ශාමිලා ක්‍රිෂානි තෙවරප්පෙරුම - කොළඹ

2023 ජුනි කලාපය

බොඳ වූ පැතුම් මැද හිමිවූ තිලිණය

කුළුදුලේ පපු මැද්දෙ
දඟලාපු හීනයක්
ඉඟි කලේ ඇස් අඟින්
සංසාර මතකයක්
දළඳාවෙ හේවිසිය
ඇහෙද්දී වාරයක්
මසිත සැනසුවෙ එදා
සරසවියෙ ප්‍රේමයක්

පියෙකුගේ සෙනෙහසට
ලියා උපමා වැලක්
තුන් සිතම පිරෙව්වා
දුර යවා දුක ගොඩක්
ඉද්ද මල පරවෙද්දි
තියා රතු සලකුණක්
එදිනේම සැර වුණා
මහවැලියෙ ජල කඳක්

නුඹේ ලේ ගැහෙද්දී
මගෙ කුසේ හැම තිස්සෙ
කියන්නට මම ආවෙ
දුවන් හිරි පොද වැස්සෙ
සිඹිද්දී නුඹ ඇයව
ගුලි වෙලා ලැම අස්සෙ
හීන මගෙ ගුලි කරන්
කඳුලැල්ල මම පිස්සෙ

පසුවට .......

දෙපා පණ නැති වුණා
ඉතින් මම නික්මුණා
මගෙ කුසෙහි අරුම දැක
අප්පච්චි මියැදුනා
වත්තෙ මුර සෝමෙ ළඟ
අම්මා නම් නැලවුණා
මම තවත් තනිවුනා
අසරණව වැලපුනා

නේක නෙක හැඩ බඹරු
මා වටේ කැරකුනා
යකිණියක් වූ නිසා
උන්ගෙ තටු පොඩි වුණා
වෙසඟනකි අර අරකි
නොකියා මට හිනැහුනා
කුස ඇතුලෙ පා පහර
නිසා මා සවි වුණා

" මගෙ තිසරු මුදු වුණා
ශ්වේත බිඳු වැඟිරුණා
නුඹේ ලේ හිනැහෙද්දි
වාසගම මගෙ වුණා "
View Poem