2022 දෙසැම්බර් කලාපය
ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය
ලන්ඩන් කවි 6වන වෙළුම

2022 දෙසැම්බර් කලාපය

අරගලයේ නායකයා කවුද කියා අරගල බිම ම පෙරලල ඇයි බැලුවෙ සොයා අරගල මල්ලි බැහැ මින්පසු කරපු නියා අරගලයේ නායකයා මමයි මෙයා

– අනුර
ඡායාරූපය සරත් පෙරේරා

සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda

වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna

පටුන
අතුරුදහන්‌ වූ කවියා

අතුරුදහන්‌ වූ කවියා

ලාල් හෑගොඩ  

කවියෙකි පොත්‌ දැකුම්‌ වලදී හමු වූ රඟහල කෙළවර අසුනේ හිඳිමින මනමේ කුමරිට පෙම්‌ බැඳි 'වීනස්‌ උපත’ ළඟ කලාගාරයේ නිනර හමුවිය හැකි විය මේ කවියා රන්‌ සළු දොවනා වෙරළ ඉමේ පා සටහන්‌ කෙළවර පොඩියට දුටු අවන්හල වසනා පැයේ කුසලානෙහි අවසන්‌ බිඳ හා සංවාදයෙහි යෙදී දුන්‌ ඔහු නැත අවසන්වර දූක ඇත්තේ බගවන්තලාවේ කඳු ගැටයක්‌ කෙළවර හුදකලාව මීඳුම්‌ සළුවක පැටලී දැන්‌ අතුරුදහන්‌ රටේත්‌ නැත නගරය මැද එළිමහනේ තරුණ තරුණියන්‌ එකාවන්ව කිටි කිටියේ සටන්‌ පාඨ නැත එහි පොර කෑමක්‌ වාගේ උන්‌ උන්ම දුරකතන රැහැන්‌ අවහිරවේ ඇමතුමක්‌ යයි රහස්‌ මඟ සුරාකන ලෙවකන ලෙවකකා සූරාකන අවලන්‌ පාහර නඩය තිගැස්සුනි සඟවා තැබූ කඩු කිණිසි පොලු පණ ලබන්නට ලඟය පොලිස්‌ ඉවකරුවන්ගෙන්‌ ඇමතුමක්‌ සර්‌ මේක දේශපාලන ප්‍රශ්නයක්‌ නොවේ පින්තූරයක්‌ උදුරා ගන්නට පොර කෑමක්‌ "මොනවා මොකක්ද පින්තූරය " හොයාගන්න බැ සර්‌ පොර කාලා පොර කාලා පොඩි කෑලි කෑලි කැඩිලා "කවුද කට්ටිය" අරගොල්ලො නෙවෙයි සර්‌ රසිකයො කියලා අලුත්‌ කට්ටියක්‌ "එහෙනම්‌ අතෑරලා දානවා කොකටත්‌ සුදානමින්‌ ඉන්නවා” ටික වෙලාවකින්‌ බුද්ධි අංශයෙන්‌ පණිවිඩයක්‌ සර්‌ අර පින්තුරේ අතුරුදහන්‌ වුණා කියන කවියගෙ
කවිය බලන්න
අපේ ගමේ කඨිණ පෙරහැර

අපේ ගමේ කඨිණ පෙරහැර

අමර ගුණසේකර Marne la Valée ප්‍රංශය

වැඩමවනා දවස කඨිණය අපෙ විහාරෙට ගම්මානයම යායක් වේ බුදු සුවඳම පැතිර ගොඩ මඩ දෙකෙන් උපයා සපයා ගත් දෙයම පූජා කරන්නට එන පෙරහැර හෙළ ගැමි කමය රැය පුරා ගම වටා සරණා පෙරහැරට තේ පැන් පිරිනමා දායක වන අය එමට අප දුටු අපේ දිවියේ රසතැන් සුමට යළි නැහැ ලබන්නට අප කරලා පින් මෙවක කොස් කොළ නැට්ට පෙණෙනා තත්පරයේදී සීමා මාලකය වෙත පෙරහැර ළංවන්නේ බණ භාවනාවෙන් වස් තුන්මස ගත කෙරුණේ සිල්වත් උගත් මහ තෙරණුන් වැඩ සිටියේ
කවිය බලන්න
මල හා නටුව

මල හා නටුව

අන්ජලී චන්දිමා සිල්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

මලේ සුවඳ විඳ ගන්නට බැරුවාට නටුවෙන් තොරව මල පවතිද කිසිදාක නටුවයි මලයි එක්වූ විට හැමදාම මලේ සොඳුරු බව රැක දෙයි නොසිතාම නටුවෙන් කඩා මල වෙන් කර ගත්තාම මල මිය ඇදෙන බව මොහොතක් සිතුවාද නටුවයි මලයි අතරේ ඇති මේ බැඳුම වටහා ගතොත් සොඳුරුය ලොව පැවතීම
කවිය බලන්න
අපල ගුරු ශනි දෝෂ ......

අපල ගුරු ශනි දෝෂ ......

අනුරුද්ධ වැලිගමගේ මිසිසාගා - කැනඩාව

ඉඩක් ලද ඇසිල්ලෙක හිරුත් හිම පියල්ලක අළුපාට හැන්දෑව මවනවා දුක හිතෙන පමාවට කාරණා හොය හොයා හිත තවන සද කුමරී පමාවන අදුරු රැය අප දකින හාවාට, ආවාට විදු නැණින් කිව්වාට දකින සොමි සදේ නම් මිහිර නෑ තව අඩුව අටවකින්, පුරවකට බිදෙන් බිද එළිය වන මවන ඒ අම මිහිර කියන්නේ මං කොහොම තරු රටා මව මවා ජීවිතය එළිය දෙන සිතුම් පෙල රටාවට පැදුරු මිටි වියනවද ග්‍රහයින්ගේ ගමන් මග ඉරෙන් අප දුරස් කොට විටින් විට ගෙනෙනවා අපල, ගුරු,ශනි දෝෂ
කවිය බලන්න
සුදු ඇත් පැටවෙකු සීනෙන් නොපෙනුනි

සුදු ඇත් පැටවෙකු සීනෙන් නොපෙනුනි

ආරියරත්න ජයසිංහ මහරගම

සමාවෙයන් පුත නුඹ මට අතහැර යන්නෙමි අද නුඹ නන්නාඳුනනා ගෙයි දොරකඩ ඔතාපු රෙදි කඩ පමණක් උරුමව මුරුගසන් වැසි වැටුනු මහ රෑ මිස සඳ තරු මියැදුනු ආකාසේ මිස අසණි සෙණ පිපිරූ මේඝ වලා මිස කා අත වරදද නොම වැටහේ මට කය පමණක් ඇති බඹ ලෝ තලයක මගෙ සිත මවෙතින් වෙන්වූ මොහොතක හුණුවී වැගුරුනි මා ගත ඔහු ළඟ කා අත වරදද නොම වැටහේ මට සුදු ඇත් පැටවෙකු සීනෙන් නොපෙනුනි සල් අත්තක් හෝ පහතට නොනැවිනි වටතිර ඇදුමට කිසිවෙක් නොපැමුණි නුඹ පිළිගන්නට පියුමක් නොපිපුනි පනින්නට ගඟකුත් හෝ නැති කොට කඹ පොට හෝ මුහුදක් හෝ නැති වුව තුන් වැනි සිල් පදය කැඩුවට පළමු සිල් පදය නොකඩමි මම මාර සෙනග එති හතර වටේටම ගල් පොලු අවි හා මුගුරු දරාගෙන සතර වරම් දෙවිවරු නැත පිහිටට ගැලවීයනු කෙලෙසද නොදැනේ මට සමාවෙයන් පුත නුඹ මට අතහැර යන්නෙමි අද නුඹ නන්නාඳුනනා ගෙයි දොරකඩ ඔතාපු රෙදි කඩ පමණක් උරුමව.
කවිය බලන්න
පාට කරමු ජීවිතේ

පාට කරමු ජීවිතේ

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ බැසිල්ඩන් එංගලන්තය

පුරවනා ලය මඬල ධූම දූතිකාවන් වපුරනා ණය බරකි ඉදිරියේ තුලාවන් ඉතිරෙනා ආලයට නොකරමින් නිගාවන් මිතුරනේ නවතපන් දුම් උරණ කලාවන් රෝහලේ ලෙඩ ඇඳක දුකින් වැතිරුණු දාට ජීවිතේ හැරෙන්නට වාරුවක් වෙද කාට මීවිතේ හැරදමා හොයාපන් අද රෑට මාවතේ මගහැරුණු ආදරේ නෙක පාට AnA 2022
කවිය බලන්න
ගොළු හදවත

ගොළු හදවත

කලාපති ජනාර්ද ආසිරි විජේසේකර කේම්බ්‍රිජ්

බලන විට ඔබ මදෙස ඔය ලෙසට හිනැහිලා... කියනු බැරි සෙනෙහසක් හදෙහි ඇත ගුලිවෙලා.. කිම තුටක් ලැබූවට නුඹගෙ හිත රිදවලා.. මියෙනතුරු සඟවගෙන හිඳිමි ලඟටම වෙලා...
කවිය බලන්න
දෙව් සමිඳුන් නමදිමු බැතිපෙමින්

දෙව් සමිඳුන් නමදිමු බැතිපෙමින්

ඒ. එම් .අබේසිංහ බණ්ඩා මහනුවර

සිරිපොද වැස්සෙන් ලොව නැහැවෙනවා ළාහිරු මඩලින් නෙක මල් පිබිදෙනවා උඳුවප් සිසිලෙන් මිහිර ගෙනෙනවා සාමයේ කුමරුගෙ ගුණ සිහිවෙනවා දෙවියන් විසින් පළමුව ලෝකය මැව්වා ගැහැණිය සමඟ පුරුෂයා දෙවනුව මැව්වා ලෝකය මවා මිනිසුන් ලොව තුල මැව්වා මිනිසුන් ලොවේ හැසිරෙන හැටි බැලුවා ගහැණිය සමඟ පුරුෂයා එක්වී බැඳුනා නිමක් නොවන පව්කරනා බව දැනුනා සුමඟට නොවේ නොමඟට යනු පෙනුනා පාපෙන් දනන් මුදවාගන්නට සිතුනා මරිය තුමිය තෝරාගනෙ මව් ලෙසට ඇගෙ කුස තුලින් වැඩුනේ යසට සාමයේ පණිවිඩය අරගෙන ලොවට ජේසු කුමරු බිහිවුණි උඳුවප් මහට මිදෙන්නට ඉටා අපගේ පාපවලින් කරුණා දයා ගුණ පා සෙනෙහසින් සාමයේ කුමරු දුන් පණිවිඩ රකිමින් සමිඳුන් කියාදුන් මග අපි යමු පෙමින් අප වෙනුවෙන් ලබාගෙන මිනිසත් බව සමිඳුන් දුන්නේ පෙන්වා යහමග යන්නට පේම සිතින් රකිමින් මනුලොව මනුදම් සෙනෙහසින් නමදිමු බැතින් දෙව් සමිඳුන් බැඳිපෙමින්
කවිය බලන්න
සිතුම් ගඟුළ

සිතුම් ගඟුළ

ඩී. අමරසිරි ගුණවර්දන නවසීලන්තය

සිතුම් සයුර පිරී නැගෙන රැළි පිට රැළි බමන මතින් උතුම් දැහැන් රකිනු බැරිය පාවේ පෙණ පිඬුම ලෙසින් මනස් දඟර නගින බසින සඳක සිසිල නොවන ලෙසින් පෙළන කලක සිතක සුවය පුරන දහම සියුම් අඳුන් දොළක් ලෙසින් වන අරණේ සියුම් සතුටු මල් පිපිලා කොවුල් හඬක් ලෙසින් ඇසේ පෙර ළඟ හිඳ කියූ කතා ගිණියම් වෙන එසිත තුලම රත් සර විය කඳුළු විදා සිතුම් රොදක පැටලි පැටලි ගිලෙනව මල අඳුරෙ කිඳා සතර අතම ගලයි අඳුර මෝහය පිරි චලන සිතක දිදුලන මානව දසුනක පහස දුරයි ලබනු කෙලෙස තනිවූ මොහොතක ළංවී සිත සනසන සෙනේ සිතක ඡායාවක් දකින දිනට ලබයි සතුට ඉමක් නොවෙත සිතුම් සයුර පිරී නැගෙන රැළි පිට රැළි බමන මතින් උතුම් දැහැන් රකිනු බැරිය පාවේ පෙණ පිඬුම ලෙසින් දොරගුළු හැර සුන්නිතාව රජයන මහ මැදුර තුලින් සිතුම් ගඟුළ රැළි මුදලා නිහඬ නිසල ලොවක් දකිම්
කවිය බලන්න
කොඳ මලක ජීවිතය

කොඳ මලක ජීවිතය

අයේෂිකා ගුණතිලක

ඊයේ රැ මැදියමේ කොඳ මලක් වැලපුණා අද උදේ පිණි ලෙසින් ඒ කඳුළු දිලිසුණා සුන්දරයි කිවූ මුත් ඒ දුටුව බෝහෝ දෙනා දන්නේ මම විතරමයි එහි රැඳුනු දුක් කථා යනවා නම් දුක් කඳුළු පිණි වගේ ලිස්සලා මාත් ඉන්නම් හංගාන මල වගේ හිනැහිලා හිරු දැකපු පිණි වගේ යනවා නම් මියැදිලා දුක කියන පාඩමද පෙති අතර හැංගිලා
කවිය බලන්න
සමනලු ගත්තු පැණි ගැන දන්නේ කවුරූ

සමනලු ගත්තු පැණි ගැන දන්නේ කවුරූ

අනුර හෑගොඩ

නීල දෑස නිල අඩුවද දෙතොල් රතට රත මදිවද රොන් දුන් මල්වල ඉතිරිව රොන් නැතිවා දෝ රොන් සුවඳට ඉව අල්ලා බඹර පෙළ දෙසුවද මුසා බස් ගත සිත සසළ කළ රස විඳි තරුණ සමනලයින් නොඑන කල අඩුවේ දෝ ඒ මල වට බඹර කැළ දුන්නත් වේදනා මී මැසි දළ කුරිරූ සිතතිය අනුන් ගැන රොන් ගත් විට මහරූ සිත් බැඳුනත් දැක උන් නෙක නෙක රුසිරූ සමනලු ගත්තු පැණි ගැන දන්නේ කවුරූ ගායනය ; ශෂිකා නිසංසලා සංගීතය ; නවරත්න ගමගේ (නිකුත් වීමට නියමිතය)
කවිය බලන්න
හෙළ කුණාටු...........

