ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සුර අසුර

සුර අසුර

කපිල ෆොන්සේකා - කොළඹ
2023-January

ඔබ
කොටුවේ කොටු කොටු
ඩච් හොස්පිට්ල් මිදුලේ
ගස් යට
කොටු කොටු බංකු ළඟ ලගිමින්
ඩිජිටල් කොටු මත කොට කොට
පොරොත්තු වන ඩිජිටලුන්‍ ය

මොබ
බෝගස් සෙවන වැටෙන නොවැටෙන මායිමේ
විට හපමින්
කිහිල්ල යටින් පිල්කඩ කෙලවරට කෙල ගසන
කපුටු බෙටි පොළොව මත
නිරුවත් පා තබා තිරව සිටගෙන
හිනැහෙන
ඇනලොගුන් ය

ඔබ
කොකුන් රැස විළස විල
ගෙල කරකවා බලමින් වම දකුණ වම
නැවතී නොසිටම මැද
පටියෙන් පටිය
කලු සුදු ඉනිමග තරණය කර
නොලසව එතෙර වන
ඩිජිටලුන්‍ ය

මොබ
පරණ පත්තර කඩදාසි වල ඔතා
සිලි සිලි මලු තුල ලා
ලන්ච් පැකට් විකුණන
අව්වේ කරවෙන
ඇනලොගුන් ය

ඔබ
කුළුණු දෙගුණ යුතු
වර්ල්ඩ් ට්‍රේඩ් විමනෙහි
සීතාශක්තව
හනිකට රිංගා
අතුරුදන් වැ යන
ඩිජිටලුන් ය

මොබ
ඉඳහිට මොහොතක්
ඔසවා සිය හිස
ඩිජිටල් කොටු මත
කලු සුදු හිනි මත
එකෙල මෙකෙල වන
ඩිජිටල් ග්‍රැෆිකල් ඡායාවන් වෙත
ඊශ්වර නෙතින්
බැල්මක් හෙලනා
ඇනලොගුන් ය

ඔබ
මද පවනත් නැති
ඩිජිටල් දවසේ
හරි මද්දහනේ
සැනෙකින් ඇඹරී
පිපිරී ඉරි ඉරි
උණු වී ගුලි වී
දියවී වැගිරෙන
කුළුණු දෙගුණයකි

මොබ
පික්සල් නැති වී
හිස් වූ තිරයකි !

2022 දෙසැම්බර් 21