ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හඳ මූණ වසා ගත්තා

හඳ මූණ වසා ගත්තා

ලූෂන් බුලත්සිංහල
2021-December

ඔන්න අහන් ඉන්න පුතුණේ – පුංචිම පුංචි කතාවක් කියන්නේ
හොඳට හිතට ගන්න

බස් රිය නැවතුම් පොළක තනිවෙලා මහ රෑ
දුබල වයසක අම්මා කෙනෙක් – දූ දරුවන් හදා වඩා අසරණ වී
කඳුළු පිරුණු ඇස් දෙකෙන් අහස දිහා බැලුවා
තරුකැට කඳුළු කැටවුනා – හඳ මූණ වසා ගත්තා
ඒ දැක එහි නිදනා යාචකයා
යටහත් කරුණා වදනින් මෙසේ ඇසුවා

ගෙදර බුදුන් කියනා අම්මේ – ඇයි මේ මහ රෑ තනියෙන්
කියන්න කියන්න කැන්දන් යන්නට – දරුවෙක් එනකල් දෝ ඉන්නේ
මේ රෑ යාමේ බස් නම් නෑ එන්නේ

මව් ලැම පුපුරණ දරු සෙනෙහස වාවන් නෑ
බුදු අම්මා මුනිවතින් බලා උන්නා
එනමුදු ලොවටම නෑසෙන සේ – යටිහිත ඇයගේ
කෑ ගසා හැඬුවා මෙසේ …..

හදා වැඩූ දූ දරුවෝ – බැබලෙති සමාජයේ
උන් හට නින්දා කරන්න නම් මට බෑ – මට තව ඇත්තේ ටික දවසයි

කඳුළු පිරුණු ඇස් දෙකෙන් අහස දිහා බැලුවා
තරු කැට කඳුළු කැටවුණා – හඳ මුණ වසා ගත්තා

ගෙදර බුදුන් අම්මේ – කියන්න කියන්න කොයිබක යන්නද හිතාගෙන ඉන්නේ
මම ඔබ ගෙන ගොස් ඇරලන්නම්

යාචකයා ගේ කරුණා වදනින් – ළමැදේ දරු සෙනෙහස උතුරා
ලොවටම ඇහෙන්න සැනසිලි හඬින් මෙසේ
බුදු අම්මා මුනිවත බිඳ දැම්මා

මගේ මනාපෙට මං කැමති වෙලාවට – බැහැ මට එහි යන්න
එදවස එනතුරු ඉවසිල්ලෙන් – කල් බලන්න වෙලා මට
ඒ හන්දා බුදු පුතේ නුඹ දන්නා – අනාත නිවසක දොරකඩ
ළඟනම් ඒ පාර මට කියන්න

බුදු අම්මා එහෙම කියා අහස දිහා බැලුවා
තරුකැට කඳුළු කැටවුනා – හඳ මූණ වසා ගත්තා

30/11/2021