හෙළ කුණාටු...........

චමිලා නවගත්තේගම ලන්ඩනය

විසිකර තලන පොඩි සමනල් තටු රන්දා සිරිසර මවන ලොවකට ගෙන යමු කැන්දා හිමිකර සදන මතු පරපුරෙ ගුණ බන්දා මිහිබර ⁣දරණ දුක මෙතරම් කිම මන්දා මරු දිවි පතන හැම දෙන වැලපෙයි නිතර විරු සවි රැගෙන නැගිටිමු අපි අතු පතර හිරු දෙවි නැගෙන විට එළියට පැන නතර හුරු කර ගමන යන්නට වෙයි බිම වැතිර වඟුරන් කඳුළු කැට කුමටද දුක හිතිලා මිතුරන් ලෙසින් ගිරි මත පේලිද හැදිලා සතුරන් පරද බියඟුළු බව අත හැරලා මිහිදන් නොකර හෙළබිම රැක ගමු සිතලා
කවිය බලන්න
සුරඟන

සුරඟන

චන්ද්‍රවංශ ඥානසේකර කැළණිය

එදා මා දුටු සුරඟන තාම ඒ පුදසුන මත එදා දුර හිඳ බලා සිහින මැව්වෙමි ඇගේ පා ළඟ හිතා හිටියත් මම සැබෑ වේ යැයි යම් දින ගලා ගෙන ගිය ගඟ -ගෙන ගියා ඈත සමුදුර කෙළවර ට වුණා මේ හැම එ දා කැමති විදිහට ඉරණමට සදා කාලෙන් සදා කාලෙට රළ බිඳේ සිත් වෙරල වැද බලා සිතිජය සිතමි සුරඟනයි නුඹ තාම මට සැබෑ වී නම් සිහිනය අද නොමැත නුඹ ඔය පුදසුන මත 18-01-22 පසු ගිය ජීවිතයේ සිහිනයක් දෙස බලා යථා අවබෝධය ට පැමිණීම . හෙවත් අත් කර නොගත් දෙය සදා සොඳුරු බව
කවිය බලන්න
අදටත් වටිනා ඔවදන්

අදටත් වටිනා ඔවදන්

චන්ද්‍රා සේනාධීර නවසිලන්තය

අහස් තලේ සුදට සුදේ පාවෙනා වළාකුළු වගෙයි සිතුවිලි නැගෙනා අතිතයේ මතක පිටු පෙරලුණා හ්ම් ! ලස්සන තැනක මා නැවතිලා සතියේ පුවත්පත්වල පලවන ළමා පිටුව හඬ නගා හනිකට කියවන පුරුද්දට ලොකු අයියාගේ බාධා අපමණ දවස් එමටය සිත කලඹවන සති අන්තයේ යන ගමන ගැන ඇතිවන කතා බහ උපදෙස් අපමන නංගියේ කතු වැකිය හොඳින් කියවන්න සීයා ගැන දැනගෙන දෙන්නේ ඔවදන පියසේන නිශ්ශංක මහතානෙනි !!! මතකයෙහි මගෙ ඇඳෙන ඔබ තේඡස් රුවෙනි තේ මෙසයේ ගාම්භීර බවත් සිහි කරමිනි පෑනට ගලා එන්නෙ ඔබ දුන් ඔවදනි අතිතයේ සුවඳ පිටාර ගලමිනි ලොකු අයියා ලියු තිර නාටක මතකයි හොරෙන් කියවනවා විටක සහායට අම්මාත් එක්වෙනවා විටක සුන්දරත්වයෙන් පිරුණු ළමාවිය හැම මොහොතක තුරුණු වියෙහි ඉගෙනුමට හොරා යෙහෙළියන් සමඟින් පොත් පිටු සරු කරා ඉන් සමහරක් පුවත්පත් වල පලකරා ලද මුදල් Tuck Shop එකට පුඡාකරා භාරති මගෙ පාසැල් මිතුරිය සිහිවෙනවා හදපුරා ඉගෙනුම අතරින් තවත් පියවරක් ඉදිරියට කියවන Detective කතා පරිවර්තනයට වෙහෙසක් ගෙන රසකර ලියන්නට සවස පුවත්පතේ මැද පිටුවට ලද වැඩිපුර මුදලෙන් දුන්නේ සතුටක් සිතට ගලාගෙන එන මතකයන් අදටත් සිත නැවුම් සුවඳින් පිරී ඉතිරීයත් නවත්වා ගනු බැරිය පෑන් තුඩටත් Covid වසංගතයෙන් සීමා මාලක බැඳුණත් කාන්සියක් නොව දැනුණේ මොහොතකටවත් 15/11/2022
කවිය බලන්න
සෙනනෙහස වෙන්දේසි විය

සෙනනෙහස වෙන්දේසි විය

චන්ද්‍රලාල් ද සිල්වා තොටගමුව

සිදාදියෙ ඉඳන් නුඹ එවු ලියුම් කරදහිය කියවගෙන කියවගෙන කියවගෙන ගියා මම හිත ඇතුලෙ හති දදා නුඹ පිණුම් ගහන කොට සෙනෙහසින් කිති කැවුන මගේ සරුවාංගෙම පිස්සුවෙන් තටු හෙව්ව ගෙයි මුල්ලක් නෑර පියාසර කරන්නට නුඹ සොයාගෙන රෑම සිල්ලර ජීවිතේ අඩුපාඩු පිරිමැහුව කරගැට මල් පිපිනු අපෙ අම්මගෙ දෑත හැඩ ගවුමක් කරපු චීත්ත යාර දෙක සැවැන්න මුල් එක්ක හැංගිලා හිටිය යන්න ගමනක් නැතුව බටකොල පෙට්ටිය පතුලෙම ඉර ගල වැටෙනකොට කන්දෙ හෙවනැල්ලෙන් වැහුන ගම කඳු මුදුනෙ පිපුණ‌‌‌ මල් හිටිය බිම බලාගෙන මල් ගවුම සැරසුනා නුඹෙ පහස විඳගන්න කන්දටත් නොදැනෙන්න පල්ලන් බැස්ස මම ජීවිතේ පන් මල්ලෙ ඔබාගෙන මහ මූහුද ගිල ගද්දි නියපොතු හඳ මම නුඹට තුරුළු වුනෙ වැල්ලෙ කළු ගලක් උඩ පපු කුහරෙ සෙනෙහස පුරෝගෙන මහ සයුරට හොරෙන් සහෘද මිතුරු කැළ රැගෙන ආ අමෘතය රසකලා මධුසමය පා වුනා සිතිජයෙන් ඈතට සුරඟනක සුර කුමරුන් සමඟ නැගී දේදුනු ඔරුවක වෙන්දේසි වුනා සෙනහස ලුණු මිදුන‌‌‌ සුදු වැල්ලෙ කීතු කීතු වෙලා තිබුන රතුපාට මල් පිරුවටේ නුඹ පෙනෙන්නට නැතත් හිටි පියරෙ මම හිටිය පොලිතින් බෑගයක ඇස් අරන් නිදාගෙන 21- 24- 2022
කවිය බලන්න
පොළ දා දුටිමි.

පොළ දා දුටිමි.

වෛද්‍ය චතුර එම්. විමලරත්න වැල්ලවාය

පංමල්ලට බරව කොළ අතු පිරී ඇතී වංපැත්තට ඇලව කාණුව කොනේයතී මංසන්දියේ ඉටි කොළයට මුදා හතී යන්තන් මහමෙරක බර බිම තියන්නැතී හැටවිය පැන දුබල අතපය වාරු නැත ඇටකටු බොඩිය සම් රෙද්දෙන් වසා ඇත ගොටුකොළ මුගුණු මත විසුරා කඳුළු තෙත ඉටුකළ යුතු බරෙකි වේලක ඉදෙන බත සැපයක් කියා විඳ නැත ජිවිතේ පුරා කපයක් කඹුර කඹුරා පිංකමුත් කරා ඇපයක් කර මනාපය සුදු අඳින හොරා හපයක් කරපු ජීවිතයකි නොමරාමරා සායන බෙහෙත් නැතිකොට ඉස්පිරිතාලේ පායන එක හොඳයි හති වැඩිවෙන කාලේ රාවණ එනතුරා කැඳ බී සුනු හාලේ ඈ යනයුරු කියයි මගෙ රට යන තාලේ
කවිය බලන්න
වීනස් දෙව් දුව

වීනස් දෙව් දුව

චමෝද් තිමිර

කුමුදු කුසුම් සිප සැනසෙන කෙහෙරැල්ල රතඹර දෙතොල පානා මද හසරැල්ල වීනස් දෙව් දුවට සරිවූ නෙත් තැල්ල සිත් ගිනි නිවා සරසයි හද සැනසිල්ල තිමිර ඉරා වැටෙනා සඳ කෙමිය වැනි තුරුගොමු පුබුදුවන හිමිදිරි තුහින වැනි කරළිය එකලු කරනා ප්‍රතිභාව වැනි සරතැස නිවන මද්දහනේ සෙවන වැනි සීලය පසෙකලා බඹරුන් ඇත පේවී ඉඟියක් ලෙසින් නෙතගින් ඉඟි බිඟි පාවී මධු කෙමියට තුඩ දමන්න සැර සේවී සිදගනු නොහී අත්තටු වීනස් දේවී කිමිදෙන්නට ආසයි පෙම් ගංගාවේ පෙම්බස් දොඩමින් සුන්දර සන්ධ්‍යාවේ ඔබයි මමයි බාධක මැද ඇදෙන ගගේ දොඩමළු නැත ; කඩතුරාව වැසෙනු පෙනේ
කවිය බලන්න
නෙත රවටන මුලාව...!

නෙත රවටන මුලාව...!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා දෙහිවල

දකිනව මෙහි ගොදුරක් ඩැහැගෙන යන ඒ රුදුරු සතෙක්... පෙනෙනව කුසගින්නේ බවකුත් බුදිනට තරම් ඇතෙක්... විකනව බොටුවෙන් අල්ලා, රිදෙනවදෝ ඌට කෙතෙක්... සිතෙනව පන තියෙනවදෝ මුඛයක සිර වෙලා එතෙක්... දෙවන රූපෙ පහදනවා නියම ස්වරූපය, කතාව... මවනව මුත් මුලින්, මරං කන හැටියක් එම සතාව... නිවනව සිත මවකි ඇත්තෙ අරගෙන යන තම පුතාව... නුවණ ඇවසිමයි ⁣වටහාගන්නට නම් මුල් වතාව... දකිනා කල අප කිසිවක්, ඇසින් දුටුව නිසා වුවද... මැවෙනා ඒ චිත්ත රූප දෙස දෙවරක් සිතා නෙවද.., හිතනා දේ පැවසිය යුතු තවෙකෙකු හට, යොමා ඉවද... නොමනා දෙයකිය වරදක් පැටවීමත්, කළත් කවද...
කවිය බලන්න
සාමයේ අංකුරය ......

සාමයේ අංකුරය ......

දීපා ද සිල්වා ලන්ඩනය

රත් වූ හිරු කිරණ සිසිලස් ගගේ ඔබා පුරවා සත සිතට කරුණා ගුනේ සොබා මුදු මල් පියලි අතුරා හදවතෙහි තබා සාමයෙ කුමරුවන් පිළිගනු මැනවි සබා පුබුදා සියක් පියුමන් තුරු හිස් මුදුනේ හමනා පවන් රැල්ලෙහි තනිකම මැකුණේ ගිනි ගත් හැගුම් වැල් කිරි දියරෙන් තෙමුණේ සාමය පණිවිඩය හැම මුව'ගම රැදුනේ කදුළු කැට සේ වැටුණු පිනි පොද මිණි කැකුළු වී දිලිසුනා ඉරී ගිය මිහිදුමේ සේලය නවම් හැඩකින් ඔප වුනා කුරුළු කසු කුසු නැවතිලා මදු ගීත නාදය පැතිරුනා රුහිරු පැල්ලම් වැටුණු මිහිලය සෙනෙහසින් යලි පිබිදුනා අදුර පලවා ගුවන් තලයේ තාරකා එලි හිනැහෙමින් මහ හඩින් ගුගුරමින් නැගෙනා අසෙනි වරුසා නවතමින් බියෙන් සෝකෙන් දුකෙන් මිරිකෙන දනන් හදවත් දෝවමින් සාමයේ අංකුරය පිපුනා ගිලන්ලොව සුවපත් වෙමින්
කවිය බලන්න
අනේ ජේසුනි එන්නෙපා !!!

