ලෙස හිනැහීමයි යුද්දේ හීන පිපෙන තරු රැය හෙමිහිට පැමිණී වේදිකාව වට⁣කර සැණකෙළි මැවුණී මූණ ඇද ළඳක හිස මත ජය තැබුණී නාය යනු පෙනුණි ගම සුන්දර තරුණී ශ්‍යාම කුමාර මුණසිංහ
කවිය බලන්න
Adieu all fears!

Adieu all fears!

සන්ජය ප්‍රියදර්ශන උඩුගම්පොල

Briars wave there the nightingales sing the grass grows long and deep all night long and long no change of time there the sullen garden of death the cold, crystal moon looks down Bygone trees spread out its giant arms over to listen to the peace and silence neutralizing the mind anger have no yesterday or tomorrow to lie on the soft brown earth for eternal peace peace comes flowing in musical melody leads to the beauty of serenity Sans hatred sans everything Adieu all fears! – Udugampola – Sri Lanka
කවිය බලන්න
$ සොයනා යන්තරේ

$ සොයනා යන්තරේ

සන්ධ්‍යා ද සිල්වා

අහුමුඵවල කඩපිල් වල ඇවිදින මැතිදුන් නිතර මතුරන මන්තරේ සමාජජාලාවන් අනුමාන වපුරමින් $ හොරු සොයනා සුත්තරේ පෝළිම් වල සැප සොයමින් ආණ්ඩුවට බැන වදිනා කෝන්තරේ අන්දමන්දවී අද කවුරුත් විමසන නැතිවු $ සොයනා යන්තරේ සරුව පිත්තළ ලොවක වසනා - ගැහැණුන් සහ මිනිසුන් දියව් යනුවෙන් හඬ නැගූ සැම විට සැනසුවේ- ඡන්දය ගනු රිසින් ගෙවූ මුදළට සේවය කළාදැය් නොසෙව්වේ අමනාප වේයැය් බියෙන් අවැසි/අනවැසි සියඵ දේ ආනයනය කොට- සැනසුවේ $ අනුහසින් දුගී දුප්පත් ගොවින්ට පොහොර ආනයනය කර නොමිලේ ලබාදුන් එකට හතරක් පොහොර යොදමින් පොහොසත් වීමට කියාදුන් අස්වැන්න කැමති කෙනෙකුට කැමති ගනණට විකිනීමට ඉඩ ලබා දුන් ඉහළ යන සහල් මිළ විට ආනයනයෙන් පාලනය කර ලාබෙට කන්න දුන් - Scootyයේ යන දුගින්ට බදු මුදල් ඉවත් කොට ලාබෙට කාර් දුන් ඒ කාර් දුවවන්න නයට ඉන්ධන ආනයනය කර පාඩුවට ලබා දුන් මාර්ග තදබදය නිසා වැඩිවු ඉන්ධන දහනයට පිළියමක් නොදුන් කවුරුන්ද විමසනු- ඒ $ වියදම්කර ලාබ ඉපැයු පින්වතුන් ලෙඩට බියවී අගුලු දැමූ රට තුළ නිසි කළට පඩි ලැබූවන් තවත්ඉල්ලා රඟන විට, ලෙඩ පතුරමින්-අත්පොළොසන් දුන් එවුන් විමසුයේද කිසිවිටක? කවුරුන්ද, කෙසේද උපයන්නේ ඒ මුදල් දරන්නේකෙසේද? ඔවුන්ගේ වැඩි බර -සටනට පණ නැති එවුන් රූපවාහීනී තිරය මත වැඩසිටිමින් $ සොයනා ආචාරියන් පෝළිම් වල වැඩ සිටිමින් දෙස් දෙවොල් තියනා මහාචාරියන් අමතකද? ඉල්ලුම සහ සැපයුම පිළිබඳ මුළික නියමයන් සැපයුම නොමැතිව ඉල්ලුම පිළිබඳ හඬනගන්නේ හිඟන්නන් තමන් උපයනා මුදල වෙනුවෙන්-අවංකව සේවය කරමින් ඇතොත් අඩුපාඩු- රට වෙනුවෙන් නිහඬව විඳ දරා ගනිමින් ඡන්දය නිසා සැත්තෑවසරක් වැනසුනු දේශය ගොඩනගමින් නැගී සිටින්නට අදිටන් කරමු -නිවහල් දිරිය මිනිසුන් ලෙසින්
කවිය බලන්න
බිම්බා දේවියගෙන් අසමි.....

බිම්බා දේවියගෙන් අසමි.....

