ආචාර්ය පාලිත ගනේවත්ත ඔස්ට්‍රේලියාව

2021 ඔක්තෝබර් කලාපය

පැටලී සිතිවිළි දැහැනක

ඕවිට වත්ත කෙළවර පැල ඉණි වැටට
මෑතින් පෙනෙන කුඹුරේ පැල දස අතට
වැනෙනා අයුරු දැක මනසින් මා නෙතට
නැග එන උණු කඳුළු කැට නොපෙනෙද ඔබට

සමුගත් පසුව ගුරු දිවියෙන් පෙර දවස
ලොකු හාමුදුරුවන් දකිනට හැම හවස
ගොස් පිළිසඳර මැද වියැකුණු දම් පවස
හදවත වෙළා යළි මතුවෙයි අද දවස

පන්සල බෝ මළුව සුද මනසින් හඟිමි
උණුවන කඳුළු සඟවා දෙනුවන් වසමී
මනසින් නිබඳ සිරිලක් මව වෙත දුවමි
කුමකට දුරු රටට අවෙම්දැයි සිතමී

මිණිබිරියන් දෙදෙන ගෙන පාසලට යමී
දහවල යළිත් උන් අරගෙන ගෙදර එමී
ලේලිය පිසූ බත කා ඇඳ මත නිදමී
බිරිඳත් සමග ගේ තුළ හිඳ සුසුම් ලමි

ඉඳහිට ගුත්තිලය ගෙන පෙරළා බලමී
වැත්තෑවේ හිමි සමග බරණැසට යමී
මනහර වෙණ වැයුම් නද මනසින් අසමී
දොරකඩ සීනු හැඬවෙයි දැහැනෙන් මිදෙමී

ලේලිය මිණිබිරිය සමගින් දෙනෙත ගැටේ
කෙළිබඩු රැසකි සොම්නස ඇය මුවග නැටේ
හෙළ බස නොම ඇසේ ඉංගිරිසියම කටේ
සීයා යන වදනපමණක් සවන වැටේ

පින්රිසි දනන් ඇරැඹු පෙර දෙවසරක
බොදු අරමක් ඇතිලු නගරය කෙළවරක
ලංකාරාම නම් වූ එහි ගොස් දිනක
හිමි නම හමුව එමි සිටි මුත් පිටරටක

පාළුව මකන්නට ගතවන මෙහි දවස
දොම්නස නසන්නට නිරතුරු ඇති මනස
ලංකාරාමයට ගොස් එමි හැම සවස
සාමීචියේ හිඳ සිඳ ලමිදම් පවස
View Poem