දියත් රන්සර අතපත්තු පුලතිසිපුර

2024 ජනවාරි කලාපය

වහං කල කළු පැල්ලම

රුදා දෙන හැඟුම් වුව නොපෙනෙන්න සඟවලන
හීනයක් තිබුනනම් දරුපෙමයි දළුදමන
තණ තලා දෙපයකට නොගැටෙනා දිවි ගමන
දවසේම පොරබැඳුවෙ ගල් වලෙහි ගත දවන

අසීමිත රතුරෝස පාළු සොහොනට මත්තේ
පිපෙන වග මා පමණි හදවතින් දැන ගත්තේ
දිවි මගේ ගිමන් බිඳු නිවන්නට හද චිත්තේ
ජිනේගේ සුවඳ මුසු වාරැල්ලටයි ඇත්තේ

අනෝරා වැහි මැඳින් ගලා යන බොර වතුරේ
ටිකෙන් ටික යට වුනා පැල්කොටෙත් පැති හතරේ
හූ හඬක් නොනැගෙන්න ගිගුම් හඬ නැඟි අතරේ
නඩුකාර ස්වාමිනෙ දරුව නිඳි අඬ අඳුරේ

රතුපාට ලොවි සමයි ඇස් දෙකම බීමතින්
බලු තඩියා දඩමසක් දුටුසේය හාමතින්
ගොඳුරු කල බේරෙන්න උගෙ ගොරෑඩි අත් මතින්
සාවියක දැඟලූ...වේ ගැලවෙන්නමයි ඉතින්

දරුපෙමට කිරි පිරිණු දෙතන මත වහ වටිලා
උමතුවෙන් වියරූ වී හූරමින් හපකරලා
එච්චරයි මට තිබුනෙ රෙදි කඩත් ඉර දමලා
උයන මැද පිපෙන මල දැමුවෙ පොඩි කර තලලා

යදම් බල බිඳිද්දී ලෝගුවෙහි බොත්තමක්
බැතිබරව රැක්කමුත් ,වටිනකම බිංදුවක්
කාසියෙන් වහංකර කළු පැහැති පැල්ලමක්
ස්වාමිනී! වැලලුවේ ජීවිතයෙ වත්කමක්

නීතියත් වල් වැඳී නියම තතු වැළලෙද්දි
ලෝගූවේ ශුද්ද හඬ නැහැ එයත් බොල් වෙද්දි
ඇස්පියන් ඇරුණනම් කලියුගයෙ මේ වෙද්දි
දකින ලොව පැහැබරයි "දෙව්දුවනි"! හෙට වෙද්දි

Photo: Simran Sood
View Poem