හෙවනැල්ල

හෙවනැල්ල

අලුයම සවස බඹ අට දහය දිග ඇදී. කුලුපග ලෙස දවල් විත් දෙපය මත වදී. කලුවර වැටෙන මොහොතේ රැගෙන හොර නිදී. මුලු දිවියෙහිම ඔබ මා සමග ලඟ හිඳී. සිටගෙන සිටින විට ගොස් ගල් තලය වෙත . යට බෑවුමට පැන වල් කටු පඳුරු මත. සටහන් තබනු සවසට දැක පුරුදු ඇත. මට ඔබ තරම් මේ ලොව හිතවතෙකු නැත. රටුනට වැඩක් පැවරූ විට අසල සිටී. ඉටු කළ පසුව දිය යුතු පුද පඬුරු තැටී. දුටුවෙමි එහෙත් යන එන හැම තැනම වැටී. වැටුපක් නැතුව මා ලඟ තනි රකින හැටි. අඹ තුර දිනිඳු රජ වැජඹෙන සියළු පැයේ. බබලන එලිය අතහැර කිසි තැනක නොයේ. සුභ නැති නිසා සැඟවෙනු ඇයි අඳුරු රැයේ. ඔබ කොයි ගියෙද අඳුරට මේ තරම බියේ. කුඩා කලදි සටහන දැක පහන කෙරෙන්. විඩා රැගෙන අත වැනුමට ඔබට හොරෙන්. දොඩා නොකරවයි මා කල දෙයම සැරෙන්. අඬා හුනිමි බැට දී බිත්තියට වැරෙන්. ගෙතුලෙහි පහන් දල්වනු දැක අඳුර බිඳී. මතු වී පසෙක පසු වෙයි බිත්තියට ඇදී. ඇතුලට සුලඟ ආවොත් කවුලුවෙහි වැදී. බිතුවෙහි නටයි ඔබ මට මඳ සිනහ දිදී. ජීවන ගුණය ඔබ අතහැර ඉවත නොයයි. රෑ වෙන විටදි මා වාගෙම එලිය සොයයි. මා ගෙන පෑන කවි ලීවොත් ඔබ ද ලියයි. නෑසෙන බසින් ලඟ ඉඳ කවි පෙලම කියයි. දිසි වන මගේ හැඩ නිල අඩු නැතුව පිරී. නිසි ලෙස කරයි මා කල දේ කොහොම හරී. කිසි විට එහෙත් සිටියදි ඉදිරියට හැරී. ඇසිපිය සලන්නට මා මෙන් ඔබට බැරී. විපතෙහි අතුරුදන් වන නෑ මිත් ගොල්ල. සැප දැක ඇදෙති උදුරන්නට සැනසිල්ල. එපවත් එසේ වුව ගෙඩියට ලෙස ලෙල්ල. උපතේ සිට ලදිමි නොවෙනස් හෙවනැල්ල.
කවිය බලන්න