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

බිම්බා දේවියනි ඔබ හිත තුල තිබූ සවිය අදහනු නොහැක කෙලෙසින් වැඩූනේ වීරිය සගවා කදුළු කැට නොදැනෙන ලෙස සිටිය කෙලෙසද ඉතින් හිරකර ගත්තේ ඉකිය සසරේ පුරාවට හිමි සමගින් සැරි සැරුව කතරේ දිය පොදක් සේ නිති සෙනෙහස පිදුව සසරේ දුක මුදනු ලෙස හිමි පිටමං කෙරුව ඇසුරේ පුතුන් පමණද තම සිතුවිලි මැරුව සෙනෙහස නිසා හිත ඇති වූ බැදුම් නිසා දුක බව දැනුණු කල කෙලෙසින් කදුල වසා හිත නම් වෙඩරුමය මගෙ හිමි ඉදිරියේ නිසා මමනම් හඩනු ඇත ඉකියෙන් ලොවම වසා පුංචිම දෙයට වුව නෙත කදුලින් පිරුණු නොසිතු ලෙසින් මදකුත් සෙනෙහස බිදුණු උදයේ දකින කල මගේ රතු නෙත් වල රැදුණු කදුළේ ලකුණු ඇත තිස්‌ පැය නිදි වැරුණු කල්පයක් කාලයක් පෙම් කලත් හදවතින් දැසමානේ නැතුව කුමන සැපතක්‌ ඉතින් සියලු කෙලෙසුන් නසා වඩින කල කහවතින් කෙලෙසකින් සිටියාද පුතු යවා පෙර ගමන් බැදුමන් නිසා හිත ඇතිවන අමිල සෙනේ අබිමන් වුනත් බිදුමෙන් හිත දුකක් දැනේ දිරිමත් දුලබ අගනුන් ලොව ඇතත් අනේ සිරිමත් බිම්බාව ඔබ මැණිකකි ඉහල ගනේ 07/02/2022
කවිය බලන්න
දඩයම

දඩයම

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

නෙත් කොනින් වෑහුනු නුරා ගිනි ඇවිලුනු හදවතක වියැලුනු මලවි උක් දඬුදුනු සයනයක වැතිරුනු නිදන්නට නොලැබුනු පතොක් කටු ඇසුරුනු චුම්බන ලවන් ඉදිමුනු ගත දැඩිව සිරවුනු ගැලවීමක් නොවුනු නොදැන බිඟු අසුවුනු බාඳුරා විස ඇමුනුනු නොදත් වස සැඟවුනු නියඟලා මල් රොණු එවන් සිත හැකිලුනු නිදිකුම්බයකි පෑගුනු 19/02/2022
කවිය බලන්න
සින්ජිකු උයනෙ රත් පෑ සකුරා පිපුනා

සින්ජිකු උයනෙ රත් පෑ සකුරා පිපුනා

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

නෑ හැඩ රුවක් රම්බා කුමරුන්ට වගේ ගෙල අත රන් දම්ය සිටුවර පුතෙකු හැඟේ අද එක් රියක හෙට තව එක් රියක නැගේ අට්ටාලයක් උඩ ඔහු නෙත ගැටුනි ඇගේ ඇගේ රූ සිරිය පබවත කුමරිය සරිය දරු සෙනෙහස නිසා දෙතනේ කිරි බරය පාරේ තාර තරමට ඔහු කළු උසය ඉංජිනේරු නෝනා නම් හසඟනය ඔහුගේ වැඩ බිමේ අදියුරු සුදු නෝනා නැග අට්ටාල මත නෙක සරදම් පානා දැල් වැට සොලව සොලවා ඉඟිබිඟි කරනා දඟ සුළගට ඇගේ දඟ යුග කිති කැවුනා ඈ දරු පැටව් සහ සැමියා සමග හොරා නිසිකල එතෙර විය පෙම්පත් දෙකට ඉරා බෑ ගල් ගඩොල් මැද ඉන්නට තනිය දරා තතමි පැදුරෙ ඈ තුරුලේ සුපෙන්බරා සකුරා මලේ දුර අංකය සොයාගෙන පෙර සෙනෙහසින් අමතයි ඈ පතාගෙන ඉන්නට බෑ තනියි කඳුලැලි පුරෝගෙන සුසුමන් හෙලයි ගිනි අවියක් දරාගෙන ඇගේ රොස්, කටුක බස් කළු ගල් සේ දැනුනා වෙව්ලන ඇඟිලි තුඩු ගිනි කඳ හා බැදුනා සකුරා පිපෙන රටටත් වෙඩි හඬ ඇසුනා සිංජුකු උයනෙ ලේ පෑ සකුරා පිපුනා
කවිය බලන්න
අසංගත වීම