අනේ ජේසුනි එන්නෙපා !!!

දීප්ත ප්‍රනාන්දු ඉතාලිය

සිඳුරු කර හම සීත පවණක් පාවියයි ගත දැවටිලා අඳුරු පැහැගත් වලා මැද්දේ හිරුද මදකට සැඟවිලා ඉතුරු වුණු මේ වසරෙ අවසන් මාසෙ උඳුවප් එළැඹිලා කුමරු දෙවිපුත් උපන් නත්තල සිටී දොරළඟ හිනැහිලා දිළිඳු ගවහල ලෙස මගේ රට ලොවේ අයිනක තනිවෙලා බිළිඳු දරුවන් හඬයි තැන තැන නිසා කුසගිනි වැඩිවෙලා එකදු තරුවක් පායලා නැත ගැලවුමක මග හඟවලා නමුදු දූතයො නොමැත අඩුවක් ගීත ගයනා පසසලා නිවුන එළි මව්වරුන් මුහුණේ කෙදිනදෝ යලි දල්වෙනා රකින හැටියක් නැතිව දරුවන් නිතින පියවරු දුක්වෙනා සිතන තරුණන් ඔබ සිතූලෙස අතුරුදන් කර හංගනා පුදන පඬුරක් නැතත් රජවරු තිබෙන සෑමදේ උස්සනා එදා එඬෙරුන් ලෙස තවම එති දුප්පතුන් සමිඳුන් සොයා බෙදා ගැනුමක් නොසිත ඇති අය සිටිති සතුටින් ගී ගයා සදා කල්හිම පාලකයො සැප විඳිති දන දුකෙහිම තියා යූදා අධිකරණය වගේමයි නීතියත් බල්ලට ගියා යවා කිරුසිය මතට යහපත මරා දමනුයි නදදෙනා පවා අදදින හොරුන් නිදහස් කරන ලෙසටයි අයැදිනා හොවා උස් තැන වැරදිකරුවන් මුදා ගනිමින් සුරකිනා පවා නායක පූජකයො වෙති පතන දිව රථ ඉගිලෙනා ඇතත් පැහැදිළි ලෙසට දකිනට නෙත් වලට නැත උවමනා ගියත් තේරුම් සිතා ගන්නට මනස් නොමවෙයි යොමුවෙනා වුණත් මාවත් ගැලවියන්නට නොමැත පා යුග එසවෙනා ඇවිත් නැවතත් කියා දුන්නත් අසයිදෝ සැක ඇතිවෙනා නොමැත සාමය රටේ සැම තැන අයුක්තිය ඇත එඩි පපා කැලත අදමිටු රජ ඇමති බිහි කළා මෙහි සැම දුක් අපා දොහොත වැඳ අයදිමී සමිඳේ සිඹින අතරේ ඔබෙ දෙපා නැවත බිළිඳෙක් ලෙසට ජේසුනි මගෙ රටට වඩිනට එපා
කවිය බලන්න
සක්වාලිහිණි හිමියනි

සක්වාලිහිණි හිමියනි

ඩිල්හාන් ෆොන්සේකා ඔස්ට්‍රේලියාව

ගස් ගස් පිරි මැදෙන සුළඟට වැසි අස්සේ හිරි ගඩු පිපෙන සීතෙත් ගස් ගිනි ගත්තේ ඇය ළිහිණියකි! තනිවම අත්තක මත්තේ තටු පෙර වුවත් ඇයි සීතල අඩු නැත්තේ පොඩි වන රිසින් ඇඳ රෙදි මල් නොවිසිල්ලේ සුසුමම මිසක කවුරුද පහනට පිම්ඹේ සීතල ඇඟිලි රත මත මුද්දක කැල්මේ හිමිකම මිසක නැත භුක්තිය ගැන දැක්කේ සක්වාලිහිණියනි පියඹන රැය මැද්දේ නැතිවද බලෙන් පූදන නෙළුමක් දැක්කේ සිතාරයක තත් සිඳ නැඟ එන සද්දේ සුසුමව විනිවිදී මේකුළු රෑ තිස්සේ
කවිය බලන්න
හඬ නිහඬ

හඬ නිහඬ

දිල්රුක්ෂි ගුණතිලක

කිචි බිචිය හිකි බිකිය කචු කුචුව ගුරුවරුත් නිදි කරන නිහඬ බව! සිලි සිලිය මුණු මුණුව සිරි සිරිය සඳ එළිය පුබුදුවන නිහඩ බව! කච කචය චිරි චිරිය චරු චුරුව කන් අඩිය පුපුරවන නිහඬ බව!
කවිය බලන්න
පුංචි රේඛා!

පුංචි රේඛා!

හේමා ඩෙප් ලන්ඩනය

පුංචි දෝණි ගෙ අත්ලෙ රේඛා කුමක් ලියවී ඇතිද මන්දා දැනට සියුමැලි සිනිදු අත්ලේ හැඩ බලන විට හිතට දැනුනා යම් දිනක ඒ පුංචි අත්ලේ අළුත් රේඛා ඇවිත් ඇඳලා ජීවිතය ගැන ලොකු කතාවක් කියයි නුඹ හට දිරිය දීලා සෑම රේඛාවක් කියන්නේ හොඳ නරක බව වැටහි යනවා ඒත් පුංචියෙ නුඹ ගෙ අත්ලෙහි රිදී රේඛාවක් අඳිමි මම!
කවිය බලන්න
අලුත් පාරෙන් ඇවිද යමි ඉදිරියට

අලුත් පාරෙන් ඇවිද යමි ඉදිරියට

හිල්මි සුපුන් ඉතාලිය

හන්දියෙන් බැස බස් එකෙන් වට පිට සොයමි දන්නා කෙනෙක් මතකය සමග ගළපා දෙයක් තියනවද සොයමි පැරණි ඉතිරියක් මහලු ගැහැනු පිරිමි දෙතුන් දෙනෙක් පමණක් ගැලපුණි මතකය සමග පැරණි භෞතික දෙයක් වේ නම් දිරාපත් වූ තේ කඩය පමණි ඉතිරි මා දන්න දෙයකට වැහැරුණු මේ ගම වුණත් මා උපන් බිම නව නගරයකි අද මට අලුත් හැම ඉඳහිට කෙනෙක් සිනාසුනේ සැකයෙන් ම ය මේ දසක තුනකට පසු මා ගම ආ දවසය අඩ සියවසක් පැරණි ය මා වුව ආ ගිය උන් කොතෙක් වෙද මේ ගම වෙත ගම ගැන මතකය මිස ගමට මා මතක නැත පසුතැවිල්ලෙන් හැරී නොබලමි ඉතිහාසය
කවිය බලන්න
උපදෙස්

උපදෙස්

හෙල්මලී ගුණතිලක ඔස්ට්‍රේලියාව

අත්හරිනු මැන ලෝකය ද, තමන්ව ද අවසන දෙවියන් ද සොයාගනු මැන දෙවියන් මල් පඳුරු, ගල් කුළු අතර පූස් සුරතලුන්, පදිකයන් අතර සරල වීමට, නිරවුල් වීමට කප්පාදු කරනු මැන විශ්වාසයන් සහ තර ඇදහීම් රැගෙන යනු තහනම් ය අමතර ගමන් මලු පිරික්සා බලනු මැන ඔබ සතු සියලු දෙය මෘදු ලෙසත්, තියුණු ලෙසත් අත්හරිනු හැකි වේවි එවිට නුවුමණා තවත් බොහෝ දේ නැවත නැවතත් එහෙත් තබා ගනු මැන ඔබ වෙත ඔබ හද ගැස්ම වැඩි කරන දේ සිත තුළ බරැති ව දැනෙන දේ අවසන ඔබ සතුව තිබෙනු ඇත්තේ අල්පයක් දේ පමණි ඊට නම් ඔබේ සාක්කුවේ බොහෝ ඉඩකඩ ඇතිවනු ඇත පරිවර්තනය - හෙල්මලී ගුණතිලක Translation of the poem ‘Instructions’ by Sheri Hostetler Sheri Hostetler උපත ලැබුවේ ඇමෙරිකාවේ Ohio ප්‍රාන්තයේ ය. ඇය දශක දෙකක් තිස්සේ පූජකවරියක් ලෙස කටයුතු කරන අතර ඉඳහිට කාව්‍යකරණයේ ද යෙදෙන්නීය. Poet’s bio and photo from - https://mennonitewriting.org/journal/3/3/poetry-contemplation/ Original poem- http://www.tennesonwoolf.com/instructions-a-poem-by-sheri-hostetler/ Photo- Unsplash
කවිය බලන්න
වසර ඉස්මත්තේ හිඳ...

වසර ඉස්මත්තේ හිඳ...

ඊ.ඩබ්.හිරුණි භාග්‍යා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

ජීවිතේ සරත් ඍතුවෙන් ගොස් හෙමින් සිසිරයේ හුස්ම ගන්නා මිනිසුන් තවමත් කොහොමද ඔතරම් සිනාවෙන් ඇහුවේ ඇගේ තරුණ ඇස් පුදුමයෙන් ඔබේ කම්මුල් වගේ රත් පැහැයෙන් පිපෙන කැමිලියා මල් පෙතිවලින් බොහෝ දේ ඉගෙනගන්න පුලුවන් මහලු කත කීවෙ සැහැල්ලුවෙන් සරත් හරහා සිසිරයට ඒවා පිපෙනවා ආදරේ සහ සිහිනවල පාට පෙති අස්සෙ ගුලි කරන්... The lesson we get to learn at the end of each year is how is these single personalities restart, forgive , forget and bloom again. It is just like snow flakes become water and camellia getting bloom
කවිය බලන්න
නාථ දෙවිඳුනි ***************

නාථ දෙවිඳුනි ***************

වෛද්‍ය ඉන්ද්‍රාණි රත්නායක පුංචි බොරැල්ල

මගෙ සම්බුදු හිමිට පුදන ලද නව වරක් මේ රට මුදා දෙන විලසට යවමි සන්දෙස නාථ දෙවිඳුට නිල්ල බැලු බැලු අත යල මහට දෙයි සරු බැත නැත යයි කිසිත් නැත අහෝ පතුලට එද වැටී ඇත බුදුහිමි දෙසූ ලෙස අණන සැපතෙහි ඇති රස විඳින ලද හෙළ රැස අහෝ අද එහි කරවටක බැස රටේ අභිමානය තිබේ බින්දුවෙ මානය බොඳව පැතු සීනය නොමළ මුත් දැන් මියැදි ගානය රජකරන වාරය ලද අය උරා සාරය හිමි කළේ පාරය දෙවිඳුනේ මෙය ඔබට භාරය පෝලිමේ ඇවිදින ඇටසැකිලි වී මියයන මේ රටෙහි වැසි දන අහෝ කළ පව කිම්ද දෙවිඳුන අසරණ වුණු රටට පිහිටක් පතා වැඳ සිට නාථ දෙවිඳුන් හට එවමි සංදේශයක් කවිකොට
කවිය බලන්න
තාත්තා

තාත්තා

ඉෂංකා මිහිරි කුමාරතුංග

නොපෙනෙන ඈතක දෑස යොමාගෙන ඉමක් තන්නට වෙහෙස දරාගෙන හිනැහුනා අදත් හීන් බිම්මල් ඉරටත් පෙර ඉර ඇහැරවාගෙන.... හීන පොදි බැද සුසුමින් වසා කර ගැට රහස් කියා කහට කෝප්පෙට සිරි පතුල් වදිනා මහ ගිරි දඹ තරනෙට මග සදයි.....දූලි පොදත් දෑතින් විසිරවාගෙන... නැතත් ලය දිය කරන්නට එරී කල සතක් කිරෙන් පිරී යන කුසෙන් නොදැරුවත් ලයෙන් දැරූ විලි බර පමා කලේ.....මතු බුදු බවයි සසර බැදී යන... අප්පච්චි ලා...ලොව හිනැහෙන තුරු බුදුන් දැක්කා වාගෙයි හැම උදෑසන.....
කවිය බලන්න
පාරවිශ්වය

පාරවිශ්වය

ඉඳුනිල් ඉලංගසිංහ මැන්චෙස්ටර්

ලොව හැරවූ නව නිපැයුම් ලැයිස්තුව ජංගම මංජුසාවක එක් කැටි කෙරුව හරි පුදුමයකි ලොව නැසෙනා අපූරුව මින් පසු එන්නේ මොන දේ දැයි මේ අසව විද්‍යුත්, පරිගණක, අංකිත හා ගණිත ජනනය කරයි පෙර දා නොම වූ දත්ත තව දුරටත් සඟවා ගනිමින් ඇත්ත වෙනසක් ඇති කරයි සමාජෙ හරි පැත්ත ටික්ටොක්, වට්ස් ඇප්, ඉන්ස්ටග්‍රෑම් මැවේ ජංගමයෙන් නටනා කෝලම් වැඩි වේ සංයමයෙන් කිසිවෙක් කිසි තැන නැති වේ මින්දදයන් හිනට දෑත් තබන් තැවේ වෙබ් අවකාශයේ පියවර දෙකක් තබා මිනිසුන් ලෙසට බහුරු කෝලම්ද ඔබා නොපෙනෙන යථා අර්තය ඉදිරියට තබා මෙටා වෝස් නරක වුනත් තවම බබා හරි තරඟයකි ලොකු ලොකු මිනිසුන් අතරේ ධනය, ශ්‍රමය යොදමින් උපරිම අයුරේ මෙටා වෝස් ජය ගත්තම උන් අතරේ මොනවායින් මොනවා වේවිද මිතුරේ
කවිය බලන්න
වනය සහ උයන

