ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

හුස්ම

හුස්ම

සුදත් දේවප්‍රිය
2021-June

කළු වලාගැබ
උඩුබිරුම් හඬ
අකුණු සර
තරඟයක අදත් නුඹ.

තරඟ නම් බෝමැයි
දියවූ,පතුල් සලකුණැයි
දුක් ගැහැට මැද දිවූ
තණ තීරු අපමණැයි

තුරු හිත් බඳ යට
නැවතී හතිලමි
බලෙන් හිටුවා ලූ
පහර කෑ මුල් නහර
යළිදු පිරිමැද බලමි.

ගලවමි පා වැසුම
සංකා දුක් උසුල
පෑගිය නොහැක බිම්කඩ
මියයන බැවින් ඵල

එහෙත් ගැලවිය හැකිද
මේ සිර මුව වැස්ම.?
නිරතුරු මුව දොවන

සුළඟ නුඹ කුපිතව
රැගෙන යනු ! වීදි අංශුව
ලොව දනට රහසින්
පුහුණු කලෙද කවුරුන් ? මේ සරඹ..
මල් සේ විසුල.හලා හල විෂ.

නොලද මුදු එන්නත,
දරාගත යුතුය ස්වසනාලය
උරා ගතයුතුය පෙරලෙස.
තර්ජන ඇතැයි
ඝර්ජන වෙතැයි
කවරකු කීවද
අත් හල හැකිද මිනිසෙකුට ?
නිදහසේ හුස්මක සුව..

21.05.2021