අසංගත වීම

සුනිල් එස්. සිරිසේන මහනුවර

රුදුරු රළ පෙල අවුත් ගල් කුළු වලට පැරදී සුදු පෙණ පිඬු නගමින් සයුරට ම ඇදී යයි පහන් කණුව පාමුල අඳුරට ඉඩ දෙමින් බලා සිටියෙමි නව මිනිසුන් පැමිණ නව අදහස් රැගෙන පල්වෙන මිහිතලය ම කළඹන්නට කැස කවන අපුරුව අඩක් නිම වු වැඩ නිමා නොවනා වැඩ අත ගැසු වැඩ තැන තැන ඉතිරි කොට හිරු අසංගත වේවි මොහොතකින් අද දිනය නිමා කොට එළිය දල්වනු ඇත පහන් කණුවේ දැන් අඳුර ද වැඩි වේවි පහන් කණුව යට
කවිය බලන්න
එක් දින සිහිනය

එක් දින සිහිනය

ශ්‍යාමලී මනෝජා මල්වත්ත මොහොට්ටි ශ්‍රී ලංකාව

ලන්දේසි කොටු බැම්ම උඩ රජවරු බිසෝවරු කැමරා කාචයට සිනාසේ...... හැර හැරීී බලමින් එදෙස පාසලට ඇදෙන බාලිකාවන් මග හරිමින් වාහන පෙළ ඇදේ... පැය ගණන් වැයකර පෙරදා රැයෙහි සිට නිදිවරා වතෙහි සිතුවම් ඇදේ.... ඒ පාට බොදකරන්නට කරදිය වැල සිඹින වලාවෙන් වැහි බිදු එක දෙක වැටේ... රජවරු බිසෝවරු එකගොඩේ පරිවාර සේනාවද සමග ලන්දේසි අගුපිලේ ගාල් වේ.... දහස් ගණනින් ණයව ඇන්ද පිළි ගලවා තබා හෙට දිනේ සිට ජීවිතේ ගෙවන්නට සිදුම වේ....
කවිය බලන්න
(නො)බැඳීම්

(නො)බැඳීම්

සචී ජයවර්ධන

නරුම හදවත් ගැඹුරු වට හක්කලං ගහපු තරමට වැටුණු තැන පැසුණු ලෝ දිය කඳ මත සිනාවෙන් ගල් බොරළු විය; අළු යට අකළට වට වැස්සෙන් යළිඳු පිපෙන්නට දත කන බැඳීම් - නොබැඳීම් යුගල පද ගළප්පා ගත නොහැකිව හිරිවැටිණ.... තිත. නැත කොමා, ඇත (වරහන් ඇත) යළිඳු, {සඟල වරහන ඇද විය} ඇළ ඉරි / හෝ / තේරීම් නැත විස්මයක් ඇත! එහිම සදාකාලික ප්‍රශ්නාර්ථයක් ඇත....?
කවිය බලන්න
හුදකලාව

හුදකලාව

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

සිතට එන නෙක දුක් වසාගෙන සිටින මුත් නෙත කඳුළු වැගිරේ දුක බෙදාගෙන එකට ඉන්නට කිසිවෙකුත් නෑ සබඳ නුදුරේ කඳුළු සඟවාගෙන වසන්නට මම වෙහෙස වෙමි නිතර අඳුරේ දිවා කල වැසි වසිනු මැන නිති කඳුළු සේදී යන්න වතුරේ නොයෙක් උස් මිටි ගුණැති නුගුණැති බොහෝ දෙන මා අවට ගැවසේ එහෙත් මා නිති හුදකලාවෙම දෙනෙත් හැර ගෙන සිටිමි ගොළුසේ සිතෙහි ඇති මහ බර දරාගෙන සිටින බව අන් අයට නොදිසේ පෙර කරන ලද කර්මයක ඵල වෙතැයි සිතමින් වසමි දුකසේ සතුට සැනසුම විනෝදය හෝ නොමැත මෙහි කිසි ලාලයක් රසට අහරක් සොඳුරු ඇඳුමක් ගැනද නැත කිසි ආලයක් නමුදු කිසි තැන බැඳීමක් නැති වැනිය මෙය හොඳ සීලයක් සිතට නොහැකිය එහෙත් මේ ලෙස ගෙවන්නට තව කාලයක් ඕපපාතික කෙනෙකු විලසට නොවේ මා මේ ලොවට ආවේ මව්පියන් හා තුටින් එදවස සිටිය බව මට නිතර සීවේ නොසිතූ විලසට මගේ සැමදෙන මගෙන් උදුරා ඉවත ලූවේ උපන් කරුමෙට මේ අහස යට මැරෙන තුරු මගෙ දිවිය පාවේ.
කවිය බලන්න
A Spring Delight AH