වනය සහ උයන

ජයතිලක කම්මැල්ලවීර

මිනිසාගේ ප්‍රයෝජනය සඳහා කෙරෙන සංවර්ධනයේදී ස්වභාව සෞන්දර්යට නැතහොත් පරිසරයට හානි වෙයි. එයින් කියැවෙන්නේ සංවර්ධනය අයහපත් බවද? මෙය උභතෝකෝටිකයකි. ඕස්ට්‍රේලියාව අතීතයේදී ඇබොරිජන් ජනයාගේ භූමියකි. ඉංග්‍රීසි ජාතිකයන් ඇබොරිජන්වරු විනාශ කර එම භූමිය අල්ලාගෙන එය බහුවාර්ගික ජනයාගේ වාසස්ථානයක් බවට පත් කළ අතර ඉතිරිවූ ඇබොරිජන්වරුන්ගෙන් පැවත එන ජනකොටසක් තවම එහි ජීවත් වෙති. ඕස්ට්‍රේලියානු ආණ්ඩු එම ජනයාට විශාල පහසුකම් සලසා ඇතත් ඔවුන් සමාජගත වන්නේ ඉතා අඩුවෙනි. වෙනම ජීවත් වන ඔවුන් තුළ නිරන්තර බියක් ඇති බව ද පෙනේ. වන රොදක් විය එදා නූස් කඳුගැටය මත මා නිවස නුදුරෙහිම හිරුට පෙර එන සහන් එළියේ දුව පැන ඇවිදින සා පැටව් දිටිමි කුටියේ කවුළුවෙන් ඇසුණි නෙකරැව් කුරුලු කිචිබිචි උදුරා වල්පඳුරු ඒ බිම වඩවා හීලෑ කළ ගස් සැදිණි මනරම් ළමා උයනක් පෙනෙයි කවුළුවෙන් දැන් නෙක රුවැති දරුපැටව් කෙළින තුටු කෙළි ඇසෙයි උන් නගන උස් සිනා හඬ එක් රැයක මැදියමේ නින්ද මා හැර ගියෙන් දෑස් පිස නැගිට්ටෙමි කවුළුවෙන් පෙනේ මට පිටත මුදු සඳඑළිය දෙසවනට ඇසෙන්නේ සිහින් මිණි රාවයකි පහන් කණු බිමහෙළන දුබල එළි පරදවා උයන්බිම එළිය කර පුරහඳක් සිනාසෙයි බෝකලක් මෙහි නොදුටු දරුකැළක් පිරිවරා සා මවක් උයන වැද පිණුම් කරණම් ගසයි ඒ අතර කන් නගා අවට විපරම් කරයි ජයතිලක කම්මැල්ලවීර 16-11-2014 ඕස්ට්‍රේලියාවේ එපින්හි මාලන් බණ්ඩාරගේ නිවසේදී
කවිය බලන්න
කවි කෙටියෙන්

කවි කෙටියෙන්

කපිල කුමාර කාලිංග

* මුද්‍රණ -ආලය මුද්‍රණාලය වැසුණි ආලය පමණක් ඉතිරි වුණි. *තහනමකට පසුව දුරු රටක ගසක් හඬයි කඩදාසියක් ව මියෙනු නොහැකිව අකුරු සුව‍ඳ විඳිමින් . *සරස්වතියගේ ඉරණම හැටෙන් ගිය පෙන්ෂන් සරස්වතී මැඩම් ශ්‍රියා ඉදිකර දුන් වැඩිහිටි නිවාසෙලු දැන්.
කවිය බලන්න
දැන් ඔන්න එහෙනං !

දැන් ඔන්න එහෙනං !

ගත් කතු, සංගීතඥ මාලපල්ලේ කුමුදු අමරසිංහ ලන්ඩනය

දැන-කියා ගන්නටත් එක්ක මග හැබැයි නුඹෙ බරටත් වඩා බර අදින්ටයි වෙන්නේ - වයිරෝ ඔන්න එහෙනං බැන්ද මං බරබාගේ! “ඉදකිං පව්කාරයා!! තොප කොහේ යන්න ද බොලව් මේ පව්කාර උහුවත් බැන්දෙ බරබාගේ...?” හිටිය එකා අලියෙකුගේ තරමට කාලය සින්දේ උහුගේ යව-ජව කෑවෙ-බීවෙ නෑ ඉස්සර වාගේ... එන්න-එන්න ඌ කෙඩෑරි වෙනකොට ඇද්දේ නෑ උහු කිසි ම බරක් -ඔහෙ වැතිර හිටිය මිස වත්තෙ තැනින්-තැන වැඩක්-පලක් මට කර දුන්නෙත් නැහැ මුදල්-හදල් මට ඉන් ලැබුණෙත් නැහැ බලා ඉදල මං බැරි ම තැනේ දී පාරුක් මුදලාලිට ඌ වික්කේ!!! “ අනේ තෝ නොසංඩාල වධකයා! පාරුක් එල්ලයි ඌවත් කොක්කක තැනින්-තැන! මස්කඩේ ලස්සනට පෙනෙන්නට!!!” බලාපංකො මේ නාඹර වයිරා පැටිය වුණත් කර තලා-අඹල මං බැන්දේ බරබාගෙට බර අදින්න... මස්ගොබ පුරවා-දමා හැදෙන විට අලියෙකු වාගේ ඇග ලොකු වෙනකොට උගේ බරත්! ඇයි අපේ බරත් ගෙන අදී සකය වේගෙන් කැරකෙන්නට... “තොපිට නොවැටහෙන කරුමයෙ කළුගොනු-තොප පිටුපස්සේ එනවා හරියට ගොනු පසුපස කැරකී එන සක මෙන් කැරකි-කැරකි දිවිසරණ තුරාවට භවයෙන්-භවයට උපදින වාරෙට...!!!”
කවිය බලන්න
ඒක කෙහෙල් මලක්!

ඒක කෙහෙල් මලක්!

වෛද්‍ය කමල් විතාරණ කොල්චේස්ට - එංගලන්තය

වත්තවටේ දැක්කා මං ලස්සන මල් ගොඩක් බඹරු ඇදුනි රොන් ගන්නට නැතුව ඉවක් බවක් පෙළක් බඹරු රොන් ගත්තේ ආදරයෙන් උනත් තලා පෙලා රොන් ගෙන යන එවුන් දැක්ක මමත් සැඟවෙන්නට තිබුනානම් මල් අත්තේ ඉඩක් රොන් නොදේවි එන එන බඹරුට කිසිදා මලක් මලටත් තටු තිබුනානම් ඉවස නොඉද තවත් ඉගිලයාවි මල් අත්තේ නොරැඳී තව තවත් ඔය අතරේ මම දැක්කා බඹරු නොදුටු මලක් හඬ හඬ හිටියා හොදටම මටත් දැනුනි දුකක් අනුකම්පාවෙන් ලංවී බැලුවා මම ටිකක් ආදරයක් දැනුනෙම නැහැ ඒක කෙහෙල් මලක් 2022 වසරේ අවසන් කවිය
කවිය බලන්න
දරුවන් දා නොරට නොයන්!!!

දරුවන් දා නොරට නොයන්!!!

කුමාරි විජයරත්න ලන්ඩනය

අසූ අටේ හරි ව්‍යසනයකි වූයේ කෑම බීම අතමිට හැම හිග වූයේ පුතු රැක ගන්න වෙන සරණක් නැති වූයේ කිරි කදුළුත් ගෙන මැද පෙරදිගට ගියේ වාසනාව සැපසම්පත් උරුම වුනා අවුරුද්දකින් අප පවුලම එකතු වුනා රට රට වල සුවයෙන් ජීවය ගෙවුනා ඒ හැම අතර අසතුට පුතු ළග රැදුනා වසර තිහට වැඩියෙන් ගෙවුනත් පුතුට තාමත් යදිනවා නොලැබුන සෙනෙහෙ කැට අවුරුදු දෙකේ කිරි දරුවා එයි පෙරට තේරුම් ගියේ ළගදියි මේ දෙය මෙමට නොකා නොබී මැරුණත් හැම දෙන එකට සුර සැප පතා නොපෙනෙන මතු ලෝකයට සිතුනත් මෙයයි හරි විසදුම ලැබු අතට යන්න එපා දරැවන් හැර පිට රටට
කවිය බලන්න
ශෘංගාර සිත්තම්

ශෘංගාර සිත්තම්

කැණිමඩල නුරා සිහිලැතිව සීත කෝමලිය උණුසුම් දෙතොල් විමානයක සුරාන්තයක ගිලී මල් කෙමියක මත් වූ බඹරක නිද්‍රාවිය කුමරී බඹසර බිඳලන අසංවර රාත්‍රියක ආත්මය තුළ අභ්‍යාන්තරව සැරිසරන රසදුනක් ශෘංගාර සිතුවමක නුඹ මන්දාර දෛවයක පහස ගෙනෙනා පින්සලක සන්ත්‍රාස සුවය හදෙහි සිතුවම් කළ සිත්තරෙකී මණිමේඛලා තවම නොකැඩුව නුඹ
කවිය බලන්න
අත්තෙන් අත්තට ............

අත්තෙන් අත්තට ............

ලක්විජය සාගර පලන්සූරිය

කලක් පෝෂිත පැසුණු අත්තක් දැඩිව අල්ලා සුවය ලබුවෙමි ... එයින් ගෙනදුන් සතුට සම්පත කෙටිකලක් තුළ තුටුව වින්දෙමි ... කලක් ගිය කල පැසුණු අත්තත් දුබල වන බව හැඟුම් දුන්නෙමි .. ලඟම ඇති වෙර සහිත අත්තෙහි නොමඳ පෙම් බැඳ ලැගුම් ගත්තෙමි ... දිනක් පැමිණිය මන්ද මාරුත ඇය ලැඟුම් ගත් වියළි රුක් අත ... හඬා වැටෙමින් කඩා වැටුනා හැඟුමකින් තොර ඈ ඉදිරිපත... එලෙඹි දිනකදී මෙලෙස වියලී ලබැඳි අත්තත් කඩා වැටුනා ... එය දැනීමෙන් ලබැඳි රුක හැර වෙනත් ගහ අතු සොයනු සිතුනා ...
කවිය බලන්න
කොල හැලෙන ගහක සිතුවිලි

කොල හැලෙන ගහක සිතුවිලි

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය

පීත ලෝහිත කසා සළුපිළි මුදාලන්නට කාලෙ හරි දැන්, රුදුරු කරගැට කලුම කලු කඳ එලිකරන්නට කාලෙ නොව දැන්? රනින් නිමවුන බුමුතුරුණ අද හකුල ගන්නට කාලයනෙ දැන් සුමුදු සුදු මුතු සීත හිම සළු පොරොව ගන්නට වෙනව නේ දැන්? මාස ගණනක් ඉරුගෙ තෙද විඳ සිටිය සතුටින් අහර පිසමින්, පාට පාටට පිපුන කුසුමන් පෙමින් සිටියා බමරු සමඟින්, ගීත ගයනා කුරුලු ජෝඩුව හැර ගියා නිල් අහස සිබමින්, ශීත කුමරිය වැලඳ ගමු අපි මෙත් වඩා රැක දෙන්ට නිදුකින්! කිතුනු ඉපදුන දවස ලඟ එයි එදින සැමරුම මෙදත් සරුවට, අපව නිවසට කැඳව ගෙනයයි තිලිණ රඳවන ගසක් විලසට. තවම කොල පැහැයෙන් ම හැඩවුන යහලු වන් හට ලැබෙන වරමට, සතුටු වෙමු අපි Santa ගෙනදෙයි තෑගි නොඅඩුව හිත පිරෙන්නට. නව වසර අත ලඟම වග අමතක උනානේ අනෙ මහළු මේ මට හිරු රැසින් හැමදාම නැහැවෙන යහළුවන් සිහිවෙනව සැමවිට, ලක් දිවේ වැජඹෙන ඔබට අද පතමි කුලුණින් බටහිරේ සිට, දුකින් පසුවන රුදුරු මිනිසගෙ ගොදුර නොව වනු පොරෝ පහරට.
කවිය බලන්න
ප්‍රේම ගිම්හානය

ප්‍රේම ගිම්හානය

ලලිත් ද සිල්වා නුගේගොඩ

ප්‍රේමයේ - ඉඩෝර ඉමට වැහි වලාකුලක් රැගෙන පැමිණි පෙම්වතා ඔබ කව්ද ? ඔබ කවුද? මට කියන් වසන්තයක් දැක නැති මම ගිම්හානයක් .......... රම්‍ය වූ සුරම්‍ය වූ දෙවැනි ප්‍රේමයක් .......... මම ප්‍රේම වැස්ස වස්සවනා ගිම්හානයක් අකුණු සමඟ හාද නොවී පුරන් වූ කෙතත් පෙම්වත ඔබ ඉඩෝරයට හාද වෙච්ච ... වැහි වලාකුලක්
කවිය බලන්න
සෝදු පත් බලන්නී

සෝදු පත් බලන්නී

මහාචාර්ය මනෝරි ගමගේ හැව්ලොක් ටවුන්

ඉස්පිල්ල කපන්නී පාපිල්ල හදන්නී අකුරු පද ගලපමින් යළි යළිත් මකන්නී ණන ළල ත් බලන්නී වචන වෙන් කරන්නී නිතර පිටු පෙරළමින් හරි වැරදි සොයන්නී රෑට නිදිවරන්නී හිරුට පෙර නැගෙන්නී රිදෙන හිස වෙහෙසමින් තව යමක් සොයන්නී තිතක් අග තියන්නී කොමාවක් කරන්නී තිතද හරි කොමාවද නොදැන පසු තැවෙන්නී සුසුම් රැළි පිඹින්නී ඉසිඹුවක් පතන්නී අවසනදි තිත තියා සෙමින් පොත වසන්නී
කවිය බලන්න
සිකුර හතේ....

