ලූෂන් බුලත්සිංහල

2021 දෙසැම්බර් කලාපය

හඳ මූණ වසා ගත්තා

ඔන්න අහන් ඉන්න පුතුණේ - පුංචිම පුංචි කතාවක් කියන්නේ
හොඳට හිතට ගන්න

බස් රිය නැවතුම් පොළක තනිවෙලා මහ රෑ
දුබල වයසක අම්මා කෙනෙක් - දූ දරුවන් හදා වඩා අසරණ වී
කඳුළු පිරුණු ඇස් දෙකෙන් අහස දිහා බැලුවා
තරුකැට කඳුළු කැටවුනා - හඳ මූණ වසා ගත්තා
ඒ දැක එහි නිදනා යාචකයා
යටහත් කරුණා වදනින් මෙසේ ඇසුවා

ගෙදර බුදුන් කියනා අම්මේ - ඇයි මේ මහ රෑ තනියෙන්
කියන්න කියන්න කැන්දන් යන්නට - දරුවෙක් එනකල් දෝ ඉන්නේ
මේ රෑ යාමේ බස් නම් නෑ එන්නේ

මව් ලැම පුපුරණ දරු සෙනෙහස වාවන් නෑ
බුදු අම්මා මුනිවතින් බලා උන්නා
එනමුදු ලොවටම නෑසෙන සේ - යටිහිත ඇයගේ
කෑ ගසා හැඬුවා මෙසේ .....

හදා වැඩූ දූ දරුවෝ - බැබලෙති සමාජයේ
උන් හට නින්දා කරන්න නම් මට බෑ - මට තව ඇත්තේ ටික දවසයි

කඳුළු පිරුණු ඇස් දෙකෙන් අහස දිහා බැලුවා
තරු කැට කඳුළු කැටවුණා - හඳ මුණ වසා ගත්තා

ගෙදර බුදුන් අම්මේ - කියන්න කියන්න කොයිබක යන්නද හිතාගෙන ඉන්නේ
මම ඔබ ගෙන ගොස් ඇරලන්නම්

යාචකයා ගේ කරුණා වදනින් - ළමැදේ දරු සෙනෙහස උතුරා
ලොවටම ඇහෙන්න සැනසිලි හඬින් මෙසේ
බුදු අම්මා මුනිවත බිඳ දැම්මා

මගේ මනාපෙට මං කැමති වෙලාවට - බැහැ මට එහි යන්න
එදවස එනතුරු ඉවසිල්ලෙන් - කල් බලන්න වෙලා මට
ඒ හන්දා බුදු පුතේ නුඹ දන්නා - අනාත නිවසක දොරකඩ
ළඟනම් ඒ පාර මට කියන්න

බුදු අම්මා එහෙම කියා අහස දිහා බැලුවා
තරුකැට කඳුළු කැටවුනා - හඳ මූණ වසා ගත්තා

30/11/2021
View Poem