A Spring Delight AH

වෛද්‍ය ටියුඩර් ද සිල්වා කෙන්ට්, එංගලන්තය

With crispy blue skies vast and bright clouds fluffy in purest white winds warm, soft and light hail the birth of a spring delight With golden rays of heavenly might bathing hills and valleys alight covering the fields with daisies white wake the earth to a spring delight With bluebells covering woodland blight showers light a welcome sight rainbows in the brightest kilt bring the joys of a spring delight With daffodils in brilliant gilt wild meadows a pestle quilt cherry blossoms a pinkish silt Scent the air of a spring delight With feathered friends in swirling flight buzzing bees in a busy plight butterflies fluttering a swiftly kite Serenade the melodies of a spring delight 17th Feb 2022
කවිය බලන්න
සිහගිරි අප්සරා පැවසූ සොඳුරු කව

සිහගිරි අප්සරා පැවසූ සොඳුරු කව

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

සිටියත් කසුප් නිරිඳුගෙ මන නද        බැඳලා නැත නිදහසක් දැනුනේ රජ සැප       විඳලා නිලඹර උසට වූ ඒ පවුරට              නැගලා නිදහස් සිටින විට බිතුසිතුවමක්        වෙලා නිල්වන් කෙස්වැටිය පීදුනු මල්        ගවසා පිරි පුන් කලස් ලෙස වූ තිසරුන්  මෙලෙසා දුටු විට මගේ රුව සුර අඟනක         විලසා නිරිඳුන් පවා හද පිදුවා මා              උදෙසා සියවස් ගණන් තනි වූවත් මා        මෙතැන දුටුවෙමි පවුරෙ කැටපත් මා ගැන     සිතන මිනිසුන් කොතෙක් වී දැයි මගෙ හද පතන සිත ඇති තැනක් වේ නම් මැදුරකි   එතැන සිතුවම - කිවිදිය විසින්.
කවිය බලන්න
යසෝධරා නොකී කව​

යසෝධරා නොකී කව​

තිලක් ධර්මරත්න කොළඹ

සැබෑවක් මය....එය.. ඔබවන් පුතකු ලද මවද .. පියා ඔබ වු සිඟිති පුතණුද​... ඔබෙ සෙනෙහස දිනූ පිය ළඳ ​.. නිවුන බව නම්... එහෙත් නොවටී නොවෙද හිමියනි සොයනු ඇයහට ඔබේ වත ගොත​ රිසි නොවේ ගෝතමී මා හට​ හිමියනි කමනු සලිත මසිත ට... දමා තනිකර බොළඳ‍ මා සිත​ නොදුටු සුරතල් රහල් කුමරු ද​ නොයනු මැන අබිනික්මනේ දිලෙන සඳ මේ රාත්‍රියේ.... නොයමි කිසිදා නුඹ ව හැරදා කඳුලු සඟවා හිඳිමි හිමියනි පතමි සඝමොක් සුවේ ලබනට ඔබ දිනූ දා ඔබ දෙපා මුල​...
කවිය බලන්න
කහට කෝප්පයේ දුම් වළළු.

කහට කෝප්පයේ දුම් වළළු.

තුෂාරි ජයසිංහ මහනුවර

අළුපාට හැන්දෑවක කකුලක් හෙලවෙන මේසයට ඉහලින් හිනැහුණා සුන්දරියක් කහ ගැහුණු කැලැන්ඩරයේ එල්ලිලා මලකාපු ඇණයක තදින් ඉතින් නම් කුමට ඉඟි බිඟි කරනුද සයනයේ ඇති එකම එක කොට්ටය හිනැහුනා උපහාසයෙන්. .... වල ගොඩැලි මත ඇඳුණු කුප්පි ලාම්පු සිතුවමකට තරුවකුත් කඩන් වැටුනා වැහි පොදකුත් එක්කම සිරිස් ගා රීප්ප අතරින් ලොකුම ලොකු හිඩසකට මැදිවී අහස පෙනෙනා වහලයේ මොනව උනත් මොකද මම තාම මෙතන නුඹ කොහේ ඇද්ද දුවන්නට හිතකුත්නෑ ඒකේ අයිතියත් සින්නක්කරේටම ඔතන සුළඟ නම් හීතයි ඒත් හිත රස්නෙයි කහට කෝප්පයේ දුම් වළළු නගිනවා ඉහලට ඉස්සර වගේම වෙනසක් නැතුව සුන්දරිය බලන් ඉන්නවා තාමත් එදා වගෙම හිනැහීගෙන නිමුනත් කුප්පි ලාම්පුව.
කවිය බලන්න
සිංහල ජන කවිය හා ප්‍රේමය