සිකුර හතේ....

මයුරි කොඩිකාර ගම්පහ

විසිපහයි නෙව කෙල්ල ගෙදරට නාකිවෙයි එහි ඇත දොසක් කණුකුණුයි අනෙ කනින් කනටම පාව යයි රහසක හැඩක් පෙරහරයි සැදු බුලත් හෙප්පුව පාටදෙයි සුදු රෙදි කඩක් බරතමයි ඉල්ලන්නෙ සැමදෙන පාරවයි ඉඳිකටු තුඩක් තිබහ හරියට වතුර ඩිංගක් ගියා කුස්සිය වටේ රවුමක් ළිඳක් ඇතුවද පිටිපස්සෙ නෙව බලා අහුමුලු අගේ සෙවුමක් වැටත් හදලද ඇදක් නැතුවද සොයා අගමුල නැගේ තරහක් කකුල පැලිලද කොරල යහමෙට දතේ හිඩසුත් ඕනෙ තරමක් ගැහැණු බොහොමයි තවත් අයෙකුගෙ අඩුපාඩු දැක නැහුන පිරිසක් පුදුම කෙරුවයි ඇසේ කෙන්දත් පොල් පරාලය නොදුටු මොහොතක් සිකුර හැඬුවයි කොටුවෙ සිරවෙල මාරුවෙන දින නොදැන වරුවක් තැලුවෙ යකඩෙම උඩත් පැන පැන දැවුන මුදු එය නොතැකු විලසක්
කවිය බලන්න
අඳ දරුවන්ට ගුම් ගී ගයාපන්

අඳ දරුවන්ට ගුම් ගී ගයාපන්

මන්දාර ලියනගේ පර්ත් , ඔස්ට්‍රේලියාව

පුෂ්ප මකරන්ද නුඹේ තුඩින් කිතිකවාපන් තුන් පත්‍රයෙන් පිබිද තුන් භවනෙහිම සැරි සරාපන් කලාමැදිරි එළියෙන් රැය නිදි මරාපන් අඳ දරුවන්ට ගුම් ගී ගයාපන්
කවිය බලන්න
ලන්ඩන් කවි  තුලින් මම යලි ඉපැදුනෙමි

ලන්ඩන් කවි තුලින් මම යලි ඉපැදුනෙමි

මාවැලි කුමාරී කුලතුංග මහනුවර

මසකට වරක් ගිය සව් දෙස් සවාරියේ කවි මිණි එකතුකර පුද දෙන නිමේෂයේ සුභ හෝරාව අද දින එළැඹීලා තියේ දොරට වඩිනු ලන්ඩන් කවි කුමාරියේ මෙතුවක් සිතේ පොදි බැඳි කල්පනාවන් කවි පද වෙලා නංවා මද සිනාවන් කාටත් වසන්වී තිබුනත් මනාවන් ඔබමැයි විවර කෙරුවේ කඩතුරාවන් මසිතට නැඟුණු රස සිතුවිලි කවි කළෙමි හෑගොඩ මැතිඳුගෙන් ගුරුහරුකම් ලදිමි මා දිනු දිවිය තුල නව අරුතක් ලදිමි ලන්ඩන් කවි තුලින් මම යලි ඉපැදුනෙමි නවකද ප්‍රවීණද වෙනසක් නොදැනෙන්න කාටත් සම සමව ඉදිරියටම යන්න අපමණ සෙනෙහසින් කාටත් අත දුන්න කවි ලොව මිණි පහන ලන්ඩන් කවි ගොන්න ඉමිහිරි කවි සුවඳ ලොව තුල පතුරන්න කවි මුතු එකට අමුනා සිත් සරසන්න කවි ලොව එළිය කරමින් නිති බබලන්න සුභ සිරි පතමි තව ඉදිරියටම යන්න ! ආවඩා ආයුබෝවේවා !!
කවිය බලන්න
අම්බපාලියක්

අම්බපාලියක්

වෛද්‍ය මංජුලා පියුමාලි ද සොයිසා

ඇඳිරි වැටෙනා කණිසමේ කවුළුවේ තිරයෙනි අහස එතුවේ.. ඉදිරි වැටෙනා පැතුම් තරු කැට මොහොතකට සඟවන්න හිතුවේ ගිගිරි පය ලෑ බිඳෙන විට ඔය තරම් කෙටුවට අකුණු පපුවේ "සොඳුරියේ" යැයි කියා ගෙට ගෙන යන්න මොන පිරිමියද පැතුවේ...! අම්බපාලියටත් වඩින්නට ඇහැකි නිවනක දොරටු පෙන්නා දම් සභා මණ්ඩපේ කොනකදි කෙළෙස් පොදි තව උරට දුන්නා.. නිම් නොවූ තරු වැල් ගනින්නට රැයේ මට ඇති සෙනෙහෙ දන්නා, ගම් දනවු පහු කරන් බෝසත් වරු ලෙසින් හොරු පැළට පැන්නා.. තිත් පෙළක් තබවා අදින්නට ආස අමුතුම ගීත ඇතුවත් ඇති කියල තෙත තීව වදනකි හැර යන්ට හිත හීලැ නැතිවත්.. අත හරින්නට බලවතුන් වග බවලතුන් මිමුණමින් තවමත්, තත් බිඳින්නෙමි හදෙහි රැක රැක ගල් අතින් ගත් උන්ගෙ පතිවත්..
කවිය බලන්න
දුරු රට සිට හෙලන සුසුම්

දුරු රට සිට හෙලන සුසුම්

වෛද්‍ය නිලූෂි වීරප්පෙරුම

සුලඟේ මා රැගෙන යන්න මගේ මහ පොලව මත දුක් විදිනා සහසක් මිනිසුන් සනසන්නට මගේ සුසුම් සමගම මා ගෙන යන්න කුසගිනි දරුවන් හඩනා අසරණ මව් පියන් නිහඩව වැලපෙනා මගේ රටේ මිනිසුන් වෙතට මගේ සෙනෙහස් සුසුම් රැගෙන යන්න දුරු රටක නොහඳුනන මිනිසුන් අතර අතරමංව හුරු සුවඳක් සොයනා මගේ රටේ දහදිය සුවඳ විදින්නට සුලඟේ මා රැගෙන යන්න
කවිය බලන්න
සකී.........

සකී.........

නිරෝෂා ගුණසේකර බුත්පිටිය

පායන සඳරැස් හෙමිහිට ගැළුවත්___කෙලෙස සිඳින්නද අඳුර හදේ පෑ හසරැල්ලෙන් සනහාලූ සිත___ මතකය අතරින් නිතර ඇදේ මාහද තෙරපෙන ආල හැඟුම් හැම_____ සිරව සුසුම් රැළි තරඟ බිඳේ කෝම වුවත් ඒ සෙනෙහස නාමෙට_____අහිමි වුවත් සෙනෙහසම පිදේ..... පුරවා හදවත පැතුම් ගොඩක් ඇත _______මෙතුවක් කල් මම නුඹට නොකී භවයෙන් භවයට සසර සරා විත්______ නුඹම පතා සෙනෙහසම රැකී රිදුමක් සමගින් නැගගෙන ආවත් ______හද කොණකින් නිරතුරුම ඉකී අදමෙන් බැඳි සෙනෙහසේම නාමෙන්____මිය යනතුරු අපි හිඳිමු සකී
කවිය බලන්න
කලියුගයේ සුප්පා දේවි

කලියුගයේ සුප්පා දේවි

නිමල් අබේසිංහ කඳාන

වරදක් වුනිද ආ මගේ එවන් දෑකුත් නෑ වගේ වැටහෙන්නෙ වූ කල රඟේ සුප්පා දේවි මමය කලියුගේ කෙසරිඳු නෙක බල විහිදූ මහ රූ තක්සලාවේ සූරිය දෙවිඳු සේ තෙදැස් පා හිනාවේ වීරිය ගතද වහන් වන්නට ඒ වෙලාවේ කාරිය කිම්ද මද රද මා හෙලූයේ මුලාවේ ආදර බස් මුලින් දී කැඳවා ගතිය ලෙනටා යන්නට නොදී සිරුරු කිසට වත් පිටටා දූ ද පුතු සමග සිරකොට ගල් පවුරු ලා දොරටා කන බොන රිසි දෑ ගෙනත් දුන් බැව් සැබැවි අපටා සිහබා පුතු සිහ සීවලී ද මෝරා වැඩුණී නොරටට යන්න සිත රහසේම බැඳුණී මා සිත වහන් කොට සය කන් මැතුරුණී දෙදරුවන් සමග පිටව වුත් ලෙනෙහි මා සිර කෙරුණී සුදර්ශන කිසිත් ගෘහයේ නොතිබුණේමය ප්‍රදර්ශන තිබුණු තරමක්වට පිටේමය සුහර්ශණ වුවත් තිබුනත්එසේමය නිදර්ශන කුමට මා හැරගියේමය පුතුද දුව කැටිකොට නුබ ගොස් ඉතින දුරු රට මගේ කුස බද්දට ගත් බව පසක් විණි මට කඳානේ නිමල් අබේසිංහ .
කවිය බලන්න
නොරිකො... තනියම....

නොරිකො... තනියම....

පුෂ්පශාන්ත සමරනායක මොරටුව

වසන්තය අග පාළු මග දිග වැටී මල් මියයද්දි සකුරා... "නොනිදන්න,මට තනියි"නොකියමි, ආයෙමත් මගෙ දෙවෙන්දොරා.. තෑගි දුන් වෙස්මුහුණ යළි ඔබ රැගෙන යන්නට ගියත් උදුරා... මතකයන් විතරක් අරන් යමි මගේ කුමරුනි, සයෝනාරා... යාම්, ඊමක අතර මැද දිගු කාලයක් නවතින්න... ඉක්මනින් එන්නට හිතාමද..? ඔබ ගියේ හැර යන්න... මතක මැද නොරිකො,ට පුළුවන් මැරි මැරී උපදින්න.... මළවුන්ගේ අවුරුද්ද දවසක ආයෙමත් ඔබ එන්න...
කවිය බලන්න
අරුමැසි දසුන

අරුමැසි දසුන

ප්‍රීති පෙරේරා තලවතුගොඩ

ලොවම නිදන මැදියම සඳරැස් ගලනා නිවා සිත්සතන් සැනසිල්ලක් දැණුනා පුදබිම සිතුල්පව්වේ රහතුන් විසුව පොසොන් දිනේ සිහිළැල් සුළඟක් හමනා සොඳුරු මතක අතරින් මුල් තැන ගන්නා අරුමැසි දසුන කිමදැයි නිකමට සිතුනා පුලතිසි පුරේ ගල් වෙහෙරට ගිය දවස අසිරිය දුටු ගමන් හුස්මත් නතර වුනා අත්විඳි නිසා අනතුරු බාදා එමටා නුහුරු තැනක පිය මැන්නේ විමසිල්ලෙන් රම්මල් කන්දට යද්දී නොසිතු ලෙසේ පා පැටලුනා අකුණු ගසන වරුසාවේ පන්හිඳ අතට ගෙන ලීවට මවා රස දුකමය නිරතුරු රියසක මෙන් දිවියේ පුංචි එරන් පුංචි එරන් පුංචි කලේ නෙක ගුණ දෝන ඉසබෙල් පෙරුමල් දිගැස
කවිය බලන්න
ඉවත ලූ  මිරිවැඩියට........

ඉවත ලූ මිරිවැඩියට........

