ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නිඳන සොඳුර – කොළඹ යුගයේ සිත්ගත් කවි

නිඳන සොඳුර – කොළඹ යුගයේ සිත්ගත් කවි

මහා කවි පී .මලල්ගොඩ
2022-February

කොළඹ යුගයේ සිත්ගත් කවි

කුසුම් කුල හිතවතුනි , විහඟුනි , බිඟුනි, කිම සිදුවූ විපත්තිය?
ම පෙම් වති අද සොහොන් ගැබ තුල නිඳයි සන්සුන් වූ තැනැත්තිය
මගෙන් වෙන්වී ගියත් සදහට සදා මගෙ හිත සුව කැමැත්තිය
කියම් දෙවසක් කඳුළු බීමේ යෙදුණු දුක්මුසු කටුක විත්තිය

ගුවන් තලයේ, මලේ, තුරුහිස් මතේ, වන රොද මලා මැල්ලේ
පහන් තරුවේ, සහන් එළියේ , දොලේ, සයුරේ, දිලෙන වැල්ලේ
පහන් දොර අළුයමේ සිට මට පෙනෙයි වළ තුල නිඳන කෙල්ලේ
නුවන් කඳුළෙන් නොමුසු අහරක් අහෝ! තවමත් නොමැත ගිල්ලේ

බිඟුන්, සමනළයන් , කුරුල්ලන් හමුව මගේ දුක උනට කී වෙමි
දරන්නට බැහැ – දරන්නට බැහැ මෙතෙක් උණුසුම් කඳුළු බීවෙමි
අහිංසක මා කුරිරු ලෝකෙක සොඳුරියේ, හුදෙකලා වූ වෙමි
ඔබෙන් පසු – පෙර නුහුරු බිහිසුණු සමාජයකට මුහුණ පෑ වෙමි

උදන් සැණකෙළි මතින් හඬලන විහඟ ගී දනු රවන සාලා
උපන් හද වේදනා සුපුරුදු මිහිරි මඳහස කින් වසාලා
සොහොන් කොත ළඟ හඬන, වැලැපෙන කඳුළු මල්පෙති පෙළ ගසාලා
නැඟෙන් පෙම්බරි, නැඟෙන් පෙම්බරි මගේ දුක් ගී හඬ අසාලා

පියුම් වනයෙක, කුසුම් ගොමුවෙක, නැතොත් සුරකුමරියන් රොත්තක
සුරන් ගඳඹුන් විසින් පුද දෙන හිමාලයෙ වන මල් කිනිත්තක
කසුන් තුරුපෙති අතර ජනිතව බිමට එන බොල් පිනි පැණිත්තක
උපන්නි ද පිය සොඳුර, මගෙ ගම්මානයේ වන කුසුම් පෙත්තක