සිංහල ජන කවිය හා ප්‍රේමය

මහාචාර්ය උදය ප්‍රශාන්ත මැද්දේගම පේරාදෙණිය

සිංහල ජනකවියේ විසිතුරු බවˎ රසවත් බවˎ දේශීයත්වයˎ ගැමි සමාජතත්ව නිරූපණය වැනි විවිධ අංශ පිළිබඳව බොහෝ අය ලියා ඇති හෙයින් මේ ලිපියේ ඒ ගැන එතරම් සවිස්තරව සටහන් නොකරමි. ජනකවියේ ගැබ්වන ප්‍රේමය සම්බන්ධ සිතුවිලිˎ හැඟීම් ආදිය ගැබ්වන මා සිත්ගත් කවි කීපයක් පමණක් මෙහි උපුටා දක්වන්නෙමි. බොහෝ ජන කවියෝ ගැහැණුන් කෙරෙහි තම සිතේ වූ ප්‍රේමය මෙන්ම රාගික ආශාව ද නොපැකිළ පැවසූහ: තනේ පුදබුදු වෙනවා දකින්කල මදක් සෙනේ වඩයි සළෙ‍‍ළුන් දැක්ක කල උදක් වනේ බිඟු රොනට හැසිරෙන සේම නදක් අනේ මට ගෑනු ළඟ ඉන්න ඇති හිතක් වරෙක එක් ජන කවියෙක් එක්තරා ගැමි තරුණියක කෙරෙහි වු සිය ප්‍රේමය පවසන්නේ මෙසේය: ඔයේ නමං වතුර යන්නේ ගලාගෙන ළිඳේ නං ව තුර එන්නේ උනාගෙන කළේ නං වතුර බොන්නේ පුරාගෙන මගේ නං ළඳේ යන්නේ වඩාගෙන තවත් ගැමියෙක් සිය ජිවිතයේ පාළුව ත් බිරිඳකගෙන් ‌තොර ජීවිතයේ නිසරු බවත් උපමා පවා යොදාගනිමින් පවසා ඇත්තේ මෙසේය: අඳින කොට ස‍ළුව ළඳ නුඹ රුව වාගේ බඳින කොට වරල නිල් මැණිකක් වාගේ බලන කොට මූන රන්පිළිමේ වාගේ යනකොට ගෙදර නැතුවා පාළුව මාගේ තවත් ජනකවියෙක් තමාගේ පැරණි බිරිඳ හා අලුත් බිරිඳ සසඳා ඇත්තේ මෙසේය: ආදි අපි දෙන්න දිය පිට නෙ‍ළුම් මෙනේ දැන් දැන් අපි දෙන්න දිවිදුටු මුවන් මෙනේ දියේ පුරුදු ගොඩ නුපුරුදු මසුන් මෙනේ අලුත බැඳිසෙනේ හුණු නැති බුලත් මෙනේ සිංහල ජනකවි අතර විශාල සංඛ්‍යාවක් පබැඳී ඇත්තේ නෑනා මස්සිනා ආදරය තේමා කරගනිමිනි. ගැමි දිවියේ ඉතා රමණිය ප්‍රේම සම්බන්ධතාවන් වූයේ නෑනා මස්සිනා අතරය. එබඳු කවි අතර වැඩිවශයෙන් ඇත්තේ මස්සිනා නෑනා අරමුණු කරගෙන ඇය අමතිමින් කී කවිය. මේ එයින් කීපයකි: වැසිදිය අයිති ගං හෝ ඇළ සමුදුරටයි මල් පැණි අයිති වට ගුමු දෙන බමරාටයි මීරා අයිති කිතුලේ කල වැද්දාටයි නෑනා අයිති කාට ද මස්සි නාටයි තවත් තරුණ කවියෙක් තම සිතේ ඇති වි‌ශෙෂ ආශාවක් උපහාසය ද මුසු කරමින් කියා ඇත්තේ මෙසේය : මාම ගෙ හිතේ මා මරවා වැඩ ගන්ට නැන්දගේ හිතේ උන්දැගෙ දූ මට දෙන්ට අක්කගේ හිතේ නංගිව දී බේරෙන්ට මගේ හිතේ දෙන්නම අරගෙන යන්ට මහියංගන විහාර වන්දනාව හා බැඳුණ ජනකවි විශාල සංඛ්‍යාවක් ඇත. ඒ අතර ඉතා ජනප්‍රිය කවියකින් ද නෑනා කෙරෙහි වූ ආදරය ප්‍රකාශ වෙයි: මහියංගනේ එක එලිය යි බන් නෑනා ඒ එළියට අපි ඉඳගෙන පොල් ගානා වේර ගං තොටේ ඔරු දෙක යස මානා එක නුවරක ඉපදෙමු රං කුරු නෑනා ‘එක නුවරක ඉපදෙමු රං කුරු නෑනා’ - මේ ආත්මයෙදි නොහැකි වේ නම් ලබන ආත්මයේදිවත් අපි එක ළඟ ඉපදෙමුයි කවියා ප්‍රාර්ථනා කරයි. එයින් ඔහුගේ සිතේ නෑනා කෙරෙහි වු දැඩි සෙනෙහස ධ්වනිත වෙයි. ඔරුවේ නැගී මහවැලි ගඟ දිගේ පැමිණ ඔරුව වේරගංතොටේ නවත්වා විඩා හරිමින් වන්දනා නඩය ගං ඉවු‌රේ වාඩිලා ගෙන බත් පිස කා පසුවදා උදේ ගඟෙන් නා පිරිසිදු වී මල් නෙළාගෙන සෑය වඳින්ට ගියහ. අප කුඩා වියේදී ද -අඩසියවසකටත් පෙර-ඒ අත්දැකීම ලබා ඇත. සිය ඔරුවට සමාන්තරව නවතා තිබූ ඔරුවක සිටි සිය නෑනා දුටු තරුණ කවියා සිතේ පුබුදු වු හැගීම් පැවසූයේ ඒ කවියෙනි . කෙමෙන් තරුණ වියට ළං වෙමින් සිටි තවත් ගැමි තරුණයෙක් සිය නෑනා සිහිකරමින් ඇය කෙරහි වු ප්‍රේම ය ප්‍රකාහ කළේ ඉතා සරලˎ එහෙත් නිර්ව්‍යාජ ලෙසිනි: පානේ තෙල් නැතුව කලුවර පැතිරෙනවා මූනේ උඩුරැවුල දැන් ටික ටික එනවා යානේ නිදි නැතිව තුන්යම පසුවෙනවා නෑනේ නුඹ නිසා මගෙ හදවත දනවා එබඳුම තවත් ගැමි කවියෙක් පැරණි කවියන් ට සුපුරුදු ‘මුව පියුම’ උපමාව අනුකරණය නොකරමින් තම පරිසරයේ දුටු වැව්පොකුණු වල නිතර පිපී තිබූ මානෙල් මල් සිය නෑනාගේ මුහුණට සමාන කිරීම සඳහා තෝරා ගන්නේ මෙසේය: අත් ටික්කිරි කහපලු ටින් කිරි වා ගේ දත් ටික්කිරි කියතෙන් කළ වැඩක් වගේ මූණ ටිකක් කැඩපත ඇල්ලුවා වගේ රන් මැණිකා මට මානෙල් මලක් වගේ තමා අවට වූ ඇල දොළ ඔය වෙල දෙස බලමින් සිය ආදරය දිනා සිටි නෑනා ද සිහි කරමින් තවත් ගැමි තරුණයෙක් ප්‍රේමය ප්‍රකාශ කරන්නේමෙසේය: ඔයේවතුර සිඳුනම ගල් කැට නැද්ද වෙලට වතුර බැන්දම වෙල රුව නැද්ද කරට මාලයක් බැන්දම රුව නැද් ද රන් මැණිකා මං දැක්ම දුක නැද්ද මේ කවි යේ මුල් පේළි තුනේ ඇතුළත් උපමාවන් අප සිත්හි පැහැදිලි රුප මැවීමට සමත් වෙයි. කවියාගේ සිතට නිරායාශයෙන් ගලා ආ මෙබඳු උපමාවන් නිසා ජන කවියේ රසවත් බව වැඩිවෙයි. ‘ආදරය’ˎ ‘ප්‍රෙමයˎ ’ සෙනෙහස’ වැනි වචන කෙළින්ම යොදා නොගන්නා මේ කවියා මෙහි දී භාවිත කරන ‘දුක ‘ යන්නෙන් අදහස් වන්නේ ‘ආදරයයි’. ගැමි වහරේ ‘දුක’ යනු සංවේගය සඳහා ම නොව ආදරය සඳහා ද යෙදෙයි. කවියාගේ පෙම්වතිය වෙනත් දීගයක ගොසිනි. ඇය සිහිකරමින් තරුණයා කියන මේ කවියෙන් දැනෙන්නේ ඔහුගේ මුවින් පිටවන දුක් සුසුම් යැයි සිතේ: මඩම් පැල්ල චීත්ත ඇඳ ගන්ට ගියා සුවඳ සබන් ගාලා නාගන්ට ගියා ලූනු මිරිස් අමු කරවල කන්ඩ ගියා රං මැණිකා මිගමුවට දීග ගියා උගත් කවීන් මෙන් පැරණි කවි සමයෙන් ණයට ගත් උපමා රූපක නොව තමාට හුරු පුරුදු පරිසරයෙන් තෝරාගත් අලංකාර ජනකවියා භාවිත කරයි. සාමාන්‍යයෙන් උපමා රූපක වැනි අලංකාර රහිතව වුව ද සිත් කාවදින ලෙස සිය හැඟීම් පැහැදිලිව පැවසීමට ජනවියා සමත්වෙයි. දෑත හොඳයි බත් උයවාගෙන කන්ට මූන හොඳයි දහවල බල බල ඉන්ට දෙපය හොඳයි කඩිසර ගමනින් යන්ට මගෙ ලිය හොඳියි සබයක සිටු ගන්ට මේ කවියේ අවසන් පේළියෙන් කියැවෙන අදහස ගැන සිතා බලන්න. උගත් කවීන්ගේ නිර්මාණයන්හි පවා මෙබඳු ධ්වනි පූර්ණ යෙදුමක් දක්නට ලැබෙන්නේ දුර්ලභ වශයෙනි. බොහෝ ජනකවීන් අවංකව සිය සිත්තුළ ඇති වු ප්‍රේමාන්විත හැඟීම් රසවත් ලෙස කවියට නැගූ අතර ඉඳහිට ඇතැම් ගැමි කවියෙක් ගැහැණිය කෙරෙහි වු අකැමත්තˎ කෝපය පළවන ආකාරයේ කවි ද කියූහ. සමරහ විට බිඳුණ පෙමක් නිසා ඇති වු සිත් තැවුල පැවසීම සඳහා ඔවුන් ඒ කවි කියන්නට ඇත: ගෑනු උපන්නේ මේ රට කඹුරන්ට ගෑනු උයන බත් මාලුත් නො දකින්ට පිරිමි පිරිමි නුවරක උපදින්ට ගෑණු නැති රටක් නැද්දෝ මට යන්ට තවත් ජන කවියෙක් තම සිතේ ඊර්ෂ්‍යාවක් නැත්නම් කෝපයක් ඇති කළ රාගාධික කාන්තාවක් උපහාසයට ලක් කරන්නේ මෙසේය රං මැණිකා නුඹ කාටත් ගුණ කාරි විස්ස පිරුණ කොල්ලෙක්වත් අත නාරී වැස්ස පින්න නො බලන රතිකෙළි කාරී පස්ස නුඹේ යකඩෙන් තැලුවද බාරී
කවිය බලන්න
සරණාගතයෝ