වෛද්‍ය පද්මලාල් පතිරගේ නුගේගොඩ

කටු කොහොල් පිරි මඟක දෙපා මා සනසමින් බොහෝ දුර පැමිනියද මෙයින් මතු බොහො දුරක් යන්න සිදු වේවි මට. සිත් බැඳී දයාවෙන් මා මුදා විඩාවෙන් මෙතෙක් දුර පැමිණියද බොහො දුරක් හිමිය මට. ඉරිසියාවේ රුදුරු කටු මතින් මිදූවද කෝදයේ වියරු වූ ගල් මතින් මිදූවද දකින්නට සිහිනයක් දිනන්නට ලෝකයක් තව දුරක් යා යුතුය වෙන්ව මට ඔබ වෙතින්. මගේ දුක් උසුලමින් මගේ බර කරට ගෙන මා සමඟ පැමිණියද සමු ගැන්ම පැමිණ ඇත. පයට සුව පහස වී සිතට සැනසුම දිදී ඔබ සමඟ ආ දුරත් තවම මට සිහිනයක්. දයාවෙන් මා රැක්ක ඔබ මගේ උරුමයක් එද ගෙවී වියැකි විට වීද එය කරුමයක් නොසිතුවත් ගුණමකුව නොමැත එහි අරුමයක් අතීතයෙ බැඳුනු සැම සිතට එක සිහිනයක්. දමා යා යුතු නිසා අලුත් පහසක් සොයා ඔබද බෙලහීන වී ඉවත හල යුතු නිසා දෙපා පණ ඇති නමුදු සිතේ තෙත ඇති නිසා ඉතින් සමු දෙන්න මට මා පෙරට යන නිසා.
කවිය බලන්න
ඕමාර්  ඛයියාම්ට  අභියෝගයක්

ඕමාර් ඛයියාම්ට අභියෝගයක්

ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

වීදුරු ගැටෙන හඬ කිංකිණි සිනා හඬ මදු විතෙන් බමන හිස ගත අතැර දුවන සිත රස අහර පිරි ලොවක් ගතට සුව දෙන ලොවක් දුක සෝක නැති ලොවක් වැනිය මෙය සුර ලොවක් මදු විතෙන් වෙලාගත් සියොලඟම නිරතුරව ඉඳුරන් ද අඩපණව අයාලේ දුවන සිත සැහැල්ලුව නොම දැනේ ඛයියාම් කී විලස මේ මොහොත ගැන සිතුම නොහැක එය පිළිපැදුම පාව යයි මව් බිමට මදු විතෙන් බරවු සිත සෝක සංකා ගෙනේ තතු නිබඳ සිහිපත්ව ඛයියාම් නොහැක මට පිළිගන්ට ඔබ කියුම
කවිය බලන්න
ඔයා හිතුවට එහෙම, ඉවර නෑ මේක

ඔයා හිතුවට එහෙම, ඉවර නෑ මේක

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ලන්ඩනය

ස්කොට්ලන්ත තැනිතලා බිමෙක තිබූ එක්තරා ශීත කඳවුරක පහන් එළි ඇති අඳුරු පෙදෙසක හිනැහුනා මතකයේ හිඳි කාල වර්ණිත ඇගේ ඇස් දෙක ආගමන විගමන දේශ සීමා කඩුලු පැනගෙන යාල්දේවියෙ නැගලද නුඹ ආවෙ මේ දෙසට? රිදුණු රත් වන් තිලකය කැඩුණු සිංහල කවි කොළ තල් අරණෙ සඟවලද පියැඹුවේ නුඹ මෙහෙට.. නොමැති නම් .... ගේ බිත්ති පෙරනයෙන් විසිකරලවත් දැමුවද ...දැවී යන්නම.. තිබෙනවද ඒ අළු පරෙස්සම්ව තවම පොංගල් බඳුනක? අහම්බෙන් හමු උනත් එදා වගේම අදත් හිත කියෙව්වද නුඹ මගේ ආනන්දි , එහෙ ගිනි අවසන් බදාගෙන වැළපෙමුද දැන් ඉතින් අපි හිතු මතේ වෙනස් වූ හැඩයක් ය නුඹෙ මුවින් දිස් වුණේ මට ඕනෑ මගේ පොඩි යාළුවයි ඒ දිනේ ඇයි අඳුරු කඳවුරක .... දමිළ සිංහල අමතකද නැගුණු එක පිට එක ප්‍රශ්න මැද ඇගෙ අතේ ගිතෙල් ඉටි පහන නිවී යන්නට ළඟය අත්ල ගිනි ගන්න ඉඩ කඩද වැඩිය සීකිරම් විත්ත්‍රක්කු පෝ..මේක කොටි කඳවුරක් යුද්ධය අවසන්...කට කොනේ උපහාස සිනාවක් ඔයා හිතුවට එහෙම ඉවර නෑ මේක... යන්න ඉක්මනට ගෙදරට
කවිය බලන්න
තෙරුවන (VIP)

තෙරුවන (VIP)

පියල් මාරසිංහ සිඩ්නි

සුදෝ සුදුවට ඇන්දට දකින හැම පන්සලම වැන්දට පිළිම දාගැබ් හැදුවට බොරුව වංචාව හොරකමයි උන්ගෙ තෙරුවන
කවිය බලන්න
යෞවනය සම්පතකි...!

යෞවනය සම්පතකි...!

ආචාර්ය රම්‍යා අත්තනායක මහනුවර

පුංචි කණ්ණාඩිය ඉස්සරහ තියාගෙන මටම මම විරිත්තගෙන කපන මගෙ සුදු රැවුල තව කොතෙක් කාලයක් මෙහෙම වද දෙයිද මට කැපුවත් වැරදි යි...! වැව්වත් වැරදි යි..! යෞවනය සම්පතකි....!!!! 2022.11.11.
කවිය බලන්න
ආදරෙන් ඔබට...

ආදරෙන් ඔබට...

රේණුකා සුදර්ශනී ඉලංගකෝන් කිරිඳිවැල

සිහිනයෙන් දිවගෑව මිහිරි සුවඳක් වගේ දෙව්ලොවින් විහිදූව සහන් එළියක් වගේ සිතක් කම්පනය කල විදුලි සැරයක් වගේ කොහෙන් ඔබ ආවාද පුංචි ලෝකෙට මගේ?? රිදී කැන් විනිවිදින දෙබෑ කර කලු වලා වැසු අඳුරු කුටීරය සෙනෙහසින් එළි කලා දියෙන් කිරි වෙන්කරන රණ තිසරු මෙන් වෙලා මිදුණු සීතල හදක් දයාවෙන් තෙත් කලා.. කමටහන් ලබා ඇති බොහෝ දිවියට හිමී අරුත් පිරි වදන් පොකුරක් සේම සුරකිමී සලිල මැඩ හිරු සිඹින සුපුල් ඉඳුවර වෙමී දිවිය අතැඹුලක් කොට ඔබේ දෝතට දෙමී.
කවිය බලන්න
හේමමාලා කුමාරිටත් ත්‍රස්තවාදී චෝදනා

හේමමාලා කුමාරිටත් ත්‍රස්තවාදී චෝදනා

රංජිත් ද සිල්වා නවසීලන්තය

කුමරි ඔබ හේමමාලා මුදා ගන්නට සමිඳු දළදා හිසේ සඟවා තඹවන් වැල්ලට සැපත් වුවා නොදැන කිසිවකු හේමමාලා කුමරි ඔබහට ගොනුව ඇත දැන් ත්‍රිවිධ චෝදනා සිරි දළදා හිමියන්......... උදේනි නුවරින් රහසේ ගෙනෙමින් ලක්දිව වෙරළට සියුමැලි ඔබෙ ගත - සැරසූ කෙස් රැලි - අතරේ සඟවා ගුරුවරියක්සේ සාරිය හැට්ටය හැඩකර ගත දවටා සැරසී නොපැමිණි බලවත් වරදට සිපිරි ගෙයක අනූ දිනක් ඔබ රඳවා තබනා බවටත් සංස්කෘතික පොලිසියේ අධිපති හිමිගෙන් voice cut එකක් යූ ටියුබයේ……... 20Nov2022
කවිය බලන්න
මං මිතුරු ලෙසින් ලග එන වැහි වලාවට කියන්

මං මිතුරු ලෙසින් ලග එන වැහි වලාවට කියන්

රන්ජන ආරියරත්න

යකෝ බොල මල මගුල්, චුරු චුරු, කෙහෙම්මල් වැස්ස උඹ ඔය කඩන්න හදන්නෙ ඊයෙ මං අමාරුවෙන් හැදුව විස්වාස බැම්ම කතා කියන ඇස් දෙහෙකට කුඩෙත් අහිමි කරගත්ත අහිංසකයෙකුගෙ පරම්පරාවක පැතුම අම්ම ගැනත් දහාතේ දිවුරලයි හැදුවෙ මගෙම සක්කරවට්ටමේ හිත අළුත්ම මූවිය බලමු කියලා අද පිටිපස්සෙම පෙට්ටියක හවසට ඉඳ බුකියේ කෙල්ලෙක් ලස්සන ඒ උනත් මම කාගේ කව්දැයි නොදන්න කොටම කොට ගව්ම, පපුවත් යන්තමට ඇරුන ඉතින් හාට් රියැක්ට් නොකර පුලුවන්ද ඉන්න කපුවෙකුගේ බොරුවකට බැන්ද උඹ දන්නවද ගෑනු හිත් ගැන හරියට පෙරේදට මාසයක් යකෝ එක ලයිකෙකට මූණ එල්ලාන උඹට නොකියන වැඩ අර........ලයිට් නිව්වම සීරුවට කෙරෙන අද තමා දවස වැහිකලු දියවෙවී වැගිරෙන බොටත් තේරෙයි සෙට් උනොත් දවසක ගැටිස්සියක් පැණි බේරෙන යකෝ වහින්නත් මතක නැතිවෙයි අම්මපා කලට වේලාවට එපා දැන් මෙහෙට පලයන් හවස හතරට ටියුෂන් පන්තියක් ගාවට උඹටත්, මටත්, උන්ටත් වැඩක් වෙන්නෙ එහෙමයි මචෝ නියමෙට ආණ්ඩුත් මරාගෙන කන්නේ අපිමයි දන්නවා බං උඹටත් සෑහෙන්න ප්‍රශ්න මහා එවුන් කියන විදියකට ඔළුව නමාගෙන රස්සාව උනත් කරන්න වෙනවා පිරිමියෙකුට ගෑනිගෙනුත් බේරෙන්න ඕනෙමනම් උඹට සෙට්වෙමු හරියටම හත හමාරට මෙහෙට සත්තයි මචෝ තෙමෙන්නම් මං ගානට මචෝ....... පිරිමියෙකු කළහොත් මිසකම වෙන කවුරුනම් පිහිට වෙන්නෙද පිරිමියෙකු වෙච්ච අප හට
කවිය බලන්න
වාට්ටුවෙ හිටි ලෙඩෙක්ගේ මළගමට ගියෙමි.

වාට්ටුවෙ හිටි ලෙඩෙක්ගේ මළගමට ගියෙමි.

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න මහනුවර

දොරකඩට ආ මට නොවැන්දට කාරි නැත මේ ලෙඩා මැරුණේ මගේ වරදින් ලෙඩා ඇවිදන් වාට්ටුවටම එනකොට කොළයක කුරුටු ගා ගත්තේද මංමයි එක්ස් රේ කොළ නැතත් ලැබ් එකේ රිපෝට් නැතුවත් මම ලෙඩේ දැනන් උන්නා නලාවේ අත්දැකීමෙන් ඒත්…… සමා වෙයන් මට ඕනෙම බෙහෙත නොදී තිබ්බ බෙහෙත දුන්නට කාලයේ හැටියට ලේ පයින්ට් හතරක් දෙන්නට ඕනෙ වෙනකොට එකක් දීලයි බලන් හිටියේ මදිය ඒ මදිය නොදැනගෙන නෙවේ ලේ ටිකක් දන් දෙන්න මිනිස්සුත් ඉන්දෙද්දි අ සී යූ එකකට දාන්නට ඕනෙ වෙනකොට ඇමතුමක දුරකින් තිබුණේ නෑ එක ඇඳවක්වත් සමාවක් දෙන්න පුළුවන්ද පණ යනකන්ම හොයා ගන්නට බැරුවට මැරෙන්නට වයසක්ද හොයාගෙන නැති ලෙඩක්මද නැත නැත…. දන්නවා මං.. මේ මරණය බිහිසුණු වරදක්මය කරුමයක් කියා හිත හදා ගන් නැතුව දඬුවමක් පමුණුවන්න මට තව තවත් මෙවන් මරණයන් නොම වන්න
කවිය බලන්න
කිරිල්ලියකගේ අඬ මුරය

කිරිල්ලියකගේ අඬ මුරය

සුනේත්‍රා අලුත්දුන්නෙ මාතලේ

මහ වැසි ඇද හැලී පොහොණි වූ මිහිදුමේ මට ඇසෙයි මට ඇසෙයි කිරිල්ලියකගේ අඬ මුරේ මිහිදුම් සාටකය ඉරේදෝ මට සිතේ ඒ තරම් පබල වේ උහුගේ දුක් අඬ මුරේ ක්‍රීක් ක්‍රීක්..ක්‍රෑක් ක්‍රීක් මගේ කන් සිදුරු වේ ළඟ ඇසයි දුර ඇසෙයි උහුගේ දුක් අඬ මුරේ එහෙත් උහු මා නෙතට තවත් නෑ හසු වුණේ පැටවුන්ට අනතුරක්? සිතට මගෙ බිය දැනේ තුරට නැගි නාගයෙක් මගේ මනසේ ඇඳේ ප්‍රියයාට අනතුරක් ? මේ තරම් කලබලේ කුමක් හෝ ගැහැටක් ය අද උදේ සිදු වුණේ මගේ ඇස් දෙක තෙමෙයි එහෙත් මම යමි කෙසේ බැස මගේ ගෙවුයනට නෙත් ඉගිල්වමි විගස එහෙත් ඒ හඬ මිසක නොපෙනෙ ඈ මා නෙතට..
කවිය බලන්න
නත්තල් එන්න එපා .......

නත්තල් එන්න එපා .......

