රාජකීය පණ්ඩිත පනාමුරේ තපස්සී හිමි - ලන්ඩනය

2022 මාර්තු කලාපය

හුදකලාව

සිතට එන නෙක දුක් වසාගෙන සිටින මුත් නෙත කඳුළු වැගිරේ
දුක බෙදාගෙන එකට ඉන්නට කිසිවෙකුත් නෑ සබඳ නුදුරේ
කඳුළු සඟවාගෙන වසන්නට මම වෙහෙස වෙමි නිතර අඳුරේ
දිවා කල වැසි වසිනු මැන නිති කඳුළු සේදී යන්න වතුරේ

නොයෙක් උස් මිටි ගුණැති නුගුණැති බොහෝ දෙන මා අවට ගැවසේ
එහෙත් මා නිති හුදකලාවෙම දෙනෙත් හැර ගෙන සිටිමි ගොළුසේ
සිතෙහි ඇති මහ බර දරාගෙන සිටින බව අන් අයට නොදිසේ
පෙර කරන ලද කර්මයක ඵල වෙතැයි සිතමින් වසමි දුකසේ

සතුට සැනසුම විනෝදය හෝ නොමැත මෙහි කිසි ලාලයක්
රසට අහරක් සොඳුරු ඇඳුමක් ගැනද නැත කිසි ආලයක්
නමුදු කිසි තැන බැඳීමක් නැති වැනිය මෙය හොඳ සීලයක්
සිතට නොහැකිය එහෙත් මේ ලෙස ගෙවන්නට තව කාලයක්

ඕපපාතික කෙනෙකු විලසට නොවේ මා මේ ලොවට ආවේ
මව්පියන් හා තුටින් එදවස සිටිය බව මට නිතර සීවේ
නොසිතූ විලසට මගේ සැමදෙන මගෙන් උදුරා ඉවත ලූවේ
උපන් කරුමෙට මේ අහස යට මැරෙන තුරු මගෙ දිවිය පාවේ.
View Poem