සරණාගතයෝ

උදයංග අමරසේකර ප්‍රංශය

ඔව්හු පැමිණෙති ඔව්හු දුර ඈත සිට පැමිණෙති මරණීය මුහුදු හරහා ඔව්හු පැමිණෙති ඔව්හු මිනිසා කෙරෙහි විශ්වාසය තබති ඔව්හු අප කෙරෙහි විශ්වාසය තබති ඒ කෙසේ ද යත් අප කලක් විශ්වාස කළාක් මෙන් කඟවේනුන් ඔස්ත්‍රියානු කවි කාල් ලුබෝමිර්ස්කි (Karl Lubomirski, 1939) විසිනි අනුවාදය : උදයංග අමරසේකර ප්‍රංශය සිතුවම: තෙයොදෝර් ජෙරිකෝ (Théodore Géricault, 1791-1824), මෙඩුසාගේ පාරුව (Le Radeau de la Méduse, 1819), ලූවර් කෞතුකාගාරය, පැරීසිය, ප්‍රංශය.
කවිය බලන්න
ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

ලෝවැඩ සඟරාවේ සිත්ගත් කවි

වීදාගම මෛත්‍රිය නා හිමි

අඳුරෙහි අස්ලොම විදිනට දුරදී විදුලිය පැහැ වැරදුන හොත් වරදී විදුලිය වන් මේ කය ලත් තැන දී සිදු නොකළොත් මතු සඟ මොක් වරදී කළුවර තැනෙක ඇති අශ්ව ලෝමය දුර සිට විදීම, ඇසිල්ලකින් ඇති ව නැති වන විදුලි එළිය වැරදුණු කල බැරි වෙයි. එසේ ම විදුලියකට බඳු මේ මිනිස් කය ලත් වාරයෙහි පින් නොකළහොත් මතු බලාපොරොත්තු වන දෙව් මිනිස් සැප හා නිවන් සුවය ලැබීම ද වරදියි.
කවිය බලන්න
ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