වෛද්‍ය සුමුදු ඉරසිංහ සමර්සෙට්, එංගලන්තය

සුදු පැහැති හිම නොමැති පිනිමුවන් සරන්නැති "ස්පෘස්"ගස් වැවෙන්නැති සිරිලක ට නත්තල් එපා ! කුස පිටට ඇලීගෙන කුසගින්නෙ අයදිනා පොඩිඑවුන් හඬතලන සිරිලක ට නත්තල් එපා ! දුගී දන මරාගෙන බඩ තඩින් සොරාකන සඳලුතල පුරෝගෙන රසමසින් පිනායන දුදනන් ට විඳින්නට සිරිලකට නත්තලක් එන්නම එපා ! 4/11/22
කවිය බලන්න
The Junction

The Junction

සන්ජය ප්‍රියදර්ශන උඩුගම්පොල

There diverged two roads Over my melancholy eyes I couldn’t both, sorry Dry fire drizzle, damned leaves Prickly thorn buds Waving their heads Kissing caked earth With cracked blotches On my left a light green Awakened by dew dust Eldorado path soothing Inner soul pregnant On the entrance Evoked an adamantium fence But invisible for everyone I stand still From the dawn till the night ends At the beginning point Looking ahead My dream dissolves
කවිය බලන්න
මැරෙනබව දන්නෙනම්..............

මැරෙනබව දන්නෙනම්..............

සපුමල් බන්ඩාර ලන්ඩනය

ගනණ්කර බැලුවාද දිවියකට ඇති දින ගනන මාස් පඩියට වඩා අඩු නොවේද ඇතමුන්ට දඟදමා වෙරදමා තැනූවත් සිත් මන්දිරය හීනයක් මතක නැතිවෙන්න එකම එක නින්දක් ඇතිය පොසිටිවුද නෙගටිවුද වැඩක් නෑ තර්කකර මැරෙනබව දන්නෙනම් සැම දේම පසක්වෙය.
කවිය බලන්න
මවක පැතුම

මවක පැතුම

වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ කොල්චෙස්ටර්, එංගලන්තය

තෙල් මල් පහන් ගෙන පන්සල් යන විලස ඇල්මෙන් ආ පුතෙකු හා මුණුබුරු පිරිස දල්වා පහන් සොහොනේ එළියක් විලස මල් සැරසිලි කරණු දැක ගත්තෙමි සවස දරුවන් දුසිම් බාගයකට වී සෙවන දිරියෙන් උස් මහත් කර ගත්තෙමි පෙමින වෙන් වෙන් වෙලා මුන් දැන් මේ යන ගමන උන් උන්ටම මිසක මට නම් නෑ නිවන කිකිළිය සිය පැටවු කැල රකිනා ලෙසට මම ඔය දුවා දරුවන් බැලුවේ එකට මව මිය ගිය දවස සිහි කරනා කලට එක්විය නොහැකි අය මොකටද දරු කමට දුන්නත් සියලු දේ එක පිළිවෙළට බෙදා කවුරුත් සතුටු මූණක නෑ නේද මෙදා උල්පත් වලින් ගැලුවත් මිල මුදල් සදා ඇයි හිත් අසල සැනසීමක් නැත්තෙ රඳා එකමුතු කමින් ඉන්නට බැරිනම් එකට ඔය වතු සුද්ද මල් මාලා ඇයි අපට කොළ අතු වලට යටවී නොපෙනෙන ලෙසට මගෙ නෙතු පියාගෙන පස් වෙන්නම් බිමට
කවිය බලන්න
මළ ගෙදරක හමු වූ යුවතිය

මළ ගෙදරක හමු වූ යුවතිය

සුනිල් ලීලානන්ද පෙරේරා රත්නපුර

ජීවිතය හරි පාලුයි මහ රෑක මලගේක වාගෙයි සුසුම්ලන මල්වඩම් මියැදෙයි සීඩර් සුවඳ නොකියාම පැනයයි රන් රස සේ බැදී හුන්පුටු පේලී ඈතයි වෙන්වගිය ,යුවලක සේම රකුසුයි උසාවි කැන්ටිමේ දෙකොනක අසුන්ගත් සේ ඈතයි සෙවනැලි පවා ඇදයි බකලයි කැරම් පිටියේ ඉත්තන්ට හරි වෙහෙසයි උන් නිහඩව... ගල් ගැහුන ගානයි සුදු කලු රතු සැමට එක නැකතයි සිව් කොනේ දැල් නිවස්නත්, උතුරයි හෙප්පුව කැරකොප්පුවක් වාගෙයි බුලත් නැටි දුංකොල රැල් විතරයි කිල්ලොටේ හුනු පොසිල ගල්වෙයි දත් නැති ලොබු කටින් බලියයි පඩික්කං කට වට පිකාසෝ බිතුසිතු, දියවෙයි නෙස්කැපේ වැසි දියෙන් කට, සේදෙයි කුදු ගැහුනු මහළු සඳ බැසයයි තාරකා කනමැදිරි පැටලෙයි මල ගෙදර පනැතිය ඇය පමනමයි අතොරක් නෑ ඈ මට අත වනයි මාරුතය සමග නොකියාම ඈ... පැනයාද මසිත සැක සංකා එමටයි
කවිය බලන්න
මග විසිතුරු

මග විසිතුරු

සුනිල් පෙරේරා ලින්කන්ෂයර්, එංගලන්තය

ගමෙන් නගරයට යන්නට බස් රිය කින් වාඩිවුනෙමි අසුනක කවුලුවක් ල ඟින් නෙත් පියවුනත් හමනා මදනල පහ සින් සුවඳ කියයි මග විසිතුරු සිතට හෙ මින් සමන් පිච්ච මල් සුවඳින් සිතම තෙමේ ඇස් හැර බලමි කොහිදැයි පසු කෙරෙන ඉමේ සුදුවැලි අතුල හඳුන් කූරු දැවෙන බිමේ පන්සලකිය සැදැහැතියන් පිරුනු ගමේ නිදිමත තව වැඩෙයි රතයේ පැද්දුම ට සුවඳකි දැනෙන්නේ නැහැපුඩු වල අග ට මිරිසට කිරට තෙල් බැදුම්ද ඇති රස ට බත් කඩපේලියකි ඇත්තේ මග දිග ට දැනුනා සැර ගඳක් නැහැයම අකු ලුවන වැසුමට නොහැක කවුලුව වීදුරු බිඳුන නිතැතින් පෙනුනි දෙනෙතින් අඩවන් කෙරුන කුණු කන්දකිය ඇත්තේ හෙමිහිට හැදුන ආගම කියන ගෝසාවකි යකඩ කටි න් එයට නොපරදින්නට ඇසෙනා පිරිතෙ න් නින්ද කැඩුනි සිතුවිල්ලකි නැගි විගසි න් වසන්න බැරි කන් දුන්නේ ඇයි දෙවිය න් තැබෑරුම් ගඳකි දැනුනේ නාස යට මළ ගෙදරකි පෙනුනේ නෙත් යොමන විට එක්වු පිරිස රතයක බෝතල ල ඟට රහමෙර සුව විඳිති මිනිසෙක් මළ දු කට පස්සට යන්න ඉතුරු සල්ලි ගමු පස්සේ කොන්දොස්තර තවමත් මොරදෙන අස්සේ සිදාදියට ආවිට මගෙ හිත ගැස්සේ ආපහු ගමට යන්නයි බසයෙන් බැස්සේ
කවිය බලන්න
ගබ්සා වූ ප්‍රේම කළලය

ගබ්සා වූ ප්‍රේම කළලය

සචී ජයවර්ධන

තවත් නම් ඉන්න බැරි වුණා යටිබඩ මැද්දෙන් පලාගෙන හදවත මැදින් ආවේ ගැලවිලා ගබ්සා කරත් ඉකිගහලා හඬුනේ එදා ඒ ප්‍රේමයේ කළලයක් නිසා පෙරලන්න හොඳ පොතක් වුණත් ඉකිගසා අතට ගත් වාරුවට පිටු පෙරලනවා විනා විශ්මයේ විශ්මලන්තෙක ඉපදුණු මා කොහොම කියන්නද මේක අත් නැති අත්වාරුවක් කියා බැඳීමක් ගැන හිතීමත් කටු ඇනීමක් නිසා මහා වනයක් තිබියදිත් සුව විඳීමක් තකා ගොහොරු මඩ තලි අනේ අතගා තප්පුලන මා කොහොම වැදුවද ප්‍රේම අරණේ නොමළ බිළිඳා
කවිය බලන්න
සැඟවුණු ‘දේදුනු’ ආදරය

සැඟවුණු ‘දේදුනු’ ආදරය

වෛද්‍ය ශානි ඇන්තනි ලන්ඩනය

දේදුනු පාට වන වදුලෙ පිනි මුවැත්තිය බැල්මෙන්ම ආඩම්බරයි පෙනෙනවා ලමිස්සිය ඒත් මූවේ ඇති තැති ගැන්ම හිතින්මය අලුපාට ඇස් වලින් කෝලයෙන් විදිනවා ආදරය කාලය ඉගිල්ලී නොදැනීම ආදරේ රැස් අරුම එලිපිටම දිලෙනවා සිරසින්මය කාට නම් පෙනේවිද හිත වැසුණු හද ගැඹුර, මුවැත්තිය තවමත් ආදරය සොයන්නිය වරක් මැව් ‘පාට පොදි’ ආදරය ශෘංගාරෙ රහිතයැයි - කලක් ගොස් හැඟෙන්නිය එලිවුනා ඇගේ විපරීත ආදරය - ලෝකයා නුහුරුවට පරුෂවම දකින්නිය හැබෑවට ආදරය දැනෙන්නේ එක් වරයි- ඇය දුකෙන් හද හඬා කියන්නිය තාම ඇය තනිකඩයි, තරුණයි - සුකුමාලිය තවත් ‘දේදුනු’ ආදරය සොයන්නිය 26/11/22 ( සත්‍ය සිදුවීමක පද පෙල ගැස්මක්)
කවිය බලන්න
නත්තල

නත්තල

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි

අත්කර දෙන ලොවේ නැතිබැරි අයට යමක් සත්වග කුසේ ගිනි නිවලා දිලුන ලොවක් විත් සැම දොළොස් මාසයකම එකම දිනක් නත්තල කුසේ ගිණි නිවෙනා දිනටනමක් මලකට සුවඳ සේ සෙනෙහස හදින් ගෙන පැල මන්දිරය සමසේ සලකමින් එන විල හෙල දොළ පවා පුබුදා සතර කොන කල ආ වගයි යළි නත්තල් පසන් වන විස්වය පුරා විහිදීයන හඬ සුසර ලස් සන ගීතිකා පල්ලිය තුළ නිතර වස්සානයට වට වැස්සක් සේ තුසර විස්මය දකිනු ලොව නත්තල් ඇති විසිර සුදු රැවුලයි හිස් වැසුමයි දාගෙන පැමිණෙන මුදු ලෝගුව රත් පැහැගත් මිරිවැඩි සමගින කදු ගහගෙන රසරස දෑ තෑගිද සමගින අඳු නනවද නත්තල් සීයා මෙහි ඇවිදින කොතරම් නම් ඇතිමුත් දුක් රට ඉස්මත්තේ එතරම් ගණනකට නොගත් සත්දන චිත්තේ අත පෑමට කාටත් කුස ගින්දර මත්තේ සිත නුයැ සමහරු කළ පවු නොවැ ගිණිගත්තේ
කවිය බලන්න
අලුත් වෙනසක්‌  දකිමු

අලුත් වෙනසක්‌ දකිමු

ශ්‍රියානි උඩගංගොඩ මහනුවර

එකම ඉර එකම හද රැදී එක අහස මත එක ලෙසින් එලිය දෙයි කිසිදු වෙනසකුත් නැත බෙදා මායිම්කෙරූ එකම මිහි තලය මත හිදින අප බෙදී ඇත දරා ගෙන විචිද මත....... කුසගින්න දුක සතුට ආදරේ වෙනසක්ද දකින අසනා අයුරු තුල එක ම සතුටක්ද එකම වදනක් මුවට ලොවට එය පැනයක් ද එකම මිහි මඩල මත නොහැකි දිවි ගමනක්ද වෙනස් පැහැයක් නොමැති ලේ පිරුණු හදවතේ එකා මෙන් හිතන්න ට පැතුම් පතමුද හිතේ බෙදී වෙන් වූ පලුදු හැර දමා ජිවිතේ එකම අහසක් විලස පොලව හදමුද පුතේ
කවිය බලන්න
He brought it to me

He brought it to me

සිනෙල්යා ෆෙර්නාන්ඩො New Ash Green Primary School. Year 4

Shining through the night sky Is a bright , yellow star That star is coming to tells us It's going to be a beautiful day Santa is on his way From North Poland Hurry! hurry! Let's go to sleep He is coming through the sky To crash the stars And giving it to me
කවිය බලන්න
නිළියකට පෙම් කරමි

නිළියකට පෙම් කරමි

එස් එල් සෙනෙහෙධීර ලෙච්වර්ත් - එක්සත් රාජධානිය

පෙම් කළත් මම මුළු හදවතින් නුඹ නෙලා ගන්නට බැරි දුරින් මං නුඹට පෙම්බැඳි බවක් මෙතරම් දන්නෙ කොහොමද නුඹ ඉතින් ඝණ අඳුර මැද සිනමා හලේ ගත වුණත් ඔය නෙත් අබිමුවේ ඔය දෙතොල් පොපියන රිදී තිරයත් දුර වැඩියි උන්නත් ගැලරියේ නුඹ නැතිව නුඹ සමගින් ඉඳන් පෙම් කළත් ඔය ඇස් දෙස බලන් සිත අපාගතවී විඳියි දඬුවම් නිළියකට පෙම් කළ පාපයෙන්
කවිය බලන්න
මුණු පොතෙන් අතීතයට ...

