වාගිස ප්‍රනාන්දු

2021 දෙසැම්බර් කලාපය

දාසියකගේ විළාපය!

ලොකු හාමු අනේ මං - ඔබෙ නිවසෙ දාසියයි
කුස්සියේ වැඩකලේ - “පොඩි සෝමා” මං තමයි
නෝනා නැති වැසි දිනේ- මා ගැහැණියක් කලේ
කුසට ආ දරුවගේ- නුදුටු අප්පා නුඹයි !

දිනෙන් දින මෝරනා - කුස කෙසේ හංගම්ද?
ගෙනැත්දුන් බෙහෙත් පෙති - පලක් නොවුනේ මන්ද?
අන්තිමේ නෝනගේ - ඉවට හසුවූ මාව
පැන්නුවා ගෙදරිනුත්  - වන්දියක් නොලබාම

එතැන්සිට පාරේය - කාත් කව්රුත් නැතිව
වේල සරිකරගන්න - අතපෑවා හැම දෙනට
උකුසු ඇස් මගහරිනු - නොහැකිවිය අන්තිමට
බඩගින්න නිසා මට - වුනේ පණමටත් බුදියන්න

වීදි සරණා ලියන් - රටට කැළලක් නිසා
නීතියේ මුරදෙටුවො - දැල එලයි අප වටා
උඹ කුසේ, මං කෙසේ - දුවන්නද ඒ දිනේ?
කොටුවුනා ඒ නිසා - නීතියට මං එදා

අච්චු කෙරුමට කියා - උසාවි ගෙන ගිය විටේ
තමයි මා දුටුවේ - ඔබ සිටින උස් ආසනේ
තෝල්කයා හඩ තලයි - චෝදනා කිය කියා
මං කුමක් කිව යුතුද ?- අනේ මගේ ස්වාමිනේ!

මගේ රංකැටි පුතේ - බය වෙන්න කාරි නැහැ
උඹේ අප්පා තමයි - යුක්තියේ දෙවගන මෙතැන
අන් අයට මක් කලත් - උඹ කුසේ හින්ද මට
සමාවක් ලැබේවි - නවා හෝ නීතිය අදට

කූඩුවේ අපි පහම - එක දිගට සිටගෙනම
තෝල්කයා සද්දෙන්ම - කියයි තීන්දුව අපට
මාස තුනකට, පහම - වැලිකඩ සිපිරිගෙට
වරද මගේ වුනත් පුතේ- අප්ප උඹටත් අච්චු කල නොවැ?
View Poem