ගුත්තිල කාව්‍යයේ සිත්ගත් කවි

වෑත්තෑවෙ හිමි

සදවා සුදු වැලි පිවිතුරු බඳවා රන් දද පියකරු සිටුවා දොර දොර රඹතුරු තබවා පුන් කුඹු විසිතුරු පිරිසිදු සුදු වැලි ගන්වා, ප්‍රියංකර රන් කොඩි බඳවා, දොරක් දොරක් පාසා කෙසෙල් ගස් සිටුවා, විචිත්‍ර පුන් කලස් ද තබවා ............
කවිය බලන්න
රෝහල් ඇඳක්

රෝහල් ඇඳක්

වසන්තා ගමගේ රත්නපුර

සවිබල ලකුණු ගිලිහුනු පින් පිරුණු වතේ මනහර බවක් පෙනුනා මුදු කුළුණු නෙතේ හිටියෙම තනිවමයි හඳුනන කෙනෙකු නැතේ වැඩිහිටි නිවාසෙක නම ගම තිබුණි පොතේ බෙරිහන් දෙමින් අසනා දේකට මුමුණයි සුපහන් හැඟුම් මුහුණේ මදහස පුබුදයි ලැබුණෙන් සුවහලේ අහරින් මන පිනවයි ඔබවන් අයෙක් දැක පැතුවෙමි දෙවි පිහිටයි අත ළඟ ඇඳෙහි නෑ හිත මිතුරන් රැඳුණු දුටුවම තෙත නෙතින් වුව සිනහව ඇඳුනු පියෙකුගෙ හැඟුම දී හැම හදවත බැඳුණු බියකරු සසර ගැන ඔබ කීවද කරුණු
කවිය බලන්න
නිවටයින්ගේ සුයාමය

නිවටයින්ගේ සුයාමය

නීතීඥ වසන්ත තෙන්නකෝන් ලන්ඩනය

  සාමය නම් සැබෑ නොපැවැත්ම නොව යුද්ධයේ හුදු පැවැත්මයි යුක්තියේ අයුක්තිය නීතිය වූ තැන ප්‍රතිරෝධය මිනිස් අයිතියක්මය කරයි වන්දනා, උගත් නූගත් නිවටයින් දකිමින් උත්තරීතරයන්සේ බලධාරී වංචනිකයින් පුදයි උන්හට තම අයිතීන් ලබමින් ප්‍රතිලාභ යහමින් නොදකියි අනුන්, පහසට අවලකෙලි හා උනුන් ගසයි පිණුම්, දෙවිවරු පය නොගසන බිම බියෙන් මේ නිවටයින්ගේ සුයාමයයි.
කවිය බලන්න
පුතුට අම්මා ලියූ ලියුම.

පුතුට අම්මා ලියූ ලියුම.

යෂිකා විජේසිංහ

නුඹට අප ගැන හිත යොමන්නට තවත් කල් ඇත හිතුනට පුතේ.. පරවෙන්න පෙර මල් ගිලිහෙනා නටු මෙලොව අපමණ තියේ.. ඒ දහම ගැන හොඳින් දන්නා මට රිදුම් පුරුදුයි පුතේ.. මග හැරුන බව දැනී දවසක හඬා වැටිලා පල නැතේ.. රළු තමයි මතු පිටින් පෙනුමට මම තරම් නෑ මුදු වුනේ.. බිඳෙන තරමට සියුම් හදකුයි ඒ රළු බවෙහි යට සැඟවුනේ.. නැවෙන බට ගහ විලස උන්නත් දුක දරන් මම හැම දිනේ.. සුළං පහරත් දරනු බැරි වී මහා ගස් මයි පෙරලුනේ.. හමුවෙනා අය එක්ක පවසන පුතුගෙ වරුණෙට යට වෙමින් හිතේ තෙරපෙන රිදුම් වල හැඩ දැක්කෙ කවුරුද මම මිස වෙනින්.. එදා දුටු කිරි සිනා සිහි කර විඳින විට අද සතුටක් හොයන්.. "තාත්තේ" කියා දිව විත් වරක් ළය මත තුරුළු වෙන්..
කවිය බලන්න
🗙