මුණු පොතෙන් අතීතයට ...

පළල්පඩියේ සෙනෙවිරත්න බෝධිමළුව කෙන්ට්

සතුට සැනසුම හදේ දැවටුන මිහිරි පාසැල් වියේ මතකය අළුත් කරමින් ඔබව දුටුවා මුණු පොත තුල තවත් පිටුවක. කුඩා පැටවුන් රැසක් මැදිකර එදාමෙන් සතුටින් සිනාසෙන සැදැ සමයේ සුවය විඳිනා ආත්තම්මා කෙනෙකි ඔබ අද . පුරා අඩසිය වසක මතකය අළුත් වුවා නිමේෂයකින්, සොඳුරු පාසල් දිවිය මතකද? අපේගම,ඒ අපේ පාසැල. දෙපස බඩවැටි , පිපුන වනමල් සුවද අතරින් පැන දුවද්දී , කුඹුරු ඉපනැලි නියර සහ ඔය අපේ සියුමැලි දෙපා සිම්බා. සතුට ඉතිරුණු අප ළමාවිය සුවද වත් කල අප උපන්ගම ගැන කියනු මැන ආත්තම්මේ ඔබවටේ ඇති පුංචි එවුනට.
කවිය බලන්න
සෙනෙහස...

සෙනෙහස...

ශාමලී ගමගේ

සඳසේ ඇවිදින් මිදුම අතරින්.. නුඹගේ රුව මම දකිනෙමි සතුටින්.. ඉඳහිට රළුවී හොරැහින් බලමින්. දවසේ ඔබ හඩ කළඹයි සිත දැන්.. කිරි පොද වැස්සේ රඟනා රැගුමන්.. දකිනෙමි සුළඟත් මුනිවත රකිමින්.. වැටෙනා පිනිකැට දකිනා රිසියෙන්.. හිනැහී ආවෙමි තුරැලට මම දැන්.. නැවතී බැලුවත් වැහි බිඳු අතරින්.. දුටුවේ නුඹේ රුව මා දෙස බලමින්.. දෙනුවන් අග හිඳ ඉඟිකර සොයමින්.. පැතුවේ නුඹමයි උණුසුම ලබමින්.. 2022/11/26
කවිය බලන්න
මධු බදුනේ සැගවුණු ප්‍රේමය

මධු බදුනේ සැගවුණු ප්‍රේමය

තීෂ්‍යා දුල්මිණි හෝමාගම

හීන වැහි කෝඩයේ සුදෝ සුදු මීදුමේ ගල් ගැහුණු සීතලේ නුඹ නොමැති මේ රැයේ ඉතිරි යන මධු බඳුන රැගෙන එන්නේ හද විලේ නිධන් වූ මතකයයි නුඹ නමින් උපන් ඒ ස්නේහයයි මිහිරිතම වසන්තය සෙනෙහසේ දිගන්තය කිඳුරු රූ විලාසය නුඹ දිලුණු නිමේෂය හද විලේ පීදුනේ සිත් මලයි ප්‍රේමයේ නුඹ කෙරේ උපන් ස්නේහයයි බිඳී ගිය කැටපතේ ඡායාව නුඹේ රුවේ විසිරි ගිය මාරුතේ හිස් වුනේ ජීවිතේ බඳුන සේ මධු විතේ ....
කවිය බලන්න
පලක් නැති වැයක් - මිලක් නැති අයක්

පලක් නැති වැයක් - මිලක් නැති අයක්

මහාචාර්ය ටී. එල්. ගුණරුවන්

පලක් නැති වැයක් - මිලක් නැති අයක් කලක් නැති රටක් - බලක් නැති හෙටක් ...! නැහැ කිසිදු ඉවක් - අයවැයෙහි ඉඩක් දුටුව බව මඟක් - රටට දෙන හැඩක් පොළිය මත ණයක් - ගෙවන්නට අයක් දැයෙ උරුම පෙළක් - විකුණන්න පොළක් හැර මෙවැනි පෙතක් - වෙ ද, කවර මඟක් අද අසන අයෙක් - එදා දෙසු කුමක් ? විනිම කිසි දෙයක් - ජනනු බැරි යමක් හැදෙත ගෙන ණයක් - වැසුණෙ කිම මුවක් ? එකට හැකි වැඩක් - පහට කළ රටක් ලොවට ණය මිසක් - වෙ ද, එයට හෙටක් ? කී නමුදු නොවක් - ණය කඳෙහි බරක් නැහැ එවක අයෙක් - යොමු කළෝ කණක් ...!! ණයට ගෙන දැයක් - ලබත එහි සැපක් නිදහසට තිතක් - වැටෙනු නැහැ සැකක් විකුණු විට බිමක් - ලැබෙන මුත් අයක් පුතුට නැති රටක් - වෙ ද කවර පලක් ? ඉතුරුමට කැසක් - විනා දැයෙ කොණක් බදු දෙන්න තැතක් - ගතොත් එය පවක් හෙළ විරුන් ලෙයක් - පතිත පින් බිමක් අහිමි කර හෙටක් - පියනු බැහැ නෙතක් ....!!! 2022 නොවැම්බර් 14
කවිය බලන්න
මතකයිද මන්දා......

මතකයිද මන්දා......

තුෂාරි ජයසිංහ මහනුවර

ගහල කඩුවත් දරුන් අතරත් සිරවෙලා තෙරපෙමින් උන්නා දළදා සාමිව හඬවලා මම මහ මළුව තෙත් වෙලා තිබුණා වලළුකර ගස්සලා ඇද්දට රාජ සිංහාසනේ දැවුණා දරුවො එකිනෙකා අහිමි වෙනකොට පපුවෙ ලේ සීතලට ගැහුණා කොහොම උහුලනු මේ තරම් දුක් සත් කඩක් වී පැළෙනු දැනුණා ඉකිබිඳිද්දී අසරණව මන් නිලමෙ හැංගිල ගිහින් තිබුණා වීර පුතෙකුට ජන්ම දී මම දිවිය තොර කරවන්ට යෙදුණා අඬන කොට දුක් ගිදරක් මැද හැමගෙ නෙත්වල කඳුළු පිරුණා එදා වාගෙම අදත් බණ්ඩර. පැටවු වටකර දුකින් තැවුණා හාමතේ උන් ඉකි ගහන කොට හත් කඩට හදවතත් පැළුණා නැකත් නොබලම නළල් පට තැබු වරද හින්දා දුකම ලැබුණා වීර නිළමෙගෙ චරිතෙ දිය වී නාලාගිරි මතුවෙලා තිබුණා වලළු කර තිබු වළළු තාමත් නොබිදිලා සුරැකිවම තිබුණා තිරය පසුපස ආදරෙයි කී නිළමෙ හැංගිල ගිහින් තිබුණා පැය දෙකක් හැම ඇඬවලා මම සම්මාන දෙක තුනක් ගත්තා මතකයිද මන්දා මැඩම් මම ඇහැලෙපොළ කුමරියව උන්නා. 2022.11.15.
කවිය බලන්න
දෙව් ලොවකට යමු විසිතුරු

දෙව් ලොවකට යමු විසිතුරු

රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩනය

සදවා නෙක ගේ විසිතුරු සිටුවා තැනතැන නෙක තුරු පිනවා සැම නිති සැම යුරු බෙදවා දෙමු කර දුක දුරු වවලා සොඳ වත්තක් තුරු නෙළලා මල් කොළ පළතුරු පිසලා දන්දී අමයුරු දුරලා ලමු පව් නිරතුරු හඳුනා දුප්පත් දූ දරු විඳිනා දුක් මව් පියවරු ලෙසිනා සැප දී සඳහිරු නිතිනා පව් කරනෙමු දුරු ලෙඩවීලා නෙක නෙක යුරු වැතිරී ඇඳ මත උඩුකුරු මැලවී ඇති අය ළඟ මරු කැපවී රැක ගමු නිසියුරු බුදුහිමි දෙසු දම පිවිතුරු සුරකින සඟ ගණ අතිගරු දම සමඟම දිවි ඇතිතුරු සුරකිමු අපි වී කැපකරු මේ ලෙස පින්කර නෙකයුරු දෙව් ලොවකට යමු විසිතුරු විමනක් වෙන්කර පියකරු සතුටින් ඉමු අපි සුමිතුරු රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි ලන්ඩන්
කවිය බලන්න
අම්මා

අම්මා

තුසිතා සුරේකා මීගමුව

හිත තැලෙන තැන සුසුම් පොදි ලග නුබෙ සෙනෙහෙ මට මැවෙනවා නුබ තරම් ප්‍රේමයේ රැගුමට සූරයෙක් නෑ දන්නවා දූවිල්ල දහඩියද දුම් මුසු කිරි සුවදෙ හිත වෙලෙනවා දෝර ගලනා අරුත ප්‍රේමයෙ නුබේ නාමයෙ තියෙනවා නුබේ බත් පත අපි දැක්කෙ නෑ සගවාපු බව දන්නවා කදුලු ගුලි නෙත් අගම ගිලලා හිනා වුන හැටි මැවෙනවා අම්මගේ සෙනෙහසට සම කල හැකි දෙයක් ලොව හොයනවා හිත බිදෙන හිත රිදෙන තැන් වල පිරිමදින සුව දැනෙනවා දෑත ලය බැද මටත් නොකියම ගිය දවස සිහි මැවෙනවා නුබව ගෙන ගිය මග තවම මට හීන් ඉකියක් ඇහෙනවා නුබව තනි කර මලවුන්ගෙ මැද ආවාට හිත බනිනවා කුඩා කාලේ වගේ එල්ලී නොගිය හේතුව හොයනවා දෙසැම්බරයේ එකොලහට නුබෙ උපන් දිනයත් වැටෙනවා. සුභ පැතුම් පෙම් හාදු ගුලි කර ස්වර්ගෙට මම එවනවා නුබේ සෙනෙහේ දැවටි දැවැටී ආයෙ ඉන්නට පතනවා ස්වර්ගයේ දොර මට ඇරේවිද කවද වේවිද හිතනවා. ‍
කවිය බලන්න
සෙනසුරු පෙම් බැන්ද වන්නියේ දෝණි

සෙනසුරු පෙම් බැන්ද වන්නියේ දෝණි

විමල් ඇම්. ගමගේ

නුඹමිණි කිරණ - ගත ඇති වරුණ ලොබ බඳිමින - සොරෙන්ම ගෙන නල කුමරු - ගිණිසිළු පිඹ නෙතේ කැළුම් - උරා බොමින පුර පොහොයත් කළුවර වෙන රූ රිසියක් ඇයට දෙමින සවියක් නැති පරඬැල මෙන සරණෙට නිසි කල පැමිණුන නැහැරුම් වී රූ සොබාව උදහස් වී මල්සරාව නොබලා දෝණිගෙ දිහාව යන්න යනව හොර හොරාම පෙට්ටගමක තියා කැටෙත් පණමක් නෑ ඉතුරු වෙලා අප්පච්චියි අම්මණ්ඩියි මුදලාලිට සින්න වෙලා දෑවැද්දට ඉල්ලන දේ පැළේ නැතේ පොඳි බැඳලා අනංගයා පැන යනවා දෝණිගෙ වත්කම දැකලා
කවිය බලන්න
කෝකිලා දේවී.. (බිම් බෝම්බ ඉවත් කළ ගැහැණිය )

කෝකිලා දේවී.. (බිම් බෝම්බ ඉවත් කළ ගැහැණිය )

වෛද්‍ය වත්සලා කන්නන්ගර

කන්කසන්තුරේ ,පේදුරු තුඩුව, චාවා.. කොඩිකාමම්..පලෙයි..අලිමංකඩ ත් පීරා.. සේතුකාලන් කෝකිලා දේවී අම්මා.... ගත්තා ය ..නිලාවේලෛ ළිඳ තරම් දුක් ගොඩක් හාරා. වසර ගණනක් පීඩිතව පැසුණී.. ලැබූ දුක් මැද ..තල් ..පොල් ..කරටි මැරුණී... බුදුන් සහ ශිවන් ලෙයින් වැකුණී.. දුකින් පෑගුණු උන්.....දුකින් නැසුණී..! නොඉපදී පිනි පොදෙන්..සළුවෙන්.. දෙමට මල් පියලින්.., ගින්නෙන් දැවූ පුර , පත්තිනි ව ඉපදීම ..ගින්නෙන් .. සැපතක් ද මට කියන් දැවුනත් රිදුම් නොකියන කෝකිලන්..? නුඹ මෙහෙන් කණින විට ..දුක හාර හාරා... සෙවූවා අපෙත් අම්මා පපු කැණැති හාරා තවත් ගින්දර කුමට ..දැවුණු පුරකට මදුරා..? අඳුන් ගිර පයින් මැඬ සුවඳ හාලක් ඉසිමු.. කුංකුමෙන් රතු තිළක තබනට.. කෝකිලා වා..!!
කවිය බලන්න
🗙